වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
කෙටි චිත්‍රපට 10ක් “දොරට වඩමින්” යොවුන් පරපුරේ සිහිනයක මල් පිපුණු හැටි

කැමරා අධ්‍යක්ෂකවරුන් හතර දෙනකු දොරට වැඩීම ද අභිමානයෙන් දක්වා තිබුණි.
මීට හරියටම වසර 45කට පෙර එනම් 1976 සැප්තැම්බර් 02 වැනිදා රාජ්‍ය චිත්‍රපට සංස්ථාව විසින් ඉසුරින් පිරි සිංහල සිනමාවක් නිර්මාණය කිරිමේ වරම් ලැබූ තරුණ සිනමා ශිල්පී ශිල්පිනියන්ගේ කෙටි චිත්‍රපට නිෂ්පාදන ක්‍රමය තුළින් බිහි වූ කෙටි චිත්‍රපට 10ක ‘දොරට වැඩුම’ උලෙළෙක් නැරඹීමට මට හැකි විය. එදා ඒ පිළිබඳ ‘සරසවිය’ පුවත්පතින් පූර්ව ප්‍රචාරය දීමේ දී උපරීම අනුග්‍රහය ලබා දීමට එවක ‘සරසවිය’ කර්තෘ විමලසිරි පෙරේරා මහතා මට උපදෙස් ලබාදුන් බව සිහිකොට ඔහුට කෘතඥතාව පළ කිරීමෙන් එදා තොරතුරු ඔබට මම ඉදිරිපත් කරමි.
1972 දී නිවහල් සිංහල සිනමාවක් බිහි කිරීමේ අරමුණුනැතිව පිහිටු වූ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ඒ අරභයා ගත් විවිධ පියවර අතර නව පරපුරේ කුශලතාවයක් හා ශිල්ප ප්‍රතිභාවන් පුබුදු කොට අදීන සිනමාවක් කරා යොමු කරවීමේ අරමුණින් යුතුව අදීන සිනමාවක් කරා යොමු කරවීමේ අරමුණින් යුතුව කෙටි චිත්‍රපට අංක 1 වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන ලදි.
ඉහත කී වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට තෝරා ගන්නා ලද කෙටි චිත්‍රපටකරුවන් 12 දෙනාගෙන් 10 දෙනෙක් තම කෙටි චිත්‍රපට විවිධ මට්ටම්වලින් සාර්ථකව සම්පුර්ණ කර චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට ද මේ ක්‍රමය තුළින් සහකාර කැමරා ශිල්පීන් 4 දෙනෙක් කැමරා ශිල්පීන් වශයෙන් ද සංස්ථාව ලියා පදිංචි කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන බව සංස්ථාවේ සභාපති එල්.පියසේන මහතා එදා පැවසුවේය.
කෙටි චිත්‍රපට නිපදවීමට යන වියදමින් 25%ක් නිෂ්පාදකයින් විසින් වැය කිරීමට ද ඉතිරි 75% සංස්ථාව විසින් වැය කිරීමට ද සංස්ථාව තීරණය කර තිබුණි. මේ තීරණයට අනුව, සංස්ථාව රුපියල් 60,000ක් පමණ දැනට වියදම් කර සිදු වූ බව සභාපති පියසේන මහතා කියා තිබුණි. මේ කෙටි චිත්‍රපට 10 සිනමාහල්වල අතිරේක චිත්‍රපට වශයෙන් ප්‍රදර්ශනය කිරීමටත් ඔහු පියවර ගන්න බව පවසා ඇත.
සංස්ථාවේ මහා කළමනාකරු ඩී.බී. නිහාල්සිංහ මහතා කෙටි චිත්‍රපට නිර්මාණයේ ප්‍රවීණයෙක්ව සිටි අත්දැකීම් රැසක් ඇති ඔහු විසින් නිර්මාණය කළ ‘භක්ති’ චිත්‍රපටය ලන්ඩනයේ කාඩීෆ් අන්තර්ජාතික සම්මාන උළෙලේ දී උසස් සම්මානයක් ලැබූ නිර්මාණකරුවෙකි. ඔහු අදහස් දක්වා තිබුණේ තමා ලත් අත්දැකීම් ඇසුරෙනි.
