එන්න චිත්‍රපට බලමු

ජූලි 29, 2021

 

VIKRITHI
 

ඔබේ ඡායාරූපයක් ඔබ නොසි තූ මොහොතක කිසිසේත් අදාළ නොවන කාරණයක් උදෙසා ෆේස් බුක් ඔස්සේ පතළ කළ විට ඔබට ලැබෙන ප්‍රතිචාර කුමක් විය හැකිද? එල්ඩෝට සිදුවන්නේත් එහෙම කාරණයක්. ගොළු මිනිසකු වන එල්ඩෝ සිටිනුයේ දින දෙකක් විඩා බරව. එකී කාලය ඇතුළත ඔහු එක් මොහොතක් හෝ නිදා ගෙන නැහැ. ඒ තම දියණිය රෝහල්ගත කළ හෙයින්. දුම්රියට ගොඩ වුණු සැණින් ඔහුට ලැබෙනුයේ සැප නින්දක්. මේ කාලයේ දකින හැමදේම ඡායාරූප ගත කොට ෆේස්බුක් දමා ලයික් ගොඩ වැඩි කරගන්නා සමීර් එල්ඩෝගේ ඡායාරූපය සිය ෆේස්බුක් පිටුවේ පළ කරනවා. දැන් කුමක් විය හැකිද? අහිංසක මිනසා බේබද්දෙකු ලෙස සමාජ ගතව හමාරයි. ඒ විතරක් නෙවේ. පුතාට ක්‍රිඩා පිටියේ රණ්ඩුවලටත් මුහුණ දෙන්න සිදු වෙනවා. එහෙත් එයින් පමණක් සෑහෙන්නට පුළුවන්ද? සුරාජ් වෙන්ජරමූ හා සෞබින් සහාර් චරිත මවන මලයාලම් චිත්‍රපටය ඔබ නොසිතූ මානයකට ඔබ කැඳවාගෙන යනවා. එම්සි ජෝශප් මෙහි අධ්‍යක්ෂවරවයායි. දැන් ඉතින් ෆේස්බුක්වල ලයික් කමෙන්ට් දාන්න කලින් දෙපාරක් හිතුවොත් වඩා හොඳයි.

 

 

දඩයම

ඇය රත්මලී. පාසැල් යුවතියක්. එකෝමත් එක දවසක ඇයට හදිසියේ දුමිරියේ හමුවන ජයනාත් ඇගේ මුළු ජිවිතයම වෙනස් කරනවා. එය මහා ඛේදවාචකයකට මඟ පාදනවා. රත්මලීගේ වචනයෙන් කියනවා නම් එක්කෝ දඩාවතේ යන බල්ලෝ මරා දැමිය යුතුයි. නැත්නම් බැඳ දැමිය යුතුයි. දේශීය සිනමාවේ බිහි වූ අපූරු චිත්‍රපටයක් වූ දඩයම දැන් අන්තර්ජාලයෙන් සිනමා සිලොන් ඔස්සේ නැරඹීමට අවකාශ ලැබිලා. ස්වර්ණා මල්ලවආරච්චි, රවීන්ද්‍ර රන්දෙණිය , සොමී රත්නායක ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන මේ විශිෂ්ට චිත්‍රපටය වසන්ත ඔබේසේකරගේ නිර්මාණයක්. සරසවිය සම්මාන උලෙළේ හොදම චිත්‍රටය, අධ්‍යක්ෂ, නළුවා, නිළි ය ඇතුළු සම්මාන රාශියක් දඩයම දිනා ගත්තා. ඒ විතරක් නෙවේ දඩයමේ ප්‍රබලත්වය කිසිකලෙකත් පහළ බසින එකක් නොවන වග ඔබට අවුරුදු හතළිහකට ආසන්න කාලයක වුවත් එය නරඹද්දී සිතේවි. නිෂ්පාදනය රබීන් චන්ද්‍රසිරිගෙන්.

