ලෙස්ටර් ගාමිණිගේ දේහයේ නළල ඉම්බාම මට පුදුම හිතුණා

හෙළ සිනමාවේ කිවිඳීය සුමිත්‍රා පීරිස්
සැප්තැම්බර් 30, 2021

 

ඇය හෙළ සිනමාවේ කිවිඳීයයි. ඇගේ සිනමා ගෙත්තම්වලට පමණක් නොව ජීවන වියමනට ද මෙරට සිනමා කලාව මෙන්ම සිනමා කර්මාන්තය සමඟ ඇත්තේ අවියෝජනීය බැඳීමක් යැයි කීවොත් නිවැරැදි යැයි සිතමි. එනිසාම සිංහල සිනමාවේ ත්‍රිමූර්තිය ලෙස හැඳීන්වෙන ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ ඇතුළු අද දක්වා එන රංග ශිල්පී ශිල්පිනීන් අතරින් කවුරුන් හෝ පිළිබඳ වඩාත් සාධාරණ මතයක් ලබා දීම‌ට වැඩි අයිතියක් ඇයට තිබේ යැයි සැලකීම සාධාරණය. එසේම අද වන විට රේඛාව, සංදේශය, ගම්පෙරළිය, නිධානය ආදි මෙරට සිනමාවේ අමරණීය සන්ධිස්ථාන පිළිබඳ මතකයන් අවදි කරන්නට හිමිකාරීත්වය ඇති එකම තැනැත්තිය ද ඇයයි. එනිසාම ඒ නිර්මාණවලට සහාය අධ්‍යක්ෂවරයකු ලෙස රංග ශිල්පියකු ලෙස දායක වූ ගාමිණි ෆොන්සේකා නම් වූ ඒ අපූර්ව චරිතය ගොඩනැඟුණු ආකාරය සියැසින් දුටු සාක්ෂිකාරියක ලෙස සැටවසරකට පමණ පෙර සිට ඇති මතකයන් ඔස්සේ මඳක් සැරිසරන්නට අපි සුමිත්‍රා පීරිස් සිනමාවේදිනියට ආරාධනා කළෙමු.

ඇය සුපුරුදු ප්‍රියමනාප සිනාවෙන් මුව සරසා පවසන්නී "අප්පේ දැන් කොච්චර කල්ද සමහර දේවල් මතකත් නැති තරම්... ඒත් මට කියන්න පුළුවන් ඩ්ඥ ඹචඵ ච ඨධධඤ ට්ඥදබතඥථචද. (ඔහු හොඳ මහත්මා ගති තිබුණු කෙනෙක්.) අපිත් එක්ක දීර්ඝ කාලීන මිත්‍රත්වයක් තිබුණා. මටත් වඩා ඩොක්ටර් පීරිස් (ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්) එක්කයි බොහොම හිතමිත්‍රකමක් තිබුණෙ. මම දන්න විදිහට ගාමිණි ෆොන්සේකා මට වඩා අවුරුද්දක් විතර තමයි වයසින් වෙනස්. ඒ නිසා ඔහු සංදේශයට ආ කාලෙත් මම සෑහෙන සහයෝගයක් දුන්නා. ඒ තම්මිටගේ චරිතය ටිකක් කැපී පෙනෙන ආකාරයට සකස් කරලා දීලා හෝ මේ කෙනාට අවස්ථාව සලසන්න. මොකද මට මුල ඉඳලාම තිබුණා හොඳ විශ්වාසයක් ඔහු හොඳ නළුවෙක් වෙයි කියලා. ඉතින් ඒ නිසා අපි දෙන්නා (ලෙස්ටර් සුමිත්‍රා යුවළ) ගාමිණි එක්ක බොහොම ළඟින් ඇසුරු කළා. ඔහු නිතර එනවා දෙහිවල අපේ ගෙදරට. ලෙස්ටර් සර් ගැන ලොකු ගෞරවයක් තිබුණා ඔහුගේ හිතේ. ඩොක්ටර් පීරිසුත් එයාට බොහොම ආදරෙයි."

 

ඉන්පසු ඇය ඔහුගේ රංගනය පිළිබඳ විශ්ලේෂණාත්මකව කියයි. මා බොහෝ විට කළේ ඇයට ඉඩ දී නිහඬ‍ව සටහන් තබා ගැනීමයි.

"ගාමිණි සංදේශයට කලින් සීගිරි කාශ්‍යප, පිරිමියෙක් නිසා වගේ චිත්‍රපට දෙකකද කොහෙද ඉඳලා තියෙනවා මගෙ මතකය හරිනම්. ඔහු පටන් ගත්ත ශෛලිය හුඟක් වෙනස්. ඒ කාලේ රංගනය කියන දේ ගැන නිශ්චිත පදනමක් තිබුණෙත් නෑ. රංගනය පිළිබඳ ලොකු අවබෝධයකින් එය ඉදිරිපත් කළ යුගයක නෙවෙයිනෙ මොහු බිහි වුණේ. ඒ නිසා ගාමිණි එයාගෙම ඕනෙකමින් පොත පත කියවලා, බලන්න පුළුවන් චිත්‍රපට සියල්ල බලලා තමන්ගේ ශෛලිය හදා ගත්තා. ඇත්තෙන්ම රංගනයට වඩා ඔහුට වුවමනා කළේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න. මොකද රේඛාවට ආපු කාලෙත් මම හිතන්නේ ගාමිණි ප්‍රේමනාත් මොරායස්ගෙන් ද කොහෙද ලියුමක් අරගෙන ