හැත්තෑවේ ආදරවන්තයා තිස්ස

තිස්ස විජේසුරේන්ද්‍ර
මැයි 5, 2022

 

මෙරට සිනමාවේ සුහදශීලීම නළුවන් ලැයිස්තුගත කළොත් ඒ අතරින් ඉහළම තැනක තිස්ස විජේසුරේන්ද්‍ර කියන නාමය තිබෙනු ඇත. ඉතාම කෙටි කලක් ඇතුළත ඕනෑම කෙනෙකු සමග ඉතාම ළෙන්ගතුවීමේ හැකියාව ඔහුට තිබිණ. එකල සිනමාවට අවැසිවූ උස,මහත, පියකරුපෙනුම තිස්ස සතුවිය. එහෙයින් ඔහුට රංගනය සඳහා ඉඩප්‍රස්ථාව ලැබුණේ නිතරඟයෙනි. හින්දි සිනමාවේ නළුවෙකුගේ රූපකායට සමාන රුවක් ඇති හෙයිනි. තිස්සට පළමු වතාවට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. කලණ මිතුරෝ චිත්‍රපටයේ චරිතයකට තෝරා ගන්නා ඔහුට නිම්වළල්ල චිත්‍රපටයේද රඟපාන්නට අවස්ථාව ලැබෙයි. එම චිත්‍රපටයන් අබිබවා යමින් සුහද පැතුම චිත්‍රපටයෙන් අති විශාල ජනප්‍රියත්වයක් ලබන තිස්ස විජේසුරේන්ද්‍ර මෙරට සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පියෙකු බවට පත්විය. සුහද පැතුම ආදායම් වාර්තා තබමින් තිරගත වෙද්දී තිස්සට තව තවත් චිත්‍රපට ලැබිණ. සුහද පැතුමට සමගාමීව තිරගත වූයේ සිංහල සිනමාවේ සිහින කුමරෙකුවූ විජය කුමාරතුංගගේ තුෂාරා චිත්‍රපටයයි. තුෂාරා චිත්‍රපටය හරි හරියට ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වෙමින් තිරගත වෙද්දී එයට තරඟයක් දෙන්නට සුහද පැතුම සමත්විය. ළසඳා, සුරේඛා, සමනල කුමරියෝ, අපි කවදත් සූරයෝ, සිනාවයි ඉනාවයි, පෙම් කුරුල්ලෝ, ලස්සන කෙල්ල, නිවෙන ගින්න, අනූෂා, ජීවන්ති, බෝනික්කා, හොඳීන් නැත්නම් නරකින් ආදී චිත්‍රපට ගණනාවක තිස්ස විජේසුරේන්ද්‍ර විවිධ චරිත නිරූපණය කරන්නට ලැබුණේය. ඒ අතරින් ප්‍රේක්ෂකයන් වඩාත් කැමැති වූයේ ඔහු පෙම්වතා ලෙස රිදී තිරයේ දකින්නටය. කලක් එලෙස සුපිරි තරුවක් ලෙස සිංහල සිනමාවේ වැජඹුණු තිස්ස පසුකාලීනව සිනමාවෙන් යම්තාක් දුරකට බැහැර වූයේය. ඔහු පෙර තරම් නිර්මාණ සංඛ්‍යාවක රඟපෑවේ නැත. ඊට හේතුව ලෙස තිස්ස පසුකාලීනව අප හා සඳහන් කළේ ලැබුණොත් රගපෑවා මිසක චරිත ඉල්ලා අධ්‍යක්ෂවරුන්ට තමන් කරදර කරන්න නොගිය බවයි. එමෙන්ම ප්‍රතිපත්තිගරුකව සිනමාව තුළ ජීවත්වීම හේතුවෙන්ද තමන්ට චරිත අහිමිවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කළ තිස්ස විජේසුරේන්ද්‍රගේ දියණියක වූ සුරනි විජේසුරේන්ද්‍ර රංගන ශිල්පිනියක ලෙසට කලක් කැපී පෙනෙන දස්කම් දැක්වීය. මුනුපුරු මිනිබිරියන් ගේ ආදරය මැද්දේ ආදරණීය සීයා කෙනෙකු ලෙස ජීවිතයේ සැඳෑ කල ගත කළ තිස්ස 2020 වසරේ අප අතරින් සදහටම සමුගත්තේය.