කථානාද දිනපොත

ජනවාරි 20, 2022

1947

ජනවාරි 21

මුල්ම සිංහල කථානාද චිත්‍රපටය තිර ගත වීම-කඩවුණු පොරොන්දුව-නිෂ්පාදනය සුන්දර පිල්ලෙ මධුර නායගම්

අධ්‍යක්ෂණය- ජෝතිශ් සිං

අප්‍රේල් 10- 

අශෝකමාලා

ස්වතන්ත්‍ර කථාවක් සහිත ඵෙතිහාසික පුවතක් රැගත් මුල්ම චිත්‍රපටය

මුල්ම සිංහල චිත්‍රපට අධ්‍යක්ෂ-ශාන්ති කුමාර් සෙනෙවිරත්න අශෝකමාලා තිර ගතවීම.(සම අධ්‍යක්ෂණය- ටී.ආර්.ගෝපු)

පණඩ්ත් අමරදේව (ඩබ්ලිව්.ඩී.ඇල්බට් පෙරේරා) ගායනයෙන් හා සහාය සංගීතයෙන් හා රංගනයෙන් සිනමාවට දායක වීම

ස්වතන්ත්‍ර ගීත සහිත මුල්ම චිත්‍රපටය -සංගීතය මොහමඩ් ගවුස්

ඉන්දියානු ගායක ගායිකාවන් චිත්‍රපට පසුබිම් ගායනට එක්වීම

චිත්‍රපට ව්‍යාපාරයේ පුරෝගමි වූ මුල්ම දේශිය සිනමා ව්‍යාපාරය වන සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමේ නිෂ්පාදනයක්. සිලෝන්තියටර්ස් සමාගම සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කිරිම

ප්‍රථම සිනමා විචාරය අප්‍රේල් මස 27 වැනි දින සිළුමිණ පුවත්පතේ අශෝකමාලා අරබයා පළ වෙයි. මයුරපාද නමින් විචාරය ලියනුයේ මාර්ටිනේ වික්‍රමසිංහ විසිනි.

මැයි 16

සිංහල දෙබස් කවන ලද මුල්ම චිත්‍රපටය තෙළිඟු බසින් තැනුණු ගෘහ ප්‍රවේශම් චිත්‍රපටයට සිංහල දෙබස් කවා මනප්‍රයත්නය නමින් තිර ගත වෙයි.

1948

පෙබරවාරි 23

කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ලංකාවේදී රූප ගත කරයි. ප්‍රථම සිංහල සංගීත අධ්‍යක්ෂවරයාලෙස බී.එස්. පෙරේරා දොරට වඩින්නේ ද එම චිත්‍රපටයෙන්.

මැයි 22-

ඉන්දියානු චිත්‍රපට කථාවක් අනුකරණය කරමින් තැනුණු මුල්ම චිත්‍රපටය දිව්‍ය ප්‍රේමය- අධ්‍යක්ෂණය ඩී.එස් බාබු සහ පී.එන්. ජවේරි-ලයිලා මජ්නු චිත්‍රපටයේ අනුකරණයකි.

1949

අගෝස්තු 19

සිංහලයකු විසින් තනිවම අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය-අම්මා අධ්‍යක්ෂ සිරිසේන විමලවීර

ඔක්තෝබර් 20

පෙරළෙන ඉරණම චිත්‍රපටය නැරඹිමට පැමිණි කොළඹ වේල්ල වීදියේ සාප්පු සේවකයකු වූ මහනුවර එච්.එම්.ජයඅප්පු අධික ජනකායගේ තෙරපීමෙන් මිය යයි.

1950

මිලි මීටර් 16 ප්‍රමාණයෙන් නිෂ්පාදනය වූ මුල්ම සිංහල චිත්‍රපටය ගම්බද සුන්දරී තිර ගත වෙයි. ජෝර්ජ් විජේගුණරත්න ගේ අධ්‍යක්ෂණයක්.

1951

මාර්තු 9

මරදානේ නැෂනල් තියටර් ශාලාව සිනමාස් සමාගම සිනමාහලක් බවට පරිවර්තනය කරනු ලැබ ගාමිණී නමින් විවෘත වෙයි. සිනමාහලට නම තැබූ සිරිසේන විමලවීරගේ සීදේවි මෙහි ආරම්භක චිත්‍රපටයයි.

ජූනි 16

ලාකාවේ ප්‍රථම චිත්‍රාගාරය කඳානේ දී එස්.එම්.නායගම් විසින් ඉදිකරනු ලබයි. සුන්දර සවුන්ඩ් එම චිත්‍රාගාරයේ නමයි

දෙසැම්බර් 22

මුල්ම ලාංකික දෙමළ භාෂිත චිත්‍රපටය කුසුමලතා තිරගත වෙයි අධ්‍යක්ෂණය බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ගෙනි.

1952

මැයි 04

බණ්ඩා නගරයට පැමිණීම

ලංකාවේ චිත්‍රාගාරයක තැනුණු මුල්ම චිත්‍රපටය යි. එමෙන්ම මු්ල්ම හාස්‍යොත්පාදක චිත්‍රපටය වනුයේ ද එම චිත්‍රපටයයි.

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි මුල්ම අධ්‍යක්ෂ රාජා වහාබ් කාශ්මීර් හා ඔහුට පසුව පැමිණි ඒ.භාෂ්කර් රාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලදී

මැයි 9

උමතු විශ්වාසය චිත්‍රපටයේ දී රුක්මණී දේවි මුල්වරට ද්විත්ව චරිත නිරූපණය කළ නිළිය හැටියට වාර්තාවක් තබයි.

ජූලි 1

රොබට් ජයවර්ධන ගේ සංස්කරණයෙන් ප්‍රථම සිංහල සිනමා පුවත්පත ‘සිනමා‘ එළි දකියි.

1953

මැයි 27

කැලෑ හඳ

මුල්වර නවකථාවක් පාදක කරගෙන තැනුණු චිත්‍රපටය .ඩබ්ලියු ඒ.සිල්වාගේ නවකථාවකි. එම චිත්‍රපටයේ ගීත කිහිපයක් වර්ණයෙන් රූප ගත කරනු ලබයි

ප්‍රේමතරගය චිත්‍රපටයේ සංගීතය උදෙසා ආර්.මුත්තුසාමි ඉන්දිය පත්‍රකලාවේදින්ගේ සංගමයේ සම්මානයට පාත්‍රවෙයි

ජූනි 26

සුජාතා සමඟ සීමාසහිත සිනමාස් සමාගම නිෂ්පදනයට එක්වෙයි. එමෙන්ම මරදානේ ගාමිණී සිනමාහල ප්‍රධාන කොට සිනමාස් චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කරයි

සුජාතා චිත්‍රපටයක් සදහා මුල්වරට ට්‍රේලර් පටියක් නිර්මාණය කරන ලබන චිත්‍රපටයයි.

සිනමාවේ සුපිරි තරු සංකල්පය ප්‍රෙම් ජයන්ත් හා ෆ්ලොරිඩා ජයලත් යොදා ගනිමින් ඉස්මතු කරවයි

1954

අප්‍රේල් 09

වරද කාගෙද

එතෙක් පුරුදුව සිටි නාට්‍යානාසාරයෙන් ලියැවුණු සාහිත්‍ය දෙබස් වෙනුට මුල්වරට සාමාන්‍ය ව්‍යවහරයේ එන වදන් හරහා සාමාන්‍ය දෙබස් රචනය කරනු ලබයි. දෙබස් රචක ටී.බී.ඉලංගරත්න යි. කරුණාරත්න අබේසේකර චිත්‍රපට ගීත රචනයට එක්වෙයි.

