8 mm චිත්‍රපට හැදූ සුපර් 8 පරම්පරාව අපේ පාතාල සිනමාව ගැන අනාවරණයක්

දෙසැම්බර් 30, 2021

වර්තමානයේ සිනමාව තරුණයන් අත පෑන් පැන්සල් ගාණට වැටී ඇත. ඔවුහු ජංගම දුරකථනයෙන් චිත්‍රපට තනා ලෝකය පුරා ගෙන යති. එදා ද එබඳු පරපුරක් සිටියේය. ඔවුහු සාමාන්‍ය චිත්‍රපට (මිලි මිටර් 35) චිත්‍රපට තැනුවේ නැත. ඒ වෙනුවට ඔවුනට විකල්පයක් විය. ඒ මිලී මිටර් අටය.

මිලිමීටර් 08 ඉතාමත් ලෙහෙසියෙන් තනිවම වුවත් යමකෙකුට ජිවිතයේ හෝ සමාජයේ සිද්ධීන් චිත්‍රපටගත කළ හැකි ප්‍රමාණයක් ලෙස මෑතක් වනතුරුම පිළිගන්නා ලදී. කාලයක් ඊට ලෝක සිනමාව තුළ ලැබී තිබුණේ අද්විතීය ස්ථානයකි. තරුණ සිනමාකරුවන්, සංචාරකයන් අතරේත්, රූපවාහිනී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමටත් මෙම ප්‍රමාණය බෙහෙවින් ඉවහල් විය. කොටින්ම එදා රූපවාහිනී ප්‍රාදේශීය වාර්තාකරුවන් එදිනෙදා සිදුවීම මිලි මීටර් 08 ප්‍රමාණයෙන් රූගන්වා සැපයීම හුරුපුරුදු සිරිතක්ව පැවතිණ.

පෙර දවස මිලි මීටර් 08 චිත්‍රපට ලෝකයේ කොතෙක් දුරට ව්‍යාප්ත වී තිබුණාදැයි කිවහොත් ප්‍රධාන ධාරාවේ (මිලි මීටර් 35) චිත්‍රපට ප්‍රමාණයට ලැබී තිබුණු කාර්මික පහසුකම්වලට නොදෙවෙනි පහසුකම් රාශියකින් යුක්තව තිබීම ගෙනහැර දැක්වීමට පුළුවන. රසායනාගාර පිහිට නොපතා කාර්මික හරඹ මෙන්ම රූපගත කරන මොහොතෙහිම හඬ පටිගත කිරීමට සමත් කැමරා පමණක් නොව ඉටිපන්දම් එළියෙන් වුව රූපයට නැඟිය හැකි චලන පට නිපදවා තිබිණ. එපමණක් නොව විශාල චිත්‍රාගාරයක ශබ්ද පටිගත කරන ආකාරයෙන් යුතු මිලි මීටර් 08 සිනමා ශබ්දාගාරයක් ලන්ඩන් නගරයේ පිහිටා තිබිණ.

ප්‍රධාන ධාරාවේ සිනමාකරුවන් අතරින් වෙනස්ම පාතාල සිනමාව (UNDERGROUND CINEMA)  නමින් හැඳින් වූ මෙම කුඩා තිරපට ලොවේ කෙටි, අර්ධ වෘත්තාන්ත, වෘත්තාන්ත පමණක් නොව කාමුක නිල් චිත්‍රපට තිබිීමත් කිසිසේත් සැඟවිය නොහැකිය. වැඩිපුරම නිල් චිත්‍රපටකරුවන්ගේ ග්‍රහණයට හසුව තිබීම නිසා මෙලෙස හැඳින්වීම බොහෝ දුරට සාධාරණය. අතීතයේ අග්‍ර ගණයේ චිත්‍රපට පිටපත් මිලි මීටර් 08 ප්‍රමාණයෙන් පෞද්ගලිකව නිවෙස තුළ දී නැරඹීම සඳහා වෙළෙඳ පොළෙන් ලබාගැනීමට තිබුණු හැකියාව ද අමතක නොකළ යුතුය.

