නිර්මාණශීලී කලාකරුවකු වෙන්න හැමෝටම බැහැ

චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි ෂර්ලි සමරසිංහ
මැයි 13, 2021

 

ෂර්ලි සමරසිංහ යනු අහවල් වෘත්තිකයා කියා එක එල්ලේ හඳුන්වා දීමට අපහසුය. විටෙක ඔහු තිර රචකයෙකි. නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙසද නිර්මාණයන්ට දායක වෙමින් එහි අත්දැකීම්ද විඳගත් ෂර්ලි සහාය අධ්‍යක්ෂණයටද පිවිසිණ. වේදිකා නිර්මාණ රැසකටද අඩු වැඩි වශයෙන් සිය දායකත්වය සැපයීය. කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් සම්මානයටද පාත්‍ර වූ ඔහු සිනමා අධ්‍යක්ෂකවරයෙකු විදිහටද කලඑළියට ඇවිත්ය. පියාඹන්න ආයෙත් ඔහුගේ කුලුඳුල් සිනමාකරණයයි. මෙ ලෙස අප ඔහුට කතාබහකට ආරාධනා කළේ ඒ පිළිබඳ වැඩි තතු විත්ති ගෙන ඒමට සහ සහ ෂර්ලිගේ අතීතය පිළිබඳව දැන ගැනීමේ රිසියෙනි

 

ෂර්ලි, ඔබ කලාවට පිවිසෙන්න තීරණය කරන තැනින් අපි කතාව පටන් ගනිමු?

කලාව ගැන පුංචි කාලේ ඉඳලම මගේ කැමැත්තක් තිබුණා. ඒ නිසාම කලා විෂයන් හදාරන්න තෝර ගත්තා. උසස් පෙළින් පස්සේ ජාතික තරුණ සේවාසභාවට ඇතුළත් වෙන්නේ නාට්‍ය හා රංග කලාව පූර්ණකාලීන ඩිප්ලෝමා පාඨමාලාව හදාගන්න. එය අවසානයේ මා වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. එය ළමා නාට්‍යක්. රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ප්‍රධාන සම්මාන කීපයක් ලබමින් එය ඇගයීමට ලක් වුණා. වේදිකාවට තිබුණ ඇල්ම නිසාම ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂකවරුන් මෙන්ම තරුණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය විශාල සංඛ්‍යාවක් එක්ක වැඩ කරන්න මට ලැබුණා. 2001 වසර වෙනකොට ජාතික රූපවාහිනියේ අධ්‍යාපන වැඩසටහන් අංශයේ වැඩසටහන් ඉදිරිපත් කරන්න මට ඉඩකඩ ලැබුණා. ඒ සමග රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය ගැන වැඩිදුර හදාරන්න තරුණ සේවා සභාවෙම පාඨමාලාවකට එකතුවුණා.

ඉන් අනතුරුව ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට අධ්‍යක්ෂණය පාඨමාලාව සම්පූර්ණ කළා. එහි ප්‍රායෝගික විභාගයට මා අධ්‍යක්ෂණය කර ඉදිරිපත් කළ "අහස" කෙටි චිත්‍රපටය ජාතික හා ජාත්‍යන්තර සම්මාන කිහිපයක්ම හිමිකරගත්තා. රූපවාහිනී නාලිකා කීපයක සේවය කළා. පසුව ටෙලි නාට්‍ය හා චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු සහ ප්‍රධාන නිෂ්පාදන කළමනාකරු විදිහට වැඩකරමින් අත්දැකීම් ලබා ගත්තා.

 

ලේඛකයෙකු විදිහටත් ඔබ ප්‍රකටයි නේද?

ලේඛන කලාවත් මගේ ජීවිතේ තවත් එක් පැතිකඩක්. සාහිත්‍ය නාට්‍ය හා සිනමාව වැනි කලා මාධ්‍ය පිළිබඳව පුවත්පත් මාධ්‍ය තුළ නිදහස් ලේඛකයකු ලෙස දිගුකාලීනව වැඩ කරනවා.

 

වෘත්තියක් විදිහට කලාව තෝරා ගැනීම අවදානමක් ලෙස ඔබ දුටුවෙ නැද්ද ?

