‘මාතර ආච්චි’ අවුරුදු පනහකට පස්සේ හැරිලා බලනකොට හීනයක්

ප්‍රවීණ රංගවේදී, අධ්‍යක්ෂ සතිස්චන්ද්‍ර එදිරිසිංහ
ජනවාරි 12, 2023

“ආදරේ කියන්නෙ ජීවිතේ එකම මිහිරිම වේදනාවට.”

ඇත්තටම ආදරය කියන්නේ මිහිරි වේදනාවක් ද ? මේක දකිද්දී මට හිතුණා.

මෙහෙම කියලා තිබුණේ මීට වසර 50 කට ඉහත දී රිදී තිරය ආලෝකවත් කළ සිංහල චිත්‍රපටයක. සීමිත දෙවිඳු චිත්‍රපට වෙනුවෙන් සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ “මාතර ආච්චි” චිත්‍රපටයේ පෝස්ටරේ එදා මේ චිත්‍රපටය හඳුන්වල දීල තිබුණේ එහෙමයි. 1973 .01 .11 වැනි දින රිදී තිරයට පායපු මේ චිත්‍රපටයට 2023 .01.12 වැනි දිනට හරියටම වසර 50 ක් සම්පූර්ණ වෙනවා. මේ චිත්‍රපටයට අන්තර්ගත වුණු සුනිල් එදිරිසිංහයන් ගයන “සඳකඩ පහණක කැටයම් ඔපලා” ගීතය අදටත් තුඩ තුඩ රැව් දෙන්නේ මේ ඊයේ පෙරේදා ජනප්‍රිය වූ ගීතයක් ලෙසින්. මේ ගීතයටත් වයස වසර 50 කියලා කවුරුත් හිතන්න නැතුව ඇති අපේ කතාබහ අද වෙන් වන්නේ වසර 50ක් සපුරාලන ‘මාතර ආච්චි’ චිත්‍රපටය වෙනුවෙන්. එහි අධ්‍යක්ෂ ප්‍රවීණ රංගවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අතීත මතකය එක් කරන්නට අප හා එක් වුණා.

මාතර ආච්චි චිත්‍රපටයට අවුරුදු 50 පිරෙන මේ මොහොතේ එහි අතීතය ගැන කතා කරන්න කලින් චිත්‍රපටයට පසුබිම් වූ කරුණු කීපයක් ගැන මට මතක් වෙනවා. ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු’ නාට්‍යය හැව්ලොක් රඟහලේ දී දැකලා එදා රාත්‍රිය මට නින්ද ගියේ නෑ .ඒ මොකද මේ කතාව මගේ ඔළුවේ හොල්මන් කරන්න පටන් ගත්තා. මට හිතුණා ඇයි මේක මෙහෙම උණානම් හරි නැද්ද කියලා.විවිධාකාරයෙන් මේ කතාව මට වෙනස් වෙනස් ආකාරයට මැවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒකත් එක්කම රෑ 12ට විතර මට ආවා වෙනම සංකල්පයක්. මම රෑ දොළහට එකට විතර නැගිටලා කොල කෑල්ලක ඒක ලියලා තිබ්බා අමතක වෙයි කියලා හිතලා. අන්න ඒ වස්තු බීජය අරගෙන තමයි මම “අත්තික්කා මල් පිපිලා” කියන වේදිකා නාට්‍යය නිර්මාණය කළේ. ඒක මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. මම කරපු දෙවෙනි වේදිකා නාට්‍යය තමයි ඒ. වේදිකා නිර්මාණයක් කළත් මගේ යටි හිතේ හැමවෙලේම තිබුණේ චිත්‍රපටි ගැන. චිත්‍රපටයක් කරන්න පුදුම තරමේ ආසාවක් යටි හිතේ තිබුණා. නමුත් ඒකට පුහුණුවකුත් අවශ්‍ය නිසා ඉස්ඉස්සෙල්ලාම වේදිකා නාට්‍ය කරන්න පටන් ගත්තා. ‘අත්තික්කා මල්’ වේදිකා නාට්‍ය නරඹපු බොහෝ දෙනෙක් මේ නාට්‍යය හොඳයි කියලා මට ප්‍රතිචාර දැක්වූවා. ඒ කාලෙ කීප දෙනෙක්ම කිව්වා මේකත් චිත්‍රපටයකට හොඳ කතාවක් කියලා. ඒ 1964 දී. වික්ටර් රත්නායක මුලින්ම සංගීත නිර්මාණය කරන්න එක් වෙන්නේ මේ නාට්‍යයෙන්. ඒ කාලේ අපේ සුනිල් මල්ලිට වැඩිමල් මල්ලි නිමල් රංජිත් හිටියෙ රජයේ සංගීත විද්‍යාලයේ. ඒ කාලේ වික්ටර් රත්නායක රජයේ සංගීත විද්‍යාලයේ ඔහුත් එක්ක එකට ඉගෙන ගත්තා. මල්ලි තමයි මට දවසක් කිව්වේ පොඩි අයියේ, වික්ටර් කියලා කොල්ලෙක් ඉන්නවා කඩුගන්නාවේ ඉඳලා ආපු. මිස්ට අමරදේවත් වයලින් ගහන්න එක්කන් යන්නේ එයාව තමයි. අන්න කොල්ලා. හොඳ අනාගතයක් තියෙනවා කියලා මට කිව්වා.

ඒ හඳුන්වාදීමෙන් පස්සේ මම මගේ ‘අත්තිකා මල්’ වේදිකා නාට්‍යය සංගීත නිර්මාණය වික්ටර්ට දීලා බැලුවා. වික්ටර් ඉතාම හොඳ සංගීත නිර්මාණයක් ‘අත්තිකා මල්’ වේදිකා නාට්‍යයට කළා.

මම ‘මාතර ආච්චි’ චිත්‍රපටය කරන්න ප්ලෑන් කරන්නේ 1969දී. ඒ වෙනකොට චිත්‍රපටයට කවුරුත් තෝරගෙන හිටියේ නෑ. ඒත් මම ඵජපඪනබ එක ලිව්වා. පස්සෙ කාලෙකදි මට බර්ටි ජයසේකර උදව් කළා. බර්ටි ජයසේකර කියන්නේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය කරන්න සම්බන්ධ වුණු කෙනෙක්. ඒ කාලේ මගේ යාළුවෙක් හිටියා ෂෙල්ටන් කරුණානායක කියලා ඔහු මට ඔහුගේ යාළුවෝ මේ චිත්‍රපටයට සම්බන්ධ කරල දුන්නා.

එතැනින් පස්සේ තමයි දෙනවක හාමිනේ, වොලී නානායක්කාර, ස්වර්ණා මල්ලවආරච්චි එහෙම අරගෙන මම වැඩේ ප්ලෑන් කරන්න පටන් ගත්තෙ. චිත්‍රපටියෙ චරිතත් මමම තමයි තේරුවේ. නමුත් ඒ කාලේ ලේක්හවුස් ආයතනයේ සේවය කරපු තලංගම ජයසිංහ මහත්මයාට කියලා මේ චරිත ටික අන්දවා ගත්තා. කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් ටයිට්ල්වල එයාගේ නම තමයි යන්නේ. නාමාවලිය ඇන්ඳේ ඒ ඩී.රන්ජිත් කුමාර. මාලිනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, ජෝ ලිවේරා, කුවින්ටස් වීරකෝන්, විජය නන්දසිරි, සරත් ගුණරත්න, කේ ඒ.මිල්ටන් පෙරේරා වැනි විශාල අලුත් පිරිසකුත් මේ සඳහා යොදා ගත්තා. ඔය අතරේ මේ චිත්‍රපටයට අවශ්‍ය වන සින්දු ටිකත් ලෑස්ති කරගත්තා.

‘මාතර ආච්චි’ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ මුල් අවස්ථාවේදීම එහි ආ ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ ගීතය අතිශයින්ම ජනප්‍රිය වුණා. ගීතය ගායනා කරනු ලැබුවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් ගේ මලනුවන් වන සුනිල් එදිරිසිංහයන් විසිනි.ගීතය රචනා කරන ලද්දේ මෙම චිත්‍රපටයේම රංගනයට එක්වූ වොලී නානායක්කාර විසින්. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් පවසන පරිදි වොලී නානායක්කාර ට මේ ගීතය ලිවීම සඳහා ඔහුගෙන් ඇරැයුමක් තිබී නොමැත. එසේනම් අහඹු ලෙස මේ ගීතය වොලී නානායක්කාර විසින් රචනා කරනුයේ කෙලෙසදැයි සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අප හා පැවසුවේ මෙසේය.

ඇත්තටම වොලී ට මම කිව්වේ නෑ සින්දුවක් ලියන්න කියලා. මම කවුරු හරි එක්ක මේ සින්දුවට අදාළ කතා පුවත ගැන කිව්වා. ඒ වන විට වොලී නානායක්කාර එතන ඉදලා ඒක අහගෙන හිටියා. පහුවදා මේ මනුස්සයා මාව හොයාගෙන ඔරුගොඩවත්ත ඩිපෝ එකට ආවා. ඒ කාලේ මම සේවය කළේ සීටීබී එකේ ඔරුගොඩවත්ත ඩිපෝවේ. එහෙම ඇවිල්ලා මට කොලයක් දුන්නා. මෙන්න මේක කියවලා බලන්න කියලා. මම සින්දුවක් ලිව්වා මේක හොඳද කියල බලන්න. ඔහු කිව්වා. මම කොලේ බලපුවාම ඒක ඉතාම අගනා සින්දුවක්. චූටි ලස්සන අකුරු වලින් ලියලා තිබුණා. වොලී එතකොට ලේක්හවුස් ආයතනයේ සරසවිය සිනමා උළෙලේ මුල්ම නිවේදිකයා විදිහටත් කටයුතු කළා. සඳකඩ පහණක කැටයම් ඔපලා ගීතය මාතර ආච්චි චිත්‍රපටයට වොලී ලියන්නෙ අන්න ඒ විදියට. ඊට පස්සේ ඒක මම වික්ටර් දුන්නා සංගීතවත් කරන්න කියලා.

සඳුන් සිහින සිහිල් අරණ

පාළු ප්‍රේම නගරයේ

නුවන් නිවන පහන් තරුව

වල්මත් වූ ජීවිතේ

මේ ගීතය මාතර ආච්චි චිත්‍රපටයට රචනා කළේ සුනිල් ආරියරත්නයන්. ගීතය ගායනා කළේ වික්ටර් රත්නායක සමඟ සුජාතා අත්තනායක. මේ චිත්‍රපටයට තව ගීතයක් රචනා කළා සිරි කුලරත්න.

 

රන් දේදුනු රන් පාටින් වේලුණ රන් වලා රන්වන් රන් පැහැය මුදා නිලම්බරේ බලා

මේ ගීතය ලියලා ඔහුම කිව්වා අපි මිල්ටන් මල්ලවාරච්චිට මේ ගීතය දෙමු කියලා. ඒ වන විට මිල්ටන් මල්ලවආරච්චි ගායකයකු වශයෙන් ක්ෂේත්‍රයට පැමිණිලා ඉවරයි. එහෙත් චිත්‍රපට පසුබිම් ගායනයට ඔහු පැමිණිලා තිබුණේ නෑ. මිල්ටන් මල්ලවආරච්චිගේ පළවෙනි චිත්‍රපට ගීතය වුණේ මාතර ආච්චි චිත්‍රපටයට ගයපු මේ ගීතය. නමුත් චිත්‍රපට තිරගත කිරීමේදී ඉන් පසු ඔහු ගායනයෙන් සම්බන්ධ වුණු ‘රන් ඔන්චිල්ලා’ චිත්‍රපටය ඉක්මනට ප්‍රදර්ශනය වුණා. නමුත් රෙකෝඩ් කළ පළමු ගීතය වුණේ මාතර ආච්චි චිත්‍රපටියේ මේ ගීතය.

සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අතීතය මතක් කරනුයේ සීරුවෙනි. වසර 50ක් ඉක්ම ගියද චිත්‍රපටය හා සම්බන්ධ සියලු කරුණු කාරණා ඔහුට අද ඊයේ මෙන් මතකය. මේ අතීත කතා විමසද්දී සිතෙනුයේ එදා චිත්‍රපටයක් එළිදැක්වීම සඳහා කෙතරම් නම් දුෂ්කර ක්‍රියාවක් කළ යුතු දැයි යන්න ය. ඒ දුෂ්කර ක්‍රියාව කරන්නට සතිස්චන්ද්‍රයෝ ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටියා. ඒ තම සිතේ උපන් සිනමාව කෙරෙහි බැඳුණු අසීමිත ආදරය නිසාවෙන්. ඒ ආදරය පෙරදැරි කරගෙන නොපසුබට උත්සාහයෙන් යුතුව අධිෂ්ඨානශීලීව ඔහු චිත්‍රපටය නිම වන තුරු ආපසු හැරුණේ නෑ. එසේ ආපසු නො හැරීම නිසා අද ලාංකීය සිනමා වංශ කතාව තුළ මාතර ආච්චි නම් වූ චිත්‍රපටය අපට කතාබහ කරන්නට හෝ ඉතිරි වී තිබෙනවා.

චිත්‍රපටයේ මම කරපු චරිතය කරන්ඩ මම තෝරගෙන හිටියේ ටෝනි රණසිංහ. මට මුලදි රඟපෑමේ ආසාව තිබුණට පසුකාලීනව මට වැටහුණා අධ්‍යක්ෂණය කිරීමේ භාරදූර බව. මට හිතුණා අධ්‍යක්ෂණය කරන එක හොඳයි රඟපානවට වඩා කියලා. ඒක නිසා තමයි මම ටෝනි ව මේ සඳහා තෝරා ගන්නේ. නමුත් ටෝනි චිත්‍රපටයට සම්බන්ධ වන නළු නිළියන්ගේ ප්‍රශ්නයක් නිසා මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අකමැති වෙනවා. ඒ වන විට අනිත් නළු නිළියන් මම ලෑස්ති කරගෙන හිටපු නිසා ටෝනි වෙනුවට මම ඒ චරිතය රඟපාන්න ගන්නවා. මම පස්සේ හිතනවා ඒක මට දෛවය විසින් හිමි කරලා දුන්න එකක් කියලා. මේ සියල්ල ලෑස්ති කරගෙන චිත්‍රපටය ආරම්භ කරන්න හදනකොට නිෂ්පාදකවරයා වශයෙන් ඉදිරිපත් වෙලා හිටපු කෙනා චිත්‍රපටය කරන්න අකමැති වෙනවා. ඊට පස්සේ වෙනත් නිෂ්පාදකයෙක් හොයන්න සිද්ධ වෙනවා. ඒ කාලේ මගේ මිතුරා ෂෙල්ටන් කරුණානායක කිසියම් ආයතනයක සේවය කළා. මම නිතරම එතනට යනවා මගේ මිතුරාව මුණගැහෙන්න. එතනට ධනවත් මුදලාලිලා එහෙම එන නිසා මට ඒ මාර්ගයෙන් කවුරුහරි නිෂ්පාදකවරයෙක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතුණා. එතනට නිතර යනකොට මම දකිනවා ඒ අය දිනපතා ම බීර, බයිට් ආදිය ගෙනත් හැමදාම හැන්දෑවට පාටි දාන ආකාරය. දවස් දෙකක් තුනක් මම මේක දිහා බලන් හිටියා.ඊට පස්සේ එතන ලොකු මහත්තයට මම කිව්වා ඔබතුමාලා මේ කරන වැඩේ නතර කරන්න කියලා මම කියන්නේ නෑ. ඕක දිගටම කරගෙන යන්න. හැබැයි දවසට රුපියල් සීයක් හෝ 150ක් හෝ මේකට වියදම් කරනවා නම් ඒකෙන් පුංචි ගාණක් මට ණයට දෙන්න. මෙහෙම කියලා මම මාසයක් ඇතුළත එයාගෙන් රුපියල් අටසිය අසූවක් ණයට ගත්තා. ඒ 880 මට චිත්‍රපටයේ පළමු වෙනි දින ෂූටින් සඳහා හරියටම ඇති. කැමරා හයර්, ලයිට්, කෑම දඥඨචබඪමඥ නධඵඪබඪමඥ මේ ඔක්කොටම රුපියල් 880 ඇති. මේ සල්ලිවලින් මම මාකොළ සපුගස්කන්ද විද්‍යාලයේ ඉස්සරහ පිට තිබුණ පරණ ගෙදරක ස්වර්ණා වොලී විවාහ වෙන දර්ශනය රූ ගත කළා. ඒ දර්ශනයට චන්ද්‍රා කළුආරච්චි, ධර්මදාස කුරුප්පු, මම, නීටා ආදිය ඇතුළත් වුණා. ජෝ ලිවේරාත් හිටියා මට මතකයි. දැන් මම අඩි 800රූගත කරලා ඉවරයි. දැන් මට ඕන වුණේ උනේ මේක හොඳද කියල බලන්න තව කෙනෙකුට පෙන්වන්න පුළුවන්ද කියන එකයි .මම සරසවි චිත්‍රාගාරයට එක්ක ගිහිල්ලා මේ අඩි 800 පෙන්නන්න පටන් ගත්තා. ඒක බලපු අයට තේරුණා චිත්‍රපටය හොඳට කරලා තියනව කියල නළු නිළියොත් හොඳයි. ඊට පස්සේ මුලින් හිටපු නිෂ්පාදකවරයා තව සල්ලි ටිකක් දෙන්න පොරොන්දු වුණා. අනිත් යාළුවත් තව සල්ලි ටිකක් දෙන්න කැමති වුණා. ඔය අතරේ මගේ මස්සිනා කෙනෙක් මට සම්බන්ධ කරල දුන්නා මහින්ද දිසානායක කියලා මහත්මයෙක් එතුමාත් සල්ලි ටිකත් මට දුන්නා. දැන් ඉතින් හම්බවෙන හම්බවෙන ප්‍රමාණය හැටියට චිත්‍රපටය දර්ශන ගත කරනවා. නිකං ඉන්න හිතෙන්නෙම නෑ දවසක් දෙකක් දාගෙන රූගත කරනවා. ඊට පස්සේ මල්ලවආරච්චි කියල කෙනෙකුත් මට හඳුන්වලා දුන්න ජෝ මයිකල් මහත්මයා. ඉන් පස්සෙ එතනින් එහාට මේ චිත්‍රපටය ගෙනියන්න බෑ ඉවර කරගන්න සල්ලි මදි.

ඔහොම ඉන්නකොට ඔන්න බබෝ ඇතින්නියා නාට්‍යය කුලියාපිටියේ පෙන්වන්න අපි ඔක්කොම ගියා. එකේ රුක්මණිදේවි, මම, ප්‍රේමා ගණේගොඩ, ලොයිඩ් වාකිෂ්ඨ ආදිය රඟපෑවා 03:30 දර්ශනය ඉවර වෙලා හයයි තිහේ දර්ශනය පටන් ගන්න ඉස්සරලා සංවිධායක නිෂ්පාදකට සල්ලි දෙන්න ඕන.එතකොට තමයි නාට්‍යය පෙන්වන්නේ. නමුත් මෙතැනදී හයයි තිහේ දර්ශනය පෙන්වන්න කලින් සංවිධායක මාරු වුණා. ඔය වෙලාවේ නාට්‍ය බලන්න ආපු කට්ටිය අපිත් සමඟ කතාබහ කරලා එක තැනක රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කළා. ඒ භෝජන සංග්‍රහයට ගියාට පස්සේ ඒ ගෙදර මිදුලේ නවත්තලා තිබුණා ශාස්ත්‍රෝදය නපඪදබඥපඵ කියලා ගහපු ලොරියක්. ඒක දැක්කම මට මගේ මතකයට ආවා නව සිනමා කියලා ථචඨචලඪදඥ එකක් මේ අය මුද්‍රණය කළා කියලා. ඒ කාලේ මමත් ඒකට මාතර ආච්චි ගැන දැන්වීමක් දුන්නා.

මම කළේ කට්ටිය එක්ක සෙට් වෙන වැඩේ පැත්තකින් තියලා එයත් එක්ක කතාවක් දාපු එක. මොකද එයා සිනමාවට කැමතියි කියලා මට තේරුණා. ගල් දහයක් ගහනකොට එකක් හරි හරි යයිනේ කියලා හිතලා මම මට හම්බ වුණු හැම කෙනෙකුටම මේ කතාව ගැන කියනව. ටික දවසක් යනකොට මට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ආවා. ඔබේ චිත්‍රපටය සඳහා මුදල් ආයෝජනය කරන්න මම කැමැතියි. ඇවිල්ලා මුණගැහෙන්න කියල. ඒ ලිපියේ ලියල තිබුණා. මේ යුගය 1971කැරැල්ල ආරම්භ වෙච්ච යුගය. නිතරම ඇඳීරි නීතිය වැටිලා. ගමන් බිමන් අපහසුතා හරියට තිබුණා. මේ පුද්ගලයා මට එන්න කිව්වට ඔහුව මුණගැහෙන්න යන්න මට විදිහක් නෑ. හවස 06:00 ට ඇඳීරි නීතිය දාන නිසා ගිහිල්ල එන්න අමාරුයි. ඔය අතරේ වෙසක් පෝය දා රෑ දොළහ වන තුරු ඇඳීරි නීතිය දික් කළා. අන්න ඒ මොහොතේ මම බස් පාස් එකකුත් ලියාගෙන ඔහුව මුණගැහෙන්න ගියා. ගිහිල්ලා කතා කරපුවාම එදා මට රුපියල් 2500ක් වගේ මුදලක් දුන්නා. ඊට පස්සේ තව මුදල් දුන්නා.චිත්‍රපටය ඉවර වන තුරු ම එයා තමයි ඊට පස්සේ සල්ලි දුන්නෙ. නමුත් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා හැටියට මට මුලින් උදව් කරපු හැම කෙනාගෙම නම යනවා. මේ නිෂ්පාදකවරයා ම තමයි පසුකලක මට “ශ්‍රී මදාරා” චිත්‍රපටය කරන්නත් මුදල් දුන්නේ. ඔහුගේ නම දයානන්ද වන්නිආරච්චි. ඔහු කුලියාපිටිය හිටපු නගරාධිපති. ශාස්ත්‍රෝදය නපඪදබඥපඵ අධිපතිතුමාගේ පුතා. ඔහුගේ පිහිටෙන් තමයි මාතර ආච්චි චිත්‍රපටය මම ඉවර කරගත්තේ.

මාතර ආච්චි චිත්‍රපටය නිම කිරීමට සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් දැරූ දුෂ්කර ක්‍රියාව කොතෙක් දැයි මෙයින් පැහැදිලි වේ.

මාතර ආච්චි චිත්‍රපටය කැලණිය, කොළඹ හලාවත, අනුරාධපුරය, දඹුල්ල, ත්‍රිකුණාමලය, මහනුවර, කිරින්ද, කතරගම තංගල්ල වගේ ප්‍රදේශවල තමයි රූගත කිරීම් කළේ. මේ චිත්‍රපටය භූගෝලීය සංස්කරණයක් නැතුව කරපු චිත්‍රපටයක්. 1973 දී තමයි චිත්‍රපටිය පෙන්නුවෙ. නමුත් මේ චිත්‍රපටයට නරක දසාවක් ආවා. ඒකට හේතු වුණේ වුණේ 1971 වන විට චිත්‍රපට සංස්ථාවේ පනත සම්මත වුණා. හැබැයි ක්‍රියාත්මක වුණේ නෑ. හැත්තෑ තුනේ චිත්‍රපටය නිදහස් වෙනකොට මම ඒ සංක්‍රාන්ති කාලෙට අහුවුණා. ඒකෙන් උනේ හෝල් කාරයින්ට මුදල් ගරා ගැනීමේ හැකියාව ලැබීම විතරයි. සිනමාස් සමාගම ඒගොල්ලන්ගෙ පරීක්ෂකවරු ඇරලා මේක හරියට පරික්ෂා කළෙත් නෑ. ඒක නිසා චිත්‍රපටයෙන් අපට ලැබුණේ අඩු ආදායමක්. නමුත් ඒ උණාට වියදම් බේරගෙන පොඩි ලාභයක් ලැබුණා. නමුත් මේ චිත්‍රපටිය නිසා අපි කර්මාන්තයේ වැඩ ඉගෙන ගත්තා. චිත්‍රපටියේ කැමරා අධ්‍යක්ෂකවරයා විදියට අපි ප්‍රවීණයෙක් වන ඩබ්ලිව්.ඒ.බී ද සිල්වා තමයි යොදා ගත්තේ.අනිත් අය හුඟක් අලුත් අය. නමුත් හැම දෙනාගේම සහයෝගය මේකට හම්බවුණා. ඒ නිසා සෑහෙන දුෂ්කර ක්‍රියාවක් කරල අපි වැඩේ නිමකළා. ඇත්ත වශයෙන්ම මාතර ආච්චි චිත්‍රපටය ගැන අවුරුදු පනහකට පස්සේ හැරිලා බලනකොට මට හිතෙන්නෙ හීනයක් සැබෑ වුණා කියලා තමයි.

සතිස්චන්ද්‍රයන්ගේ කතාව අසාගෙන සිටින විට සැබැවින්ම එය සිහිනයක් ම තමයි කියා අපට ද සිතුණා. චිත්‍රපටයක් වෙනුවෙන් මේ තරම් දුෂ්කර ක්‍රියාවක් කරයි කියා අද නම් කිසි විටෙකත් හිතන්නට අමාරුයි. වර්තමානයේ මෙන් තාක්ෂණික පහසුකම් නැති යුගයක මේ තරම් උත්සාහයකින් නිර්මාණයක් කරනවා යනු එය අධිෂ්ඨාන ශක්තියේ ම බලමහිමයක්. අතීත ස්මරණයන් සිහිපත් කරමින් ම සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් වත්මනෙහි සිනමාවට කැමැත්තක් ඇති ක්ෂේත්‍රය ට පැමිණීමට ආසාවෙන් සිටින දුප්පත් තරුණ නිර්මාණකරුවන්ට උපදෙසක් දෙන්නට ද අමතක නොකළේය.

නිර්මාණ කුසලතාවය තියෙන දුප්පත් තරුණ නිර්මාණකරුවන්ට මට දෙන්න තියෙනවා අවවාදයක්. මේක අවවාදය කටත් වඩා උපදේශයක්. මගේ සිරිතක් තියෙනවා ඉස්සරහට තිබ්බ කකුල මම පස්සට ගන්නේ නෑ. අපි කොච්චර ප්‍රාර්ථනා කළත් අපිට හරියන්නේ නෑ. අපට තියෙන්න ඕන අධිෂ්ඨානය. අරමුණක් තියෙන්න ඕන. මට එතකොට අරමුණක් තිබුණා. මම හොඳ කලාකරුවකු වනවා. හොඳ නිර්මාණ කරනවා. මේක ඉගෙන ගන්නවා. මේකෙ ප්‍රවීණයකු බවට පත්වෙනවා කියලා මට තරුණ කාලෙදිම අධිෂ්ඨානයක් තිබුණා. අපි තේරුම් ගන්න ඕන අපි ළඟ තියෙන හැකියාව මොකක්ද? ඒ හැකියාවන් අපි වර්ධනය කරගන්නේ කොහොමද ? කියලා ඒ වර්ධනය කරගත් හැකියාව තමයි නිර්මාණයක් තුළින් ප්‍රදර්ශනය වෙන්නේ. එතකොට බැහැයි කියල දෙයක් නෑ. අපි බලන්න ඕන මොකද්ද අපේ අරමුණ. මේ අරමුණ සාක්ෂාත් කරගන්න තියෙන අවශ්‍යතාවයන් මොනවාද ? බාධාවන් මොනවාද ? අන්න ඒක අඳුනාගෙන අර කඩඉම ජය ගන්න ඕන. මම ඉගෙනගෙන තියෙනවා ජීවිතය කියන්නේ අත් දැකීම් අත්හදා බැලීම සහ අපේක්ෂාවන් කියලා.පහුගිය අවුරුදුවල තිබුණු අත්දැකීම් අනුව වර්තමානයේ අපි පරීක්ෂණ කරනවා. හැබැයි ඒක කරන්න ඕන අනාගත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහායි. අනිත් කාරණාව තමයි අපි හැමතිස්සෙම ධනාත්මකව හිතන්න ඕන. බිල් ගේට්ගෙ කියමනක් තියෙනවා. කෙනෙක් දුප්පත් වී ඉපදීම ලැජ්ජාවට කාරණාවක් නොවෙයි. නමුත් කෙනෙක් දුප්පත්ව මැරෙනවා නම් ඒක ලැජ්ජාවට කාරණාවක් කියලා. අපිත් පෝසත් පවුල්වල ඉපදුණ අය නොවෙයි. නමුත් අද අපි මහ පෝසතුන් නොවුණට දුප්පත් අය නෙවෙයි. කිසියම් කාලයක් ඇතුළත කිසියම් තලයක් හදාගත්තා. ඒ හදාගත්තේ තමා තුළින් තමා දැකීමෙන්.

මාතර ආච්චි චිත්‍රපටියේ ජනප්‍රිය වූ ගීත අතර ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ වගේම ‘අඳුර බිඳීන්නට රැයක් දවාලූ’ ගීතය ද විය. මේ ගීතය නිර්මාණය වූයේද අතිශයින්ම අහම්බයකිනි. එය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මතක පොතේ ඇත්තේ මෙපරිද්දෙනි.

අඳුර බිඳීන්නට ගීතය ගැන මට විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා සඳකඩ පහණ ගීතයයි, සඳුන් සිහිනයයි, රන් දේදුනු කියන ගීත තුනේම වචන ඒ වන විට මම වික්ටර් දීලා තිබුණේ සංගීතය නිර්මාණය කරන්න. මේ ගැන හොයා බලන්න මම දවසක් වික්ටර් ඉන්න නාවල ගල්පොත්ත ගෙදරට ගියා එතැන හැමතිස්සේම ඉන්න පිරිසක් ඉන්නවා. ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ ධර්මවර්ධන, බණ්ඩාර කේ විජේතුංග, චින්තන ජයසේන වගේ පිරිසක් නිරන්තරයෙන් එතැන රැස් වෙලා ඉන්නවා. මම මෙතනට ගිහිල්ල වික්ටර් සමඟ අනිත් ගීත ටික බලලා සංගීතයද අහලා රෙකෝඩ් කරන්න දිනයකුත් දාගෙන එළියට ආවා. මම එදා එතැනට ගියේ මොරිස් මයිනර් ටැක්සි එකක.වික්ටර්ගෙ ගෙදරින් එළියට ආවම ඉස්සරහට ආවේ ප්‍රේමකීර්ති ද අල්විස්. මම ඔහුට කිව්වා ප්‍රේම් තව එක සින්දුවක් ලියාගන්න තියෙනවා මම ඔයාව හම්බවෙන්න එන්නම් ඒක අපි හිමින් කර ගමු කියල. එතකොට ප්‍රේමකීර්ති ඇහුවා මොකක්ද සිටුවේෂන් එක කියලා. මම ටැක්සි එක ඉස්සරහ දීම කතාව කිව්වා. ඔහු සාක්කුවට අත දාල බ්‍රිස්ටල් පැකට් එකක් ගත්තා. ඒකෙ සිගරට් එකකුත් තිබුණා. ඒක පත්තු කරල බිස්ටල් පැකට් එක කඩල දිග ඇරියා. පෑන ගත්තා. කාර් එකේ බොනට් එක උඩ තියාගෙන අඳුර බිඳීන්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවනා කියලා ගීතය ලියලා දුන්නා. විනාඩි දහයක් වත් ගියේ නෑ මගේ හිතේ. ඒකනං විශ්වකර්ම වැඩක්.

අනිත් කාරණය තමයි මම මේ චිත්‍රපටයේදී යුග තුනක නළු නිළියෝ එකතු කරගත්තා එඩී ජූනියර්, රූබි ද මෙල්, පර්ල් වාසුදේවි, සැමුවෙල් රොද්‍රිගු, ධර්ම ශ්‍රී මුණසිංහ ආදීන් වගේම නව පරපුරේ නළු නිළියන් රාශියක් ද මේකට සම්බන්ධ කරගත්තා. ඒ බොහෝ නළු නිළියෝ පසු පසුකාලයක ඉතාම හොඳ තැනකට ආවා. ඒ කාලේ බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා ඔබ ආධුනිකයකු වෙලත් පළවෙනි වතාවට කරන නිර්මාණයට ඇයි මේ තරම් ආධුනිකයන්ට අවස්ථාව දුන්නේ කියලා. මගේ උත්තරේ උණේ වුණේ මම නළුවෙක් වෙන්න ප්‍රවීණයන් ළඟට ගිහිල්ලා මගේ ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණා. එතකොට මට වේදනාවක් ඇතිවුණා. මම කල්පනා කළා මම කවදහරි මොනවා හරි නිර්මාණයක් කරන කොට ආධුනිකයින් දක්ෂ නම් මම ඒ අයට අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙනවා කියලා. ඒ මොකද මට ඇතිවුණු වේදනාව ඒ අයට ඇති වෙන්න හොඳ නෑ. මම මට ආදරේ කරන්නැතුව අනුන්ට ආදරය කරන්න බෑ. අපි අනුන්ට ආදරය කරන කොට ගෞරව කරපු තරමට තමයි ආපහු ඒක නිරායාසයෙන්ම අපිට ලැබෙන්නේ. එතකොට කලාකරුවා කියන කෙනා අනිවාර්යනේම මානව දයාවේ සංකේතයක් විය යුතුයි.

 

 

මාතර ආච්චි

1973.01.11

නිෂ්පාදනය - සීමිත දෙවිඳු චිත්‍රපට

අධ්‍යක්ෂණය - සතිස්චන්ද්‍ර එදිරිසිංහ

රඟපෑම්- වොලී නානායක්කාර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, ජෝ අබේවික්‍රම, නීටා ප්‍රනාන්දු, මාලිනී ෆොන්සේකා, දෙනවක හාමිනේ, සී.ඒ.ආර් මරික්කාර්, රූබි ද මෙල්, ටී එෆ් මොහොමඩ්, සැමුවෙල් රොද්‍රිගු, බන්දු මුණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පැටීමා ප්‍රනාන්දු, සරණපාල සූරියආරච්චි, දොන් සිරිසේන, ජෝ ලිවේරා, ෆ්‍රෑන්ක් පෙරේරා, රෝහණ හෙට්ටිආරච්චි, ධර්මදාස කුරුප්පු, චන්ද්‍රා කළුආරච්චි, අග්‍රා පෙරේරා, සිරි කුලරත්න, පර්ල් වාසුදේවි, එඩී ජූනියර්, ක්‍රිස්ටි පෙරේරා, චන්ද්‍ර ගුරුගේ, අශෝක හේවාවිතාරණ, ජෝ මයිකල්, ධර්ම ශ්‍රී මුණසිංහ, විජයනන්දසිරි, කුවින්ටස් වීරකෝන්, සරත් ගුණරත්න, කේ. ඒ.මිල්ටන් පෙරේරා, ෂෙල්ටන් කරුණාරත්න, උදය එදිරිසිංහ, විමලරත්න බුලේගොඩ, ෂෙල්ටන් ඩයස්, ආර්. සිරිවර්ධන, කුලසිරි ද සිල්වා, ෆ්‍රෙඩී අබේසුන්දර, ලයනල් දිසානායක, ඩී.එස්.පී.හෙට්ටිආරච්චි, එස් .ඩී .එස් අප්පුහාමි, කේ.ටී. පෙරේරා, නෙවිල් පෙරේරා, ජෝ හෙන්රි ප්‍රේමලාල් නන්ද කුමාර

