වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
සිනමාහල් විවෘත කිරීමට අප සූදානම්

දෙසතියකට වරක් පවත්වනු ලබන සරසවිය සිකුරාදා මධුර භාෂණය මාර්ගතගත සංවාදය (Online Discussion) පසුගිය 16 වැනිදා පැවැත්වූ අතර, එහිදී දැක්වූ අදහස් මෙලෙස සටහන් කරමු.
අදත් අප ඔබට ගෙන එන්නේ දෙසතියකට වරක් සරසවිය පුවත්පත මඟින් පවත්වන සිකුරාදා මධුර භාෂණ මාර්ගගත සංවාදයේදී මතු වූ අදහස් ගොන්නේ සංක්ෂිප්ත සටහනයි. 'සිනමාහල් විවෘත කිරීමට අප සූදානම් ද?' මැයෙන් වූ මෙවර සංවාදයේ මුඛ්‍ය අදහස් දැක්වීමට සරසවිය සූම් ආරාධනය ලැබුවේ සම්මානනීය සිනමාවේදී අශෝක හඳගම, චිත්‍රපට නිෂ්පාදක, ප්‍රදර්ශක සහ ආනයනකරු අනුර ජසෙන්තුලියන සහ සිනමා ව්‍යාපාර විශ්ලේෂක, දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ යන ප්රාමාණිකයන්ය.
සංවාදය මෙහෙය වූ අරුණ ගුණරත්න සරසවිය ප්‍රධාන කර්තෘවරයා මූලාරම්භයක් සපයමින් මීට අඩසියවසකට පෙර එනම් 1971 වසරේ කැරැල්ල නිසා තෙමසක් වසා තැබූ සිනමාහල් විවෘත කළ දිනය වූයේද කොරෝනාවෙන් දිගු කලක් වසා තැබුණු සිනමාහල් නැවත විවෘත කළ ජූලි 16 බව සිහිපත් කළේය. මෙරට සිනමාව පිළිබඳ සැබෑ කැක්කුමකින් තොරතුරු දැනගැනීමට උනන්දු වන ඔබට සරසවිය මුහුණු පොතෙන් මේ සංවාදය නැරඹිය හැකි බවද සතුටින් දන්වමු.
චිත්‍රපට නිෂ්පාදක, ප්‍රදර්ශක සහ ආනයනකරු
අනුර ජසෙන්තුලියන
මාස තුනකට ආසන්න කාලයක් වසා තැබූ සිනමා ශාලා බොහොමයක් අද විවෘත කළා. ඇතැම් ඒවා ඉදිරියේදී හෝ විවෘත වෙයිද යන්න සැක සහිතයි. අපි සිනමා ශාලා විවෘත කළෙත් ප්‍රශ්න ගණනාවක් මධ්‍යයේයි. සිනමා ශාලාවල ප්‍රවර්ධනයට සහ පවත්වාගෙන යෑමට වගකීමක් ඇති සිනමාවට සම්බන්ධ ප්‍රධාන ආයතනයක් තිබෙනවා. ඊට අමතරව මේ සිනමා කර්මාන්තයෙන් යැපුණු මෙයින් ඵල ප්‍රයෝජන ගත් බෙදාහැරීමේ සමාගම් පහක් පමණ තිබෙනවා, ඒත් අවාසනාවකට සිනමා ශාලා විවෘත වන බව ප්‍රකාශ කරන්නවත් කෙනෙක් නෑ. එයයි සිනමාවේ අද තත්ත්වය.
ප්‍රායෝගික ගැටලු ලෙස ඩිජිටල් ප්රක්ෂේපණ යන්ත්‍රවල සමහර කොටස් අක්‍රීය වීම නිසා ඒවා පවත්වාගෙන යන්න අපහසු වී තිබෙනවා. පෞද්ගලිකව මගේ සිනමා ශාලා දෙකකත් එය සිදුවෙලා. එයට එක හේතුවක් අපි වසා තැබූ කාලවල පැයක් පමණ ක්‍රියාත්මක කළත් ඒ යන්ත්‍ර පුරුදුව තිබෙන්නේ දවසකට දර්ශන වාර හතරක් සඳහා ක්‍රියාත්මක වන්නයි. රජයේ ආනයන පාලන ක්‍රමවේද සමඟ සමහර අමතර කොටස් ගෙන්වා ගැනීමේ අපහසුවක් තිබෙනවා. එනිසා තෙවැනි රැල්ලෙන් පසු අපට ඇත්තේ අපහසු ආරම්භයක්.
