යසපාලිත හැදුවේ රස සාගර පමණක්ම නොවේ

මැයි 13, 2021

 

ප්‍රවීණ, ප්‍රතිභාසම්පන්න හා ජනාදරප්‍රාප්ත සිනමාකරුවන් හඳුන්වා දීමට භාවිත කෙරෙන පාඨ ගණනාවකි. බොහෝ විට මේවා ප්‍රචාරාත්මක ක්‍රමෝපායන් ලෙසින් ද උපයෝගී කර ගැනේ. එසේම මේවා නිර්මාණය කෙරෙන්නේ ද සිනමාපට ජනගත කිරීම මුල් කොට ගෙන ය. විචාරක පාර්ශ්වයෙන් හා ප්‍රේක්ෂක පාර්ශ්වයෙන් සුසැදෙන පාඨ සේම , එසේ ප්‍රචාරක අරමුණු ඔස්සේ ම එන පාඨ ද උද්දීපනය වන්නේ සිනමාව කෙතරම් අරුමැසි ඉසව්වක් වන්නේ ද යන පිළිතුරු සුපැහැදිලි ප්‍රශ්නය නඟමිනි.

මෙසේ දත හැකි ප්‍රචාරක පාඨ කිහිපයක් ම ලාංකේය සිනමාකරුවන් දෙතුන් දෙනෙකුගේ පැවැත්ම හා අභිවර්ධනය ආරක්ෂා කළ බව පෙනේ. 'වෙනින් කවුරුත් නොවේ ලෙනින් මොරායස්' කීවේ ලෙනින් මොරායස්ට ය. නීල් ආම්ස්ට්‍රෝන් සඳ තරණය කරයි- නීල් රූපසිංහ සිනමාව තරණය කරයි' කීවේ නීල් රූපසිංහට ය. 'ඒ චිරාගත ජනප්‍රියත්ව රටාව නැවතත්' කීවේ සේන සමරසිංහට ය. 'යසපාලිත නිර්මාණයක්- රස සාගරයක්' කීවේ යසපාලිත නානායක්කාරට ය.

යසපාලිත නානායක්කාරගේ සිනමා භාවිතය රස සාගරයක් සේ හඳුන්වා දෙන්නට වූයේ 1970 දශකය ගෙවී යාමත් සමඟිනි. ඇතැම් විට ඒ 'අංජානා' හරහා විය යුතු ය. වර්ෂ 1981 දී මුල් වරට ප්‍රදර්ශිත 'අංජානා' මෝදු වෙමින් පැවති ලාංකේය සිනමාවේ බරපතළ ම අර්බුදයක් මැද කැපී පෙනුණේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගැනීමට සමගාමීව ය.

'යසපාලිත නිර්මාණයක් - රස සාගරයක්' යන ප්‍රචාරක පාඨයෙන් ධ්වනිත කෙරෙන්නේ ම යසපාලිතගේ සිනමා භාවිතය උපරිම විනෝදාස්වාදයක් ගෙන දෙන වග යි. යසපාලිත ඊට සාධාරණය ඉටු කළේ අවස්ථා දෙක තුනකදී නොවේ. 1980 දශකයේදී ප්‍රදර්ශිත පෙර කී 'අංජානා ', 'නැවත හමුවෙමු' හා 'ජය සිකුරුයි' ඇත්ත වශයෙන් ම රස සාගර ම විය. 1970 දශකයේදී ආ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද 'තුෂාරා ' ඇතුළු සිනමාපට කිහිපයක් ද රස සාගර සේ නිර්වචනය කළ නො හැකි නොවේ.

 

විටෙක ස්වතන්ත්‍ර පිළිවෙත් මත රැදී සිටිය ද , අනුකාරක අවස්ථා කරා පැමිණිය ද රස සාගර මැවීමේ අදහස යසපාලිත ප්‍රතික්ෂේප නො කළ තරම් ය. ගුවන් විදුලි නාට්‍ය පාදක කොට ගෙන හා ඇසුරු කර ගනිමින් නිර්මිත ඔහුගේ සිනමාපට ද කවරාකාරයකින් හෝ පෙන්නුම් කළේ රස සාගර සංකල්පය යි . මෙහෙයින් ඔහුව එ දවස සේම මෙ දවස ද හඳුනා ගැනෙන්නේ රසාලිප්ත විනෝදාත්මක සිනමාපට නිර්මාණයට හපන් සිනමාකරුවකු ලෙසිනි. ඉන් ඔබ්බට යාමේ හෝ අන් මඟකට ප්‍රවිෂ්ට වීමේ අභිලාෂයක් ප්‍රකට නො කළ සිනමාකරුවකු ලෙසිනි. සිනමාව විෂයෙහි එන කලාත්මක හෝ විවාදාත්මක එළඹුම් හා එක් නොවූ සිනමාකරුවකු ලෙසිනි.

