මෙන්න මේ වසරේ එන්න තියෙන චිත්‍රපට

ජනවාරි 6, 2022

පසුගිය වසරේ චිත්‍රපට රැසක් තිරගත වන්නට නියමිතව තිබුණත් කොරෝනා වසංගතය හේතුවෙන් වරින්වර සිනමා ශාලාව වසාදැමීම නිසා ඇතැම් චිත්‍රපට තිරයට ආවේ නැත. කෙසේ වෙතත් මේ වසරේදී නවමු සිනමාපට රැසක් තිරගත කිරීමට සූදානමින් තිබෙන බව සරසවියට වාර්තා විය. මේ ඒ පිළිබඳ ලියැවෙන සටහනකි. දේශීය මෙන්ම අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූ සිනමා නිර්මාණකරු ප්‍රසන්න විතානගේගේ ගාඩි සිනමාපටය තිරයට එන්නේ මේ වසරේදී. එය පසුගිය වසර තුළ අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබීය. නිරන්තරයෙන් වෙනස් නිර්මාණ සිනමාවට ගෙන ආ ජැක්සන් ඇන්තනී එක ගෙයි සොකරි නමින් තැනූ සිනමාපටයකි. එය මේ වසරේ තිරයට එයි. අඛිල ධනුද්දර, සජිත අනුත්තර, උදාරි වර්ණකුලසූරිය ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙහි චරිත රංගනයේ යෙදෙනු ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කදිර දිව්‍යරාජ සිනමාපටයත් මෙම වසරේ තිරයට එනු ඇත. ආන්දෝලනාත්මක සිනමාකරුවෙක් ලෙස ප්‍රකට අශෝක හඳගමගේ නවතම චිත්‍රපටයයි ඇල්බොරාදාය. එයද තිරගත වීමට නියමිතව ඇත්තේ මේ වසරේදී. ඇල්බොරාදා අශෝකගේ පෙර සිනමාපට සේම සමාජයේ කතාබහට ලක්වෙනු ඇත. එමෙන්ම රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය නිරූපණය කරන ද ගේම් සිනමාපටය තිරයට පැමිණෙන්නේ 2022 වසරේදී. එය සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයකි. සම්මානනීය සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය රසාස්වාදය ඉහළම තැනක ඇති සිනමාපටයකි. එය තිරගත වන්නේ ද මේ වසරේදීය. ආචාර්ය ජයලත් මනෝරත්නයන් අවසන් වරට රඟපෑ චිත්‍රපට කිහිපයෙන් එකක් වන ආශාවරී සිනමාපටය තිරයට එන්නේද මේ වසරේදී. එය තේජා ඉද්දමල්ගොඩගේ අධ්‍යක්ෂණයකි. ජගත් මනුවර්ණ රංගන ශිල්පියෙක් වශයෙන් ප්‍රකට අයෙකි. ඔහු සිනමාපටයක් නිර්මාණය කරනු ලැබීය. රහස් කියන කඳු ලෙසට නම් කොට ඇති එය මෙම වසරේදී තිරයේ දෙන්නට සූදානමිනි. එහි විශේෂ දර්ශනයක් පැවැත්වූ අතර ඒ සඳහා චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාරය ඉතා ඉහළය. තුසිත මනම්පේරිගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන හිතුමතේ ජීවිතේ සිනමාපටය 2022 වසරේ තිරයට එන්නට නියමිතය. තිරයට එන්නට ප්‍රථම සිනමා ප්‍රේක්ෂකයන් අතර බොහෝසෙයින් ජනප්‍රියවූ සිනමාපටයක් වන උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 2 තිරයට එන බවට වාර්තා වන්නේද මේ වසරේදීය. සිකුරු හතේ නිර්මාණය කරමින් අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිරරචකයකු වශයෙන් නමක් රැන්ඳූ ජනප්‍රිය නළු ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය කළ කතුරු මිතුරු සිනමාපටය මේ වසරේ නැරැඹීමේ හැකියාව ඇත. ආලෝකෝ උදපාදි සිනමාපටය නිර්මාණය කළ චත්‍ර වීරමන්ගේ දෙවැනි සිනමාපටය ආයු තිරයට එන්නට සූදානම් වන්නේ මේ වසරේ. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ නිළි රැජන මාලිනී ෆොන්සේකාය. ඉගිළෙන මාළුවෝ සිනමාපටය තුළින් කතාබහට ලක්වූ සිනමාකරුවකු වන සංජීව පුෂ්පකුමාර සත්‍ය කතාවක් ඇසුරෙන් තැනුණු නවතම සිනමාපටයයි ආසු. එය තිරයට එන්නේ මේ වසරේදීය. පසුගිය වසරේ තිරගත වන්නට සූදානම්වූ චාමර ජනරාජ් පීරිස්ගේ උතුරු සුළඟ සිනමාපටය ද මෙම වසරේදී තිරයට එයි. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කළ කළ සරත් දික්කුඹුරගේ මරුකතර සිනමාපටය තිරයට එන්නේ මෙම වසරේදී. අන්තර්ජාතික සිනමා සම්මාන කිහිපයක් දිනාගත් දර්ශන රුවන් දිසානායකගේ ගොවි තාත්තා සිනමාපටයද මෙම වසරේ දැකබලාගත හැකි වනු ඇත.