එදා යුගය මතක්වෙද්දී හිතට සාංකාවක් දැනෙනවා

නදීකා ගුණසේකර
ජූලි 14, 2022

 

අවබෝධයක් තියෙනවා නම් අධ්‍යක්ෂවරයා නවකයෙක් ද ප‍්‍රවීණයෙක්ද කියන දේ අදාළ වන්නේ නෑ



සේන සමරසිංහයන්ගේ චංචල රේඛා චිත‍්‍රපටයේ රංගනයත් සමඟ ඈ සිංහල සිනමාවේ පේ‍්‍රක්ෂක හද ඇද බැඳ ගත්තේ යළි කිසිදිනෙක නොවෙනස්වන පරිදිය. ගලේ කෙටු අකුරක් සේ ඈ ඒ සදාතනික බැදීම තව තවත් වර්ධනය කරනු ලැබුවේ එකිනෙකට වෙනස් විවිධ චරිත තිරයේ ප‍්‍රතිනිර්මාණයන් සමඟය. දඟකාර කෙළිලොල් පාසල් වියේදිම සිංහල සිනමාවට පාතබන්නට වරම් ලැබූ ඇය කලාත්මක සිනමාව තුළත් වාණිජ සිනමාව තුළත් නොමැකෙන චරිත නිරූපණයක් නියැළුණේ අපූරු චරිත රැසක් සිනමා නිර්මාණ තුළ ඉතිරි කරමිනි. හැත්තෑව දශකයේ අගභාගයේ එම්.ඒ. සංඝදාස අධ්‍යක්ෂණය කළ ‘කාංචනා‘ චිත‍්‍රපටයේ නවක නිළියකගේ වරිතයක් රඟපාමින් හා පුරා කියා නිළි වරම් ලද ඈ නදීකා ගුණසේකරයි. අප අතර සිටින ප‍්‍රවීණ කලා ශිල්පිනියක වන නදීකා කලකට පසු සරසවිය හා පිළිසඳරට එක්වුයේ මේ දිනවල ඇගේ අලූත්ම තොරතුරුත් සමඟය.




මේ දවස්වල කලා කටයුතු වල නියැළීමත් සිද්ධ කරනවාද?

කොහොත්ම නෑ. කලාව තුළ මම දිගු ගමනක් ආවා. ඒත් මේ වෙනකොට ඒ ආගමනේ අතීතාවර්ජන පමණක් මා තුළ තිබෙනවා හැරෙන්නට අලූත් යමක් වෙනුවෙන් දායකත්වයක් නම් ඒත් කළේ නෑ. අද වෙනකොට රට පුරාම තියෙන්නේ ව්‍යාකූල වටපිටාවක්. මේ වටපිටාව තුළ ජීවත්වීම කියන දැවැන්ත ප‍්‍රශ්නය කරපින්නාගෙන හැම මිනිහෙක්ම කටයුතු කරන කාලයක් තුළ මමත් ඒ ප‍්‍රශ්නයේම කොටස්කරුවෙක් වෙලා ඉන්නවා හැරෙන්න කලා නිර්මාණයක් ගැන තුන්හිතකවත් හිතේ අදහසක් නෑ. මේ වටපිටාව තුළ.

විටෙන් විට නිහැඬියාවක් මධ්‍යයේ ඔබ රංගනයේ නියැළියා. චිත‍්‍රපට සේ්ම ටෙලි නාට්‍ය නිර්මාණවලත් අවසනවරට එවැනි කටයුත්තක නියැළියේ කුමන නිර්මාණයක් වෙනුවෙන්ද?

