අවදානමක් තිබුණත් චිත්‍රපටය මුදා හැරියේ ප්‍රේක්ෂකයන්ට හොඳ යමක් තිළිණ කිරීමේ අරමුණින්

නිහඬ සෙවණැලි චිත්‍රපටයේ නිෂ්පාදක ජානක රංචාගොඩ
දෙසැම්බර් 9, 2021

 

කොවිඩ් තෙවැනි රැල්ලෙන් පසුව සිනමාපට මුදාහරින්නට බොහෝ නිර්මාණකරුවන් පෙලඹුණේ නැහැ. ඒ මන්දයත් සිනමාලෝලීන් සුපුරුදු පරිදි සිනමා ශාලා වෙත නොඒවි යන සිතුවිල්ල නිසයි. එමෙන්ම කොවිඩ් නිසා සිනමාශාලාවක සිටින නරඹන්නන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව සීමා වීමත් එයට තවත් හේතුවක් වුණා. මේ තත්ත්වය මත චිත්‍රපටයක් මුදාහැරලා අවාදානමක් ගන්න නිර්මාණකරුවන් බොහෝදෙනෙකු කැමැති වුණේ නැහැ. එහෙත් එම තත්ත්වය නොතකා සිනමාපටයක් පසුගියදා තිරගතවීම ආරම්භ වුණා. ඒ සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ නිහඬ සෙවණැලි. අධ්‍යක්ෂවරයා වගේම නිෂ්පාදකවරයාත් එක සිතුවිල්ලක සිටියා මේ මොහොතේ එම චිත්‍රපටය මුදාහරිනවා කියලා. මේ තත්ත්වය සලකා බලද්දී වඩා වැඩි අවදානමක් ඇත්තේ නිෂ්පාදකවරයාට. මොකද ඔහු තමයි චිත්‍රපටයක් වෙනුවෙන් තමන්ගේ ධනය වියදම් කරන්නෙ. ඒ වෙනුවෙන් නිසියාකාර ලාභයක් නොලැබුණොත් ඔහු ආයෝජනය කළ මුදලෙන් තේරුමක් නැහැ. ඒ වගේම ඔහු සිනමා ක්ෂේත්‍රයෙන් ඉවත්වන්නටත් ඉඩ තිබෙනවා. එහෙම උදාහරණත් ඕනෑතරම් තිබෙනවානෙ. කෙසේ වෙතත් මේ මොහොතේ දැඩි අවදානයක් අරගෙන චිත්‍රපටයක් මුදාහරින්නට පෙලඹුණු ඒ නිෂ්පාදකවරයා සමඟ අප මෙලෙස කතාබහක නියැළුණා. ඔහු නමින් ජානක රංචාගොඩ.

 

 

ඔබ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට පෙලඹුණේ ඇයි කියලා පළමුව මං අහනවා?

ඇත්තටම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මගේ දුරින් ඥාතියෙකු වනවා. තවත් ඥාතියෙකු තමයි අපි දෙන්නව සම්බන්ධ කරලා මෙම චිත්‍රපටය පිළිබඳ කතා කරන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ. පළමුව කියන්න ඕනෙ මම මෙහි කතා තේමාවට ඉතා කැමැති වුණා. බොහෝ දෙනෙකුට නිහඬ සෙවණැලි චිත්‍රපටයේ පෝස්ටරයක් හෝ කටවුට් එකක් දුටු සැණින් හිතෙන්නට පුළුවන් මේක තවත් හොල්මන් චිත්‍රපටයක් දෝ කියලා. නමුත් ඊට එහා කතා කරන දෙයක් මෙහි තියෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පරිසරය පිළිබඳ අපි හිතන්න නැති පැත්තක් මෙමගින් කතා කරනවා. නිරන්තරයෙන් අපි දකින අහන වන විනාශය ගැන කතා කරනවා. මේ වෙලාවේ කියන්න ඕනෙ මේක පරිසරය පිළිබඳ හිතන්න පුරුදු කරන චිත්‍රපටයක් කියලා.

 

ඔබ කැමතිවූ ඒ කථා තේමාව ගැන වැඩිදුරටත් සඳහනක් කළොත්?

වන විනාශය පිළිබඳ තමයි වැඩිපුරම මෙහි කතා වෙන්නේ. තවත් විදිහකින් කිව්වොත් පරිසරයට අපි කරන්නාවූ හානියට දඩුවම් මේ ජීවිතයේදීම ලැබෙනවා කියලා මෙමඟින් පෙන්නල දෙනවා. ඇත්තටම පරිසරය කියන්නේ අපේ ජීවය. අපි හුස්ම ගන්නේ මේ පරිසරය නිසා. මේ වනාන්තර ඉවක් බවක් නැතිව විනාශ කිරීම තුළින් අපේ ජීවිත තමයි අපි මේ නැති කරගන්නේ. මේ කතාවට අනුව එක්තරා පිරිසක් වනය විනාශ කරනවා. ඒ වගේම අකටයුතුකම් වල යෙදෙනවා. ඒ පිරිසට පරිසරය විසින්ම දඬුවම් ලබා දෙනවා. ඒ කතා පුවතට තවත් අඩු අඩුවැඩිය එකතු කරලා තිර පිටපත ලස්සනට ලියවිලා තියෙනවා.