1955

මාර්තු 04

අශෝකා

සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ අශෝකා චිත්‍රපය තිර ගත වන මුල් අවස්ථාවේ චිත්‍රපටය අවසාන වනුයේ පෙම් යුවළ මිය යාමෙනි. සතිදෙකක ප්‍රදර්ශනයෙන් අනතුරුව ඔවුන් මරණයෙන් පසු එක්වන නැවත සකස් කරන ලදී.

ජූනි 24

සැඩසුළං

මුල්ම ලාංකික දෙමළ අධ්‍යක්ෂවරයා ලෙස ටී. සෝමසේකරන් වාර්තාවක් තබයි

භාරතීය ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් ගී ගයන ලද සිංහල චිත්‍රපටයයි. එමෙන්ම වැඩිම ගීත ගණනක් අඩංගු චිත්‍රපටයයි.

අගෝස්තු 27

මාතලන්

දකුණු ඉන්දියානු ජනකථාවක් අනුව තැනුණු චිත්‍රපටය. එහි ඇඳුම් පැලඳුම් සියල්ල එරටට ගැලපෙන පරිදි සකස් කරන ලදී. මාතලන් චිත්‍රපටයේ කථාව අනුව 1961 වසරේ තෙළිඟු බසින් මංගම්මා සබඳම් නමින් චිත්‍රපටයක් නිර්මාණය විණ.

ප්‍රථම වරට නළුවෙක් ද්විත්ව චරිත නිරූපණයක යෙදුනේ ද මාතලන් චිත්‍රපටයේය. නළුවා ශේෂා පලිහක්කාරයි

* ජනාකර්ශණීය විය හැකි චිත්‍රපට දෙකක් එකවර තිරගත කරවීම වැළැක්වීමට ප්‍රදර්ශක සමාගම් ගිවිසුමකට එළැඹෙයි. . සැඩසුළං හා මාතලන් යන චිත්‍රපට එකවර තිර ගත නොවන්නේ මෙම ගිවිසුමේ අනුවය.

නොවැම්බර් 25

සිරිසේන විමලවීරගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැකෙන පොඩි පුතා තිර ගත වෙයි. එය දීපශිඛා සම්මාන උලෙළේදි හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලදී

1956

පෙබරවාරි 2

මදුරාසියේ ප්‍රධානතම සිනමා සමාගමක් හා චිත්‍රාගාරයක් වන ඒ.වී.එම් සමාගම ඔවුන්ගේ එකම සිංහල භාෂිත චිත්‍රපටය දොස්තර නිෂ්පාදනය කොට ප්‍රදර්ශනය කරනු ලබයි.අධ්‍යක්ෂ කේ.ශංකර්. සුපිරි බොලිවුඩ් තරුවක් වූ භගවාන් දොස්තර චිත්‍රපටයෙන් සිංහල චිත්‍රපටයක රංගනයට දායක වෙයි

මාර්තු 20

මෙරට ප්‍රථම සිනමා ත්‍යාග උත්සවය දිනමිණ රඟමඬල චිත්‍රපට තරගය පැවැත්වේ

මැයි 18

විනිශ්චය මන්ඩලයකින් යුත් ප්‍රථම සිනමා උලෙළෙ දීපශිඛා සම්මාන උලෙළ පැවැත්වෙයි

අගෝස්තු 10

විදෙස් නවකථාවක් ඇසුරෙන් තැනුණ මුල්ම චිත්‍රපටය මිත්‍රදාස් අධ්‍යක්ෂණය කළ දුප්පතගේ දුක තිරයට එයි. එය වික්ටර් හියුගෝ ගේ ලෙ මිසරාබ්ල පාදක කර තැනුවකි

සැප්තැම්බර් 9

පුරෝගමී සිනමා සමාගමක් වන සීමාසහිත සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට්ස් සමාගම සුරතලී නිෂ්පාදනය කරමින් නිෂ්පාදනයට පිවිසෙයි. එච්.ආර්.ජෝතිපාල, ආනන්ද ජයරත්න සිනමාවට පිවිසෙන්නේ එමගින්ය. චිත්‍රපටය බෙදාහරිනු ලබනුයේ ද සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට්ස් සමාගම විසිනි.

ඔක්තෝබර් 5

මිලිමීටර් 16 ප්‍රමාණයෙන් නිෂ්පාදිත ලාංකේය ඉංගිසි චිත්‍රපටයක් වන ලිටිල් බයික් ලොස්ට් තිරගත වෙයි. එහි අධ්‍යක්ෂ නොයෙල් කෲස් ය

දෙසැම්බර් 28

රේඛාව

සිංහල සිනමාව මුල් වරට රුපීය භාෂාව අනුව යමින් තැනුණු රේඛාව තිරයට ගෙන එයි.

කාන් සිනමා උලෙළ නියෝජනය කරමින් මුල්වරට විදෙස් සිනමා උලෙළක් නියෝජනය කළ සිංහල චිත්‍රපටය යි.සැබෑ දේශීය සිනමා කලාවේ ආරම්භය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව යැයි විචාරකයෝ සඳහන් කරති.

*ඉන්දියාවට ගොස් චිත්‍රපට නිපදවීම වෙනුවට මෙරට චිත්‍රගාර ඉදි කොට චිත්‍රපට නිෂ්පාදනය මෙරට දීම ආරම්භ කරන ලෙස රජය දන්වා සිටියි. සිංහල චිත්‍රපට ගීත අසිංහලෙන් ගැයීමෙන් වන හානිය ගැන කඩුගන්නාව මන්ත්‍රි සී.ඒ.එස්.මරික්කාර් පාර්ලිමේන්තුවේදී හඬ නගයි

1957

කරුණාපාල ප්‍රනාන්දු හා ජී.ඩී.එල්. පෙරේරා සම අධ්‍යක්ෂණය කළ වනගත කොල්ලා පෞද්ගලිකව තිර ගත කළ ප්‍රථම සිංහල චිත්‍රපටයයි. මිලි මිටර් 16 ප්‍රමාණයෙන් නිෂ්පාදතයි.

ජූනි 27

සිරියලතා චිත්‍රපටයෙන් මුල්ම චිත්‍රපට සම නිෂ්පාදිකාව ලෙස රුක්මණී දේවී වාර්තාවක් තබයි.

ඔක්තෝබර්

කොළඹ නාරාහේන්පිට කිරුළ පාරේ පරාක්‍රම සිනමාහල වටා ඉදි කළ සිලෝන් තියටර්ස් සමාගමේ සිලෝන් ස්ටුඩියෝ විවෘත වෙයි.

නොවැම්බර් 29

සරදම් චිත්‍රපටයෙන් ජෝ අබේවික්‍රම රඟපෑ චිත්‍රපටයක් මුල්වරට තිරයට ආ අවස්ථාවයි

දෙසැම්බර් 13

කොයිම්බතූර් හි පක්ෂිරාජා චිත්‍රගාරය මඟින් භාෂා හයකින් යුත් චිත්‍රපටයක් නිර්මාණය කරන අතර එයින් සිංහල භාෂාවෙන් යුත් චිත්‍රපටය සූරසේන නම් වෙයි.

1958

පෙබරවාරි 14

එකමත් එක රටක චිත්‍රපටයෙන් මුල්වරට කාටුන් නාමාවලියක් එළි දකි. දයා කරුණාරත්න මෙම නාමාවලිය නිර්මාණය කරන ලදී

මැයි 01

මුල්වරට කෙටිකතාවක් පාදක කරගෙන තැනුණු සිංහල චිත්‍රපටය දෙය්යන්නේ රටේ. ඩබ්ලිව්.ඒ.සිල්වා ගේ දෙය්යන්නේ රටේ කෙටි කථාව ඇසුරෙනි

ජූලි 18

ඉන්දු ලංකා හවල් නිෂ්පාදනය සල්ලි මල්ලි සල්ලි තිර ගත වෙයි

ජූලි

ෆිල්ම්ෆෙයාර් සඟරාවේ කවරය රුක්මණී දේවියගේ ඡායාරූපයකින් සැරසෙයි

ජූලි 25

සිලෝන් ස්ටුඩියෝස් ආයතනයේ මුල්ම නිෂ්පාදනය දස්කම තිරගත වෙයි.