‘දිග වෘත්තාන්ත චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන නවකයන්ට වෘත්තීය අත්දැකීම් ලබා ගැනීමට ද කෙටි චිත්‍රපටය බොහෝ දුරට උපකාරී වෙනවා. තට්ටු කීපයක නිවාසයක් තැනීමට ප්‍රථම ගෘහ නිර්මාණ ශිල්පය පුහුණුවන්නකු විසින් තනි තට්ටුවක ගෙයක් ඉදි කිරිමෙන් අත්දැකීම් ලබා ගන්නවා වැන්නක් කෙටි චිත්‍රපට නිෂ්පාදනයෙන් ඉටුවෙන්නේ. මෙරට ආර්ථිකය අනුව අතහැර විනිමය වැය කිරිමේ හැකියාවක් අප චිත්‍රපට කර්මාන්තය සතුව නැහැ. ඒ නිසා නවකයකුට ලක්ෂ තුන හතරක් වියදම් වන දින දිග වෘත්තාන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට ඉඩ දීමට ප්‍රථම රුපියල් දහ පහදොස් දාහක වියදමින් නිම කළ හැකි කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සුදුසු යැයි සංස්ථාවේ පිළිගැනීමයි.’
ක්‍රම සම්පාදන හා ආර්ථක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එච්.ඒ.ද. එස්. ගුණසේකර මහතා පවසා සිටියේ චිත්‍රපට සංස්ථාව වාණිජමය අතින් ද සිය කටයුතු සාර්ථක කර ගෙන උපයා ඇති ලාභ වලින් නිදසුන් සපයා දුන් බවය. 1972 වසරේ රුපියල් 3,15,396 ද 1973 රුපියල් 6,03,298 ක් ද 1974 වසරේ රුපියල් 37,10,127ක් ද 1975 වසරේ රුපියල් 53,00,00 යි.
තරුණ සිනමා ශිල්පීන් දස දෙනාගේ කෙටි චිත්‍රපට තිරගත වන උලෙළ වෙනුවෙන් ‘දොරට වැඩුම’ නමින් සමරු කලාපයක් නිකුත් විය. එහි පිටකවරය රැලෙක්ස් රණසිංහ නිර්මාණය කර තිබුණේ කෑගලු දිස්ත්‍රික්කයේ අරණායක දිප්පිටිය විහාරස්ථානයේ දැව කැටයම් උළුවස්ස ඇසුරෙනි. මෛත්‍රී රත්නායකගේ රචනා රැලෙක්ස් විසින් සංස්කරණය කොට අගනා සමරු කලාපයක් නිර්මාණය කොට තිබුණි.
‘දොරට වැඩුම’ කෙටි චිත්‍රපට උලෙළේ මුලින්ම තිරගත වූයේ සුසීමා දමයන්ති ගේ ‘රටක් වටිනා ගසක්’ නිර්මාණයයි. ඒ වන විට ඇය යෞවන නවකතාකාරියක ලෙස නමක් දිනා තිබුණාය. ‘කෝ අයියා’ ,’කපන්න බැරි අත’ ‘අම්ම මගේ රත්තරන්’ මේ නවකතාය. ‘අම්ම මගේ රත්තරන් - ළමා නවකතාව සඳහා යුනෙස්කෝ සම්මාන දිනූ ඇය 1968 දී කලා පෙළ සිනමා පාඨමාලාව ද සහභාගි වී තිබුණාය. ‘රටක් වටිනා ගසක්’ කෙටි චිත්‍රපටයේ තේමාව ගැන ඇය දක්වා තිබුණේ මේ ආකාරයටය. රබර් කර්මාන්තය හා ඉන් යැපෙන තරුණයෙකු පිළිබඳ වූ කෙටි වාර්තා චිත්‍රපටයකි.
‘මුතු ඇටයේ ගලා ගිය දහඩියෙන් මහ ගසක් පැළවුණා. ඒ ගසේ රුධිරයෙන් රන් ලොවක් මතුවුණා. මේ රටක් වටින ගස සුරතුරයි. මිලි මීටර් 35 - සුදු සහ කළු, දිග අඩි 1000. කාලය විනාඩි 11කි.