චන්න පෙරේරාගේ ‘යුගාත‍්‍රා‘ චිත‍්‍රපටයේ මට සතුටුදායක චරිතයක් කරන්න ලැබුණා. මම සිනමා නිර්මාණ බොහොමයක විවිධ වූ චරිත මීට කලින් රඟපාලා තිබුණා. ඒත් මේ යුගාත‍්‍රා තුළ දිගහැරෙන චරිතය ඒ කරපු හැම චරිතයකටම වඩා වෙනස්ම චරිතයක්. මම ගොඩක් සතුටෙන් රඟපාපු චරිතයක්. මේ චිත‍්‍රපටයේ ‘ඉවෝන්ගේ‘ චරිතය. මේ වගේ චරිතයක් මම වගේ නිළියකට ලබාදීල ඒ සඳහා උපරීම සාධාරණයක් මගෙන් අපේක්ෂා කිරීම ගැන චන්න පෙරේරාට මම හෘදයාංගම ස්තූතිය පුද කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ නවක නළු නිළියන් සේම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සමඟත් මම මෙහිදී රඟපාන්න ලැබුණා. මගේ මතකය හරි නම් මීට අවුරුදු පහළවකට පෙරාතුව තමයි මට සනත් ගුණතිලක සමඟ රඟපෑමක් එකට කළේ. ඒ හැරුණම යළිත් අපි දෙදෙනාම එක්ව රඟපාන්න නැවත අවස්ථාවක් උදා වුණේ මේ යුගාත‍්‍ර චිත‍්‍රපටයේ. ඒ ගැනත් මට තියෙන්නේ සතුටක්. කලකට ඉහත සනත් මම එකට රඟපෑවා. ඒ අතීතයත් අපිට සිහිපත් වුණා මේ යුගාත‍්‍රා නිසා.

ඔබ බොහෝ ප‍්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ සිනමා නිර්මාණ සඳහා දායක වූ නිළියක්. ඒ දායකත්වය හා චන්න පෙරේරා වැනි නවකයෙක් අතර මොනවගේ විශේෂත්වයක් ද දුටුවේ?

ඞී.බී. නිහාල්සිංහ, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත‍්‍රා පීරිස්, දයා විමලවීර, ලෙනින් මොරායස්, සේන සමරසිංහ වගේ ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් රාශියක් සමඟ මම වැඩකළා. ඔවුන්ගෙන් ලැබූ අත්දැකීම් විවිධයි. ඔවුන් දර්ශන තලයේදී අපව මෙහෙය වූ ආකාරය එකිනෙකට වෙනස්. දීර්ඝ කාලයක ලැබූ අත්දැකීම්. අපි දර්ශන තලයේ සිටිය යුතු, කළයුතු නොකළ යුතු දේ පිළිබඳ ලබා තිබූ අත්දැකීම් නිසාම මම චන්න සමඟ වැඩකිරීම ගැටලූ‍වක් වුණේ නැහැ. එදා යුගය අද කාලය වෙනස් වුණත් පාවිච්චි කරන තාක්ෂණය වෙනස් වුණත් රංගනය කියන දේ එදත් එකයි අදත් එකයි. පිටපතේ චරිතය ලියැවිලා තිබෙන්නේ කොයි ආකාරයට ද රංගන ශිල්පිණියක් හැටියට මගෙන් චරිතයට මොනවගේ දායකත්වයක් ද එක්විය යුත්තේ අධ්‍යක්ෂවරයා මගෙන් බලාපොරොත්තු වන්නේ

මොනවගේ රඟපෑමක් ද කියන දේ පිළිබඳ තමා තුළ අවබෝධයක් තියෙනවා නම් අධ්‍යක්ෂවරයා නවකයෙක් ද ප‍්‍රවීණයෙක්ද කියන දේ අදාළ වන්නේ නෑ. චන්න කියන්නෙත් මීට පෙර චිත‍්‍රපට කීපයක් කරපු සාර්ථක ගමනක් ආපු අධ්‍යක්ෂවරයෙක්. චන්න මට නිදහස උපරීමයෙන් දුන්නා චරිතය ගොඩනඟන්න. ඔහු ඉවෝන් තුළින් අපේක්ෂා කරන දේ ගැන මට වටහල දුන්නා. මම චන්නට ඕනෙ ඉවෝන් මගේ මනසේ ඇඳගත්තා. ඔහු අපේක්ෂා කළ හැම අංගයක්ම මගෙන් නිරූපණය වීම නිසා අපි අතර සුබවාදී ආකල්පයක් චිත‍්‍රපටය නිම වනතුරා රැඳී තිබුණා.