ඒ මොනවා වුණත් කිව යුතු දේ ප්‍රදර්ශකයන් වශයෙන් සාමූහිකව අපි එකඟතාවකට ඇවිත් තිබෙනවා මෙතැනින් පසු බෙදාහැරීමේ මණ්ඩල සමඟ ගනු දෙනු නොකරන්න. ඔබ කවුරුත් දන්නවා මේ කර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන්නේ සිනමා පටය පැත්තෙන් නිෂ්පාදක සහ අධ්යක්ෂ වන අතර ප්‍රදර්ශනය පැත්තෙන් ප්‍රදර්ශකයන් බව. ඒ මැදින් ආ තුන්වැනි පාර්ශ්වයක් විසින් අවුරුදු 20ක් තිස්සේ මේ ක්ෂේත්රය පාලනය කර තිබෙනවා. එහෙත් එයින් අද වන තුරු පැහැදිලි බිඳවැටීමක් සහ අපගමනයක් මිස කිසිදු ප්‍රගතියක් සිදු වී නැහැ. දිගින් දිගටම අප මෙය කියා තිබුණත් වෙනස් නොවන නිසා ඉදිරියේදී මේ ක්‍රමය මොන විදිහකින් හෝ වෙනස් කර නියමිත ක්‍රමවේදයකට ගෙන යන්න ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස අප බලාපොරොත්තු වෙනවා.
සිනමාවත් සමඟ සම්බන්ධ වුණ පාර්ශ්වකරුවන් රැසක් ඉන්නවා. මෙවන් අසීරු අවස්ථාවක යළි සිනමා ශාලා විවෘත කර ක්ෂේත්රය සහ අපේ ව්‍යාපාර රැකගන්නා අතර සිනමාව ඉදිරියට ගෙන යන්න දරන උත්සාහයේදී මෙය යම් තැනකට ගැනීමට අනෙක් පාර්ශ්වකරුවන් ද අපට අවශ්‍ය උපකාර මෙන්ම සහයෝගය දෙනු ඇතැයි සිතනවා.
අනෙක් රටවල් හා සසඳන විට අපට ඇතිව තිබෙන ප්රශ්නය චිත්‍රපට නොමැති වීමයි. මේ තිබෙන තත්ත්වය යටතේ අඩු ධාරිතාවකින් සිනමා ශාලා මෙහෙය වන විට මෙන්ම කිසිම දායකත්වයක් නැති තුන්වැනි පාර්ශ්වයක් සියයට දහයක් මංකොල්ලා කන තැරැව්කරුවන් වන නිසා හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත චිත්‍රපට සතු නිෂ්පාදකයන් තම චිත්‍රපට ප්‍රදර්ශනයට මුදා හරින්න පවා මැළි වෙනවා.
උදාහරණයක් ලෙස අපට තිබෙන එක චිත්‍රපටයක් කලම්බු චිත්‍රපටය. හේමාල් රණසිංහට විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා එංගලන්තයේ සිනමාශාලා විවෘත කළාම ලොතරැයි මණ්ඩලය ඉදිරිපත් වෙලා ඒ ටිකට්පත් ගන්න අයට නොමිලේ චිත්‍රපටය නරඹන්න ක්‍රමයක් හදා දුන්නා. සරසවිය පවත්වන මේ සාකච්ඡාවට සම්බන්ධ වන හෝ වෙනත් කවුරුන් හෝ නව්‍යතාවයකින් එවැනි ප්‍රවර්ධන ක්‍රමවේදයකට යනවා නම්, පොඩි කණ්ඩායමක් විසින් ගෙනයන මේ අරගලයට සහාය දෙනවා නම් හොඳයි. මොකද සිනමාව සම්බන්ධව තිබෙන ආයතන බොහොම නිද්‍රාශීලී පිළිවෙතකින් යන්නං වාලේ යන්න ඉඩ දී ඇති නිසා ක්ෂේත්රයෙන් මඟ හැලෙන පිරිස වැඩියි. එනිසා අප උත්සාහ කළ යුත්තේ සිනමා ශාලා වැහෙන්න ඉඩ නොදී අලුතෙන් මේ ක්ෂේත්රයට ආයෝජකයන් ගෙන්වාගෙන පෙර තිබූ තත්ත්වයට හෝ ඒ අසලට හෝ ගෙන ගොස් ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කර ගැනීමයි. මෙය සැබැවින්ම ලාභ ලැබිය හැකි කර්මාන්තයක් නිසා කවුරුත් එකතු වී මේ බැරෑරුම් තත්ත්වයෙන් මිදී සිනමාවට ජීව ගුණය එක් කරමින් අප සමඟ ගමනක් යන්න එන්න කියා ආරාධනා කරනවා.