 

 

OMG

දේව ප්‍රතිමා විකුණමින් ජීවත් වන එහෙත් දෙවියන් ගැන තඹ දොයිතුවක හෝ විශ්වාසයක් නැති කාන්ජි ලයිලා මෙහ්තාට එක් දවසක් භූමිකම්පාවක් නිසා විශාල හානියක් සිද්ධ වෙනවා. ඉතින් අන්තිමට කාන්ජි ලයිලාට රක්ෂණ වන්දි හම්බ වෙන්නේත් නෑ. ඉතින් මේ භයානක විපත කළ දෙවියන්ට විරුද්ධව නඩු කියන්න කාන්ජි ලයිලා තීරණය කරනවා. දේවාලයක නොවෙයි. අධිකරණයක. සෙල්ලමක් වෙන්නේ නැත්තේ කෝටි ගණනක් දේව බැතිමතුන් දේවාල කපුවන් සියල්ලම ඔහුට එරෙහිව ඉන්නා නිසා. ඉතින් පිහිටට එනක්නේ කවුද? ඉතාම ගැඹුරු හාස්‍යයකින් යුත් ඕ මයි ගෝඩ් චිත්‍රපටය විචාරකයන් අතරත් ඉහළින් කතා වුණ චිත්‍රපටයක්. පරේශ් රාවල්, අක්ශේ කුමාර්, මිතුන් චක්‍රබෝර්ති, ඕම් පූරි ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන මෙහි අධ්‍යක්ෂණය උමේශ් ශුක්ලා ගෙන්.

 

HUM AAPKE HAIN KOUN
 

නිශාගේ සොහොයුරිය එනම් අක්කා විවාහ වනුයේ තවත් සොහොයුරන් දෙදෙනෙකු සිටින පවුලක වැඩිමලා සමඟ. අක්කා‌ගේ මස්සිනා උම්මත්තකයෙක් යැයි නිශා ගීතයකින් පැවසුවද ඔහු සමඟ හීන් සීරුවේ ආදර කථාවක් ගොඩ නැඟෙනවා. මේ ආදර කතාවට එක් තැනකදී නොසිතූ ලෙස දෛවය හරස් වෙනවා. මුළු චිත්‍රපටය පුරාම අපූරු ගීතාවලියක් සහිත හම් ආප්කේ හෛන් කෝන් බොලිවුඩ් චිත්‍රපට නරඹන්නට කැමැති ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයයක්. එකල ඉන්දියානු සිනමාවේ වැඩිම ආදාම් ලත් චිත්‍රපටය හැටියට වාර්තාවක් තැබූ මේ චිත්‍රපටය ෆිල්මෆෙයාර් සම්මාන උලෙළේ හොදම චිත්‍රපටය ඇතුළු සම්මාන රාශියක් දිනා ගන්නට සමත් වුණා. සුරාජ් ආර්. බර්ජත්යා අධ්‍යක්ෂණය කළ මෙහි සල්මන් ඛාන් හා මධුරි ඩ්ක්ෂිත්, මොහිනිස් බාල්, රේණුකා සහානේ, ආලොක් නාත්, ප්‍රධාන චරිත රඟපානවා. දැනට අවුරුදු විසි පහකට පමණ පෙර තැනුණු මේ අපූරු චිත්‍රපටය අදටත් එදා වගේම නැවුම්.

 

 

COLD CASE

කේරළයේ ගංගාවක ධීවර කටුයුතුවල යෙදෙන මිනිසකුට අහම්බෙන් හිස්කබලක් හමුවනවා. ඒ පිළිබඳ සොයා බැලීම දක්ෂ ‌පොලිස් නිලධාරියකු වූ සත්‍යජිත්ට පැවරෙනවා. හොල්මන් පිළිබඳ ගවේෂණාත්මක ටෙලිවිෂන් වැඩ සටහනක නිෂ්පාදිකාව වූ මේධා අලුත් නිවහකට යනවා. ඒ ඇගේ දියණිය සමඟ. ඇගේ සැමියා වෙන්වෙලා. ඒ අතරවාරයේ ඇගේ වැඩසටහනට ඇති ප්‍රතිචාර හීන වෙමින් පවතින බව නාළිකාවේ බලධාරින් ද පවසනවා. මේ අතර අලුත් නිවහනේ දී ඇයට එතෙක් ජීවිතයේ නොවිඳී අත්දැකීමකට මුහණ පාන්නට සිදුවනවා. මේ ගංපත්ලෙන් හමුවන හිස් කබලත් මේධා අත්දකින සිදුවීමත් අතර ඇති සබඳතාව කුමක්ද? මලයාලම් සිනමාවේ බිහි වූ අලුත් සිනමා කෘතියක් මේ කතාවේ සුලමුල ඔබට නිරාකරණය කර දෙනවා. ප්‍රීතිවිරාජ් සුකුමාරන්, අදිති බාලන්, අනිල් නෙදුමන්ගල්, පූජා මොහන්රාජ් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන මෙහි අධ්‍යක්ෂණය තනූ බලක්ගෙන්.

 

 

MERE PYAR PRIME MINISTER
 

ඉන්දියාවේ වැසිකිලි ප්‍රශ්නය අද ඊයේ තියෙන ප්‍රශ්නයක් නෙවේ. මොන තරම් දියුණු වුණත් ඒ ගොල්ලන් මේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න විධිය ගැන අපට තියෙන්නේ හිනාවක්. ටොයිලට් එක් ප්‍රේම් කතා ඒ ගැන හැදුණු අපූරු චිත්‍රපටයක්. කොහොම වුණත් මෑතක ඉඳන් ඒ තත්ත්වය රාජ්‍ය මට්ටමේ බලපෑම නිසා වෙනස් වෙමින් පවතිනවා. ඒත් ඉතින් අති විශාල ජනතාවක් ජීවත් වන මුම්බායි නගරය වැනි තැනක ඇති පැල්පත් එක්ක මේ ප්‍රශ්නය ලෙහෙසියෙන් විසඳන්නත් බෑ. මුම්බායි නගරයේ ඇති පැල්පත් සමූහයක ජීවත් වන කන්නු නම් කුඩා දරුවා සහ ඔහුගේ මව සර්ගම් මේ ප්‍රශ්නයට මුහුණ දෙන ලක්ෂ සංඛ්‍යාත ගණනින් දෙදෙනෙක් පමණයි. එහෙම කියලා අම්මා වෙනුවෙන් වැසිකිලියක් හදන්න කන්නු දරන උත්සාහය නතර කරන්නේත් නෑ. ඔහුට උදව්වට ඉන්නේ තමා වැනිම වූ රිංග්ටෝන්, නිරාලා හා මංග්ලා යන යාළුවෝ ටික. හැබැයි නගරයේ නීතියෙන් ඒ සඳහා ඉඩකඩක් නැහැ. මේ නිසා බොහෝ ගැහැනුන්ට අත්වන්නේ එකම ඉරණමක්. එය විටෙක ඛේදවාචකයක්. සර්ගම්ටත් ඒක පොදුයි. කනුන්ට දැන ගන්නට ලැබෙනුයේ මෙය වෙනස් කළ හැක්කේ අගමැතිට පමණක් යන්නයි. ඔහු ඉන්නේ දිල්ලියේ. තවත් කිලෝමීටර් 1436 ක් ඈත. බස් එකක යනවා නම් පැය විසි පහක්. ඉතින් මේ පැල්පත් දරුවාට එහෙම ගියත් දැඩි රැකවල් මැද ඉන්න ඉන්දියානු අගමැති හම්බ වෙන්න පුළුවන් ද? සම්මානනීය සිනමාකරුවකු වූ රාකේශ් ඕම්ප්‍රකාශ් මෙහ්රා හදපු මේ චිත්‍රපටයේ සර්ගම් ලෙස රඟපානුයේ සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන දිනූ අංජලී පටිල්. අතුල් කුල්කර්නි, මක්රන්ද් දේශ්පන්ඩේ මෙහි සෙසු චරිත නිරූපණයට එක්වනවා. විටෙක හිනාවෙන්න පුළුවන් වුණත් ඇත්තටම හිතුවොත් දුකක් හිතෙන චිත්‍රපටයක්.