 

මේ වගේ චිත්‍රපටයක් නරඹන්න පවුල් පිටින් එන ප්‍රවණතාව හුඟක් අඩුයි?

අපි මෙතැන ගොඩක්ම ඉලක්ක කර ගත්තෙ තාරුණ්‍ය. තරුණ නළු නිළියන් වඩා වැඩි සංඛ්‍යාවක් මෙහි රංගනයේ යෙදෙනවා. හැබැයි චිත්‍රපටය පවුලෙ අයට නරඹන්න බැරිකමකුත් නැහැ. ඒත් ඊට වැඩිය මම හිතනවා තරුණ පිරිසට මේ චිත්‍රපටය නරඹන්නට වැඩි උනන්දුවක් ඇති වේවි කියලා.

 

මේ කාලයේ චිත්‍රපටයක් මුදාහරිනවා කියන්නේ දැඩි අවදානම් සහගත කටයුත්තක්?

මේ චිත්‍රපටය රූපගත කිරීම් කළේ 2018 වසරේ. ඊට වසරකට පමණ පසුව චිත්‍රපටයේ සියලු වැඩකටයුතු නිමවුණා. ඉන් අනතුරුව එය මුදා හරින්නට අපි තීරණය කළා. නමුත් පාස්කු ප්‍රහාරය වැනි ව්‍යසන නිසා එය දිනෙන් දිනම කල් ගියා. කොහොම හරි ඊට පස්සේ කොවිඩ් ආවා. කොවිඩ් අතරතුරදීත් මේ චිත්‍රපටය මුදාහරින්නට අපි සැලසුම් කළත් ඒක හරි හැටි කරගන්නට අපිට ලැබුණේ නැහැ. මේ තත්ත්වය මත දිගින් දිගටම චිත්‍රපටය මුදා හැරීම කල් ගියා. එවන් මොහොතක තමයි මේ අවස්ථාව අපිට ලැබෙන්නෙ. මම හිතුවා ආයේ තවදුරටත් චිත්‍රපටය කල් නොදමා මේ ලැබුණු අවස්ථාවෙන් චිත්‍රපටය මුදා හරින්න. බොහෝදෙනෙකු කිව්වා මේ වෙලාවේ චිත්‍රපටයක් රිලීස් කරන්න එපා කියලා. ඇත්ත මම දන්නවා ඒක ලොකු අවදානමක්. නමුත් තවදුරටත් මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට නොදී තියාගෙන ඉඳීමේ තේරුමක් නැහැ කියලා හිතනවා. මොකද තව තවත් කල් යන එක තමයි සිද්ධවෙන්නේ. ඊට වැඩිය මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න එක හොඳයි කියලා තමයි මම විශ්වාස කළේ.

 

මේ චිත්‍රපටයේ සමහර දර්ශන සඳහා වැඩි පිරිවැයක් වැයවෙලා තියෙනවා?

ඔව් ඒක ඇත්ත. සමහර දර්ශනවලට අපිට කේබල් භාවිත කරන්න වුණා. ලංකාවේ ගොඩක් චිත්‍රපටවලට කේබල් භාවිත කරනවා අඩුයි. නමුත් අපි ඒ අවස්ථාවලට අවශ්‍ය පරිදි අධ්‍යක්ෂකවරයාට නිර්මාණය කරගෙන යන්න මම ඉඩ දුන්නා. ඒ වගේම නළු නිළියන් තෝරා ගත්තෙත් ඔහු. ඊට බලපෑම් කරන්නට මම ගියෙත් නැහැ. මෙහි ප්‍රධාන චරිතය රඟපාන තාරුකා වන්නිආරච්චි අපි කේබල් භාවිතයෙන් අඩි සියයක් විතර උඩ අරගෙන ගිහිල්ලා රූපගත කිරීමක් කළා. ඒවා දකිද්දී චිත්‍රපටයට සාර්ථක වෙන්නට ඒවා බලපා තියෙනවා කියලත් හිතෙනවා. අපි මෙහි රූපගත කිරීම් කළේ පන්නල වක් කැලේ ප්‍රදේශයේ. හොරණ පරණ නිවසකුත් ඒ සඳහාත් භාවිත කළා. විවිධ තාක්ෂණික ප්‍රයෝග අප ඒ සඳහා පාවිච්චි කළේ පිරිවැය ගැන හිතන්නේ නැතුව. චිත්‍රපටය ලස්සනට නිර්මාණය කරගන්නටයි මට අවශ්‍ය වුණේ.

 

ඔබේ වෘත්තීය ගැන සදහනක් කළොත්?

මම මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. මම පදිංචි වෙලා ඉන්නේ එංගලන්තේ.ලංකාවට එනවා යනවා. බොහෝවිට මේ සම්මුඛ සාකච්ඡාව සරසවියේ පළ වෙද්දීත් මම විදෙස්ගත වෙලා ඉඳීවි.

 

සේයාරුව - නිශ්ශංක විජේරත්න