එලෙසම අසල්වැසි ඉන්දියාව නිෂ්පාදනයට වඩා ප්‍රක්ෂේපණය පිණිස මිලි මීටර් 08 ප්‍රමාණය යොදා ගන්නා ලදි. එරටේ 70 දශකය තුළ එබඳු චිත්‍රපට ශාලා 1000කට අධික සංඛ්‍යාවක් කුඩා ප්‍රාන්තවල පිහිටා තිබුණි. ඒවා කුඩාරම් වැනි ශාලා විය. මිලි මීටර් 35 චිත්‍රපට බොහෝ විට මෙම ශාලාවල ප්‍රදර්ශනය කිරීමට මිලි මීටර් 08 ප්‍රමාණයෙන් ද පිටපත් මුද්‍රණය කොට තිබේ. ජනක් ජනක් පායල් බාජි (1955) එවන් එක් චිත්‍රපටයකි.

ඩබල් 08, ස්ටෑන්ඩඩ් 08, සිනෙ 08 යනුවෙන් හැඳින් වූ මුල් මිලි මීටර් 08 ප්‍රමාණය මිලිමීටර් 16 භාගය යැයි කියත හැකිය. නොසදි (NEGATIVE)  පටයක් හෝ සදි (POSITIVE) පටයක් නොවන පරිදි නිෂ්පාදිත විකාශන රූප පට (REVERSAL FILMS) නම් මෙම චලනපට හඳුන්වාදුන් අවධියේ මිලිමීටර් 16 ප්‍රමාණයෙන් නිෂ්පාදනය වී තිබුණු අතර මිලිමීටර් 08 කැමරාවකින් පළමු එක් අඩක්ද, දෙවනුව අනෙක් අඩද රූප ගත කළ හැකි විය. ඉන් පසු ශෝධනය (DEVELOP) කරන පටල රසායනාගාරයේදිම දෙකට වෙන්කොට දෙනු ලැබීය. මේ අනුව අඩි 50 පටල ප්‍රමාණයකින් අඩි 100 රූපගත කිරිමක් කළ හැකි විය. නිහඬ පටල වශයෙන් නිෂ්පාදිත මෙහි සිදුරු හෙවත් රන්ඩු (SPROCKET HOLES) තිබුණේ එක් පැත්තක පමණි. අඩියක රූප රාමු 80කි. ධාවන වේගය තත්පරයකට රූප රාමු 24 වේගයක් ගනියි.

පසුව අලුතින් සොයාගන්නා ලද මිලිමීටර් 08 ප්‍රමාණය සුපර් 08 නමින් නම් ලැබීය. මෙහි වෙනස්කම් කිහිපයක් තිබිණ. එක් වෙනසක් වූයේ පටල දෙකට කැපීමකින් තොරව රූප ගත කිරීම් හැකියාවයි. අනෙක් විශේෂත්වය අඩියක රූප රාමු 72කට අඩුවීමයි. එම රූප රාමුවක දිග මිලි මීටර් 06ක් විය. උස මිලිමිටර් 03ක් පමණි. රූප රාමු දෙකක් අතරේ පරතරය මිලි මීටරයකි. එම නිසා පැරැණි මිලි මීටර් 08 වඩා සුපර් 08 රූප රාමු විශාලය. තිරය මත පතිතවන දර්ශන විශාල වගේම පැහැදිලි විය. සාමාන්‍ය පිළිගැනීම අනුව විනාඩි 10 ධාවන කාලයක් සඳහා මිලි මීටර් 08 පටල අඩි 200කට වඩා වුවමනා නැත.

මිලිමීටර් 08 චිත්‍රපටයක් තිරයක හෝ බිත්තියක අඩි 9 ය 12 ප්‍රමාණයෙන් පැහැදිලිව ප්‍රදර්ශනය කිරිමේ හැකියාව තිබිණ. මෙය මිලි මීටර් 16 ප්‍රක්ෂේපණයට සමානය. සම්මත වාර ගණන අනුව මිලිමීටර් 08 ප්‍රමාණයේ පිටපතක් 1500 වාරයක් හොඳ තත්ත්වයෙන් ප්‍රදර්ශනය කිරීමට පුළුවන. එය අනෙක් චිත්‍රපට පිටපත් සමඟ සසඳන විට වැඩි ධාවන වාර ගණනකි.

මෙසේ බලන කල කාර්මික අතින් විශිෂ්ට දියුණුවක් සමඟ පොදු ජනපි‍්‍රයත්වයක් දිනූ මෙකී ප්‍රමාණයෙන් ඇන්ඩි වොහොල් හා ජැක්සන් නමැත්තෝ වෘත්තාන්ත චිත්‍රපට පවා නිපදවිය හැකි බව සනාථ කළහ. කෙටි හා වෘත්තාන්ත චිත්‍රපට මිලි මීටර් 08 ප්‍රමාණයෙන් මෙරටින් ද නිර්මාණය වී ඇති වග හෙළ සිනමා වංශ කතාවෙන් සැඟව පවතින ඉතිහාසයකි. ඒ පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමේදී 1950 ලෙස්ටර් ජේම්ස් පීරිස් පවා මිලිමීටර් 08 ප්‍රමාණයෙන් පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කොට තිබීම සුවිශේෂ සිද්ධියකි. උඩරට නැටුමක අත්පා චලනය සමීප රූප මගින් ඉදිරිපත් කළ එය සිංහලීස් ඩාන්ස් වෙයි. එහි ධාවන කාලය විනාඩි 08 පමණි. රූප ගත කළේ එච්. ජෑන්ස් විසිනි.

අසරණයා 1958 වර්ණයෙන් නිෂ්පාදිත වෘත්තාන්ත චිත්‍රපටයකි. ඔක්තෝබර් 18 වැනිදා එවකට විපක්ෂ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස්ලි ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පානදුර නගර ශාලාවේ මංගල දර්ශනය පැවැත් වූ එය ශී‍්‍ර ලංකාවේ වෘත්තාන්ත සිනමාකරණය සඳහා මිලි මීටර් 08 යොදාගත් ප්‍රථම අවස්ථාවයි. ධාවන කාලය පැයකුත් විනාඩි 15ක් පමණි. ස්ටෑන්ඩඩ් 08 රූපපටලවල රූප ගත කොට තිබුණ නිසා හඬ පටය චිත්‍රපටයෙන් පරිබාහිරව සැකසීමට සිදුවිය. පානදුරේ ළමා සිතුමිණ මණ්ඩලය ඉදිරිපත් කළ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කොඩ්රින්ටන් ජේ.කුෙර්ය. නිෂ්පාදකවරයාත් ඔහුමය. ඔහු සමඟ ඒ වන විට සිනමා ලෝකයට පිවිස නොතිබුණ ජීවරාණි කුරුකුලසුරිය අසරණයා චිත්‍රපටයේ පසුබිම් ගායනය කළ ගායිකාව වූවාය. ගීත ප්‍රබන්ධය හා සංගීතය ස්ටැන්ලි එම්. ප්‍රනාන්දුගෙනි. කැමරා ශිල්පියා වූයේ බුද්ධදාස මැල්ය. රංගන ශිල්පීන් පාසැල් සිසුන් විය.