 

 

 

POLICE ACADEMY
 

 

දැනට අවුරුදු තිස් අටකට කලින්, ඒ කියන්නේ 1984 අවුරුද්දේ තිරයට ඇවිත් කොළඹ ලිබර්ටි සිනමාහලේ ප්‍රදර්ශනය කළ මුල ඉදන් අග දක්වාම මතක් කරමින් හිනාවෙන්න පුළුවන් චිත්‍රපටයක් ගැන තමයි මේ හැඳීන්වීම. ඒ පොලිස් ඇකඩමි. නාහෙට නාහන දඩබ්බරයෙකුට අධිකරණයෙන් ලැබෙන දඬුවම තමයි එක්කෝ බන්ධනාගාරගත විය යුතුයි . නැත්නම් පොලිසියට බැඳී විනයගරුක පුද්ගලයකු විය යුතුයි කියන එක. ඉතින් ඔහු දෙවැන්න බාර ගන්නවා. එහෙම වුණත් උපන් ගති අරින්නත් බෑ. ඉතින් මේ පොලිස් අභ්‍යාස විදුහලම කණපිට හැරෙන වැඩ තමයි සිද්ධ වෙන්නේ. පුදුමය කියන්නේ මෙතුවක් කල් ගිහින් වුවත් මේ චිත්‍රපටය මතු කරන හාස්‍යය නම් තවමත් එහෙමයි. ස්ටීවන් ගුටන්බර්ග්, කිම් කැට්‍රල්, බබ්බා ස්මිත් ඇතුළු එවකට ජනප්‍රිය සිනමා තරු රැසක් මෙහි චරිත මැවුවා. තරමක් වැඩිහිටියන්ට පමණක් සීමා වුණු විහිළුත් තියෙනවා. එහෙම වුණත් පවුලේ සියල්ලන් නැතිව තනිතනිව හෝ බලන්න වටිනා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නිර්මාණය කළේ හියූ විල්සන්.

 

FAST AND FURIOUS:HOBBS AND SHAW
 

එක් එක් කතා කියන කොට හරියට අතුරු කතා කියනවා නේ. මේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ එන හොබ්ස් ඇන්ඩ් ෂෝ කියන්නෙත් එබඳුම අතුරු කතාවක්. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවේ ඇති ඇඟ කිලිපොළා යන මෝටර් රථ ධාවනය මෙන්ම භයානක ත්‍රස්තවාදියකු සොයන්නට සිදුවන කතාවක් තමයි මෙයට අයත් වනුයේ. හැබැයි මේ චිත්‍රපටයට ඇතුළත් වනුයේ ලුක් හොබ්ස් සහ ඩෙකාර්ඩ් ෂෝ කියන චරිත දෙක පමණයි. ඩ්වේන් ජොන්සන් හා ජේසන් ස්ටැතම් යන හොලිවුඩ් සිනමාවේ ත්‍රාසජනක ක්‍රියාදාම නළුවන් දෙදෙනා තමයි මේ චිත්‍රපටයේ පුරුදු පරිදි මේ චරිතවලට එක්වනුයේ . ඉද්‍රිස් ඇල්බා තමයි භයානක ත්‍රස්තවාදියා. අතුරු කතාවක් වුවත් මුල් චිත්‍රපටවල ඇති ත්‍රාසය ඉතා හොඳීන් පවත්වාගෙන යන්නට චිත්‍රපට මාලාවේ නිෂ්පාදකයන් කටයුතු කරලා තියෙනවා. දැන් මේ චිත්‍රපට මාලාවේ ප්‍රධාන කතාවන්ට අයත් නවවැනි කතාවත් සිනමාවට නැඟුණත් මේ අතුරු කතාවත් නරඹන එක ඉතා හොඳයි. ඩේවිඩ් ලෙටිෂ් චිත්‍රපටයේ අධ්‍යක්ෂ.

