බීට්ල්ස් තනුවක් සිංහල චිත්‍රපටයකට

හතර දෙනම සූරයෝ දැන් මතක ද -2
අගෝස්තු 5, 2021

 

දැන් මතකද චිත්‍රපටය තිර ගත වීම ආරම්භ වනුයේ 1970 වසරේ මාර්තු මස 13 වැනි දිනදීය. එය මැයි මස 15 වැනි දින දක්වා මරදානේ ගාමිණී සිනමාහල ඇතුළු සිනමාහල් වල අති සාර්ථකව තිර ගත විය. එදින සිට එම සිනමාස් සිනමාහල් මණ්ඩලයේ තිර ගත වූයේ එම්. මස්තාන් නම් සිනමාවේදියාණන්ගේ අවසාන සිංහල චිත්‍රපටය වූ ආත්ම පූජාය. එය අඩක් නිම කරද්දී ඔහුට ආපසු ඉන්දියාවට යන්නට නියම කෙරුණෙන් චිත්‍රපටය නිම කරන ලද්දේ ගාමිණී ෆොන්සේකා වුවත් ඒ බව නාමාවලියේ සඳහන් නොවේ. ආත්ම පූජා චිත්‍රපටය අවසන් කරන ලද්දේ ගාමිණී ෆොන්සේකා බව මේ ලියුම් කරුට පවසා සිටිමින් එහි ගෞරවය ගාමිණීට බැර කරන ලද්දේත් මස්තාන් විසින්මය. ඒ 1997 වසරේ මාර්තු මාසයේ මදුරාසි නගරයේ (වර්තමාන චෙන්නායි) ඔහුගේ නිවහනේ දී මුණ ගැසුණ විටය. ඒ බැව් එම දිනවල මස්තාන් පිළිබඳ සරසවිය පුවත්පතට ලිපි මාලාවක් ලියමින් සදහන් කළෙමි. දැන් මතකද අති සාර්ථකව තිර ගත වී දින ගණනාවකට පසු එනම් 1970 වසරේ මැයි මස 17 වැනි දින සරසවිය පුවත්පතේ අලුත් ප්‍රවෘත්තියක් පළ විය. ඒ නීල් රූපසිංහගේ අලුත් චිත්‍රපටයක් පිළිබඳවය.

එහි මෙසේ සඳහන් විය.

දැන් මතකද නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ නීල් රූපසිංහ ගේ දෙවැනි චිත්‍රපටයේ වැඩ මේ මස තුළ දී ආරම්භ කිරිමට නියමිතය. හතර දෙනාම සූරයෝ නමින් නම් කොට ඇති මෙහි කැමරාව මෙහෙවීම ලෙනින් මොරායස් අතින් සිදුවනු ඇත. නීල්ගේ දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයක් සදහා ඔහු අලුත් නිළියක් සොයයි. මේ සඳහා දැනට ආධුනික නිළියන් රැසකගේ ඡයාරූප ලැබී ඇතත් චරිතයට උචිත මුහුණක් ඒ එකම ඡායාරූපයකවත් නොමැති බව ඔහු පවසයි. චිත්‍රපටයේ වැඩ ආරම්භ කිරිමටත් ප්‍රමාදයත් එයමලු.

නීල්ට උවමනා කරනුයේ රූමත් ළාබාල නිළියක් ලු. අලුත් මුහුණක් ඉදිරිපත් කිරිමේ අදහසින් ඔහු මේ චරිතයට ආධුනික මුහුණක් සොයයි. ආරියරත්න කහවිට දෙබස් රචනය කොට ඇති හතර දෙනාම සූරයෝ ත්‍රාසය ගෙන දෙන කථාවක් කියන චිත්‍රපටයක් වනු ඇත.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස මාලිනි ෆොන්සේකා රඟපානු ඇත.

මේ ප්‍රවෘත්තිය ලියන ලද්දේ එවකට සරසවිය සිනමා ප්‍රවෘත්ති පිටුව ලියූ අභාවප්‍රාප්ත කුමාරදාස වාගිෂ්ඨ මාධ්‍යවේදියාණන් විසින්ය.

