ද්විත්ව චරිතයෙන් රංගනය ඇරැඹූ අශෝක

අශෝක පොන්නම්පෙරුම
මැයි 5, 2022

 

සිංහල සිනමාවේ “සිවාජි ගනේෂන්” ලෙස විරුදාවලිය ලැබුවේ අශෝක පොන්නම්පෙරුමයි. 1958 වසරේ තිරයට ආ තම ප්‍රථම චිත්‍රපටය වන සුනීතා හි ද්විත්ව චරිත රංගනයට ඔහු අවස්ථාව ලද්දේය. එය දින සියය ඉක්මවා ප්‍රදර්ශනය වීමේ වාර්තාවක් තබමින් රිදී තිරය ජයගත් ද ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ පියාගේ අවශ්‍යතාව අනුව වෛද්‍යවරයකු වීමටය. පාසල් සමයේදීම රංගනයට හා ගායනයට දස්කම් පෑ අශෝක පොන්නම්පෙරුම වයස අවුරුදු 14 දී සමස්ත ලංකා ගායන තරගයෙන් ජය ගත්තේයය. හමුදා සේවයට බැඳීමේ අපේක්ෂාවෙන් සිටි ඔහුට වයස 17ක් වනවිට චිත්‍රපට අධ්‍යක්ෂ විමලනාත් දිසානායකගේ ඇස ගැටුණු පසු මනුතාපය නම් තිරගත නොවූ චිත්‍රපටයේ රංගනය සඳහා අවස්ථාව ලැබිණි. ඉන්පසු පටාචාරා චිත්‍රපටයේ මේ හිරිමල් තරුණයා රඟපෑවේ වයස අවුරුදු 60 ක 70 ක පමණ වයෝවෘද්ධ චරිතයකි. වරක් ඔහු පුවත්පතකට පවසා තිබුණේ උස මහතින් යුතු තම ශරීර ස්වභාවය නිසා ආසියාවෙන්ම එවන් අවස්ථාවක් ලද එකම නළුවා තමන් විය හැකි බවය. සුනීතා චිත්‍රටයෙන් පසුව ද අශෝක පොන්නම්පෙරුම රීටා රත්නායක සමඟ අඹු සැමියන් ලෙස රඟපෑ චිත්‍රපට පහකින් හතරක්ම “ස” අකුරින් ඇරඹීම විශේෂත්වයකි. “සුන්දර බිරිඳ” “සුහද සොහොයුරෝ” “සිතක මහිම” ඒ අතර වේ. සිනමාවට පිවිස වසර 14ක් ඇතුළත චිත්‍රපට 38ක රඟපාමින් වාර්තාවන් තැබීමට ද අශෝක පොන්නම්පෙරුම සමත් විය. ඔහු රංගනයේ යෙදුණු 65ක් පමණ වන චිත්‍රපට අතරින් සැමියා බිරිඳගේ දෙවියාය, සුවිනීතා ලාලනී, සිරිමලී, සැනසිලි සුවය, කළ කළ දේ පල පල දේ, ළයට ළය, රාං කුරුල්ලෝ, ලන්ඩන් හාමු, ස්වීප් ටිකට්, දෙහදක දුක, සුහද දිවි පිදුම, සඳ නැඟ එද්දී, සුදු පරෙවියෝ ආදිය ජනපි‍්‍රය චිත්‍රපට කිහිපයකි. හාස්‍යය මතුවන ප්‍රේමාතුර ආදී විවිධ චරිත නිරූපණය කළ චරිතාංග නළුවකු වූ ඔහු වර්ග කෙරුණේ දුෂ්ට චරිත නිරූපණය කරන්නකු ලෙසය. අශෝක විකට චරිතයක් නිරූපණය කළේ සිනාවයි ඉනාවයි චිත්‍රපටයේය. අශෝක පොන්නම්පෙරුමගේ පළමු චිත්‍රපට පසුබිම් ගීතය වන්නේ ලන්ඩන් හාමු චිත්‍රපටය වෙනුවෙන් සුජාතා අත්තනායක සමඟ ගයන “දැසේ පෙම් මදිරාවේ” ගීතයයි. චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවකු ලෙසද කටයුතු කළ ඔහු අධ්‍යක්ෂවරයකු වූයේ ප්‍රදීපා චිත්‍රපටයෙනි. එය ඔහු නවකතාකරුවකු ලෙස ලියූ “ඇයි මට මෙහෙම වුණේ” කෘතියෙන් නිර්මාණය කරන ලද්දකි. අශෝක පොන්නම්පෙරුමගේ කුලුඳුල් නවකතාව වන්නේ “ මල්මද බිසව්” ය. එය ඔහුගේම අත්දැකීමක් ඇසුරින් රචනා කරන ලද්දකි. මෙරට නිෂ්පාදිත දෙමළ භාෂිත චිත්‍රපටයක රඟපෑ පළමු සිංහල නළුවා වන්නේද අශෝක පොන්නම්පෙරුමයි. ඒ “නිර්මලා” චිත්‍රපටයේය. එමෙන්ම ඔහු “හඳපාන” වැනි වේදිකා නාට්‍ය ඔස්සේ කරළියට ද පිවිසියෙකි. සිනමා නිළියක් ලෙස ඔහු සමඟ චිත්‍රපට කිහිපයකට රඟ පෑ මානෙල් ලෝනා එලිසබෙත් සමඟ 1965 දි විවාහ වූ අශෝක සුමේෂා, චමින්ද, අනුරුද්ධ හා සුමංගලී දූ දරුවන්ගේ දයාබර පියා ද වෙයි.

ඔහු රඟ පෑ චිත්‍රපට අතරින් “ඉඳුනිල” වෙනුවෙන් 1969 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගන්නට හැකි විය. සුනීතා චිත්‍රපටයේ 11 වතාවක් කැමරාව ඉදිරියේ දෑස් විවර කරගෙන මියගිය අශෝක පොන්නම්පෙරුම 1993 අපේ‍්‍රල් 02 වැනි දින සැබැවින්ම සදහටම දෑස් පියා ගත්තේය.