නදීකා සිනමාවේ අයනු ආයනු කියන්නෙත් නවක සිනමා නිළියකගේ චරිතයක් සමඟ?

මගේ මුල්ම චිත‍්‍රපට රංගනය වුණේ ‘කාංචනා’. මේ චිත‍්‍රපටය නිර්මාණය කළේ එම්.ඒ සංඝදාස මහත්තයා. චිත‍්‍රපටයේ කතාව දිග හැරුණේ චිත‍්‍රපටයක් හදන කතා තේමාවක් මුල්කරගෙන. ඒ වෙනකොට මම නුවර මහාමායා විද්‍යාලයේ ශිෂ්‍යාවක්. චිත‍්‍රපටය රූපගත කරන්න පටන් ගන්නකොට මට අ.පො.ස උසස් පෙළ ලියන්න තිබුණේ මාස තුනයි. චිත‍්‍රපටයක් රඟපානවා තිියා ඒ වෙනකොට මම ඉස්කෝලෙක සින්දුවක් කියල තිබුණේ නෑ. මේ චිත‍්‍රපටය හදපු සංඝදාස මහත්තයා මගේ අම්මාගේ හොඳ ළඟ හිතවතෙක්. ඒ හිතවත්කම තමයි ඒ වෙනකොට සින්දුවක්වත් නොකියා හිටිය මාව රඟපාන්න ගන්න ප‍්‍රධාන හේතු සාධකය වුණේ. මේ චිත‍්‍රපටය තුළ තිබුණු කතාවේ ප‍්‍රධාන නළුවා ලෙස රඟපෑවේ විජය කුමාරතුංග. මම එහි රඟපෑවේ ඒ චිත‍්‍රපටයේ රඟපාන්න ආ ප‍්‍රධාන නවක නිළිය ලෙසින් රඟපෑවා. වොලී නානායක්කාර ඒ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ ලෙසින් රඟපෑවා. ඩොනල්ඞ් කරුණාරත්න ඒ චිත‍්‍රපට කතාවේ කැමරා ශිල්පියා ලෙස රඟපෑවා.

කාලයාගේ ඇවෑමත් සමඟ සිංහල සිනමාවේ ජනකාන්ත නළුවකු වූ විජය කුමාරතුංගයන් සමඟ ඔබ මුල්ම රංගනය ඉදිරිපත් කරන්නට වාසනාවන්ත වූ නිළියක්?

හා පුරා කියා මගේ රංගනයේ ඇරඹුම වුණේ විජය සමඟ කාංචනා චිත‍්‍රපටයේ. විජය සමඟ මගේ මුල්ම රංගනය ඉදිරිපත් කළත් පසු කාළේ විජය අයියා සමඟ මම ප‍්‍රධාන චරිත බොහොමයක් රඟපෑවා.

ඔබේ රංගන ජීවිතයට 40 වසරක් සපිරි ඇති මොහොතක ඒ අතීත සැමැරුම් අතරේ මුල්ම රූපගත කිරීම කොයි වගේ ද කියා මතකද?

කොළඹ රීගල් සිනමා ශාලාවේ තමයි මුල්ම දර්ශනය රූපගත කිරීම් කළේ. කාංචනා චිත‍්‍රපටයට පාදක වෙන කතාාවේ හැටියට හදන චිත‍්‍රපටයේ මංගල දර්ශනයේ ප‍්‍රධාන නිළිය පහන පත්තුකරන දර්ශනය තමයි රූපගත කළේ.

ඔබේ සිනමා ගමනේ පෙරළිකාර නිළියක් බවට එක්තරා වකවානුකදී ඔබ පත්වෙනවා?

