අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද ?

දෙසැම්බර් 16, 2021

සිංහල කථානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කථානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ. බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.


අනුරුද්ධ ජයසිංහ



චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි අනුරුද්ධ ජයසිංහ පසුව ටෙලිනාට්‍යකරුවෙකු ලෙසද දක්ෂතා පෙන්වූ අධ්‍යක්ෂවරයෙකි. සංක්‍රාන්ති, බෝම්බ සහ රෝස, එක දවසක අපි, ගින්නෙන් උපන් සීතල යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලදී. මතු බලාපොරොත්තු සහගත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස විචාරකයන් ඔහුව හඳුන්වයි.



1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. දෙලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස්
3. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
4. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක
5. විරාගය - තිස්ස අබේසේකර
6. දඩයම - වසන්ත ඔබේසේකර
7. ආකාස කුසුම් - ප්‍රසන්න විතානගේ
8. මේ මගේ සඳයි - අශෝක හඳගම
9. තනි තටුවෙන් පියාඹන්න - අශෝක හදගම
10. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර

විජිත ගුණරත්න



විජිත ගුණරත්න ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍යකරුවෙකු ලෙසය. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය කීපයක් මෙරට වේදිකාවට ගෙන ආ නාට්‍යකරුවෙකි ඔහු.
විජිත ගුණරත්න අධ්‍යක්ෂණය කර ඇත්තේ එක් චිත්‍රපටයක් පමණී. ඒ වලාපටල චිත්‍රපටයයි. එය හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානය දිනාගත්තේය.



1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. පාර දිගේ - ධර්මසේන පතිරාජ
3. අහස් ගව්ව - ධර්මසේන පතිරාජ
4. වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ
5. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා
6. හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක
7. දඩයම - වසන්ත ඔබේසේකර
8. ගැහැනු ළමයි - සුමිත්‍රා පීරිස්
9. ඉර මැදියම - ප්‍රසන්න විතානගේ
10. සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර

මේ සතියේ හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද සංඛ්‍යාව මෙසේයි.

නිධානය - 02 දඩයම - 02
හංස විලක් - 02 සුළඟ එනු පිණිස - 02