සිනමාව ගමන් කළ යුත්තේ යම් නිදහසක් සමඟ යනුවෙන් අශෝක හඳගම මහතාගේ ප්‍රකාශයට මම එකඟ වනවා. ඕනෑම රටක සිනමාවේ ප්‍රවර්ධනයට ඇති ක්‍රමවේදයක් තමයි වට්ටම් මිලකට හෝ නොමිලේ ප්‍රවේශ පත්‍රයක් ලබා දීම. වසංගතයෙන් පසුව ශාලා විවෘත කිරීමේදී මෙවැනි දෙයක් සඳහා අප ඉල්ලීමක් කළොත් එය අනුමත වී එද්දි පෙරහැර ගිහින්. සිනමා ව්‍යාපාරිකයකු ලෙස මම දකින ප්‍රධාන දේ මෙයට සම්බන්ධ රාජ්‍ය ආයතනයේ අය යාවත්කාලීන වී නොමැති කමයි. සිනමාව ගමන් කරන්නේ ලෝක සිනමාව සමඟ. නෙට්ෆ්ලික්ස් කීවාම ලෝකයම දන්නවා. හැබැයි එය නිසා ඉන්දියානු සිනමාව කඩා වැටුණේ නැහැ. ඔවුන්ගේ ආකෘතිය ඔස්සේ ඔවුන් ගමන් ගන්නවා මේ අපහසු කාලය තුළත්. එයට ඔවුන් ලැහැස්තියි. එයට හේතුව කර්මාන්තය ගෙන යන පැහැදිලි ආකෘතියක් තිබෙනවා. එවිට නිර්මාණකරණයේ නිර්භීතකම ඇති වෙනවා. අපේ නිර්මාණකරුවාට තමන්ගේ නිර්මාණය ශාලාවට දැමූ පසු එය ප්‍රදර්ශනය වනවාද එයින් තමන්ට නියමිත මුදල ලැබෙනවාද කියන ගැටලුව තිබෙනවා. ලක්සිරි වික්‍රමනායක කීවා වගේ රජයේ ආයතනයේ ව්‍යූහය විසින්ම පත් කර ඇති නිද්‍රාශීලී ක්‍රමවේදය නිසා පසුගිය අවුරුදු විස්සක පමණ කාලයම සිනමාව පැවතුණේ බෙදාහරින්නන් අත. ඒ අය තමයි මේ කඩා වැටීමට සියයට අනූවක් පමණ වගකිව යුතු වන්නේ.
සිනමාවක් නැරඹීමට යෑමේ පුරුද්ද රසිකයන්ගෙන් ගිලිහී ගොස් නෑ. ආකර්ෂණීය චිත්‍රපටයක් ශාලාවක ප්‍රදර්ශනය කළ සැණින් රසිකයන් එය නරඹන්න පෙළ ගැසෙනවා. අපේ රටේ හැටියට බ්ලොක්බස්ටර් චිත්‍රපට තැනිය හැකි නිර්මාණකරුවන් හිටියත් ඔවුන් තිගැස්මක සිටිනවා මේ ආකෘතිය තුළ ඇති අවුල්සහගත තත්ත්වය නිසා. අප කළ යුත්තේ දිගින් දිගට ආකර්ෂණීය චිත්‍රපට රසිකයන්ට දීමයි. එහෙත් බෙදාහරින්නන් කළේ එකපිට එක අවරගණයේ විකර්ෂණීය සිනමා කෘති ශාලාවලට දැමීමයි. එය නැවැත්විය හැකි නම් සිනමාව ගොඩ ගැනීම අපහසු දෙයක් නොවේ.
සිනමා ව්‍යාපාර විශ්ලේෂක, දෙරණ උප සභාපති
ලක්සිරි වික්‍රමගේ
ලෝක ඉතිහාසය පුරා කිසිම කර්මාන්තයක් හෝ ක්ෂේත්රයක් අවුරුදු සියයකට සැරයක් එන කොරෝනා වසංගතය වැනි අත්‍යන්ත අර්බුදයකට මුහුණ දෙන ආකාරය පිළිබඳ කිසිම අයුරකින් සූදානම් වන්නේ නෑ. දිගු කලක් තිස්සේ කඩා වැටුණු ක්ෂේත්රයක් ලෙස තමයි සිනමාව අද මේ අර්බුදයටත් මුහුණ දෙන්නේ. ලොව පුරා අර්බුද තුළින් මතුවන විසඳුම් දිගු කාලීනව ඉතාම වාසිදායක වුණ අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස දෙවැනි ලෝක සංග්රාමයෙන් පසු තමයි නිෂ්පාදන පෙළ පටන්ගත්තේ. එය දිගු කාලීනව මානව සංහතියට වැදගත් වුණා. කෙටි කාලීනව අප ලබා දෙන විසඳුම්වලට වඩා දිගු කාලීන විසඳුම්වලට යා යුතුයි.
