චිත්‍රපට පෙන්වූවන්ගේ නොපෙනුණු කතාව

ඔක්තෝබර් 28, 2021

 

කොවිඩ් වසංගතය හේතුවෙන් සාමාන්‍ය ජීවිත පවා උඩුයටිකුරු වීමෙන් ජිවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවීම කොතරම් ඛේදජනක ද?

 

නිර්මාණ බිහි වූවද ඒවා ප්‍රේක්ෂකයන්ට දැකබලා ගැනීමට සිනමාශාලා නොමැති වුවහොත් එම නිර්මාණවලින් ඵල ප්‍රයෝජනයක් නැති තරම් ය.

 

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිංහල සිනමා රංගන ශිල්පීන්, ශිල්පිනයන්, අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු කාර්මික ශිල්පීන්, ශිල්පිනයන් ද බොහෝ ප්‍රශ්නයන්ට මැදි වී ඇත. යම්තාක් දුරට ඔවුන්ගේ ස්ථාවරය අඩුවක් නොවුව ද නව නිර්මාණ කිරීමට තරම් සුදුසු වාතාවරණයක් රටතුළ නොමැත. ඇතැම් නිර්මාණ අතරමඟ නැවතී ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් සාමාන්‍ය ජීවිත පවා උඩුයටිකුරු වීමෙන් ජිවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවීම කොතරම් ඛේදජනක ද? චිත්‍රපටශාලා බොහෝමයක් වැසී ගොසින් ය. නිර්මාණ බිහි වූව ද ඒවා ප්‍රේක්ෂකයන්ට දැකබලා ගැනීමට සිනමාශාලා නොමැති වුවහොත් එම නිර්මාණවලින් ඵල ප්‍රයෝජනයක් නැති තරම් ය. ඒ කෙසේ වෙතත් සිනමාශාලා හිමියන් මෙන් ම සිනමාශාලා කළමනාකරුවන් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරුවන්, සාමාන්‍ය සේවකයන් ද අද වන විට අසරණව ඇත. සිනමාශාලා වැසීයාම හේතුවෙන් රැකියා පවා ඔවුනට අහිමිව ද ඇත. ඔවුන් ගැන සොයා බැලීමට සහනයක් සලසාදීමට රජයෙන් පවා කටයුතු නොකිරීම ඉතාම කණගාටුදායක ය. ඇතැම් සිනමාශාලා හිමියන් තමන්ට සේවාව සැපයූ සේවකයන් ගැන කිසිදු සොයාබැලීමක් පවා නොකිරීමට තරම් කටුක වීම කෙතරම් අභාග්‍ය සම්පන්න ද? එමෙන් ම ඔවුන් කළ සේවාව අගයමින් මේ වසංගත රෝගයක් පැතිරී ඇති සමයේ උදව් උපකාර කළ මානුෂීය ගුණයෙන් පිරුනු හදවත් ද මේ අතර නැතුවාම නොවේ. බොහෝ දෙනාගේ සිතුම් පැතැම් දැන හඳුනාගැනීමට මේ වසංගත රෝගය ඉවහල් වූ බව කිවහොත් නිවැරදිය.

