මල් වසන්ත කාලයේ එන්න ආදරෙන්

ජීවන් සංගීතා දිගු කලකට පසු පෙම්වතුන් ලෙස රඟති
අප්‍රේල් 22, 2021

 

මල් වසන්ත කාලයේ
එන්න ආදරෙන්
රොන් සුගන්ධ මාවතේ
ඉන්න මා ළඟින්
මා දකිනා මේ සුබ සිහිනේ
හැබැහින්දෝ මට නොදැනේ

 

මෙම ගීතය වන්නේ ජීවන් කුමාරතුංග හාපුරා කියා අධ්‍යක්ෂණය කරන ‘ජීවා’ චිත්‍රපටයේය. මෙම ගීතයේ රඟපාන්නේ ජීවන් සමඟ සංගීතා වීරරත්නය.

‘ජීවා’ චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ලම අවසන් වී ඇත.

ජීවා නම් නාහෙට නාහන පුද්ගලයෙකුගේ චරිතය රඟපාන්නේ ජීවන් විසිනි. එය තරුණ වියේ සිට මැදි විය දක්වා දිවෙන්නකිි.

ජීවාගේ මේ නාහෙට නාහන ගති පැවතුම් නිසා ඔහුගේ බිරිඳ පවා ඔහුගෙන් වෙන්වෙයි.

බිරිඳ ලෙස රඟපාන්නේ සංගීතාය. ඇය විශාකාය. ධනවත් පවුලක උපන් විශාකා හා ජීවා ආදරයෙන් බැඳෙන්නේද ඇයගේ ‍ගෙදර දැඩි විරුද්ධතාව මැදය. එහෙත් ඒ විරෝධය ගැන නොතකා විශාකා හා ජීවා විවාහ වෙයි. ඔහුගේ කැදැල්ලට දියණියක එයි. එහිදීද ජීවාගේ දඩබ්බරකම් අඩු වේ යැයි සිතුවද එසේ නොවන්නකි.

මේ අතරතුර ජීවාගේ දඩබ්බරකම් ඉහවහා යද්දී දියණියට කරදරයක් වේ යැයි සිතා විශාකා දරුවා රැගෙන යයි.

‘ජීවා’ ජීවන්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය මෙන්ම ඔහුගේ චිත්‍රපටයේ සුනිල් ධර්මසේන සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙසද ඉදිරියට එයි. සුනිල්ගේ දෙවැනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයද මෙයයි.

එමෙන්ම ‘ජීවා’ චිත්‍රපටයෙන් නවක ගායක ගායිකාවන් කිහිපදෙනෙක්ද දොරට වඩිති. එයින් එක් යුග ගීතයක් ගායනා කරන්නේ චින්තා සංදීපනී සහ චාමර උපේක්ෂණ විසිනි. ගීතය රචනා කළේ රොඩ්නි විදානපතිරණ විසිනි. දීර්ඝ කාලයකට පසු රොඩ්නි රචනා කරන ලද චිත්‍රපට ගීතය මෙයයි.

රොඩ්නි ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙසේය.

"මං චිත්‍රපට ගීතයක් රචනා කරන්නෙ හුඟ කාලෙකට පස්සෙ. අනික දීර්ඝ කාලෙක ඉඳන් දන්න සුනිල් ධර්මසේනගෙ සංගීතයෙන් මේ චිත්‍රපට ගීතයට සම්බන්ධ වීමත් විශේෂත්වයක්.ඒත් මෙච්චර කල් මම ඔහුත් එක්ක තනුවකට ගීතය රචනා කළේ .ඒත් මේ වතාවෙ ඔහු මට චිත්‍රපටයේ කතාව සහ ගීතයට පසුබිම් වෙන කතාව ගැන පැහැදිලි කිරීමක් කළා.

අනික මම ජීවන්ව දීර්ඝ කාලයක ඉඳන් දන්නව වුණත් කවදාවත් ජීවන්ගෙ චිත්‍රපටයකට දායකවෙන්න ලැබිල නෑ.ඒත් මේ වතාවෙ ජීවන් අධ්‍යක්ෂණය කරන පළමු චිත්‍රපටයටම සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනව.

ඒ වගේම සංගීතාව මම දන්නෙ පොඩි කාලෙ ඉඳන්.මොකද සංගීතාගේ තාත්තා (තිමති වීරරත්න) මට මේ ක්ෂේත්‍රයට එන්න හුඟක් උදව් කරපු කෙනෙක්. ඒත් සංගීතා මගේ චිත්‍රපට යුග ගීතයකට සම්බන්ධ වෙන්නෙ මුල් වතාවට. මොකද මීට කලින් සංගීතාගෙ චිත්‍රපටයකට 'යසස' චිත්‍රපටයෙන් මම සම්බන්ධ වුණත් ඒක යුග ගීතයක් නෙවෙයි."

රොඩ්නි රචනා කරනා ලද මෙම ගීතයේ දර්ශන රූගත කළේ අවිස්සාවේල්ල උද්හිද උද්‍යානයේදීය.

නිකෝ චිත්‍රපට වෙනුවෙන් තිළිණි පියුමාලි හා ඉසුරු ධම්මික නිෂ්පාදනය කරන ‘ජීවා’ හි ජීවන්, සංගීතා සමඟ මීනා කුමාරි, කැලුම් ආර්යන්, ක්ලීටස් මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, සරත් දික්කුඹුර ආදී නළු නිළියෝ රූපණයෙන් දායක වෙති. මෙය කැලුම් ආර්යයන්ගේ තිර රචනයකි. කැමරා අධ්‍යක්ෂණය ත්‍රිශූලදීප තඹවිටය. සහාය අධ්‍යක්ෂණය චන්දන එදිරිසිංහය. ගීත රචනා රොඩ්නි විදානපතිරණ, උපාලි බණ්ඩාර වීරසේකර සහ ප්‍රවීන් ගුණතිලකය. චාමර හා චින්තා සමඟ පසුබිම් ගී ගයන්නේ යූ.ජී. එරංගා රෙසංජනී ප්‍රමෝද්‍යායය.

 

 

 

ඡායාරූප - ටෙරාන් නානායක්කාර