ලෙනින් මොරායස්ගේ යුගයෙන් යුගය සේන සමරසිංහගේ ‘චංචල රේඛා’ චිත‍්‍රපටවල රඟපෑමත් සමඟ මගේ සිනමා ගමනේ පෙරළිකාර අවධිය ඇරඹෙනවා.



චංචල රේඛා චිත‍්‍රපටයේ ඔබේ පෙරළිකාර රංගනයත් සමඟ පේ‍්‍රක්ෂකයන් අතර ඔබ අතිශයින් ජනාදරයට පත්වෙනවා පමණක් නොවෙයි ඔබට අනවර්ථ නාමයකුත් පටබැඳෙනවා නේද?

මේ චිත‍්‍රපටයේ දං චුටිගේ චරිතයට මම ගොඩක් කැමතියි. අදටත් මගේ එදා රසිකයෝ මාව දැක්කම මට දංචුටි කියලා කතකරන අය ඉන්නවා. එදා වගේම අදත් දංචුටිගේ චරිතය පේ‍්‍රක්ෂයන් අතරින් ගිලිහිලා යන්නේ නැහැ. ඒ තරමට දංචුටි එයාලට මතකයි. මේ චිත‍්‍රපටයේ තියෙන ‘කීන දංමිටක් කඩන් ආවා මගේ නංගෝ‘ ගීතය පුදුම විදිහට රසිකයෝ අතර ජනප‍්‍රිය වුණා. ඒ ගීතයේ ජනප‍්‍රියභාවය අදත් එලෙසමයි. කොහෝ හෝ ඒ ගීතය වාදනය වෙනවා නම් ඕනෙ කෙනෙක්ගේ මතකයට එන්නේ මගෙත් ගාමිණි ෆොන්සේකාගෙත් රූප රචනය. ඒ තරමට ගීතය වගේම චිත‍්‍රපටයත් පේ‍්‍රක්ෂකයෝ අතර අතිශයින් ජනාදරයට පත් වුණා.

නදීකා කියනවාට වඩා දංචුටි කියලා කතා කළොත්?

කවුරුහරි එහෙම කිව්වොත් මටත් නොදැනීම ඒ සඳහා මගෙනුත් ප‍්‍රතිචාරයක් ලැබෙනවා. නදීකා කියා කතා කරනවා වගේම ඒ ආමන්ත‍්‍රණයට මම හරි ආසයි.

නදීකා කියන නමත් සිනමාව නිසාම ඔබට උරුම වුවක් බව කියනවා නේද?

ඒක සත්‍යයක්. මගේ උප්පැන්නේ තියෙන්නේ දිසානායක විජේසූරියගේ සන්ධ්‍යා දර්ශනී ගුණසේකර කියලා. මගේ තාත්තා ස්ටැන්ලි ගුණසේකර. අම්මා තලතා ගුණසේකර. මම දාල තිබුණේ සන්ධ්‍යා දර්ශනී ගුණසේකර කියලා. මේ නම මම රඟපෑ මුල්ම චිත‍්‍රපටය වූ ‘කාංචනා’ චිත‍්‍රපටයෙන් පස්සේ වෙනස් වුණා. මම මුල්ම චිත‍්‍රපටය රඟපාල තිබුණේ පාසල් අවධියේ. ඒ රඟපෑවේ බොහොම පරෙස්සමෙන් ඉස්කෝලෙන් විරෝධයක් ඇති නොවෙන්න. 70 දශකයේ තරුණ සිනමාකරුවෝ රාශියක් සිනමාවට ආවා. එයාලාට ඔිනෑ වුණා ඒ වෙන විටත් දකුණු ඉන්දීය අභාසයෙන් ගිලගෙන තිබූ අපේ සිනමාව එයින් නිදහස් කරගෙන අපේම සිනමා ආකෘතියක චිත‍්‍රපට කරන්න. ඒ වගේම අපේම අලූ‍ත් නිළියෝ ඒ සඳහා යොදාගන්න. මේ අවධියේ කොහොම හරි මගේ අම්මා වන තලතා ගුණසේකර හා සන්ධ්‍යා කුමාරි, සිරි කුලරත්න එක්වෙලා චිත‍්‍රපටයක් කරන්න සැලසුම් කළා. ඒකට මාවත් ගන්න යෝජනා වුණා. ඒ වෙනකොට සන්ධ්‍යා කෙනෙක් සිනමාවේ ඉන්න නිසා තවත් කෙනෙක් ඒ සඳහා අවශ්‍ය නොවන හෙයින් පාසලෙනුත් මට එන විරෝධතා මඟ හරවා ගන්නත් එක්ක සිරි කුලරත්න මහත්තයා නදීකා ගුණසේකර කියලා මගේ නම සිනමාවට යෝජනා කළා. ඒ යෝජනාවත් හරි එදා ඉඳලා මම සිනමාවේ නදීකා ගුණසේකර.

