වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
පාතාලේ ඉන්නෙත් අපි වගේම හිනාවෙන අඬන අය

සාම්ප්‍රදායික ආදර කතා තේමාවන්වලින් බැහැරව සමාජ විසමතාවය, සමාජ යථාර්ථය සහ සමාජයේ අගතිගාමී ක්‍රියාවන් කතා තේමාවට පාදක කරගනිමින් බිහිවන ටෙලිනාට්‍ය රැල්ලක් මේ වන විට පවතිනවා. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන "Once upon a time in Colombo" ටෙලිනාට්‍යයද එවැනි නිර්මාණයක්. මාළිඟාවත්ත ප්‍රදේශයේ පවතින පාතාල කල්ලි පිළිබඳව කතිකා කරන මේ නිර්මාණයේ අධ්‍යක්ෂ චමිල් පතිරණ. "Once upon a time in Colombo" ටෙලිනාට්‍යය පිළිබඳව වැඩිදුර විස්තර කතා කරන්නට අපි ඔහුට ආරාධනා කළා.
"Once upon a time in Colombo" ටෙලිනාට්‍යය කොටස් 40 දක්වා විකාශය වී අවසන්. මොකද හිතෙන්නේ ඒ ගැන?
"Once upon a time in Colombo" ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳයි. මේ වෙලාවේ බහුතරයක් විකාශය වෙන්නේ ආදරය කතා තේමාව කරගත් ටෙලිනාට්‍යය. වෙනස් ආකාරයේ නිර්මාණයක් කරන්න උත්සාහයන් ගන්නවා අවමයි. ඒ නිසා අපි වෙනස් කතා තේමාවකින් නිර්මාණය කරන්න උත්සාහ කරපු ටෙලිනාට්‍යයක් මේ. ඉලක්කගත ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් පමණක් නිර්මාණයක් හදනකොට පොඩි අවදානමක් තියෙනවා. නමුත් ආදරය, දුක සතුට මෙම ටෙලිනාට්‍යයේ අන්තර්ගත වුණාට ක්‍රියාදාම ගණයට තමයි මෙය අයත් වෙන්නේ. අපිට විශ්වාසයක් තිබුණා ටෙලිනාට්‍යය නිසි ප්‍රමිතියකට හැමෝටම බලන්න පුළුවන් ආකාරයෙන් නිර්මාණය කරලා සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. නැවත හැරිලා බැලුවොත් මට හිතෙනවා අපි සාර්ථකයි කියලා. අපි ඉලක්කගත කළ ප්‍රේක්ෂක පිරිසෙන් එහාට ලොකු පිරිසක් මේ ටෙලිනාට්‍යයත් සමඟ දැන් ඉන්නවා.
මේ ටෙලිනාට්‍යයේ කතා තේමාව ගැන කිව්වොත් ?
කොළඹ නගරය තුළ ප්‍රධාන වශයෙන් පාතාල කණ්ඩායම් දෙකක් අතර බලය වෙනුවෙන් සිදුවන අරගලයක් "Once upon a time in Colombo" ටෙලිනාට්‍යයේ කතා තේමාව. පාතාලේ කියපුවාම ලංකාවෙ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තුළින් මිනිස්සුන්ට පෙන්වා තිබෙන යම්කිසි ප්‍රතිරූපයක් තියෙනවා. ඒවා ඇඳුම් පැලඳුම්, ආභරණ, පච්ච වගේ දේවලින් හැදිලා. පාතාලය ගැන හොයලා බැලුවාම අපිට තේරුණා ඒ අයත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු කියලා. ඒ අයටත් දරු පවුල් තියෙන මානුෂීය හැඟීම් තියෙන මිනිස්සු. සමහර පාතාල නායකයෝ ඉන්නවා එයාලා ශරීර ප්‍රමාණයෙන් හරිම කුඩායි. උත්තුංග දේහධාරී ලොකු උස මහත මිනිස්සු කොට්ඨාසයක් නෙමෙයි පාතාලය කියන්නේ. අපි වගේම අඬන, හිනාවෙන රණ්ඩු වෙන ඒ වගේම වැරදි දේවල් කරන මිනිස්සු කොට්ඨාසයක් පාතාලය කියන්නේ. මෙන්න මේ කාරණාව අපි ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂකයන්ට ගෙනහැර දක්වන්න උත්සාහ කරනවා.
මේ ටෙලිනාට්‍යය නිර්මාණයට මූලික වූණේ කවුද?
