කෙටි චිත්‍රපට හරහා රංගනයට පිවිසි බුද්ධික හසිත

පෙබරවාරි 24, 2022

 

බොහෝ දෙනෙක් කලාවෙන් බොහෝ දේ උපයා සපයා ගත්තද කලාව වෙනුවෙන් පෙරලා කුමක් කරන්නේද යන්න සිතා බැලිය යුතුකාලයක ඔහුගේ අභිප්‍රාය වන්නේම කලාවට සේවයක් කිරීම. කලා ලෝකයේ විවි ධ පැතිකඩ ඔස්සේ සිය ප්‍රතිභාව පෙන්වන ඔහුඉදිරියේ දී නිර්මාණකරණයටත් පිවිසෙන්න බලාපොරොත්තු වෙනවලු. නමින් ඔහු බුද්ධික හසිත. සරසවිය අපව සොයාගෙන රුවන්පුරේ සිට පැමිණි ඔහු වෙනුවෙන් අපේ ඉඩ වෙන් වුණේ මෙලෙස.

 

 

අලුත් වැඩකටයුතු මොනවද?

සුනිල් ටී ප්‍රනාන්දුගේ 73 වැනි සිනමා නිෂ්පාදනය, ලාල් ප්‍රියදේව 17 වැනි අධ්‍යක්ෂණය 'මේක පුදුම කතාවක්' සිනමා පටයේ වැඩපසුගියදා නිමවුණා. එහි මම රහස් පරීක්ෂකයෙකුගේ චරිතයක් මා නිරූපණය කළා. එය ටිකක් දිගට දිවෙන චරිතයක්. ඊට අමතරවමා ෂැඩෝ ඔෆ් ද සෝල් කියන කෙටි චිත්‍රපටයටද රංගනයෙන් දායක වුණා. තවත් චිත්‍රපටයකට හා ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. චිත්‍රපටය සුනිල් ටී ප්‍රනාන්දුගේ 74 වැනි නිෂ්පාදනය. එහි කටයුතුද එළැබෙන මස ආරම්භ කිරීමටබලාපොරොත්තුවෙනවා.

රංගනය ඔබේ වෘත්තීයද?

ක්ෂේත්‍රයට ආ මුල් කාලයේ සිටම මට රංගනය වෘත්තීය කරගැනීමේ කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. මෙය මා කරන්නේ මා එයින් යම් ආස්වාදයක් ලබන නිසාම පමණයි. රංගනයට මම කැමැතියි. මාගේ මුල්ම රැකියාව හේලිස් සමූහ ව්‍යාපාරයෙන් මා ආරම්භකළේ. පසුව මා රැකියා කිහිපයක් කළා. ඒ කාලයේදී මා ව්‍යාපාරිකයෙක් ලෙස ස්ථාවර වුණා. දැනට මගේ කාලයෙන් සියයටපනහක් පමණ මගේ ව්‍යාපාරික කටයුතු සඳහා ලබා දෙනවා. ඉතිරි සියයට පනහයි මාගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දේටවෙන් කරන්නේ. වෘත්තීය කලාකරුවෙක් වීම අද කාලයේ ඉතාම දුෂ්කර දෙයක්.

 

ඔබ අංගරචනා ශිල්පියෙක්?

මගේ ගුරුවරයා ඊබට් විජේසිංහ නම් ප්‍රවීණ අංගරචනා ශිල්පියා. ඒ සඳහා මට ඒ ශ්‍රේණියේ සහතික තිබෙනවා. එයත් මට හොඳඅත්දැකීමක් වුණා කලාව තුළ නියැළෙන්න.

 

රංගනයේ යෙදෙන අතරතුර කලාව වෙනුවෙන් ඔබ යමක් කරනවා?

ඔව්. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මේ ක්ෂේත්‍රය තුළ දියුණු විය යුතු යම් යම් දේ මම දුටුවා. එකක් නම් මා කළ කෙටි චිත්‍රපට උලෙළ. අද කෙටි චිත්‍රපටයක් තනන්නා දිනෙක මහා නිර්මාණ රැසක නිමැවුම්කරුවා වේවී. ලංකාවේ සිටි ප්‍රවීණ සිනමාවේදීන් බොහොමයක් මුලින් නිමකළේ කෙටි චිත්‍රපට. එය ලොකු අත්දැකීම්ක් වෙනවා මහා සිනමාවට. මා 2012 වසරේ රත්නපුරයේ සලරූ නම් කෙටි චිත්‍රපට උලෙළක් සංවිධානය කළා. එයත් සමඟ නැවත කෙටි චිත්‍රපටය පණගැන්වුණා. නතර කරලා තිබූ උළෙල නැවත ආරම්භ වුණා. 2017 දී නැවතත් මා සිනෙත්වින් නම් චිත්‍රපට උලෙළ පැවැත්වූවා. මේ තුළ මටත් ප්‍රසිද්ධියක් ලැබුණා කෙටි චිත්‍රපට සංවිධායකවරයෙකු ලෙස.

 

මියුසික් වීඩියෝ ගැනත් ඔබ හිතලා තිබුණා?

ලංකාවේ මේ වනවිට ජනප්‍රියම කලාවක් බවට මියුසික් වීඩියෝ පත්වෙලා. අලුතින්ම නිර්මාණ කරන නවකයින්ට ඉතාම අමාරුයි මේකන්ද තරණය කරන්න. බොහෝ දෙනා මෙය අවඥාවෙන් බැහැර කළා. ඔය අතරෙදි මා ඒ සඳහා වැඩසටහනක් සංවිධානය කළා. මෙයත් නිර්මාණාත්මක කලාවක්ය යන්න පෙන්වීමට මට අවශ්‍ය වුණ. සමාජ කතිකාවතක් ආරම්භ කළා. එය සමාජ මාධ්‍ය යොදාගනිමින් කළ එකක්. කොහොමද මියුසික් වීඩීයෝවක් නිර්මාණය කරන්නේ යන්න පිළිබඳව.

 

චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔබටත් ඇති අදහසක්?

ඔව් අනිවාර්යයෙන් තියෙනවා. කෙටි චිත්‍රපට පිළිබඳ මට අත්දැකීම් තියෙන නිසා මගේ ඊළඟ බලාපොරොත්තු චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම.

 

ඔබ විජය කුමාරතුංගයන්ට බොහො සෙයින් ආදරය කරන කෙනෙක්?

විජය කුමාරතුංග කියන රංගන ශිල්පියාට ලොකු ආකර්ෂණයක් තිබුණා. සිනමාව පමණක් නොවේ දේශපාලනය මානවාහිතවාදීකම ආදීය එක්ක අද්විතීය භූමිකාවක් එතුමා නිරූපණය කළා. ඔහුව වසරකට දෙවතාවක් සමරනවා. ඒ පෙබරවාරි 16 එතුමා ඝාතනයට ලක් වූ දවස සහ ඔක්තෝබර් 9 එතුමාගේ ජන්ම දිනය. හැමදාම වෙනස් දේ කරන්න උත්සාහා කරන කෙනෙක්විදිහට මම කල්පනා කළා විජය කුමාරතුංගයන්ගේ නම සහ දර්ශනය ඉදිරි පරම්පරාවට අරගෙන යන්න ක්‍රමවේදයක් හදන්න. ඒකට විජය කුමාරතුංග සමඟ එකට වැඩ කළ ලංකාවේ ප්‍රවීණයෝ බොහෝදෙනෙක් මට උදව් කළා. වසරකට දින දෙකකට සීමානොවී අවුරුද්ද පුරාම ඔහුව සමරනවා. එය කරන්නේ යූටියුබ් තුළ. ඔහුගේ වාර්තා චිත්‍රපටයක් ඉදිරියේදී නිර්මාණය කිරීමටබලාපොරොත්තුවෙනවා.

 

කෙටි චිත්‍රපට කලාව අපේ රටේ මොනවගේ තැනකද තියෙන්නේ?

මහා සිනමාව දියුණුවීම තුළින් කෙටි චිත්‍රපට කලාවද යම්කිසි දියුණුවකට ලක් වෙනවා. මුලින් අප මහා සිනමාව පිළිබඳ සිතිය යුතුයි. කෙටි චිත්‍රපට අවුරුද්ද පුරාම කෙරෙනවා. එයට මහා ලොකු මුදලක් දරන්න අවශ්‍ය නෑ. ජංගම දුරකතනයෙන් වුණත් කරන්න පුළුවන්. මේවට ජාත්‍යන්තර සම්මාන පවා ලැබෙනවා. නිර්මාණකරුවෙකුට නිර්මාණකරණයට ප්‍රවේෂයක් ගන්න කෙටි චිත්‍රපටය හොඳ මෙවලමක්.

 

ඔබ කලාවට එන්නේම සේවයක් කරන්න කියලයි මට හිතෙන්නේ?

මුලින්ම මම රඟපෑවා. ඉන්පසු නිවේදනයට එකතු වුණා. මම ක්ෂේත්‍රයට ආ මුල් කාලයේ මට විදින්න වූ ඇතැම් දේ මට පසුව එනකෙනෙකුට නොවෙන්නයි මට ඕන. ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේ ඇති අඩු ලුහුඩුකම් හඳුනාගෙන සේවයක් කිරීමට මම කැමැතියි.

 

 

 

සේයාරූ - ගයාන් පුෂ්පික