ගැමි කොල්ලෝ 1959 නිෂ්පාදිත තවත් වෘත්තාන්ත චිත්‍රපටයක් වෙයි. ස්ටෑන්ඩඩ් 08 ප්‍රමාණයේ කළු සුදු චිත්‍රපටයක් වූ එහි ධාවන කාලය පැය එකහාමාරක් පමණි. පානදුර ළමා සිතුමිණ මණ්ඩලයම ඉදිරිපත් කළ මෙම චිත්‍රපයෙන් නිෂ්පාදක අධ්‍යක්ෂවරයා කොඩ්රින්ටන් ජේ.කුරේ විය. කැමරා ශිල්පියා වුයේ ඔහුගේ සොහොයුරු බිස්මාක් කුෙර්ය. පසුකලක ජනපි‍්‍රය ගායකයකු සිරිල් හියුමන් ගැමි කොල්ලෝ චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට පිවිසි ගායකයෙකි. ඔහුගේ සොහොයුරු එක් ගීතයක්ද, අනෙක් ගීතය චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ප්‍රැන්ක්ලින් ද දසනායක පබැඳීය. රංගනයෙන් ශිරාණි කුරුකුලසුරිය, විල්බට් ඇන්තනි, සුවිනිතා පීරිස්, ඩෙන්සිල් ප්‍රනාන්දු, ලෙස්ටර් කුරේ, ජෙනට් ප්‍රනාන්දු, ජෝශප් මෙන්ඩිස්, දීපාල් ප්‍රනාන්දු දායකව සිටියහ. ගැමි කොල්ලෝ මංගල දර්ශනය දෙසැම්බර් 12 වැනිදා එවක වැඩ බලන සංස්කෘතික ඇමතිව සිටි එම්. ඩබ්ලිව්. මැදිවකගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

සමාජ සේවය 1967 අපේ‍්‍රල් 11 වැනිදා වැල්ලවත්තේ ශාන්ත පීතර විදුහල් ශාලාවේ මංගල දර්ශනය පවත්වන ලද අනෙක් වෘත්තාන්ත චිත්‍රපටයයි. පැය එකහමාරයක ධාවන කාලයකින් යුත් මෙයත් ස්ටෑන්ඩඩ් 08 වර්ණයෙන් රූපගත කොට තිබිණ. හෙළදිව ළමා කලා චිත්‍රපට තිරයට ගෙන මෙම චිත්‍රපටයේත් ගැමි කොල්ලෝ පිරිසම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංගීත අධ්‍යක්ෂණය කළහ. ජයතිස්ස හෙට්ටිආරච්චි හා දයා සෙනෙවිරත්න සමාජ සේවය චිත්‍රපටයේ පසුබිම් ගීත ගැයූ ගායකයන් දෙදෙනා වෙති. රංගන ශිල්පීහු මහින්ද නිහාල්, පුණ්‍යා ගුණතිලක, මාරියස් ප්‍රනාන්දු, නොයෙල් හැරල්ඩ් වූහ.

එලෙස අසරණයා ගැමි කොල්ලා, සමාජ සේවය නමින් ශ්‍රී ලංකාවේ වැඩිම මිලිමීටර් 8 වෘත්තාන්ත චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළ ගොඩ්වින්ටන් ජේ (ජෝශප්) කුරේ වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. තම සිසුන් සමඟ කුඩා තිරපට සිනමාව ප්‍රායෝගිකව අත්විඳගත් ඔහු මිල මීටර් 8 වෘත්තාන්ත චිත්‍රපට කර්මාන්තයේ පුරෝගාමියා ලෙස පිළිගැනීම වරදක් නැත. 42 වැනි වියේ පසුවද්දී 1978 ජනවාරි 28 වැනි දින ඔහු සාහාසික ලෙස ඝාතනය කිරීම තවමත් නොවිසඳුණු අබිරහසකි. ඒ වනවිට ඔහු වලාන විදුහලේ විදුහල්පතිවරයාය. එවන් අකල් මරණයකට ගොදුරු නොවී ජීවත්ව සිටියා නම් මිලිමීටර් 8 වෘත්තාන්ත සිංහල සිනමාවේ ප්‍රගතියක් ඇති කිරීමට සමත් ගොඩ්වින්ටන් ජේ් කුරේ උපන්නේ 1936 අගොස්තු 17 වැනිදා වලානේදීය.

මතු සම්බන්ධයි...