"Once upon a time in Colombo" කතා තේමාව අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී නදීකා ගුණසේකරගේ. ඒ කතා තේමාව සහන් ලියනදූව සහ ප්‍රභාත් පතිරාජ මා ළඟට අරන් ආවා චිත්‍රපටයක් කරන්න. වසර තුන හතරක් ඒ ගැන කතාබහක් පමණයි තිබුණේ. පසුව අපි තීරණය කළා චිත්‍රපටයක් කරනවාට වඩා මේ කතා තේමාවෙන් ටෙලි නාට්‍යයක් කරන එක හොඳයි කියලා. මේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නේ ප්‍රභාත් පතිරාජ සහ සනුජ මන්දනායක. චානක රණසූරිය සහ නිලන්ත පෙරේරා තමයි මේ නිර්මාණය ටෙලිනාට්‍යයක් බවට පත් කරලා පිටපත ලිව්වේ.
මේ ටෙලිනාට්‍යයට දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සම්බන්ධ වෙනවා?
මේ ටෙලිනාට්‍යයට අපි සාමාන්‍යයෙන් දකින ප්‍රධාන නළු නිළියන් හතළිහකට වැඩි පිරිසක් සහභාගි වෙනවා. එයත් මේ ටෙලිනාට්‍යයේ විශේෂත්වයක්. ඒ වගේම සිනමා ක්ෂේත්‍රයේ ඉන්න ටෙලිනාට්‍යවල නැති රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසකුත් මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනවා. මේ හැමදෙනාගෙන්ම මට විශාල සහයෝගයක් ලැබෙනවා. ටෙලිනාට්‍යය කියපුවාම හැමෝම ටිකක් සුළුවෙන් හිතන්නේ. නිර්මාණශීලීත්වයට ඒක ප්‍රබල බලපෑමක් කරනවා. ස්ක්‍රිප්ට් එක එවෙලෙ කියවලා රඟපාන ටෙලිනාට්‍ය සංස්කෘතියක් මේ රටේ තියෙන්නේ. එහෙම නැතිව මේ වැඩේ මහන්සි වෙලා කරමු කියලා හැම රංගන ශිල්පියෙක්ම මේ සඳහා සෑහෙන කැපවීමක් කරනවා.
"කූඹියෝ"න්ගෙන් පසුව මේ ධාරාවේ කතා තේමාවෙන් යුතු නිර්මාණ ගොඩක් හැදුණා.
විවිධ නිර්මාණවල විවිධ ශානරයන් තියෙන්නේ. ආදරයෙන් බැහැරව ක්‍රියාදාම ආදියෙන් යුතු නිර්මාණවලත් විවිධත්වයක් තියෙනවා. ඒ හැම නිර්මාණයක්ම එකම වගේ නෙමෙයි. මම විශ්වාස කරනවා අපි කරන නිර්මාණ යථාර්ථවාදී සංකල්පවලින් යුක්ත වෙන්න ඕනේ. තාර්කික බවක් තියෙන්න ඕනේ. කූඹියෝ වගේ සාර්ථක වුණු නිර්මාණ සමඟ ප්‍රේක්ෂකයා ඉන්න හේතුවත් එයමයි.
මේ කතාව පාතාලයට සම්බන්ධ නිසා එහි සැබෑ සාමාජිකයින්ගෙන් ප්‍රතිචාර ලැබෙන්න ඇති?
මේ ටෙලිනාට්‍යයේ එක රූගත කිරීමක් තිබුණා වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ. අපි ගිහින් විවිධ වර්ගයේ වැරදි කරපු අයව මුණගැහුණා. ඒ අයගෙන්, ආරක්ෂක අංශවලින්, දේශපාලනයට සම්බන්ධ අයගෙන්, පුවත්පත් මාධ්‍යවේදීන්ගෙන් අපි මේ මිනිස්සු ගැන අදහස් ගත්තා. සමහර ඇත්ත පාතාලයට සම්බන්ධ අයව හොයාගෙන යන්නත් සිද්ධ වුණා. ඒ අය මේ වැඩේ ගැන හරිම සතුටුයි. "මෙන්න මේ ඇක්ෂන් එකත් දාන්න, මෙන්න මෙහෙමනෙ අපි කරන්නේ..." වගේ උද්‍යෝගිමත් අදහස් ඔවුන්ගෙන් ලැබුණා.
ටෙලිනාට්‍යය රූගත කරද්දි වුණු අමතක නොවන සිදුවීම් ගැන මතක් කළොත්?
