විජයබා කොල්ලය කියන්නේ මහාර්ඝ මාණික්‍යයක්

මාර්තු 21, 2019

මහාචාර්ය සුනිල් ආරියරත්න

සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා

ලංකාවට බයිලා ගෙනා අපියි පරංගියි නෝනේ
වියෝල රවිකිඤ්ඤා ගෙනා අපියි පරංගියි
කවදා හරි රට දාලා ගියත් පරංගී
හැමදාමත් හැංගි හැංගි ඉඳියි පරංගී

තාප්ප කලිසම් සිදාදි සිඤ්ඤෝ
තෙම්පරාදු මඤ්ඤොක්කා
පොල්සම්බෝල පීකුදු බාල්දි
අරුමෝසම් කොම්පඤ්ඤා

මේ ගීතය තවම ඔබ අසා නැතිව ඇති. ඒත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 23 වැනි සිනමා නිර්මාණයෙන් ඔබට මේ රැප් ගීතය සමඟ එන විජයබා කොල්ලය නරඹන්න පුළුවන්. අප ඒ පිළිබඳව මහැදුරුතුමාගෙන් විමසන්නට ගියේ දෙබස් කැවීම් කරන අතරතුරයි. විජයබා කොල්ලය වැනි දැවැන්ත නිර්මාණයක් කිරීමේදී එතුමන් මුහුණදුන් අභියෝග සහ සාහිත්‍යකීර්ති ඩබ්ල්යු.ඒ. සිල්වාගේ කෘතියක් සියුම්ව සිනමාවට නැඟීමේදී මුහුණ දුන් අභියෝග පිළිබඳ අපට ඔහු දැක්වූ අදහස් මෙසේ සටහන් කරමු.

විජයබා කොල්ලය වැනි කෘතියක් සිනමාවට නඟන්නට ඔබට විශේෂ වූ හේතුවක් තිබෙන්න ඇති?

මේක මගේ හීනයක්. නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයේදී මම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළට නිර්දිෂ්ට ග්‍රන්ථයක් විදිහට ඉගෙන ගත්තේ විජයබා කොල්ලය. ඒකාලේ මගේ ජනප්‍රියම ලේඛකයා ඩබ්ල්යු. ඒ. සිල්වා මම කැමතිම කෘතිය විජයබා කොල්ලය. මේ නවකතාවට මම කොච්චර පිස්සු වැටුණද කිව්වොත් එයට පසුබිම් වන 16 වැනි සියවසේ කෝට්ටේ යුගය පසුබිම් කරගෙන අලකේශ්වර කියලා ඓතිහාසික නවකතාවක් ලියලා පළ කළා සාමාන්‍ය පෙළ කරන කාලේ. ඒකෙන්ම පේනවා මට මොනතරම් උමතුවක් තිබුණද කියලා මේ නවකතාකරුවා සහ නවකතාව ගැන. ඒත් සිංහල සිනමාවේ කාටවත් භාග්‍යයක් උදාවෙලා තියෙනවාද මම දන්නේ නෑ තමන්ගේ පාසල් පොතක් හැටියට කියැවූ කෘතියක් සිනමාවක් බවට පත් කරන්න. හැබැයි ඒ භාග්‍යය මට උදා වුණා.

 

එවැනි භාග්‍යයක් නිකම්ම උදාවෙන්න බෑ?

