තරුවක් නොවූ රූපණවේදියා රවීන්ද්‍ර

රවීන්ද්‍ර රන්දෙණිය
මැයි 5, 2022

 

වත්මනෙහි සිනමාවේ අපට සිටින කෘතහස්ත රූපණවේදියකු ලෙස සැලකෙන රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රතිභාව හා පෞරුෂය එක්තැන් වූ රූපණවේදියෙකි. 1945 ජූනි 5 වැනිදා කැලණිය, දලුගම උපත ලැබූ රවීගේ පූර්ව නාමය ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරාය. කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඔහු ධම්ම ජාගොඩ සූරීන්ගේ ගුරුහරුකම් යටතේ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන් කලාවේ අතපොත තැබුවේය. මනික් සන්දරසාගර සහ ජෝ අබේවික්‍රමගේ හඳුන්වාදීමෙන් "කළු දිය දහර" (1975) චිත්‍රපටයේ ලක්ෂ්මන් ලෙස රඟපාමින් ඔහු සිනමාවට පිවිසිණ. ස්වකීය මුල් නම වෙනුවට රවීන්ද්‍ර රන්දෙණිය නාමය ඔහුට තබන ලද්දේ රැලෙක්ස් රණසිංහ විසිනි. දෑස නිසා (මාධව), දුහුළු මලක් (රොහාන්), සිරිපාල හා රන්මැණිකා (සිරිපාල), වීර පුරන් අප්පු (පුරන් අප්පු), පොඩි මල්ලි (සිරිපාල), සත්වෙනි දවස (රම්බඩා), ආරාධනා (සේනක), දඩයම (ජයනාත්) වැනි චිත්‍රපට ඔස්සේ ප්‍රතිභාපූර්ණ ප්‍රමුඛ පෙළේ නළුවකු ලෙස ස්ථාවර වූ රවී තම ප්‍රතිරූපය පිළිබඳව නොසිතා සංකීර්ණ, ප්‍රතිවීර චරිත (දඩයම, මායා, ජනේලය, යසෝමා) රූපණය කරමින් තම රංගන කෞශල්‍යයේ ඉම පුළුල් කළේය. මීට සමාන්තරව ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට රාශියකටද ඔහුගේ රංගන දායකත්වය ලැබිණ. හොඳම නළුවා ඇතුළු සරසවිය සම්මාන රැසක් දිනූ ඔහු පසුකලෙක ක්‍රියාකාරී දේශපාලනයටද එක්වූයේය. ශ්‍රී ලංකා නළු නිළි සංගමයේ සභාපතිවරයා වශයෙන්ද රවී ඉටු කළ කාර්යභාරය කැපී පෙනේ. සෞන්දර්ය විශ්ව කලා විද්‍යාලයේ සාහිත්‍ය ආචාර්ය උපාධියක් ඔහුට පිරිනැමිය. තරුවක් නොවී නළුවකු වීමේ ආශාවත් විවිධ චරිත රඟපෑමේ පිපාසයත් රූපණවේදියකු ලෙස රවීන්ද්‍රගේ සාර්ථකත්වයේ රහස යැයි සිතේ.