ලංකාවේ සිනමා කර්මාන්තයේ සාර්ථකත්වය මනින්න පුළුවන් අලෙවි කරන ටිකට්පත් සංඛ්‍යාවෙන්.
චිත්‍රපටය නිෂ්පාද්යයක් හැටියට සැලකුවොත් එහි කොටස් තුනක් තිබෙනවා. ඉන් කෝර් ප්‍රඩක්ට් ලෙස ගැනෙන්නේ තිරයේ දිස් වන චිත්‍රපටය, පැකේජ් ප්‍රඩක්ට් වන්නේ චිත්‍රපටය වටා ඇති තාක්ෂණික කාරණා, ශබ්ද තාක්ෂණය, ශාලාවල ගුණාත්මකබව ආදිය පැකේජ කරන විදිහ, ඔග්මෙන්ටඩ් ප්‍රඩක්ට් කියන්නේ චිත්‍රපටය නැරඹීමෙන් ලැබෙන සම්පූර්ණ අත්දැකීම. එය පවා එකතු වෙනවා මේ නිෂ්පාද්යයකට. ශාලාව එහි ඇති ආසන සහ වායු සමීකරණයේ ප්‍රමාණය පවා එයට අදාළයි. ඒ සමස්තය එකතු වුණාම අප කියනවා අනුභූතික අලෙවිකරණය කියලා.
මගේ මතය නම් සාර්ථකව තිබුණු කර්මාන්තයක් වූ සිනමාව රාජ්‍ය මැදිහත් වීම නිසා කඩා වැටීම ආරම්භ වූවා යන්නයි. චිත්‍රපට ශාලාවකට යෑමේ පුරුද්ද කාලයක් තිස්සේ නැතිව ගිහින්. එය ආපසු ගොඩ නැඟුණා කොළඹ අවට ප්‍රදේශවල විශේෂයෙන්ම විදේශීය චිත්‍රපට පෙන්වීමෙන්. ඒත් මේ වසංගතය හමුවේ ලෝකය පුරාම යම් තාක් දුරකට ඒ පුරුද්ද නැතිව ගියා. චිත්‍රපට නැරඹීමත් පෞද්ගලික අත්දැකීමක් බවට පත් වුණා. ඒත් චිත්‍රපට නැරඹීමට තිබෙන සමාජ අවශ්‍යතාව නැතිවන්නේ නැහැ. එය සැමදා ජනතාව අතර තිබෙනවා. ඒ සමාජ අවශ්‍යතාව අර්ථකථනය කළොත් තමන්ගේ පවුලේ අය හෝ මිතුරන් සමඟ හොඳීන් ඇඳපැලඳගෙන ගිහින් සුව පහසු තැනක එකට හිඳ තමන් කැමැති අත්දැකීම ලැබීමයි. එය සංගීතය අතින් බැලුවත් අපට තනිව ඕනෑම වෙලාවක ගීතයක් අහන්න හැකියාව තිබියදී 'ස' ප්‍රසංගය වැනි දේට දහස් ගණන් සෙනඟ පිරෙන්නේ ඒ අවශ්‍යතාව නිසයි. අපේ සිනමාව ඒ අත්දැකීම නොදීමේ ප්රශ්නය තමයි තිබෙන්නේ. එයට හේතුව වසර ගණනාවක් තිස්සේ වුණ කඩා වැටීමයි. ඉන්දියාව වැනි රටවල කුමන අතින් ගත්තත් සිනමාව සාර්ථකයි. කොරෝනා නිසා තරමක් ඈත් වුණත් රසිකයන් ශාලාවලට යනවා. අපේ රටේ මේ තත්ත්වය නැවත ඇති කරන්නේ කෙසේද යන්න බැලූ විට ඇති එකම ක්‍රමය සිනමා ශාලා ව්‍යාපාරය ගොඩ ගැනීමයි. ඒ සඳහා ඇති එකම ක්‍රමය වන්නේ මේ වෙලාවේ හැටියට සෙනඟ එනවා නම් විදේශීය චිත්‍රපට හෝ ගෙන්වා සිනමා ශාලාවලට එන පුරුද්ද ඇති කිරීමයි. සිනමාවට යෑම කියන පුරුද්ද ඇති කළොත් කර්මාන්තය ගොඩ ගැනීමේ පළමු පියවර තබන්න පුළුවන්. බෙදාහැරීම සංවිධානගත පෞද්ගලික අංශයේ තරගතාරී කටයුත්තක් බවට පත් විය යුතුයි. එහෙත් එය වල්බූරු නිදහසක් නොවිය යුතුයි.