සිනමාවේ දැවැන්තයෝ සමඟත් ඔබේ රංගන වපසරිය ගොඩනැෙඟනවා?

සිනමාවේ මහාවෘක්ෂයක් බඳු ගාමිණි ෆොන්සෝකා වගේ දැවැන්තයන් සමඟ මට රඟපාන්න ලැබුණා. මම චංචල රේඛා චිත‍්‍රපටයේ ඔහුත් සමඟ රඟපානකොට ලොකු අත්දැකීමක් නැති තැනැත්තියක්. ඒ වගේ අයත් එක්ක රඟපානකොට මට බයත් හිතුණා. සමහර අවස්ථාවල ගාමිණි අයියත් එක්ක රඟපාන කොට ඔහු පිළිබඳ ලොකු ගෞරවයකුත් මා තුළ ඇතිවුණා. මම නොදන්නා බොහෝ දේ මට කියලා දුන්නා. කවදාවත් අපි ආධුනිකයි කියලා අපිව අපහසුතාවයට පත් කළේ නෑ. හරියට යමක් කළ යුත්තේ කොහොමද කියලා අපිට කියලා දුන්නා.

රංග ශිල්පිනියක් වගේම ඔබ චිත‍්‍රපට නිෂ්පාදිකාවක්?

මම චිත‍්‍රපට නිෂ්පාදිකාවක් ලෙස දායක වුණේ චිත‍්‍රපට දෙකකට විතරයි. මාලිනී ෆොන්සේකා සමඟ අහිංසා චිත‍්‍රපටයට සම නිෂ්පාදිකාවක් ලෙස දායක වුණා. මගේ අම්මා තලතා ගුණසේකර සමඟ ‘ඇය ඔබට බාරයි‘ චිත‍්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුණා.

චිත‍්‍රපට නිෂ්පාදිකාවක් ලෙස ඉදිරි ගමනක් නොගියේ ඇයි?

