නොමියෙන සුපිරි තරුව විජය

මැයි 5, 2022

 

එදා මෙදා ලාංකේය සිනමාව බිහි කළ නොමියෙන සුපිරි තරුව ලෙස හැඳීන්විය හැකි කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංග 1945 ඔක්තෝබර් 9 වැනිදා කටානේදී උපත ලැබුවේය. කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් සිප්සතර ලැබූ ඔහු මුල්වරට "මනමාලයෝ" (1967) චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටියේය. සරසවිය පුවත්පතේ පළවූ දැන්වීමකට අයැදුම් කළ ඔහුට සුගතපාල සෙනරත් යාපාගේ "හන්තානේ කතාව" (1969) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් (බන්දු) රඟපෑමේ භාග්‍යය ලැබිණ. 60 දශකයේ ගාමිණි ෆොන්සේකා සිනමාවේ ස්ථාපිත කළ ජවසම්පන්න වීර ප්‍රතිරූපයට වෙනස් මඟක් ගෙන විජය 70 දශකයේ සිනමාවේ තහවුරු කළේ තමාටමැ ආවේණික සැහැල්ලු, විනෝදකාමී පෙම්වතාගේ ප්‍රතිරූපයකි. ඔහු රඟපෑ වාණිජමය වශයෙන් අතිශය සාර්ථක වූ "තුෂාරා" චිත්‍රපටය මෙහි ඇරැඹුමයි. විජය - මාලිනි සුසංයෝගය ජනප්‍රිය හා සිනමානුරූපී චිත්‍රපට රාශියක් අප හට දායාද කළේය. ගාමිණිගෙන් පසුව මෙරට සිනමාවේ නොම්බර් එකේ සුපිරි තරුව බවට පත්වූ විජය ජනප්‍රිය නළුවා ඇතුළු සරසවිය සම්මාන රාශියක් දිනා ගත්තේය. ජනප්‍රිය වට්ටෝරුවේ චිත්‍රපටවල බහුලව රඟපෑවද විජයගේ රංගන ප්‍රතිභාව විදාරණය කළ චිත්‍රපට අල්පයක් හෝ දක්නට ඇත. (අහස් ගව්ව - මහතුන්, මරුවා සමඟ වාසේ - සිරිපාල, බඹරු ඇවිත් - වික්ටර්, පොඩි මල්ලි - ගුණපාල, කරුමක්කාරයෝ - විලිසොන්, පාර දිගේ - චන්දරේ, මහගෙදර - නන්දන සහ පියා, කැඩපතක ඡායා - ධනරත්න, ක්‍රිස්තු චරිතය - ක්‍රිස්තුන් වහන්සේ, මධුසමය - ජගත්) ආචාර්ය ධර්මසේන පතිරාජ ගොඩනැඟූ විකල්ප සිනමාවේ ප්‍රමුඛතම නළුවා ඔහු විය. සම්මානනීය ගායන ප්‍රතිභාවක්ද විජය සතු විය. 1988 පෙබරවාරි 16 වැනිදා සාහසිකයකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක් වූවත් ඔහුගේ ජනප්‍රියභාවය, මහිමාලංකාරය, මානව හිතවාදය අදත් නොනැසී පවතී. දේශපාලනඥයකු ලෙස විජයගේ චින්තනය හා මානව හිතවාදයද ජන සිත්හි අදත් ජීවමානය.