වනසරා චිත්‍රපටයේ වනසරාගේ කුඩාකල චරිතය නිරූපණය කළ සුනිල් රණසිංහ 1976 වසරේ දී රත්මලාන විජිත සිනමාශාලාවේ සේවයට එක්විය. එම අවස්ථාව ඔහුට ලබාදෙන ලද්දේ එහි අධිපති වූ කේ.එන්.ප්‍රනාන්දු මහතා ය. දැන්වීම් පුවරු ඇදීමේ උපන් හැකියාවක් තිබූ ඔහු විජිත සිනමාශාලාවේ දැන්වීම් පුවරු නිර්මාණ ශිල්පියා විය. සාමාන්‍ය සේවකයාගේ සිට කළමනාකරු තනතුරු දක්වා අවුරුදු 42ක් එහි සේවයේ නියුතු සුනිල් විජිත සිනමා ශාලාව වැසී ගිය පසු නිශාන්ත ප්‍රදීප් මහතාට අයත් රත්මලානේ පිහිටි සිටි සිනමාශාලාවේ සේවයට බැඳී ඇත. සුනිල්ට පහසු ලෙස පැමිණීමේ වේලාව පවා වෙනස්කොට සාදා දීමට තරම් නිශාන්ත ප්‍රදීප් මහතා ගුණගරුක වී ඇත. කෙසේ වෙතත් ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය මත වරින් වර සිනමාශාලා වැසීමට සිදුවිය. සිනමාවට ඇති දැඩි කැමැත්ත හේතුවෙන් සේවාවේ යෙදුනු සුනිල් රණසිංහ පුද්ගලික හේතුවක් මත සේවයෙන් ඉල්ලා අස්විය. එසේ වුවද මේ වසංගත සමයේ ඔහු ගැන සොයා බැලීමට තරම් මානුෂීය ගුණයෙන් පිරුණු සිටි සිනමා අධිපතිතුමා සහ විජිත සිනමාශාලා හිමිගේ ආදරණීය බිරිඳ ද කටයුතු කිරීම මේ ඇතිවුන තත්ත්වය මත ඔහුගේ මනසට විශාල සහනයක් බව පැවසීය. තමාගේ දියණිය වන ඉෂාරා උදංගි සුනිල්ට ද සුනිල්ගේ බිරිඳට ද මනා ශක්තියක් වෙමින් ඔවුන් දෙපළ රැකබලා ගැනීමට තරම් කාරුණික වී ඇත. ඇය ද දරු දෙනෙකුගේ මවකි. එසේ වුවද තම දෙමාපිය දෙදෙනා ආරක්ෂා කර ගැනීම ඇයගේ එකම අරමුණ වී ඇත. එසේ ද සෙවනක් වී නොතිබුණා නම් සුනිල්ට ද සිනමාව තුළින් ලැබුණු දෙයක් නම් නොමැති බව ඔහු අවසන් වශයෙන් පැවසීය.

වෙනුර ආරියරත්න එංගලන්තයේ පිහිටි ර්ට්ර් ආයතනයෙහි වැඩ පරීක්ෂකයකු ලෙස 1985 දී සේවයට බැඳී ඇත. 1994 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි ඔහු 2001 වසරේ දී ඡ්ඒර්‍ථ ආයතනයට බැඳී මැජෙස්ටික් සිනමාශාලාවේ සහාය කළමනාකරු ලෙස සේවයේ යෙදී ඇත. පසුව කොන්කෝඩ් සිනමාහලේ කළමනාකරු තනතුරට උසස්වීම් ලත් වෙනුර සැවෝයි සිනමාහලේ කළමනාකාර තනතුර ද හොබවා ඇත. ඉන් පසුව ලිබර්ටි සිනමාශාලාවේ කළමනාකාර තනතුර දරමින් සිටි ඔහු මොරටුව ටවර් සිනමාශාලාවේ කළමනාකරු ලෙස ද සේවය කළහ. ලිඩෝ සිනමාහලේ සේවයේ නිරත වූ ඔහු ඛ්ඡ්ඹ් ආයතනයෙහි චිත්‍රපට විමර්ෂන කළමනාකරු විය.