කළු සුදු මිලිමීටර් 35

 

චිත්‍රපටයට ඇතුළත් වූ ගීත

 


සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුණු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියන
දහනක දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැළ වෙද්දී

දහසක් පෙති මත රහසක්
කොඳුරා තුඩින් තුඩට ගෙනයන බින්දු
ගව්වක් ඉහළට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවුණු වැහි බිංදූ
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවකෙක් ඈ වෙත හද රැන්දූ

හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටි බලා

පදමාලාව - වොලී නානායක්කාර
ගායනය - සුනිල් එදිරිසිංහ



අඳුර බිඳීන්නට රැයක් දවාලූ
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තවදවසක් ගෙනවිල්ලා

මතකය නම් වූ මළ පොත පෙරළා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොලවා ගත්
දෑතෙහි දසැඟිලි දිග හැර ලනු මැන
එහි මොනවද ඇත්තේ කිසිත් නැත
හිස් බවකිය ඇත්තේ

සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන හදවත සපුරාලන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමණයි පිළිසරණය වන්නේ

පද මාලාව- ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය - වික්ටර් රත්නායක
රන් දේදුනු රන් පාටින් වේලුන රන් වලා
රන්වන් රන් පැහැය මුදා නිලම්බරේ බලා
අඹර බලා
සිසිල පවන අතිනත ගෙන දෑත විදාලා
ඉගිළී යනවා
මොහොතින් මොහොතට රඟ දෙන්නේ
දවසින් දවසට පෙරළෙන්නේ
භවයෙන් භවයට උපදින්නේ
ඒ මිහිරි අනන්තය හමුවන්නේ
අපට නැතේ එය ළංවන්නේ

ඉද්ද සමන් පිච්ච කැකුළු බැද්දේ පිපීලා
බැද්ද තුළින් සිනිඳු සුමුදු පියලි ඉසීලා
තඹර විලයි බඹරෙක් ඇළයි පොකුරු ගැසීලා
නෙතඟ ගැටෙයි ගීතයට රැඟුම් රඟාලා
මොහොතින් මොහොතට ......

රිදී කඳන් පෙරළි පෙරළි සිඹින වැලිතලා
බටිති මලිති මුමුණ මුමුණ රඟති තටු සලා
පවස නිවන සිහිළ දනන සොඳුරු තැනිතලා
ගයන වයන ගීත නදට විහග ගීත මත් වෙලා
මොහොතින් මොහොතට ....

පදමාලාව - සිරි කුලරත්න
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි



පිරිමි - සඳුන් සිහින සිහිල් අරණ
පාළු ප්‍රේම නගරයේ
ගැහැනු - නුවන් නිවන පහන් තරුව
වල්මත් වූ ජීවිතේ
පි- අහංකාර රෝස කැකුළු මානවිකාවෝ
ඔබ දුටු සඳ අඬති දොඩති විළි වැද සැඟවී
මා හදවත් මරුකතරේ අලංකාර නීල වාහිනි

පි- සඳුන් සිහින.....
පි- ඉන්දීවර නීලනයන අහස් විලේ පිපී සැලේ
ගැ- බඹර කළඹ සලඹ සලා
ඔබ සොයා ඇදේ
සඳුන් සිහින සිහිල් අරණ ....

පදමාලාව - සුනිල් ආරියරත්න
ගායනය - වික්ටර් රත්නායක
සුජාතා අත්තනායක  


කැමරාව හා සංස්කරණය - ඩබ්ලිව්.ඒ. බී. සිල්වා
සංගීතය- වික්ටර් රත්නායක (ප්‍රථමවරට)
කතාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂණය- සතිස්චන්ද්‍ර එදිරිසිංහ (ප්‍රථමවරට)
තිරනාටක සහාය - බර්ටි ජයසේකර
ගී පද රචනා - ප්‍රේමකීර්ති ද අල්විස්
සුනිල් ආරියරත්න
වොලී නානායක්කාර (ප්‍රථමවරට)
සිරි කුලරත්න ප්‍රථමවරට
වෙස් ගැන්වීම- හපුආරච්චි වෛද්‍යසේකර
කලා අධ්‍යක්ෂණය- තලංගම ජයසිංහ
ලයනල් දිසානායක
නිශ්චල ඡායාරූප- ක්‍රිස්ටි පෙරේරා
ශාන්ත ශ්‍රී ලාල් පෙරේරා
වයික්කාලේ විල්බට් පෙරේරා
ගීත ගායනය- වික්ටර් රත්නායක
සුජාතා අත්තනායක   
මිල්ටන් මල්ලවආරච්චි (ප්‍රථමවරට)
හඳුන්වාදෙන - සුනිල් එදිරිසිංහ (ප්‍රථමවරට)
සංස්කරණ සහාය - අශෝක නිශ්ශංක

 

හරිම විනෝදයෙන් ගත කළ කාලයක්

නීටා ප්‍රනාන්දු

මාතර ආච්චි චිත්‍රපටය මම ගොඩක් කැමැත්තකින් රඟපෑව චිත්‍රපටියක්. මට රඟපාන්න තිබුණේ ස්වර්ණා මල්ලවආරච්චිගේ යෙහෙළියක් හැටියට. මට තවමත් මතකයි බස් රථයක් තුළ විනෝද චාරිකාවක් යන දර්ශනයක් රූගත කිරීමට තිබුණා. අපි හරිම විනෝදයෙන් සතුටින් ගත කරපු කාලයක් ඒක. චිත්‍රපටයට වසර 50ක් සම්පූර්ණ වෙනවා කිව්වම ඇත්තටම ඒක හිතාගන්නත් බෑ. ඒ කාලේ අද වගේ තාක්ෂණික දියුණුවක් හෝ වෙනත් දියුණුවක් නොතිබුණු යුගයක අපි හරිම එකමුතුවකින් හරිම ලස්සනට මේ චිත්‍රපටිය ඉවර කළා. අදටත් මට සොඳුරු මතකයක් ඉතුරු කළ චිත්‍රපටයක්.

