හොලිවුඩ් සිරි කැන්දූ ආනන්ද

ආනන්ද ජයරත්න
මැයි 5, 2022

ආනන්ද ජයරත්න සිංහල සිනමාවේ සිටි කඩවසම් නළුවන් කිහිප දෙනා අතරින් කෙනෙකි. සිංහල සිනමා ඉතිහාසයේ ජනප්‍රියතම නළුවන් අතර සිටින ඔහු සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය කළ සුරතලී චිත්‍රපටයේ කෙළිලොල් තරුණයෙකු ලෙස "සිරියාමේ සාරා" ගීතය ගයමින් රිදී තිරයට එක් වූයේය. එච්. ආර්. ජෝතිපාල ගායකයෙකු වුයේද සුරතලී චිත්‍රපටයෙනි.

ආනන්ද ජයරත්න සිනමාවට පිවිසියේ අහම්බයකිනි. දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වූ ඔහු 1950 පමණ කාලයේදී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කළේය. 1956 වසරේ දිනෙක කඩවසම් තරුණයකු වූ ආනන්ද පාපන්දු තරගයක් අවසානයේ නිවෙස වෙත යාමට බස් රථයකට ගොඩ වූයේය. ඔහු අසලින් වාඩි වූ පුද්ගලයෙකු විමසා සිටියේ රඟපාන්න කැමැති දැයි යනුවෙනි. නළුවෙකු වීමට කැමැති නම් තමා හමුවන ලෙස දන්වා ලිපිනයක් දුන් එම තැනැත්තා බස් රථයෙන් බැස ගියේය. ඔහු අන් කවරෙකුත් නොව පසුකාලීනව සිංහල සිනමාවට චිත්‍රපට රැසක් දායාද කළ සිරිල් පී. අබේරත්නය. ආනන්ද සුරතලී චිත්‍රපටයේ රංගනයට එක් වූයේ මෙලෙසිනි.

අනතුරුව සොහොයුරෝ, පටාචාරා, අදට වැඩිය හෙට හොඳයි. සුන්දර බිරිඳ, සුජාගේ රහස, දැන් මතකද, පටාචාරා, කළ කළ දේ පල පල දේ, සැපත සොයා, ඉහත ආත්මය, මී මැස්සෝ, වීරවිජය, සංදේශය, අහස් මාලිගා චිත්‍රපටය මෙන්ම සැපත සොයා, උඩරට මැණිකේ, යටගිය දවස, සරදියෙල්ගේ පුතා, අනුෂා, ලස්සන කෙල්ල ඇතුළු චිත්‍රපට විසිපහකට පමණ ඔහුගේ රංගන දායකත්වය ලැබුණි. සිංහල සිනමාවේ ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනා ගත් දුෂ්ටයෙකු මෙන්ම වීරයාගේ චරිතවලට පණ පෙවූ නළුවෙකු ලෙසත් ආනන්ද විශේෂත්වයක් උසුලන්නේය. මෙරට නිෂ්පාදනය කළ බටහිර චිත්‍රපටයක් වූ ත්‍රී යෙලෝ කැට්ස් චිත්‍රපටයේ ටෝනි කැන්ඩෝල් හා බ්‍රැඩ් හැරිස් වැනි ජනප්‍රිය බොලිවුඩ් නළුවන් සමඟ රඟපෑමට ආනන්ද ජයරත්න හා ජෝ අබේවික්‍රම හට අවස්ථාව උදා විය. පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ආනන්ද එහි කළ රංගනය දුටු ටෝනි කැන්ඩෝල් පැවසූයේ, ආනන්ද ජයරත්න ඇමරිකාවේ උපන්නා නම් යූල් බ්‍රයිනර් මෙන් හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන බවයි.

ආනන්ද සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ පුවත්පත් කලාවෙනි. ලේක්හවුස් ආයතනයේ ඩේලි නිවුස් සහ ඔබ්සර්වර් පුවත්පත්වල වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ ඔහු අනතුරුව ගුරු වෘත්තියට පිවිසියේය. රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසත් පසුව විදුහල්පතිවරයෙකු ලෙසත් කටයුතු කළේය. ආනන්ද වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ ගුරු වෘත්තියේ නියැළි සිටින අතරතුරදීය. හිටපු විභාග කොමසාරිස්වරයෙකු වූ එල්. කේ ගුණතුංග නිෂ්පාදනය කළ විපර්යාසය වේදිකා නාට්‍යයෙන් පසු ඔහු ඩී.සී මහතන්තිල හා පියසේන තේනබදු නිර්මාණය කළ නාට්‍යයකට දායක වූයේය.

ආනන්ද අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය ආදරයයි කරුණාවයි චිත්‍රපයටයයි. ඔහුගේ අවසන් රංගනය දැක ගැනීමට ලැබුණේ චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ නෙළුම් සහ සමන්මලි චිත්‍රපටයෙනි. 1984 ජූනි 26 වැනිදා සිනමා ප්‍රේක්ෂකයන් හට අසන්න ලැබුණේ ආනන්ද ජයරත්න මියගිය පුවතයි.