මේ වන විට රටේ පැනනැගුන කොවිඩ් වසංගත තත්ත්වය මත සිනමාශාලා රැකියාව අහිමි වූ ගොන්නේ තවත් එක් අයකු ලෙස වෙනුර ආරියරත්න හැඳීන්වීමට පිළිවන. මේ කාලය තුළ මට ගොඩක් අය ගැන කලකිරුනා. නිකමටවත් අපි උන්න ද මළා ද කියලවත් හොයල බැලුවේ නැහැ. කිසිම දෙයක් මට ඕන නැහැ. දුක සැපවත් අහන්න බැරි අයත් එක්ක තමයි මෙච්චර කල් මම ඉඳල තියෙන්නේ. එහෙම වෙනකොට අපි කොච්චර තනිවෙලා ද කියලා හිතෙනවා. මම පිටරටක රැකියාවෙන් යම්කිසි දෙයක් උපයා ගත්තා. මේ වේලාවේ ඒක මට ප්‍රයෝජනය වුණා. එකෙන් තමයි ජිවත් වුණේ. සිනමාවට ආදරේ නිසයි රැඳීලා හිටියේ. සිනමාවට වැඩ කරපු අපේ දුක සැප ඉඳලා හිටලා හරි හොයා බලනවා නම් ඒක අපට ලොකු ශක්තියක්. විශේෂයෙන් මේ කොරෝනා සමයේ.

2006 වසරේ ඡ්ඒර්‍ථ ආයතනයට බැඳී ප්‍රෙක්ශේපන යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස සේවය ඇරඹු ඉන්දික සෙනෙවිරත්න 2019 වසරේ දී සාමාන්‍ය සේවයේ සිට කළමනාකරු දක්වා සේවාවේ යෙදී ඇත. සිනමාශාලාවේ ඉදිරි දියුණුව සඳහා ඔහු නිතරම තමා කළ සේවාව හරියාකාරව ඉෂ්ඨ කර ඇත. මේ වන විට ද කුලී නිවසක ජිවත්වන ඉන්දික දරු දෙදෙනකුගේ පියෙකි. තමා ළඟ සිටින රෝගී වූ තම පියාණන් ද රැකබලා ගනිමින් සිනමා ශාලාවේ සේවය කර ලැබෙන වැටුපෙන් තම ජීවිතය ද ගැටගසා ගනිමින් බොහෝ දුක්මුසු ජිවිතයක් ගෙවන්නේය. පසුගිය කොවිඩ් වසංගතය හමුවේ සිටම ඔහුගේ රැකියාවට රතු එළියක් දැල්විණි. ඒ වරින්වර සිනමාහල වැසීම හේතුවෙනි. ලැබුණු වැටුපෙන් ගෙවල් කුලිය ද, දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුත ද,පියාගේ බෙහෙත් සඳහා ද මුදල් වියදම් වූ පසු කෑමට බිමට සුළු මුදලක් ඔහු අත ඉතිරි වූවද මේ වසංගතය හේතුවෙන් සිනමාශාලාවෙන් ලැබෙන මුදල හතරෙන් පංගුවක් ලෙස පහත වැටී ඇත. සමහර මාසවලදී එය ද නොලැබුණ අතර නිරාහාරව සිටි වාර අනන්තවත් බව ඔහු කීවේය. ආයතනය මට සැලකුවේ නෑ. වාර ගණනක් කියලා තමයි මුදලක් ඉල්ලා ගත්තේ. මම ස්ථිර සේවකයෙක්. නමුත් මේ මොහොතේ මා ගැන හොයා බැලුවේ නැහැ. එක් නිලධාරියෙක් පැවසුවේ හෝල් පටන් ගන්නා තුරු තාවකාලික රැකියාවක් සොයාගන්න කියලා. ඒත් මේ වසංගත සමයේ ඒ අය මට එසේයි සැලකුවේ. මගේ පියාත් දරු දෙදෙනාත් බඩගින්නේ තැබිය නොහැකි කරුණ නිසා දැන් මා කුලී වැඩක් කරනවා. එය ද හැමදාම නැහැ. මම සේවය කළ සිනමා ආයතනයේ නිලධාරීන් කිසිම වගකීමක් නැතිවයි කතා කරන්නේ. අසරණ වූ මට මෙහෙමද එයාලා සලකන්නේ.“ දෑස්වල කඳුළු සලමින් ඔහු කියූ