දෙසැම්බර් 18

මිලි මීටර් 8 ප්‍රමාණයෙන් තැනුණු මුල්ම සිංහල චිත්‍රපටය අසරණයා තිරගත වෙයි. අධ්‍යක්ෂණය ගොඩ්රින්ටන් ජේ.කුරේ

1959

අප්‍රෙල් 18

උතුරු ඉන්දියාවේ චිත්‍රගාරයක නිෂ්පාදනය කරන ලද මුල්ම හා එකම සිංහල චිත්‍රපටය දෛවයෝගය.එය නිපදවනුයේ පූනා නගරයේ පිහිටි ප්‍රභාත් චිත්‍රාගාරයේය.

ගාමිණී ෆොන්සේකා සිනමා රංගනයට අවතිර්ණය වනුයේ එමගිනි.

හින්දි සිනමාවේ ඉහලම අධ්‍යක්ෂවරයෙකු වූ එස්.කේ.ඕජා අධ්‍යක්ෂණයෙන් ද සජාද් හුසේන් සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක වූ එකම චිත්‍රපටය එයයි

මැයි 9

පුරුෂ රත්නය ප්‍රථම වරට කාන්තාවක් තනිව නිෂ්පාදනය කළ චිත්‍රපටයයි. නිෂ්පාදිකාව ස්වර්ණා අභයනායක

1960

මාර්තු 30

සිංහල චිත්‍රපටයක් සඳහා එතෙක් මෙතෙක් ඉදි කළ දැවැන්තම පසුතලය සහිත චිත්‍රපටය වූ සංදේශය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව තිරයට එයි

ජූලි 17

නළඟන චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිම රැගුම් පාලක මණ්ඩලය මඟින් සහමුලින් තහනම් කරනු ලබයි. පසුව විෂ්‍ය භාර සංස්කෘතික ඇමතිගේ නිර්දේශය මත චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර ලැබෙයි.

*වැල්ලම්පිටියේ ආර්.ටී.චිත්‍රාගාරය රොබින් තම්පෝ විසින් ඉදිකරනු ලබයි.

1961

මාර්තු 29

ගුවන් විදුලි නාටකයක් ඇසුරෙන් තැනුණු ප්‍රථම සිංහල චිත්‍රපෙටය කුරුළු බැද්ද තිරයට එයි පී.කේ.ඩී.සෙනෙවිරත්න මෙහි රචකයාය.

*විදේශ චිත්‍රපට සඳහා සිංහල දෙබස් කැවීම හා සිංහල චිත්‍රපට ඉන්දියාවේ චිත්‍රගාරවලට ගොස් නිපදවීම ද සංස්කෘතික ඇමති මෛත්‍රිපාල සේනානායක විසින් අතිවිශේෂ ගැසට්ටුවක් මහින් තහනම් කරනු ලබයි.

1962

මාර්තු 31

රෙස්ලර් ඇන්ඩ් ක්ලවුන් චිත්‍රපටය ගුස්තිකාරයා සහ කවටයා නමින් සිංහල උපසිරැසි යොදා තිරගත කරවයි.

අගෝස්තු 10

ප්‍රථම වර්ණ චිත්‍රපටය රන්මුතුදූව තිරගත වෙයි. මුල්වරට යුරෝපියකු විසින් (මයික් ජේ.විල්සන්) අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය මෙන්ම මුල්වරට මුහුද යට රූප ගත කළ චිත්‍රපටය ද එයයි. ඉන්දියාවේ ආතර් රෑන්ක් චිත්‍රාගාරයේ රසායන කටයතු සිදු කළ එකම සිංහල චිතපටයයි. පණඩිත් අමරදේව චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසෙයි. එතෙක් සියලු ආදායම් වාර්තා බිද හෙළන රන්මුතදූව සමඟ ගාමිණී ෆොන්සේකා මෙරට සුපිරිතරුව බවට පත්වෙයි.

*සිනමාස් සමාගමේ විජයා චිත්‍රගාරය හැදල දී විවෘත වෙයි.

*අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව විසින් දේශීය සිනමාව පිළිබද ප්‍රථම කොමිෂන් සභාව පත් කරනු ලබයි. ජෝතියසේන වික්‍රමසිංහ ,රෙජී සිරිවර්ධන හා පාලිත වීරමන් මෙහි සාමාජිකයෝය.

1963

අප්‍රෙල් 10

අවූරුදු පනස් අටක් අඛන්ඩව ප්‍රකාශයට පත් කෙරෙන එකම ලාංකික කලා පුවත්පත සරසවිය එළි දකී.

ජූලි 26 හා 27

කල්ලතූර් කල්ලම්මා නම් දෙමළ චිත්‍රපටය අනුකරණය කරමින් සිලෝන් ස්ටුඩියෝස් සමාගම මගින් මංගලිකා නමින් ද සිනමාස් මඟින් උඩරට මැණිකේ නමින්ද චිත්‍රපට දෙකක් නිපදවයි. සිලෝන් තියටර්ස් චිත්‍රපටය මුල් දවසේ ද මංගලිකා එයට පසු දින ද තිර ගතකරවීම අරඹයි.

සැප්තැම්බර් 4

වැඩිම සංගීත අධ්‍යක්ෂවරුන් පිරිසක් එනම් පස් දෙනෙකු දායක වූ චිත්‍රපටය සුදු සඳේ කළු වලා තිර ගතවෙයි

දෙසැම්බර් 20

ගීත රහිත මුල්ම සිනමා කෘතිය ගම්පෙරළිය තිරයට එයි. විචාරකයන් ගේ ඉහළම ප්‍රතිචාරය හිමිවනුනේ එයටයි. ටෝනි රණසිංහ සිනමාවට එක්වනුයේ ද එමගිනි. සුමිත්‍රා පීරිස් ප්‍රථම සංස්කරණ ශිල්පිණිය හැටියට ගම්පෙරළියට දායක වෙයි

1964

මැයි 9

ජාත්‍යන්තර ප්‍රමිතිගත රීතින්ට අනුකූලව සරසවිය සිනමා උලෙළ ඇරඹෙයි. හොදම චිත්‍රපටය ලෙස ගම්පෙරළිය සම්මාන දිනයි.

ජූලි 01

වැඩිහිටියන්ට පමණක් සීමා වූ මුල්ම සිංහල චිත්‍රපටය සුබ සරණ සැප සිතේ තිරයට එයි.

*දළුගම කල්‍යාණි චිත්‍රාගාරය විවෘතවෙයි. එම්.එස්.පෙරේරා ට අයත් මෙම චිත්‍රගාරය වර්තමානයේ සංස්ථාව සතු සරසවි චිත්‍රාගාරයයි.

1965

ජනවාරි 21

ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ දී හොදම චිත්‍රපටය ලෙස ගම්පෙරළිය රණමයුර සම්මානය දිනා ගනියි. මෙරට චිත්‍රපටයක් මුල්වරට ජාත්‍යන්තර සම්මනායක් දිනා ගත් අවස්ථාවයි. මුල් ම කථානාද චිත්‍රපටය තිරගත කොට හරියටම 18 වසර සපිරෙද්දී එම සම්මානය දිනා ගැන්ම සුවිශේෂ කරුණකි.

අප්‍රේල් 28

කවිකථාවක් ඇසුරෙන් තැනුණු මුල්ම සිංහල චිත්‍රපටය සුදෝ සුදු තිරයට එයි

මැයි 13

අලුත් ප්‍රදර්ශක සමාගමක් වූ ඕඩියන් ප්‍රදර්ශක සමාගම මඟින් සාමා චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹයි. එදිනම සිලෝන් තියටර්ස් මඟින් ළා දලු චිත්‍රපටය ද තිරගත කරවයි. එකම දිනයක සිංහල චිත්‍රපට දෙකක් තිර ගත කරන ලද මුල්ම අවස්ථාව මෙයයි.

නොවැම්බර් 5

මුල්ම අධ්‍යක්ෂවරිය ලෙස වාර්තාවක් තබමින් ෆ්ලෝරිඩා ජයලත් ගේ ස්වීප් ටිකට් තිරයට එයි

1966

මෙරට සිනමාකරුවකුගේ චිත්‍රපට උලෙළක් විදේශයකදී මුල්වරට පවත්වනු ලබයි. ඒ නොවැම්බර් 14 වැනි දින නවදිල්ලියේ පැවැත්වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා උලෙළයි.

1967

ජනවාරි 31

මුල්ම සිංහල ජේම්ස් බොන්ඩ් වර්ගයේ චිත්‍රපටය සොරුන්ගෙත් සොරු නමින් තිරයට එයි

ජූලි 4

ජර්මානු ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ව ඩෙත් ඊස් නිමබල් ඩෙත් ඉන් ක්වික් හෙවත් ත්‍රී යෙලෝ කැට්ස් සිංහල දෙබස් කවා කහ බළල්ලු නමින් තිරයට එයි

1968

අප්‍රෙල් 11

දෙමළ ගීතයක් ඇතුළත් මුල්ම සිංහල චිත්‍රපටය මාතෘභූමි තිරයට එයි

1969

අප්‍රේල් 11

අධ්‍යක්ෂවරයෙකුගේ නම සදහන් නොවන මුල්ම සිංහල චිත්‍රපටය කවුද හරි තිරයට එයි. එහි නාමාවලියේ පළවනුයේ චිත්‍රපටය නිම කරදීම වෙනුවෙන් ටයිටස් තොටවත්තට නිෂ්පාදක ස්තූතිය පළ කරයි යනුවෙනි.

මැයි22

ප්‍රේමසිරි කේමදාසගේ බැරි සිල් වේදිකා නාට්‍යය ඇසුරෙන් සිනමාවට නැගුණු හතර පෙරළිය චිත්‍රපටයේ සියළු දෙබස් කවියෙන් පමණකි

දෙසැම්බර් 21 හා 30

විජය කුමාරතුංගයන් මුල්වරට සිනමාවට එක්වෙයි. මුලින් රඟපෑ හන්තානේ කතාව දෙසැම්බර් 30 වැනි දින ද .එයට පසුව රඟපෑ රෝමියෝ ජුලියට් කතාවක් දෙසැම්බර් 21 වැනි දින තිරයට එයි.

හන්තානේ කතාව චිත්‍රපටයේ එන සරා සොඳුරු මල් පැටලී ගීතය ගීත රචකයන් දෙදෙනෙක් එනම් මහගම සේකර හා සුගතපාල සෙනරත් යාපා විසින් රචනා කරන ලද ගීතයක් ලෙස වාර්තාවක් තබයි.

හැත්තෑව දශකයේ බිහිවන සිනමාවේ පතාක යෝධයන් රැසක් දොරට වඩිනුයේ හන්තානේ කතාව චිත්‍රපටයෙනි.

ඉංගිසි ගීතයක් ඇතුළත් මුල්ම චිත්‍රපටය වනුයේ රෝමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටයයි. එය ගායනා කරනු ලබනුයේ සුනිල් ශාන්ත විසිනි.

1970

ජූනි 16

පික්චර් පිස්සා, අහල පහල. හා ගිලිහුණු මල් යන කෙටි කථා තුනකින් යුත් තෙවත තිරයට එයි. ටයිටස් තොටවත්තගේ අධ්‍යක්ෂණයකි.

නොවැම්බර් 18

කොළඹ ආනන්ද විදුහලේ ශිෂ්‍ය රංජිත් ලාල් නිර්මාණය කරන ලද නිම් වළල්ල තිරයට එයි. එය පාසල් සිසුන් විසින් නිර්මාණය කරන ලද එකම වෘත්තාන්ත චිත්‍රපටයයි. රංජිත් ලාල් චිත්‍රපටයේ සංගීතය මෙහෙයවමින් අධ්‍යක්ෂණය කරන ලද මුල්ම තැනැත්තා ද වෙයි.

1971

අප්‍රේල් 5

කැරැල්ල හේතුවෙන් දිවයින පුරා සියලු සිනමාහල් වසා දමයි. යළි සිනමාහල් විවෘත වනුයේ ජූනි මාසයේය.

සැප්තැම්බර් 15

ශ්‍රී ලාංකේය දෙමළ චිත්‍රපට උලෙළක් යාපනයේ රීගල් සිනමා හලේදී ආරම්භ වෙයි. ඒ ඉන්දියානු සිනමාවේ ශිවාජි ගනේෂන් ,ජයලලිතා, පද්මිණි ඇතුළු දැවැන්තයන් ද ගේ ප්‍රධානත්වයෙනි

ඔක්තෝබර් 27

මුලුම පුළුල්තිර චිත්‍රපටය වැලිකතර සිනමාවට එයි.

දෙසැම්බර් 17

කිසිදු නිළියක රංගනයෙන් දායක නොවූ හාරලක්ෂෙ චිත්‍රපටය තිරයට එයි.එමෙන්ම නිශ්චිත තිරනාටකයකින් තොරව නිර්මාණය කරන ලද මුල්ම චිත්‍රපටය ද එයයි.

1972

ජනවාරි 21

මුල්ම කථානාද සිනමා කෘතියට අවුරුදු විසි පහ පිරෙන දිනයේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවනු ලබයි. මුල්ම සභාපති ආචාර්ය සරත් අමුණුගම ය. මුල්ම සාමාන්‍යාධිකාරිවරයා ඩී.බී.නිහාල්සිංහ ය.

1973

මාර්තු 9

තුෂාරා චිත්‍රපටය තිර ගතවීමත් සමඟ විජය කුමාරතුංග ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණීම ආරම්භ වෙයි. විජය-මාලිනී සිනමාවේ ජනප්‍රියම පෙම් යුවළ බවට පත්වෙති.

*මෙරට සිනමා කලාකරුවන් ලියාපදිංචි කිරිම සංස්ථාව මඟින් ආරමභ කරනු ලබයි

1974

ජනවාරි 24

ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ අහස් ගව්ව චිත්‍රපටය සිංහල සිනමාවේ වැදගත් මංසන්ධියක් සේ සැලකෙයි. තාරුණ්‍යයේ නවරැල්ලේ සිනමාව ආරම්භ වනුයේ එමඟින්ය. අහස් ගව්ව චිත්‍රපට සංස්ථාව මඟින් මැදිහත්ව තිර ගත කරන ලද මුල්ම චිත්‍රපටයයි.

මාර්තු 05

රංජිත් පෙරේරා ගේ දිනුම් කණුව සමඟ සිලෝන් තියටර්ස් දෙවැනි ප්‍රදර්ශක මණ්ඩලය ආරම්භ කරයි.ආරම්භක සිනමාහල බොරැල්ලේ රිට්ස්ය.