රාජ්‍ය අංශයට නැඹුරු වී නැවත පෞද්ගලීකරණය කරද්දි ඇතිවන ප්‍රශ්න තිබෙනවා. ඒ ගැන කල්පනාවෙන් කටයුතු කළ යුතුයි.
සිනමාවක මූල්‍යමය අවදානම ගන්නේ නිෂ්පාදකවරයා සහ ශාලා හිමියායි. එහෙත් කිසිම ප්‍රාග්ධනයක් නොයොදවා ප්රතිලාභ ගන්නා අතරමැදියකු ඉන්නවා. කිසියම් බෙදා හැරීමේ නියෝජිතයකු අවශ්‍යයි මූල්‍යමය අවදානම ගැනිමට. ඉන්දියාවේ නම් චිත්‍රපටයේ පිරිවැය අනුව තක්සේරු මුදලක් ගෙවා එය මිල දී ගන්නා පිරිස් ඉන්නවා. අපට වෙලා තිබෙන්නේ මූල්‍යමය අවදානමක් ගන්න කෙනෙකු නැති නිසා පුළුවන් තරම් චිත්‍රපට ගොඩ ගසා ගැනීමයි. එක චිත්‍රපටයක් ගැළවුණොත් තව එකක් ප්‍රදර්ශනය එහි අරමුණයි.
ඉස්සර චිත්‍රපටය අවසන් වූ පසු නිර්මාණය පිළිබඳ සාකච්ඡා කිරීමට අවකාශයක් ලෙස තමයි බාර් ලයිසන්ස් පවා ශාලාවට තිබුණෙ. චිත්‍රපටය යනු සමාජය සුව කළ හැකි මාධ්‍යයක්. සමාජ පීඩනය අඩු කිරීමට හැකි වීම වැනි ගොඩ නැඟුණු සිනමාවක හැකියාවන් සහ කාලීන අවශ්‍යතාවන් හඳුනාගෙන රජයට නියාමනය පමණක් ඇතිව සංවිධානාත්මක ක්‍රියාකාරීත්වය පෞද්ගලික අංශයට බාර දුන්නොත් මෙරට සිනමාව ගොඩ ගන්න පුළුවන්.
සම්මානනීය සිනමාවේදී
අශෝක හඳගම
මෙහි ආරම්භයේ කියැවුණු 1971 වසරේ තෙමසක් සිනමා ශාලා වසා තබා විවෘත කරන අවස්ථාවට වඩා අද තත්ත්වය ඉතා දරුණුයි. එදා සිනමාව නැවත විවෘත වුණේ කලින් තිබුණු තත්ත්වයටම වුණත් අද මේ වසංගතය සහ එහි බලපෑම එතෙක් ඇද වැටෙමින් තිබුණු කර්මාන්තයකටයි බලපෑවේ. එය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි දෙයක්. ඒ එක්කම මම දකිනවා ඕනෑම ව්‍යසනයක් එක්තරා විදිහකට අපට ලැබෙන හොඳ අවස්ථාවක් හැටියට. මෙතෙක් කාලෙකට සිනමාවට යෑමේ පුරුද්ද නැති වීමේ අවාසනාවන්ත තත්ත්වයට නිෂ්පාදන ආකෘතියක් ලෙස සිනමාවේ තිබුණු යම් යම් දුර්වලතාත් සමහර විට බලපෑවා. ඒත් කර්මාන්තයක් ලෙස මෙය ගොඩ ගන්නා තුරු කලාවක් අපට කරන්න ලැබෙන්නේ නෑ. එය මම පිළිගන්නවා. කලාව අපට වෙනම කරන්න පුළුවන්. මමත් පසුගිය කාලේ එසේ කළා. එය සිනමාවක් නොවුණාට වෙනත් නිර්මාණකරණයක්. ඒත් චිත්‍රපට බැලීමට යෑමේ පුරුද්ද නැවත ගන්න නම් අප මේ කර්මාන්තය යළි ශක්‍ය කර්මාන්තයක් බවට පත් කර ගත යුතුයි. එයට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත හැකියි. අනුර ජසෙන්තුලියන බොහෝ රැඩිකල් අයුරින් කීවා යළි බෙදාහරින්නන් සමඟ නොයන බව. එය ලොකු තීරණයක්. මෙතුවක් අප කීව දෙයක් තමයි 1970 ගණන්වල බෙදාහරින්නන් එක