ඔව්. ඒකට මට උදව් කළේ ආචාර්ය බුද්ධි කීර්තිසේන සහ ඔහුගේ පුත්‍රයා බූඩි කීර්තිසේන. මම එහෙම කියන්නේ මේ කතාව චිත්‍රපටයට ගන්න බොහෝ දෙනකු ගත් උත්සාහය වැළැකී ගියේ මේ නවකතාවේ අයිතිය බුද්ධි කීර්තිසේන මහත්මයා ලබාගෙන සිටි නිසා. ඔහු ආචාර්ය තිස්ස අබේසේකර ලවා එයට තිරනාටකයකුත් රචනා කරගෙන තිබුණා. ඔහුගේ බලාපොරොත්තුව වුණේ ඉන්දියාව සහ ලංකාව අතර සම නිෂ්පාදනයක් ලෙස දැවැන්ත සිනමා කෘතියක් හැටියට බූඩි ලවා ඒ චිත්‍රපටය කරවන්න. ඒත් අපේ සිනමාව දිගින් දිගටම අර්බුදකාරී තත්ත්වයට පත්වද්දි මේ නිර්මාණය නැවතුණා. ඒ අතරත් බොහෝ දෙනා බුද්ධිගෙන් මේ අයිතිය හා තිරනාටකය ලබා ගන්න උත්සාහ කළත් බූඩි තමන්ගේ පියාට කීවා සුනිල් ආරියරත්නට දෙනවාට විරුද්ධත්වයක් නෑ කියලා. දෙදෙනාගේම ආශීර්වාදයෙන් තමයි චිත්‍රපටය මට ලැබෙන්නේ. බුද්ධිට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නත් හිතේ තිබුණට කාලයාගේ ඇවෑමෙන් එය වෙනස් වෙලා කැමති නිෂ්පාදකයකු තෝරාගන්න කියා මට කීවාම යශෝධරා නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරි මහතා ඒ සඳහා ඉදිරිපත් වුණා.

 

පාසල් යුගයේ සිටම ඔබ සිනමාකරුවකු වන්න හිතුවාද?

නෑ. මම සාමාන්‍ය පෙළ කරද්දි කවදාවත් චිත්‍රපටයක් ගැන හීන දැක්කේ නෑ. සිනමාකරුවකු වීම ගැන හාංකවිසියක්වත් මගේ හිතේ තිබුණේ නෑ. ඒත් පස්සේ කාලෙක මගේ අතට මේ පිටපත නොලැබී තිබියදීත් මට යම් යම් අය ගැන, උදාහරණයක් හැටියට ද ලසර්දා ගේ චරිතයට හාන්ස් බිලිමූරියා ගන්න ඕන කියලා හිතුණේ පරාක්‍රම ජයසිංහගේ කේසරා චිත්‍රපටයේ මුලින්ම දැක්ක දවසේ. ඒත් ඒ වෙද්දි විජයබා කොල්ලය කරන්න මට අදහසක් නෑ. පස්සේ නයනානන්දගේ චරිතයට හේමාල් ගැළපෙයි කියලා. අසංගගේ චරිතයට අශාන් ඩයස් හරියයි කියලා හිතුණා. ඒත් ඒ වෙද්දිත් මට කිසිම අයිතියක් ලැබිලා තිබුණේ නෑ. ඊළඟ ප්‍රශ්නය තිබුණේ නීලමනී.

 

ඇයි නීලමනී ප්‍රශ්නයක් වන්නේ?