"Once upon a time in Colombo" ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කළේ මාළිඟාවත්ත ප්‍රදේශයේ. මාලිඟාවත්ත කියන්නේ කලාකරුවන් ගොඩක් බිහිවුණු කලාවට සෑහෙන්න ආදරේ මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. ඒ අය අපට සෑහෙන්න උදවු කළා රූගත කිරීම්වලට ඔවුන්ගේ ඉඩකඩ ලබාදීලා. යම් පිරිසකට මේ නිර්මාණය ඔවුන් ජීවත්වෙන ප්‍රදේශය පිළිබඳව පහත් අදහසක් ලබාදෙන්නක් බවට මතයක් සහ යම් විරෝධයක් තිබුණා. අපි ඔවුන්ට කරුණු පහදාදුන්නා. දැන් ඔවුන් ඒ දෙස බලන්නේ හුදෙක් නිර්මාණයක්ය යන අදහසින් විතරයි. අපේ සමහර ජවනිකාවලට ඒ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වෙන මිනිස්සුත් සහභාගී කරගත්තා. අපේ ටෙලිනාට්‍යයේ රූගත කිරීමක් තිබුණා පාලිත සිල්වා බයිසිකලයක් පැදන් යන ජවනිකාවක. ඒ රූගත කිරීමෙදි එකසැරේ මනුස්සයෙක් "අඩෝ අනගාරික ධර්මපාල කොහෙද මේ බයිසිකල් පදින්නේ" කියලා ඇහුවා. මොකද අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ චිත්‍රපටයේ ධර්මපාලතුමාගේ චරිතය කළේ පාලිත අයියා. ඒ සිදුවීම නම් අපිට අමතක වෙන්නේ නැහැ.
චමිල් ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?
මම ආස වුණේ පොඩි කාලේ ඉඳලා සමාජය දිහා ඕනාවට වඩා එබිලා බලන්න. ඒ තුළින් මම ආස වුණා විවිධ කතා කලා මාධ්‍යයක් හරහා කියන්න. ඒ කාලේ ගීත රූපරචනා ලොකුවට ජනප්‍රිය නැහැ. කතන්දර කීමේ කලාව ගැන මම හොයන්න ගත්තා. ඒක මට හොඳට පුළුවන් බව දැනුණා. ඒ අතරවාරයේ මට අලුත් ක්ෂේත්‍රයක් හමුවුණා 3D Animation කියලා. චිත්‍රපට බලද්දි අපිට දකින්න ලැබෙන විශේෂ ප්‍රයෝග ගැන හදාරන්න මම යොමුවුණා. එතකොට මම උසස් පෙළ හදාරන කාලේ. මම උසස් පෙළට කළේ වාණිජ විෂයන්. නමුත් මම කැමැත්ත තිබුණේ කලාවට. චිත්‍රපට, ටෙලිනාට්‍යවලට. ඊටපස්සේ මම පෞද්ගලික ආයතන දෙකක ත්‍රිමාණ සජීවිකරණය ගැන උගන්වනවා. ඒ විෂය උගන්වමින් ඉන්නකොට මට අවශ්‍ය වුණා කලාව පැත්තෙන් මොකක්හරි වැඩක් කරන්න. ඒකේ මූලාරම්භය විදිහට කෙටි චිත්‍රපට හදලා අත්හදා බැලීම් කළා.
රූපරචනා ක්ෂේත්‍රයට ආවේ මේ කාලෙද?
ඔව්. මේ වකවානුවේදී ලංකාවේ ගීතවලට රූපරචනා හැදෙන්න ගත්තා. මට ටිකක් ඒ ක්ෂේත්‍රය ගැන උනන්දුව වැඩි වුණා. මොකද චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් වගේ නෙමෙයි, ගීතයක රූපරචනාවක් කරලා ඉක්මන්ට ඒක රසවිඳීන්න දෙන්න පුළුවන්. ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. මම මුලින්ම කළේ රන්දීර් විතානගේ ගීතයේ රූපරචනාව. ඒ 2009දී.
"Once upon a time in Colombo" කතාවේ ඉදිරිය කොහොම වේවිද?
ටෙලිනාට්‍යයේ කොටස් අසූවයි. කතාවේ අවසානයක් තියෙන නිසා ඉන් එහාට ටෙලිනාට්‍යය යන එක තේරුමක් නැහැ. කතාවේ අවසානයේදී ප්‍රේක්ෂකයන්ට බලය මූලික වුණු රටේ දේශපාලනය හස්ථ අතින් මේ හැමදෙයක්ම පාලනය වෙනවා කියලා වැටහේවි.