සරසවියෙන් රංගනයට ආ - නදීකා ගුණසේකර

අප්‍රේල් 7, 2022

 

එම්. ඒ. සංඝදාස අධ්‍යක්ෂණය කරන්නට යෙදුණ කාංචනා චිත්‍රපටයේ නවක නිළියකගේ චරිතයෙන් රංගනයට විශ්ව විද්‍යාලයෙන් පිවිසෙන ඇය දඟකාර කෙළිලොල් වියේදීම සිංහල සිනමාවට පා තබන්නට වරම් ලැබුවාය. ඇය එදා මෙදා තුර ලාංකේය ප්‍රේක්ෂක හදවතේ ලැඟුම් ගත් 'දං චූටි' ය. විජය කුමාරතුංග, ගාමිණි ෆොන්සේකා වැනි සිනමාවේ දැවැන්තයින් සමඟ කරට කර රංගනයේ යෙදුණ මේ රුවැත්තිය සිනමාවට පාතබන්නේ හැත්තෑව දශකයේ අග භාගයේය. ජනප්‍රිය රැල්ලේ පිනුම් ගැසූ ඇය යුගයෙන් යුගය, චංචල රේඛා ආදී චිත්‍රපට එය කියාපෑමට හොඳම උදාහරණය. ලෙනින් මොරායස්, සේන සමරසිංහ, සුනිල් සෝම පීරිස්, වී. සිවදාසන්, යසපාලිත නානායක්කාර, දයා විමලවීර වැනි එවකට ජනප්‍රිය රැල්ලේ අධ්‍යක්ෂවරු බොහොමයක් නදීකාව සිය නිර්මාණ සඳහා තෝරා ගත්තාහ. රංගනය මෙන්ම නිෂ්පාදනයටද දායක වූ ඇය අධ්‍යාපනයෙන්ද ඉහළට පැමිණියාය. ඇය රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ පුටුවල සේවය කළේය.