‘රටක් වටින ගසක්’ කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සුසීමා දමයන්ති ගෙනි. කැමරාව - එච්.ආර්. විජේතුංග, සංගීතය රෝහණ වීරසිංහ.
දෙවැනි කෙටි චිත්‍රපටය වූයේ ඇම්.ඒ. සංඝදාස අධ්‍යක්ෂණය කළ ‘කතරක් කරා’ ය. 1968 ‘කලා පෙළ’ චිත්‍රපට පාඨමාලාවට සහභාගි වූ සංඝදාස, ජී.ඩී.එල්. පෙරේරාගේ ‘රෝමියෝ ජුලියට් කතාවක්’ චිත්‍රපටයේ නිෂ්පාදන සහායක ලෙස ද, ‘භග්න ආශා’ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ලෙස ද, ‘වල්මත්වූවෝ’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක ලෙස ද, දියමන්ති’ චිත්‍රපටයේ සහාය තිර නාටක රචකයා ලෙස ද කටයුතු කළ අතර ඔහුගේ පළමුවන චිත්‍රපට අධ්‍යක්ෂණය වූයේ ‘කාංචනා’ ය. ‘නිල්තුර වැල්වල සිසිලස විඳ විඳ ගලා බසින්නේ නිල් දිය දහරකි. තුරුවැල් නැති සඳ සිහිලස නැති සඳ කෙලෙසද දියවැල් ගලා බසින්නේ එසඳ දකින්නේ නිරුදක කතරකි.’ මේ කෙටි චිත්‍රපටය ගැන කළ වර්ණනාවකි.
වන සංරක්ෂණයේ ඇති වැදගත්කම පිළිබිඹු කරන මේ ‘කතරක් කරා’ කෙටි වාර්තා චිත්‍රපටයකි. මි.මී. 35, සුදු සහ කළු, දිග අඩි 1000. කාලය විනාඩි 11කි.
තුන්වැනි කෙටි චිත්‍රපට වූයේ ඒ.වී.රත්නවීර ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘කප්රුක’ ය. රත්නවීර ස්වොත්සායෙන් සිනාමාකරණ ශිල්පියෙකි. ඔහු සිය හැකියාවන් නිශ්චල ඡායාරූප ප්‍රදර්ශන වල දී පෙන්විය. ඩිල්මන් ජයරත්න යටතේ සහාය ශිල්පියකු ලෙස පුහුණුවල රත්නවීර ‘හරි යන කොට ඔහොම තමයි’, ජීවිත ගංගා’ ‘විස්මය’ , අනුෂා චිත්‍රපටවල සහාය කැමරා ශිල්පී සංස්කාරවරයකු සහ නිෂ්පාදන කළමනාකරුවකු ලෙස ද කටයුතු කළේය. ‘ගහෙන් පොත්තෙන් කඳෙන් කොළයෙන් සතට සෙත දුන් සුර ලොවින් මනු ලොවට දුන් දායදයකි. ‘කප්රුක’ යයි හඳුන්වා තිබුණි.
තුවාන් කිචිල් කැමරාව මෙහෙය වූ ‘කප්රුක’ කෙටි චිත්‍රපටය මිලි මීටර් 35, සුදු සහ කළු. දිග අඩි 1000. කාලය විනාඩි 11කි. පොල් කර්මාන්තය පිළිබඳ වූ කෙටි චිත්‍රපටයකි.
හතරවැනි කෙටි චිත්‍රපටය තිස්ස එච්.විතානාරච්චි අධ්‍යක්ෂණය කළ ‘වැරදි දැක්ම’ පරිසරය නිසා නොමඟ යන සිඟිත්තෙකු පිළිබඳ අර්ධ වාර්තා චිත්‍රපටයකි. තුවාන් කිචිල් කැමරාව මෙහෙය වූ මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය කුලරත්න විජේසුරිය ගෙනි. මි.මි. 35. සුදු සහ කළු, දිග අඩි 1000. කාලය විනාඩි 11කි.
ලබන සතියට...