එදා හතර දෙනාම සූරයෝ රූගැන්වීම සරසවිය දැක්ක හැටි

අගෝස්තු 12, 2021

හතරදෙනාම සූරයෝ චිත්‍රපටය පිලිබඳ අතීතාවර්ජනාත්මක ලිපි පෙළ ලියද්දී එහි රුපගත කිරිම් පිළිබඳ කදිම ලිපියක් 1970 වසරේ ඔක්තෝබර් 21 වැනි දින සරසවිය පුවත්පතේ දුටුවෙමි. ඒ ලිපිය ලියූ ලේඛකයාගේ නම එහි සඳහන් නොවුණත් එක් කරුණක් මත එය ලියන්නට ඇත්තේ අහවලායැ'යි විශ්වාසයෙන් අදාළ ලේඛකයාගේ නම සඳහන් කළෙමි. ඒ ලේඛකයා හා හතරදෙනාම සූරයන් අතර ඇති වන සංවාදයක් එහි සටහන්ව ඇති හෙයින්ය. එමඟින් එම නිර්නාමික ලේඛකයාගේ අනන්‍යතාව නොදැනුවත්ව හෙළිදරවු වී තිබේ.

'තමුසෙ මට හින්දි උගන්නන්න පොරොන්දු වුණා, ඊට පස්සේ දකින්නවත් නෑ.' ගාමිණීගෙන් චෝදනාවකි. විජයත් එම චෝදනාවම මා කරා එල්ල කරයි.' මේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ලියා ඇති සටහනය. ඒ අවදියේ සරසවිය පුවත්පතේ සේවය කළ හින්දි භාෂාව පිලිබඳ විශාරදයා සිරි කහවලය. අද හැමෝගේම උපන් දිනයට සුබ පතන සිරි අය්යියාය. ඔහු සියල්ලන්ගේ උපන් දින එකතු කරන්නට පටන්ගෙන ඇත්තේ ද මේ යුගයේය. එබැවින් නිර්නාමිකව විජය චිත්‍රාගාරයට ගොස් හතර දෙනාම සූරයෝ ගැන ලියන්නට ඇත්තේ සිරි කහවල විනා වෙනත් කිසිවකු නොවුණ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ ගැන විමසන්නට ගිය අපට සිරි අයියා හෙවත් සිරි කහවල තවත් අපූරු මතක සටහන් කිහිපයක්ම ගෙනහැර පෑවේය. හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ වැඩ අරඹන විට විජය හා මාලිනී අතර කිසිදු දැන හැඳුණුම්කමක් නොවිණ. ඒ වන විට ද විජය හා සිරි කහවල ගජ මිතුරෝය. (කාගේත් උපන් දිනයට සුබ පතන සිරි කහවල කිසි දිනෙක සිය උපන් දිනය සැමරුවේ නැත. ඒ තම ආදරණීය හිතවතා ඝාතනය කරන ලද්දේ එම දවසේ වීම නිසාය. )

ඒ වන විට චිත්‍රපට කිහිපයකම රඟපා මාලිනී නමක් දිනා උන්නාය. විජය ඒ වන විට අලුත් නළුවෙකි. බොරැල්ලේ රිට්ස් සිනමාහලේ දී අහම්බෙන් නීල් රූපසිංහට විජය මුණ ගැහුණ අයුරුද සිරි කහවල දැන සිටියේය. නීල් සිරි කහවලගේ ද මිතුරෙකි. එයට පෙර මැතිවරණ සමයේ නීල් සමඟ සිරි කහවල ඡන්ද ඔට්ටුවක් අල්ලා තිබුණේ හැත්තෑවේ මැතිවරණය ගැනය. ඒ ආරියරත්න කහවිටගේ කර්තෘත්වයෙන් පවත්වාගෙන ගිය කලා පුවත්පතේ කාර්යාලයේ දීය. මේ ඔට්ටුවෙන් සිරි කහවල දිනුවේය. නීල් ඔට්ටුවේ මුදල සිරි අයියාට දුන්නේය.

'මෙයාව අඳුනනවාද ? '

සිරි අයියා සිය මිතුරාව මාලිනියට හඳුන්වා දුන්නේ හතර දෙනාම සූරයෝ අරඹද්දීය.

'මේ විජය කුමාරතුංග'

ඔහු වැඩිදුරටත් පැවසුවේය. එයට පෙර ඔවුන් දෙදෙනා 'මේ දෑස කුමටද' චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරිමේ දී දැක තිබුණත් එකිනෙකා මුණගැසී හඳුනා ගත්තේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ දී මේ හඳුන්වාදීමෙන් බව සිරි කහවල සිහිපත් කළේය. පසු කලෙක සිංහල සිනමාවේ අමරණීය පෙම් කතාවක් වූ විජය- මාලිනී හඳුන්වාදීමේ පිංකම එදින තමා අතින් සිදු වූ බව අද සිරි කහවල සිහිපත් කරනුයේ සොම්නසිනි. ඒ වන විට විජය ලෙනින් මොරායස් විසින් අධ්‍යක්ෂණය කරමින් සිටි අබිරහස චිත්‍රපටයේ රඟපාමින් සිටියේය.

'මේ අතරවාරයේ පසුගිය සතියේ ලිපියෙහි සඳහන් වූ ආකාරයට ගාමිණී-මාලිනි මුල්වරට පෙම්වතුන් ලෙස රඟපා තිරයට ආවේ නිධානය චිත්‍රපටයේ වුවත් ඔවුන් දෙදෙනා මුල් වරට පෙම්වතුන් ලෙස කැමරාවට මුහුණ දුන්නෙ සහනය චිත්‍රපටයටය. ජේ.සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කළ සහනය මුලින් නිර්මාණය වූයේ සහන් එළිය නමින්ය. එහි මුල් දවස්වල ප්‍රධාන චරිතය සඳහා තෝරා ගෙන තිබුණේ එඩ්නා සුගතපාලය. එහෙත් ටික දවසකින් චිත්‍රපටයේ නම ද වෙනස් වූ අතර අලුත් චරිතය රඟපෑවේ මාලිනි ෆොන්සේකාය. මේ ආකාරයටම රාජේන්ද්‍ර කුමාර් පූජිත ගුණවර්ධන තවත් නිවැරැදි කිරිමක් කළේය.

ඒ සිංහල චිත්‍රපටය ආ මුල්ම ඉංගී‍්‍රසි අනුකාරක ගීය 1965 වසරේ තිරයට ආ සත පනහ චිත්‍රපටයට ඇතුළත් වූ අන්දමයි. මිනෝන් රත්නම් ගැයූ අද අප ඉන්නේ විනෝදෙන්ම මත්වී ගීයට පාදක වූයේ ඩොක්ටර් නෝ චිත්‍රපටයක් අන්ඩනිත් ද මැන්ගෝට්‍රි නම් ගීතය සිංහල චිත්‍රපටයකට අනුකරණය කළ මුල්ම ගී තනුව බවයි.කොඩිගහ යට උපන්නේ ගීතය ඉංගී‍්‍රසි තනුවක් කොපි කළ දෙවැනි ගීතයයි. රාජේන්ද්‍ර ඔබට ස්තුතියි.

කෙසේ හෝ යළි 1970 සරසවිය පුවත්පතට එක්වෙමු. සිරි කහවල චිත්‍රාගාරයට යන දවසේ රූප ගත කරමින් තිබුණේ සුමනා එනම් ශ්‍රියාණි අමරසේන වෙඩි වැදී මියගොස් සිටින දර්ශනයයි. මනාලියක් ලෙස සැරසී සිටි ඇගේ පිටෙහි වෙඩි පහරක ලකුණකි. ඇන්තනී සී. පෙරේරා ඇය වෙතට ළං වී සිටිනු දුටු ගාමිණීගේ කෝපය ඔහු පිටින් ගියේ ය. ගාමිණී කොයි තරම් වේගයෙන් ඇන්තනීට පහර දුන්නේ ද යත් ඔහු විසිවී ගොස් පසෙක තිබූ පැරැණි කන්නාඩි මේසයක් ද කඩාගෙන ඇද වැටුණි. ඇන්තනී සී. ආධාර ඉල්ලා කෑ ගැසූ හඩින් මුළු විජය චිත්‍රාගාරයේම සේවය කරන අය එහි දිවගෙන ආහ. ගාමිණී රඟපාන කල කිසිවකුට එය රඟපෑමක් යැයි නොසිතෙන තරම් ස්වභාවිකය. ඇන්තනී සී. කෙතරම් පහර කෑ ලෙස පෙනුණත් එයින් වැඩිපුර සීරීම් ලබා තිබුණේ ගාමිණීය.

'ඊළග පාර ගහන කොට ටිකක් හෙමින් ගහන්න. අද මම බඩ යන්න බේත් බීලයි ඉන්නේ,' ඇන්තනී සී. කියනු ඇසිණ.

ගාමිණී මෙදින රඟපෑමට පැමිණ සිටියේ අසනීපයෙන් පසුවෙමිනි. එනිසා තමන්ට නියමිත කොටස අවසන් වූ වහාම ඔහු එළියට විත් එහි තිබූ අසුනක් මත දිග ඇදී සිටිනු දක්නා ලදී. දර්ශන තලයේ දී කෙතරම් ගුටිකෑවත් ඇන්තනි සී. කීවේ වෙනම කතාවකි.

හැමදාම ගාමිණී අනිත් අයට ගහනවා. හැම ගහකටම කොටලා කොටල අද ආවා. කෙහෙල් ගහට කොටන්න. දුන්නේ උණ ගන්න, අන්න තාම බුදි.

"දැන් ඊළඟට ඇන්තනිගේ වාරේ එන්නේ විජේට ගහන්න."

නීල් උපදෙස් දුන්නේය.

''විජේට ගහන්න නම් හේතුවක් නෑ. ඒත් ඉතින් ගමේ කමට සලකල ටිකක් සෑහෙන්න දෙන්න ඕනෑ.''

ඇන්තනි කීවත් දර්ශන තලයට ගිය විට ඔහුට ගාමිණීගෙන් පමණක් නොව විජයගෙන් ද පහර කෑමට සිදු විය.

ශ්‍රීයාණි අමරසේනට මුළු දවසක්ම මේ සටන් බිම මැද මංගල ඇඳුමින් සැරසී මැරී සිටිමට සිදුවී තිබිණ.

'ඔයාට නම් අද හරි ලේසියි. නිදාගන්න එක විතරයි' විජය ඇයට කීවේය. එය ලෙහෙසියැයි බැලූ බැල්මට පෙනුණත් ගෙයි බඩු පොඩිකරමින් ඉතා කුඩා සීමාවක් තුළ ඒ මේ අත දුව පනිමින් ගාමිණී. විජය, සේනාධීර සහ ඇන්තනී එකිනෙකාට පහර එල්ල කර ගත් අන්දම දකින කල මේ සියල්ල මධ්‍යයෙහි ඇය ඇඟිල්ලකුදු නොසොල්වා සන්සුන්ව සිටි අන්දම ප්‍රශංසාජනක රඟපෑමකි. ඇය මඳක් හෝ සෙලවුණි නම් මුළු දර්ශනයම අපතේ යාමට ඉඩ තිබිණි.

 

තවත් කොටසක් ලබන සතියේ