අපේ සිනමාවේ විප්ලවකරුවා

ආචාර්ය ධර්මසේන පතිරාජ
ජනවාරි 27, 2022

 

සිංහල කථානාද සිනමාව බිහිවී වසර 75 ක් සපිරෙන ජනවාරි මාසය අවසන් වන්නේ සිංහල සිනමාවේ විප්ලවීය මං සලකුණු සනිටුහන් කළ ප්‍රවීණ සිනමාකරු ධර්මසේන පතිරාජයන්ගේ අභාවයෙන් සිව් වසරක් පිරීම සනිටුහන් කරමිනි. පතිරාජයන් 2018 ජනවාරි 28 වැනිදා අපතරින් සමුගන්නා අවස්ථාව වන විට ප්‍රදර්ශනය කළ වෘත්තාන්ත චිත්‍රපට 9 ක්ද, ප්‍රදර්ශනය නොවූ වෘත්තාන්ත චිත්‍රපට 3 ක්ද අධ්‍යක්ෂණය කොට තිබිණ. ඊට අමතරව කෙටි හා වාර්තා චිත්‍රපට මෙන්ම රූපවාහිනී නිර්මාණ විශාල ප්‍රමාණයක් නිර්මාණය කොට තිබිණ.

ප්‍රදර්ශනය කළ වෘත්තාන්ත චිත්‍රපට වන්නේ “අහස් ගව්ව”, “එයා දැන් ලොකු ළමයෙක්”, “බඹරු ඇවිත්”, “පොන්මනී”, “පාර දිගේ”, “සොල්දාදු උන්නැහේ”, “මතු යම් දවස”, “සක්කාරං” හා“ස්වරූප” යි. 83 ජාතිවාදී කළකෝලහල අවස්ථාවේදී “විජය” චිත්‍රාගාරය ගිනිබත් කළ විට විනාශ වූ “ෂෙල්ටන් හා කාන්ති” මෙන්ම “සිරකඳවුර” චිත්‍රපට ද්වයත්, නිෂ්පාදිකා ගීතා කුමාරසිංහ ප්‍රදර්ශනය නොකිරීමට තීරණය කළ “වාසුලි” චිත්‍රපටයත් ප්‍රදර්ශනය නොවූ චිත්‍රපට වේ.

වේදිකා නාට්‍ය හා සිනමාව හැරුණු කොට ධර්මසේන පතිරාජ සාර්ථකව ජයගත් ක්ෂේත්‍රයක් වන්නේ රූපවාහිනී නාට්‍යයි. සිනමාවේ නිහඬව සිටි කාලය තුළ පතී ටෙලි නාට්‍ය ගණනාවක් නිර්මාණය කළේ පුංචි තිරයේ සීමාවන් අතික්‍රමණය කරමිනුයි. “'ගඟුලෙන් එගොඩට”, “මායාමන්දිර”, “ඇල්ල ළඟ වලව්ව”වැනි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍යවලින් ඇරැඹි ගමන “කඩුල්ල”, “සුබ අනාගතයක්”, “නාඳුනන පුත්තු”හරහා නව ඉසව් සොයා ගිය අතර“පුරසක්මන”, “දුර්ගාන්තය”,”කම්පිත විල්”ද ඒ ගමනේ ලද අස්වැන්නයි.

“සතුරෝ” කෙටි චිත්‍රපටයෙන් සිය සිනමා ගමන ආරම්භ කළ “අහස් ගව්ව” සිට “ස්වරූප” දක්වා වෘත්තාන්ත චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ ලාංකික සිනමාවේඅතිශය දේශපාලනික, විප්ලවීය සිනමාකරුවා වන ධර්මසේන පතිරාජ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ අභූත රූපී (ඒඡඵබපචජබ) නාට්‍ය රචකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙසිනි. 1970 සැප්තැම්බර් 8 වනදා හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේදී මුල්වරට රඟදැක් වූ ධම්ම ජාගොඩ නිෂ්පාදනය කළ “කොරා සහ අන්ධයා” වේදිකා නාට්‍යය පතිරාජගේ රචනයකි. “කොරා සහ අන්ධයා” සිංහලෙන් රචනා කළ ප්‍රථම අභූත රූපී නාට්‍යය ලෙස සැලකේ.