කෙසේ නමුදු යසපාලිතගේ සිනමා භාවිතය ප්‍රතිවිවරණයකදී දත හැක්කේ එම ප්‍රමුඛ හා සුලබ අරමුණු වෙතින් මෑත් වූ අවස්ථා ද්විත්වයක් නිශ්චය කළ හැකි වග ය. එනම් යසපාලිත කලාත්මක හා විවාදාත්මක පිවිසුමකට මඳ පමණින් හෝ නොපැකිළුනු වග ය.

මෙහි පළමු අවස්ථාව වර්ෂ 1976 දී මුල් වරට ප්‍රදර්ශිත 'ප්‍රදීපේ මා වේවා' යි. දෙවැනි අවස්ථාව වර්ෂ 1991 දී මුල් වරට ප්‍රදර්ශිත 'සුරනිමල' යි. යසපාලිත යනු රස සාගරයේ ම කිමිදෙන්නට තැත් නො කළ , මහා පොළොව ද පෑගූ සිනමාකරුවකු ය යන සඳහන මෙතැනදී මුළුමනින් ම අවධාරණ නො කෙරේ. නමුත් ඔහු තුළ ඊට අදාළ ව යම් උනන්දුවක් තිබුණේ ය යන හැගීම විචාරක - ප්‍රේක්ෂක දෙපාර්ශ්වය තුළ ජනිත කරන්න ට එය සමත් වූ බව සිහිකටයුතු ය. මෙතැනදී කෙනෙකුට අවැසිනම් වර්ෂ 1979 දී මුල් වරට ප්‍රදර්ශිත 'මොනරතැන්න' ද සලකා බලන්නට පුළුවන.

කෙසේ නමුදු උත්ප්‍රාසාත්මක තත්ත්වය වනුයේ මේ සිනමාපට ද්විත්වයේදී ම විදේශීය සම්බන්ධයක් දත හැකි වග ය. 'ප්‍රදීපේ මා වේවා' හි නම් දත හැකි වුයේ ඇසුරකි. 'සුරනිමල' හි නම් ඇසුරක් ම නොව පාදක කර ගැනීමකි.

එසේම යම් විචාරක අවධානයකට යම් පමණකින් හෝ ලක් වූ යසපාලිතගේ සිනමාපට කිහිපය අතරට ද 'ප්‍රදීපේ මා වේවා ' හා 'සුරනිමල' එක්වේ. කෙසේ වතුදු යසපාලිත බඳු සිනමාකරුවන් නො තකා හරින සිනමා විචාරයේ සම්මත චර්යා හමුවේ 'ප්‍රදීපේ මා වේවා' හා 'සුරනිමල' යන සිනමාපට ප්‍රමාණවත් අවධානයකට ලක් නොවූ බව නම් සත්‍යයකි. මෙහිලා ප්‍රයත්න දරන්නේ යසපාලිතට දිගින් දිගට ම සිදුවූ මෙම අයුක්තිය කල් ගතවී හෝ පිටු දකින්නට ය. රස සාගරයේ ඔබ මොබ පිහිනන්නට නොව , රස සාගරය තරණය කරන්නට තරම් වූ ශක්‍යතාවක් යසපාලිතට තිබූ වග සඳහන් කරන්නට ය.

'ප්‍රදීපේ මා වේවා' හි එන පුවත කීර්තිමත් ඉන්දීය සිනමාකරු ශ්‍යාම් බෙනගල් ගේ 'නිශාන්ත්' හි ආ පුවතට සමිප වන වග එ දවස කියැවිණ. වර්ෂ 1975 දී මුල් වරට ප්‍රදර්ශිත 'නිශාන්ත්' ඉන්දියානු හා අන්තර්ජාතික සිනමා සම්මාන ප්‍රදානෝත්සව කිහිපයකදී ම සම්මානයට හා ගෞරවයට පාත්‍ර වූ සිනමාපටයකි.

'නිශාන්ත්' හි ආ පුවත හා 'ප්‍රදීපේ මා වේවා' හි ආ පුවත අතර සමානකම් පවතින බව එ දවස පැවසුවේ ඈෂ්ලි රත්නවිභූෂණ ය. ඒ 'ඥානාර්ථ ප්‍රදීපය' පුවත් පතේ 1976 පෙබරවාරි 08 දා කලාපයේදී ය. දශක කිහිපයකට පසුව ගාමිණී වේරගම ද ඒ අදහස ඉදිරිපත් කරයි. ඔහු පවසන්නේ සිනමාපටයේ ප්‍රස්තුත අත්දැකීම සඳහා ශ්‍යාම් බෙනගල්ගේ 'නිශාන්ත්' සිනමාපටයෙන් යසපාලිත යම් ආභාසයක් ලබා ගත් වග දිස්වන බව ය. (දේශීය සිනමා වංශය -ද්විතීය කාණ්ඩය 1970-1979 , පි.243) එහිදී ම ඔහු තව දුරටත් සඳහන් කරන්නේ යසපාලිත සිය පෙර සිනමාපට ද්විත්වය වන 'තුෂාරා' හා 'සහයට ඩැනී' වෙතින් පෙන්නුම් කළ විලාසයෙන් මිදී කිසියම් හරවත් තේමාවක් කරා යොමු වන්නට 'ප්‍රදීපේ මා වේවා' හරහා උත්සුක වූ බව යි.

වර්ෂ 1976 ජනවාරි 24 වන දා 'දිනමිණ' පුවත් පතට 'ප්‍රදීපේ මා වේවා' අරභයා විචාරාත්මක ලිපියක් සපයන නන්දසේන සූරියආරච්චි කියා සිටින්නේ ද සමාජයේ සිදු වෙමින් පවත්නා පරිවර්තන සම්බන්ධයෙන් යම් අදහසක් යසපාලිත තුළ තිබූ බව මෙයින් පෙනී යන්නේ ය යන්න යි.

සුනිල් මිහිඳුකුලගේ අදහස වන්නේ 'ප්‍රදීපේ මා වේවා' අනුකරණයක් නො වන බව යි. ( සිනමාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ , පි. 172)

'ප්‍රදීපේ මා වේවා' හි ආවේ ග්‍රාමීය බලපුළුවන්කාරකමට එරෙහි ජන අරගලයකට නායකත්වය දුන් බැහැරක සිට පැමිණි තරුණ ගුරුවරයකුගේ අධිෂ්ඨානය හා කැපවීම නිරූපිත පුවතකි.ඊට පෙම් පුවතක් ද එක් කොට තිබිණ. විජය කුමාරතුංග මේ ගුරුවරයාගේ චරිතය නිරූපණය කළේ බහුතර ප්‍රේක්ෂක ඉල්ලීම හා එකඟ වෙමිනි.

'සුරනිමල' පසුපස ඇති ඉන්දියානු විනෝදාත්මක සිනමාපට කිහිපයකි. ඉන් 'සුරනිමල' ට වඩාත් ම සමීප සුරේෂ් ක්‍රිෂ්ණා විසින් අධ්‍යක්ෂණය කරන ලදුව වර්ෂ 1988 දී මුල් වරට ප්‍රදර්ශිත 'සත්‍යා'යි. 'සත්‍යා' ට 1985 දී නිර්මිත 'අර්ජුන් ' නමැති ඉන්දියානු සිනමාපටය පාදක වූයේ ය යන්න ද සත්‍යයකි.

'සත්‍යා' සේම 'සුරනිමල' ද එක පුද්ගල වීරයකුගේ ජවය, ශක්තිය හා යුක්ති සහගත බව අධිතක්සේරු කළ සිනමාපටයක් වේ. 'සත්‍යා' හි එන පුවත හා 'සුරනිමල' පුවත අතර සමානතා බොහොමයකි.

මෙතැනදී වැදගත් වන්නේ යසපාලිත මෙබඳු අනුකරණයක් යටතේ වුව බරපතළ සමාජ - දේශපාලන ගැටලුවක් හසු කර ගනු පිණිස අවිඥානකව වුව දැක්වු ඕනෑකම යි. මේ බරපතළ ගැටලුවට මැදි වන්නේ අව වරප්‍රසාදිත, රැකියා විරහිත, උගත් නාගරික සම්බන්ධතා සහිත තරුණයන් ය. මෙබඳු තරුණයන් කුප්‍රකට දේශපාලනඥයන්ගේ අතකොළු වෙමින් දවසරින වග මහ පොළොවේ යථාර්ථයකි. ඉන් ඔවුනට යැපුම් මාර්ගයක් සම්මුඛ වේ. පෞද්ගලික ජීවිතය ඇහිරී යන්නට ද ඉඩ ඇත. අකල් මරණ ද අත වනනු ඇත.

සුරේෂ් ක්‍රිෂ්ණා සේම යසපාලිත ද මේ සත්‍යය සිනමාව හරහා අනාවරණය කරන්නේ ප්‍රේක්ෂකයා වසඟ කර ගනිමිනි. එහෙත් 'සුරනිමල' යසපාලිත වර්ගයේ සිනමාපටයක් නොවේ. වීරයා. පෙම්වතිය හා දුෂ්ටයා සිටිය ද අභව්‍ය තේමාවක් නො වන හෙයින් යසපාලිතට සිදු වන්නේ තරමක අමිහිරි ප්‍රතිචාර ප්‍රේක්ෂකයන් වෙතින් ලබන්නට ය. 'සුරනිමල' හි වීර තරුණයා අන්තිමේදී පළමු වටයේ දුෂ්ට දේශපාලනඥයා සේම දෙවැනි වටයේ දුෂ්ට දේශපාලනඥයා ද සිය කාය ශක්තියෙන් පරාජය කරන්නේ ඉන් එහාට යසපාලිත නො යන වග හොඳ හැටි දන්නා හෙයිනි.

'සුරනිමල' වැනි සිනමාපට වඩා නිවැරදිව වටහා ගැනීමේ වුවමනාව සම්බන්ධයෙන් ගාමිණී විජේතුංග වරක් දැක්වූ අදහස් මෙතැනදී සිහිපත් වේ. 1997 ජනවාරි 23 දින 'සරසවිය' පුවත් පතේ පළවූ ඔහුගේ එ කරුණ සඳහන් ලිපියේ සිරස්තලය වූයේ ' තමන්ගේ කම නැති ලාංකීය ජනප්‍රිය සිනමාව' ය යන්න ය . ඉතා සියුම් ව පරීක්ෂා කර බලන විට ජනප්‍රිය සිනමාවේ ලා තත්කාලීන සමාජ යථාර්ථය යම් ප්‍රමාණයකින් හෝ පිළිබිඹු කරන බවත්, ජනප්‍රිය සිනමාවේ සමාජ භූමිකාව පරීක්ෂා කර බලන විට එය සමාජය තුළ කිසියම් ඒකමතික භාවයක් ඇති කරන බවත්, අධිපති සංස්කෘතික භාවිත බොහොමයක් ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ අඩුව ඔවුන් පිරිමසා ගන්නේ සමාජයේ නො තකා හරිනු ලැබූ කොටස්වල සවිඥානකත්වයට ආමන්ත්‍රණය කිරීමෙන් බවත් ඔහු එහිදී කියා සිටී.

1970 දශකය්දී මඳ පමණින් හා 1980 දශකයේදී ප්‍රබලාකාරයෙන් අයුක්තියට හා අසාධාරණයට එරෙහි පොදුජන වීරයකු සිනමාවෙන් ඉස්මතු කරන්නට යසපාලිත තැත් කළ අවස්ථා ගණනාවකි. 'සුරනිමල' සැලකිය හැක්කේ එහි එක් කූටප්ප්‍රාප්තියක් වශයෙනි. එහි තේමාව සේ ප්‍රකාශයට පත් කළේ ‘ භීෂණයට හා මර්දනයට එරෙහිව යුද වැදුණු අපේ කාලයේ යෝධයකුගේ කතාව’ යන්න යි.සුරනිමල අතීත වීරයකු ය යන සඳහන මෙහිලා යසපාලිතට වැදගත් වන්නට ඇත. ජීවන් කුමාරතුංග මෙහිලා එම පොදුජන වීරයා සේ ඉස්මතු වන්නේ ඒ ඒ ක්‍රියාදාම අවස්ථා වඩාත් විශ්වසනීය අන්දමින් ප්‍රතිනිර්මාණය සඳහා යසපාලිතට අනගි සහායක් ලබා දෙමිනි.

යසපාලිත නානායක්කාරගේ සිනමා භාවිතයේ එන මෙම සුවිශේෂ ලක්ෂණය වෙනත් සිනමාකරුවන් වෙතින් ද දැක ගත හැකි ය. ඉන් වඩාත් ම කැපී පෙනෙන සිනමාකරුවා වන්නේ නීල් රූපසිංහ යි. ඔහුගේ 'දැන් මතකද', 'හතර දෙනාම සූරයෝ' හා 'සරදියෙල්ගෙ පුතා' යම් සමාජ හා දේශපාලන කියැවීමකට අවකාශ සලසන අමුද්‍රව්‍ය ආදියෙන් ගහණ ය යන්න සිනමාව දෙස විකල්ප හා විවෘත දැක්මකින් බලන්නට වැර දරන විචාර පාර්ශ්වයේ ද පිළිගැනීම යි.