අතකින් චිත්‍රපට බෙදා හැරියා සේම නිෂ්පාදනයත් කළා. ඒ නිසා චිත්‍රපටය දුවවන කටයුත්තට ඔවුන්ගේ දායකත්වයක් තිබුණා. නිෂ්පාදන රැකගැනීමේ වගකීමක් ඔවුන්ට තිබුණා. චිත්‍රපට ශාලා සමඟ එකතුව චිත්‍රපටයට ප්‍රචාරය ලබා දුන්නා. පසුගිය කාලය වන විට බෙදාහරින්නන් කළේ තැපැල්කරුගේ රාජකාරිය පමණයි. ඔහු රීලය හෝ ඩීසීපීය බෙදා හැරීම හැරුණු කොට කිසිම දෙයක් කළේ නෑ. චිත්‍රපටය දිවවීම නිෂ්පාදකගේ වගකීමක් වුණා. ශාලාවේ කටයුතුවල වගකීම ශාලා හිමිකරු බාර ගත්තා. රසිකයන් ණයට චිත්‍රපට බලන්නේ නෑ. ඔවුන් මුදල් දී ප්‍රවේශ පත්‍ර ගන්නේ. ඒත් නිෂ්පාදකට මුදල් ලැබෙන්න චිත්‍රපටය ශාලාවෙන් ගැලවී මාස ගණනක් ගත වුණා. එය වැරැදි ක්‍රමයක්. වසංගතයට පෙර හොඳීන් ප්‍රදර්ශනය වුණු චිත්‍රපටවල මුදල් පවා තවම නොලැබුණු නිෂ්පාදකයන් ඉන්නවා. මෙය අවාසනාවන්ත තත්ත්වයක්. එනිසා අද 'උණට' චිත්‍රපට කරනවා මිස ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස කරනවා නෙවෙයි. සිනමාවේ පාර්ශ්වකරුවන් වන නිෂ්පාදක, ශාලාහිමියන් හා යම් කාර්යයක් කරන වෙළෙඳ අතරමැදියෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාට ලාභයක් නොලැබෙන විට මෙහි තුලනයක් නෑ. අනිවාර්යයෙන් නිෂ්පාදකට ලැබෙන්නේ අනෙක් සියලුම අයට බෙදා ඉතුරු වුණු දෙයක් පමණයි. අනෙක් කර්මාන්ත වගේ නොවේ චිත්‍රපට කර්මාන්තයේ සම්පූර්ණ අවදානම ගන්නේ නිෂ්පාදක විතරයි. එය නිෂ්පාදන ආකෘතියක් ලෙස ගැළපෙන්නේ නෑ. මේ ක්‍රමය වෙනස් වන්න නම් සුසමාදර්ශී විතැන්වීමක් අවශ්‍යයි. සිනමාවට සම්බන්ධ බොහෝ අය යෝජනා කරනවා 70 ගණන්වල තිබුණු පැරැණි ක්‍රමය. එය අදට වලංගු වන්නේ නෑ. පවතින තත්ත්වය විසින් අලුත් විදිහට මෙය පරිකල්පනය කර ගත හැකි අවස්ථාවක් දී තිබෙනවා. එය ප්‍රයෝජනයට ගත යුතුයි.
මිනිසුන් හිතනවා නිදහස ඇත්තේ හුදෙකලාව සිටීම තුළ බව. ඒත් නිදහස තිබෙන්නේ සමූහයක් සමඟ සිටින විටයි. ඒ සාමූහික වින්දනයේ නිදහස සොයාගෙනයි මිනිසුන් ශාලාවට යන්නේ. ඒ නිසා ටෙලිවිෂනය හෝ වෙනත් මොනතරම් උපාංග හා ඩිජිටල් වේදිකා තිබුණත් සාමූහික වින්දනය සොයාගෙන යන නිසා එයට ආමන්ත්‍රණය කිරීමට විවිධ නිෂ්පාදනයන් විවිධ අයුරින් අලෙවි කිරීමේ නිදහස තිබිය යුතුයි. අඩුම ගාණේ ප්‍රවේශ පත්‍ර සඳහා වට්ටමක් ලබා දෙන්න හෝ පවතින ක්‍රමය තුළ නිදහසක් නෑ. ඒ නිදහස තමයි අප දිනාගත යුත්තේ කර්මාන්තය මේ තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න නම්.
