සිනමාවේ සෙව්වන්දිය - සංගීතා වීරරත්න

අප්‍රේල් 7, 2022

සංගීතා වීරරත්න 90 දශකයේ වඩාත් කැපී පෙනෙන රංගන ශිල්පිනිය ලෙස හැඳීන්විය හැකිය. එයට හේතු වූයේ තම රංග ප්‍රතිභාවත් සිනමා පටයේ වස්තු විෂයට අදාළව තම රංග විලාශය හැඩගස්වා ගැනීමට සංගීතා සතු වූ දක්ෂතාවයයි. 1973 දෙසැම්බර් මස 13 වැනිදා උපත ලද ඩියැන් හේමමාලි සංගීතා වීරරත්න ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු සහ කැමරා ශිල්පියෙකු වන තිමති වීරරත්නගේ බාල දියණියයි. ඇය ඉගෙනුම ලැබුවේ කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයෙනි. තම පියාගේ මඟපෙන්වීම යටතේ නිශ්චල ඡායාරූප ශිල්පය හැදෑරූ සංගීතා මුල්වරට ළමා චරිතයක් රඟපෑවේ තිමති වීරරත්නගේ "රේල් පීලි" ටෙලි ටෙලිනාට්‍යයෙහිය. අනතුරුව ඇය "ගොළු හදවත" ටෙලිනාට්‍යයෙහි රඟපෑවාය.

"ධ්බඵ ච ර්චබබඥප ර්‍ණට ඊඪථඥ", යසස, නොමියන මිනිසුන් යන චිත්‍රපට ත්‍රිත්වය රඟපාමින් සිනමාවට පිවිසි සංගීතා වීරරත්න ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස කා අතරත් කතාබහට ලක් වූයේ එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ "සප්ත කන්‍යා" චිත්‍රපටයෙනි. නොමියෙන මිනිසුන්, සප්ත කන්‍යා, මාරුතය, දුවට මවක මිස, දොරකඩ මාරාව, අස්වැසුම වැනි සිනමාරූපී චිත්‍රපටවල සිය භූමිකා විවිධ නිරූපණය කිරීමට ඇය සමත් වූවාය. ලස්සනයි බලන්න, රෑ දනියෙල් දවල් මිගෙල් වැනි වාණිජ ධාරාවේ විකට චිත්‍රපටවල චරිතද ඈ පණ පෙව්වාය. එමෙන්ම බහුභාර්යා චිත්‍රපටයේ වැනි ආන්දෝලනයට තුඩුදෙන සරාගී චරිත රඟපෑ සංගීතා වීරරත්න විටෙක පතිභක්තිය දිවිහිමියෙන් රකින "ළඳුනි ඔබ දෙවඟනකි" වැනි ස්ත්‍රී භූමිකා රඟපෑවාය. වරෙක "ජොන්සන් ඇන්ඩ් ගොන්සන්" වැනි චිත්‍රපටවල සැහැල්ලු විනෝදකාමී චරිත රඟපාන සංගීතා "නින්ජා ශ්‍රී ලංකා" වැනි සටන්කාමී ජවයක් සහිතව ඇය රඟදැක්වූවාය. ජීවිතයේ ඍණාත්මකත්වය විග්‍රහ කරන බහුභාර්යා, කිනිහිරියා මල්, සලෙලු වරම වැනි චිත්‍රපටවල චරිතවලට ඈ පණ දුන්නාය.

2006 වසරේ වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ සෙව්වන්දි චිත්‍රපටය ඇයගේ නිෂ්පාදනයකි.

1994 සරසවිය සම්මන උලෙළේදී ඇය "නොමියෙන මිනිස්සු" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තාය. 1998දී දොරකඩ මාරාව චිත්‍රපටය රංගනය වෙනුවෙන් ඇය ඕසීඅයිසී සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානනීය වූවාය.

සප්ත කන්‍යා, නොමියෙන මිනිසුන්, අරගලය, මාරුතය, දුවට මවක මිස, රෑ දනියෙල් දවල් මිගෙල්, දොරකඩ මාරාව, පවුරු වළලු, බහුභාර්යා, කිනිහිරියා මල්, අස්වැසුම, ඔන්න බබෝ, සලෙලු වරම, දුකට සැපට සනි, මිල්ලෙ සොයා, නීලම්බරේ, උප්පලවණ්ණා, චැලෙන්ජස්, නිම්නයක හුදෙකලාව, ඝරසර්ප ඇතුළු චිත්‍රපට රාශියකට සංගීතා වීරරත්න ඇගේ රංගන දායක්ත්වය ලබා දී ඇත.