හොලිවුඩ්-බොලිවුඩ් නම රඳවා කොවිඩ් හමුවේ පැරදුණු අපේ ජස්ටින්

මැයි 27, 2021

චිත්‍රපටයකට රූපවාහිනි නාට්‍යයකට හෝ වැඩසටහනකට සහ වේදිකා නාට්‍යය ට නැතුවම බැරි අංගයක් වන්නේ පසුතලයයි. තිර නාටකයේ එන චරිත දේශපාලනික, සමාජීය හා ආර්ථික පසුබිම පෙන්වමින් ප්‍රේක්ෂක විශ්වසනීයත්වය ගොඩ නංවා ගැනීමට පසුතල නිර්මාණ සැලසුම් හෝ කලා අධ්‍යක්ෂණය වැදගත් සාධකයක් ලෙස ගණන් ගැනේ. එසේම එම චරිත ප්‍රබලත්වය හා විකාශනය මතුවී රංගන වින්‍යාසයට මහඟු කාර්යයක් කෙරෙනුයේ පසුතලය, පසුතල රංග භාණ්ඩ, පසුතල අලංකරණය, ඇඳුම් පැළඳුම්, වේශ නිරූපණය සහ තාක්ෂණික පසු නිෂ්පාදනයන්ය. චිත්‍රපටය හෝ රූපවාහිනිය පැතිලි තිරයක් මත ප්‍රකාශනය වන බැවින් පසුතල (SWETS) රූපරාමුවේ හැඩතල, වර්ණය, සම්පිණ්ඩනයක් තුළින් මතු කර ගැනීම සූක්ෂම කාර්යයකි.

ශ්‍රී ලංකාවේ සිනමාව ආරම්භ වන්නේ ඉන්දියානු සම්භව‍යත් සමගය. දෙමළ චිත්‍රපටවල කතා වස්තු බීජ ඇසුරු කරගනිමින් සිංහල චිත්‍රපට රූපගත කිරීමට චිත්‍රාගාර පහසුකම් සඳහා ඉන්දියාවට යාමට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බැවින්, හැඳල විජය චිත්‍රාගාරයත්, නාරාහේන්පිට ලංකා චිත්‍රාගාරයත් බිහි විය. මෙම චිත්‍රාගාරයන්හි පසුතල සකස් කිරීමට ඉන්දියානු ශිල්පීන් ආනයනය කිරීමට සිදුවිය. ඇන්ටන් ගුරුසාමි, ඇලෝසියස්, මයිකල් යන තිදෙනා විජය චිත්‍රාගාරයේ පසුතල ඉදිකිරීම් අංශයේ ආරම්භකයින් විය. මෙම වකවානුවේ දී එම ශිල්පීන්ට සහාය වීම පිණිස හම්බර් සැටෑන්ඩර්ඩ් වර්ගයේ බයිසිකලයක නැගී 18 හැවිරිදි තම පුතු සමග කැරැව්ගොඩගේ දොන් ජුලියන් අප්පුහාමි මහතා පැමිණෙන්නේය. කේ. ඩී. ජුලියන් අප්පුහාමි සහ වයස අවුරුදු 18 ක කොලු ගැටයා ඉන්දියානු පසුතල ඉදිකිරීම් ශිල්පීන්ගේ ගුරුහරුකම් යටතේ ඔවුන්ට සහාය වෙමින් හොඳහැටි පුහුණුවක් ලැබී ය.

මෙම වයස අවුරුදු 18ක් වන කොලුගැටයා කේ. ඩී. ජස්ටින් ය. නැතහොත් කැරැව්ගොඩගේ දොන් ජස්ටින් ය. ජස්ටින් තම පියා සමගින් අත්දැකීම් බහුල කරගනිමින් පසුතල ඉදිකිරීම් ශිල්පයේ නිපුණත්වයක් දැරුවේ විජය චිත්‍රාගාරයේ රුපියල් 8ක දෛනික වැටුපක් ද ලබමින් එහි ස්ථිර සේවකයකු ලෙසය.

60 සහ 70 දශකයේ දැවැන්ත සිනමා කරුවන් වන කේ. වෙන්කට්, නිල් මොරායස් සහ මස්තාන්ගේ නිර්මාණ වලට දායක වීමට ඔහුට අවස්ථාව හිමි විය. මෙහිදී පසුතල වශයෙන් කැලෑව, ආලින්දය, උඩුමහලේ සඳළුතලය, මාලිගා, මාලිගා දොරටු, ගල් ගුහා, දිය ඇලි ජස්ටින් ඇතුළු පිරිස අතින් නිම විය.

70 දශකයේ අප රටේ බිහි වූ ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරුන් වන ජේ.ඒ. වින්සන්ට් , ආරියවංශ වීරක්කොඩි , ලයනල් සිල්වා සහ හේමපාල ධර්මසේන යන මහතුන් යටතේ පසුතල ඉදිකිරීම් සහායකයෙකු ලෙස කටයුතු කිරීමට ජස්ටින් වාසනාවන්ත විය. එකල ජනප්‍රිය වූ සූරයා, සූරයන්ගෙත් සූරයා, සූර චෞරයා, ආවා සොයා ආදරේ, සිරිපතුල යන චිත්‍රපට සඳහා ඉදිකිරීම් අංශයෙන් සහාය විය.

 

චිත්‍රාගාරය තුළ පසුතල ඉදිකළ ජස්ටින් එළිමහන් රූපගත කිරීම් සඳහා පිවිසෙන්නේ ඇන්ටන් ග්‍රෙගරි විසින් අධ්‍යක්ෂණය කරන ලද හේමපාල ධර්මසේනයන් කලා අධ්‍යක්ෂණය කළ 'පාරමිතා' චිත්‍රපටයෙනි. චිත්‍රපටියේ එළිමහන් පසුතල ඉදිකිරීමට ජස්ටින් ට පැවරුණි. හේමපාල ධර්මසේන මහතා කලා අධ්‍යක්ෂණය කළ සරදියෙල්ගෙ පුතා චිත්‍රපටියේ සරදියෙල් එල්ලා මැරීමේ පෝරකය ගාලු කොටු තාප්පය උඩ ඉදිකිරීමට ජස්ටින්ට භාර විය. ජස්ටින් කලා අධ්‍යක්ෂවරයකු ලෙස ද සිනමාවට පිවිසෙන්නේ ඔන්න මාමෙ කෙල්ල පැනපි සහ හතර දෙනාම සූරයෝ (පැරැණි) යන චිත්‍රපටි වලිනි.

'83 පැවති ජූලි කලබල සමයේ විජය චිත්‍රාගාරයට ගිනි ඇවිළුනි. ජස්ටින්ගේ නිත්‍ය රැකියාවද අහිමි විය. චිත්‍රපට කර්මාන්තය ද කඩා වැටුණි. අඟහිඟකම් දැනෙන්නට වූ ජස්ටින් කඳානේ තම නිවසට යාබද ඉඩම් කැබැල්ලක වින්කල් සාප්පුවක් පටන් ගන්නේ මේ වකවානුවේදීය. එම වින්කල් සාප්පුව විවෘත වනුයේ හේමපාල ධර්මසේන නම් කලා අධ්‍යක්ෂවරයා අතිනි. මෙම වින්කලය ද ඔහුගේ වාසනාවට මඟ පෑදූ තවත් තෝතැන්නක් විය. වෑල්ඩින් වැඩ හා යන්ත්‍ර සූත්‍ර හැසිරවීමේ තාක්ෂණික ඥානය ද, මනා පළපුරුද්ද ද මෙතුළින් ඔහු ලබා ගත්තේය.

මේ අතර කාලයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා බ්‍රිතාන්‍ය චිත්‍රපට සමාගමක් සමග එකතුවී ඝොඩ් ඛින්ග් නැමැති ඉංග්‍රීසි චිත්‍රපටය නිර්මාණය කළ අතර, එහි නිෂ්පාදන නිර්මාණ සැලසුම් කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතික බෙල් මහත්මිය විසිනි. දේශීය කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන මහතා වූ අතර, සහාය ශිල්පී ලෙස එරල් කෙලී මහතා දායකවිය. එහිදී එරල්ට ජස්ටින් හමුවිය.

80 මුල් වකවානුවේදී ෆිල්ම් ලොකේෂන් සර්විස් ආයතනය විසින් විදේශීය චිත්‍රපට රාශියක් ලංකාවේ රූපගත කිරීමට අවස්ථාව හිමිකර ගෙන තිබුණි. එම ආයතනයේ නිත්‍ය කලා අධ්‍යක්ෂ ලෙස එරල් කෙලී මහතා සේවය කළ අතර, ඔහු විසින් විදේශීය චිත්‍රපට රූපගත කිරීම්වලදී දේශීය ඉදිකිරීම් කළමනාකරු (Construction Manager)  ලෙස ජස්ටින් තෝරාගෙන තිබුණි. මේ අනුව ලෝක පූජිත චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද Indiana Jones and the Temple of Doom  චිත්‍රපටයේ දේශීය ඉදිකිරීම් කළමනාකරු ලෙස ඔහු විදේශීය ඉදිකිරීම් ශිල්පීන් සමග එක්ව කටයුතු කළේය. මේ සඳහා හන්තානේ ඉදිකළ ගම්මානය, කඩමණ්ඩිය, කටුමැටි ගෙවල්, හින්දු දේවස්ථාන, යාන්ත්‍රික ළිඳ ජස්ටින් ඇතුළු පිරිස අතින් නිම විය. ඔහුට මෙහිදී විදේශීය වඩුවන්, පින්තාරු කරුවන්, මේසන්වරු න් සමග කටයුතු කිරීමට හැකි විය.

ලංකාවේ පැවති යුද වකවානුවේ දී රූපගත කිරීම් සිදු කිරීමට අපහසු තත්ත්වයක් ඇති වූ බැවින්, මලයාසියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවලට ගොස් චිත්‍රපට රූපගත කිරීමට සිදුවිය. ඒ අනුව මලයාසියාවේදී 50/50 චිත්‍රපටියේ දකුණු ආසියාතික ගෘහ නිර්මාණය පාදක කරගනිමින් ගම්මානයක් ඉදි කෙරුණි. එක් දර්ශනයක් සඳහා ෆ්ලයිවුඩ් සහ වෙනත් අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් පිපිර වීමට අවශ්‍ය පරිදි හෙලිකොප්ටරයක් (Live six) සකස් කිරීමේ හැකියාවද ජස්ටින් ට හිමිවිය. මලයාසියාවේ රූපගත කරන ලද Beyond Rangoon චිත්‍රපටයට ප්‍රවීණ සැලසුම් කරුවෙකු වන ටෝනි පැට් නිර්මාණය කරන ලද බුරුම නගරය සහ දාගැබ් මලයාසියානු ශිල්පීන් සමගින් ජස්ටින් විසින් ඉදිකරන ලදී. තවද, අඩි 250 ක් පමණ දිග අඩි 6 ක් පළල පාලමක් ඉතා සීමිත දින ගණනකදී ගඟක් හරහා ඉදිකිරීමට හවුල් විය. මීට අමතරව ජාත්‍යන්තර සම්මාන දිනාගත් Indo china  චිත්‍රපටයේ Jack Buffinor ගේ නිර්මාණ සැලසුමට අනුව මීටර් 500 ක් පමණ දිග වියට්නාම් සම්භවය පෙන්නුම් වන පරිදි කඩ සාප්පු සහ නිවෙස් සහිත වීදියක් සකස් කිරීමට දායක විය. බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් වන Sleeping Dictionary නැමැති චිත්‍රපටයේ ඉබාන් ගෝත්‍රිකයන්ගේ නිවාස ද (ඹ්ධදඨ ඩ්ධභඵඥ) බ්‍රිතාන්‍ය හමුදා බැරැක්ක ද ඉදිකිරීමට දායක විය.

 

පිලිපීනයේ රූපගත කළ Robo Warriors චිත්‍රපටයේ නිර්මාණ නිෂ්පාදන ශිල්පී එරල් කෙලී යටතේ නිර්මාණය වූ අඩි අසූවක් උසැති රොබෝවරයෙක් ඉදිකිරීම ජස්ටින්ගේ මූලිකත්වයෙන් සිදු විය. මෙය දැනට ඉදිකර ඇති ලෝකයේම ලොකුම රොබෝවරයා ය.

මීට අමතරව Jungle Heat, Dangerous life of Marcos, Spooks, Street child, Ordinary magic, Good Marriages, Son of sandokan, Rose and Magarette  (ප්‍රංශ) Carpet Viewer (කැනඩාව) Ghost can do it  (අමෙරිකා), Sacrifice Victory, Crystal book, Blood sport 3, Golden Saffron  යන චිත්‍රපටි ලංකාවේ දී රූපගත කිරීම් සඳහා ඔහුගේ දායකත්වය ලැබිණි. තවද Jungle Book චිත්‍රපටයේ වසර 100ක් පැරණි පෞරාණික ගොඩනැගිල්ලක් ගන්නෝරුවේ දී ඉදි කෙරුණි.

Mother Teresa (බ්‍රිතාන්‍ය) චිත්‍රපටයට මට්ටක්කුලියේ කුඩා පැල්පත් නිවාස 100 ක් පමණ ඉදි කිරීම් කළ අතර, Mother Teresa  (ඉතාලි) චිත්‍රපටිය සඳහා ද එවැනි පසුතල රාශියක් ජස්ටින් ඇතුළු ලාංකික ශිල්පීන් විසින් ඉදි කරන ලදී. දීපා මේතා විසින් අධ්‍යක්ෂණය කරන ලද වෝටර් චිත්‍රපටයේ කහතුඩුවේ බොල්ගොඩ ගඟේ ඉන්දියානු ගෘහ නිර්මාණයට අනුව කෝවිල් සහ ඒ ආශ්‍රිත ජනපදය ඉදි කෙරුණේද ජස්ටින්ගේ මූලිකත්වයෙනි.

ෆිල්ම් ටීම් ආයතනය විසින් මෙරට දී රූපගත කරන ලද Bombay velvet චිත්‍රපටය මෑතකදී ඔහු විසින් ඉදිකරන ලද අභියෝගාත්මක පසුතලයකි. එහි ඔහුගේ ශක්තිය සහ දහඩියෙන් යුතු අඩි අසූවක් පමණ උස බොම්බේ වෙල්වට් නැමැති සමාජ ශාලාව ද, බොම්බේ නගරයද අදටත් රන්මිණි තැන්නේ අවසන් හුස්ම ගනිමින් පවතී. Funny Boy චිත්‍රපටයේ ඉදිකිරීම් කළමනාකරු වශයෙන් කටයුතු කළ ඔහු Jakyl and hyde, Amdon, Good karma Hospital, Midnight Children  සඳහා ද ඉදිකිරීමට දායක විය.

වසර 40ක පමණ ප්‍රායෝගික අත්දැකීම් ඇති දේශීය සහ විදේශීය චිත්‍රපට සඳහා විශාල දායකත්වයක් සැපයූ ජස්ටින් මහතා ජාත්‍යන්තර පැසසුමට ලක් විය යුතුව ඇත. ලංකාවේ සිනමාවේ මෙතෙක් බිහිවූ හොඳම ඉදිකිරීම් කළමනාකරු මොහු විය.

චිත්‍රපටයට සකස් කරන

සදාකාලික නොවන පසුතලයක් සේම ...... ඔහු නික්ම ගොස්ය.

 

එනමුදු ඔහු විසින් ඉදිකළ පසුතල තිරය තුළ අමරණීයයි!

 

තවමත් රුදුරු වසංගතය අවසන් වී නැත.

පරිස්සමෙන්.

Stay at home

සමාදානයේ සැතපේවා !

 

 

 

ලාල් හරින්ද්‍රනාත්

(BFA)
නිෂ්පාදන නිර්මාණ සැලසුම් /කලා අධ්‍යක්ෂ