“සතුරෝ” කෙටි චිත්‍රපටයට ප්‍රස්තූත වන්නේ නාගරික සමාජ පසුබිමක වෙසෙන, විරැකියාවෙන් පෙළෙන නිර්ධන පාංතික තරුණ පරපුරේ ඛේදවාචකයයි. 1970 දී පැවැති තුන්වැනි විචාරක සම්මාන උලෙළේදී “සතුරෝ” කෙටි චිත්‍රපටයට විශේෂ ගෞරව සම්මාන සහතිකයක් පිරිනැමුණු අතර රැකී රක්ෂා වියුක්තිය පදනම් කරගෙන තරුණ පරපුර මුහුණ දෙන අසහනය අවබෝධයකින් යුක්තව ග්‍රහණය කොටගත් චිත්‍රපටයක් ලෙස විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර විය.

“සතුරෝ” කෙටි චිත්‍රපටයේ දිගුවක් හෝ විස්තාරණයක් ලෙස සැලකිය හැකි "අහස්ගව්ව” වෘත්තාන්ත චිත්‍රපටයේ පතිරාජ යොදා ගන්නේ ඉතා නිදහස් සිනමා ප්‍රකාශන ශෛලියකිනි. 1960 දශකයේ සිට දරුණු ලෙසින් සමාජ දේහය අභ්‍යන්තරය පැසවමින් තිබූ, 1971 දී පුපුරා ගිය යෞවන ප්‍රශ්න දෙස පෙරළිකාර පුළුල් දෘෂ්ටියකින් බැලීමට ධර්මසේන පතිරාජ උත්සුක විය.

‘කලාව ජනතාව සඳහාය’ යන සංකල්පය ප්‍රචාරකවාදී කලාවක් සඳහා අර්ථ ගන්වා ගත් කලාකරුවන් සිය නිර්මාණ මඟින් සෘජු දේශපාලන ප්‍රචාරක පණිවුඩ නිකුත් කරද්දී, එසේම සමාජ ආර්ථික කේන්ද්‍රයේ වඩාත් තීරණාත්මක සංධිස්ථානයක් සටහන් වූ වකවානුවක බිහි වූ “අහස් ගව්ව” පොදු ප්‍රේක්ෂකයාට මතු නොව සිනමා විචාරකයන්ට ද ගෝචර නොවීය. නැතහොත් ග්‍රහණය කොට ගැනීම අසීරු විය.

1974 දී තිරගත වූ “අහස් ගව්ව” යනු සිංහල සිනමාවේ කඩඉමක් සනිටුහන් කළ චිත්‍රපටයකි. ඉන්දීය මොඩලයට හැඩගැසුණු සිංහල සිනමාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ඒමට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කැරැල්ලෙන් පසු මතවාදීමය ලෙස පිමි ගණනාවක් ඉදිරියට ගෙන යමින් යථාර්ථවාදී රීතියකින් දේශපාලන කතිකාවකට එළැඹෙන්නේ ධර්මසේන පතිරාජ නම් වූ විප්ලවීය කැරැලිකරුවාය.

“බඹරු ඇවිත්”, “පාර දිගේ”, “සොල්දාදු උන්නැහේ” හා “ස්වරූප” යන චිත්‍රපට පතිරාජගේ දේශපාලන සිනමාවේ නොමැකෙන මං සලකුණු වෙයි. ඒ අතරින් “පාර දිගේ” හා “ස්වරූප” යනු ලෝක සිනමාවේ බිහි වූ විශිෂ්ට චිත්‍රපට අතරට තරගකාරි ලෙස එක්කළ හැකි බව මගේ හැදෑරීමය.

“පාර දිගේ” සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චිත්‍රපටය වුවද 1982 වසරේ පැවැති සියලුම සම්මාන උලෙළවලදී කිසිදු සම්මානයක් නොලැබීම ප්‍රශ්නකාරී වනවිට පතිරාජ පවසන්නේ සිනමාව දෙස පුළුල් දෘෂ්ටියකින් බලන්නට සමත් ජූරිසභිකයන් විනිශ්චය මණ්ඩලවල නොසිටි බවයි. ජූරි සභිකයන් පමණක් නොව විචාරක -ප්‍රේක්ෂක පිරිස වෙතින් ද ප්‍රතික්ෂේප වූ “පාර දිගේ” සති දෙකකට අඩුකාලයකදී සිනමා ශාලාවලින් ඉවත් වුව ද පසුකාලීනව එම චිත්‍රපටය ඇගයීමට ලක්වීමෙන් පෙන්නුම් කරන්නේ ධර්මසේන පතිරාජ ලාංකික ප්‍රේක්ෂක හා විචාරක ප්‍රජාවට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් සිටි බවය.

“පාර දිගේ” චිත්‍රපටය මුළුමහත් සිංහල සිනමා ඉතිහාසය තුළ ප්‍රේක්ෂකයින් හා විචාරකයින් වඩාත්ම වල්මත් කළ චිත්‍රපටය වේ.

ධර්මසේන පතිරාජගේ සිනමා ගමනේ විශිෂ්ටතම ඵලය වන “පාර දිගේ” සම්මත විචාර මිනුම් දඬු මතින් විග්‍රහ කළ හැකි චිත්‍රපටයක් නොවේ. අතිශය දේශපාලනික කතාබහක නියැළෙන පතිරාජ ඒ බව එක එල්ලේම දැනෙන්නට ඉඩ හැර නොතිබීම මේ චිත්‍රපටයේ විශේෂත්වයය.

“'පාර දිගේ”හි එන ප්‍රමුඛ පාත්‍ර වර්ගයා වන චන්දරේ හා ස්වර්ණා යනු ලාංකික පහළ මැද පාන්තික තරුණ පරම්පරාවේ නියෝජනය වෙයි. ගමෙන් නගරයට සංක්‍රමණය වී ගෙන්දගම් පොළොවේ, කොන්ක්‍රිට් වනාන්තරයේ අතරමං වී නන්නත්තාර වන තරුණ පරම්පරාවේ ඛේදවාචකය යනු මෙරට දේශපාලනයේ පවතින ම්ලේච්ඡ අධිකාරවාදයේ පිළිබිඹුවයි. මුළු මහත් සමාජ ක්‍රමයෙන්ම පරාරෝපිත තරුණයකු වූ චන්දරේගේ ජීවිතයේ පවතින අසංවිධිතභාවය පිටුපස වන ඛේදය ඉතා සංවේදීව අවබෝධ කොට ගත යුත්තකි.

“පාර දිගේ”හි වැදගත් වන්නේ ඊට පාදක වන කතා පුවත නොවේ. ඉන් නිරූපණය වන නාගරික පහළ මධ්‍යම පාංතික තරුණ පරපුරේ ඛේදවාචකය විශ්ලේෂණය කරන ආකාරය හා විලාසයයි. ශීඝ්‍ර කාර්මිකකරණයකට හා නාගරිකරණයට හසු වී නවීණකරණය ඉදිරියේ අන්දමන්දව වල්මත් වන තරුණපෙළට මුහුණ දෙන්නට සිදු වන අතෝරයක් වූ ව්‍යසන අප තේරුම් ගත යුත්තේ කෙසේද?, චන්දරේ ලවා පතිරාජ වරෙක ප්‍රකාශ කරවන පරිදිම 'අපි හරියට විසි කරපු එරඬු දඬු වගේ... අපට මුල් නෑ... ඒත් දළු එනවා' යන කියමන මේ පරම්පරාව තේරුම් ගැනීමට කෙරෙන ප්‍රබලතම ඉඟියකි.

පතිරාජ සම්මත ආකෘතියක කොටු වූ ගතානුගතික සිනමාකරුවන් මෙන් නොව දැඩි සූක්ෂමතාවකින් යුතුව ප්‍රේක්ෂකයා ඔවුනොවුන්ගේ ඇතුළු හදවත් වෙතට කැඳවාගෙන යන්නේ දැඩි ආතතියක් (ඊඥදඵඪධද) ගොඩනඟමිනුයි. ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් දිවෙන යථාර්ථය සම්ප්‍රදායික ආකෘතියෙන් ග්‍රහණය කොට ගැනීමට නොහැකි බව පතිරාජ මැනවින් තේරුම් ගත් බව නිසැකයි. අතිශය දේශපාලන සිනමාකරුවකු වන ආර්ජන්ටිනාවේ ෆර්නැන්ඩෝ සොලනාස් පැවසූ 'ප්‍රක්ෂේපණ යන්ත්‍රය වූ කලී තත්පරයට රූප රාමු 24 කින් වෙඩි තැබිය හැකි තුවක්කුවකි' යන කියමන පතිරාජ තුළ විශාල උත්තේජනයක් ඇති කළා නිසැකයි. 1981 දී තිරගත වූ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටය ඊට දෙස් දෙයි.

පතිරාජ අධ්‍යක්ෂණය කළ දැනට අවසන් වරට තිරගත වී ඇති “ස්වරූප" චිත්‍රපටය ඔහුගේ සිනමාවේ කූටප්‍රාප්තියයි. “ස්වරූප” චිත්‍රපටයට ද සිදු වූයේ “පාරදිගේ”ට සිදු වූ අභාග්‍යමදැයි විමසීම වටී. “පාර දිගේ” මෙන්ම “ස්වරූප” ද සතිදෙකකට අඩු ප්‍රදර්ශන කාලයකදී සිනමා ශාලාවලින් ඉවත් වූයේ සිනමාව පිළිබඳ විශේෂ අවධානයකින් යුතු ප්‍රේක්ෂකයා පවා එනමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වූයේ දැයි දැනගන්නටත් පෙරය.

ඊට හේතුව සිනමාකරුවකු ලෙස ප්‍රචාරාත්මක කාර්යයේදී හා අලෙවිකරණයේ දී පතිරාජ දක්වන අඩු සැලකිල්ල ලෙස යමෙකු අර්ථ දැක්වූවහොත් මා ඊට විරුද්ධවන්නේ නැත.

අන්තර්ගතය, ආකෘතිය, ආඛ්‍යාන රටාව හා සිනමා භාෂාව හැසිරවීම යන කාරණා පිළිබඳ සලකා බැලීමේදී “ස්වරූප” යනු පතිරාජගේ සිනමාවේ අග්‍ර ඵලයක් වන්නාසේම සිංහල සිනමාවේද හැරවුම් ලක්ෂයක් වේ. තිරගත වූ අවදියේ සිට මේ දක්වාම“ස්වරූප” පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩනැඟුණේ නැති වුව ද අනාගතයේ දිනෙක සිංහල සිනමාව පිළිබඳ අලුතින් ලියැවෙද්දී ‘ස්වරූප’ නිසි පරිදි උත්කර්ෂයට නැංවෙනු ඇති බව නොඅනුමානය.

1978 දී තිරගත වූ “බඹරු ඇවිත්”ප්‍රබල සිනමාරූපී දර්ශන අඩංගු කෘතියක් බව අවිවාදිතයි. ශුෂ්ක පරිසරයක පිහිටි ධීවර ගම්මානයක ජනතාව නව ධනේශ්වර පන්තියේ ප්‍රාග්ධන ආධිපත්‍යයට නතු වූ සූරාකෑමට ලක්වන ආකාරයත්, පැරැණි ජාවාරම්කාරයන් හා නව ජාවාරම්කාරයන් අතර හට ගන්නා වෙළෙඳ යුද්ධයත්, එමඟින් ගමේ පාරම්පරික සම්බන්ධතා බිඳවැටීමත්, අවසානයේ නව ප්‍රාග්ධන ආධිපත්‍යය සහ ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය (එනම් පොලීසිය) ගම ආක්‍රමණය කොට ධනේශ්වර ක්‍රමයේ පරාමාධිපත්‍යය තහවුරු කිරීමත් 'බඹරු ඇවිත්' සිනමාපටයෙන් අපූරුවට ගොඩ නගා ඇත.

පතිරාජගේ සිනමා භාවිතාව හා කලා දිවිය විමසීමේදී ඔහු නිර්මාණය කළ එහෙත් විවිධ හේතූන් නිසා ප්‍රදර්ශනය නොවූ චිත්‍රපට ගැනද සඳහනක් නොකරන්නේ නම් හි ඩැසක් ඇතිවන බව මගේ විශ්වාසයයි.

අහස් ගව්වෙන් පසු පතිරාජ නිර්මාණය කළ “එයා දැන් ලොකු ළමයෙක්”චිත්‍රපටයයි. ඒ සමඟම ඔහු “ෂෙල්ටන් සහ කාන්ති” නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ ද එය නිම කළේ 80 දශකයේ මුල් භාගයේදීය.

