චරිතාංග රූපණයේ විශිෂ්ටයා ජෝ

ජෝ අබේවික්‍රම
මැයි 5, 2022

 

 

මෙරට චරිතාංග රංගනයේ විශිෂ්ට නළුවා ජෝ බව වරක් ගාමිණි ෆොන්සේකා සඳහන් කළේය.1927 ජූනි 22 වැනිදා රත්නපුර ලෙල්ලෝපිටියේ උපත ලැබූ ගම්මන පටබැඳීගේ දොන් ජෝන් අබේවික්‍රම රත්නපුර සීවලී විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවේය. ඔහු මුල්වරට රඟපෑවේ "දේව සුන්දරී" චිත්‍රපටයේ වන නමුත් එය තිරගත වීමට ප්‍රමාද විය. ඒ අතර ජෝ , ෆ්ලොරිඩා ජයලත්ගේ යොමු කිරීමෙන් ටී.සෝමසේකරන්ගේ "සරදම්"(1957) චිත්‍රපටයේ කූඹි එකතු කරන පොලිස් සාජන්ට්වරයාගේ චරිතය රඟපාමින් සිනමාවට පිවිසිණ. පළමුව විකට චරිත රංගනයට සීමා වූ ජෝගේ රංගන ප්‍රතිභාව චරිතාංග රංගනයට යොමු වූයේ තිස්ස ලියනසූරියගේ "සාරවිට" (සාරයියා) චිත්‍රපටයෙනි.බටහිර චාලි චැප්ලින්ගේ හා ඉන්දියාවේ රාජ් කපූර්ගේ රංගනවේදනයන් සමඟ ඔහුගේ හාස්‍ය චරිත නිරූපණය අපට තුලනය කළ හැකිය. මන්ද ජෝ තිරයේ මැවූ හාස්‍ය ඔස්සේ කඳුළත් ජීවිතේ ගැඹුරත් උද්වහනය කළ බැවිනි. "තුං මං හන්දිය" (අබිලිං), "වැලිකතර" (ගෝරිං), "දෑස නිසා" (නිරුදක), "බඹරු ඇවිත්" (ඇන්ටනි මුදලාලි), "සිරිබෝ අයියා" (සිරිබෝහාමි), "සොල්දාදු උන්නැහේ" (සොල්දාදුවා), "මල්දෙණියේ සිමියොන්" (සිමියොන්), පුරහඳ කළුවර" (වන්නිහාමි) වැනි භූමිකා ඔහුගේ මතු නොව දේශීය සිනමාවේද මං සලකුණු බඳු විශිෂ්ට චරිත නිරූපණ වේ. කිසිවිටෙක රංගනය හදාරා නැති ජෝ විශිෂ්ට නළුවකු වූයේ සහජයෙන් ලද රංගන ප්‍රතිභාවත් ව්‍යුත්පත්තියත් ජීවිත නිරීක්ෂණයෙන් ලද පරිචයත් හේතු කොට ගෙනය.හොඳම නළුවා ලෙස සරසවිය සම්මාන රාශියකට පාත්‍ර වූ ඔහු අන්තර්ජාතික ඇගැයීමට ලක් වූ ප්‍රථම දේශීය සිනමා නළුවාද වේ. ජෝ නිරූපණය කළ ප්‍රතිවීර චරිත අතර වැලිකතර හී ගෝරිං ද හාස්‍යෝත්පාදක චරිත අතර අල්ලපු ගෙදර හී කපිල හා රසරහසක් හී හිට්ලර් වඩාත් කැපී පෙනෙතැයි මට සිතේ.මේ මහා නළුවා 2011දී කයෙන් සමුගත්තේය.ඉන්දියාවේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ නියෝජනය කළ ප්‍රථම ලාංකික නළුවා ලෙස ඉතිහාසගත වූයේද ජෝය. ජෝ සිනමාවේ විවර කළ පුරෝගාමී මාර්ගය ඔස්සේ පසුකාලීනව බොහෝ චරිතාංග නළුවන්ට සිනමාවේ කතානායකයන් වීමේ අවස්ථාව ලැබිණ.