චණ්ඩියා තිරගත වූ දා ගාමිණීට පිහියෙන් ඇනලා

අප්‍රේල් 15, 2021

 

චණ්ඩියා චිත්‍රපටය සඳහා 'පියුමෙහි පැණි බොති' ගීතය ලියැවුණු අයුරුත්, පසුව එය චිත්‍රපටයට ඇතුළත් නොවුණු අයුරුත්, ඒ වෙනුවට තවත් ගීතයක් ඇතුළත් කළ අයුරුත් පසුගිය සතියේ සඳහන් කළෙමු. එයටත් වඩා මෙවර සඳහන් කරන්නේ චිත්‍රපටයේ ගීත පොත්වල ඇතුළත් එමෙන්ම චිත්‍රපටය සඳහා නිකුත් කළ ගී තැටි අතර ද ඇතුළත් එහෙත් චිත්‍රපටයේ නැති ගීතයක් පිළිබඳවය. එහි අපූර්වත්වය නම් චිත්‍රපටයේ ගීතය ඇතුළත් නොවුණත් අදාළ ගායිකාවගේ නම චිත්‍රපටයේ නාමාවලියේ සදහන්වීමය. මේ අපේ අසහාය ගීත කෝකිලා ලතා වල්පොලය. ලතා ගැයූ එම ගීතය දරු නැලවිල්ලකි. එපමණක් නොව එය චිත්‍රපයක ආ දීර්ඝතම දරු නැලවිල්ලයි. කොටින්ම එය නිකුත් වූ කලම්බියා ග්‍රැමෆෝන් තැටියේ දෙපැත්තේම අඩංගුය. කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කරන ලද එම ගීතයේ පදමාලාව මෙයයි. මේ ජවනිකාවට පෙනී සිටියේ අනුලා කරුණාතිලක සහ 'බේබි මධුමතී'ය. මේ බේබි මධුමති ලෙස නම් ලද දැරිය ප්‍රවීණ රංගවේදිනියක වූ ශාන්ති ලේඛාගේ දියණියයි.

“දුවට මගේ ලස්සන කතාවක්

කියා දෙන්නම්

නිදාගන්න නිදාගන්න

ඒක අසා අසා

 

ඈත ගමක එක් ගමයෙක් කාර බැඳන් ගම බිරියත්

දුවත් සමඟ සන්තෝශෙන් කාලෙ ගත කළා

 

ගමයා කුඹුරට ගිය විට -

වංගෙඩි වගෙ කකුල් අවට

තබා ගොයම පාළුවෙලා -තියෙනව දැක්කා

 

වංගෙඩි රෑ ඇවිදිල්ලා- ගොයම කනවයැ'යි කියලා

ඒ වංගෙඩි බැඳ තබන්න-

ගමයා හිතුවා

ඒකෙන් නැත වැඩක් වු‌ණේ -

කුඹුර පාළු වී තිබුණේ

ගමය හොරා අල්ලන්නට-

පැලට රෑගියා

 

පහුවෙනිදා එළිවුණාට

ගමය ආවේ නෑ ගෙදරට

ගම මහගෙයි දුවයි දුකෙන්-

බල බල හිටියා

 

එදා රෑ ම ඔහු ආවා-

දෙවිලොව ගිය හැටි කීවා

රන් මිණි මුතු රිදී අපට-

එහෙන් ලැබේවි

 

ගම මහගේ මෙහෙම කියපි-

තණ්හාවෙන් පලක් නොවේ.

අපෙ අතුපැල අපට හොඳයි -

වැඩිය ඕනෙ නෑ

 

මෝඩියෙ මේ ටික අහපං-

දෙව්ලොව යන්නට හදපං

කියා ගමය ගමන යන්න-

ලෑස්ති කෙරුවා

 

ගමරාළයි ගම මහගෙයි-

දුවත් සමඟ රිදි නැන්දයි

කුඹුරෙ ඉද්දි සුදු අලියෙක්-

පහළට ආවා

 

වල්ගයෙ එල්ලුණෙ ගමයයි- ඔහුගෙ

කරේ ගම මහගෙයි

රිදී නැන්දා දුවත් සමඟ-

පස්සෙන් හිටියා

 

වලිගයෙ කෙඳී අලියගේ-

නහය වදියි ගමයාගේ

කිවිසුම් යන්නට එද්දී -ඉවසං හිටියා

 

අලිය ටිකක් උඩ යනකොට -

රිදී නැන්දා ඇරියා කට

දිවිය ලෝකෙ විස්තර ගැන-

අහන්නට වුණා

 

එහේ පිඟන් කොයි තරමද-

කුරුණිය කොච්චර මහතද?

