‘සහෝ’ කාන් ගියාද නැත්ද?

මහාචාර්ය ඇතුගලගෙන් විමසීමක්
ජුනි 17, 2021

 

සිත්තර ගුරුන්නාන්සේ, රම්‍ය නගරය, තුන්බිය, සූසැට මායම්, සමනල කඳවුර වැනි ටෙලි නාට්‍ය රසවිඳී, මහාසමයම, මහසුපින වැනි දැවැන්ත වේදිකා නාට්‍ය නැරඹූ සමීප රූප, සංජානනය සහ සන්නිවේදනය, සන්නිවේදකයා, රූපවාහිනිය සහ සන්නිවේදනය ආදි ඔහුගේ කෘති විසි ගණනක් පමණ පරිශීලනය කළ ඔබට නම් ඒ නිර්මාණකරු බොහෝ සමීපය. අසූව දශකයේ මුල් භාගයේ නිමැවුණු නටත් අයෙක්, සිනා කඳුළක් වැනි කෙටි චිත්‍රපට නරඹන්නට ලැබුණා නම් ඔහුගේ සිනමාකරණ රීතිය පිළිබඳ යම් හැඟීමක් ද ඔබට ඇතිවාට සැක නැත. ඔහු වරෙක ජාතික රූපවාහිනයේ සභාපතිවරයා විය. තවත් වරෙක රජයේ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාය. ඒ කවරෙකුටත් වඩා ඔහු අද මාධ්‍ය ක්ෂේත්‍රයට සමීප බොහෝ දෙනකුගේ ගුරුවරයාය. 1991 සිට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ සේවය කරන ඔහු, ඔබ හොඳීන්ම හඳුනන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න ඇතුගලය. ඔහුගේ කුලුඳුල් වෘත්තාන්ත සිනමාගමනයටද පාදක වන්නේ ද තිස් වසරකට අධික සිය සරසවි අත්දැකීම් ඇසුරින් නිමැවුණු 'සහෝ' ය. සහෝ මේ වනවිට අන්තර්ජාතික සිනමා උලෙළ කීපයක ශ්‍රී ලංකාව නියෝජනය කරයි. මේ සහෝ පිළිබඳ දෙටු මහැදුරු ආරියරත්න ඇතුගලයන්ගෙන් කළ සරසවිය විමසුමයි.

‘සහෝ’ගේ බිහි වීම ගැන කියලාම ඉඳීමු?

මුලින්ම සහෝ බිහි වන්නේ තිර පිටපතක් හැටියට. ඊට පස්සේ එය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වෙනවා. ඊටත් පස්සේ තමයි සහෝ නවකතාවක් විදිහට එන්නේ. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට සිදු වෙන්නේ ඕකෙ අනෙක් පැත්තනේ. ඒත් සහෝ කණපිටට සිදු වුණු නිර්මාණයක්.

 

මේ වස්තු බීජය ඔබගේ දිගු කාලීන විශ්වවිද්‍යාල අත්දැකීම් ඇසුරින් හටගත්තක් කියලයි හිතෙන්නේ?

මට විශ්වවිද්‍යාල ළමයින් එක්ක වැඩක් කරන්න ඕනෙ කියලා කල්පනාවක් ආවා. ඒකට හේතුව පන්ති කාමර ඉගැන්වීම් ක්‍රමයේ යම් හෙම්බත්වීමක් තිබීම. ඒ වගේම ශිෂ්‍යශිෂ්‍යාවන්ටත් ප්‍රායෝගික හා න්‍යායික දැනුමක් එකවර ගන්න බැරි ගැටලුවක් තිබෙනවා. ඒ නිසා මට හිතුණා යම් අභ්‍යාසයක් කරන්න. එහි පළමු පියවර තමයි මහ සුපින වේදිකා නාට්‍යය. එයත් නිර්මාණාත්මක අභ්‍යාසයක්නෙ. ඒ වගේම තමයි සහෝ චිත්‍රපටය. මේ තේමාව මූලික කරගන්න හේතුව විශ්වවිද්‍යාලයේ කේන්ද්‍රීය සන්දර්භයක් වන මේ ශිෂ්‍ය අරගල. සමහරු දේශපාලන වාසියට මේ දේවල් වැඩක් නැති කොල්ලන්ගේ වැඩ එහෙම කියලා කියන විවිධ අදහස් තිබෙනවානෙ. ඒ කවර අදහස් තිබුණත් මේවා නිසා ඉතිහාසය පුරා සන්ධිස්ථාන ගණනාවකදි තරුණයෝ මිය ගිහින් තිබෙනවා. ඒ 'මියයෑම' කියන දේ මොන ආකාරයෙන් ගත්තත් ඛේදවාචකයක් කියලයි මම විශ්වාස කරන්නේ. ඒ වස්තුබීජය මත විශේෂිත චරිත හතරක් අර‌ගෙන, ඒ මත මේ කතාව ගෙතුවා. ඒ සඳහා මට තිබෙන අත්දැකීම් වැඩියි, මම විශ්වවිද්‍යාලයේ සේවය කරන නිසා. අනෙක සරසවි තරුණයන් සමඟ දැඩි සම්බන්ධතාවක් මට තිබෙනවා. අනෙක් අතට මේ ප්‍රස්තුතය ඉතා වැදගත්. ඒ වගේම මේ දේශපාලන කාරණය නිර්මාණාත්මක ක්ෂේත්‍රයට විවාදාත්මකව පාදක වුණු ප්‍රවේශයන් නැහැ. මේ කාරණා පදනම් කරගෙනයි චිත්‍රපටය කරන්න හිතුවේ. මුලින් කුඩාවට කරන්න හිතලා පසුව නිෂ්පාදකයකු හොයන මට්ටමට මෙය වැඩි දියුණු කළා. ඉන් පස්සේ විද්‍යාර්ථීන් වගේම ප්‍රවීණයන් එකතු වෙනවා මේ කටයුත්තට. කොහොමත් ඉතින් මම දිගටම වැඩ කරලා තිබෙන්නේ තරුණයන් සමග තමයි.

 

චිත්‍රපටයක් කිරීම, විශේෂයෙන් මේ කොරෝනා උවදුරු සමයේ ඒ සඳහා අතගැසීම වගේම, අද රටේ පවතින සිනමා කර්මාන්තයේ ස්වභාවය අනුව සිනමාවට අවතීර්ණය වීම ගැන ඔබ සිතන්නේ කොහොමද?

ලංකාවේ චිත්‍රපට කර්මාන්තයක් විදිහට නෑ. කළු කඩ දාගත්ත අය පිරිසක් පැත්තක ඉන්නවා. තව සිල්ලර කඩ වගේ අය පිරිසක් අනෙක් පැත්තේ ඉන්නවා. මේ දෙගොල්ලන් අත තමයි ඔය කර්මාන්තය කියන එක තිබෙන්නේ. ඒකට හේතුව මෙය රජයේ ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටු වූ කර්මාන්තයක් නොවීම. නළු නිළියන් දේශපලානඥයන් ළඟට ගිහින් එක එක ඒවා කරගත්ත දෙයක් හැටියටයි මෙය හඳුන්වන්න වෙන්නේ. එවැනි තැනක ඉඳගෙනයි අපට චිත්‍රපට කරන්න වෙලා තිබෙන්නේ. මට තිබෙන ප්‍රශ්නය අපි ඉන්නේ ඩිජිටල් යුගයක. මේ යුගය සිනමා තාක්ෂණයට විශාල පහසුකම් වගේම දැනුම ලෝකයෙන් උකහාගන්න පුළුවන් කාලයක්. මේ සියල්ල නොතිබුණු කාලේ තිබුණු දියුණුව අද සිනමාවේ නැහැ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර වැනි අයගෙන් ලද මහා සිනමාවක්නෙ අපට තිබුණෙ. එය කර්මාන්තයක් විදිහට නෙවෙයි, කලාවක් විදිහට තිබුණේ. ඒත් හොඳට ආදායම් ඉපදවූ නිර්මාණ බිහිවුණා ඒ වකවානුවේ. සිනමා ශාලා, ප්‍රේක්ෂක සංස්කෘතියක් අපට තිබුණා. අද මේ සියල්ල බිඳ වැටිලා. බලාපොරොත්තු තියාගන්න බැරිතරම් බිඳ වැටුණු කාලෙක තමයි මමත් මේ චිත්‍රපටය කරන්නේ. මම චිත්‍රපටය කරන්න පටන් ගන්න විට එකසිය ගාණක් තිබුණු ශාලා චිත්‍රපටය අවසන් වෙද්දි අසූ ගාණට අඩුවෙලා. ඒක එක ඛේදවාචකයක්. ඒ නිසා මම මේ තීරණය නිසා අත්විඳී දේවල් ගැන අවංකවම කීවොත්,(සිනාසී) 'ආධුනික', නැත්නම් පළමු චිත්‍රපටය කරන්නකු විඳවිය යුතු සියලුම දේ මමත් ඒ ආකාරයටම විඳෙව්වා. තමන්ගේ පළමුවෙනි චිත්‍රපටය කරන කාට වුණත් ක්ෂේත්‍රය විසින් ඇති කරන බාධා මටත් ඒ ආකාරයෙන්ම තිබුණා. හැබැයි ආරියරත්න ඇතුගල නමින් ඉන්න මම කියන මිනිහා වෙනස් පුද්ගලයෙක් නිසා තරමක් ඒවා මැඬ පවත්තවා ගත්තා. ඒ නිසා මම දකින පළමුවැනි දේ තමයි මේ තුළ තිබනෙවා එක්තරා විදිහක මාෆියාවක්. අපි තමයි මෙය හරියට දන්නේ කියලා හිතන පිරිසක් ඉන්නවා. එක එක අය, එක එක කණ්ඩායම්, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තැනක්, වටිනාකමක්, හදා ගෙන තිබෙනනවා. ඒවාට නිශ්චිත මිලක් තිබෙනවා. ආධිපත්‍යයක් දිනාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වනවා ප්‍රතිපත්තියක් නැති ආර්ථිකයක, ක්ෂේත්‍රයක, කර්මාන්තයක... කුඩා කණ්ඩායම් තම තමන්ගේ බලය තහවුරු කරගන්න යම් යම් වැඩපිළිවෙළ හදාගන්නවා. ඒ නිසා ලංකාවේ චිත්‍රපට කලාව පිරිහිලා තිබෙනවා අද වෙද්දි. ඒ කලාව වගේම කර්මාන්තයක් විදිහට ජනප්‍රිය චිත්‍රපට හදන ආකාර පිරිහිලා ගිහින්. අපි පොඩි කාලේ තුෂාරා හෝ සුහද පැතුම හෝ වේවා වීරයන් ඉන්න, පුදුමාකාර චිත්‍රපට රැල්ලක් එනවානෙ. ඒවායේ කිසිම අපුලක්, බලා ඉන්න බැරි ගොං මෝඩ ගතියක් නෑනේ. දැන් ජනප්‍රියයි කියන ඒවාට මහ ගොංමෝඩ පොඩි මූසල ගතියක් තිබෙනවානෙ. මම මේ වචන භාවිත කරන්නේ මට දැනෙන දේ හරියට පැහැදිලි කරන්න ඕනෙ නිසා. අපට ඒක වර්ධනය කරගන්න විදිහක් නෑ. ඊට අදාළ පසුබිමක් නැති නිසා. දූර්වල ප්‍රමිතීන් තියෙන්නේ. අපි ඉස්සර බැලුවේ එක්කෝ හින්දි අනුකාරක චිත්‍රපටයක් නැත්නම් අපේ හැඩයකින් යුතු ස්වාධීන ක්‍රමයකට හැදුණු චිත්‍රපටයක්. අනුකරණය කළත් නැත්නම් කොපියක් වුණත් ලස්සනට ඒක කරනවා.

ජෝතිපාල වැනි ගායකයෙක් විශාල කාර්යභාරයක් කරනවානේ සිනමාව ඇතුළේ. අද එහෙම මුකුත් නෑ. වැඩුණු සිනමා ජනප්‍රිය සංස්කෘතියක් නෑ.

දෙවැන්න අපට සම්භාව්‍ය සිනමා සංස්කෘතිය නැත්නම් උසස් චිත්‍රපට කියන දේ නෑ. උදාහරණයකට ගමු ලෙස්ටර්, වසන්ත, තිස්ස, පතිරාජ චිත්‍රපට කළා, ලෝකය අධ්‍යයනය කළා. දැන් අය වාර්ෂිකව පවත්වන චිත්‍රපට උලෙළ සඳහා චිත්‍රපට කරනවා. මෙලෝ රහක් නෑ. හැබැයි හරියට විචාර ලියවෙනවා. කොහොම හරි සම්මානත් ගේනවා. ඒත් මිනිස්සු බලන්නේත් නෑ. අපි පැත්තක ඉඳලා බලද්දි පේනවා මේ එක්තරා විදිහක ව්‍යාජ ආධිපත්‍යයක් තමයි දකින්නේ කියලා. එය බොහොම සුළු පිරිසක් අතර තිබෙන්නේ. කල්ලියක් දම්මලා කතා කරනවා මාර ලොකුවට. ඒත් වැඩක් නෑ ඒකෙනුත්. ඒ අයම චිත්‍රපට කරන්න ඕනේ විචාරකයන්ට විචාර ලියැවෙන්න. නැත්නම් විචාර ලියන්න බෑ. මෙහෙම සංස්කෘතියක් අපි අපේ තරුණ කාලේ දැක්කේ, අත්වින්දේ නෑ. ඒ වගේම පතීලා (ධර්මසේන පතිරාජලා) කවදාවත් අපි තමයි සිනමාව දන්නෙ කියලා කීවෙ නෑ. ඉතින් දැන් තිබෙන්නේ බොහොම කල්ලිවාදී සිනමාවක් නිසා ඒවා ගැන බොහොම උපේක්ෂාවෙන් දකිමින් තමයි මම චිත්‍රපටය කළේ.

 

තමන්ගේ කුලුඳුල් නිර්මාණයේදී අලුත් පිරිසක් සමඟ කටයුතු කිරීම කොයි තරම් අවදානම්ද? ආස්වාද ජනකද?

 

මම කවදත් අලුත් අයත් එක්ක වැඩ කරන්න කැමැතියි. ඒකට එක හේතුවක් අලුත් ලේ හරි පිරිසුදු වීම. කවුරුත් වෙනස් කරලා නෑ ඔවුන්ව. මම මේ සිනමාවට තිබෙන ආදරය නිසා කියන්නේ, ක්ෂේත්‍රයේ ඉන්න වැඩි දෙනෙක් වැරැදි පුර්වාදර්ශ එක්කයි තමන්ගේ ගමන යන්නෙ. අධ්‍යක්ෂණය ගත්තත්, තාක්ෂණය ආදි මොන දේ ගත්තත් විද්‍යාත්මක දැනුම අඩුයි. පුද්ගල කේන්ද්‍රීය අදහස් තමයි වැඩි. ඒත් ලෝකයේ සිනමාවේදයක්, දර්ශනයක් තිබෙනවා. සිනමා වේදයයි, සිනමා දර්ශනයයි කියන දෙකම නොදැන ශ්‍රේෂ්ඨ හෝ ප්‍රවීණ කියන අයත් එක්ක වැඩ කරන්න ගියාම අපට ඕනෙ දේ ගන්න, වැඩ කරන්න අමාරුයි. තරුණයන් සැමවිටම අලුත් දේ සිතනවා, කියනවා. නම්‍යශීලියි. ප්‍රවීණ අය මෙතැනට ආවාම අධ්‍යක්ෂවරයාට මුකුත් කරන්න බෑ. මම එහෙම අය ගන්නේම නෑ. හැබැයි අපේ හිටපු ප්‍රවීණම රංගධරයෙකු වන ජෝ අබේවික්‍රම මම තුන්නබිය කරද්දි කීවේ "ඔන්න මම ඔබතුමාගේ මැටිපිඩ, ඕනෑ විදිහට අනලා අඹන එකයි තියෙන්න." කියලයි. එයින් ලැබෙන මානසික නිදහස කොයි තරම්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ‌ නැහැනේ.

අද එහෙම නෙවෙයිනේ. වෙලාවට එන්න, වෙලාවට කන්න, ෆෝන් එක ඔබන්න, තව ඕනෙ නම් පැත්තකට වෙලා කුඩු ගැහිල්ලත් කරනවා. හැබැයි ඕනෙ වැඩේ කෙරෙන්නේ නෑ. මම හිතන්නේ එහෙම නෙවෙයි ක්ෂේත්‍රයක් වැඩෙන්නේ. කලාවක් විදිහට වැඩෙනකොට හැමෝම එයට දායක වෙන්න ඕනෙ. සාමූහික ප්‍රයත්නයක්නෙ සිනමාව කියන්නේ.

 

ඒ පිරිස ඒ අයුරින් හැසිරෙන්නේ දැනුම, අධ්‍යයනය අඩු නිසාද? නැත්නම් වෙනත් හේතුවක්ද?

ඇත්තෙන්ම ඒ අයට වැරැදි කියන්නත් බෑ. මම මේ කරන්නෙත් වැරැදි කියනවාට වඩා අපට මේ පේන චිත්‍රය ගැන. නැත්නම් කැන්වසය ගැනයි මම කියන්නේ. අපට සිනමා පාසලක් නෑනෙ ලංකාවේ. තිර රචනයක් ඉගෙනගන්න පාසලක් නෑනේ. විශ්වවිද්‍යාලවල උගන්වන්නෙත් නෑ. පාසල්වලත් නෑ. ඉතින් කොහෙන්ද ඉගෙන ගන්නේ? එහෙම ඕපපාතික විදිහට කලාවන් බිහිවන කාලෙ ඉවරයි. මේ තිබෙන පසුගාමී තත්ත්වය නිසා තමයි අපට අන්තර්ජාතික සිනමාවට වගේම හොඳ සිනමා උලෙළවලට යන්න බැරි වෙන්නෙත්.

අපි කුඩා කෝවක ඉඳගෙන, ළිඳට බැහැපු එකා වගේ ඒ ලෝකය තුළ බලලා ඒක හරි කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ලෝකයෙන් කාන්දු වෙන ප්‍රතිශතය හරි අඩුයි. ඒ වගේම සමහර අයගේ පූර්වාදර්ශ මත චිත්‍රපට පිළිබඳ තීන්දු තීරණ ගන්න නිසා ලෝකයෙන් යමක් මෙහෙට කාන්දු වෙන්න තිබෙන ඉඩත් අඩු වෙනවා. තෝරාගත් පිරිසක්ගේ විතරක් චිත්‍රපට හොඳයි කියන අදහසකට තල්ලු කර තිබෙනවා අපව. ඒක සිනමා කර්මාන්තයට විශාල හානියක්. මම තරුණයන් සහ විෂයය තේරුම්ගත් අයත් එක්ක වැඩ කරන්නේ ඒ නිසයි. මගේ ප්‍රතිපත්තිය තමයි 'මාර දක්ෂයෝ' කියලා අය නෑ. මනුස්සකම තියෙන ටිකක් දන්න අය හිටියාම මට ඇති කියන දේ. සිත්තර ගුරුන්නාසේ ඉඳලා ඒක එහෙමයි. අතිදක්ෂ කැමරාමන් කෙනෙක් ආවා සිත්තර ගුරුන්නාසේ වෙනුවෙන් ලොකේෂන් බලන්න යන්න. එයාගේ තිබුණේ ලොකු... වැඩ. මම නාට්‍යය කරද්දි කීවා මට සාමාන්‍ය දැනුම තියෙන කෙනෙක් දෙන්න මම එහෙම කෙනෙක් එක්ක වැඩ කරන්නම් කියලා.

 

අද අපේ රටේ විවිධ ප්‍රවර්ගවල චිත්‍රපට තැනෙනවා අඩුයි? ඒ වගේම බොහෝ විට මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණයට වඩා විදෙස් උලෙළකින් සම්මානයක් ලැබීම චිත්‍රපටයකට තීරණාත්මක සාධකයක් වෙලා?

පැහැදිලිවම සම්මාන මානසිකත්වය කෙනකුට ආවොත් නිර්මාණකරුවා මිය යනවා. මෙය මම අපේ ඉතිහාසයේම දැකලා තිබෙනවා. අපේ බොහෝ යාළුවන්ට සිදුවෙලා තිබෙන්නෙත් ඒක. මේ නිසා ලංකාවේ සිනමාව පුළුල් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔබ කියූ අයුරින් විවිධ විචිත්‍ර ප්‍රවර්ගයන් අනුව චිත්‍රපට තැනිලා සිනමාව ගඟක් මෙන් ඉදිරියට ගලාගෙන යන්නේ නෑ. එක්කෝ ලිංගික කෑල්ලක් නැත්නම් නිරුවත් කෑල්ලක් හෝ අතිශය බියකරු හෝ බරපතළ අන්තවාදි දේශපාලනික අදහසක් හෝ යෙදුවොත් තමයි චිත්‍රපට කියලා හිතන්නේ. හැබැයි ලෝකෙ කොහේවත් ඔහොම විකාර නෑ. චිත්‍රපටයට වේදයක් තිබෙනවා. බර්ග්මාන්ලාගේ ඉඳලා විශාල දාර්ශනික පසුබිමක චිත්‍රපට කළ අය ඉන්නවා. අපිට ඒ අයගේ ආභාසය ගන්න තේරෙන්නෙත් නෑ. ලංකාවේත් ඉන්නවා අපට ආදර්ශයට ගත යුතු ධාරා දෙකක අය. එකක් බ්‍රිතාන්‍ය ධාරාවේ ආභාසයෙන් එන ආචාර්ය ලෙස්ටර් ප්‍රමුඛ පිරිසක් ඉන්නවා මුල් කාලීනව ගොඩ නැඟුණු දියුණු සිනමාවකට යා හැකි ලක්ෂණ සහිත. උදාහරණයට 'නිධානය' ලොකයේ අදටත් වලංගු ආකෘතියක්, ඔස්කා උලෙළවල වැඩි වශයෙන් යන්නේ ඒ ආඛ්‍යාන ශෛලිය.

දෙවැන්න ධර්මසේන පතිරාජගේ ආඛ්‍යාන ශෛලිය. එයත් ලෝකයට යන්න පුළුවන් ඉතා හොඳ නිර්මාණාත්මක අගයක් ඇති චිත්‍රපට කලාවක්. මේ ධාරා දෙකේම දැන් යන්නේ නෑ කවුරුවත්. පතිරාජලාට අන්තවාදී බොරු දේශපාලනයක් තිබුණෙ නෑ, හැබැයි ඒ අය දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රීය දැනුමෙන් කෙළ පැමිණ සිටියා. මාක්ස්වාදය හොඳටම දැනගෙන හිටියා. අද බොරුවට කෑ ගහන කවුරුත් මාක්ස්වාදය හරියට දන්නේ නෑනේ. අපි උදාහරණයකට බඹරු ඇවිත් ගත්තොත් පුදුමාකාර දේශපාලනයක් කතා කරන්න සමාජයේ සිදුවීමක් ගත්තා මිසක් අමුතුවෙන් ලිංගිකත්වය හෝ නිරුවත ඒකට ඔබන්න ගියේ නෑ. ඒකයි මම කීවේ චිත්‍රපට කියන්නේ දර්ශනයක් කියලා. එනිසා චිත්‍රපට කියන දර්ශනයට ප්‍රවේශ විය හැකි සිනමාකරුවන් තමයි බිහිකරන්න ඕනේ. එහෙම නැතුව පහනට එන 'පළඟැටි චින්තනය' තිබෙන තුරු සිනමාව දියුණු කරන්න බෑ. පහන දිලෙමින් තිබෙනවා. එතැනට එන පළඟැටියන් හැපිලා මැරෙනවා. තිස්ස අබේසේකරලා වැනි අපේ අය‌ගේ තිබුණු පුළුල් චින්තනය, ආලෝකය අර පළඟැටියන් ඇදගන්න පහන්වලින් ලැබෙන්නේ නෑ. මේ දෙය කවුරු කැමැති වුණත් අකැමැති වුණත් කවුරුන් විසින් හෝ කිවයුතුව තිබෙන දෙයක්. එහෙම නොවුණොත් අනාගතයේ අපේ සිනමාව කොහේ යයිද කියන්න බෑ.

 

ඔබේ ප්‍රකාශය බරපතළයි?

ඔව්. කවුරු කැමැති වුණත් නැතත් අපි සිනමාව ගැන කතා කළ යුතු වන්නේ පෞද්ගලික මුහුණුවරකින් නොවේ. පෞද්ගලික අදහස් සමාජගත කිරීම නෙවෙයි ක්ෂේත්‍රයේ සිටින්නන්ගේ යුතුකම. සිනමාව සිනමාව ලෙස දකින්න දීමයි යුතු වන්නේ. මම සිනමාකරුවෙකු නොවන නිසා මෙසේ කීම මට ප්‍රශ්නයක් වන්නේ නෑ.

 

අපට චිත්‍රපට සංස්ථාවක් තිබෙනවා, සිනමාවට සම්බන්ධ පිරිස් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා, ඔබ සිතන ආකාරයට සිනමාව දියුණු කරන්න කළ යුත්තේ කුමක්ද?

සිනමා කර්මානත්ය දියුණු කරන්න නම් ඒ පිළිබඳ හැදෑරු, එයට ඇල්මක් ඇති, සිනමාව පිළිබඳ වැඩපිළිවෙළක් සහිත පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් තමයි අදාළ ආයතනවලට පත් කළ යුතු වන්නේ. පවතින සංස්ථා ආයතනික ව්‍යූහ‌ය අදට ගැළපෙන්නේ නෑ. සංස්ථාවක ක්‍රියාකලාපයක් තුළ රජයේ භාණ්ඩාගාරය සමඟ ඍජු ගනුදෙනු කරන ආයතනයක් සමඟ සිනමාව වගේ සජීවී කලාවක් කරගෙන යන්න බෑ, ඒ කාල වකවානුව ගෙවිලා ඉවරයි. ඒ නිසා මෙය ස්වාධීන ආයතනයක් බවට පත්වෙලා, ඊට අදාළ ජාතික සංවර්ධන අරමුදලක් හැදිලා, ලෝක ඥානය වහා උකහා ගත හැකි විශේෂඥතාවය සහිත අය පත්වෙලා, එන එන ඇමතිවරයාට වෙනස් කළ නොහැකි ආකාරයේ දිගු කාලීන ජාතික ප්‍රතිපත්තිගත විධිමත් වැඩපිළිවෙළක් ඇති වීමයි අද විය යුත්තේ. මෙය තමයි කොරියාව, ජපානය ආදි රටවල සිනමාවේ සිදු වුණේ. විශේෂයෙන් කොරියාව දියුණු වුණේ ඔය කියන නිදහස, ස්වාධීන්තවය සහිත අය සිනමාව වෙනුවෙන් තීන්දු ගැනීමට පත්වීම නිසා. ඔවුන් සිනමාව දියුණු කරන්න වෙනමම ලෝකයට යවලා හදාරලා ගෙන්වා ගත්තා. අපේ කොහෙද එහෙම යවන්නේ. අනෙක ස්වාධීනව එහෙම ඉගෙන ගෙන ආවත් ඒ කෙනකුගේ දැනුම පාවිචචි කරන්නේත් නෑනෙ. අදත් ලෙස්ටර්ගෙ කාලේ වගේම ඕස්ට්‍රේලියාවට, එංගලන්තයට, ඉන්දියාවට ගිහින් ඉගෙනුම ලත් පිරිසක් ඉන්නවා. ඒත් ඔවුන්ටත් ආයතනික අනුග්‍රහයක් නෑ. ලෙස්ටර් ව‌ගේ අයට රජයේ චිත්‍රපට ඒකකය තිබුණා වැඩ කරන්න. ඔවුන්ට ඒ දැනුම වෘත්තාන්ත චිත්‍රපටයට ගේන්න පුළුවන්කම ලැබුණා. එදා අදට වඩා තාක්ෂණය වගේම මුදල් අතින් හිඟ කාලයක් වුණත්.

 

තාක්ෂණය නව පරපුරේ ඇඟිලිතුඩු මතට පැමිණීම නිර්මාණකරණයේ වගකීම්සහගතබව සැහැල්ලු කිරීමට හේතු වුණා කියලයි මට නම් හැඟෙන්නේ?

ඒක හරි. දැන් සිනමාවත් පොදු මාධ්‍යයක් බවට පත්වෙලා, වීඩියෝ වගේ වෙලා. ලංකාවේ දැන් චිත්‍රපටවේදය පිළිබඳ පෙනෙන චිත්‍රපට නැති තතරම්. ඕනෙ නම් අපට ආසන්නම නිදසුනක් ලෙස 'පැරසයිට්' චිත්‍රපටයත් සමඟ සසඳන්න පුළුවන්. එහි කතා කරන දේ හා එය කතා කරන ආකාරය කොයි තරම් සූක්ෂ්මද? සිනමාත්මකද? මේ ගුණයයි අපට නැත්තේ. අපේ තිබෙන්නේ ප්‍රයෝගකාරී සිනමාවක්. උපක්‍රමශීලිව 'මාරයි' කියන තැනටයි ගේන්න හදන්නේ. ඉතින් නොදන්න විචාරකයත් ඒකට මාරයි කියනවා.

ඒ වගේම අර තාක්ෂණය අතට ඒමත් එක්ක වන සැහැල්ලුව නිසා ප්‍රාඥකම නැත්නම් සිනමාවට අදාළ නිර්මාණාත්මක ඥානය හෑල්ලු වී තිබෙනවා. ඉස්සර චිත්‍රපටයක් කරද්දි සෑහෙන කාලයක් ගත කරනවා මම දැකලා තිබෙනවා. ලෙස්ටර් මහත්තයා කැමරාව ස්ථානගත කරලා සෑහෙන වෙලාවක් මූඩ් එකේ කල්පනා කර කර ඉන්නවා. අනෙක් අයත් බාධා නොකර ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. අද එහෙම නෙවෙයි. අද කැමරාකරුවන් තමයි බොහෝ වෙලාවට අධ්‍යක්ෂවරුන් ගොඩදාලා දෙන්නේ. මේ දේවල් මම කියන්නේ ‌මේවා නොවිමසා කොහෙද අපි යන්නේ කියන දේ අවධාරණය කරන්න පමණයි. ඔය සැහැල්ලු වීම කොතරම්ද කීවොත් සමහරු වේගයෙන් චිත්‍රපට කරනවා, සමහරුන්ට විනයක් නෑ. ඒ කියන්නේ පිටපතක් හරියට නැහැ, නළු නිළියන් පවා ගන්නේ ආකර්ෂණය හෝ සම්බන්ධතා හෝ අවශ්‍යතා මතයි. එහෙම චිත්‍රපට හැදීමත් බැලුවාම පවත්නා දේශපාලනය වගේ තමයි. ඇත්තටම අපේ චිත්‍රපට දිහා බලලා අපිම හිනා වෙන්න ඕනෙ. හිනා වෙලා තේරුම් ගන්න ඕනෙ. මොකද මම එහෙම කියන්නේ සමහර චිත්‍රපට බලන්න ඉසකුඩිච්චි දාගෙන යන්න ඕනෙ. ඒකත් අර හෑල්ලු විමේ අනිසි ප්‍රතිඵලයක්. ප්‍රේක්ෂකයාගෙ ඕළුව කරකවලා කොළොප්පන් කරලා දෑම්මාම හිතෙනවා 'අඩේ ඒක හොඳයිනෙ' කියලා. ඊට පස්සේ ඒකට සම්මානත් දෙනවා. ඒත් හරියට බලනකොට තේරෙනවා ඒක චිත්‍රපට ගැන දන්නේ නැතිව කරපු වැඩක් කියලා. ඉතින් අර තාක්ෂණික හෑල්ලුවීම සමඟ මේ කියන නිර්මාණාත්මක හෑල්ලුවීම එකතු වුණාම බරපතළම සිනමා අර්බුදයක් හට ගන්නවා. ඇත්තටම අපි අද මුහුණ දී තිබෙන්නේ එවන් තත්ත්වයකට. මම ඔය අයින් වෙලා ඉන්නෙත් ඒකයි. ඇත්තටම ලංකාවේ හොඳයි කියන චිත්‍රපට බහුතරයක් බලන්නේ නෑ මම. මොකද? බැලුවොත් මාව නරක් වෙනවා. ජෝතිපාල හැදුණේ කොහොමද? කේමාදාස, බර්ගමාන් හැදුණෙ කොහොමද? ඒ අය මොළේ කොළොප්පන්වන චිත්‍රපට බැලුවේ නෑ. ලෝකෙ පළමුවෙනි චිත්‍රපටය කළ කෙනා බැලුවේ මොනවාද? ඔහු එය කළේ කොහොමද? පතිරාජට චෙකොස්ලොවෙකියානු ආභාසය ලැබුණත්, ලෙස්ටර්ට බ්‍රිතාන්‍ය පාසලේ ඉගෙන ගත්තත්, බර්ගමාන්ලා ගත්තත් ඒ අය තමන්ගේ ශෛලියක් ගොඩනඟා ගත්තානේ. ලෙස්ටර් ටෙන් කමාන්ඩ්මන්ට්ස් බැලුවට මෙහෙ කළේ සංදේශය නේ. තිස්ස අබේසේකරලා ගත්තත් ඔවුන්ගේ කියවීම තුළයි ඒ අයගේ මුල් තියෙන්නේ. ඔවුන් අතිශය ස්වාධීනයි. අන්න ඒ ස්වාධීනත්වය දැන් අපේ බහුතරයකගේ නෑ.

 

ඔබේ ඔය කියවීම සමඟ 'සහෝ' වෙනුවෙන් කටයුතු කරද්දි සැලකිලිමත් වූ දේවල් ගැනත් කතා කරමු?

මෙහි තිර පිටපත අවුරුදු හතරක පහක පරිශ්‍රමයක්. ඒක ඉක්මනින් ලියැවුණු එකක් නෙවෙයි. හැබැයි චිත්‍රපටය අතරෙත් වෙනස්වීම් සිදුවුණා. ඒක මගේ ස්වරූපයක්. (සිනා සී) වෙනස්වීමනෙ නොවෙනස් වන එකම දේ.නළුනිළිවරණයටත් මම හුඟක් කල් බැලුවා. මුලින්ම විශ්වවිද්‍යාලවලින් තරුණ තරුණියන් බැලුවා. ඕනෙ නම් මගේ විශ්වවිද්‍යාලයෙන් කියලා පිරිස් ගන්නත් තිබුණා. මම එහෙම කළේ නෑ. මම ගත්තේ දසුන් පතිරණ. ඔහු ගැන මුලින් ලැබුණු ආරංචි සමඟ ගැටෙමින් ඔහු ගෙන්වා බැලූ විට මට, දසුන් කියන්නේ ඒ කියන දේවලට වඩා වෙනස්, විශාල කුසලතාවක් සහිත, හොඳ නම්‍යශීලීබවක් ඇති 'වෙනම ජීවියෙක්' බව පෙනුණා. අති දක්ෂයි කියන අයත් ගෙන්වලා ඒ අතරින් අන්තිම දෙතුන්දෙනාට අයිති වුණු දිනාරා පුංචිහේවා ගත්තේ හරි අමුතුම ආකාරයේ රංගනයක් කරනවා දුටු නිසා. මට හිතාගන්න බැරි වුණා අභ්‍යන්තරික හැඟීම් කොහෙන් මතු කර ගන්නවාද කියලා. සිංහල නම් ටිකක් අමාරුයි වගේ පෙනුණා. ඒත් තෝරගෙන බලද්දි ඇය එංගලන්තේ නාට්‍ය කලාව හදැරූ කෙනෙක්. අංජුමාලා කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා කලාව උගනිමින් සිටියත් ඇය රංගනයෙන් දායක වෙලා තිබුණේ ජනප්‍රිය ඒත් ගුණාත්මක බවින් පොහොසත් ද කියන්න බැරි ටෙලිනාට්‍යවලයි. ඇය තෝරගෙන කලක් යනකල් වුණත් මගෙ ළඟ හිටි අය කීවා 'අනේ සර් ඇයි මෙයාව ගත්තේ' කියලා. ඒත් මට ඒ ශිල්පිනියගෙ කුසලතාව පෙනුණ නිසා ඔවුන් කියන දේ මම ඇහුවෙ නෑ. හැබැයි ඇයව එපා කියූ හැම කෙනාමත් අන්තිමට ඇය හොඳටම රඟ පෑ බව කීවා. ඉතින් මම මුලින්ම ඔවුන් කී දේ ඇහුවා නම් මොකද වෙන්නේ? (සිනාවකින් අසයි) බියංකා අමරසේනත් ලොකු වැඩ කරලා නෑ. නාට්‍යවල හිටියා. අනෙක් තුන්දෙනාටම වෙනස් රූපයක්, මූණක්, කටහඬක් වගේම රංග විලාසයක් මම ඇගෙන් දුටුවා. බොහෝ වෙලාවට නළු නිළියන් තෝරා ගැනීමේදී රඟපාන්න පුළුවන් කියලා කියන ප්‍රසිද්ධ අය ගත්තාම කරදරයක් නෑ තමන් බේරිලා. හැබැයි චරිතයට කොතරම් දුරට ගැළපෙනවාද යන්න ගැටලුවක්. ඒ නිසා නළුවරණය කියන්නේ වෙනම දෙයක්. ඉතින් මම තේරූ හතරදෙනාම ඉතාම සාධාරණ සම්බන්ධතාවක් ගොඩනඟලා තිබෙනවා සහෝ නිර්මාණයේදී. කැමරා ශිල්පී චන්දන ජයසිංහ නිදහස් සහ දක්ෂ අයෙක් බව මම හඳුනගෙන හිටියා. ගයාන් මධුරංග කලා අධ්‍යක්ෂවරයාට මගේ කාර්යයට අදාළ දාර්ශනික අදහස සහ ප්‍රායෝගික හැකියාව තිබුණා. උදාහරණයකට ලංකාවේ කිසිවකු ළඟ නැති විශාල ප්‍රදේශයකට වැස්ස ලබා දිය හැකි යන්ත්‍ර සූත්‍ර ඔහු හැදුවා. එවැනි නිර්මාණශීලී පිරිසක් සමඟ වැඩ කිරීම ඇත්තෙන්ම සතුටක්.

 

ඔබට අනුව මේ චිත්‍රපටය ඇතුළත් වන්නේ අපේ රටේ ඇති කුමන ප්‍රවර්ගයකටද?

අපේ රටේ මෙය ස්ථානගත කරන්න ප්‍රවර්ගයක් මම දන්නේ නැහැ. සාමාන්‍ය වර්ගීකරණය යටතේ මෙය වෘතාන්ත චිත්‍රපටයක් ලෙසයි මම හඳුන්වන්නේ. කෑන්ස් උලෙළටත් ඉදිරිපත් කළෙත් එහෙමයි. මම අයිති මැද මාවතටද වෙන ප්‍රවර්ගයකටද කියන්න සම්බන්ධතාවක් මම දන්නේ නෑ. මට තිබෙන්නේ 'චිත්‍රපටයක්' පිළිබඳ ප්‍රශ්නය. එහි හැඩය කවුරුහරි බලලා කැමති පැත්තකට දාගත්තාවේ. මට තිබුණේ කොහොමද විශේෂිත චිත්‍රපටයක් කරන්නේ කියන අවධානය විතරයි. ඒකට මම ලංකාවේ ආදර්ශ ගන්න ගියෙත් නෑ. විදේශ රටවල හැම චිත්‍රපටයක්ම බලලා-බලලා ඒවායේ ආභාසය ගන්න ගියෙත් නෑ. ඇත්තටම මම එහෙම චිත්‍රපට බලන්නේ නෑ. තරුණ කාලේ නම් එකක් නෑර ෆෙස්ටිවල් ගානෙ ගියා. ඒක අපේ යාළුවොත් දන්නවා. විදේශවල ගියත් චිත්‍රපට බැලුවා. ඒත් ඒවා බලලා චිත්‍රපට කරන්න බෑ. එක කාලෙකදි මම එය අතහැරියා. චිත්‍රපට බැලීම එකක්. චිත්‍රපට කරන අය ඊට අදාළ ආවේශය ගන්න ඕනේ තමන්ගේ ඇතුළතින්මයි. හොඳම උදාහරණය ජෝතිපාල. ඔහු මොහොමඩ් රාෆි වෙන්න ගියේ නෑනේ (සිනාසී). ඔහු රාෆිගෙන් යමක් ගත්තද නැත්ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා අපට. රාෆිට යම් සමානකමක් තිබුණත් ඒවා ජෝතිපාලගේ. අනෙක මගේ කියවීමට දාර්ශනිකව මේ මොහෙතේ කලාව හා සම්බන්ධ අදහස් මොනවාද? ඒ අදහස් කෙතරම් දුරට රූප මාධ්‍යයට ගත හැකිද? වගේ පදනමක තමයි මම හිටියේ. ඒක අරයා වගේද මෙයා වගේද සම්මාන ලැබෙයිද කියලා මම හිතුවේ නෑ. මගේ ජීවිතේ සම්මාන ගැන අදහසක් ඇත්තෙම නෑ. 'මහසමයම' නෙළුම්පොකුණේ කළාම රාජ්‍ය නාට්‍ය උලෙළට දාන්න බෑනේ. 'මහා සුපින' කළා ඒකත් දාන්න බෑනේ. ඒ නිසා මට සම්මාන මනෝභාවයක් නෑ, මගේ උපාධියක් ගන්නවත් මම වේදිකාවට නැග්ගේ නෑ, මට එහෙම ආඩම්බරයක්, උද්ධච්චකමක් ඇතිකරගන්න බෑ. චිත්‍රපටය කරනකොටත් ඒ වගේ නිදහස් මානසිකත්වයක මම හිටියේ. මට කිසිම දෙයක් ලබා ගන්න නෙවෙයි ළමයින්ට විශාල අධ්‍යයනයක් ලබා දීමේ වුවමනාව යටිතලයේ තිබුණා. සිනමාකරුවකු වන්න වුවමනාවක් මට අදටත් නෑ. මම ශිෂ්‍ය කණ්ඩායමක් හදලා තිබෙනවා ඒ අය ක්ෂේත්‍රයේ වැඩ කරමින් ඉන්නවා ඒවා කැපිලා පෙනෙයි. ඒක මට සතුටක්. ඔවුන් සමඟ වැඩ කළ ප්‍රවීණ අය කීවා ප්ලේනටියටවත් ප්‍රශ්නයක් නොකරන පුදුම කණ්ඩායමක් කියලා. එතරම් සාමූහිකත්වයක් කැපවීමක් ඔවුන්ට තිබුණා.

 

ඒත් ඔබ කෑන්ස් උලෙළට 'සහෝ' ඉදිරිපත් කළා?

චිත්‍රපටයක් හැදුවට පස්සේ ෆෙස්ටිවල් දානවාද කියන එක හැමෝම අහන එකක්නෙ. ඒකෙත් ලොකු ප්‍රශ්න තිබුණා. ෆෙස්ටිවල් ගැන දන්න අය ඉන්නවානේ. මම ඒ අයගේ උදවු ගන්න ගියෙත් නෑ. පරිගණකය හසුරුවන්න හොඳීන් දන්න සිසුවෙක් එක්ක ගෙදර ඉඳගෙන මමම හොයාගෙන තමයි ඉදිරිපත් කළේ.

 

ඔබ දන්වා තිබුණා 'සහෝ' කෑන්ස් උලෙළේ 'දෙවැනි වටයට' තේරුණු බවක්?

ඔවු. සියලුම රටවල චිත්‍රපට ඔය උලෙළට එනවානේ. ඒ නිසා චිත්‍රපටය වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන්න ඒ අයගේ වෙබ් අඩවියේ අපට දීලා තිබෙනවා පාස්වර්ඩ් එකක්. ඇත්තෙන්ම කීවොත් මට 'සහෝ' විදේශීය භාෂා අංශයට දාන්න බැරිවුණා. එයට වැය වන මුදලත් වැඩියි. නීතිත් වැඩියි. ඊට අමතරව අපට යොමුවෙන්න පුළුවන් වුණේ ෆීචර් කැටගරි එක. එයට තමයි ලෝකයෙන් තරගකාරීම චිත්‍රපට එන්නේ. මුලින්ම එයට යොමු කළ විට තාක්ෂණික කාරණයක් කියලා එවුවා, අපි යැවූ එම්ඕවී ක්‍රමයට නොවෙයි 'බ්ලූරේ' එකක් ලෙස එවන්න කියලා. ඊට පස්සේ දැනුම් දීමක් කළා තාක්ෂණික ප්‍රශ්නය දැන් හරි ඔබේ චිත්‍රපටය නිල කමිටුව විසින් පිළිගනු ලැබුවා කියලා. ඊට දින කීපයකට පස්සේ එනවා ඔබේ චිත්‍රපටය නිල තේරීමට අනුව දෙවැනි වටයට තෝරාගෙන තිබෙනවා කියලා. ලංකාවේ බොහෝ අයගේ තර්කයක් තිබෙනවා කෑන්ස් උලෙළේ එහෙම වට නැහැ කියලා. ඒකට හේතුව විදිහට මම දකින්නේ මා දන්නා තරමින් ලංකාවෙන් මෙතෙක් ඉදිරිපත් කළ කිසිම චිත්‍රපටයක් කෑන්ස් උලෙළේ දෙවැනි වටයකට තේරී නොතිබීම විය හැකියි. ආචාර්ය ලෙස්ටර්ට, පතිරාජට ඇගයීම් ලැබුණේ තරගකාරී අංශයකින් නෙවෙයි. විමුක්තිගේ චිත්‍රපටය ඇතුළත් වී තිබෙන්නේ වෙනම වර්ගීකරණයකින්. එනිසා මා දන්නා තරමින් උලෙළ සඳහා ඉදිරිපත් කරන වටය වන්නේ තුන්වැනි වටයයි. එවැනි වට නැතිව චිත්‍රපට තෝරන්නේ ලොතරැයි ක්‍රමේට ද කියලා මම නම් දන්නේ නෑ. හැබැයි මම හිතුවේ නෑ අඩුම ගාණේ තෝරාගනියිවත් කියලා. ඒ වගේම මම දන්නවා තුන්වැනි වටයට නම් තේරෙන්නේත් නෑ කියලා. අපි වගේ දුප්පත් රටක තාක්ෂණය ආදියට ලෝක මට්ටමට කිටුවෙන්නවත් බෑ. අනෙක අධ්‍යක්ෂණයේ විනය අපේ ඒවායේ අඩුයි. මගේත් එහෙමයි. ඒකට හේතුව පොඩි මුදලකින් කෙටි කාලයක් තුළ 'චිත්‍රපටයක් ගහන්න' දැඟලීම. වැඩේ අතර කොරෝනා දෙසැරයක් ආවා. ඒ නිසා බය වෙන්න එපා තුන්වැනි වටයට මෙය තේරේවි කියලා.(සිනාසෙයි) මේ මගේ පළමු වැඩේ. හැබැයි මම සිනමා කලාවට බොරු කරලා නැහැ. මම දන්න වේදයෙන් තමයි මම චිත්‍රපටය කළේ. එහි ජනතාවට නරඹන්න රුචියක් හා තරගකාරීව අගයන්න පුළුවන් දෙයකුත් ඇති බව මම විශ්වාස කරනවා. ඒකනේ අධ්‍යයනයක් කියන්නේ.

 

එයින් අදහස් කරන්නේ ඔබ සිනමා කෘතියකදි ඉලක්ක කරන්නේ කෙබඳු ප්‍රේක්ෂකයන් කියන එකද?

මම මෙතැනදි මුලින්ම ප්‍රේක්ෂකයා කවුද කියලා හිතන්නේ නෑ. මම මුලින්ම කරන්නේ කලාවක් විදිහට මෙය අල්ලගන්න පුළුවන් තැන කුමක්ද කියලා සොයාගන්න එක. ඊට පස්සේ තමයි මිනිස්සු බලයිද කියලා කල්පනා කරන්නේ. එතකොට තමයි සමහර දේවල් වෙනස් කරන සීමාවක් එන්නේ. මම එය යොදා ගත්තා මගේ පළමුවැනි චිත්‍රපටය මෙය නිසා. මොකද මගේ පළමු චිත්‍රපටය බැලුවේ, අගය කළේ නැත්නම් මට ආයෙ චිත්‍රපට කරන්න ලැබෙන්නේ නෑ. ඇත්තෙන්ම මට ආයෙ චිත්‍රපට කරන්න ඕනෙ නැතත් මගේ අවංකභාවය මගේ කෘතිය තුළ රකින්න ඕනේ පූර්වාදර්ශයක් විදිහට. ධර්මසේන පතිරාජගේ සිනමාවට මම ළැදිත් ඒ නිසයි. ලෝකයේ තවත් එවන් සිනමාකරුවන් ඉන්නවා. සිනමාව කියන කාරණයේදී ඕනෙම කෙනෙකුට ඒ නිර්මාණය අදාළයි. අපේ දුර්වල දේවල්වලට හෝ වේවා ප්‍රේක්ෂකයන් කැමති වන තැනක් තියෙනවානේ. ඒ තුළත් එක්තරා අර්ථාන්විතබවක් තබාගෙනයි යමක් කළ යුත්තේ. සහෝ චිත්‍රපටයේත් කොල්ලො කෙල්ලෝ තමයි ඉන්නේ. ඒ කියලා එහෙට මෙහෙට දුවලා කරන ආදරේකට වඩා ආදරේ වෙන විදිහකට ගේනවා. ඒකට සමහරවිට ප්‍රේක්ෂකයන් කැමති වෙන්න පුළුවන්. හැබැයි ‌මේ චිත්‍රපටයේ ගීත දෙකක් තිබෙනවා. මොකද තරුණ ජීවිත ඇතුළේ ගීතය තිබෙනවානේ.

කොහොමත් මට ඕනෙ කරන, මගේ මනසේ ඇඳුණු චිත්‍රපටය මට කරන්න ලැබුණේ නෑ. මෙය අඩුම පිරිවැයකින් කළ චිත්‍රපට අතළොස්සෙන් එකක්. මේ චිත්‍රපටයේ පිටපතට, අධ්‍යක්ෂණයටවත්, අඩුම ගාණේ හැම දේටම දුවපු මගේ කාර් එකේ ප්‍රෙටල්වලටවත් වියදම මම අයවැයට දාලා නෑ. මම මේ විඳීන ආතතියටවත් අයකිරීමක් කරලා නෑ.

 

චිත්‍රපටයකින් නවකතාවක් ලියනකොට අත්දැකීම කොහොමද?

මූලික වස්තු බීජය කොහොමත් එකයි. මුලින් චිත්‍රපටය හැදුණා. හැබැයි කොරෝනා කාලේ නිහඬව ගත කරනකොට මට හිතුණා මේකේ තිබෙනවා නේද අලුත් ආරේ නවකතාවක අඛ්‍යාන ශෛලියක් කියලා. විශේෂයෙන් චිත්‍රපටය සංස්කරණය කරනකොට තේරුණා සිනමාව ප්‍රබල මාධ්‍යයක් කීවාට මිනිසුන්ගේ අභ්‍යන්තරික හැඟීම් සියුම්ව දීර්ඝ විශ්ලේෂණයකට යන්න බෑ කියලා. එයින් කළ නොහැකි දේ නවකතාවක වචනවලින් කරන්න පුළුවන්. බොහෝ අය නවකතාවෙන් සිනමාවට ගියේ. මම අනෙක් අතට ගියේ. මෙයින් මම අධ්‍යයනය කළ දේ තමයි වඩාත් බලවත්වන්නේ කෝකද කියන එකට වඩා, සිනමාව හා නවකතාව මාධ්‍යයන් දෙකක්. මිනිස් ජීවිතේ ඉතාම ගැඹුරු තැන් ස්පර්ශ කරන්න, චිත්‍රණය කරන්න, චිත්ත රූප මවන්න පුළුවන් නවකතාව තුළ. මොකද කාල සීමාවක්, රාමුවක් නොවන නිසා. ඒ නිසා සිනමාව හා නවකතතාව සසඳන්න හොඳ නෑ. එය මට හොඳ අභ්‍යාසයක් වුණා.

 

ඒ කියන්නේ කොරෝනා සමය අපතේ ගියේ නෑ?

ඇත්තෙන්ම කොරෝනා විරාමය අපතේ ගියේම නෑ. මම හැමතිස්සෙම දුවන කෙනෙක්නේ. ඉතින් ගෙදර ඉන්න සිද්ධ වෙනකොට මේවා ලියැවෙන්න අවස්ථාවක් ලැබුණා. ඇත්තටම මම ලියන්න කැමති කෙනතුත් නෙවෙයි. රූප දකින්න කැමති කෙනෙක්. ඒත් නවකතාව ලියන්න විශාල වුවමනාවක් ඒ වකවානුවේ ඇති වුණා.

 

කවදාද අපට සහෝ දකින්න ලැබෙන්නේ?

අනේ අම්මේ! ඒක නම් තීරණය කරනවා ඇත්තේ කොරෝනා තමයි. ඉන් පසුව වුණත් නිෂ්පාදකවරුන් සමඟ සාකච්ඡා කරලා ගන්න වෙන තීරණයක් එය. මම මේ මොහොතේ නිෂ්පාදකවරුන්ට, සිසුපරපුරට, සහෝ සමඟ සම්බන්ධ වුණු සියලු දෙනාට වගේම අපේ ගෙදර අයටත් මගේ ස්තූතිය පුද කරන්න කැමැතියි මෙය නිර්මාණය කරන්න දුන් සහයෝගයට.

 

'සහෝ' ට පස්සේ?

ටෙලි නට්‍යයක් පටන් ගත්තා. 'කපොල්ල' කඩුල්ලෙන් මෙහා අපේ ජීවිත කියලා. දින පහක් විතරයි රූගත කිරීම් කළේ. කොරෝනා නිසා නැවතුණා. තව ටික දවසකින් ආයේ රූගත කිරීම් අරඹනවා. තව චිත්‍රපටයකුත් හිතනවා. වස්තු බීජයකුත් තිබෙනවා. සහෝ නිසාම අලුත් චින්තනයකුත් ඇවිත් තිබෙන්නෙ. ඒවා ඔහේ පැසවන්න ඉඩ දීලා බලාගෙන ඉන්නේ.