8 mm චිත්‍රපට හැදූ සුපර් 8 පරම්පරාව අපේ පාතාල සිනමාව ගැන අනාවරණයක්

ජනවාරි 6, 2022
‘ඕලු මලේ ගීතය’ චන්ද්‍රරත්න මාපිටිගම සහ අසංකා මොනරවිල

මිලි මීටර් 08 වර්ණයෙන් රූප ගත කොට මිලි මීටර් 35 ප්‍රමාණයට විශාලනය කරන ලද වුඩ් ස්ටෝක් චිත්‍රපටය කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා හලේ 1970 දීත්, ලෙට් දෙම් ලිව් චිත්‍රපටය කොළඹ රීගල් සිනමා හලේ 1971 දීත් ප්‍රදර්ශනය කොට තිබේ. එබඳු ක්‍රියාවක් මෙරටින් පුර්ණ වශයෙන් සිදුව නැතත් අර්ධ වශයෙන් සිදුව ඇත. අතීතයෙන් කතාවක් (1972) මිලි මීටර් 35 චිත්‍රපටයෙහි එන වන සතුන්ගේ දර්ශන මිලිමීටර් 08 වර්ණයෙන් රූපගතකොට විශාලනය කොට තිබිණ. එයම බැද්දේගම (1981) චිත්‍රපටයේත් සිදුකරන ලදී.

තුන් දෙනකුගෙන් 1974 නිෂ්පාදිත කෙටි චිත්‍රපටයකි. එය සුපර් 08 වර්ණයෙන් ප්‍රථම වරට නිර්මාණය කළ දේශීය කෙටි චිත්‍රපටයයි. ධාවන කාලය විනාඩි 15ක් පමණි. සිනෙ සුපර් කණ්ඩායම ඉදිරිපත් කළ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා පසු කලක විශිෂ්ට සංස්කාරක ශිල්පියකු වූ ලාල් පියසේන විය. තිර නාටක රචකයා හා සංස්කරණ ශිල්පියාත් ඔහුමය. කැමරා ශිල්පී ප්‍රසන්න පරණවිදාන නිෂ්පාදකවරයාත් වූයේය. රංගනයෙන් චන්ද්‍රරත්න මාපිටිගම, අසංකා මොනරවිල, රෝහිණි විජේසිංහ, රුවන්ති ද සිල්වා එක්ව සිටියහ.  

ඉන්පසු මිලිමීටර් 08 කෙටි චිත්‍රපට නිර්මාණයේ වර්ධනයක් දක්නට ලැබිණ. එවන් නිර්මාණ 24 ශ්‍රී ලංකාවේ පළමු වතාවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 1980 ඔක්තෝම්බර් 10 වැනිදා පවත්වන ලද රජ දැක්ම කෙටි චිත්‍රපට උලෙළේ දී කලඑළි දැක්විය. මෙය සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය මඟිනි. මෙහෙය වූ මිලි මීටර් 08 සිනමා පාඨමාලාව හැදෑරුවන් රාශියක් තම නිර්මාණ ඉදිරිපත් කොට තිබිණ.

මෙම රජ දැක්මට ඇතුළත්ව තිබුණු නිර්මාණ නම් සාලිය සමරකෝන්ගේ ප්‍රාර්ථනා, මර්වින් ආර්.පෙරේරාගේ අඳුරු වලාවක්, ඈෂ්ලි රත්නවිභූෂණගේ වෙසක් හා වැලි, චන්ද්‍රසිරි පල්ලියගුරුගේ විකල්පයක්, නිමල් එදිරිසිංහ හා මිල්ටන් හේවාපතිරණගේ එක මවකගේ දරුවෝ, නිමල් නන්ද හෙට්ටිආරච්චිගේ චේතනා, සිසිර සුරවීරගේ වෙළෙඳ ප්‍රදර්ශනයක් හා ඝට්ටනය, සුසන්ත තිසේරාගේ පොලිස් දිනය, අරුණ රණසිංහගේ පැතුම හා සුන් වූ පැතුම්, ඩියුට්‍රම් ජයසුරියගේ පෙර දැනුම, වජිර දැරණියගලගේ බලාපොරොත්තුව, ඈෂ්ලි රත්නවිභූෂණ හා නිමල් එදිරිසිංහගේ ශ්‍රී ලංකාව අද, මැක්ෂිමස් රෝයි පෙරේරාගේ ප්‍රයන්තය, ලුවිස් කුමාරගේ හරි කුමක්ද, ඇලෝයි ප්‍රෑන්ක් තිස්සගේ කැකුළු සිතක්, අරුණ ප්‍රේමසිරිගේ සැකය, නිමල් එදිරිසිංහගේ අලුත් අවුරුද්ද, ලයනල් ලීලාරත්න - කුමාරි ලොකුලියන හා පී.තිසේරාගේ සුන් වූ බලාපොරොත්තුව වෙයි. පාඨමාලාව මෙහෙය වූ ඇන්ඩෲ ජයමාන්න නිර්මාණය කළ පිපෙන කුසුම හා වික්ටර් රත්නායකගේ ‘ස’ යන කෙටි චිිත්‍රපට දෙකක් පෙන්වීම විශේෂත්වයකි.