මේ සියලු කතාවලින් පැහැදිලි වන්නේ අප කාටත් සිනමාව අවශ්‍ය බවයි. කලාත්මක හෝ වාණිජ වේවා ඒ සියල්ලට ඉඩක් ලැබෙන්න නම් මෙය ශක්‍ය කර්මාන්තයක් බවට පත් විය යුතුයි.
සිනමාව විනෝදාස්වාදය සඳහා තිබෙන විශාල පිරිසක් සම්බන්ධ වන වැදගත් කර්මාන්තයක්. ලොව කිසිම රටක සිනමාව වැටෙන්න දී නැහැ කෙසේ හෝ එය ගොඩනඟන්න හදනවා මිසක.
චිත්‍රපට නිෂ්පාදකයාම එය ප්රචාරයට කටයුතු කරනවාට වඩා වෙනත් පාර්ශ්වයකට ඒ සඳහා හොඳ අදහසක් තිබෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි බෙදාහරින්නන් ඉන්නේ. ඉන්දියාවේ චිත්‍රපටයක් නිපදවන්න තීරණය වන විටම බෙදාහරින්නන් එයට ලන්සු තියන බව කියන්නේ ඒ නිසයි. ලංකාවේ වෙළෙඳපොළ පොඩි වුණත් නිර්මාණශීලීව එය ජයගන්න පුළුවන්. මගේ 'මේ මගේ සඳයි' චිත්‍රපටයේ එක් පිටපතක් පමණක් තිබුණ නිසා ශාලා ගාණේ ගොස් පෙන්වද්දි මොනරාගල මාස තුනකින්වත් නොලැබෙන ආදායමක් එක් දිනක ප්‍රදර්ශන වාර හතරකදි ලබා ගන්න පුළුවන් වුණා. එහෙත් බෙදා හරින්නන් එයට විරුද්ධ වුණා. මේ ආකෘතිය තුළ නම්‍යශීලීබවක් තිබිය යුතුයි. අවදානමක් නොගෙන නිකම්ම ලාභ ලබන්න කැමැති කෙනකුට මෙය කරන්න බෑ. එය තමයි මේ කර්මාන්තය කඩා වැටෙන්නත් මූලිකම හේතුව. මෙය හරියට හදා ගත්තොත් සිනමා කර්මාන්තය ගොඩ නඟන්න පුළුවන්.
උදයකාන්ත වර්ණසූරිය සිනමාවේදියා ද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙමින් අදහස් දැක්වීය.
සිනමා ශාලා විවෘත කිරීම සුබවාදී දෙයක්. එහෙත් නිෂ්පාදකවරු සිනමාශාලාවලට තමන්ගේ චිත්‍රපට ලබා දීමට සූදානම්ද යන්න ගැටලුව තිබෙනවා. හේතු වන්නේ තමන් චිත්‍රපට ලබා දීමට කැමැති වුවත් පවතින වසංගත තත්ත්වය හමුවේ ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙත එන්නේද යන්න සහ චිත්‍රපටයක් බෙදා හළ පසු නිෂ්පාදකවරුන්ට මුදල් ලබා ගන්න පුළුවන් වේද යන්න පිළිබඳ සැකයක් තිබීමයි. මේ මොහොතේ කඩිමුඩියේ ආකර්ෂණීය චිත්‍රපට හදන්න බෑ. මේ වෙද්දි නිෂ්පාදනය කළ චිත්‍රපට 100ට අධිකව තිබෙනවා. ඉන් 10-15ක් අතර ගණනක් තමයි සාධනීය මට්ටමක තිබෙන්නේ. අප උනන්දු විය යුත්තේ හැකි තරම් ඒ චිත්‍රපට පෙළ ගැස්වීමටයි. අනෙක හරියට බැලුවොත් විනෝද බද්ද 10%ක අඩු කළ හැකි ආකාරයටම බෙදා හැරීමේ මණ්ඩලවලට ලබා දෙන 10% ප්‍රතිශතයත් වශයෙන් සියයට විස්සක් අපට ඉතිරි කළ හැකියි. මේ වසංගතයේ නිමාවක් අපට කියන්න බැහැ. කොපමණ විදෙස් චිත්‍රපට තිබුණත් සිංහල චිත්‍රපට අපේ ශාලාවලට නොදැම්මොත් මේ කර්මාන්තය දිගින් දිගට හොඳීන් පවත්වා ගැනීම අමාරුයි. එනිසා නිෂ්පාදකවරු දිරිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තබෙනවා නම් ඔවුන් තමන්ගේ චිත්‍රපට මුදාහරින්න සූදානම්.