 

 

THE SECRET LIFE OF PETS 2
 

2016 අවුරුද්දේ හැදූ මේ චිත්‍රපටයේ මුල් කොටස නැරඹූ කිසිවෙකුට හෝ එය එච්චර ඉක්මනට අමතක වෙයි කියලා හිතන්න නම් බැහැ. හැබැයි මේ චිත්‍රපටය එය නරඹන්නේ නැතුව හෝ රස විඳින්න පුළුවන් අපුරු කතාවක්. මුල් චිත්‍රපට‌යේ හිටපු මැක්ස් සහ ඩියුක් යන දෙදෙනා දැන් ඉන්නේ අලුත් නවාතැනක. ගොවිපලක. එහි සිටින බැටළුවා මැක්ස්ට හා ඩියුක්ට අලුත් අත්දැකීම් ටිකක් ලබා දෙනවා . කොහොමටත් මතුපිටින් පෙනුණට ඔය සුරතල් සතුන්ගේ හැඟිම් අපට තේරුම් යන්නේ නෑ. ඒ වගේමයි ඒ ගොල්ලන්ගේ ජීවිතවල කොච්චර වුණත් අපි නොදන්න රහස් කතන්දර එමටයි. ක්‍රිස් රොනාල්ඩ් නම් සිනමාකරුවා අතින් හැදුණු මේ චිත්‍රපටය ගැන අමුතුවෙන් කියන්න යන්න ඕනෙ නෑ. හැබැයි ඔය අපිට හොරෙන් ගෙදරින් රිංගලා යන අපේ සුරතල්ලුන් ගැන නම් තව දුරටත් හිතා බලන්න මේ චිත්‍රපටය අපට බලකරනවා.

 

 

EVEREST
 

ඔබ කඳු නගින්න කැමතිද? එක් අතකින් වීරත්වයත් සමඟ අලුත් අත්දැකීමක් ද ලැබෙනවා තමයි. හැබැයි එවරස්ට් නැත්නම් ලෝකයේ කඳු මුදුනටම නගින්නට හිතෙන එකම පවා එක්තරා ආකාරයක භයානක කටයුත්තක්. 1996 වසරේ රොබ් හෝල් සහ ස්කොට් ෆෂර් යන පළපුරුදු එවරස්ට් කඳුනගින්නන් එක්ක ගිය පිරිසට සිදු වූ දෙය නම් එම ඉතිහාසයේ සදාතනිකව ලියැවෙන ඛේදවාචකයක්. බැලට්සාර් කෝමකුර් නම් සිනමාකරුවා අතින් තැනුණු මේ චිත්‍රපටය නම් එවරස්ට් තරණය යනු කෙතරම් භාරදූර දුෂ්කර ක්‍රියාවක් දැයි අපට පහදා දෙනවා. ඒ විතරක් නෙවේ. මොන මඟුලකට මෙහි යනවාදැයි හිතෙන චිත්‍රපටයක්. ඒත් ඉතින් යන්න බැරි එකේ හිමගිර මේ මඟින් හෝ දැක ගන්නවා කියන එකත් හොඳයි. හරියට කන්ද මුදුනට ගියා වගේ තමයි. ජේසන්, ක්ලාක්, ජේක් ග්ලින්හෝල්, ජොශ් බ්‍රොලින්, ඇතුලු නළු නිළියන් රැසක් චරිත මවන එවරස්ට්, වීරචාරිකා චිත්‍රපට සඳහා කැමැති ඔබට බලන්නට සුදුසුම චිත්‍රපටයක් තමයි.