අද තියෙන ලොකුම අභාග්‍යය තමයි අපේ රටේ සිනමා නළු නිළියන් කියා පිරිසක් නැති වීම. අද ඉන්නේ ටෙලි නාට්‍ය නළු නිළියන් පමණයි. ඔවුන්ගෙන් වෙන් කරලා සිනමා රංගන ශිල්පීන් හඳුනා ගන්න අපහසුයි. ඉස්සර සිනමා නළු නිළියන් තෝරද්දි චරිතයකට නළුවන් හෝ නිළියන් පස්හයදෙනකු මනසේ මැවෙනවා. අද එහෙම එක්කෙනෙක්වත් නෑ. මේ රටේ දක්ෂ නළුනිළියන් බිහිකරන්නේ ටෙලිනාට්‍ය කර්මාන්තය. ඒ බව අවංකව කියන්න ඕනා. ඒත් නිතර දෙවේලේ ආලින්දයේ දකින මුහුණු සිනමා නළුනිළියන් ලෙස යොදාගන්න පුළුවන්ද කියන පැනය මට තිබෙනවා. ඒ නිසා මම පුළුවන් තරම් උත්සාහ කළා රූපවාහිනියේ දකින්න නොලැබෙන නළුනිළියන් යොදාගන්න. හේමාල්, අශාන් රූපවාහිනියේ නෑ. සෙනාලි ෆොන්සේකා එක ටෙලිනාට්‍යයක හිටියා මම ඇයට කොන්දේසියක් දැම්මා කරුණාකරලා මේ චිත්‍රපටය මුදා හරින තුරු ටෙලිනාට්‍යවලින් වැළකී සිටින්න කියලා. මෙය සිනමා කර්මාන්තය පිළිබඳ අර්බුදයක්. හමිදුම්මා චරිතයට මම චුලක්ෂි රණතුංග ගත්තේ. ඇය රූපවාහිනී නිළියක් නොවේ. මම කියන්නේ නෑ නළුවරණය සියයට සියයක්ම රූපවාහිනයෙන් මිදුණා කියලා. ඒත් සියයට අනූවක්වත් එයින් මිදෙන්න උත්සාහ කළේ මීට කලින් මම බැනුම් අහලා තිබෙන නිසා. ඒ සිනමාශාලා හිමියන්ගෙන්. ඔවුන් කියනවා ඔබතුමාලා ටෙලිනාට්‍යවල පෙනෙන මුහුණු චිත්‍රපටවලටත් ගෙනාවාම කොහොමද අපි නරඹන්නන් ආකර්ෂණය කරන්නේ කියලා. මේ බව කීවාම සමහරු උරණ වන්න පුළුවන් ඒත් එය තමයි සත්‍යය.

අතීතයේ සිටියේ සිනමා නළුනිළියන්. ප්‍රේක්ෂකයන් ඔවුන් අමතරව දුටුවේ පුවත්පත්වල පමණයි. ඒ නිසා සජීවීව ඒ ශිල්පීන් දැකගැනීමේ ආශාවක් ප්‍රේක්ෂකයන්ට තිබුණා. අද පැය 24පුරාම මේ අය දකින නිසා ප්‍රේක්ෂකයන්ට ඔවුන් විශේෂ නෑ. මට තියෙන වේදනාව අනිවාර්යයෙන්ම මේ ප්‍රතිභාසම්පන්න ශිල්පීන් මගේ සිනමා කෘතිවලට සහභාගී කරවා ගන්න නොලැබීම ගැනයි. මෙය මට විතරක් නොවේ සිනමා කර්මාන්තයේ සිටින බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්නයක්.

 

ඔබ සාමාන්‍ය පෙළ කරද්දි මේ නවකතාවේ චරිත පිළිබඳ යම් චිත්‍රයක් මවාගෙන සිටියාද?

නෑ. මගේ පාසල් සමයෙදි කවදාවත් චරිත පිළිබඳ රූපමාලාවක් මගේ ඔළුවේ මැවුණේ නෑ. ඒ නවකතාවේ සිද්ධි මාලාවට, කතාන්තරයට, භාෂාවට තමයි මම ඇලුම් කළේ. ඒත් මම සිනමාවට එලඹුණාටත් කලකට පස්සේ වරින්වර විජයබා කොල්ලය කියන නවකතාව මනසේ රැව් දුන්නා. මොකද මම සිනමා කර්මාන්තයට එලඹුණේ අනුපමා චිත්‍රකතාව චිත්‍රපටයකට හදමින්, මීදුම් සළු නවකතාවක්, කැලෑමල් නවකතාවක්, සිරිබෝ අය්යා කෙටිකතාවක් ඒ වගේ ගද්‍ය රචනා රැසක් මගේ චිත්‍රපට ගොන්නට පාදක වුණා. ඒත් මම දන්නවා විජයබා කොල්ලය කවදාවත් මට ලැබෙන්නේ නෑ කියලා. ඒ නිසා මනසේ චරිත මැවුණත් වහා ඉවත් කළා යථාර්ථයක් නොවෙන නිසා මටම දුක හිතෙයි කියලා. ඇත්තම කීවොත් මට නිෂ්පාදකවරු කීපදෙනකුම ඉන්නවා. එදත් හිටියා අදටත් හෙටටත් ඉන්නවා. ඉතින් යශෝධරා චිත්‍රපටයෙන් පස්සේ මම බුද්ධි කීර්තිසේන මහත්මයා හමුවෙන්න ගිහින් ඉල්ලුවා මට නිෂ්පාදකවරයෙක් ඉන්නවා මට විජයබා කොල්ලය දෙන්න කියා. ඊට පසුවයි මේ කතාව ඇරඹෙන්නේ. ඒ හැර පොඩි කාලේ මට එහෙම චරිත මැවුණේ නෑ.

 

ඩබ්ල්යු. ඒ. සිල්වා නවකතාකරුවා ගැන ඔබේ මතය කුමක්ද?

මම හිතන්නේ විශාල අසාධාරණයකට ලක් වූ නවකතාකරුවෙක්. අතීත නවකතා ඉතිහාසය බැලුවොත් තුන්දෙනයි අපට ඉන්නේ පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ල්යු. ඒ. සිල්වා. 1944 මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය නිකුත් කරන තුරු ශ්‍රේෂ්ඨයා ඩබ්ල්යු.ඒ. සිල්වා. ගම්පෙරළිය නිකුත් වුණාට පස්සේ මම 63 සාමාන්‍ය පෙළ කරද්දිත් නිර්දිෂ්ඨ ග්‍රන්ථය බවට පත්වෙනවා විජයබා කොල්ලය. පේරාදෙණිය, විද්‍යෝදය, කැලණිය විශ්වවිද්‍යාලවල නිර්දේශිත ග්‍රන්ථයක් බවට පත්වෙනවා මෙය. කොහොමද එහෙම වන්නේ? 44 ගම්පෙරළිය නිකුත් වුණා නම් එදා සිට විජයබා කොල්ලය අවලංගු වෙන්න ඕනා. ඒ පොත අවලංගු කරන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. ඒ වනවිට සිංහල නවකතා ඉතිහාසය හා විචාරය පළවෙලා.

ඒත් විශ්වවිද්‍යාලවලට හා අපොස සාපෙළට නිර්දේශ වනවා. මහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය මේ සම්බන්ධව පොතක්ම ලියනවා විජයබා කොල්ලය විවරණය කියලා. ඩබ්ල්යු. ඒ. සිල්වාගේ වටිනාකම පෙන්වා දුන් අය අතර මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය නන්දසේන රත්නපාල, කේ. ජයතිලක දෛවයෝග විචාරය කියලා දෛවයෝගය ගැන වෙනම පොතක් ලියනවා. මාර්ටින් වික්‍රමසිංහගේ ලීලා, සෝමා, සීතා, අයිරාංගනී කියන නවකතා හතරටම පූර්වාදර්ශ සපයන්නේ ඩබ්ල්යු.ඒ. සිල්වා. ඒ නිසා ඩබ්ල්යු.ඒ. සිල්වා කියන්නේ මහා සාහිත්‍යෙව්දියෙක්. ඒත් ලක්ෂ්මී කියන්නේ ෂී (ඉඩඥ) කියන නවකතාවය, විජයබා කොල්ලය කියන්නේ ෂෙරිඩන්ගේ පිසාරෝ කියන නාට්‍යයක කියලා විචාරකයන් එක වාක්‍යයකින් මේ මහා සාහිත්‍යකරුවා නිශේධනය කරලා දානවා. ඒ නිර්දය විචාරය ආරම්භ වන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් වුවත් ඔහුම පිළිගන්නවා සිංහල නවකතාවට පාඨකයන් එක්රැස් කරදුන් ජනතාවාදී නවකතාකරුවා ඩබ්ල්යු.ඒ. සිල්වා කියලා. එහෙත් මේ විචාරය නිසා සරච්චන්ද්‍රෙග් ගෝලබාලයින් සම්පූර්ණයෙන්ම ඩබ්ල්යු.ඒ. සිල්වා නිශේධනය කර දැමූ බව සුනන්ද මහේන්ද්‍ර, නන්දසේන රත්නපාල වැනි මහාචාර්යවරුන් පැහැදිලිවම කියනවා. ඇත්තටම මම විජයබා කොල්ලය කරන්න ඩබ්ල්යු.ඒ. සිල්වා සහ ඔහුගේ නිර්මාණ පිළිබඳ හැදෑරුවා. අපි හිතමු පිසාරෝ කියන නාට්‍යයෙන් විජයබා කොල්ලයට වස්තුබීජය ගත්තාමයි කියලා.