චිත්‍රපට සඳහා ප්‍රමිතියක් ඇතිකිරීමට සහ ඩීවීඩී සඳහා තනන චිත්‍රපට සිනමා ශාලාවල ප්‍රදර්ශනය නැවැත්වීමට හැකියාවක් තිබේද යනුවෙන් සූම් සභිකයකුගෙන් පැනයක් මතුවිය.
අනුර ජසෙන්තුලියන එයට පිළිතුරු දෙමින් පැවසුවේ චිත්‍රපට නැරඹීමේ ප්‍රෙක්ෂක පුරුද්ද නැති වීමට මෙය තදින් බලපා ඇති ව්‍යසනයක් බවය.
චිත්‍රපයක් වීමට තාක්ෂණයේ අවමයක් තිබිය යුතු බවත් උපකරණ ආදිය නම් කළ යුතු බවත් හුදෙක් යමක් පටිගත කිරීම චිත්‍රපටයක් නොවන බවත් නියාමන අධිකාරියක් වැන්නක් ඇතිකරන්නේ නම් විය යුත්තේ ඒ ප්රමිතීන් තීරණය කිරීම බවත් ලක්සිරි වික්‍රමගේ පැවසීය.
තාක්ෂණික ප්‍රමිතිය මෙන්ම අන්තර්ගතයේ ගුණාත්මක බව, තිර රචනා පිළිබඳ ප්‍රමිතියක් හෝ ආකර්ෂණීයබව පවත්වා ගැනීමට යම් මිනුම් දණ්ඩක් යෙදිය හැක්කේ කෙසේද යනුවෙන් සටහන්කාරිය ඇසූ පැනයට අශෝක හඳගම සහ ලක්සිරි වික්‍රමගේ දෙපළගේ පිළිතුර වූයේ තාක්ෂණයේ අවමයක් සඳහා නිර්ණාකය තැනිය හැකි වුවත් අන්තර්ගතයේ ගුණාත්මකබවට අතගැසීම ප්රකාශනයේ නිදහස සීමා කිරීමක් වන අතර චිත්‍රපටයක පැවැත්ම තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා හෙවත් වෙළෙඳපොළ බවයි. ලක්සිරි වික්‍රමගේ වැඩිදුරටත් පැවසුවේ ආකර්ෂණයෙන් අඩු චිත්‍රපට නිපදවීම අවම වන්නේ නිෂ්පාදකවරුන් හා අධ්යක්ෂවරුන් සාධාරණ වෙළෙඳපොළක් බිහි වූ බව සිතන මොහොතක ආකර්ෂණීය චිත්‍රපට නිර්මාණයට පෙලඹුණු විට බවයි. සාකච්ඡාවට සම්බන්ධ වූ භූපති නලීන් පැවසුවේ තමන් අශෝක හඳගමගේ ප්‍රකාශය සමඟ එකඟ වන අතර තාක්ෂණයේ අවමය පිළිබඳව ප්‍රමිතිය තැනීම ද පෙර යුගයට වඩා අද වන විට විශාල ගැටලුවක පවතින බවයි.
මෙවැනි මත ප්‍රශ්න කිරීමටත්, ඔබේ අදහස් ප්‍රකාශ කිරීමටත් මෙරට ඉතිහාසයේ පළමු වරට වේදිකාවක් තැනූ සරසවිය මාර්ගගත මධුර භාෂණය හෙළ සිනමාවේ ඉදිරි ගමන් මඟ හෙළි පෙහෙළි කිරීම වෙනුවෙන් බොහෝ ඉවහල් වන බව සරසවිය අපේ හැඟීමයි. එබැවින් එලැඹෙන 30 වැනිදාට මුහුණු පොත ඔස්සේ සම්බන්ධ වී අසංක්ෂිප්ත සංවාදය දකින ලෙස පාඨක ඔබ සියලු දෙනාට විවෘත ආරාධනාවක් කරමින් මේ සතියේ සංක්ෂිප්ත සටහන මෙසේ අවසන් කරමු.
සංක්ෂිප්ත සටහන
අරුණි මුතුමලී