එහි ප්‍රධාන චරිත සදහා ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ඇන්තනී සී පෙරේරා හා සේනාධීර රූපසිංහ තෝරා ගත් වග පළ වනුයේ එයට පසු දිනයකය. චිත්‍රපටයේ ප්‍රධාන නිළියක් ලෙස ශ්‍රියාණි අමරසේන තෝරා ගැනෙනුයේ එයින් පසුවය. ඒ වන විට ඇය ද රඟපා තිබුණේ චිත්‍රපටයක දෙකක පමණකි. ඒ ගොළු හදවත හා පේනව නේද චිත්‍රපටවල පමණකි. අලුත් නිළියන් දෙදෙනෙකු ද චිත්‍රපටයට තෝරා ගැනිණ. එයින් එක් අයෙක් වූයේ බාබරා ප්‍රනාන්දුය. චිත්‍රපටයේ ඇන්තනී සී ගේ පෙම්වතිය ලෙස රඟපෑවේ ඇයයි. වෛජයන්තිමාලා රොඩ්රිගෝ නමින් ද අලුත් නිළියක් එමඟින් සිනමාවට එක්වුණාය. සුමනා ගේ චරිතයට තෝරා ගැනුණේ ලේක්හවුස් ආයතනය මඟින් එකල සවස ප්‍රකාශනයක් ලෙස දොරට වැඩි ජනතා පුවත්පත මඟින් පැවැත් වූ ලස්සන මූහණු තරගයෙන් තෝරා ගත් යුවතියකි. ඇය රනාලේ පදිංචිකාරියක වූ අග්‍රා සජීවනී අල්විස් ය. අග්‍රා පසුකලෙක චිත්‍රපට රාශියක රගපෑ ඇතර චිත්‍රපට නිෂ්පාදිකාවක ද වූවාය. සේනාධීර මෙන්ම ඇන්තනි හා මාලීනි යන තිදෙනාම දැන් මතකද චිත්‍රපටයේ නීල්ගේ අධ්‍යක්ෂණය යටතේ රඟපා තිබුණහ.

1970 වසරේ සැප්තැම්බර් මස 11 වැනි දින හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹිණ. ඒ හැඳල විජය චිත්‍රාගාරයේ දී සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම් හා නීල් ගේ පියාණන් වූ වත්තල සමුද්‍රා සිනමාහලේ හිමිකරුව සිටි ඩේවිඩ් රූපසිංහගේ ප්‍රධානත්වයෙනි. මෙහි මංගල රූ ගැන්වීම සඳහා රූපයට නඟන ලද දර්ශනයට පෙනී සිටි දෙදෙනා එයින් වසර දෙක තුනක් ගත වද්දී මෙරට සිනමාවේ අතිශය ජනප්‍රියම පෙම් යුවළ වනු ඇතැයි එහි සිටි කිසිවකු හෝ සිතන්නට නැත. ඒ විජය කුමාරතුංග හා මාලිනි ෆොන්සේකාය. ඔවුන් මුල්වරට එකට කැමරාවට මුහුණ දුන්නේ ද එදාය. එයටත් වඩා තවත් වැදගත් කාරණයක් වනුයේ මෙරට සිනමා ඉතිහාසයේ විජය-මාලිනි යුගයකට ප්‍රථම ජනප්‍රියම යුවළ වූයේ ගාමිණී මාලිනි යුවළයි. ඒ වන තෙක් ගාමිණි මාලිනී ද එකම චිත්‍රපටයක හෝ පෙම්වතුන් ලෙස රගපා තිබුණේ නැත. හතර දෙනාම සූරයෝට ප්‍රථම ගාමිණී-මාලිනි පාරා වළලු චිත්‍රපටයේ එකට රඟපා තිබිණ. එහෙත් ඔවුන් පෙම් යුවළක් ලෙස රඟපානුයේ දේශිය සිනමාවේ මහා සිනමා කෘතිය ලෙස සැලකෙන නිධානය චිත්‍රපටයේය. විජය- මාලිනි යුවළ රූපයට නංවන ලද්දේ ලෙනින් මොරායස් විසින් මෙහෙය වන ලද කැමරාවෙනි. චිත්‍රපටයේ කතාව ධර්මසිරි ගමගේ වුව දෙබස් ආරියරත්න කහවිට ගෙනි. ආරියරත්න කහවිට ඒ වන විට සිනමාස් මඟින් ප්‍රකාශයට පත් කරන ලද කලා පුවත්පතේ කතුවරයා විය. ධර්මසිරි ගමගේ ටෛම්ස් ආයතනයේ පුවත්පත් කලාවේදියකු විය.

දැන්මතකද චිත්‍රපටය නිර්මාණය කරන්නට නීල් රූපසිංහට දින 72 ක් ගත විය. ඔහු හතර දෙනාම සූරයෝ රූ ගන්වන්නට ගත්තේ දින 58 කි. (තුන් වැනි චිත්‍රපටය ආදරේ හිතෙනව දැක්කම සඳහා දින 40 කි.) දින ගණනින් අඩු වුණ ද චිත්‍රපටය හදන්නට ඔවුහු එයට වඩා මාස ගණනක් සැලසුම් කළහ.

පී.එල්. ඒ සෝමපාල චිත්‍රපටය සඳහා තැනූ ගීත සියල්ල අනුකරණ තනු විය. එහෙත් එම ගීත සියල්ලේ ජනප්‍රියත්වය කිසිවිටෙකත් අඩු වුයේ නැත. එක් ගීයක් හැර අන් සියල්ල ජනප්‍රිය හින්දි ගී ඇසුරෙනි. එච්. ආර්. ජෝතිපාල හා එම්. එස්.ප්‍රනාන්දු විසින් ගයන ලද කොඩි ගහ යට ගීතය පමණක් ඉංගිසි ගීතයක තනුවක් විය. සිංහල චිත්‍රපටයක ඉංග්‍රිසි ගීයක් අනුකරණය කළ මුල්ම අවස්ථාව එය විය. ජෝන් ලෙනන් ප්‍රමුඛ බීට්ල්ස් සංගීත කණ්ඩායම විසින් ගයන ලද ඕ බ්ලඩී ඕ බ්ලඩා ගීතය එකල තරුණයන් අතර ජනප්‍රිය ගියක් විය. පනස් වසරකට පසු හතරදෙනාම සූරයෝ චිත්‍රපටය සිහිපත් කරන නීල් රූපසිංහ සදහන් කරනුයේ එකල තරුණයන් වූ තමා ඇතළු මිතුරන් රාත්‍රි සාද වලට සහභාගි වද්දී මේ ජනප්‍රිය ගීතය එකල නිතර ඇසුණු ගීතයක් බැවින් එහි තනුවට කරුණාරත්න අබේසේකර ලවා ගීතයක් එක් කළ අන්දමයි. සුප්‍රකට ඉන්දියානු සංගීතඥ රවී ශංකර් විසින් සංගීතවත් කරන ලදුව නීල් කමල් චිත්‍රපටයට ඇතුළත් වූ මොහමඩ් රාෆි විසින් ගයන ලද ආජා තුජිකෝ ප්‍යාර් ගීතය මෙහි ලතා වල්පොල ලවා ආශා - පැතු ම් මල්ලකි මේ ජීවිතේ ලෙස ගායනා කරවීම විශේෂයකි.

චිත්‍රපටයේ මුල් දර්ශන රූ ගැන්වීම් නිම වූයේ සැප්තැම්බර් 26 වැනි දිනදාය. දර්ශන වාරය නිම කරමින් රූ ගැන්වුයේ මාලිනි ෆොන්සේකාගේ නැතහොත් චිත්‍රපටයේ හැටියට නිල්මිණිගේ උපන් දින සාදයයි. එය රූපගත කරන ලද්‌දේ බම්බලපිටියේ මහල් නිවහනකය. විජය කමාරතුංගයන් වෙනුවන් එච්.ආර්. ජෝතිපාලයන් මුල් වරට ගී ගැයුවේ මේ සාදයේ ගයන ගීතයයි. මේ දෑස මගේ පින්වන්තයි -තේරුණේ දැන් තමයි එම ගීතයයි.එම රූ ගැන්වීමට විජය-මාලීනි මෙන්ම ලයනල් දැරණියගල, තලතා ගුණසේකර, වෛජයන්තිමාලා රොඩ්රිගෝ හා ගම්පහ හිටපු මන්ත්‍රිවරයෙක් වූ එස්.ඩී බණ්ඩාරනායක මහතා ද සහභාගි විය. මේ උපන් දින සාදය චිත්‍රපටයට පමණක් සිමා වූයේ නැත. ඒ නීල්ගේ විසි හය වැනි උපන් දිනය විය. චිත්‍රපට දර්ශනය අතරතුර මේ සාදය පැවැත්වීමෙන් නීල් එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු හලා ගත්තේ යැයි සරසවිය වාර්තා කර තිබිණ. ඒ චිත්‍රපයෙත් ඔහුගේත් උපන්දින සාදය එකවර පැවැත්විමෙණි.එම දර්ශනයේ බොහෝ නිළියන්ගේ විලාසිතා එකල බොහෝ දෙනා අනුකරණය කළහ. කොණ්ඩා හා ඇදුම් මොස්තර නීල්ගේ නැගණිය වූ වසන්ති රූපසිංහගෙන් වීම විශෙෂයකි.

හතර දෙනාම සූරයෝ චිත්‍රපටය රූප ගත කිරිම් පිළිබඳ කදිම විස්තරයක් එකල සරසවිය පුවත්පතේ පළව තිබිණ. විජය චිත්‍රගාරයට ගොස් එය වාර්තා කොට තිබුණේ සුප්‍රකට මාධ්‍යවේදි සිරි කහවල විසින්ය.

සිරි කහවල විසින් ලියන ලද එම වාර්තාවේ කොටස් කිහිපයක් මෙහිලා සටහන් කරන්නට කැමැත්තෙමි.

මෙතෙක් කල් සිංහල තිරයට සූරයෙක් සිටියේය. සූරසේන කෙනෙක් සිටියේය. මෙවර සූරයන් හතර දෙනෙක් එකවර කඩා පැනීමට කරන ප්‍රයත්නයක් පසුගියදා විජය චිත්‍රගාරයේ දී දක්නට ලැබිණ. ඒ තරුණ නිෂ්පාදක අධ්‍යක්ෂවරයෙකු වන නීල් රූපසිංහ මෙහෙය වන හතර දෙනාම සූරයෝ චිත්‍රපටයෙනි. 1970 වර්ෂය තුළ තම චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලැබූ ස්වාධීන නිෂ්පාදකයින් අතරින් මේ වසර තුළම ඊළඟ චිත්‍රපටයේ ද මෙතෙක් වැඩ ඇරඹූ එකම නිෂ්පාදක අධ්‍යක්ෂ නීල් පමණී.

 

ලබන සතියේ තවත් කොටසක්