වැඩිම ගීත ඇතුළත් සිංහල චිත්‍රපටය සැඩසුළං

මැයි 13, 2021

 

"සීතා ඔබ මට කුඩා කාලයේ පැවසූ දෙය වඩා වැටහෙන්නේ දැන්."

අඳුරු සිර කුටියක සිට එලෙස තැවෙන්නේ සුනිල්ය. ඔහු ගීයක් සිහිපත් කරයි.

'ඔබ යයි නම් තනිව අන්ධකාරේ

ඔබට ආලෝකේ

දෙන්නෙමි තිරසාරේ

දිවි ඇති තෙක් මෙ සංසාරේ'

ඒ ගීයෙහි අර්ථය ඔහුට වඩා වැටහෙන්නේ දැන්ය.

 

අතීතයේ දවසක පාසැල් වේදිකාවේ ඔවුහු මෙලෙස ගී ගැයූහ.

'ජීවන මේ ගමන සංසාරේ-යා වේ නම් අන්ධකාරේ

ඔබට තිර කාලේ- යා හැක්දෝ සොයා මාර්ගගේ'

සුනිල් දුප්පත්ය. ඔහුට කාත් කවුරුවත් නැත. සීතා පොහොසත්ය. සීතා එක් දිනක සිය දැවැන්ත මන්දිරයට සුනිල් රැගෙන ගියාය. එහි එක් එක් ප්‍රභූවරුන්ගේ ඡායාරූප පෙන් වූ ඇය එක් එක් අය හදුන්වා දුන්නාය.

"මේ සර් ජෝන් කොතලාවල. ඔයත් කවද හරි දවසක සර් ජෝන් කෙනෙක් වෙන්න් ඕනෑ."

ඇය ඔහුට පැවසුවාය.

මේ දරුවන් දෙදෙනා පාසැල් වේදිකාවේ ගී ගයනු බලා සිටි සීතාගේ පියා ශ්‍රීමත් පලිපාන සතටු සිතින් පසු වුව ද ඔහුගේ භාර්යාව සිටින්නේ නොරිස්සුමෙන්ය. මේ සීතාගේ මව නොව කුඩම්මාය. මාන්නක්කාර ගැහැනියක වූ ඇය ඉදිරියේ සර් පලිපාන පවා කට අරිනුයේ දෙපාරක් සිතා බලා ය. කෙමෙන් තරුණ වියට පත්වන සීතා පියකරු යුවතියක වේ. එමෙන්ම පලිපාන බූදලයේ එකම හිමිකාරිය ඇයයි. කුඩම්මාගේ වෑයම තම බෑනණුවක වන එඩ්වඩ්ට සීතා විවාහ කර දීමය. එඩ්වඩ් සූදු අන්තුවකු මෙන්ම සල්ලාලයකු ද වෙයි.

'ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මා හා'

 

ඔහු ගිය එක් අවන්හලක සිටි නිළියක රඟමින් පැවසුවාය. ඇය සමග සයුරු තෙරේ සවාරියක් යන එඩ්වඩ් ඇය හා පසුව මෙලෙස ගැයුවේය.

'සොමිබර පෙම් රැලි මහද නැගේ

විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ'

සුනිල්ට කාර්යාලයක රැකියාවක් ලැබුණේ මේ අතෙර්ය. සීතා එඩ්වඩ් හා විවාහයකට අකමැතිය. එබැවින් ඈ බලාපොරොත්තුව ඔහු හා හොර රහසේ විවාහ වන්නටය. පාසැල් වේදිකාවේ ඔවුන් ගැයූ ගීය යළිත් ගයන්නට ඔවුන්ට හැකි විය.

'ප්‍රේම ප්‍රදීපේ ම හදේ දැල්වුණ මේ

දීප්ති විහිදේ විහිදේ

මා ය ඒ විහිදෙන ආලෝකේ

ඔබ ය ප්‍රේම ප්‍රදීපේ'

සුනිල් ගේ කාර්යාලයේ හිමිකරුගේ භාර්යාව ඔහු වරදට පෙළඹවීමට තැත් කරන්නේ මේ අතරය. සුනිල් හා විවාහ වීමට නිවසින් පලා එන දවසේම සුනිල්ට රැකියාව අහිමි වනුයේ හිමිකරුගේ භාර්යාව නිසාය. දෛවෝපගත ලෙස සීතා අතරමං වෙයි.

'පෙම් කැකුළ පිපී එන විට මහදේ

එය පරව ගියා

මා හෙළා මේ දුක් අන්ධකාරයේ-අන්ධකාරයේ'

ඇය අතර මං ව ඇවිද ගියාය. ඔහු ද අසරණ විය. හිස් හැරුණු අත ගිය ඔවුන් දෙදෙනා ගමන් කළේ දෙතැනකටය. ඔහු නංවා ගත් තිරික්කලකරුවා ගායනා කරන ලද්දේ මේ ගීතයයි.

'කොයිද මා යන්නේ මේ ජීවිතේ

කාට මේ ලෝකේ ආධාරෙටා'

සීතා සල්ලාලයකුට හසුවන්නට ගිය නමුත් එයින් බේරි පලා ආවාය. ඇයගේ පිහිටට ආවේ දිළිඳු නාට්‍යකරුවෙකි. ඇය ඔහු යටතේ නර්තන ශිල්පිනියක වන්නීය.

සියල්ල අහිමි වන සුනිල් මංකොල්ලකරුවන් පිරිසක් සමඟ සම්බන්ධ විය. ඔහු නම් දැරූ මංකොල්ලකරුවකු බවට පත්වන්නට ගියේ ටික කලකි. එක් දවසක නාට්‍ය කණ්ඩායම නර්තන දර්ශනයක් සඳහා කරත්තවල නැඟී කඳුරට මාවතට එළැඹුණේය. නාට්‍ය කණ්ඩායමේ සිටි එකෙකු පාළුව යන්නට මෙන් මහ හඬින් ගීයක් ගැයුවේය.

'ගමන දුර නිසයි සීපද කියන්නේ

වෙහෙස මඟ හැරෙයි ඇඟ පත නිවෙන්නේ'

එයට එහි උන් කෙල්ලක පිළිතුරු දුන්නාය.

'නොකියන් කවිය ඔය ගොරහැඩි හඩින්නේ

මොකටද ගොනුන් කලබල කර හරින්නේ'

එයට ද ඔහු පිළිතුරු දුන්නේය.

'කෙල්ලනි උඹලා දන්නේ නටන්නයි.

මා දන්නේ කීමට පමණයි

කවදා මුත් මම ගායකයකු වී

නුඹලා හැම පරදනාවමයි'

එහෙත් මේ නාට්‍ය කණ්ඩායමට වැඩි දුර යන්නට නොහැකි විය. මංකොල්ලකරුවන් පිරිසක් ඔවුන් වටලා ගත්හ. එහි නායකයා මෙතුවක් තම ආදරවන්තයා වූ සුනිල් බැව් දැන ගත් සීතා වියෝ දුකින් හැඬුවාය. එහෙත් ඔවුන්ගේ නාට්‍ය කන්ඩායම සමඟ දිගටම යන්නට සීතා ඉටා ගත්තාය. එක් තීරණාත්මක දවසක සීතා සිය කන්ඩායම සමඟ නැටුම් දර්ශනයක් පෑවේ මහා රංග ශාලාවකය.

'ශ්‍රී ලංකා මාතා මා ප්‍රියාදර ජයභූමී

ජය භූමී-ජය භූමී- ශ්‍රී ලංකා'

මේ සංදර්ශනයේ ප්‍රධාන ආරාධිතයන් දුටු සීතා තැති ගත්තාය. ඒ තම පියා හා කුඩම්මාය. ඇගේ නර්තන චාරිකාව එතැනින් නිමා විණ. ඇයට යළි ගෙදර යන්නට සිදුවිය. කුඩම්මාගේ එකම වෑයම එඩ්වඩ්ට ඇය විවාහ කර දීමය.

 

සුනිල් ඇයගේ පිහිටට එක්විය. මේ අරගලයේ දී සුනිල් අතින් එඩ්වඩ් මරණයට පත්වූයේය. මෙතුවක් සියල්ල ඉවසා සිටි සර් පලිපාන දියණිය හා සුනිල් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේය. එයින් සුනිල් මරණීය දණ්ඩනයට යටත් නොවී අවුරුදු පහකට සිරගත විය. සීතා ඔහු එනතුරු බලා සිටින බවට පොරොන්දු වූයේය.

'ප්‍රේම පහන අපි දල්වා ලමු අද

ජීවන අදුර මකන්ටා-ජීවන අඳුර මකන්ටා

ජීවනේ රස වෙයි තිර ප්‍රේමේ

සුන්දර හදකින් පානා-සුන්දර හදකින් පානා

 

ඒ වාගෙයි පහන ආලෝකේ

වූයේ සංයෝගේ-සදා සංසාරේ

වෙන් නොම වී එකාකාරේ'

මේ මෙරට මුල්ම දෙමළ ජාතික සිනමාකරුවා වූ ටී.(තම්බයියා) සෝමසේකරන්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වූ සැඩ සුළං චිත්‍රපටයේ කථා සාරාංශයයි.

 

 

සැඩ සුළං ගැන තවත් කතාවක් ලබන සතියේ

*******************************

 

සැඩ සුළං

1955 ජූනි මස 24

සීමාසහිත ෆිල්ම් සිලෝන්

නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, තිර රචනය- ටී. සෝමසේකරන්

සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය- ටී.එන්. රාම්

කැමරා අධ්‍යක්ෂණය-රාජ් ගෝපාල්

දෙබස්-ආනන්ද සමරකෝන්

නැටුම්-චොප්රා

සංගීත අධ්‍යක්ෂණය- එස්. දක්ෂිණමුර්ති

ගීත පටිගත කිරිම- වාහිනි -මදුරාසිය

ගීත ප්‍රබන්ධය- ආනන්ද සමරකෝන් සහ ඩී.ටී. ප්‍රනාන්දු

ගීත පොත්- සීමාසහිත ෆිල්ම් සිලෝන්

ගීත - ගායනා හා ගීත රචකයෝ

ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී - ලතා මංගේෂ්කාර් ඇතුළු පිරිස -ප්‍රබන්ධය- ආනන්ද සමරකෝන්

ඉදිරියටා යමු සැවොමා- ලතා මංගේෂ්කාර් සහ මොහිදින් බෙග් -ප්‍රබන්ධය- ආනන්ද සමරකෝන්

ජීවන මේ ගමන සංසාරේ- කේ. රාණී සහ ජමුනා රාණී- ප්‍රබන්ධය- ආනන්ද සමරකෝන්

ජීවන මේ ගමන සංසාරේ-ඒ.එම්. රාජා සහ ජමුනා රාණී-ප්‍රබන්ධය- ආනන්ද සමරකෝන්

පෙම් කැකුළ පිපී එන විට මහදේ-ඒ.එම්. රාජා සහ ජමුනා රාණී-ප්‍රබන්ධය- ආනන්ද සමරකෝන්

සැදෑහැවත් උතුම් ලෝ පියාණන්ගේ නාමෙන්-මොහිදීන් බෙග් සහ ජමුනා රාණී-

ප්‍රබන්ධය -ආනන්ද සමරකෝන්

හිස් වී ගියේය ලෝ - ජමුනා රාණී

සොමිබර පෙම් රැලි ම හද නැඟේ -

ධර්මදාස වල්පොල සහ කේ. රාණී

කොයිද මා ජීවිතේ යන්නේ මේ-

ධර්මදාස වල්පොල

හරි සාරයි මේ කාලේ බලත්වා-

ජමුනා රාණී සහ පිරිස-ප්‍රබන්ධය- ඩී.ටී. ප්‍රනාන්දු

මෝහයෙන් මුලා වෙලාද-

මොහිදීන් බෙග් සහ සරෝජා-

පදමට පොල් තෙල් ගහපල්ලා- පියදාස ගුණසේකර සහ පිරිස-ප්‍රබන්ධය -ආනන්ද සමරකෝන්

ගමන දුර නිසයි මේ සීපද කියන්නේ -

ආනන්ද සමරකෝන් කේ.රාණී ඇතුළු පිරිස-ප්‍රබන්ධය-

ආනන්ද සමරකෝන්

ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න-

කේ.රාණී-ප්‍රබන්ධය- ඩී.ටී. ප්‍රනාන්දු

අමු පිටිසරයෙකි මේ මනමාලයා-

ධර්මදාස වල්පොල,කේ රාණී සහ සුනිල් ප්‍රේමදාස-

ප්‍රබන්ධය -ආනන්ද සමරකෝන්

කළු කඩ කාසි සොයාලා-

ධර්මදාස වල්පොල සහ කේ රාණී

ඔයා තමයි මට හරියන්නේ-

සුනිල් ප්‍රේමදාස සහ කේ.රාණී

අනේ යන්න මේ ඇයිද සුදෝ

මේ අතරින් ශ්‍රී ලංකා මා ප්‍රියාදර, ගමන දුර නිසයි හා පදමට පොල්තෙල් ගී ත්‍රිත්වයේ තනු නිර්මාණය ආනන්ද සමරකෝන්ගෙනි. ඇතැම් ගීත පදමාලාවල කර්තෘත්වය අවිනිශ්චිත බැව් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිංහල චිත්‍රපට ගීතාවලිය 1947-1956 ග්‍රන්ථයේ සදහන් කරයි.

නළු නිළියෝ- ප්‍රේම් ජයන්ත්,(සුනිල්) ෆ්ලෝරීඩා ජයලත්, (සීතා). බිම්ලා කුමාරි(නීලා), ඩොමී ජයවර්ධන (එඩී), ඩේවිඩ් ධර්මකීර්ති( සර් පලිපාන), සුනිල් ප්‍රේමදාස(රස්තියාදු) රිචඩ් ඇල්බට්(රොඩ්ඩා) ශාන්ති අබේසේකර( නාට්‍ය ගුරුවරයා)පියදාස ගුණසේකර (ඇන්ටන්)මොහිදින් බෙග්(හිඟන්නා) ටී.සෝමසේකරන්, එම්.පීගිල්මන්, ලාල් දූල්වල,පත්මා ද මැල්, සුජාතා චන්ද්‍රදාස, ජොසිලින් ප්‍රනාන්දු, ලිලියන් එදිරිසිංහ, ධර්ම ශ්‍රී රණතුංග, (එඩ්වඩ්), ඩොමී ජයවර්ධන, දයා අබේසේකර (සුනිල් ළමා විය), පද්මිණි දහනායක (සීතා ළමා විය)

ආරම්භක සිනමා ශාලා

එල්‌ෆින්ස්ටන් -මරදාන, රොක්සි-වැල්ලවත්ත, මෙට්‍රෝ -නුගේගොඩ, ගාමිණී -මීරිගම, අශෝකමාලා -මීගමුව, ලක්ෂ්මී -අම්බලන්ගොඩ, ක්වීන්ස් -ගාල්ල, වේල්ස් -මහනුවර, ටාසන් -කෑගල්ල බ්‍රෝඩ්වේ- මාතර, නිව් ඉම්පීරියල් -කුරුණෑගල, මහලේකම් -කුලියාපිටිය, මාදම්පේ තියටර්- මාදම්පේ, රිජන්ට් -රඹුක්කන, සීගිරි -වේයන්ගොඩ, පැටන් -මොරටුව, සිත්තම්පලම්- අනුරාධපුර, නිව් ඉම්පීරියල් -රත්නපුර, නිව් ඉම්පීරියල් -කටුකුරුන්ද, විජිත -රත්මලාන, සිරිරාද්‍ර- මිල්ලතේ

නැවත ප්‍රදර්ශනය- 1977 දෙසැම්බර් 17 පිටපත් 7කි.

 

අරුණ ගුණරත්න