අපේ කතානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

සිනමාකරුවන්ගේ තේරීම කුමක්ද? සතිපතා විමසා බලමු
අගෝස්තු 19, 2021

 

කඩවුණු පොරොන්දුව තිරගත කිරිමෙන් ඇරඹි සිංහල කතානාද සිනමාවට එළඹෙන ජනවාරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. ඒ අනව සමරන්නේ දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්‍ර ජයන්තිය වෙනුවෙන් මෙතැන් සිට විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්‍යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ.

බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (BFI) "Sight & Sound" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය වනුයේ ද සිනමාකරුවන් ගේ හා විචාරකයන්ගේ ඡන්දයෙන් හොදම චිත්‍රපට තෝරා ගැනීමය. . මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් හා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට හෝ හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මාන දිනා ඇති අධ්‍යක්ෂවරුන් විසින් අධ්‍යක්ෂවරුන් විසින් තෝරා දෙනු ලබන චිත්‍රපට අතරින් වැඩිම තෝරා ගැනීම අනුව හොදම චිත්‍රපට 10 ප්‍රකාශයට පත් කරනු ඇත. මේ සියළු සිනමාකරුවන්ගේ චිත්‍රපට මෙරට වාණිජමය වශයෙන් මෙරට ප්‍රදර්ශනය වී තිබීම අනිවාර්ය වේ. සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. විචාරකයන් විසින් තෝරා දෙනු ලබන චිත්‍රපට විචාරකයන්ගේ හොඳම චිත්‍රපට දහය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ. . මෙම මත විමසීම සඳහා අධ්‍යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.

 

සුමිත්‍රා පීරිස්

චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් සංස්කාරකවරිය සහ නිෂ්පාදිකාවක් ලෙස සුමිත්‍රා පීරිස් හෙළ සිනමාවට සුවිසල් මෙහෙවරක් ඉටු කළාය. හෙළ සිනමාවේ කිවිඳීය ලෙසින් අන්වර්ථ නම් ලද ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳයි. ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, ලොකුදුව, දුවට මවක මිස, සක්මන් මලුව, යහළුවෝ, වෛශ්නාවි ඇය විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර කැපී පෙනෙයි. . හොඳම චිත්‍රපටය සඳහා වැඩිම වාර ගණනක් සරසවිය සම්මාන දිනා ගත් අධ්‍යක්ෂවරිය වන්නේද ඇයයි.

1. නිධානය

2. ගම්පෙරළිය

3. පුරහඳ කළුවර

4. අහස් ගව්ව

5. විරාගය

6. සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා

7. මේ මගේ සඳයි

8. සරෝජා

9. සරුංගලය

10. මෝටර් බයිසිකල්

 

තිස්ස ලියනසූරිය

 

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක්, ගුවන්විදුලි සන්නිවේදකයෙක් සහ පරිවර්තකයෙක් ලෙස තිස්ස ලියනසූරිය මෙරට සිනමාවට කලාවට ඉමහත් සේවයක් කළේය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට අතර ගැටවරයෝ, සාරවිට, පුංචි බබා, නාරිලතා යන චිත්‍රපට ප්‍රධාන වේ. හෙළ සිනමාවේ නිළි රැජන වන මාලිනී ෆොන්සේකා "පුංචි බබා" චිත්‍රපටය හරහා සිනමාවට හඳුන්වාදෙන්නේද තිස්ස ලියනසූරිය විසිනි. සාරවිට සහ ගැටවරයෝ යන චිත්‍රපට සඳහා පිට පිට දෙවතාවක්ම හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා සරසවිය සම්මාන දිනාගැනීමෙන් ිස්ස ලියනසූරිය වාර්තාවක් තැබුවේය. සරසවිය සම්මාන උලෙළ කිහිපයක විනිශ්චය මණ්ඩල සමාජිකයකු වූ ලියනසූරිය අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ වාර්තා සිනමාකරුවකු ද වේ.

1. ගම්පෙරළිය

2. සැනසුම කොතැනද

3. නිධානය

4. බඹරු ඇවිත්

5. ගඟ අද්දර

6. සුද්දිලාගේ කතාව

7. සිරිබෝ අය්යා

8. හඳයා

9. විරාගය

10. පුරහඳ කළුවර

 

 

 

ලුවී වැන්ඩ්‍රස්ටාටන්

ලුවී වැඩර්ස්ටාටන් යනු සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස සිනමාවට විසල් සේවයක් කළ කලාකරුවෙකි. බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය, බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 - 3 - 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත. ආන්දෝලානාත්මක චිත්‍රපට රැසක් තැනූ ලුවී සම්මානනීය ඉංග්‍රිසි නවකතාකරුවකු හැටියට ද පතළය.

1. වැලිකතර

2. නිධානය

3. රන්මුතුදූව

4. ගැටවරයෝ

5. හාර ලක්ෂය

6. බඹරු ඇවිත්

7. කොටි වලිගය

8. පරසතු මල්

9. ගොළු හදවත

10. අබා

 

ආනන්ද වික්‍රමසිංහ

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, තිර කතා රචකයෙක්, නිෂ්පාදකවරයෙක් ලෙස ආනන්ද වික්‍රමසිංහ මෙරට සිනමාවට ඉටු කළේ සුවිසල් මෙහෙවරකි. වසන්ති, දිනුම, සටන, ධනය, යසස, දිනුම කාගෙද, සසර සැරි සරන තෙක් ඔබ මගේ, හදවත මල් යායකි , සාජන් නල්ල තම්බි යන සිනමාපට යන චිත්‍රපට තැනූ ආනන්ද වික්‍රමසිංහ වර්තමාන සිනමාවේ සිටින ජ්‍යෙෂ්ටතම සිනමාවේදියකු ලෙස හැදින්විය හැක.

1. කැලෑ හඳ

2. මාතලන්

3. රන්මුතුදූව

4. ගැටවරයෝ

5. චණ්ඩියා

6. ධීවරයෝ

7. ගඟ අද්දර

8. ගොළු හදවත

9. තෙවත

10. අදට වැඩිය හෙට හොඳයි

 

ඒ අනුව මේ වන විට හොඳම චිත්‍රපටය ලෙස ලැබී ඇති වැඩි ඡන්ද ප්‍රමාණය

 

 

නිධානය - ඡන්ද 03

බඹරු ඇවිත්, ගම්පෙරළිය, ගග අද්දර, ගැටවරයෝ, ගොළු හදවත, පුරහඳ කළුවර, රන්මුතු දූව, විරාගය ඡන්ද 2 බැගින් ලබා ගෙන ඇත.