කැලෑ හඳෙන් දිනූ ජෝන් ජයපාල ස්ටැන්ලි

ස්ටැන්ලි පෙරේරා
මැයි 5, 2022

 

ඩබ්ලිව් ඒ සිල්වා සූරින් රචනා කළ නවකතා සම්භාරය අතර කැලෑ හඳ සුවිශේෂ නවකතාවකි. 1933 වසරේ සිල්වා සූරීන් රචනා කළ 'කැලෑ හඳ' නවකතාවෙන් නිර්මාණය කළ චිත්‍රපටය 1953 වසරේ තිරගත විය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය සේම එහි ඇතුළත් වූ "මැවිලා පෙනේවි රූපේ", "අන්න සුදෝ අර පාට වලා" වැනි ගීත අතිශය ජනප්‍රිය විය. රුක්මණි දේවිය එහි මාලනිය වන විට නාගරික තරුණයෙකු වන ජෝන් ජයපාල වූයේ ස්ටැන්ලි පෙරේරාය.

ස්ටැන්ලි පෙරේරා සිංහල සිනමාව ආලෝකවත් කළ නළුවෙකි. ස්ටැන්ලිගේ සිනමාගමනය සිදු වූයේ ඔහු පාසල් සිසුවෙකුව සිටියදීය. 1952 වසරේදී වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විභාගයට සූදානම් වන අතරතුර සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත බලමින් සිටියදී ඔහු නෙතු ගැටුණේ චිත්‍රපටයක රංගනය වෙනුවෙන් පළ කළ දැන්වීමකි. එය කැලෑ හඳ චිත්‍රපටය වෙනුවෙන් මිනර්වා සමාගම පළ කළ දැන්වීමකි. ඒ වෙනුවෙන් අයැදුම් කළ පසු ජෝන් ජයපාල නම් චරිතය නිරූපණයට කළ එකම පරීක්ෂාව වූයේ ස්ටැන්ලි රුක්මණිදේවිට වඩා උසින් වැඩිද යන්නයි. ස්ටැන්ලි රුක්මණියට වඩා අඟල් භාගයකින් උස වීම ඔහුට රංගනයේ වරම් හිමි වීමට හේතුවිය.

තමා රඟපෑ පළමු චිත්‍රපටය ආරම්භක වටයේදීම සිනමා ශාලාවක නොකඩවා දින සියයක් ප්‍රදර්ශනය වීමේ වාසනාව මෙන්ම එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ නොකඩවා මාස හයක් ප්‍රදර්ශනය වීමද ස්ටැන්ලි සතු ජයග්‍රහණයන්ය. සරදම්, සේපාලි, අයිරාංගනී වැනි චිත්‍රපටවලින් පසු සුහද සොහොයුරෝ, ළා දළු, වනසරා, සුදු දුව වැනි චිත්‍රපට සමඟ ස්ටැන්ලි හැටේ දශකයේ සිනමාව තරු ගුණයෙන් හැඩ කළේය. චණ්ඩාලි, සසරක හැටි, සැපත සොයා, අක්කා නගෝ, හතර මහ නිධානය, ලොකුම හිනාව, අනුහස, ඉවසන දනා, සුනේත්‍රා, සුජීවා, සූකිරි කෙල්ල, චිත්‍රපට මෙන්ම ගොස්ට් කාන්ට් ඩූ ඉට් ඉංග්‍රීසි චිත්‍රපටයද ඔහුගේ චිත්‍රපට ලැයිස්තුවට ඇතුළත්ය. චිත්‍රපට පනහකට පමණ රංගනයෙන් දායක වූ ස්ටැන්ලි රංගන දිවියට විරාමය තැබුවේ 1991 වසරේ සළඹක් හඬයි චිත්‍රපටයෙනි.

සොඳුරු යුවළ චිත්‍රපටයේ ඔහු කළ ද්විත්ව චරිත නිරූපණය සිංහල සිනමාවේ මුල්ම ද්විත්ව චරිත නිරූපණය ලෙසද ඉතිහාස ගත වී ඇත. චණ්ඩාලි චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියෙකු ලෙසද ළා දලු චිත්‍රපටයේ විධායක නිෂ්පාදක ලෙසද කටයුතු කළ ස්ටැන්ලි රෝයි ද සිල්වා සමඟ ටොම් පචයා චිත්‍රපටය සමඅධ්‍යක්ෂණයට දායක වූයේය. ඔහු පසුව සඳා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. ස්ටැන්ලි විවාහ වූයේ නිළියක වූ ගර්ලි ගුණවර්ධන සමඟිනි. දුප්පතාගේ දුක, ගංතෙර, සුබ සරණ සැප සිතේ ස්ටැන්ලි හා ගර්ලිගේ රංගනයෙන් හැඩ වූ චිත්‍රපට වේ. ජනප්‍රිය නිළි සබීතා පෙරේරා ස්ටැන්ලි - ගර්ලි යුවළගේ දියණියකි. සිංහල සිනමාවට අංශ රැසකින් සිය දායකත්වය ලබා දුන් ස්ටැන්ලි 1972 වසරේදී ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමෙහි ලා පුරෝගාමි මෙහෙවරක නිරත වූයේය. 1999 වසරේදී සරසවිය සම්මාන උලෙළේ රණ තිසර සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු 2011 වසරේදී දිවිරඟ මඬලින් සමුගෙන ගියේය.