අපේ රටේ වෘත්තිමය පසුබිමක් කලාකරුවකුට ගොඩ නගා ගන්න ලෙහෙසි නැහැ. නමුත් වෙනත් රැකියාවක යෙදෙන ගමන් විනෝදාංශය විදිහට කලාව තෝරා ගැනීම තුළ කලා මාධ්‍ය පිළිබඳව පුළුල් හැදෑරීමක් ගොඩනැගෙන්නෙත් නැහැ . ඒ නිසාම මේ තෝරා ගැනීම ලෙහෙසි පහසු තීරණයක් නෙවෙයි. අනික නිර්මාණශීලී කලාකරුවකු වෙන්න ලෙහෙසි පහසු කටයුත්තකුත් නෙවෙයිනෙ. අයෙක් ජනප්‍රිය වූ පමණින් කලාකරුවෙක් වෙන්නෙ නෑ. කලාව වෙනුවෙන් ජීවිතයම කැප කරපු නිර්මාණකරුවන් අප අතර හිටියා වගේම ඉන්නවා. නමුත් ඔවුන් ජනප්‍රිය සංස්කෘතියට ලඝු වූ අය නෙවෙයි. මාධ්‍ය දැනගෙන ගනුදෙනු කරද්දි වෘත්තීමය පදනමක් ගොඩනගා ගන්න කෙනෙක්ට හැකි වෙනවා කියන එකයි මගේ විශ්වාසය.

 

චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඔබ උත්සාහ කරන පළමු අවස්ථාව මෙයද?

ඔව්... ඒත් කෙටි චිත්‍රපට කරුවෙක් වාර්තා චිත්‍රපට කරුවෙක් විදිහට ආපු ගමන ඇතුළෙ වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තිබුණා. සහාය අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදන කළමනාකරුවෙක් විදිහට චිත්‍රපටයකට සම්බන්ධ වෙද්දී ඒ නිර්මාණයක්ම අපේම නිර්මාණ විදිහට ගොඩනඟන්න උත්සහ කළා.

මගෙම නිර්මාණයක් කරන්න හදිසියක් ඒ නිසාම ඇති වුණේ නැහැ. මේ වැඩෙට මාව පොළඹවන්නෙ මගේ නිෂ්පාදකවරයා කිව්වොත් හරි.

 

යු.ඒ පල්ලියගුරු මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා. ඔහුත් එක්ක වැඩ කරන්න ඔබට පහසු වුණාද.?

චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඔහු මට ආරාධනා කරන්නේ මීට වසර කීපයකට පෙර. නමුත් ඔහුගේ නිෂ්පාදන ආයතනයේ ජාතික තලයේ රූපවාහිනී ක්‍රීඩා වැඩසටහනක් අධ්‍යක්ෂණය කරන්න ඔහු මාව තෝරගන්නවා. එයට මාව යෝජනා කරන්නේ ඉනෝකා සත්‍යාංගනී කිර්තිනන්ද සිනමා අධ්‍යක්ෂතුමිය. ඒ වැඩසටහන වසර කීපයක සිට සතිපතා ජාතික රූපවාහිනිය ජඩචදදඥත ඥරඥ නාලිකාවේ විකාශනය වනවා. පසුගිය වසර කිහිපයේම නොකඩවා මෙම වැඩසටහන නිර්මාණය කරන්න ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම අපිට යන්න වුණා. මේ වැඩසටහන දුෂ්කර ගම් බිම්වල ක්‍රීඩා හැකියාවන් තියෙන දූදරුවන් අගය කරන වැඩසටහනක්.

ඒ නිසා මුල සිට අවසානය දක්වාම මේ වැඩසටහනත් එක්ක මට කැපවෙන්න සිද්ධ වුණා. මේ වසර මුල එම ක්‍රීඩා වැඩසටහනෙන් ජාතියට දායාද වන ක්‍රීඩා තරු විස්සක් තෝරා ගත්තා. අනුග්‍රහක ආයතනය වන ජජපරඵඡපධ සමාගමෙන් ඔවුන්ගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමුණා. මෙම වැඩසටහන් මාලාවේ අධ්‍යක්ෂකවරයා විදිහට මට වගකීම බාරදෙන්නේ ඔහුයි. පසුගිය මාස කිහිපය තුළ ලැබුණු ඉඩකඩ නිසාම ඔහු මට නැවතත් යෝජනා කළා ගුත්තිල නිෂ්පාදන ආයතනයේ හත් වැනි සිනමා කෘතිය කරන්න. එම ආයතනයේ ප්‍රධානියා විදිහටත් කළමනාකරුවෙක් විදිහටත් මා ඔහු කාලයක් දැන අඳුනගෙන හිටියා. යම් දෙයක් පිළිබඳව ඔහු දෙවරක් හොයා බලන කෙනෙක්. සෘජුව සහ විනිවිදව වැඩ කරනවා නම් මං හිතන්නේ ඔහුත් සමඟ වැඩ කරන්න කිසිවෙකුටවත් අපහසු නෑ.

 

"පියාඹන්න ආයෙත්" චිත්‍රපට නිර්මාණය තුළ ලැබූ අත්දැකීම් ගැන කතා කළොත්.?

"පියාඹන්න ආයෙත්" චිත්‍රපටය ලංකාවේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල ප්‍රමාණයක දර්ශන තල යොදාගෙන රූපගත කළ නිර්මාණයක්. අපි දන්නවා නුවරඑළිය හෝ යාපනය වැනි ප්‍රදේශයක රූපගත කරන්නට ගන්නා වෙහෙස. එකිනෙකට වෙනස් පරිසර පද්ධතින් අතරතුර මේ චිත්‍රපටය රූගත කරන්නට අපට හැකි වුණා. අභියෝගාත්මක කර්තව්‍යයක්. පසුගිය වසර කිහිපය තුළ අපි ලංකාවේ මේ සියලුම දිස්ත්‍රික්කවලට ගමන් කරලා තිබුණා. නිෂ්පාදන ආයතනයක් විදිහට අත්දැකීම් හා තාක්ෂණික භාවිතාවන් අප සතුව තිබුණා. ඒ වගේම චිත්‍රපටයට එකතු වුණු හැම කෙනෙක්ම සාමූහිකව මේ වැඩේට ගොනු වුණා. එය මතක් කර සතුටු වෙන්න පුළුවන් ජීවිත අත්දැකීමක්.

 

රූගත කිරීම් අතරතුර සිදු වූ අමතක නොවන සිදුවීම් මොනවද .?

මුළු චිත්‍රපටයෙම අත්දැකීම් අමතක කරන්න බැරි මතක ගොන්නක්. එක් සිදුවීමක් කියන්නම්. කලණ ගුණසේකර සහ චමත්කා ලක්මිණි තමයි මෙහි ප්‍රධාන චරිතයන් රඟපාන්නේ. අපි බදුල්ලේ සිට අපි අපේ නවාතැනට රාත්‍රියක ගමන් කරමින් හිටියා. අවශ්‍යතාවකට ඇය වාහනෙන් බැහැලා ඉදිරියට ගියා. ඒ එක්කම ලක්මිණි රිය අනතුරකට ලක් වුණා. වාසනාවට ඇයට තුවාලයක් සිදු වුණේ නැහැ. ඒත් අපිව යම් කම්පනයකට ලක් වුණා. ඒ සිද්ධිය කවදාවත් අමතක නොවන එකක්.

 

පවතින තත්ත්වයත් එක්ක චිත්‍රපටයක් නිර්මාණය කිරීමට වඩා ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම පහසුයි කියල ඔබට හිතුණේ නැද්ද?

ටෙලි නාට්‍ය සහ චිත්‍රපටය කියන්නෙ පැහැදිලිවම මාධ්‍ය දෙකක්. ඒ අතරින් චිත්‍රපට මාධ්‍යයට මම ගොඩක් කැමතියි. චිත්‍රපටයක් කිසියම් කාල පරාසයක් තුළ අප රස විඳලා ඒ පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන්. නැවත නැවත එය නරඹා රස විඳීන්න පුළුල් ඉඩකඩක් තියනවා. ඉස්සර ලංකාවේ චිත්‍රපටයක් ආවහම හෝල් එකට ගිහිල්ලා ප්‍රේක්ෂකයෝ හත් අට වතාවක් ඒ චිත්‍රපටය නැවත නැවත බලනවා. චිත්‍රපටවල තිබුණු සිංදු ඉතාමත් ජනප්‍රියයි. ඒවා එකතුවෙලා ගායනා කරනවා. චිත්‍රපට අවුරුදු ගණන් පරණ වුණත් මිනිසුන්ට මතකයි. නවකතා පොතක් වගේ පෙරළ පෙරළා බලන්න පුළුවන්.

නමුත් ටෙලි නාට්‍යයක් කොටස් ගණනාවකින් යුක්තයි.කාලයක් වෙන් කරගෙන ඒක රස විඳීන්න පුරුදු වෙන්න ඕනා. අතරින් පතර අපිට ටෙලි නාට්‍යය කොටස් මග හැරෙනවා බලන්න. අඳුරු සිනමාශාලාවක දැවැන්ත තිරයක අපි බලන චිත්‍රපටය ඇත්තටම අපේ ජීවිතයට ලොකු බලපෑමක් කරනවා. අපි එතැනදී අඳුරේ අඬනවා හිනහා වෙනවා. කෑගහනවා. නිහඬව ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. අපි කීපදෙනෙක් එක්ක චිත්‍රපටය බැලුවත් එතනදි අපි තනිවෙනවා. අපිව වෙනම ලෝකෙකට යනවා. මා ඒ නිසා වඩාත්ම ප්‍රිය කරන්නෙ සිනමාවට.

 

ඔබේ කුලුඳුල් චිත්‍රපටය නළු නිළියන් කිහිපදෙනෙකුට සීමා වුණු එකක්?

චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ආදරය තේමා කරගෙන. මේ ආදර කතාව ටිකක් වෙනස් ආදර කතාවක්. ජීවිතයේ හැලහැප්පීම්වලට නතුවු කුටුම්බ ගොඩනගාගත්තු විවාහය පිළිබඳව අත්දැකීම් තියෙන දෙදෙනෙකුගේ කතාවක්. මේ කතා තේමාව ගොනු වෙන්නෙම කිසියම් චරිත කිහිපයක් ආශ්‍රය කරගෙන. කුතුහලයෙන් යුතුව ඒ කතාව ඉදිරිපත් කරන්න අවශේෂ චරිත ගොඩක් හංගලා තියෙන්නේ. කලණ රඟපාන්නේ රියදුරු තරුණයකුගෙ චරිතයක්. චමත්කා විදෙස් රටක සිට තනිවම ලංකාවට එන අයෙක්. ඔවුන් දෙදෙනා හරහායි මේ කතාව ගොඩනැගෙන්නේ. ඔවුන් මුහුණ දෙන එක්තරා සිදුවීමක් නිසා මේ කතාව ඔවුන් දෙදෙනාගේ කතාව බවට පත්වනවා. මේ කතාව ප්‍රබල තැනකට ගෙන යන්න සීමාසහිත චරිත ටිකක් යොදාගන්න අත්‍යවශ්‍ය වුණා. ඇතැම් චරිත පිටපතේ සඳහන් වුවත් නැවත නැවත තිර පිටපත සංස්කරණයේදී තිරරචකයා විසින්ම ඉවත් කරපු අවස්ථාත් හමුවනවා.

 

අනාගතයේදී කරන්න බලාපොරොත්තු වන නිර්මාණ ගැන කතාබහ කළොත්.

ප්‍රේක්ෂකයන්ට රසවිඳීන්න පුළුවන් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියනවා. අපේ සිනමාවට හොඳ ප්‍රේක්ෂක පිරිසක් හදා ගන්න අපට තවම බැරිවෙලා තියෙනවා. කලාත්මක චිත්‍රපට වගේම හොඳ වාණිජ සිනමාවක් ඉස්සර අපට තිබුණා. හොඳ නළු නිළි පිරිසක් අපට හිටියා. සිනමා සංගීතයක් අපට තිබුණා. අප උත්සාහ කරන්න අවශ්‍යයයි අපේ රටට ඔරොත්තු දෙන කර්මාන්තයක් විදිහට සිනමාව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන්න. නැතිනම් අපට ඉන්දියානු කොරියානු තුර්කි ටෙලි නාට්‍ය වගේ චිත්‍රපට වෙන රටවල් වලින් ආනයනය කරලා හඬ කවලා ප්‍රදර්ශනය කරන්න වේවි.

අපේ රටේ දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා. ඒ අය නිර්මාණවලට එකතු කරගැනීම ඉතාම වැදගත්. මගෙ චිත්‍රපටයෙනුත් අලුත් පරම්පරාවේ නිර්මාණ කරුවන් රාශියක් මුණගැහෙනවා. බොහෝ දෙනා අතරින් ගිලිහිලා යන චිත්‍රපට මාධ්‍යයෙන් ඉදිරියේදී හොඳ නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.