ගමයට තැන අමතක වී - අතින් පෙන්නුවා

 

ගහෙන් ගෙඩිය ඇද වැටුණා-

විලසට ගමයා වැටුණා

අනිත් අයත් දඩිස් ගාල-

බිමට පෙරළුණා

 

මෝඩකමයි තණ්හාවයි-

දෙකෙන් සිදුවුණේ මේකයි

ඒක නිසා ගම පවුලම -දුකට පත්වුණා

 

පැරැණි ගැමි කතාව ඇසුරු කොට ගෙන මේ ගීතය ලියැවුණේ චුට්ටේ ගේ ක්‍රියා කලාපය නිසා පවුලට සිදුවිය හැකි විපත ඉඟි කරන්නටත් එක්කය. එහෙත් චිත්‍රපටය ප්‍රදර්ශනය වද්දී මෙම ගීතය එයට ඇතුළත් නොවිණ. චිත්‍රපටයේ නාමාවලියේත් ලතා වල්පොලගේ නම අඩංගුව තිබියදී පවා චිත්‍රපටය තිරගත වද්දී මේ ගීතය එයට ඇතුළත් නොවුණේ මන්ද ?

නිෂ්පාදක කේ. ගුණරත්නම් යනු සිනමාස් නිෂ්පාදකයන්ගේ අවසාන තීන්දුව ගන්නා පුද්ගලයාය. චිත්‍රපටය යනු සිනමාකරුගේ මාධ්‍යය වුව ද සිනමාව ගැන දන්නා නිෂ්පාදකවරු චිත්‍රපටය වෙළෙඳපොළට මුදාහරිනුයේ තම සිතැඟි පරිදිය. හොලිවුඩ් සිනමාවේ මෙය ඉතා ප්‍රසිද්ධය. ලංකාවේ එබඳු නිෂ්පාදකයකු ලෙස පතළව සිටියේ ගුණරත්නම් මහතා පමණකි. චණ්ඩියා චිත්‍රපටය නැරඹූ නිෂ්පාදක ගුණරත්නම් එය තිරගත වන්නට මත්තෙන් මේ ගීතය චිත්‍රපටයෙන් ඉවත් කළේය. ඒ චිත්‍රපටයේ රිද්මයට මෙම දීර්ඝ ගීතය බාධාවක් බව පවසමින්ය. කෙසේ වෙතත් ගුණරත්නම් තමන්ට අවශ්‍ය පරිදි චිත්‍රපට සංස්කරණය කළ අවස්ථා කිහිපයක්ම ඇත. එහෙත් එයින් කිසිදු චිත්‍රපටයකට පාඩුවක් නොවිණ. චණ්ඩියා අති සාර්ථකව තිරගත වූවා පමණක් නොව එහි අනුකරණයන් රැසක් ද බිහිවිණ. චණ්ඩි පුතා, චණ්ඩින්ගෙත් චණ්ඩියා, චණ්ඩි රජා, චණ්ඩි රැජින, චණ්ඩියාගේ පුතා, සූර වීර චණ්ඩියෝ, චණ්ඩි ශ්‍යාමා, හිත හොද චණ්ඩියා, නොම්මර එකේ චණ්ඩියා, චණ්ඩි චිත්‍රපට නාමාවලියේ ඇති වෙනත් චිත්‍රපටයන්ය. චුට්ටේ නමින් චණ්ඩියකුගේ කතාවක් ඇතුළත් චිත්‍රපටයක් ද තිර ගත විය. චණ්ඩියා චිත්‍රපටයේ දෙවැනි කොටසක් ලෙස දෙමෝදර පාලම චිත්‍රපටය තැනිණ. ඒ හිර ගත වූ චුට්ටේ විසි වසරකට පසු නැවත පැමිණීමත් සමඟය. එහෙත් ටයිටස් තොටවත්තයන්ගේ චණ්ඩියා ඒ හැම චිත්‍රපටයකටම වඩා විචාරකයන්ගේ ගෞරවයට පාත්‍ර වූයේ එහි සියලු චරිත ගොඩ නැඟුණේ සාමාන්‍ය මිනිස් ජීවිත ඇසුරෙන් වීම හේතුවෙන්ය.

චණ්ඩියා චිත්‍රපටය පිළිබඳ විචාරයක් ලියූ ජයවිලාල් විලේගොඩ එහි මෙලෙස සඳහන් කළේය. මෙහි චරිත ඕනෑවටත් වඩා වැඩිය. පයිට් වැඩිය, බජව් පාටි වැඩිය, බණ දේශනා වැඩිය, අධ්‍යක්ෂ කතා රචක චිත්‍රපට කතා කෙටුම්පත සහ සංස්කාරක හැටියට ටයිටස් තොටවත්තගේ කරපිට පටවා ගෙන ඇති බර ද වැඩිය. චිත්‍රපටය ද හුඟක් දිග වැඩිය.

ගැලරිය පිනවීමත්, බැල්කනිය නැලවීමත් යන දෙකම කරන්නට නොගියා නම් චණ්ඩියා මීට වැඩිය සාර්ථක වන්නට ඉඩ තීබණයැයි මට සිතේ. නිපයු (නිෂ්පාදක) අදියුරු (අධ්‍යක්ෂ) මියැසිය (සංගීතය) හා ඉසිබුව (විවේකය) ආදී හුදු හෙළ වචනින් චිත්‍රපටය හඳුන්වා ජිල්මාල් හා දෝස්මුර කතාවක් කියන්ට යෑම ඒ තරම් පහසු දෙයක් නොවේ.

1965 වසරේ මාර්තු මස 31 වැනි දින 'දිනමිණ' පුවත්පතේ විලේගොඩ මහතාගේ විචාරය පළ වී තිබිණ.

චණ්ඩියා චිත්‍රපටය තිර ගත වූ දවසේ මුළු පළාතම කලබල වූ පුවතක් පැතිර ගියේය. ඒ ගාමිණි ෆොන්සේකාට කිසිවකු විසින් පිහියෙන් ඇන මරා දමන ලද බවටයි. මේ පුවත පැතිර යත්ම ගාමිණිගේ රසිකයෝ කලබලයට පත්වූහ. ඔවුහු ගාමිණිගේ රත්මලාන නිවෙස වට කළහ. බොහෝ දෙනා සිටියේ හඬා වැලපෙමින්ය. කලබල වූ ගාමිණිගේ පියා විලියම් ෆොන්සේකා සිය හිතවතුන් හැම තැනටම යැවුවේ ගාමිණීට සිදු වූයේ කුමක්දැයි සොයන්නටය. එහෙත් ගාමිණිගේ අම්මා බිඳකුදු කලබලයට පත්වූයේ නැත. ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳ විශාල දැනුමක් සහිත එතුමිය තම පුත්‍රයාට කිසිදු අනතුරක් නැති වග වටහා ගෙන සිටියාය. පවුලේ සමීපතම හිතවතකු වූ ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද ජයරත්නට මේ පුවත පැවසුවේ ගාමිණීගේ තාත්තාය. ආනන්ද කෙළින්ම ගියේ හැඳල විජයා චිත්‍රාගාරයටය. ඒ වන විට ගාමිණි සන්ධ්‍යා කුමාරි සමඟ 'ඉපදුණේ ඇයි' චිත්‍රපටයේ දෙබස් කවමින් සිටියේය.

"උඹ ඩබිං කරනවා. අරහේ උඹලෑ තාත්තා දෙලෝ රත්වෙලා උඹව හොයනවා. උඔට පිහියෙන් ඇනලා කියලා ආරංචියකට."

"උඹත් ඔය ලණු කනුවද බං. මටත් ආරංචි වුණා. උඹ තාත්තාට කියපං මං ඩබිං ඉවර වෙලා ගෙදර එනවා කියලා"

හැරෙන තැපෑලෙන් ආපසු රත්මලානට පැමිණි ආනන්ද ජයරත්න ගාමිණිගේ පියාණන් අස්වසා රැස්ව සිටි මහජනයාට ද ගාමිණිට කිසිදු අපල උපද්‍රවයක් නැති වග දන්වා සිටියේය. ඔවුහු ආපසු ගියේ විසිල් ගසමින් තම වීරයා වෙනුවෙන් සතුට පළ කරමින්ය.

ඇත්තටම සිදුව තිබුණේ මෙයයි. මරදානේ ගාමිණී සිනමාහලේ චණ්ඩියා තිර ගත වීම ආරම්භ කළ දවසේ එහි රැස් වූ ප්‍රේක්ෂකයන් අතර අරගලයක් ඇතිව තිබිණ. එහි දී කිසිවකු විසින් තවත් එකෙකුට පිහියෙන් ඇණ මරා දමා තිබිණ. 'ගාමිණී හෝල් එකේ පිහියෙන් ඇනලා එකෙක් මැරිලා' යන පුවත පැතිර ගියේ වචන පහක්ම අතරමඟ ලොප් කරමින්ය. ඉතිරිව තිබුණේ 'ගාමිණීට පිහියෙන් ඇනලා' යන්න පමණි.

 

 

විශේෂ ස්තූතිය

ගී තැටි සංරක්ෂක රංජන් ද සිල්වා