මාස්ටර් බ්ලාස්ටර් රෝයි

රෝයි ද සිල්වා
මැයි 5, 2022

 

සිංහල සිනමාවේ මාස්ටර් බ්ලාස්ටර් ලෙසින් විරුදාවලි ලැබූයේ රෝයි ද සිල්වාය. ඔහු අනූව දශකයේදී විකට චිත්‍රපට හතක් නිර්මාණය කර ඒවා බොක්ස් ඔෆිස් ආදායම් ලබමින් තැබූ වාර්තාව අදටද නොබිඳී පවතින්නේය. රෝයි සිනමාවට හඳුන්වා දුන්නේද ආනන්ද ජයරත්න, එච්. ආර් ජෝතිපාල, කාන්ති ගුණතුංග වැනි කලාකරුවන් සිනමාවට හඳුන්වා දුන් සිරිල් පී අබේරත්නය. ඒ සුජාගේ රහස චිත්‍රපටයෙනි. රෝයිහට එම අවස්ථාව ලැබුණේ ඔහු දෙමළ සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වු ජයශංකර්ගේ පෙනුමට සමාන වූ බැවිනි. සුජාගේ රහස චිත්‍රපටය දාසී නම් දෙමළ චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණයයි. සුජාගේ රහස චිත්‍රපටයේ රෝයි පණ පෙවූයේ දාසී චිත්‍රපටයේ ජයශංකර් පණ පෙවූ චරිතයටය. නමුත් අනතුරුව ලද රංගන අවස්ථා ඔස්සේ තම රංගන ප්‍රතිභාව දක්වමින් තමාට වෙන් වූ අනන්‍යතාවක් ගොඩනඟා ගත් රෝයි සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් විය. රෝයි වඩාත් ජනප්‍රිය වූයේ ජෝ දේව් ආනන්ද්ගේ සුජීවා චිත්‍රපටයෙනි. සැනසිලි සුවය, සැඟවුණු මැණික, රුහුණු කුමාරි, හතර පෙරළිය, පික්පොකට්, ගීතා, මේ දෑස කුමටද, සුනේත්‍රා, සූකිරි කෙල්ල, සමන්මලී, මිනිසුන් අතර මිනිසෙක්, ක්‍රිස්තු චරිතය, මිහිදුම් සිහින, කදිරා ආදි චිත්‍රපට රැසක් ඔහු සිය රංගනයෙන් ඔපවත් කළේය.

රෝයි සිනමා නළුවෙකු වීමට පෙර වේදිකා නාට්‍ය නළුවෙකු විය. මොරටුව ප්‍රදේශයේ රඟ දැක් වූ නර්බෝනා හි රණවීර සෙබළා, ඔහු දායක වූ වේදිකා නාට්‍යයකි. ඔහු එකල මොරටුවේ ගායකයෙකු මෙන්ම ගිටාර් වාදකයෙකු ලෙසද ප්‍රසිද්ධව සිටියේය. ක්‍රිස්ටෝපර් පෝල් සහ ෆ්‍රෙඩී සිල්වා සමඟ රෝයි එකම වේදිකාවේ ගී ගයා ඇත. රෝයි විවාහ වූයේ එවකට ජනප්‍රිය නිළියක වූ සුමනා අමරසිංහ සමඟිනි. ඔවුන් එකිනෙකා හමු වූයේ හතර පෙරළිය චිත්‍රපටයේදීය. හැත්තෑව දශකයේ ජනප්‍රියම ආදරවන්තයන් යුවළ ලෙස නම් දැරූ රෝයි සහ සුමනා විවාහ දිවියට පැමිණියේ සූකිරි කෙල්ල චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර එහි දර්ශනයක් වෙනුවෙන් සැරසුණු මංගල ඇඳුමිනි.

1977 වසරේදී ටොම් පචයා චිත්‍රපටය සම අධ්‍යක්ෂණය කරමින් රෝයි සිනමා අධ්‍යක්ෂණයට පිවිසියේය. ඔහුගේ සිනමා අධ්‍යක්ෂණයන් අතර විකට චිත්‍රපට සේම සම්භාව්‍ය හා වාණිජ ගණයේ චිත්‍රපටද වීම විශේෂත්වයකි. කඩවුණු පොරොන්දුව නව චිත්‍රපටය, තණ ගිරවි, සුදු පිරුවට, ගෙදර බුදුන් අම්මා, සූරයන් අතර වීරයා, සොඳුරු වසන්තය ඇතුළු චිත්‍රපට හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ඔහු අධ්‍යක්ෂණය කර තිබේ. අනූව දශකයේදී සිංහල සිනමාවට හාස්‍ය සහ කාම රැල්ලේ චිත්‍රපට පැමිණෙන්නට විය. රෝයි හාස්‍ය රැල්ලට නව අරුතක් ගෙන එමින් චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ ඩාලිං චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අතර රෑ දනියෙල් දවල් මිගෙල් චිත්‍රපට පෙළ, ජොන්සන් ඇන්ඩ් ගොන්සන් චිත්‍රපටය සමඟින් බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේය. රෝයි ඉංග්‍රීසි චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළේය. ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් සහ ඉට්ස් ද මැටර් ඔෆ් ලව් එම චිත්‍රපට වේ. සංගීතා වීරරත්න, ජීවන් කුමාරතුංග, අනුෂා දමයන්ති, නිල්මිණි තෙන්නකෝන්, අතුල අධිකාරි, ඉන්දිකා උපමාලි, සුරාජ් මාපා වැනි ශිල්පීන් සිනමාවට හඳුන්වා දුන්නේද රෝයි විසිනි.

1988 වසරේ පැවති සරසවිය සම්මාන උලෙළේදී විශේෂ ඇගයීම් කුසලතා සම්මානයකින් පිදුම් ලද රෝයි සරසවිය රණතිසර සම්මානයෙන්ද පිදුම් ලැබීය. දශක පහකට ආසන්න කාලයක් සිනමාවේ රැඳී සිටිමින් සිංහල සිනමාවට සුවිශේෂ දායකත්වයක් දැක් වූ රෝයි 2018 වසරේදී මෙලොවින් සමුගෙන ගියේය.