සබීතා සිනමාවට ගෙන ආ - සබීතා පෙරේරා

අප්‍රේල් 7, 2022

 

සිංහල සිනමාවේ තරු ගුණයෙන් පිරි නිළියක වීමේ භාග්‍යය ලද සබීතා පෙරේරා සිය රංගන කුසලතාවයෙන් වාණිජ සිනමාව මෙන්ම සම්භාව්‍ය සිනමාවද එක සේ දිනා ගැනීමට සමත් වූවාය. ස්ටැන්ලි පෙරේරා සහ ගර්ලි ගුණවර්ධන නම් ජනප්‍රිය නළු නිළි යුවළගේ දියණිය වන ඇය වයස අවුරුදු තුනේදී රංගනයට එක් වූයේ තම පියා ද රංගනයෙන් දායක වූ 'හතර කේන්දරේ' චිත්‍රපටයෙනි. ඇය ප්‍රධාන චරිතයකට පණ පෙවූ පළමු චිත්‍රපටය 'සබීතා' නම් වේ. පොඩිවිජේ චිත්‍රපටයෙන් ඇය මුල්වරට සරසවිය හොඳම නිළිය වූවාය. සනත් - සබීතා යුගයක් බිහි වූයේ සබීතාගේ රංගන දායකත්වද ලද 'නැවත හමුවෙමු', 'දෙවැනි ගමන', 'විරාගය', 'සිසිල ගිනි ගනී', 'ආත්මා', 'සුජාතා' වැනි චිත්‍රපට සමඟිනි. දක්ෂ චරිතාංග නිළියක ලෙසින් 'මොනරතැන්න 2', 'කිරි සුවඳ', 'නැවත හමුවෙමු', 'දෙමෝදර පාලම', 'මමයි රජා', 'නොම්මර 17', අබා, ඇඩ්‍රස් නෑ ඇතුළු සිංහල චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඇය පකිස්තානු සිනමාවටද එක් වෙමින් සම්මානයට ද පාත්‍ර වූවාය.

රිදී තිරයේ අතිශය කාර්යබහුල නිළියක වූ ඇයගේ රංගන ප්‍රතිභාව පුංචි තිරයේදී ද සුවිශේෂ වූයේ 'රන් කහවණු', 'පිටගම්කාරයෝ', 'අකාල සන්ධ්‍යා', 'දණ්ඩ් ලූ ගිනි', 'ඇසළ කළුවර', 'භාර්යාවෝ' වැනි ටෙලි නාට්‍ය සමඟිනි. 1981, 1982, 1983 වසරවල ජනප්‍රිය නවක නිළියට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලද සබීතා 1986 වසරේ පැවැත්වූ සරසවිය සම්මාන උලෙළේ ජනප්‍රිය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය.