ගුණරත්නම් + මෙයියප්පන් = දොස්තර

අප්‍රේල් 22, 2021

දොස්තර පණ්ඩිතරත්න හා ඔහුගේ භාර්යාව කාන්ති ජීවත් වන ප්‍රදේශයේම වෙසෙන පෙම් යුවළක් වනුයේ රංජිත් හා චන්ද්‍රාය. මේ නව යුවළ විවාහ වූ දවසේ රංජිත් සිය ඡායාරූපයක් චන්ද්‍රාට තෑගි දෙයි. එක් දවසක චන්ද්‍රා පාපැදියක ගැටී සිහිසුන් වෙයි. ඒ දොස්තරගේ නිවෙස ඉදිරිපිටදීය. දොස්තර සිය උකුල මත තබාගෙන ඇයට ප්‍රතිකාර කරනු දකින කාන්ති කෝපයට පත්වෙයි. මේ අතර ඇය දකිනුයේ රංජිත්ගේ ඡායාරූපය එතැන බිම වැටී ඇති බවය. කාන්ති එය තම කොට්ටය යට තබා ගනියි. දොස්තර සැක කරනුයේ මේ ඡායාරූපය ඇයගේ අනියම් පෙම්වතෙකුගේ හැටියටය. දොස්තර හා කාන්ති අතර අරගලයක් ඇතිවේ. මේ අතරවාරයේ මංගල දිනයේ දුන් ඡායාරූපය නැති කර ගැනීම ගැන කෝප වන රංජිත් එය සොයා එන්නේ චන්ද්‍රා අනතුරට පත්වුණ දොස්තරගේ නිවෙස අසලටය. එහදි කාන්තිට රංජිත් මුණ ගැසෙයි. ඇය දොස්තර හා චන්ද්‍රා අතර ප්‍රේම සබඳතාවක් ඇති වග පවසා සිටියි. මේ කථාවෙන් රංජිත් චන්ද්‍රා සමඟ රණඩුවකට මුල පුරයි. එයින් කම්පාවට පත්වන චන්ද්‍රා , දොස්තර සොයා යන්නේ කථාවේ අග මුල සොයා ගන්නටය. රංජිත් එහි පැමිණෙන්නේ කාන්තිගෙන් විස්තර දැන ගන්නටය. . දොස්තර, චන්ද්‍රා ගෙයි අල්මාරියක සඟවාලයි. කාන්ති ද රංජිත් කාමරයටම දමා දොර වසා දමයි. මේ අරගලය නිමාවනුයේ කාරණා දැන ගත් උගත් වැඩිහිටි පුද්ගලයකු වූ ධර්මේ නිසාය. මේ දොස්තර චිත්‍රපටයේ කථා සාරංශයයි.

වර්තමාන චෙන්නායි නගරයේ අදටත් පවතින චිත්‍රාගාරයක් වූ ඒ.වී.එම්. සමාගම 1942 වසරේ දී මරාති වේදිකා නට්‍යයක් වූ 'සම්ශායි කොල්ලි' සිනමාවට නැංවූයේ 'එන් මනවි' නමින්ය. එය ප්‍රංශ ජාතික නාට්‍යවේදී මොලියර්ගේ ඊඩඥ ඤඥජඥඪමඥඤ ඩභඵඡචදඤ නාට්‍යය ඇසුරෙන් සැකසුණකි. එන් මනවි අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් විය. එහි තිරනාටකය රචනා කරන ලද්දේත් අධ්‍යක්ෂණය කරන ලද්දෙත් එවකට සුප්‍රකට දකුණු ඉන්දියානු සිනමාකරුවකු වන සුන්දර් රාඕ නඩ්කර්නි විසින්ය. එන් මනවි සිංහලයට නැඟුණේ දොස්තර නමින්ය.

ඉන්දියානු සිනමා පුවත්පතක් වන ස්ක්‍රීන් පුවත්පතේ 1997 වසරේ ජනවාරි මස 15 වැනි දින නිකුත් වූ කලාපයේ පිටු අටක් ම වෙන්වූයේ ඒ.වී.එම් සමාගමේ පනස් වැනි සංවත්සරය වෙනුවෙනි. ඒ සමඟ ඔවුනගේ නවතම චිත්‍රපටය වූ 'මිනිසාර කනවු' චිත්‍රපටය ද තිර ගත විය. එය එදිනම හින්දි බසින් 'සප්නේ' නමින් උතුරු ඉන්දියාවේ තිර ගත විය. අපේ මුල්ම කථානාද සිනමා කෘතිය වන කඩවුණු පොරොන්දුව තිර ගත වී වසර පනහ සපිරෙන්නේ ද එම සතියේය. ස්ක්‍රීන් පුවත්පත් අතිරේකයෙහි ඔවුන් විසින් එවකට නිපදවන ලද චිත්‍රපට සියල්ලේම විස්තර අඩංගු විය. එහි ඇති දෙමළ, හින්දි ,තෙළිඟු, මලයාලම්, කන්නඩ වැනි චිත්‍රපට අතර එක් සිංහල චිත්‍රපටයක් ද ඇතුළත්ය. ඒ දොස්තරය. දොස්තර නිපදවනුයේ ඒ.වී. ඒම් ස්ටූඩියෝවේ අධිපති මෙය්යප්පන් චෙට්ටියාර්, සුප්‍රකට සිංහල චිත්‍රපට නිෂ්පාදක කේ. ගුණරත්ම් හා එකතු වීමෙන්ය. ගුණරත්නම් 'සූරසේන' චිත්‍රපටය නිපදවූයේ ද ඒ ආකාරයේ ඉන්දියානු හවුල් නිෂ්පාදනයක් හැටියටය. එය නිපදවූයේ එවකට කොයිම්බතූර්හි පිහිටි පක්ෂිරාජා ස්ටුඩියෝවේ හවුල් නිෂ්පාදනයක් හැටියටය.

මෙය්යප්පන් චෙට්ටියාර් දකුණු ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණ වනුයේ සරස්වතී ටෝකිස් නම් සමාගමක් ගොඩ නංවාගෙන 1935 වසෙර්ය. එයින් පසු ප්‍රගති පික්චර්ස් සමාගම පිහිටුවාලන ඔහු සිය සුප්‍රකට ඒ.වී.එම්.චිත්‍රාගාරය සහිත නව සමාගම ගොඩනංවාලනුයේ 1947 වසෙර්ය. ඔහු එමඟින් නිපදවූ 'නාම් ඉරුවර්' අතිශය සාර්ථක චිත්‍රපටයක් විය. මෙය්යප්පන් චෙට්ටියාර් එන් මනවි නිර්මාණය කරනුයේ සරස්වතී ටෝකිස් නමින්ය. 1949 වසරේ මෙය්යප්පන් නිපද වූ 'වාල්කෛ' (ජීවිතය) නම් චිත්‍රපටය තිදෙනෙකුගේ ජීවිත අලුත් කළ බව එකල කියැවිණි. ඒ එහි නිෂ්පාදක මෙය්යප්පන් සහ එමඟින් සිනමාවට හදුන්වාදුන් සුප්‍රකට සිනමා තාරකාව වූ වෛජයන්තිමාලා මෙන්ම චිත්‍රපටය මෙරටට ආනයනය කළ කේ. ගුණරත්නම් යන තිදෙනාය. චිත්‍රපටය අති සාර්ථක වූයේ මේ තිදෙනාම සිනමාවේ ඉහළ තලයට ගෙන එමින්ය. එයින් දෙවසරකට පසුව 'වාල්කෛ' කථාවම 'බහාර්' නමින් හින්දි බසින් ප්‍රති නිර්මාණය කරන ලද්දේ ඒ.වී.එම් තැනූ මුල්ම හින්දි චිත්‍රපටය හැටියටය. එය වෛජයන්තිමාලාගේ ද මුල්ම හින්දි චිත්‍රපටය විය. මෙය පසුව මෙය්යප්පන් විසින් 'ප්‍රේම සහරා' නමින් සිංහලෙන් ද නිපදවීමට අදහස් කළත් එය සිදු නොවිණ. එම චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපෑමට නියමිතව සිටියේ එඩී සහ රුක්මණී යුවළයි. ඒ.වී.එම්.සමාගමේ පනස් වැනි සංවත්සරය වෙනුවෙන් පළ කළ කලාපයේ දොස්තර නමින් ඔවුන් විසින් සිංහලෙන් නිපදවන ලද චිත්‍රපටයේ එඩී ජයමාන්න හා රුක්මණී දේවි චරිත නිරූපණය කරන බව සදහන්ය. කෙසේ වෙතත් දකුණු ඉන්දියානු සිනමා ඉතිහාසයේ දී මදුරාසියේ ප්‍රධාන චිත්‍රාගාර හතරක් ගැන කියැවේ. ඒ විජය වාහිනි, ප්‍රසාද්, ජෙමිණි, හා ඒ.වී.එම්ය. මේ අතරින් දෙමළ ජාතිකයකුට අයත් එකම චිත්‍රාගාරය ඒ.වී.එම්ය. සෙසු චිත්‍රාගාර අයත් වූයේ තෙළිඟු ජාතිකයන්ටය. එමෙන්ම මේ වන විටත් මේ අතරින් චිත්‍රපට නිෂ්පාදනයේ යෙදෙන සමාගම වනුයේ ද ඒ.වී.එම් පමණකි. එය වර්තමානයේ පාලනය කරනුයේ එහි සිව් වැනි පරම්පරාවය.

දොස්තර අධ්‍යක්ෂණය කරන ලද්දේ පසු කලෙක සුප්‍රකට දෙමළ සිනමාකරුවකු වූ කේ. ශංකර්ය. ශංකර් මලයාලම් ජාතිකයෙකි. ඔහු සිනමාවට අවතීර්ණ වනුයේ චිත්‍රපට සංස්කරණ ශිල්පියෙකු හැටියටය. මුලින් කොයිම්බතූර්හි සෙන්ට්‍රල් ස්ටූඩියෝවේ ද පසුව පක්ෂිරාජා ස්ටූඩියෝවේ ද සේවය කරන ඔහු ඒ.වී.එම්. සමාගම හා එක්වනුයේ එය ආරම්භයේම සංස්කරණ ශිල්පියෙකු හැටියටය. 1926 මාර්තු මස 17 වැනි දින උපත ලද ඔහු 2006 වසරේ මාර්තු මස 5 වැනි දින මිය ගියේය. ශංකර්ගේ මුල්ම අධ්‍යක්ෂණය සිංහලෙන් තැනුණු දොස්තරය. පසුව ඔහු දෙමළ, කන්නඩ, හින්දි, මලයාලම් ආදි විවිධ භාෂාවලින් ජනප්‍රිය චිත්‍රපට 87 ක් නිර්මාණය කළේය. එන්.ටී. රාම රාඕගේ තෙළිඟු සිනමාවේ සුපිරි තරුවක් බවට පත් කළ 'භූ කෛලාශ', ජෙමිනි ගනේෂන් රඟපෑ 'කයිරාසි', සුනිල් දත් රඟපෑ 'ජූලා', ශිවාජ් ගනේෂන් රඟපෑ 'ආලයමානි', එම්.ජී. රාමචන්ද්‍රන් රඟපෑ 'පන්තෝට්ටම්', 'අධිමයි පෙන්', ගුරු දත් රඟපෑ භරෞෂා, ෂම්මි කපූර් රඟපෑ 'රාජ්කුමාර්', ඔහු තැනූ ජනප්‍රිය චිත්‍රපට අතර වෙයි. ගාමිණි ෆොන්සේකා රගපෑ 'නීල කඩලින් ඕරත්තිලෙයි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ද ශංකර් විසින්ය.

'දොස්තර' චිත්‍රපටයේ සුප්‍රකට හින්දි නළු භගවාන් ද චරිතයක් රඟපෑවේය. 'අල්බේලා' චිත්‍රපටය නිපදවා අධ්‍යක්ෂණය කොට එහි ප්‍රධාන චරිතය රඟපෑ භගවාන් එවකට හින්දි සිනමාවේ කැපී පෙනෙන නළුවකු වූයේය.

දොස්තර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විකට චිත්‍රපටයක් වූයේය. එමෙන්ම එය ඉතා ඉහළ ආදායමක් ද ඉපැයීමට සමත් විය. එහි එඩී ජයමාන්නගේ රංගනය බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක්විය. දොස්තර ගැන තවත්කථා ඊළඟටය.

 

දොස්තර

 

තිර ගත වූ දිනය-1956 පෙබරවාරි 02

ඉදිරිපත් කිරීම- සීමාසහිත සිනමාස්

නිෂ්පාදනය- ඒ.වී.එම්. මදුරාසිය

නිෂ්පාදක- කේ.ගුණරත්නම්

ඒ.වී. මෙයියප්පන් චෙට්ටියාර්

අධ්‍යක්ෂණය සහ සංස්කරණය - කේ.ශංකර්

දෙබස්- හියුගෝ ප්‍රනාන්දු

කැමරාව-යූසු‌ෆ් මූර්ති

සංගීතය- ආර්.සුදර්ශනම්

ගීත පටිගත කිරීම හා චිත්‍රාගාරය-ඒ.වී.එම්- මදුරාසිය

ගීත ප්‍රබන්ධය හා ගායනය

හෝ පෙම් රාජයා- ගායනය - රුක්මණි දේවී-ප්‍රබන්ධය-හර්බට් ඇම්. සෙනෙවිරත්න

දිළිඳු බව ඉපැදුණි මෙලොවේ- ගායනය - ලතා - කේ. හියුගෝ ප්‍රනාන්දු

පෙම් සාගරේ ගිලී නාමු-ගායනය - රුක්මණී දේවී- ප්‍රබන්ධය-හර්බට් ඇම්. සෙනෙවිරත්න

වාසනාවන්ත කල ලබා- ගායනය - ධර්මදාස වල්පොල/රුක්මණී දේවි- ප්‍රබන්ධය- හර්බට් ඇම්. සෙනෙවිරත්න

තායම් මායම් හොර හිත හින්දා -ගායනය- පී.සුසිලා- ප්‍රබන්ධය- කේ. හියුගෝ ප්‍රනාන්දු

කිමද ලෝකේ මේ තරම්- ගායනය - රුක්මණී දේවි- ප්‍රබන්ධය- හර්බට් ඇම්. සෙනෙවිරත්න

ශ්‍රී ලංකාදීපයේ -ගායනය- ලතා සහ මොහිදින් බෙග්- ප්‍රබන්ධය -කේ. හියුගෝ ප්‍රනාන්දු

ගෙයක් ගානේ වැඩ පළ කර ඉඳීලා -ගායනය- ඒ.එම්. රාජා- ප්‍රබන්ධය -කේ. හියුගෝ ප්‍රනාන්දු

බලාපල්ලා මේ මූණේ හැටි- ගායනය- රුක්මණී දේවි- ප්‍රබන්ධය- හර්බට් ඇම්. සෙනෙවිරත්න

අවිශ්වාසයක් සිත්හි මවාගෙන- ගායනය ධර්මදාස වල්පොල- ප්‍රබන්ධය- ආනන්ද සමරකෝන්

රඟපෑම්- එඩී ජයමාන්න( දොස්තර), රුක්මණී දේවී(චන්ද්‍රා), හර්බට් එම්. සෙනෙවිරත්න(රංජිත්), මාක් සමරනායක (ධර්මේ), හියුගෝ ප්‍රනාන්දු(බංඩා), කාන්ති ගුණතුංග (කාන්ති), උදුලා දාබරේ (තුසිතා), ශාන්ති ලේඛා(රීටා), සිරිමතී රසාදරී (ඇලිස්), රූබිද මැල්(චන්ද්‍රාගේ මව), භගවාන් (ඉන්දියානු නළු)

සිනමා ශාලා- ගාමිණී මරදාන, සැෆායර් වැල්ලවත්ත, වෙම්බ්ලි මහනුවර, ජූපිටර් කුරුණෑගල, ඡායා කෑගල්ල, මානෙල් මොරටුව, රිච්මන්ඩ් මාතර, ජයන්තා ගම්පහ, ෂැම්රොක් වෙන්නප්පුව, රිච්මන්ඩ් කළුතර, ක්වීන්ලන් නුගේගොඩ, රත්නාවලී ජා ඇල, සිනමා ගැමුණු නිට්ටඹුව, ජෙමිණි බණ්ඩාරගම, විජේන්ද්‍රා අනුරාධපුර, නඩරාජා ටෝකීස් මීගමුව, ලලිත කලා දුම්මලසූරිය

මංගල දර්ශනය- වැල්ලවත්ත සැෆායර් සිනමාහලේදී අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ‌ජෝන් කොතලාවලගේ ප්‍රධානත්වයෙනි.

 

 

 

දිනේෂ් පි‍්‍රයසාද් විස්තර කරයි