“ෂෙල්ටන් සහ කාන්ති” පතිරාජගේ සිනමාවේ වෙනස් ආරක් ගත් චිත්‍රපටයක් බව අනුමාන කළ හැක්කේ එහි ගීත හතක් අඩංගු වීමත්, එච්. ආර්. ජෝතිපාල, එම්. එස්.ප්‍රනාන්දු ගීත ගායනා කිරීමත් පිළිබඳ සලකා බලන විටදීය. ඉන් ගම්‍ය වන්නේ ධර්මසේන පතිරාජ ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ද උත්සුක වූ බවය.

නාට්‍ය රචකයකු හා නිෂ්පාදකවරයකු, සිනමා තිර පිටපත් රචකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු මතු නොව රූපවාහිනී මාලා නාට්‍ය අධ්‍යක්ෂවරයකු, ගීත රචකයෙකු, කෙටි කතාකරුවෙකු, නවකතා පරිවර්තකයෙකු ලෙස කලා ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවනට පණ පෙවූ ධර්මසේන පතිරාජ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස නව පරම්පරාවට දැනුම දායාද කළේය. එසේම ධර්මසේන පතිරාජ පර්යේෂකයෙකු ද වේ.

‘සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය’ මැයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සඳහා කළ නිබන්ධය පතිරාජගේ පර්යේෂණ අතර අග්‍ර ඵලයකි. එසේම ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා පතිරාජගේ පර්යේෂණයට අදාළ වූයේ බෙංගාලි සිනමාවයි.

සිනමාව පිළිබඳ පතිරාජ තරම් අධ්‍යයනයක යෙදුණු වෙනත් අධ්‍යක්ෂවරයෙකු සිංහල සිනමාවේ දක්නට නොමැති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලැබූ පතිරාජ කැලණිය, රුහුණු, කොළඹ යනාදී වශයෙන් මෙරට විශ්වවිද්‍යාලයන්හි සිනමාව පිළිබඳ ආචාර්යවරයකු විය.

ඔහු ‘පොන්මනී’ දෙමළ භාෂිත චිත්‍රපටය නිර්මාණය කරන්නේ 70 දශකයේ සුචරිත ගම්ලත් හා සුනිල් ආරියරත්න වැනි ආචාර්යවරුන් සමඟ යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කරන අවධියේ උතුරේ දෙමළ ජන සමාජය පිළිබඳ ග්‍රහණය කොට ගන්නා අත්දැකීම් ඇසුරිණි.

ආගම්වාද, කුල භේද, දෑවැදි ප්‍රශ්නය, ලිංගික සූරාකෑම වැනි අධිපති ප්‍රවාහයේ බල අධිකාරියට නතුව ජීවත් වන්නට පොර බදන යාපනයේ දෙමළ ජනයාගේ සමාජයීය ප්‍රශ්න යථාර්ථවාදීව විවරණය කළ සිනමාපටයක් වන ‘පොන්මනී’ ලාංකික සිනමාවේ 13 වන දෙමළ භාෂිත චිත්‍රපටය වෙයි.

සත්‍යජිත් රායි ඉන්දීය සිනමාව ජාත්‍යන්තරය වෙත රැගෙන යද්දී කැරලිකරුවකු වූයේ රිට්වික් ඝටක්ය. එසේම සිංහල සිනමාව ජාත්‍යන්තරයේ අවධානයට ලක් කිරීමට ලෙස්ටර් ජේම්ස් පීරිස් උත්සුක වෙද්දී ධර්මසේන පතිරාජ විප්ලවීය දේශපාලනික කැරලිකරුවා විය. ඝටක් මෙන්ම පතිරාජ ද මාක්ස්වාදී දේශපාලනයෙන් උත්තේජනය ලැබීම ඊට හේතුව වන්නට පුළුවන.

වාර්තා චිත්‍රපට නිර්මාපකයෙකු, සිනමා තිර නාටක රචකයකු හා අධ්‍යක්ෂවරයකු, විකාර රූපීනාට්‍ය රචකයෙකු හා නිෂ්පාදකයෙකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු මතු නොව කෙටි කතාකරුවකු, පරිවර්තික නවකතා රචකයෙකු මෙන්ම විචාරකයෙකු ලෙස කලාවේ විවිධ භූමිකා රඟදැක්වූ ඔහු අන් සියලු ෂානරයන් සිනමාකරුවෙකුගේ දැවැන්තයෙක් බව සඳහන් කිරීම ධර්මසේන පතිරාජට කරන සැබෑ ගෞරවයකි.