''හතර දෙනාම සූරයෝ'' ඇත්තටම තිර ගත කළ දිනය කවදාද?

අගෝස්තු 19, 2021

 

සරසවිය පුවත්පතේ එදා හතර දෙනාම සූරයෝ චිත්‍රපටය රූප ගත කිරිම් පිළිබද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවල විසින් විජය චිත්‍රාගාරයේ සිට ලියන ලද ලිපියකින් උපුටා ගත් කොටසක් පසුගිය සතියේ අපි ගෙන ආවෙමු. මේ එහි තවත් කොටසකි.

ශ්‍රියාණිගේ මව ලෙස රඟපෑවේ පර්ල් වාසුදේවිය. පැරැණි ටවර් හෝල් නිළියක වූ ඇය එවැනි නාට්‍ය රාශියක් නරඹා ඇති ගාමිණී සමග අතීතයේ රස කතා කියමින් සිටිනු පෙනුණි.

'එක පාරක් නාට්‍යයක දී ලැඩී රණසිංහටයි මටයි තිබුණා වේදිකාවේ සිංදුවක් කියන්න. ඒක කියන්න කලින් සර්පිනාව ගහන එක්කෙනාට පැත්තකින් පොඩි සිග්නල් එකක් දෙනවා. එදා ඒ සිංදුව කියන තැනට ආව. පැත්තකින් සිග්නල් එක දෙනව දෙනව මිනිහ සර්පිනාව ගහන්නේ නෑ. දැන් ලැඩී ගෙ ඉහින් කනින් දාඩිය බේරෙනවා. ඉවසල ඉවසල බැරිම තැන ලැඩී ඉස්සරහට ගිහිල්ල කිව්වා සන්තානං මෑණියනේ ඒක ගහනවකෝ කියල. එතකොටයි මිනිහට සර්පිනාව ගහන්න මතක් වුණේ. ඒත් ඊට පස්සේ විනාඩි පහක් විතර ගියා මිනිසුන්ගෙන් ආපු හූව නවත්තන්න

'නාට්‍ය ඔක්කොම කීයක විතර රඟපාල තියෙනවද?'

මම (සිරි කහවල) ඇගෙන් ඇසුවෙමි.

'තුන් සියයක විතර '

එහෙත් ඇය රඟපා ඇති චිත්‍රපට ගණන 15කට වඩා නැත.

ඇයි එච්චර අඩු?

'මං කවදාවත් කාගෙන්වත් චිත්‍රපට ඉල්ලන්න යන්නේ නෑ. කවුරු හරි ඇවිල්ල කතා කළොත් යනවා. ඒ වගේම කවදාවත් මං ගැන විස්තරයක් පත්තරේ දාන්න කියලා කාටවත් කියලත් නෑ. විස්තරයක් පළ වෙලත් නෑ. මැරුණහම නං පත්තරේ දමාවි. අයියෝ තවත් පහනක් නිවී ගියා කියලා. මිනිස්සු දන්නේ නෑ .පහන නිවිල ගියේ තෙල් නැතුව විත්තිය.

ඇය දර්ශන තලයෙහි සිටින කල පාලුවක් නැතිව සිටිය හැක්කේ ඇය තෙපළන විකට වදන් නිසාවෙනි.

ඇගේ දියණිය ශ්‍රියාණි අමරසේන වෙඩී වැදී මියගොස් ඇති බැවින් පොලිසිය එය පරික්ෂා කර බැලීමට පැමිණියේය. මෙහිදි පොලිස් පරික්ෂක ලෙස පෙනී සිටියේ පාරා වළලු චිත්‍රපටයේ දාමරිකයකු ලෙස මනා රඟපෑමක් ඉදිරිපත් කළ සුගත් ප්‍රසන්නයි. හතරදෙනාම සූරයෝ හැරුණු විට වීදුරු ගෙවල් හිද ඔහු රඟපායි. සුගත් නිල ඇදුමෙන් සැරසී සිටි අතර තවත් දෙදෙනෙකු පොලිස් භටයන් ලෙස සැරසී උන්හ. 'ඉන්ස්පැක්ටර් මහත්යෝ පර්ල් සුගත් ප්‍රසන්න කැඳවා මටනං සැක මුන් දෙන්නව'

පර්ල් වාසුදේවි කියයි.

'කවුද?

'මේ දෙන්නා'

ඇය කියන්නේ ඔහු සමඟ පැමිණි පොලිස් භට ඇදුමෙන් සැරසුණු දෙදෙනා පෙන්වමිනි.

'පේන්නේ නැද්ද? මූණෙන් වුණත් පේන්නේ, අලි හොරු දෙන්නෙක් වගේ'

එහෙත් එය පර්ල්ගේ විහිළුවක් මිස දර්ශනයට අයිති කොටසක් නොවේ.

මේ දර්ශන තලය පිළිබඳ ඇති විස්තරය චිත්‍රපටය පුරා අපට දැකිය හැකි වෘත්තියක් පමණක් නොව වින්දනයක් ද කොට ගත් බව පැහැදිලි කරයි.

චිත්‍රපටයේ එක් දර්ශනයක ගාමිණී ලයනල් දැරණියගලගේ ජීප් රථයේ එල්ලි යන ජවනිකාවක් වෙයි. මේ ජවනිකාව රූපගත කරවනන්ට නියමිතව තිබුණේ උස්වැටකෙයියාවේය. එහි රථයේ එල්ලී යන ජවනිකාවට වෙනත් ආදේශක නළුවෙක් යොදා ගන්නට නීල් සූදානම් වුවත් ගාමිණී එයට කැමති වූයේ නැත. මේ දර්ශනයට ගාමිණීම සූදානම් වූයේය.

'හැබැයි මේ ෂොට් එකේ නීල්ම වාහනේ එලවන්න ඕනෑ.' ගාමිණී දැන්වූයේය. නිල් එයට එකඟ විය. ලෙනින් නිසි ලෙස කැමරාව මෙහෙයවූයේය. අධික වේගයෙන් නීල් පැදවූ වාහනයේ එල්ලුණ ගාමිණී උස්වැටකෙයියාව පාරේ නියම තැන දී නිසි ලෙස පැන ගත්තේය. නූලක් එහා මෙහා වූවා නම් ඔහු තුවාල වන්නට ඉඩ තිබිණ.

චිත්‍රපටයේ අපූරුම දර්ශන පෙළක් රූගත කරවනන්ට තිබුණේ විජය පසුපසු පොලිසිය ලුහු බඳීද්දී කුකුල් කොටුවකින් දිව යන ජවනිකාවයි. මේ ජවනිකාව රූපගත කරන ලද්දේ දොම්පේ ප්‍රදේශයේ කුකුල් කොටුවකය. දර්ශනය අවසන් වන විට කුකුළන් රාශියක් විජයගේ හා පොලිස් නිලධාරින්ගේ පයට පෑගී ගොසිනි. එයටත් වඩා විජයට කුකුලන් කොටා තුවාල ද කර තිබිණ.

හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂගේ සිට එහි සියලු දෙනා එකල තරුණයෝ වූහ. එබැවින් චිත්‍රපටය පුරා විහිදෙන තාරුණ්‍යයේ ලක්ෂණ අමුතු හැඩක් නොවන බව නම් සහතිකය.

හතර දෙනාම සූරයෝ එකල තරුණයන්ට බලපෑ චිත්‍රපටයක් විය. පසු කලෙක මිල්ලෙ සොයා චිත්‍රපටය තනන විශ්වනාත් බුද්ධික කීර්තිසේන තමාට වැඩියෙන් බලපෑ චිත්‍රපටය හතර දෙනාම සූරයෝ බැව් ප්‍රසිද්ධියේ කීවේය. මිල්ලේ සොයා මුලින්ම නැරඹූ මේ ලියුම්කරු එය නරඹා බූඩි ට පැවසුවේ මේ අපේ කාලයේ හතර දෙනාම සූරයෝ හැටියටයි) කෙසේ වෙතත් හතර දෙනාම සූරයෝ චිත්‍රපටය පිළිබඳ බරපතළ වාදයක් ද ඒ අවදියේ පුවත්පතක පළ විය. ඒ වසන්ත ඔබේසේකර විසින් 'වල්මත්වූවෝ' නිර්මාණය කරන ලද්දේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටය ආශ්‍රයෙන් යැයි නීල් රූපසිංහ විසින් පැවසීමත් සමඟය. 1972 වසරේ දී දීපශිඛා සම්මාන උලෙළේදී ඡන්ද 28217 ක් ලබමින් වසරේ ජනප්‍රියම චිත්‍රපටය හැටියට සම්මාන දිනා ගත්තේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයයි.

හතර දෙනාම සූරයෝ චිත්‍රපටය තිරගත වූ අවදිය 71 කැරැල්ල අවසන් වූ සමයයි. චිත්‍රපටය තිරගත වුණේ එහි උණුසුම මැකී යන්නටත් පළමුවෙන්ය. චිත්‍රපටය තිරගත වන සමය වන විට රැකියා විරහිත තරුණයන් සිව් දෙනෙකු වටා ගෙතුණ මේ චිත්‍රපටය කෙතරම් ජනාකර්ෂණීය වූයේ ද යත් චිත්‍රපටය ආරම්භක සිනමා ශලාවල දින සියය ඉක්මවා ප්‍රදර්ශනය විය. අවසානයේ සිනමාස් මණ්ඩලයේ ඊළඟ චිත්‍රපටය සඳහා ඇතැම් සිනමා ශාලා ලබා දුන්නේ නීල් රූපසිංහගේ පෞද්ගලික කැමැත්ත පරිදිය. ඒ බොහෝ සිනමා ශාලා හිමියන් චිත්‍රපටය ඉක්මනින් ඉවත් කරන්නට අකැමැති වූ හෙයින්ය.

ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම විසින් රචනා කරන ලද දේශීය සිනමා වංශය 1970- 1979 ග්‍රන්ථයෙහි හතර දෙනාම සූරයෝ චිත්‍රපටය පිළිබඳ සඳහන්ව ඇති කරුණු කිහිපයක් මෙහිලා උපුටා දක්වමි. 'විනෝදාත්මක සිනමාවට අත්‍යවශ්‍යම අංග වන ගීත නර්තන හා සටන් තිබුණ ද හතර දෙනාම සූරයෝ පෙර චිත්‍රපටවලට වඩා වෙනස් වන්නේ පළමුව ඉදිරිපත් කිරිමේ තිබූ සිනමාත්මක බවත් ආකර්ෂණීයබවත් නිසා ය. දෙවනුව සමබර තලයක තිබූ දක්ෂතම රඟපෑම් නිසාය. ගාමිණී ෆොන්සේකා පොඩ්ඩේ චරිතය නිරූපණය කරනුයේ චණ්ඩියා හි චුට්ටේ ගේ ම චරිතයේ දිගුවක් ලෙසිනි. අක්මුල් නැති තරුණ ජීවිත පිළිබඳ ඔහුගේ ප්‍රකාශනය ද මේ රඟපෑමේ ගැබ්ව තිබිණ. එසේම හැට දශකයේ ඔහු රඟපෑ වීර චරිතයට වැඩිමනත් මානයක් මේ චරිතයට එක් කිරීම මගින් ගාමිණී 1970 දශකයේ විනෝදාත්මක සිනමාවට අවශ්‍ය වෙනත් මාදිලියක නවීන තරුණයෙකු ද ප්‍රතිනිර්මාණය කළේය. මෙහෙයින් හැත්තෑව දශකයේ ද විනෝදාත්මක සිනමාවේ ඔහුගේ ස්ථාවරත්වය අභියෝගයට ලක් වූයේ නැත. හන්තානේ කතාව චිත්‍රපටයෙන් චරිතාංග නිරූපණයේ දක්ෂතා ප්‍රකට කළ විජය කුමාරතුංග විනෝදාත්මක සිනමාවට උචිත ප්‍රතිරූපයක් තමා සතු බව සනාථ කරන්නේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයෙනි.'

චිත්‍රපටයේ ගීත රූපගත කිරිම පිළිබඳව ද වේරගම සිය ග්‍රන්ථයෙහි සදහන් කරයි. 'මෙහි ගීත රූපගත වූයේ ද ආකර්ෂණීය ස්වරූපයකිනි. 'ආදරණීය සිනා ඔබේ' ගීතයේ රූප රචනයේ දී රිද්මය වඩා ඔප් නැංවෙන අයුරින් අචල රූපය ද භාවිත විය. මේ දෑස මගේ පින්වන්තයි ගීතයේ දී ඡේදන 40 ද ඉක්ම විය. කොඩි ගහ යට ගීතයේ දී ඡේදන 55 ඉක්ම විය. මේ ගීතයේ රිද්මයට අනුකූල වේග නර්තන රිද්මය ද රූපයේ වේග රිද්මය ද මනා ව සමපාත විය. රත්තරනේ රන් කිරිල්ලයේ ගීතයේ දී එකම රූප රාමුවේ රූප හතක ඇන්තනි සී. ගායනයේ හා නර්තනයේ යෙදේ. සූරයන් පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී පසුබිමින් කොඩි ගහයට ගීතයේ අනුවාදනය ද අවසාන දර්ශනයේ පොඩ්ඩේ තනිවන රූපරාමුවේ දී පසුබිමින් පැතුම් මල්ලකි ගීතයේ අනුවාදනය ද භාවිත කිරිම අපූරු සිනමාත්මක උපක්‍රමයක් විය.'

හතර දෙනාම සූරයෝ තිරගත වූ දිනය නිවැරැදිව කවදාද? මේ ලිපි මාලාව ආරම්භයේ එය සදහන් කරන ලද්දේ 1971 ජූලි මස 20 වැනි දින බවය. එහෙත් නීල් රූපසිංහ මා සමඟ පැවසුවේ එය තිරගත වූයේ ජූලි මස 29 වැනි දින හැටියටය. මෙරට සිනමා ඉතිහාසය ලියැවුණු සෑම ලිපියකම එම දිනය සඳහන්ව ඇත්තේ ජූලි මස 20 යනුවෙනි. එහෙත් 1971 ජූලි මස 14 වැනි දින සරසවිය පුවත්පතේ ප්‍රවෘත්තියක් අනුව 'හතර දෙනාම සූරයෝ 28 වැනි දා එති' යනුවෙන් ප්‍රවෘත්තියක් පළවිය. ඒ අනුව සිනමාස් මණ්ඩලයේ මීළඟට තිරගත වීමට නියමිත හතර දෙනාම සූරයෝ එම මස 28 වැනි දා තිරයට එන බව සදහන්ය. ඊළඟ සරසවිය කලාපයේ හතර දෙනාම සූරයෝ 28 වැනි දා නොව 29 වැනි දා තිර ගතවන බව නීල් රූපසිංහ සදහන් කරයි. මංගල දර්ශනය වැල්ලවත්තේ සැෆයර් සිනමාහලේ දී පැවැත්වෙන බව ද එහි සදහන්ය. එවර බස්නාහිර පළාතේ පමණක් රාත්‍රි 10 ට ඇඳීරි නීතිය පැනවූ අතර ඒ වන විට දිවයින පුරා වූ ඇඳීරි නීතිය ඉවත් කර තිබිණ. සිතාගත නොහැකි එකම කරුණ නම් මේ ජූලි 20 වැනි දවස චිත්‍රපටය තිරගත කළ දවස හැටියට හැමතැනම සදහන් කර ගත් මූලාශ්‍රය කවරේදැයි වටහා ගත නොහැකි වීමය.

සිය චිත්‍රපටය ගැන එදා නීල් පවසන්නේ සාර්ථක විනෝදාත්මක අංශයෙන් පරිපූර්ණ වූ චිත්‍රපටයක් නිපදවීම සඳහා කළ පර්යේෂණයක් හැටියටය. මුල සිට අග දක්වාම ඉක්මනින් ගලා යාමට සැලැස්වීම සඳහා අලුත් ශිල්ප ක්‍රම කිහිපයක් උපයෝගි කරගත් බව පවසන ඔහු එකිනෙකට වෙනස් අන්දමේ විසිරුණු අරමුණු බලාපොරොත්තු හැකියාවන් හා ජීවන ක්‍රම අතර ගැටෙන තරුණ ජීවිත හතරක් විවිධ මං ඔස්සේ බෙදුණත් මානුෂික දයාවෙන් බැඳුණු මිතුරෝය. මිනිසුන්ගේ ජීවිතයේ සරල සිදුවීම් ඇසුරෙන් ගැඹුරත් විනෝදයත් ගෙන දීමට තමා උත්සාහ ගත් බව නීල් එහි පවසා තිබිණ. එදා හතර දෙනාම සූරයෝ තිරගත කළ සිනමා හල් මෙපරිද්දෙනි. මරදානේ ගාමිණී, වැල්ලවත්තේ සැෆයර්, මහනුවර වෙම්බ්ලි, මීගමුවේ රාජ්, මොරටුවේ මානෙල්, අම්පාරේ විජය, නුගේගොඩ ක්වීන්ලන්, මහරගම අනුෂා, අම්බලන්ගොඩ අනුර, පානදුර ජයමිණි, කළුතර මිනර්වා, මාතර එස්.කේ, ගාල්ලේ ප්‍රින්ස්, වත්තල සමුද්‍රා, ගම්පහ ජයන්තා, ජාඇල රත්නාවලී, කුරුණෑගල නිව් සිනමා, කෑගල්ලේ ඡායා, වෙන්නප්පුවේ ෂැම්රොක්, සඳලංකාවේ සඳලංකා , ඇහැලියගොඩ ගාමිණී යන සිනමා හල්ය.

කෙසේ වෙතත් නීල් හතර දෙනාම සූරයෝ යළි 2008 වසරේ ප්‍රතිනිර්මාණය කළ බව පමණක් සදහන් කරමි. ඒ මෙරට සිනමාවේ එකම අධ්‍යක්ෂවරයෙක් එකම චිත්‍රපටය දෙවරක් කළ අවස්ථාව විය. එහෙත් 1971 චිත්‍රපටය යනු මෙරට ජනාකර්ෂණීය සිනමාවේ සන්ධිස්ථානයක් වූ බව මෙහිලා යළිත් සිහිපත් කරමි.

 

කොඩි ගහ යට මම උපන්නේ
නම ගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ
මුළු ලෝකය හතර වටේ