1975

මාර්තු 07

ටී.අර්ජුනගේ කලියුගකාලේ චිත්‍රපටය සමඟ සිනමාස් සමාගමේ දෙවැනි ප්‍රදර්ශක මණ්ඩලය බොරැල්ලේ ලිඩෝ ප්‍රමුඛ කොට ආරම්භ කරයි

මැයි 23

සීරිල් මල්ලී

හින්දි ගීතයක් ඇතළත් වූ මුල්ම චිත්‍රපටයයි. ගීය පද රචනය රවිලාල් විමලධර්මගෙනි. ගායනය මිල්ටන් මල්වආරච්චිගෙන්.

නොවැම්බර් 28

ඉංගිසි චිත්‍රපට සදහා වෙන්ව තිබුණු සිනමා ශලා ද සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරවීමට සංස්ථාව ගත් තීරණය අනුව කළු දිය දහර එතෙක් ඉංගිසි චිත්‍රපට පමණක් තිර ගත වූ වැල්වලත්තේ සැවෝයි සිනමාහලේ තිරගතවීම ආරම්භ කරයි

එදිනම තිර ගත වූ සංගීතා චිත්‍රපටය පුනරුත්පත්ති කථාවක් ඇතුළත් මුල්ම චිත්‍රපටයයි

*සිංහල චිත්‍රපට නිෂ්පාදනය සදහා මුල්වරට රාජ්‍ය බැංකුවක් ණය දීම ආරම්භ කරයි. මහජන බැංකුව මේ සදහා ඉදිරිපත්වූ අතර මුල් යුගයේ ණය ලබා දුන්නේ ඉහල ශ්‍රේණියේ තිරනාටක සදහා පමණකි.

1976

ජනවාරි 1

සියලුම විදෙස් චිත්‍රපට ප්‍රදර්ශනය සංස්ථාවට පවරා ගනියි.

මාතලන් චිත්‍රපටය නැවත තිර ගත කිරවීමේදී දින සියය ඉක්මවා තිර ගත වෙයි.

අප්‍රේල් 2

එතෙක් ප්‍රධාන වශයෙන් පෞද්ගලික සමගම දෙකක් යටතේ පැවති සිංහල චිත්‍රපට බෙදාහැරීම රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට පවරා ගනියි. ඉතිහාසයේ මුල්වරට එකම දිනයේ චිත්‍රපට තුනක් තිර ගත කරවීමට සංස්ථාව කටයුත කරයි. ඒ ම‌ඩොල්දූව, ගංගා, සහ වල්මත්වූවෝය. එතෙක් සිලෝන් තියටර්ස් සමාගම සතු සිනමා මණ්ඩල ද්විත්වය පළමු හා තෙවන මණ්ඩල ලෙසද සිනමාස් සමාගම සතු මණ්ඩල ද්විත්වය දෙවැනි හා සිව්වැනි මණ්ඩලය ලෙස ද නම් කරන ලදී.

ජූනි 2

මුල්ම ඉංගිසි වෘත්තාන්ත චිත්‍රපටය ද ගෝඩ් කිං තිරගතවීම ආරම්භ කරයි. මෙය ශ්‍රි ලංකා එංගලන්ත හවුල් නිෂ්පාදනයකි. අධ්‍යක්ෂණය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙනි.

ජූනි 18

චිත්‍ර කතාවක් පාදක කරගෙන තැනුණු මුල්ම චිත්‍රපටය වූ වානරයෝ තිර ගතවීම ආරම්භ කරයි. කතාව දයාරාජපක්ෂගෙනි.

ජූලි 15

ගායක ගායිකාවන් වැඩිම සංඛ්‍යාවක් එනම් 18 දෙනෙක් විසින් ගී ගයන ලද ආශා තිරයට එයි

ජූලි 30

කාන්තාවක් විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද මුල්ම චිත්‍රපටය හරියට හරි තිරයට එයි. සංගිත අධ්‍යක්වරිය ආචාර්ය සුජාතා අත්තනායක ය.

1977

අපේල් 22

පෙම්බර මධු සුඛාන්තයක් හා දුක්ඛානතයක් යන අවස්ථා දෙකකින් යුත් චිත්‍රපටයක් වෙයි.

මැයි 27

*මොස්කව් අන්තර්ජාතික උලෙළේ දී මාලනී ෆොන්සේකා එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ රංගනය උදෙසා ඩිප්ලෝමා සහතිකයක් දිනා ගනියි. එය මෙරට නිළියකගේ රංගනය මුල්වරට ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ අවස්ථාවයි.

අගෝස්තු 19

අධ්‍යක්ෂවරයෙකු පිළිබද නාමාවලියේ හෝ කිසිදු සටහනක් නොමැතිව චණ්ඩි පුතා චිත්‍රපටය තිරයට එයි

සැප්තැම්බර් 16 හා සැප්තැම්බර් 30

අනුරාධපුර ආශ්‍රිත ව ජීවත් වූ දේද්දුව හේවගේ සිරිපාල හෙවත් මරුසිරාගේ කතාව පාදක නරගෙන පිළිවෙලින් අමරානාත් ජයතිලක නිර්මාණය කළ සිරිපල සහ රන්මැණිකා ද ටයිටස් තොටවත්ත විසින් මරුවා සමඟ වාසේ ද තිරයට ගෙන එයි.

සිරිපාල සහ රන්මැණිකා ඉන්දියානු රජය මගින් මිලයට ගනියි.

1978

රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ නාමය ජාතික චිත්‍රපට සංස්ථාව ලෙස වෙනස් වෙයි. සාමාන්‍යාධිකාරිවරයා වෙත පැවරී තිබූ බලතල සභාපති ට පැවරේ.

ජූනි 9

චිත්‍රපට සංස්ථාවේ තිරනාටක බැංකුවෙන් මිලයට ගත් තිරනාටකයකින් තැනුණු මුල්ම චිත්‍රපටය සෙලිනාගේ වලව්ව තිරයට එයි. ආරියරත්න විතානගේ ලියූ තිරනාටකයක් වන එය මුලින් හැදින්වූයේ රන්කූඩුව නමින්ය.

අගෝස්තු 8

චිත්‍රපට පදර්ශනය කිරිමේ පිළිවෙතින් පැන වීර පුරන් අප්පු චිත්‍රපටය තිර ගත කිරිමට එරෙහිව බැප්ටිස්ට් ප්‍රනාන්දු ප්‍රමුඛ නිෂ්පාදකවරු චිත්‍රපට සංස්ථාවට එරෙහිව අධිකරණයේ පිහිට පතති. එයට පිළියමක් ලෙස සම්භාව්‍ය චිත්‍රපට සදහා අලුත් සිනමා මණ්ඩලයක් ලෙස පස් වැනි ප්‍රදර්ශක මණ්ඩලය මරදානේ ක්‍රවුන් ප්‍රමුඛ කොට ආරම්භ කොට පුරන් අප්පු එහි තිර ගතවීම ආරම්භ වෙයි. පුරන් අප්පු චිත්‍රපටය සදහා නිෂ්පාදනයෙන් සියයට හතළිහකින් සංස්ථාව දායක වෙයි

එක්තෝබර් 28

මුල්ම කථානාද සිනමා නිළිය රුක්මණී දේවි ජාඇල තුඩැල්ලේදී රිය අනතුරකින් මිය යෑම රටම කම්පා කළ සිදුවීමක් වෙයි.

* විශිෂ්ට තිරනාටක සදහා සියයට සියයේ ණය යෝජනා ක්‍රමයක් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව මඟින් ආරම්භ කරයි. ටයිටස් තොටවත්ත හදයා ද

ධර්මසිරි බණ්ඩාරනායක තුන්වෙනි යාමය ද ධර්මසේන පතිරාජ සොල්දාදු උන්නැහේ ද නිපදවනුයේ එම ණය ආධාර ක්‍රමය යටතේය.