නාරම්මල පිහිටි ඉන්ද්‍රානි සිනමාහලට 1983 වසරේ සම්බන්ධ වුණ රෝහිත ජයසුන්දර සාමාන්‍ය සේවකයාගේ සිට කළමනාකාර තනතුර දක්වා ඈතට දිවෙන අතීතයක් ඇති පුද්ගලයෙකි. වසර 36 සිනමාශාලා සේවයේ නිරත වූ ඔහු පසුගිය කොරෝනා උවදුරත් සමඟ සිනමාශාලා සේවයට සමු දී ඇත. රාගම නිව් ජෙම් සිනමාශාලාවේ වසර පහකට වැඩි සේවා කාලයක් පසු කරමින් 2010 වසරේ දී කඩුවෙල නිව් රේකා සිනමාශාලාවේ සේවයට පැමිණ ප්‍රෙක්ශේපන යන්ත්‍ර ක්‍රියාකරුගේ සිට කළමනාකරු තනතුර දක්වා භාරදූර කටයුතු ඔහු අතින් නොපිරිහෙලා ඉටුකෙරී ඇත. එහි සේවය කළ අනිකුත් සාමාන්‍ය සේවකයන් සමඟ එක් වි සිනමාශාලවේ දියුණුව තකා රංජීත් කරුණතිලක මහතාට අත්වැලක් වී ඇත. දස වසරක් රේඛා සිනමා ශාලාවට සේවය සැපයූ රෝහිත ඉන් ඉවත් වූයේ තවත් රංජීත් මහතාට බරක් වීමට අකමැති නිසාය. රංජීත් මහත්තය මට දරුවෙකුට වගේ සැලකුව උදව් කළා කොරෝනා උවදුර සමයේ චිත්‍රපට ශාලාවට ආදායම නැතත් එයාගේ පුද්ගලික මුදලින් මට වැටුප් ගෙව්වා. ඉතිං මෙහෙම තියෙද්දීත් මම කොහොමද ඒ මහත්තයට තවත් බරක් වෙන්නේ මට සේවයෙන් ඉවත්වෙන්න එපා කියල කීප සැරයක්ම කිව්වා. මේ කොරෝනා වසංගතය ඉවරවෙලා යථාතත්තයට නැවත සිනමාහල පත් වුණාම එන්නම් කියල මහත්තයාට මම කිව්වා. ඒ වගේ හොඳ මහත්තුරු අද සිනමාව තුළ අඩුයි.

සිනමාශාලා රැකියාව තුළ වසර 15කට වැඩි සේවාකාලයක් පසුකළ අයෙක් ලෙස ඊ.ම්. සමරතුංග හැඳීන්වීමට පිලිවන 2006 දී මරදාන ක්‍රවුන් සිනමාහල තම ගුරු පාසල කරගනිමින් සේවයේ යෙදුණු ඔහු පසුව හංවැල්ලේ පිහිටි ෆැමිලි සිනමාශාලවේ සේවයේ යෙදී ඇත. එහි වසර 5ක සේවයෙන් පසු ඇල්පිටියේ පිහිටි සිහින සිනමාශාලාවේ වසර 5කට වැඩි කලක් සේවයේ නිරත වූ ඔහු සිනමාශාලාවට අයත් සියළුම වැඩකටයුතු බලා කියා ගත්හ. මේ වනවිට ස්ථිර සේවකයෙක් නොවූවද සිනමාවට ඇති ආදරය නිසාමද දඹුල්ලේ පිහිටි නිව් ලයින් සිනමාශාලාවේ වසර තුනහමාරකට වැඩි කාලයක් සිට සේවයේ යෙදී සිටි. අර්ථසාධක අරමුදලක් ද නොමැති ඔහුට යම් දිනක සේවයෙන් විශ්‍රාම යන මොහොතක දී හිස් අතින් යෑමට සිදුවීම ඉතාම අවාසනාවන්ත සහගතය. ස්ථිර වැටුපක් ඔහුට මේ වන විට ලැබී නොමැත. 2000ක 3000ක මුදලක් තුන් මසකට හාරමසකට පමණ පසු සන්තෝෂමක් ලෙස ලැබුණ ද එයින් කළහැකි දෙයක් නම් නොමැත. තම මා පියන් සමඟ බලංගොඩ ප්‍රදේශයේ ජීවත් වන සමරතුංග මේ වන විට ද අවිවාහකව සිටි. විවාහ දිවියට ඇතුලත් වීමට සුදුසු සහකාරියක් තමාට සොයාගෙන දිවි ගෙවීමට තරම් වැටපුක් මේ සිනමාශාලා හී රැකියාවෙන් නොලැබිම හේතුවෙන් ඔහු අවිවාහකව සිට කලාවට ඔහුගෙන් දෙයක් වුණා පමණි. කලාවෙන් ඔහු ලද දෙයක් නම් නොමැත. කොරෝනා උවදුර හමුවේ රැකියාව අහිමිවීමේ ගනයට වැටුණු සමරතුංග ගේ හෙට දින ඉරණම කුමක් වේද?