1982 මිලි මීටර් 08 වර්ණයෙන් නිම කළ කැඩපත විත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කේ.කේ. සමන් කුමාර විය. මීට රංගනයන් කුසුම් රේණු සමඟ ජගත් මුතුකුමාරණ එක්ව සිටියහ. කැමරා ශිල්පියා චන්න දේශපි‍්‍රයයි. ආනන්ද විදුහල් සිසුන් පිරිසක් නිර්මාණය කළ සිහිනය (1983) තවත් එබඳු චිත්‍රපටයකි.හේමසිරි අබේරත්න මෙහෙය වූ එහි අරුණ ගුණරත්න පි‍්‍රයංගා පතිරණ හා අනුර වීරසිංහ රඟපෑහ. කැමරා ශිල්පියා වූයේ ෂෙරාන් පෙරේරාය. සසල රූ (1983) අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලද එකම මිලිමීටර් 08 දේශීය චිත්‍රපටයයි. ජපානයේ හිරෝෂිමා නගරයේ සාමය හා ශුද්ධ වූ ජිවිතය පසුබිම් කොට ගෙන පැවති ආධුනික කෙටි සිනමා උලෙළේ දී දෙවැනි ස්ථානය ලබා අගමැති සම්මානය දිනූ එය රණසිරි ප්‍රනාන්දුගේ නිර්මාණයකි. කැමරා ශිල්පියා චන්දන සිල්වාය. රංගයෙන් කාන්ති ෆෝන්සේකා සමඟ ආබාධිත කුඩා දරුවකු දායකව සිටි මෙහි කතාව සිඟාකෑමෙන් තොර ජීවිතයක් නොපැතූ මවක වටා ගෙතී තිබිණ.

1984 නිෂ්පාදිත සෙසු මිලිමීටර් 08 කෙටි චිත්‍රපට අතරේ රුවන් විජේසේකරගේ මධු එකකි. මෙහි නිහාල් සිල්වා සමඟ රංගන පේ‍්‍රමරත්න රඟපෑහ. බී.ෂෙරාන් පෙරේරාගේ කිරුළ අහිමි කුමාරයෙක් අනෙක් නිර්මාණයයි. අරුණ ගුණරත්න රූප ගත කොට තිබුණු මේ චිත්‍රපටයේ අනුර වීරසිංහ දෙවැනි වතාවට රංගනයේ යෙදෙණු දැකිය හැකි විය. බලාපොරොත්තුවේ සන්තාපය, මේ රේඛාවේ වේදනාව, අනන්තයෙන් අනන්තයට අප දුටු මිලි මීටර් 08 වර්ණ කෙටි චිත්‍රපට කිහිපයකි. මේවායේ නිර්මාණකරුවා චන්දන සිල්වා විය. 

සඳකිඳුරු 1989 ජුලි 09 වැනිදා පටන් මොරටුවේ බෞද්ධ මන්දිර ශාලාවේ ප්‍රදර්ශනයට තබන ලද අවසන් වෘත්තාන්ත සිංහල චිත්‍රපටයයි. ධාවන කාලය පැයකුත් විනාඩි 20කි. සුපර් 08 වර්ණයෙන් රූප ගත වීම නිසා හඬ පටය චිත්‍රපටය සමඟ බද්ධව තිබිණ. මොරටුවේ සිනෙස් සුපර් චිත්‍රපට ඉදිරිපත් කළ මෙම චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂවරයා ඔස්ටින් ෆොන්සේකා වන අතර කැමරා ශිල්පියා පේ‍්‍රමදාස වඩුගේ වෙයි. සංගීතය හා ගායනය සුජාතා අත්තනායක ගෙනි. ගීත ප්‍රබන්ධය අජන්තා රණසිංහ කළ මෙහි ප්‍රධාන නළු නිළි යුවළ ගාමිණි කොස්තා හා කාන්ති ෆොන්සේකා වූහ. සෙසු චරිත ස්ටැන්ලි හෙට්ටිආරච්චි, ශ්‍රීමති රසාදරි, රුවන් හේවගේ, රැජිණි සෙල්වනායම්, ඇන්ජලා වෙරෝනිකා නිරූපණය කළහ.

වීඩියෝ කැමරාවත්, ජංගම දුරකතනයත් අනතුරුව මිලි මීටර් 8 චිත්‍රපටයේ තැන උදුරා ගත්තේය.

මිලි මීටර් 08 කුඩා තිරපට ඉතිහාසය නිවැරැදිව ලේඛන ගත කරන විට මෙරටේ එහි ආරම්භය සිදු ව ඇත්තේ 1954 බව තහවුරු වෙයි. මොරටුවේ ශාන්ත සෙබස්තියන් විදුහලේ ඉගෙනීම කළ කරුණාපාල ප්‍රනාන්දු (චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂ කැමරා ශිල්පි) ප්‍රමුඛ සිසුන් පිරිසක් වනගත කොල්ලා නමින් කෙටි චිත්‍රපටයක් මිලි මීටර් 08 ප්‍රමාණයෙන් නිපදවා තිබේ. වයලස්ෆෝන් ක්‍රමයට ශබ්දය යෙදු එය රූප ගත කොට ඇත්තේ බොල්ගොඩ දූපතේය. ලෙනාඩ් ප්‍රනාන්දු, ජී.ඩී.එල්. පෙරේරා, ඇන්ජිලෝ ද මෙල්, පියදාස විජේකෝන්, තිස්ස සොයිසා, කුචින්ටින් ප්‍රනාන්දු, ජිනදාස දිසානායක, එල් ස්මොක් අල්විස් රඟපා මෙම චිත්‍රපට කතාවම 1957 එනමින්ම මිලි මීටර් 16 වෘත්තාන්ත චිත්‍රපටයක් ලෙසත් ප්‍රතිනිර්මාණය කෙරිණි. එම කතාව ස්ටැන්ලි ඒ. පීරිස්ගේය.

රූපසේන සිල්වා