1979

ඔක්තෝබර් 19

ලංකාවේ ප්‍රථම කාටුන් චිත්‍රපටය මෙරට දී නිපදවන ලද කැමරාවකින් රූප ගත කොට ගිවන්ත අර්ථසාද් විසින් දුටුගැමුණු නමින් තිරයට ගෙන එයි. එය එක් දින ප්‍රදර්ශනයකින් පසු සහමුලින් තහනම් කිරිමට රජය පියවර ගනු ලබයි.

1980

අප්‍රේල් 14

ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ මඩොල්දූව චිත්‍රපටය විකාශය වීම සමඟ ටෙලිවිෂනයේ චිත්‍රපට විකාශණය ඇරඹේ.

ජූනි 17

වර්ණ චිත්‍රපට දිරිමත් කිරිමට එය නියමිත පෝලිම ඉකමවා අලුත් මණ්ඩොලයක තිර ගත කරවීමට එරෙහිව සෙසු නිෂ්පාදකවරුන් අධිකරණයට යෑම හේතුවෙන් කළු සුදු චිත්‍රපට දෙකකට වරක් වර්ණ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරිමට සංස්ථාව එකඟවෙයි. ඒ අනුව මුල්වරට පරිත්‍යාග චිත්‍රපටය තිර ගත වෙයි.

අගෝස්තු 8

සහමුලින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වීමේ සහතිකය ලැබූ මුල්ම චිත්‍රපටය කරුමක්කාරයෝ තිර ගතවීම ආරම්භ වෙයි.

අගෝස්ත 22

මුවන්පැලැස්ස 2 චිත්‍රපටය ප්‍රදර්ශනයේදී මුල්වරට ටෙලිවිෂනය මගින් ප්‍රචාරය අරඹයි.

1981

රෝහණ වෙත්තසිංහ ලියන ලද සතර දිගන්තය තිරනාටකය එළි දැක්වීම සමඟ මුල්වරට සිංහල තිරනාටකයක් මුද්‍රණයෙන් දොරට වඩී

ජූලි 10

තමා රඟ නොපෑ දර්ශන කිහිපයක් ඇතුළත් කොට ඇතැයි නිළි අනුෂ්කා මැදිවක විසින් අධිකරණයේ පිහිට පැතීමෙන් අම්මේ මට සමාවන්න චිත්‍රපටයේ ප්‍රදර්ශනය අත් හිටුවයි. චිතප්‍රටය යළි තිර ගත වනුයේ අදාළ දර්ශන ඉවත් කළ පසුවය.

දෙසැම්බර් 11

සුද්දා චිත්‍රපටය සමග මාලිගාගවත්තේ රූබි හා නාරාහේන්පිට මොන්ටෝ සිනමාහල් කේන්ද්‍ර කොට ගෙන අලුත් ප්‍රදර්ශක මන්ඩලයක් ආරම්භ කරයි. එය චිත්‍රපට දෙකකට පමණක් සීමා වෙයි.

චිත්‍රපට කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට මහාචාරය ඒ.ජේ.ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්තරයි.

1982

ආරාධනා චිත්‍රපටයේ වීඩියෝ පිටපත් නිති විරෝධිව නිෂ්පාදනය කොට අලෙවි කළ බම්බලපිටියේ ජිනි වීඩියෝ ආයතනයට චිත්‍රපටයේ නිෂ්පාදක විජය රාමනායක විසින් නඩු පවනු ලදුව වන්දි ලෙස ඉල්ලූ මුදලින් රුපියල් ලක්ෂ දහය ලබා ගනියි.

නොවැම්බර් 12

යසපාලිත නානායක්කාර ගේ නැවත හමුවෙමු චිතපටය සමඟ ඉන්දියානු චිත්‍රපට වීිඩියෝ තාක්ෂණය ඔස්සේ අනුකරණය කරමින් තැනෙන නව සිනමා රැල්ලක් ආරම්භ වෙයි.

දෙසැම්බර්

කඩවුණු පොරොන්දුව යළි නිෂ්පාදනය වෙයි. සිංහල චිත්‍රපටයක් යළි ප්‍රතිනිර්මාණය වූ අවස්ථාව එයයි.

1983

මාර්තු

ගම්පෙරළිය චිත්‍රපටයේ දෙවැනි කොටස කලියුගය මුල් චිත්‍රපටයේ නළු නිළියන් යොදා ගනිමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් නිර්මාණ වෙයි. චිත්‍රපටය ප්‍රංශයේ කාන් සිනමා උලෙළේ තෝරා ගත් චිත්‍රපට ගොන්නෙහි තිර ගත වෙයි.

ජූලි 15-

සිය මුල්ම චිත්‍රපටය තිර ගත වන්නට මත්තෙන් චිත්‍රපට අටක් නිර්මාණය කළ මු.අරුක්ගොඩ තම චිත්‍රපට සියල්ල එකතු කොට සිනමා සතියක් මරදානේ ඔලිම්පියා සිනමාහලේදී පවත්වනු ලබයි.

ජූලි 21

ජූලි කලබල හේතුවෙන් මෙරට දැවැන්තම චිත්‍රගාරය වූ විජයා සහ ලංකා යන චිත්‍රාගාර මෙන්ම මරදානේ ගාමිණී, සැෆයර්, දෙහිවල ට්‍රියෝ, කොම්පඤ්ඤවීදියේ රියෝ, නවා , කිරුළපන කල්පනා, මීගමුවේ රාජ්, මුතූර් ඉම්පීරියල්. ඇතුළු සිනමාහල් පහළොවක් ගිනි බත් වෙයි.

සියළු සිනමාශාලා සෙතියක් වසා දැමෙයි.

ප්‍රදර්ශනය ආරම්භ කළ අරුක්ගොඩගේ සිස්ටර් මේරි චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටුවා ඒ වෙනුවට විනාශ කරන ලද ගාමිණි සිනමාහලේ තිබුණු මැණික් මාලිගා (දෙවැනි මණ්ඩලයේ ආරම්භක සිනමාහලේ) සංස්ථාව මඟින් එල්ෆින්ස්ටන් සිනමාහලේ (පළමු මණ්ඩලයේ ප්‍රධාන සිනමාහලේ) සංස්ථාව මඟින් තිර ගත කරවනු ලබයි.

1984

මැයි 04

හිත හොඳ කොල්ලෙක් චිත්‍රපටය සමග වෘත්තිය චිත්‍රපට ශිල්පින්ගේ නිෂ්පාදන සදහා අලුත් චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩලයක් ආරම්භ වෙයි.

අගෝස්තු 24

රත්තරන් නෙත් නමින් තිරගත වන චිත්‍රපටයේ ප්‍රචාරය සඳහා වෙනත් නමක් එනම් අම්මයි දුවයි ලෙස භාවිතා කරනු ලබයි.

සැප්තැම්බර් 14

අරුණට පෙර චිත්‍රපටය අමෙරිකාවේ නිව්යෝක් ස්මිත් සෝනියන් කලාගාරයේ සංරක්ෂණයට තෝරා ගනු ලබයි

1985

සංස්ථාව මඟින් චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතිසංශෝධනය කරයි.

පාකිස්ථානයේ අල්ශකාර් සිනමා උලෙළේ දී හොදම නිළිය ලෙස සබීතා පෙරේරා පාකිස්ථාන චිත්‍රපටයක් වන නදියා වෙනුවෙන් සම්මාන දිනා ගනියි.විදෙස් චිත්‍රපටයක් වෙනුවෙන් මෙරට නිළියක් විදේශයකදී සම්මාන දිනූ මුල්ම අවස්ථාව එයයි.

දෙසැම්බර්

දෙවැනි ගමන චිත්‍රපටයේ විඩියෝ පිටපත් නිත්‍යානුකූලව නිකුත් කිරීම අරඹයි. මරදානේ එවකට පැවති මැරතන් වීඩියෝ එම වීඩියෝ නිෂ්පාදකයයි.