ඒත් ඒ තරම් සියුම් ගෙත්තමක්, ඒ තරම් අපූරු චරිත නිරූපණයක්, ඒ තරම් අපූරු කතා රසයක් ගොඩ නැඟීම ලේසි පහසු කෙනකුට කරන්න බෑ. මම හැමදාමත් කතන්දර අහන්න කැමති කෙනෙක්. සිනමාවෙනුත් මම කතන්දර කියන්න කැමති කෙනෙක්. ඒ නිසා මට විජයබා කොල්ලය කියන්නේ මහාර්ඝ මාණික්‍යයක්. ධනයක්. ඩබ්ල්යු.ඒ. සිල්වා කියන්නේ අපට සිටි සූර කතන්දරකරුවන් දෙතුන්දෙනාගෙන් කෙනෙක්. අද අපේ වාණිජ සිනමාවට තිබෙන ලොකුම අඩුපාඩුව තමයි සූර කතන්දරකරුවන් නැතිකම. මම සිංහල සිනමාවෙම දකින්නේ සූර කතාකරුවන් දෙන්නයි. ඒ, පී.කේ.ඩී. සෙනෙවිරත්න සහ තිස්ස අබේසේකර. ඩබ්ලියු.ඒ. සිල්වාත් ගැනෙන්නේ ඒ සූර කතාකරුවන් අතරට නිසයි බොහෝ නවකතාකරුවන් ඉඳීද්දී දිගින් දිගටම ඔහුගේ නවකතා සිනමාවට නැඟෙන්නේ. සිනමාවට නැඟුණු පළමුවැනි නවකතාව කැලෑහඳ, පළමුවැනි කෙටිකතාව දෙයියන්නෙ රටේ සිට රදළ පිළිරුව, සිරියලතා, දෛව යෝගය, හඳපාන, හිඟන කොල්ලා වගේ කතා පසුපස ඇයි සිනමාකරුවන් ගියේ? ඇයි වාණිජමය වශයෙන් ඒවා සාර්ථක වුණේ? ඒ සිල්වාගේ සූර කතාකලාව නිසා. එතකොට යම් හෙයකින් විජයබා කොල්ලය වාණිජමය වශයෙන් අසාර්ථක වුණොත් එය මගේ අදක්ෂකම මිසක ඩබ්ල්යු.ඒ. සිල්වාගේ අදක්ෂකම නම් නෙමේ. ඒ තරමට ඔහුගේ කතා විශ්වාසයි.

විජයබා කොල්ලය නවකතාව පිළිබඳ විචාරක මතය ඔබ සැලකිල්ලට ගත්තාද?

සමහර විචාරකයන් කියා තිබුණේ නයනානන්ද-නීලමනී-අසංග ප්‍රේම ත්‍රිකෝණය එක පැත්තක, බුවනෙකබාහු-මායාදුන්නේ-පරරාජසිංහ කියන දරුවන් තිදෙනා සහ ඔවුන්ගේ පියාවන විජයබාහුගේ කතාන්තරය වෙනම කියලයි. එහෙත් මෙය පරම අසත්‍යයක්. මේ කතාන්තරයෙන් ඉතිහාසය හා ප්‍රේමකතාව වෙන් කරන්න බෑ. ඔහු අරුම පුදුම විශිෂ්ට විදිහකට මේ විජයබා කොල්ලය කියන ඓතිහාසික නාමය සඳහන් සංසිද්ධියට ප්‍රේම ත්‍රිකෝණය සම්බන්ධ කර තිබෙනවා. ඉතිහාසය හෝ ප්‍රේමතිකෝණය ඉවත් කළොත් මේ නවකතාව නැතිව යනවා.

මෙතරම් සියුම් කතාවක පිටපත ලිවීමේදී ඉතා පරෙස්සම් විය යුතුයි?

ඔව්. තිස්ස අබේසේකර මෙහි තිබෙන සියුම් නාටකීය අවස්ථා ගොනු කරගෙන තිබෙනවා. ඇත්තම කීවොත් විජයබා කොල්ලය සම්පූර්ණ කතාව පැය දෙකක චිත්‍රපටයකට ගේන්න බෑ. එය පැය හතරකවත් ධාවන කාලයකට යන කතාමැද කතා රාශියක් සහිත එකක්. ඩබ්ල්යු. ඒ. සිල්වා බැඳ තිබූ ඒ සියුම් හුය නොබිඳෙන විදිහට ඇතැම් උපාඛ්‍යාන ඉවත් කර මේ ප්‍රේම වෘත්තාන්තය හා ඉතිහාසය එකට බද්ධ කර තිබෙනවා. තිස්ස අබේසේකයන්ගේ අවසාන තිර රචනය මෙය. එහෙත් ඔහු මෙහි දෙබස් ලියන්නට පෙර අභාවප්‍රාප්ත වූ නිසා මට ඒවා ලියන්නට සිදු වුණා.

තාක්ෂණ භාවිතය?

මගේ චිත්‍රපටවල හැමදාම නළුනිළියන් නම් වෙනස් වෙනවා. ඒත් කාර්මික ශිල්පීන් බොහෝවිට කුසපබා චිත්‍රපටයේ සිටම එකම පිරිස. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, අංග රචනය හර්ෂ මංජුල, දෘශ්‍ය ප්‍රයෝග බූඩි කීර්තිසේන, වස්ත්‍රාභරණ වෙනුක වික්‍රමාරච්චි, කේශාලංකරණය හරූන් ෂයිඩීන්, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක, නාද සැලසුම ඩිල් ෆිල්ම්ස් ඉන්ටනැෂනල් වෙනුවෙන් කාලිංග ගිහාන් ප්‍රනාන්දු, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර, නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී. රංජිත් කුමාර. අපි මේ චිත්‍රපටයේ අත්හදාබැලීමක් කළා. මෙය ප්‍රදර්ශනය වන්නේ (3ච්) ත්‍රිමාන තාක්ෂණය ඔස්සේ. මීට කලිනුත් චිත්‍රපට මේ තාක්ෂණය යටතේ කෙරුණත් ඒවා චිත්‍රපටය සම්පූර්ණයෙන් අවසන් වූ පසුවයි ත්‍රිමාණ බවට පත් කෙරුණෙ. ඒත් මේ චිත්‍රපටය රූපගත කිරීමේදීම ත්‍රිමාණ තාකෂණය යොදාගන්න පුළුවන් වුණා. හැබැයි ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් වෙනුවෙන් වැඩිපුර දින දහයක්වත් දර්ශනතලවල යෙදෙන්න සිදු වුණා. මොකද රූගත කිරීම්වලදී යම් යම් රූපරාමු ත්‍රිමාණ ශිල්පීන්ට අවශය ආකාරයට කරන්න සිදුවුණා. මම ඇත්තෙන්ම සතුටු වෙනවා මේ රටේ තරුණයන් මේ තාක්ෂණය සොයා යෑම පිළිබඳව.