ඒකට බොහෝ කරුණා කාරණා තියෙනවා. චිත‍්‍රපටයක් නිෂ්පාදනය කළ පමණින් මේ ක්ෂේත‍්‍රයේ ඉදිරි පැවැත්මක් නැත්තම් ඒ කරන වැඩෙන් වැඩක් නෑ. චිත‍්‍රපටයක් හැදුවට එක පෙන්නගන්න අපේ රටේ නිෂ්පාදකයෙක් විදින්න ඕනෙ මොනවගේ කරදර ගොඩක් ද කියලා මම අත්දැක්ක කෙනෙක්. නිෂ්පාදිකාවක් ලෙස මේ ක්ෂේත‍්‍රයේ ගමනක් යන එක කොච්චර දුෂ්කරද කියලා මට දැනුණ නිසා නිෂ්පාදන පැත්තට මම තවදුරටත් අතගහන්න ගියේ නෑ. නළු නිළියන්ගේ මුදල,කාර්මික ශිල්පින්ගේ මුදල, කාර්මික බඩු බාහිරාදියේ මුදල් ගෙවූ පමණින් නිෂ්පාදකගේ කටයුත්ත අවසන් වන්නේ නෑ. ඔහු එතැන් පටන් උත්සාහ කළ යුත්තේ තමන් වැය කරපු මුදලින් හදපු නිර්මාණය පෙන්න ගන්න වැඩපිළිවෙළක්. මෙන්න මෙතැනදී අපේ නිෂ්පදකයෝ බෙල්ලට හිරවෙනවා. සමහරු ක්ෂේත‍්‍රයේ ගැන නොදැනුම්වත්ව සමහරු දැනුම්වත්ම මම කියනනේ චිත‍්‍රපටයක් හදන්න පටන් ගන්න දා ඉඳලා චිත‍්‍රපටය පෙන්නල ඉවර වෙනකන් නිෂ්පාදකගේ කාර්ය අවසන් වන්නේ නෑ කියලා. නිෂ්පාදක කියන කෙනා කවුද ඔහුගේ කාර්ය මොකක්ද කළ යුත්තේ මොකක්ද කියලාවත් නොදැන කවරකුගේ හෝ යෝජනාවකට නිෂ්පාදකයෙක් වූ පමණින් ක්ෂේත‍්‍රයේ රැඳී සිටින්න බෑ කියලා මම හොඳාකාරවම දන්නවා.

ඔබ කලාත්මක සිනමාව තුළත් වාණිජ සිනමාව තුළත් එකසේ ජනප‍්‍රිය වූ නිළියක්. මේ ධාරා දෙක පුරා ඔබ රඟපෑ චිත‍්‍රපට අතුරින් මතකයේ රැඳුණු චරිත මොනවාද?

බැද්දේගම -(හින්නිහාමි), චංචල රේඛා - (දං චුටි), වජිරා - (වජිරා), අධිෂ්ඨානය -(මංගලිකා), රිදී නිම්නය - (කුසපබාවතී), බිත්ති හතර- (නන්දනී),වත්සලා අක්කා - (වත්සලා), යසෝමා - (යසෝමා), බට්ටි - (බට්ටි) මේවගේ චරිත රාශියක් තියෙනවා.

ඔබේ රංගන ජීවිතයේ අමරණීය සිහිවටන ලෙස නම් කළොත්?

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බැද්දේගම, සුමිත‍්‍රා පීරිස්ගේ යහළු යෙහෙළි, ඞී.බී. නිහාල්සිංහගේ රිදී නිම්නය.

රංගන ධාරාවේ පැමිණි ගමන් මඟ වෙනස් කළ සිනමා නිර්මාණයක් ගැන ඔබට මතකද?

මොකද මට අමතක. ලෙනින් මොරායස්ගේ ‘යුගයෙන් යුගය‘ චිත‍්‍රපටය. මම ඒ චිත‍්‍රපටයේ විජය කුමාරතුංග එක්ක සින්දු හතක් නැටුවා. මල් ගස් වටේ දුවමින්.

හෙළ සිනමාවේ ප‍්‍රවීණ නිළියක් වූ ඔබේ මව තලතා ගුණසේකරයන් නිසාවෙන් ඔබ සිනමාවට එක්වුණා සේම ඔබගේ එකම දියණියත් සිනමාවට එක්කරලන්නට ඔබේ අදහසක් නැද්ද?

මගේ බල කිරීමක් නෑ. මගේ දුව තෙනුකි සෙහන්සා. දැන් අවුරුදු දහ අටක දරුවෙක්. එයාගේ වැඩ එයා කරගන්නවා. දුවට ඕනෙ නිදහස මම දීලා තියෙනවා. මම එක්ක කවදාවත් දුව කියලා නෑ අම්මේ මට රඟපාන්න ඕනේ කියලා. ඒක දුවගේ කැමැත්ත. සමහරවිට දුවගේ කැමැත්තක් තියෙනවා විදේශ ගත වෙන්නත්.

ටෙලි නාට්‍යයෙන් ඔබ රංග වපසරිය පතුරාවාලූ නිළියක්?

මට ටෙලි නාට්‍ය ද චිත‍්‍රපට ද කියලා විශේෂයක් නෑ. නිර්මාණය හොඳ නම් මම භාර ගැනීමක් කලා. හිමි අහිමි, එතෙර පැතුම්, නිරූපමාලා, ¥විලි මල්, වගේ ටෙලි නාට්‍ය බොහොමයක් මම රඟපෑවේ සිනමාවේ සේම පුංචි තිරයෙත් පේ‍්‍රක්ෂක හද මා තුළ රඳවාගෙන. ඒ දවස්වල ටෙලි නාට්‍ය විකාශය වන අවිධියේ පේ‍්‍රක්ෂකයෝ මට ප‍්‍රතිචාර එක්කළා. සිනමා රංගනයේ මතකයන් මා තුළ ආවර්ජනය කරමින්.

ඔබේ මව ජීවත්ව සිටින අවධියේ කලා ක්ෂේත‍්‍රයේ ඔබත් මවත් හැසිරුණේ හරියට ඉදිකට්ටයි නූලයි වගේ නේද?

ඕනෙම කලා කටයුත්තකදී උත්සව අවස්ථාවකදී, සම්මාන උලෙළකදී මමයි අම්මයි එකට සහභාගී වීම සාමාන්‍ය දෙයක්. බැරිවෙලාවත් අම්මා තනියෙන් මොනයම් හෝ දෙයකට සහභාගි වුණොත් කවුරුත් එයාගෙන් අහනව ‘කෝ නදීකා‘කියලා. මම මොනවා හරි තනියෙන් සහභාගි වුණොත් අහනවා ‘කෝ තලතා‘ කියලා. ඒ තරමට අපි දෙන්නා එකට තමයි මොන දේටත් සහභාගි වුණේ. සිනමාවේ ස්වර්ණමය යුගයේ අපි පසු කළේ හරියට ඉදිකට්ටයි නූලයි වගේ. සමීප බැඳීමකින් දකින ඕනෙ කෙනෙක් ඒ දවස්වල අම්මටයි මටයි කිව්වේ තලතා කොතැනද නදීකා එතැන, නදීකා කොතැන ද තලතා එතැන කියලා.


දඟකාර යෞවනිය, පෙම්වතියට තිරයේ පණ පෙවූ ඔබ මවක ලෙසින් ද තිරය වර්ණවත් කළා. ඒ අතීතයේ මතකයන් අතර අද මොකද ඔබට හිතෙන්නේ?

රංගන ශිල්පිනියක් විදිහට මම ඉතාමත් තෘප්තිමත් මට ලැබුණු රංග අවස්ථා පිළිබඳ. රංගනයට පිවිසුණු දා ඉඳලා මට ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබුණු ඔවදන් අප‍්‍රමාණයි. කලාව වෙනුවෙන් යමක් මම කළා කියන මානසික තෘප්තිය මට තියෙනවා. සිනමාව කිසිම දවසක මගේ ජීවිතය කරගත්තේ නෑ. සැහැල්ලූ‍වෙන් තෝරා බේරාගත් ගමනක් තමයි මම ගියේ. එහෙම අවබෝධයෙන් ගිය ගමනක් නිසාවෙන් මට මේ තාක් දුර නොකැලැල් ගමනක් එන්න ලැබුණා. එදා සිනමාවේ තිබුණු ස්වර්ණමය යුගය සමයේ ෂූටින් යන කොට තිබුණු අව්වේකීකම ඇතුළේ පුදුම සතුටක් තිබුණා. දැන් ඒ අවධිය මතක් වෙන කොට හිතට පොඩි සාංකාවකුත් දැනෙනවා නොදැනීම.

සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් චිත‍්‍රපට සංස්ථාවේ වගකිව යුතු වෘත්තියක පවා නියැළෙන්නට ඔබ වාසනාවන්ත වෙනවා නේද?

චිත‍්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වගේම වැඩබලන සාමාන්‍යධිකාරී තනතුරේ මට කටයුතු කරන්න කාලයක් ඉඩකඩ ලැබෙනවා. ඒ කාලය තුළ අපේ සිනමාවේ අභිවෘද්ධිය තකා වැඩපිළිවෙළවල් රාශියක් ක‍්‍රියාවට නංවන්න සැලසුම් සිද්ධ කළා. ඒත් ඒවා සමහරක් ක‍්‍රියාවට නංවන්න උත්සාහ කිරීමේ දී නොයෙක් චෝදනා එල්ල වුණා. සමහර දේවල් ක‍්‍රියාවට නඟන්න යනකොට අරගලවලට පවා සමහරු එන්න උත්සාහ ගත්තා. මේ වගේ වටපිටාවක් තුළ අපේ දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේ ගැටලූ‍ රාශියක් අපිට නිරාකරණය කරගන්නත් හැකිවුණා. ඒ තනතුරුවල මා රැඳිල හිටිය කාලයේ මට කළ හැකි හැම දෙයක්ම සංස්ථාව පැත්තෙන් අපේ දේශීය සිනමාව නඟා සිටුවන්න කටයුතු කරනු ලැබුවා. අපි ගෙන ගිය වැඩපිළිවෙළට විරුද්ධ වෙච්ච වගේම සහය දුන්න පිරිසකුත් ඒ මගේ රාජකාරී කාලයේ හිටියයි කියන දේ මතක් කළ යුතුමයි.

කලා ක්ෂේත‍්‍රයේ දිගු කලක් රැඳී සිටි ප‍්‍රවීණ ජනප‍්‍රිය නිළියක ලෙසින් අද ඔබ නියැළී සිටි කලා ක්ෂේත‍්‍රය ගැන මොකද හිතෙන්නේ?

අපි එහි කටයුතු කරනු ලැබුවේ කණ්ඩායම් හැඟීමෙන්. අපි ෂුටින් ගියත් එකට හිටියේ. සහෝදර බැදීමෙන්. චරිතවලට සමහරවිට අවශ්‍ය වන කොස්ටියුම්ස් පවා අපි එකිනෙකා හුවමාරු කරගත්තේ කිසිදු ලෝබ කමකින් තොරව. දුකක් කරදරයක් පැමිණියත් එහෙමයි. අද එදා අපි අතර තිබුණු ඒ වෘත්තීය ගරුත්වය තියෙනවද කියන දේ සැක සහිතයි. කණ්ඩායම් හැඟීම කියන දේ තියෙනවා ද කියල සැක සහිතයි. ක්ෂේත‍්‍රය පුරා අසන්න දකින්න තියන දේත් එක්ක. එදා අපි චරිත තෝර ගත්තේ මනා අවබෝධයකින්. කාල කළමනාකරණයක් ඇතුව බොහොම හෙමින් ගමනක් තමයි අපි අතර තිබුණේ.

ඔබේ රංග වපසරිය ඇගැයුම් පැසසුම් මැද ඇගැයීමට පවා ලක් වුණා අවස්ථා තිබුණා නේද?

සරසවිය, ජනාධිපති, ඕ.සී.අයි සී සම්මානයන්ට මම පාත‍්‍රා වුණා. රංගනය උදෙසා නිළියක් ලෙස මට සම්මාන බුහුමණට පාත‍්‍රවීම ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්. එදා අපිට රසිකයන්ගෙන් ලිපි ලැබුණේ ගෝනි ගණනින්. අපිව දකින්න බලන්න රසිකයෝ පොරකාපු යුගයක් තිබුණා. ඒ ගැන නම් මතක් වෙන කොටත් හිතට දැනෙන්නේ පුදුම සතුටක්. අපි ඒ වගේ ප‍්‍රතිචාර ලැබු යුගයක් පසුකළ ශිල්පීන් නේද කියලත් වෙලාවකට මට හිතෙනවා.






ඡායාරූප - දයාන් විතාරණ