1986

අප්‍රේල් 25

පෙරළිකාරයෝ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස ජනප්‍රිය බොලිවුඩ් තාරකාවක් වූ තනූජා රඟපායි.

1987

ජනවාරි 21

සිංහල කථානාද සිනමාවේ හතලිස් වැනි සංවත්සරය යෙදුණ ජනවාරි 21 වැනි දින අනෝජා වීරසිංහ ඉන්දිය අන්තර්ජාතික සිනමා උලෙළේ දී හොදම නිළියට හිමි රජත මයුර සම්මානය මල්දෙණියේ සිමියොන් උදෙසා දිනා ගනියි. හොදම නිළිය හිමි සම්මානය මෙරට නිළියක ජාත්‍යන්තර උලෙළක දී දිනා ගත් මුල් අවස්ථාව එයයි.

ජූලි 7

අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලගේ අවමංල්‍ය උතසවයට නොසිතූ විරූ ජනකායක් බොරැල්ලේ කනත්තට එකතු වෙයි.

1988

සිංහල සිනමාවේ ඒ වන විට ජනප්‍රියම සිනමා තාරකාව වූ විජය කුමාරතුංගයන් නාඳුනන තුවක්කුරුවකු අතින් ඝාතනය වෙයි. විජය ගේ අවමඟුල වෙනුවෙන් රැස්වුණු තරම් ජනකායක් එදා මෙදා තුර කලාකරුවකුගේ අවමඟුලට රැස්වූයේ නැත. විජයගේ දේහය දැක කම්පාවූ රසිකයකු වූ දිවුලපිටියේ අමරසේන ජයතුංග දේහය තැන්පත් කොට තිබුණු කලාභවන අසලදී දිවි නසා ගත්තේය. මෙරට කලාකරුවකු වෙනුවෙන් දිවි නසා ගත් එකම සිනමා රසිකයා ඔහු වෙයි.

1989

මමයි රජා චිත්‍රපටය දින දෙසීයය ඉක්මවා ප්‍රදර්ශනය වූ මුල්ම චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්වෙයි.

1990

බෞද්ධ අධ්‍යක්ෂවරයකු විසින් (සුනිල් ආරියරත්න) අධ්‍යක්ෂණය කරන ලද එකම කිතුණු චිත්‍රපටය ක්‍රිස්තු චරිතය තිර ගත වෙයි. නිෂ්පාදනය අතරතුරදී එවක පැවති රජය මඟින් මෙම චිත්‍රපටය රූප ගතකිරිම අත්හිටුවීමට මුලින් කටයතු කරන ලදී.

1991

මෙරට පෞද්ගලික අංශය සතු මුල්ම වර්ණ රසායනාගාරය ඩිල් ෆිල්ම් ඉන්ටනැෂනල් ආයතනය ඩිල්මන් ජයරත්නගේ අධිපතිත්වයෙන් යුතුව තලාහේනේදී ආරම්භ වෙයි.

1992

පෙබරවාරි 27

මුල්ම ශ්‍රී ලාංකේය දෙමළ චිත්‍රපටය වූ කුසුමලතා චිත්‍රපටයට දෙබස් කවා යළි සැඟවුණු පිළිතුර නමින් තිර ගත කරයි.

1994

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරන ලද නොමියෙන මිනිසුන් චිත්‍රපටය උදෙසා සය වැනි ප්‍රදර්ශක මණ්ඩලය නමින් අලුත් මණ්ඩලයක් අරඹයි.

1995

ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග විසින් චිත්‍රපට කර්මාන්තය සඳහා චිත්‍රපට කොමිසමක් මහාචාර්ය සේනක බණ්ඩාරනායක ප්‍රධානත්වයෙන් පත් කරයි. ගාමිණී වේරගම හා සිරිල් ගුණපාල එහි සෙසු සාමාජිකයන්ය.

ලෝක සිනමාවේ සියවස වෙනුවෙන් ලොව හොදම චිත්‍රපට සියය තෝරා ගැනීමේ දී ලංකාවේ නිධානය ද ඇතුළත් කර ගනියි.

අගෝස්තු 11

ඇගේ වෛරය චිත්‍රපටය සමඟ අඩු වියදමකින් තැනෙන සරාගී ජවනිකා සහිත චිත්‍රපට රැල්ලක් ආරම්භ වෙයි

1996

නොවැම්බර් 20

අනෝජා වීරසිංහ ප්‍රත්‍යවලෝකන සිනමා උලෙළක් කේරළ අන්තර්ජාතික සිනමා උලෙළේ දී පැවැත්වෙයි. එය මෙරට නිළියක අරබයා විදෙස් උලෙළක පැවැත්වූ ප්‍රථම ප්‍රත්‍යවලෝකන සිනමා දැක්මයි.

දෙසැම්බර්

බම්බලපිටියේ මැජස්ටික් සිනමාහල ඩොල්බි තාක්ෂණය සහිතව ආරම්භ වෙයි.

1997

සිංහල කථානාද සිනමාවේ පනස් වැනි සංවත්සරය වෙනුවෙන් සිනමා විචාරකයන්ගේ ඡන්දයෙන් හොදම සිංහල කථානාද චිත්‍රපට දහය තෝරා ගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු කරයි.

මැයි 03

පූජ්‍ය විජයපුර පඤ්ඤානන්ද හිමි බවදුක චිත්‍රපටය නිපදවමින් චිත්‍රපට නිෂ්පාදනයට හවුල් වූ මුල්ම භික්ෂව වශයෙන් වාර්තාවක් තබයි.

1999

ඉන්දියානු අන්තර්ජාතික උලෙළේ යාවජීව සම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත පිරිනමනු ලබයි. ඒ ජනවාරි මස 21 වැනි දිනදීය. එදින සිංහල කථානාද සිනමාවට පනස් දෙවසර හා ගම්පෙරළිය චිත්‍රපටය රණමයුර සම්මානය දිනා හරියටම අවුරුදු 34 පිරෙන දිනය වීම විශේෂයකි.

2000

චිත්‍රපට සංථාවේ සභාපති තිස්ස අබේසේකර චිත්‍රපට සංසථාවේ සංවර්ධන අරමුදල මඟින් අධ්‍යක්ෂවරුන් දස දෙනෙකු සදහා චිත්‍රපට නිෂ්පාදනයට අත හිත සලසයි. ජයන්ත චන්ද්‍රසිරි, ඉනෝකා සතයාංගනී. සත්‍යජිත් මා ඉටිපේ වැනි අලුත් සිනමාකරුවෝ රැසක් එමඟින් බිහිවෙති.

2001

සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උලෙළේදී පුරහඳ කළුවර චිත්‍රපටයේ රඟපෑ ජෝ අබේවික්‍රමයන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිමින් ජාත්‍යන්තර සිනමා උලෙළක හොඳම නළුවා වූ ලාංකික නළුවා බවට පත්වෙයි

මාර්තු 22

චිත්‍රපට ප්‍රදර්ශණය සඳහා යළි පෞද්ගලික මණ්ඩල හතරකට අවසර ලැබෙයි. ඒ අනුව ඊ.ඒ.පී චිත්‍රපට ජැක් ඇන්ඩ් ජිල් චිත්‍රපටය ප්‍රදර්ශණය කරනු ලබයි.

*අස්වැසුම චිත්‍රපටය ඩි.වී.ඩී තාක්ෂණය ඔස්සේ නිකුත් කිරිම සමඟ මුල්වරට සිංහල චිත්‍රපට ඩීවීඩී තාක්ෂණයෙන්නිකුත්වීම ඇරඹෙයි. කොල්ලුපිටියේ ටොරානා වීඩීයෝ මූවිස් මෙහි පුරෝගාමි ආයතනයයි .