ඒ.සුනිල් බලදාස නිව් ඉමිපිරියල් ටෝකීස් සිනමා සමාගමට 1977 වසරේ දී සම්බන්ධ වී ඇත. ඉමිපීරියල් සමාගමට අයත් සිනමාශාලා වන් අතර ඉමිපිරියල් බලංගොඩ, රත්නපුර, බේරුවල, පානදුර, තලවකැලේ, කුරුණෑගල, අවිස්සාවේල්ල, යටින්තොට, වැනි නගර ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. ඔහු ඉමිපීරියල් අවිස්සාවේල්ල සිනමාශාලාවේ වැඩිම කලක් එනම් 1993 - 2013 දක්වා සේවයේ යෙදී සිට ඇත. මේ වන විට අවුරුදු 44 ක සේවා කාලයක් නිව් ඉමිපීරියල් ටෝකීස් සිනමා සමාගමට සපයා ඇති අතර තම රැකියාව පිළිබඳ මනා තෘප්තියකින් කතා කරනු ඇත.

1979 සිට අද දක්වා සාමාන්‍ය සේවක තනතුරේ සිට කළමනාකාර තනතුර තෙක් දීර්ඝ කාලයක් සිනමාවට ඇති ආදරය නිසා එකම සේවාවේ නිරත වීමට ඔහු දැඩි කැපකීරීමක් කර ඇති බව අපට පෙනී යයි. ඉමිපීරියල් ටෝකීස් සිනමා සමාගමේ අධිපතිතුමා වන ඩ්.ඒ. වැන්ස්ටාරෙක්ස් මහතා ගැන සුනිල් ගේ සිත තුළ බොහෝ පැහැදීමක් ගැබ් වී ඇත. ඒ මහත්තයා මනුස්සයෙක් නෙවෙයි දෙවිකෙනෙක් සේවකයන්ට බො‍හොම හොඳට සලකනවා ඒ වගේ ම තමයි දැන් ඉන්න නිලධාරිනුත් මේ කොරෝනා කාලය තුළ මම ගැන හොයා බැලුවා. ඒ අතින් බොහොම මනුස්සකම් දන්න අය මේ සමාගමේ ඉන්නේ. මමත් මගේ පවු‍ලේ අයත් මේ මේ වැටුපෙන් තමයි ජිවත් වෙන්නේ මමත් සමාගම එක්ක බොහොම එකඟතාවක් ගොඩනඟාගෙන ඉන්නවා.

නමුත් මේ වේලාවේ චිත්‍රපටි සංස්ථාවේ අපි වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් ඒ වුණාත් එයාලා සිනමාශාලා හිමිකරුවන් සහ කළමනාකරුවන්ගේ සිට අනෙකුත් සේවකයන් ගැන කිසිදු සැලකීමක් නැහැ. අපි සිනමවාට ආදරෙයි. ඒත් අපිට ගරුත්වයක් ඔවුන්ගෙන් ලැබෙන්නේ නැහැ. මේ කොරෝනා වසංගත සමයේ මීට වඩා අපි ගැන රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව සොයා බැලිය යුතුයි.

සිනමාව ජීවිතය කරගත් මිනිසුන් බො‍හෝමයක් අපට හමු වී ඇත. එයින් සිනමාශාලාවන් හට ආදරය කරන අය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. රේමන්ඩ් සෙනවිරත්න ද එවැනිම සිනමාවට ආදරය කළ පුද්ගලයෙකි. දැනට අවුරුදු 79ක ජීවන කඩඉම පසුකරමින් සිටින ඔහු 1965 වසරේදී කළුතර රිච්මන්ඩ් සිනමාහලේ සේවයට පැමිණ ඇත. පසුව එය මිනර්වා නමින් නම වෙනස් වී ඇත. ඇන්ඩෲ ලියනගේ මහතාට අයත් වූ එම සිනමාශාලාවේ සියළුම වගකීම් ඔහු වෙත පැවරී ඇත. ඊට අමතරව රේමන්ඩ මහතා ර්.ඉ.මොරටුව, දයා සෙවන සිනමා පිළියන්දල, රිකී සිනමා කොටුව, වැනි සිනමාශාලාවන් වල සේවයේ නිරත විය.

දයාසෙවන සිනමාශාලාවේ නවීකරණ කටයුතු ඔහු අතින් නිම වූ බව රේමන්ඩ් මහතා පැවසීය. සිනමාශාලාවන් ගැන බොහෝමයක් අත්දැකීම් ඇති වගකීමක් නිසි ආකාරව ඉටු කිරීමට හැකි මොහු අද වන විට මිනර්වා සිනමාශාලාවට තවමත් සේවාව සපයයි. ඒ සේවයට කළ ගරුත්වයක් ලෙස රේමන්ඩ් මහතාට ඔහුගේ විශ්‍රාම වැටුප ලැබුණ ද ඒ වෙනුවට නැවතත් වෙනම මුදලක් හෙතෙම සේවයේ සිටින කල් ප්‍රධානය කිරීමට තරම් ඇන්ඩෲ මහතා මානුෂීය විය. අපේ සිනමාශාලාවේ සෑම සේවකයකුටම මහත්තයා හොඳට සලකනවා. මුළු වැටුපම මටත් අනිත් අයටත් ලැබෙනවා. මේ කොරෝනා වසංගතය හමුවේ සිනමාශාලාවට යෑමට ඒමට පවා ගමන් පහසුකම් අපට දෙනවා මේ වගේ ගුණගරුක මහත්මයෙක් ළඟ වැඩ කිරීමට පවා ලැබීම මගේ වාසනාවක්. සිනමාශාලාවේ ආදායම නැතත් අපේ ආදායමට පුංචි අඩුවක්වත් ඒ මහත්තයා කළේ නැහැ. චිත්‍රපට සංස්ථාවෙන් වෙන්න ඕනෑ යුතුකම් නේද මේවා. අපි පින්තූර පෙන්නලා එයාලගෙ කොටස ගෙවනවා. නගර සභාවට විනෝද බදු ගෙවනවා. නමුත් සංස්ථාවෙන් අපට රුපියලක්වත් ගෙව්වේ නැහැ. ඒත් තවම මම සිනමාවට ආදරෙයි. මුල අමතක කරන්න මට බැහැ. එයාලා අපි ගැන මේ මොහොතේ නොසලකා හැරියට ඇන්ඩෲ මහත්තයා අපිට සැලකුවා. ඔහුගේ මුවින් ප්‍රකාශ විය.