 

 

 

ගායන ලොව මා උපන්නේ මේ චිත්‍රපටයෙන්

සුනිල් එදිරිසිංහ

මාතර ආච්චි චිත්‍රපටය කියන්නේ මගේ ජීවිතේ සුවිශාල කඩඉමක් සනිටුහන් කරපු චිත්‍රපටයක්. මම ආධුනික ගායකයකු විදිහට ඉස් ඉස්සරලාම චිත්‍රපටි පසුබිම් ගායනයට එක් වෙන්නේ මේ චිත්‍රපටයෙන්.ගායනා කළ පළමු ගීතයෙන්ම මගේ සම්පූර්ණ සංගීත දිවිය පුරාම ආදරයෙන් සැමරිය හැකි වටිනා වස්තුවක් මට මේකෙන් ඉතුරු වුණා. ඒ තමයි සඳකඩ පහණක කැටයම් ඔපලා කියන ගීතය. අදටත් වසර 50 ගත වුණත් එදා මෙන් ම ජනප්‍රිය තලයේ රැඳෙන මේ ගීතය මගේ සංගීත දිවියේ සුවිශාල කඩඉමක්. මගේ ඒක පුද්ගල ගායන ප්‍රසංගය පවා වර්තමානයේ නම් වෙලා තියෙන්නෙ සඳකඩ පහණ කියන නමින්.

ඇත්ත වශයෙන්ම මට මතකයි මම මේ චිත්‍රපටයට ගායනයෙන් එක් වෙන අවස්ථාව වෙනකොට ඉතාමත්ම ආධුනික පුද්ගලයෙක්. මුලින්ම මේ ගීතය පටිගත කරන අවස්ථාවේ ඇත්තටම එක පාර මට මේ ගීතය ගායනා කර ගන්නත් බැරි වුණා. මම ඒ වෙලාවේ හිටියේ විශාල බියකින් තැති ගැනීමකින්. නමුත් මගේ අවට හිටිය වික්ටර් රත්නායකයන් සතිස් අයියා ඇතුළු පිරිස මාව දිරිමත් කළා .මගේ හැකියාවන් අගය කළා. දළුගම සරසවි චිත්‍රාගාරය තමයි මේ ගීතය රෙකෝඩ් කළේ. මේ ගීතය හොඳට කිව්වේ නැත්තං අනිත් චිත්‍රපටි වලට ගීත හම්බ වෙන්නේ නෑ කියලා ලොකු අයියා විහිළුවකුත් කළා මට මතකයි. චිත්‍රපටය ඇවිත් බොහොම කෙටි කාලයක් ඇතුළත සඳකඩ පහණ ගීතය අතිශයින්ම ජනප්‍රිය වුණා. ඒ ගීතයෙන් අරඹපු මගේ චිත්‍රපට පසුබිම් ගීත කලාව තුළ මාව සම්මානිත ගායකයකු කිරීමේ මූලික අඩිතාලම වැටුණේ මේ සඳකඩ පහණක කැටයම් ඔපලා ගීතය තුළින්. ඒ නිසා වසර 50ක් ගත වුණත් මේ චිත්‍රපටය එදා මෙන් ම මට නැවුම් අත්දැකීම් අරගෙන එනවා.

තවමත් ඒ මතකය නැවුම්

ස්වර්ණා මල්ලවාරච්චි

මාතර ආච්චි චිත්‍රපටය මගේ රංගන ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්. මමත් සිනමාවට ආව අලුත කරපු චිත්‍රපටයක් මේක. ඉතින් මම වගේ කෙනෙකුට සතිස්චන්ද්‍ර එදිරිසිංහ ප්‍රධාන චරිතයක් දුන්නා කියන එක ඇත්තටම සුවිශේෂී දෙයක්. මම ලංකාවෙන් යන්න කලින් කරපු මුල් චිත්‍රපට 5ට ඇතුළත් චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය රූගත කරද්දී අපි හරිම විනෝදයෙන් ගත කළා. මගේ මිතුරිය විදියට රඟපෑවේ නීටා ප්‍රනාන්දු. මට මතකය අපි බස් එකක් ඇතුළේ ට්‍රිප් එකක් යන දර්ශනයකුත් තිබුණා. මේ චිත්‍රපටය මම හිතන්නේ අවුරුදු 03ක් වැනි දීර්ඝ කාලයක් රූගත කළා. දැන් වගේ දවස් 14න් රූගත කරන්නේ නෑ ඉස්සර. මේ චිත්‍රපටය මට වගේම තවත් බොහෝ දෙනෙකුගේ ජීවිතේට සුවිශේෂියි. සුනිල් එදිරිසිංහ ගේ පළවෙනි චිත්‍රපට පසුබිම් ගීතය තියෙන්නේ මේ චිත්‍රපටයේ. ඒ වගේම වික්ටර් රත්තනායකගේ පළවෙනි චිත්‍රපට පසුබිම් සංගීතය, අද ආපස්සට හැරිලා බලනකොට ඇත්තටම සතුටුයි. අවුරුදු 50ක් ගතවෙලා වුණත් මට නම් තවමත් ඒ මතක නැවුම්.

 

 

 

[email protected]