ජූනි 01

මහදැනමුත්තා ඩිජිටල් තාක්ෂණය උපයොගි කර ගෙන කාටුන් චිත්‍රපටයක් ලෙස නිර්මාණය වෙයි.

2002

අපේ‍්‍රල් 4

සුනිල් සෝම හා සුදේශ් වසන්ත පීරිස් පිය පුතු දෙපොළ පිස්සු ඩබල් චිත්‍රපටය සම අධ්‍යක්ෂණයේ යෙදුණ මුල්ම පිය-පුතු යුවළ ලෙස වාර්තාවක් තබයි.

ජයන්ත චන්ද්‍රසිරි ගේ අග්නි දාහය ඩිජිටල් තාක්ෂණය යටතේ සංස්කරණය වෙයි.

උදයකාන්ත වර්ණසූරිය ගේ බහු භුතයෝ දළ සේයා පටයේ රූප ගත නොකොට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ රූප ගත කොට සිනමා පිටපත් සදහා පරිවර්තනය කරයි.

2003

ජූනි 18

නිස්පාදක බුද්ධි කීර්තිසේන විසින් මරදානේ සිනෙසිටි සිනමා සංකීර්ණය ආරම්භ කරයි. එය මෙරට මුල්ම සිනමා සංකීර්ණය මෙන්ම ආයෝජන ප්‍රවර්ධන අවසරය සහිත මුල්ම සිනමාහල් වයාපෘතිය වෙයි

2004

ජාතික චිත්‍රපට සංස්ථාව සුමේධා චිත්‍රපටය නිපදවමින් සම්පූර්ණයෙන් චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙයි.

2005

විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස කාන් සිනමා උලෙළේ කැමරා ඩි‘ඔ සම්මානය දිනා ගනියි

2008

අගෝස්තු 8

ජැක්සන් ඇන්තනි ගේ අබා චිත්‍රපටය සමඟ ඵෙතිහාසික පුවත් සහිත සිනමා රැල්ලක් ආරම්භ වෙයි

ඔක්තෝබර් 23

ඉතාලි ජාතික සිනමාකරුවකු වන උබර්තෝ පැසොලිනි සිංහල බසින් අධ්‍යක්ෂණය කරන ලද මචං චිත්‍රපටය තිරයට එක් වෙයි.

නොවැම්බර් 21

ආදරයේ නාමයෙන් චිත්‍රපටය සමග යළිත් ඉන්දියානු සිනමා අධ්‍යක්ෂවරුන් සිංහල සිනමාවට අවතීර්ණය වෙයි.

2009

පියෝ ටීවී ආයතනය මගින් සිංහල චිත්‍රපට මුදල් ගෙවා නැරඹීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි.

2010

මෙරට චිත්‍රපට නිෂ්පාදනය සඳහා රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය විවෘත වෙයි.

චිත්‍රපට නිෂ්පාදනය සඳහා සිදුකෙරෙන ආයෝජන වලට ලක්ෂ තුන්සියයක් දක්වා බදු සහන ලබා දිමට රජය කටයුතු කරයි

2011

ටෙලිනාට්‍යයක් ලෙස පළමුව නිෂ්පාදිත කතාවක් යළි එනමින්ම සිනමා කෘතියක් ලෙස ප්‍රති නිර්මාණය කරයි. මේ චිත්‍රපටය හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන ලද්දේ රොහාන් වැලිවිට විසින් ය. චිත්‍රපටය සුසීමා ය.

2013

සිරි පැරකුම් වැඩිම ආදායම් ලත් චිත්‍රපටය ලෙස වාර්තාවක් තබයි.

බම්බලපිටියේ මැජස්ටික් සිනමාහලේ සුපිරියර් ශාලාව මුල්ම ත්‍රිමාණ සිනමාහල ලෙස ඇරඹේ

2014

පෙබරවාරි 20

සිනමා කර්මාන්තය ඩිජිටල් තාක්ෂණය කරන බව රජය නිල වශායෙන් ප්‍රකාශයට පත් කරයි

ප්‍රංශයේ ඩොවිල් ඒෂියා චිත්‍රපට උලෙළේ යාවජීව සම්මානය මාලිනී ෆොන්සේකාට පිරි නමයි.

ජාතික සිනමා සංරක්ෂණාගාරය අප්‍රෙල් මස 5 වැනි දින කොළඹ රාජ්‍ය ලේඛනාගාරයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ උපන් දිනය වෙනුවෙන් විවෘත වෙයි

නොවැම්බර් 20

ඉන්දිය නිළි අංජලී පටිල් ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ දී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වෙයි. ශ්‍රී ලාංකික නොවන නිළියක් ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූ මුල්ම අවස්ථව මෙන්ම ඉන්දියානු අන්තර්ජාතික උලෙළේදී ඉන්දිය නිළියක් විදෙස් චිත්‍රපටයක් වෙනුවෙන් හොඳම නිළිය වූ මුල්ම අවස්ථාව ද එයයි.

2015

අශෝක හඳගම ගේ ඇගේ ඇස අග නෙට්ෆ්ලික්ස් සිනමා ජාලය ඔස්සේ විකාශය කරයි. එය ජාත්‍යන්තර අන්තර්ජාල සිනමා ප්‍රදර්ශනය ලබා ගත් මුල්ම සිංහල චිත්‍රපටයයි.

2016

මාතලන් චිත්‍රපටයේ බ්ලු රේ තැටි තිස්ස නාගොඩවිතාන විසින් නිකුත් කිරිම සමග බ්ලු රේ තාක්ෂණයෙන් එළිදුටු ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙස එය වාර්තාවක් තබයි.

2017

පෙබරවාරි 07

ප්‍රේමය නම් චිත්‍රපටය සම අධ්‍යක්ෂණය කළ වින්දන හා කල්පන ආරියවංශ දෙසොහොයුරන් සම අධ්‍යක්ෂණයේ යෙදුන මුල්ම සොහොයුරන් ලෙස වාර්තාවක් තබයි.

2018

මාර්තු 30

කිසිදු පුරුෂ චරිතයක් නොමැති චිත්‍රපටයක් සේයා නමින් තිරයට එයි. අධ්‍යක්ෂණය කල්‍යාණ චන්ද්‍රසේකර ගෙනි.

2019

විමුක්ති ජයසුන්දර බෙංගාලි බසින් චත්‍රක් චිත්‍රපටය නිර්මාණය කරයි.

2020

මාර්තු 14

කොවිඩ් වසංගතය හේතුවෙන් දිවයිනේ සියලු සිනමා ශාලා වසා දමන්නට රජය තීරණය කරයි. මාර්තු 15 වැනි දින සිට ජූනි 20 දක්වාද යළි ඔක්තොබර් 16 සිට දෙසැම්බර් 31 දක්වාද සිනමා ශාලා වසා දමයි.

සැප්තැම්බර් 4

සරසවිය මඟින් සිනමාවේ අභිවෘද්ධිය පතා මෙතෙක් තිර ගත නොකළ චිත්‍රපට සතියක් කොළඹ ලිබර්ටි සිනමා හලේදී පවත්වනු ලබයි.

2021

මැයි 2 වැනිදා සිට ජූනි 20 දා දක්වා ද අගෝස්තු 11 වැනි දා සිට ඔක්තෝබර් 20 දක්වා ද යළි සිනමා ශාලා වසා දමන්නට නොවිඩ් වසංගතය නිසා සිදුවෙයි.

කඩවුණු පොරොන්දුව මුල්වරට තිර ගත කළ කිංස්ලි සිනමාහල කඩා දමයි.

නොවැම්බර්

*සිනමාව කර්මාන්තයක් ලෙස රජය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරයි.