මැච් ගහන්න පුළුවන්නම් චිත්‍රපටි බැරි ඇයි?

කලම්බු නිෂ්පාදක අනුෂ එදිරිමුණි
අගෝස්තු 12, 2021
කලම්බො චිත්‍රපටයෙන් හේමාල් රණසිංහ හා ජෙහාන් අප්පුහාමි

 

අනූෂ සංජීව එදිරිමූණ කියලා කියන්නේ කලම්බු සිනමාපටයේ නිෂ්පාදකවරයා. එය ඔහුගේ කුලුඳුල් සිනමා නිෂ්පාදනය. කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රයන් අඩාළ වුණු කාරණේ අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයිනෙ. සිනමාව කෙරෙහිද එකී තත්ත්වය තදින් බලපෑවා. කෙසේ වෙතත් විවෘත කෙරුණු සිනමාශාලාවන්ට සිනමාලෝලීන් ගෙන්වා ගැනීමේ අටියෙන් අනූෂ තීරණය කළා කලම්බු චිත්‍රපටිය ගිය ජූලි මාසයේ 15 සිට නැවතත් තිරගත කරන්න. ඒ වනවිටත් කලම්බු මාර්තුවේ තිරගත කරලයි තිබුණෙ. කොවිඩ් තෙවැනි රැල්ල හේතුවෙන් එය ප්‍රදර්ශනය නවත්වනු ලැබුවා. එවැනි ඉරණමකට හසු වූ කලම්බු චිත්‍රපටය නැවත තිරගත කිරීම සාර්ථකද, එසේත් නැත්නම් පාඩුවක්ද නැවතත් වුණේ...

අනෙක් කරුණ තමයි මේ කාලයේ චිත්‍රපටය මුදාහරිනවා කියලා කියන්නේ ඒකත් ලොකු අවදානමක්. ඒත් අනුෂ ඔය එක දෙයක් ගැනවත් තැකීමක් නොකර චිත්‍රපටය ප්‍රදර්ශනය කළා. එක සැරයක් නෙවේ දෙවතාවක්ම.

 

අනූෂ මොකද තත්ත්වෙ කියලා මා මුළින්ම අහනවා?

ඇත්තටම තත්ත්වෙ හොඳයි කියලා තමයි කියන්න වෙන්නෙ. මම හිතනවා කලම්බු සිනමාපටය සැලකිය යුතු ප්‍රේක්ෂක කණ්ඩායමක් නැරඹුවා කියලා. මම චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ චිත්‍රපට ප්‍රචාරක නිලධාරියකු විදියට. ස්වර්ණවාහිනී ආයතනයේ නිෂ්පාදකවරයෙක් විදිහට මම කලක් කටයුතු කළාට පසුව ඊ.ඒ.පී චිත්‍රපට මණ්ඩලයට සම්බන්ධ වුණා. චිත්‍රපට ගණනාවක ප්‍රචාරක කටයුතු කළා. ඒ අත්දැකීම් මට වැදගත් වුණා නිෂ්පාදකවරයෙක් විදිහට වැඩ කරන්න. චිත්‍රපටයේ පළමු මුදා හැරීම සිදුවන්නේ මාර්තු 18වැනිදා. මැයි 01සිනමාශාලා වහද්දි දින42ක් චිත්‍රපටය තිරගත වුණා. නැවතත් ජූලි 15 වැනිදා තමයි චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වන්නේ. මම කලින් කිව්වා වගේම චිත්‍රපට ප්‍රචාරක නිලධාරියකු විදිහට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරද්දී ප්‍රේක්ෂකයා අතරට යන්න ඕනේ කොහොමද කියන උපාංග ටික මම දන්නවා. මම ඒවා භාවිත කළා. ඒවා මඟින් චිත්‍රපටය ගැන ප්‍රේක්ෂයන්ගෙ අවධානය යොමු වුණා කියලා මම විශ්වාස කරනවා.

 

මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් ඇහුවොත්... කලම්බු චිත්‍රපටයෙන් පාඩුද ලාභද?

චිත්‍රපටය දින හතළිස් දෙකක් පෙන්නුවා. එතකොට හොඳ කලෙක්ෂන් එකක් තිබුණා. මේ ප්‍රශ්නෙට මෙහෙම කිව්වොත්, චිත්‍රපටය පාඩු නෑ. හැබැයි මේ කාලෙ චිත්‍රපටයක් පෙන්නලා ලාභ ගන්න බැහැනේ. මම වියදම් කරපු මුදල මට ලැබුණා. හරියට මාජින් එකේ මම ඉන්නෙ.

 

ඔබට තිබුණනෙ තව ටිකක් කල් ගන්න. මේ කාලෙ එච්චර හොඳ නැහැ නේද?

චිත්‍රපටය රූපගත කිරීම් කළේ 2018 වර්ෂයේදී. ඊට පසුව චිත්‍රපටය ඊ.ඒ.පී. මණ්ඩලයේ පෝලිමේ තිබ්බා. ඔය අතරෙ පාස්කු ප්‍රහාරය. තව නොයෙකුත් නොයෙකුත් ප්‍රශ්න ආවා දිගින් දිගටම. මේ වගේ තත්ත්වයක් මත චිත්‍රපටය තියෙද්දි මට හිතුණා කුමන කාලයකදි හෝ මේක ප්‍රදර්ශනය කරන්න තිබුණ නම් හොඳයි කියලා. ඒක නිසා ලැබුණු අවස්ථාවේදී ඉක්මනට ප්‍රදර්ශනයට පියවර ගත්තා. මාර්තුවල සුදුසුම කාලේ තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ. මේ දෙවැනි වතාවට තිරගත කිරීම ගැන කතා කළොත්, චිත්‍රපට ක්ෂේත්‍රය මේ වෙලාවේ පසුබෑමකනෙ තියෙන්නෙ. මම ඒක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මම විශ්වාස කළා චිත්‍රපට නිෂ්පාදකවරයකු හැටියට ඒ පසුබෑම මදකට හෝ නැති වෙන්න මොකක් හරි කරන්න ඕනේ කියලා. ඒ තල්ලුව තමයි මම දුන්නේ මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා.

 

මේ දවස්වල චිත්‍රපට මුදාහරින්න චිත්‍රපට අධ්‍යක්ෂකවරු පෙලඹෙන්නේ හරිම අඩුවෙන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ මේ දුවන කෝච්චියකට බෙල්ල තිබ්බ කියලා?

මම ඒ කතාව පිළිගන්නේ නැහැ. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්නේ. චිත්‍රපටය පාඩු නෑ එකේ වචන දෙකක් නැහැ. මේ වගේ කාලෙක මේ වගේ විදිහට මැච් එක ගැහුව නම් තව මොන කතාද. මම පිළිගන්නේ නැහැ අපේ චිත්‍රපට ක්ෂේත්‍රය වැටිලා කියලා. මොකද යුද්දෙ තිබිලත් සිනමාශාලා වැහැව්වෙ නෑනෙ. ඒත් මේ චිත්‍රපටි ප්‍රදර්ශනයේදී අපි භාවිත කළ උපක්‍රමත් එක්ක ප්‍රේක්ෂකයෝ ගොඩාක් සිනමා ශාලාවට ආවා. ඒ ගැන සතුටක් තියෙනවා.

 

නිෂ්පාදකවරයෙක් විදිහට ඊළඟ නිර්මාණය කරන්නට ඔබ පටන් අරගෙනද තියෙන්නෙ, නැත්තම් මේ පළවෙනි නිර්මාණයෙන්ම නිෂ්පාදනය එපා වුණාද?

නෑ. මේ සිනමා ක්ෂේත්‍රය මට කවදාවත් එපා වෙන්නේ නැහැ. මම ඊළඟ නිර්මාණය මේ වන විට ඉන්දියාවත් එක්ක කරගෙන යනවා. මොකද අපේ චිත්‍රපට කලාවේ මුල ඉඳලම ඉන්දියාවත් එක්ක සම්බන්ධකම් තිබුණානෙ. ඉතින් ඒ අතීත කතන්දරත් එක්ක මට හිතෙනවා ඉන්දියාවත් එක්ක අපි හොඳ නිර්මාණයක් කළොත් ඒක ප්‍රේක්ෂකයෝ අතරට යයි කියලා.