මීට අවුරුදු හත අටකට කලින් නොසිටියත් අදවන විට වර්ණ සංයෝජකයන් කීපදෙනකු ඉන්නවා. 360 ප්‍රඩක්ෂන්ස් ආයතනයේ ත්‍රිමාණ ශිල්පීන් ගැනත් මට සතුටුයි. මෙය සිනමා ශාලා 75ක ප්‍රදර්ශනය කෙරෙනවා. ඒත් ඉන් 15ක වගේ පමණයි ත්‍රිමාණ ප්‍රක්ෂේපණය සහිත ශාලා තිබෙන්නේ. ඒ නිසා නිසැකයෙන්ම ත්‍රිමාණව රූපගත කළ පළමුවැනි චිත්‍රපටය බවට පත්වෙනවා.

කුසපබා චිත්‍රපටයෙ සිටම මම ශබ්ද සඳහා ගියේ ඉන්දියාවේ චෙන්නායිවලටයි. එත් පළමුවැනි වතාවට ඩිල්ෆිල්ම්ස් සමඟ කටයුතු කරමින් 5.1 ශබ්ද මිශ්‍රණය කරනවා. මම හිතනවා චෙන්නායිහිදී තරම්ම හොඳට මෙහි ශබ්ද සංකලන කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා. ලංකාවේ ප්‍රවීන් ජයරත්න යටතේ මේ කටයුතු කිරීමත් මට හරි සතුටක්.

කෝට්ටේ යුගයේ සැමරුම් සහිත ස්ථාන නැති තරම්. ඔබ ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද?

ඇත්තෙන්ම 1505 පරංගි ඇවිත් අවුරුදු 16ක් ඇතුළත ඒ කියන්නේ 1521 තමයි මේ සිදුවීම වන්නේ. අපට තිබුණු ලොකුම අභියෝගය තමයි 16 වැනි සියවසේ කොළඹ තියා මුළු ලංකාවේවත් එහෙම ස්ථානයක් හොයාගන්න අපහසු වුණා. ඒ නිසා නෝනාගම වැලිපටන්විල ප්‍රදේශයෙන් තමයි පරංගි ගොඩබැහැපු මුහුදු තීරය සොයා ගත්තෙ. මට හැමදාම වගේ මෙවරත් උපකාර වුණා රන්මිහිතැන්න. ඒ වගේම ගාල්ල සහ තවත් ප්‍රදේශ යොදාගත්තා.

එතකොට වස්ත්‍රාභරණ, වේශ නිරූපණය ආදිය පිළිබඳ ඔබ පර්යේෂණයක් කළාද?

කුසපබා චිත්‍රපටයෙන් තමයි වෙනුක වික්‍රමආරච්චි මම හඳුන්වා දුන්නෙ. ඒ වසරෙම ඔහුට සම්මානයකුත් ලැබුණා. ඔවුන් ඇඳුම් නිර්මාණ කලාව පිළිබඳ විදේශ පුහුණුව ලද අය. වේශනිරූපණය කරන හර්ෂ මංජුලත් සම්මානලාභී ශිල්පියෙක්. ඇත්තටම මම විශ්වාස කරන්නේ වාණිජ හෝ කලාත්මක හෝ වේවා හොඳ චිත්‍රපටයක් කරනවා නම් ඒ ඒ අංශවල ඉන්න ඉහළම දක්ෂතා ඇති හොඳම ශිල්පීන් ගතයුතුයි. එතකොට මගේ පැත්තෙන් කළ යුතු දේවල් අඩුවෙනවා. ඔවුන් තමන්ගේ කටයුතු හොඳීන් කරන නිසා.

අපට ඇත්තටම අභියෝගාත්මක වුණේ සිංහල ගැහැනුන්ගේ පිරිමින්ගේ ඇඳුම්. වැඩිදෙනා කෝට්ටේ යුගය පසුබිම්කරගත් කතා රූපවාහිනියටවත් අරගත්තේ නැත්තේ මේ කාලේ ඇඳුම් පැලඳුම් හෝ ගෘහනිර්මාණ කිසිවත් ඉතිරි වී නොතිබීම. ඒත් අපට ආරියවංශ වීරක්කොඩි මහත්මයාගේ පුතා ප්‍රසන්න වීරක්කොඩිගේ චිත්‍ර බොහෝ උපකාරි වුණා.

බුද්ධි කීර්තිසේන මහත්මයාගේ අතින් මෙය මට ලැබුණ දවසේ ඉඳන් ඒ පර්යේෂණයට යොමු වුණා. මට එහිදී පහසුවක් වුණා මගේ බයිලා කපිරිඤ්ඤා පොත 80 දශකයේ රචනා කරද්දි පෘතුගීසි යුගය ගැන කර තිබූ පර්යේෂණ. පිටපත අතට ලැබුණු පසුත් පෘතුගීසි යුගය ගැන ලියැවුණු පොත්පත් සියල්ල කියවලා දැනුම ලබා ගත්තා. මොකද දෙබස් ලියන්න හා මෙහෙයවන්න මට එය අත්‍යාවශ්‍ය නිසා. ලංකාව පාලනය කළ යුරෝපීය ජාතීන් අතරින් සිංහල ජාතියට විශාල වශයෙන් බලපෑවේ පරංගි. ඔවුන්ගේ කෑම බීම, ඇඳුම් පැලඳුම්, වචන තමයි අපට බලපෑවේ. ඒ නිසා තමයි මුල් පරංගි බයිලා එකක් මම යෙදුවේ. එහි තනුවත් පරංගි තනුවකට හුඟක් සමානයි. ඒ තුළ සිංහල භාෂාවට ඇතුළත් වුණු වචන 20ක් පමණ රැප් ආකාරයෙන් යොදා ගත්තා. මේ සැරේ බටහිර ඌරුවට ගිය ඒ වගේම ස්පාඤ්ඤ ගිටාරය මුල්කරගත්ත සංගීතයක් තමයි නිර්මාණය කළේ.

විජයබා කොල්ලය සටන් පිරුණු කතාවක්?

චිත්‍රපටයත් එහෙම තමයි. සුමුදු අමල්ක පාරම්පරික සටන් ශිල්පියා සමඟ මාස තුනකට පෙර සිට අපට සිදුවුණා පුහුණුවීම් කරන්න. ඇත්තටම සමහරු කියනවානේ පිටපතටම ලැදි වෙන්නේ නෑ කියලා. ඒත් මගේ ක්‍රමය තමයි පිටපතට හුඟක් ලැදි වීම. ඒ නිසා දෙබස් වුණත් හතරපස් පාර කපලා හදලා නළුනිළියන්ට කියැවෙන දෙබස් යොදලා බොහොම උනන්දුවෙන් තමයි එය කළේ. මම විශ්වාස කරන්නේ හරියටම නළුවරණය සහ පිටපත නිසි ලෙස කළොත් චිත්‍රපටයේ වැඩි හරියක් අවසන් කියන එක. මෙය සම්පූර්ණ ලාංකීය චිත්‍රපටයක්. සියල්ල ලංකාවේ කෙරෙන්නේ.

කවදාද අපට මෙය නරඹන්න ලැබෙන්නේ?

මැයි මාසය අවසානයේ ඊඒපි මණ්ඩලයේ මෙය ප්‍රදර්ශනය කෙරෙනවා.