සැඩ සුළං සිනමාකරුගේ ඉරණම

සැඩ සුළං පිළිබඳ ලිපි මාලාවේ අවසානය
මැයි 27, 2021

 

ෆිල්ම් සිලෝන් සමාගමේ සැඩ සුළං චිත්‍රපටයේ රඟපාමින් සිට 1954 වසරේ සැප්තැම්බර් මස 10 වැනි දින පටන් කිසිදු දැනුම් දීමකින් තොරව චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා නොපැමිණීම නිසාත් ගිවිසුම කඩා නීතියට පටහැණිව සීමාසහිත සිනමාස් සමාගමට බැඳී එහි රදළ පිළිරුව චිත්‍රපටයේ රඟපෑවේ යැයි චෝදනා කොට ඩොමී ජයවර්ධනට මෙන්ම සිනමාස් සමාගමටත් එරෙහිව මදුරාසියේ අධිකරණයක් ඉදිරියේ පැමිණිලි කරන්නට සෝමසේකරන් කටයුතු කළේය. රදළ පිළිරුව රූ ගන්වමින් තිබුණු සේලම් නගරයේ මොඩර්න් තියටර්ස් සමාගම ද මේ නඩුවේ වගඋත්තරකරු වෙකු ලෙස සෝමසේකරන් විසින් නම් කරන ලදී. ඩොමී මෙන්ම ප්‍රේම් ජයන්ත්, ෆ්ලොරිඩා ජයලත්, ඩේවිඩ් ධර්මකීර්ති ආදි සියලු දෙනා සිනමාවට එක් වනුයේ සිනමාස් සමාගමේ 'සුජාතා' සමඟය. සුජාතා ඇතුළු සිනමාස් මුල් චිත්‍රපට සියල්ල රූපගත කරන ලද්දේ සේලම් නගරයේ පිහිටි මොඩර්න් චිත්‍රාගාරයේය.

කෙසේ වෙතත් සෝමසේකරන්ගේ පැමිණිල්ල නඩු ගාස්තුවලට ද යටත් කොට නිෂ්ප්‍රභ කළ බැව් ඉන්දියාවේ ඩේලි එක්ස්ප්‍රස් පුවත්පතේ ද වාර්තා කර තිබිණ. එහෙත් මේ ප්‍රවෘත්තිය චලන චිත්‍ර පුවත්පතේ පළ වූ විට සෝමසේකරන් විසින් එම පුවත වැරැදි බව සඳහන් කරමින් ලිපියක් එවා තිබිණ. එහිදී සෝමසේකරන් සඳහන් කරනුයේ තමා විසින් ඩොමී ජයවර්ධනට ගෙවිය යුතු මුදල සම්පූර්ණයෙන් ගෙව්වාට පසු එම ගිවිසුම උල්ලංඝනය කරමින් රදළ පිළිරුව චිත්‍රපටයේ රූපගත කිරිම්වලට සහභාගි වීමට ගිය නිසා ඔහුට විරුද්ධව තාවකාලිකව වැඩ නැවැත්වීමේ නියෝගයක් ලත් බවය. ඩොමී, සිනමාස් හා මොඩර්න් තියටර්ස් සමඟ කලින් ගිවිසුමකට බැස තිබිණු බවත් ඒ හේතු කොට ගෙන ඔහුට වෙන කිසිම චිත්‍රපටයකට රඟ පෑමට අවසර නොතිබුණු බවත් සෝමසේකරන් එහි සදහන් කළේය. සෝමසේකරන් සමඟ ඇති කර ගත් ගිවිසුමේ පරිදි ෆිල්ම් සිලෝන් චිත්‍රපටයක රඟපාන ගිවිසුම් පවතින තුරු ඔහුට වෙනත් සමාගමක චිත්‍රපටයක රඟපෑමට නොහැකි ලෙසට කොන්දේසියක් පවතී. සෝමසේකරන්ට හෙළි නොකොට ඩොමී විසින් වෙනත් සමාගම් හා බැඳුණු ගිවිසුම් එයට පෙර දිනයන් යොදා අත්සන් කර ඇති බැවින් තමා විසින් ඉල්ලා තිබුණු වැඩ නැවැත්වීමේ නියෝගය නිෂ්ප්‍රභ කිරිමට විනිසුරුට සිදු වූ බව එහි සදහන් වෙයි. එහෙත් ඩොමීට විරුද්ධව නඩු පවරා අලාභය අයිති කර ගැන්මට තමන්ට ඉඩ ලැබුණු හෙයින් තමා ඒ අනුව කටයුතු කරන බවත් සෝමසේකරන් සඳහන් කර සිටියේය.

ඩොමී ජයවර්ධනයන් විසින් එයට පිළිතුරු ලෙස ලියන ලද ලිපියකින් සෝමසේකරන්ගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේය. තමන්ට තවත් රුපියල් තුන්දහස් හැත්තෑ පහක් සෝමසේකරන් විසින් ගෙවිය යුතු බව එහි දී ඔහු අනාවරණය කළේය. එමෙන්ම මදුරාසියේ අධිකරණය මඟින් සෝමසේකරන් විසින් කියන පරිදි තීන්දුවක් දී නොමැති බවත්, තමන්ට නඩු පැවරීමෙන් සෝමසේකරන් අදහස් කරන ලද්දේ රදළ පිළිරුව චිත්‍රපටයේ වැඩ ප්‍රමාද කිරිම බවත් ඔහු එහිදී සටහන් කොට තිබිණ. එමෙන්ම තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් විසි දහසක වන්දියක් ඉල්ලා සෝමසේකරන්ට එරෙහිව නඩු පවරන බැව් එහි ඩොමී ජයවර්ධන වැඩි දුරටත් කියා තිබිණ. එයින් පසු වාර්තා වූයේ සෝමසේකරන් විසින් ඩොමී ජයවර්ධනට එරෙහිව පවරා තිබූ සියලු නඩු ඉල්ලා අස්කර ගත් විත්තියයි. ඩොමී ජයවර්ධන ඉවත්ව යාමෙන් සැඩ සුළං චිත්‍රපටයේ කථාවට බරපතළ හානියක් සිදු විණ. චිත්‍රපටය අතරමගදී ඔහුගේ චරිතය අතුරුදන් වන අතර ඒ වෙනුවට ඔහුගේ සොහොයුරා ගේ චරිතය ගොඩ නැඟෙන්නේ වර්තමානයේ ඇතැම් ටෙලි නාට්‍යවල හිටිගමන් සිදු වන චරිත අතුරුදන් වීමේ ආකාරයටය.

එයින් පසු සෝමසේකරන් චිත්‍රපටයේ නළු නිළියන්ට සිය කථාව සහමුලින් පෙන්වා දුන්නේ නැත. දිනපතා රූපගත කිරිමට නියමිත දර්ශනවලට අදාළ දෙබස් ආදිය පමණක් එදිනෙදා ඔවුන්ට ලබා දුන්නේය. මේ අතර වාරයේ චිත්‍රපටයේ සිංහල දෙබස් රචනයේ හා එමෙන්ම ගීත රචනයේ ද යෙදුණ ආනන්ද සමරකෝන් ද සෝමසේකරන් හා කිසියම් හේතුවක් නිසා අමනාපව ආපසු ආවේය. එබැවින් චිත්‍රපටයේ අවසානය සහමුලින්ම වෙනස් කරලීමට සෝමසේකරන්ට යළි සිදු විය. සිනමාස් සමාගමේ රදළ පිළිරුව චිත්‍රපටය හා ෆිල්ම් සිලෝන් සමාගමේ සැඩ සුළං අතර අරියාදුවක් පැවැති වග නොරහසකි. එයට හේතු වනුයේ සෝමසේකරන් හා සිනමාස් අතර ඇති අරගලයයි. සැඩ සුළං චිත්‍රපටයේ සංගීතය සැපයූ දක්ෂිණමූර්ති රදළ පිළිරුවේ ද සංගීතය සැපයූ අතර එහිදී එකම තනුවට ගැයුණු ගීත දෙකක් මේ චිත්‍රපටයන්හි අඩංගු විය. 1954 වසරේ දෙසැම්බර් 24 වැනි දින තිර ගත වු රදළ පිළිරුවේ එන ලතා වල්පොල ගයන 'ගී කියන්න ගී කියන්න හෝ නටන්න මා හා' ගීතයේ තනුවටම කේ. රාණි විසින් 'හෝ එන්න හෝ එන්න ප්‍රීති වෙන්න මා හා' ගීතය ගායනය කරන ලදී. එමෙන්ම රදළ පිළිරුව චිත්‍රපටයට මොහිදින් බෙග් හා ජමුණා රාණි ඇතුළු පිරිස විසින් ගයන ලද 'මවා ප්‍රේම ලෝකේ නිවා සෑම සෝකේ' ගී තනුවටම සැඩ සුළං චිත්‍රපටයට එම ගායක ගායිකා යුවළම යොදවා 'සැදෑවත් උතුම් ලෝ පියාණන්ගේ නාමයෙන්' යනුවෙන් ගීතයක් ගායනා කරවන ලදී. රදළ පිළිරුවට වඩා සැඩ සුළං චිත්‍රපටයේ ගීත අතිශය ජනප්‍රිය විය. රදළ පිළිරුව චිත්‍රපටයේ ගීත 11 අතරින් ජනප්‍රිය වූයේ මොහිදින් බෙග් හා ජමුණා රාණි ගැයූ 'මල් පෙති රළ වැලි අතරේ' හා ලතා වල්පොල (එවකට ලතා ජී.ප්‍රනාන්දු ) ගැයූ 'පෙම් ලෝකේ නයන රසී' ගීත පමණකි.

කෙසේ වෙතත් සැඩ සුළං චිත්‍රපටයේ එක් වැදගත්ම සිහිවටනයක් වූයේ ලතා මං‌ගේෂ්කාර් ගී ගැයීමය. ඒ වනවිට මෙරට චිත්‍රපට පසුබිම් ගී ගායනයට පැමිණි සියලු ඉන්දියානු ගායක ගායිකාවෝ දකුණු ඉන්දියානුවෝ වූහ. මෙයට එරෙහිව ජයවිලාල් විලේගොඩ, කරුණාසේන ජයලත් වැනි සිනමා විචාරකයන් කවර තරමේ අදහස් පළ කළ ද එහි ඵලක් වූයේ නැත. පාර්ලිමේන්තුවේ දී ද අසිංහල කටහඬින් සිංහල ගී ගැයීම කිහිප වරක්ම පෙන්වා දෙනු ලැබිණ. මෙහිදී පුරෝගාමී වූයේ එවකට කඩුගන්නාව මන්ත්‍රිවරයා වූ සී.ඒ.එස්. මරික්කාර්ය. ඔහු පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේ සැඩ සුළං නැරඹීමෙන් පසුවය. සැඩ සුළං චිත්‍රපටයට කිසිදු සිංහල ගායිකාවක් ගායනයෙන් දායක නොවිණ.

කෙසේ හෝ දකුණු ඉන්දියානු ගායක ගායිකාවන් රැසක් සිය චිත්‍රපටයට දායක කරගත් සෝමසේකරන්, සිය චිත්‍රපටය සඳහා ලතා මංගේෂ්කාර් ලවා ගීතයක් ගැයවීම එක්තරා ආකාරයකට හපන්කමක් සේ දැක්විය හැකිය. මේ සඳහා ලතා හමුවුණ සෝමසේකරන්ට මුලින් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. තමා නොදන්නා භාෂාවකින් ගී ගැයීම ඇය එකහෙළාම ප්‍රතික්ෂේප කර සිටියාය. එහෙත් සෝමසේකරන් ද ලේසියෙන් පසුබාන්නකු නොවේ. එබැවින් ඔහු උත්සාහය අත හැරියේ නැත. ඔහු පළමුව බැලුවේ ලතාගේ රුචිකත්වයන්ය. ඇය විලවුන්වලට ඉතා ඇලුම් කළ බව මේ විපරමේදී දැන ගන්නට ලැබිණ. ඒ වන තෙක් ඉන්දියාවේ නොතිබුණු එක්තරා ප්‍රංශ විලවුන් වර්ගයක් පිළිබඳ ඇය සොයමින් සිටියාය. කිසිදු පැකිළීමකින් තොරව ඉහළම මිලක් ගෙවා එය ලබාගත් සෝමසේකරන් ලතා මංගේෂ්කාර්ට එය යැවුවේ රසිකයෙකුගෙන් ලැබෙන තිළිණයක් හැටියටය. මේ තෑගි දීම කෙතරම් හොඳීන් කළා ද කිවහොත් තවදුරටත් සෝමසේකරන් ප්‍රතික්ෂේප කිරීමට ලතා මංගේෂ්කාර්ට හැකියාවක් නොවිණ. අවසානයේ ඇය සිංහල බසින් ගී ගයන්නට කැමැත්ත පළ කළා පමණක් නොව, එහි පටිගත කිරිම් සඳහා මදුරාසියට එන්නට ද කැමැත්ත පළ කළාය. එහිදී ඇයට සිංහල ඉගැන්වීම් නැතහොත් උච්චාරණය පුහුණු කිරීම ආනන්ද සමරකෝන්ට පැවරිණ. සමරකෝන් එය මැනවින් ඉටු කළේය. මෙහිදි ලතාගේ මව් බස වූ මරාති බස දන්නෙකුට සිංහල එතරම් අසීරු නොවන බව ද අප අමතක කළ යුතු නැත. මෙයට වසර කිහිපයකට පෙර මෙරටට පැමිණි ලතාගේ සොහොයුරිය ආශා බෝස්ලේ මේ ලියුම්කරු සමඟ කියා සිටියේ ඇයට කොළඹ ගුවන් තොටුපළේ දී මරාති බස අසන්නට ලැබුණු විට ඇය පුදුමයට පත් වූ අන්දමයි. එහෙත් ඉතා ඕනෑකමින් අසද්දී එය මරාති නොව එයට සමීප භාෂාවක් වග ඇය වටහාගෙන තිබිණ. එබැවින් ලතාට සෙසු දකුණු ඉන්දියානු ගායිකාවන් පරදා සිංහල උච්චාරණය කිරීමට හැකි වීම පුදුමයක් නොවේ. ලතා මංගේෂ්කාර් විසින් චිත්‍රපටය සඳහා ගීත දෙකක්ම ගායනා කරන ලදී. ඒ 'ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමී' ගීතය හා මොහිදින් බෙග් සමඟ ගයනු ලබන 'ඉදිරියටා යමු සැවොමා' ගීතයයි. මෙම ගීතය පටිගත කරන ලද්දේ මදුරාසි‌යේ වාහිනි චිත්‍රාගාරයේය. ඒ වන විට අලුතින් ඉදිවුණ වාහිනි චිත්‍රාගාරය එවකට මදුරාසියේ පිහිටි නවීනතම චිත්‍රාගාරයක් විය. ලතා මදුරාසි චිත්‍රාගාරයක ගැයූ මුල්ම ගීතය ද එය වෙයි. පටිගත කිරිම් අවසානයේ ඇයට නියමිත මුදලට අමතරව ලතාගේ ප්‍රියතම චොක්ලට් වර්ගයක් තෑගි වශයෙන් සෝමසේකරන් විසින් ලබා දුන් වග එකල පුවත්පත් වාර්තා මඟින් හෙළි වෙයි. චොක්ලට්වල වටිනාකම රුපියල් හැට දහසකි. කෙසේ වෙතත් දක්ෂිණමූර්ති විසින් සැඩසුළං චිත්‍රපටය සඳහා සකසන ලද සෙසු ගී තනු හින්දි ගීත අනුසාරයෙන් නිර්මාණය කළ ද ලතා ගැයූ ගීත ස්වතන්ත්‍ර ‌ගී තනු විය. එම ගීත ආනන්ද සමරකෝන් ලවා තනු නිර්මාණය කරවීමට සෝමසේකරන් ගත් තීරණය අගය කළ යුතුය. එහි සංගීත සංයෝජනය කරන ලද්දේ දක්ෂිණමූර්ති විසින්ය.

සැඩ සුළං චිත්‍රපටයේ එන එක් ගිතයක පද කිහිපයක් හා අදාළ දර්ශනය සහිත ජවනිකා ඉවත් කිරිමට මෙරට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය නියෝග කළේය. ඒ ජමුනා රාණි විසින් ගයන ලද හිස් වී ගියේය ලෝ අහෝ මා මුලා වුණි' මෙසේ නම් ගීතයේ එන පහත වචන පෙළය.

'කවුද මා මැවූ දෙවියා-මා හට පීඩා කරනා

මා කළේ කුමක්ද අහෝ මෙම දුක් විඳීන්නට සදා -කවුද මා'

එයට හේතුව වූයේ මේ පදමාලාව ඇතුළත රූපය වනුයේ බුදු පිළිමයක් ඉදිරිපිට විමය. එහෙත් මේ අවස්ථාව සිය චිත්‍රපටයේ ප්‍රචාරයට උපයෝගි කර ගන්නට සෝමසේකරන් සමත් වූයේය. ඔහු එතෙක් චිත්‍රපටයක් සඳහා සැකසූ දැවැන්තම පෝස්ටරය සැඩ සුළං වෙනුවෙන් සැදුවේය. එහි සැඩසුළං ව්ර්‍ණඊ ඕඒව්ව්ඡ්ච් යනුවෙන් සඳහන් විය. එහෙත් එහි ව්ර්‍ණඊ යන්න පොඩියට ද ඕඒව්ව්ඡ්ච් යන්න ලොකුවට ද දිස්විණ. චිත්‍රපටයේ ප්‍රචාරය සඳහා මෝටර් රථ පෙළපාලියක් කොළඹ සිට මාතරට ද, බයිසිකල් සවාරියක් කොළඔ සිට කළුතරටද පැවැත්වීමට සෝමසේකරන් කටයුතු කළේය. චිත්‍රපටය ආරම්භයේ එහි සියලු නළු නිළියන්ට හා ශිල්පීන්ට ප්‍රධාන ආරාධිත අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල අතින් සම්මාන ලබා දීමට ද සෝමසේකරන් කටයුතු කළේය. චිත්‍රපටයේ දින පනහ සපිරුණ දවසේ ඔහු විසින් ප්‍රධාන නිළි ෆ්ලෝරිඩා ජයලත්ට ඊ.එල් 591 අංකය සහිත අලුත්ම මොරිස් මයිනර් වර්ගයේ මෝටර් රථයක් තෑගි දුන් බව පුවත්පත්වල පළ විය. එයින් සති කිහිපයකට පසු මෙම මෝටර් රථය සෝමසේකරන් විසින්ම පදවා ගෙන යනු ලැබීම සුපුරුදු දර්ශනයක් විය. කෙසේ හෝ වේවා, මෝටර් රථය එවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ව සිටි සී.සී.ඩබ්ලිව්. කන්නන්ගර මහතාට විකුණා දැමූ වග ආරංචි විය.

සුජාතා චිත්‍රපටය නිපදවන අවදිය මෙන් නොව සැඩ සුළං තිර ගත වන සමය වන විට මෙරට සිනමා ක්ෂේත්‍රය තරගකාරි ව්‍යාපාරයක් බවට පත් වී අවසානය. එකිනෙකා පරදා තම චිත්‍රපට තිරගත කරවීමට මෙරට සිංහල චිත්‍රපට ප්‍රදර්ශකයෝ සූදානම්ව සිටියහ. එහි තරගයේ සිටි සිලෝන් තියටර්ස් සමාගම සිනමාහල් සියයක් ද සිනමාස් සමාගම අනු එකක් ද සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් සමාගම සිනමාහල් විසි පහක් ද පාලනය කළේය. එහෙත් ‌මේ ව්‍යාපාරය සදාචාරය රැකි සිනමා ව්‍යාපාරයක් බවට පත්වන්නේ ද මේ තරගකාරිභාවය නිසාමය. එනම් එකම දිනක චිත්‍රපට තිරගත වීම වෙනුවට එක් චිත්‍රපටයක් තිරගත කොට අවම වශයෙන් සතියක් වත් ගතවන තෙක් අලුත් චිත්‍රපටයක් තිරගත නොකිරීම එයින් එකකි. දෙවැන්න නම් එකම ජාතියේ චිත්‍රපට දෙකක් එනම් ඉහළ ආදායම් ලබතැයි අපේක්ෂා කරන චිත්‍රපට දෙකක් එකවර මුදා හැරීමෙන් වැළකී සිටීමයි. මේ ප්‍රතිපත්තිය සඳහා ප්‍රදර්ශකයන් විසින් තීරණයක් ගනු ලබනුයේ 1955 වසෙර්ය. එයට පෙර 1954 වසරේ සිනමාස් සමාගම ඔවුන්ගේ නිෂ්පාදනයක් වූ 'වරද කාගෙද' චිත්‍රපටය අප්‍රෙල් මස 9 වැනි දින මුදාහැරියාට පසුදිනම එනම් දහ වැනිදා සිලෝන් තියටර්ස් සමාගම බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න්ගේ 'අයිරාංගනී' මුදා හැරියේය. ඒ සිංහල අවුරුදු සමයේදීය. එහෙත් වසරක් ගත වූ තැන ඔවුහු චිත්‍රපට මුදාහැරිම සම්බන්ධව එකඟතාවයකට පත් වූහ. මේ එකඟතාව යම් දුරකට හෝ යළි බිඳී ගියේ 1963 වසෙර්ය. ඒ ජූලි මස 26 වැනි දින සිලෝන් තියටර්ස් මඟින් 'උඩරට මැණිකේ' චිත්‍රපටය ද 27 වැනි දින සිනමාස් සමාගම මඟින් 'මංගලිකා' ද මුදා හැරීමෙනි. එයට හේතුව මේ චිත්‍රපට ද්විත්වයම එකම දෙමළ චිත්‍රපටයක් අනුකරණය කිරිම නිසාවෙන්ය.

කෙසේ හෝ 'සැඩ සුළං' ආදායම් වාර්තා තබනු ඇතැයි අපේක්ෂා කළ අතර එයට සාපේක්ෂව සිනමාස් සමාගම මුදා හැරිමට නියමිතව තිබුණු 'මාතලන්' චිත්‍රපටය තවත් මාස දෙකකට, එනම් අගොස්තු මස 27 වැනි දිනට කල් දමනු ලැබිණ. සැඩ සුළං එල්ෆින්ස්ටන් සිනමාහලේ දින 80 කට වඩා තිර ගත විය. එය ඉහළ ආදායම් ලැබු චිත්‍රපටයක් හැටියට සැලකිණ. එහෙත් සැඩ සුළං තිරගත වී අවසානයත් සමඟ කොළඹ ගෆූර් ගොඩනැඟිල්ලේ පිහිටි ෆිල්ම් සිලෝන් කාර්යාලය ද වසා දැමිණ. සෝමසේකරන් සිය දෙවැනි නිර්මාණය වන 'සරදම්' නිර්මාණය කරනු ලැබුයේ ද ෆිල්ම් සිලෝන් සමාගමත් සමඟය. සැඩ සුළං චිත්‍රපටයෙන් පසු ෆිල්ම් සිලෝන් සමඟ තව දුරටත් රැඳී සිටියේ ෆ්ලෝරිඩා ජයලත් පමණකි.

සැඩ සුළං චිත්‍රපටය එක් ආකාරයකට සුජාතා චිත්‍රපටයේම තවත් මුහුණුවරක් විය. සැඩ සුළං චිත්‍රපටය පිළිබඳ පළ කළ දැන්වීමකට අනුව සුජාතා සකස් කළ මේ අය මතකද? යනුවෙන් විමසා තිබිණ. සුජාතා චිත්‍රපටයේ පෙම් යුවළ ද ඇතුම් නළු නිළියන් ද එහි සංගීත අධ්‍යක්ෂවරයා ද 'මනරංජන දර්ශනීය' ගීතය වෙනුවට 'ශ්‍රී ලංකා මා ප්‍රියාදර' ගීතය ද 'පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වැදේ' ගීතය වෙනුවට 'සොමිබර පෙම් රැලි මහද නැගේ' ගීතය ද 'ප්‍රේමා ලෝකය නිවී ගියා' ගිතය වෙනුවට 'පෙම් කැකුළ පිපී එන විට ම හදේ' ගීතය ද සැඩ සුළංට ඇතුළත් විණ. චිත්‍රපට දෙකෙහිම රූප රාමු හා විලාසය අතර ද පැවැතියේ සමීප සම්බන්ධතාවයකි. සැඩ සුළං චිත්‍රපටය නිෂ්පාදනයේ සිදු වූ ගැටලු සමඟ එය තිරයට ආයේ කඩතොළු සහිත කතාවක් සමඟය. එබැවින් සැඩ සුළං කතාවට වඩා ජනප්‍රිය වූයේ එහි එන ගීත සමුච්ඡයයි. එහි කතාව බොහෝ විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද දෝෂ දර්ශනයට ලක්ව තිබිණ.

චිත්‍රපටයේ ධර්ම ශ්‍රී රණතුංගගේ පෙම්වතිය ලෙස එක් වූ දකුණු ඉන්දියානු නර්තන ශිල්පිනියක වන නීලා ඒ අවදියේම කොළඹ විවිධ උත්සව ආදියෙහි නර්තනයන් ඉදිරිපත් කළාය. ඇයගේ මෙරට ප්‍රසංග මෙහෙය වන ලද්දේ එවකට ප්‍රසංග සංවිධායකයකු වූ ඩොනවන් ඇන්ඩ්‍රි විසිනි. කෙසේ වෙතත් මෙරටදී ඇයගේ සහාය ශිල්පීන්ට ඇය විසින් ගෙවන ලද මුදලක් නොගෙවීම පිළිබඳ කතාබහක් නිසා එම මුදල් භාර ගත් රොද්‍රිගෝ නමැත්තෙකු ඇයට හා ඇගේ මවට මදුරාසියේ දී පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කරන ලදී.

සෝමසේකරන් හොඳ ජේත්තුකාරයකු මෙන්ම තද වියදම්කාරයකු ද විය. කොණ්ඩය කපා ගන්නට වුවමනා වූ විට ඔහු උදේ දහයට රත්මලාන ගුවන් තොටුපළින් පිටත් වන ගුවන් යානයක නැඟී මදුරාසියට යන ඔහු කොණ්ඩය කපා ගෙන සවස තුනට ඇති යානයෙන් පෙරළා ආපසු එන්නේය. මේ බව අතීතයේ දවසක අපට පැවසුවේ සිලෝන් තියටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂව සිටි ඇන්තනි පේජ් මහතාය. ඔහුට එය මතක සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් හමුවට, සෝමසේකරන් නිතර පැමිණීම සිරිතක් ව තිබුණු බැවින්ය. අවාසනාවට මෙන් පසුකලෙක සෝමසේකරන්ට දුර්භාග්‍යසම්පන්න යුගයක් උදා විය. හැට දශකයේ වෙනස් වුණ ජනප්‍රිය සිනමාව හා පෑහී යාවත්කාලින නොවීමත් තවත් පෞද්ගලික හේතුත් මත ඔහුගේ යස ඉසුරු පිරිහී ගියේය. සෝමසේකරන්ගේ සියලු චිත්‍රපට පසු කලෙක අසාර්ථක විය. එය ඔහුගේ ජීවිතයට ද බලපෑවේය. ඔහු අවසන් වරට තැනූ 'සමාජ සතුරෝ' යනු වේදිකා නාට්‍යයක් එහෙම පිටින්ම රූප ගත කිරිමකැයි පැවසේ. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ සිහිපත් කිරීමකට අනුව කලක් ප්‍රතාපවත්ව සිටි මේ සිනමාකරුවා අවසාන භාගයේ එක් දිනෙක ඔහු හමුවට පැමිණියේය. ඒ තමා විසින් අමතක කරන ලද යාපනයේ සිටි භාර්යාව හා දරුවා දැක බලා එන්නට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් සඳහා මුදලක් ඉල්ලා ගන්නටය. සැඩ සුළං චිත්‍රපටය මෙරට තිරගත වන සමයේ සෝමසේකරන් යාපනයේදී සෝමසුන්දරම් ජයලක්ෂ්මී නම් යුවතියක සමඟ විවාහ වූයේය. ගාමිණී මුල් වරට ප්‍රධාන චරිතයක් රඟ පෑ 'පිරිමියෙක් නිසා' චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා ඔහු විය. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා එහි අනෙක් අධ්‍යක්ෂවරයා විය. එතෙක් සිටි නළුවන්ගේ රංග විලාසයට වඩා වෙනස් ආකාරයක රංගනයක යෙදීම නිසා ගාමිණී හා සෝමසේකරන් අතර හිත් රිදීමක් ඇතිව තිබිණ. ප්‍රධාන නළුවා ලෙස ටී ෂර්ට් එකක් ඇඳීමත්, දෙමළ රංග විලාසය අනුකරණය නොකිරිමත් සෝමසේකරන්ගේ හිතට ඇල්ලුවේ නැත. එයින් පසු සෝමසේකරන් කිසි විටෙක ගාමිණීට ආරාධනා කළේ ද නැත. 'මට ඔයාට උදව් කරන්නට බැරි වුණා.' සෝමසේකරන් ගාමිණී හමුවී පැවසුවේ පශ්චත්තාප වන විලාසයෙනි. ඉසුරෙන් බර යුගයේ සෝමසේකරන් වටා සිටි පිරිස පමණක් නොව ඔහුගෙන් උපකාර ලද එමෙන්ම ඔහු විසින් ඉහළට ඔසවා තබන ලද සියල්ලන්ම පාහේ සෝමසේකරන් අතහැර ගොස් තිබිණ. ඔහු ධනයෙන් පමණක් නොව ශරීර සෞඛ්‍යයෙන් ද පිරිහෙමින් තිබිණ. ගාමිණීගේ සිතෙහි අමනාපයක් නොවිණ. ඔහු ඉල්ලුවාටත් වඩා මුදලක් සෝමසේකරන්ට ගාමිණී ලබා දුන්නේය. 'මම ලැබුණු ගමන් ආපහු මේක දෙන්න එනවා' සෝමසේකරන් ගාමිණී ගෙන් අවසන් වරට සමුගත්තේ එහෙමය. සෝමසේකරන් යළි යාපනයට ගොස් තම භාර්යාව හමුවූයේ ද නැත්ද යන්න ගාමිණී හෝ කිසිවකු දැන සිටියේ නැත. කලක් තමා ජය කෙහෙළි නැංවූ චිත්‍රපට තැනූ නාරාහේන්පිට ලංකා චිත්‍රාගාරය ආසන්නයේම සෝමසේකරන් මිය ගොස් සිටි වග ක්ෂේත්‍රයේ සියල්ලන්ට ආරංචි විය. මේ පුවත් ලියන්නේ සෝමසේකරන් සමඟ අහිතවත් බවකින් හෝ අපහාස කිරිමේ චේතනාවෙන් නොවේ. මිනිසකුගේ ඉරණම පිළිබඳ දන්නා ඛේදවාචකයක් ලියා තැබීම වටිනා නිසාය.

 

 

තවත් චිත්‍රපටයක් ගැන ලබන සතියේ...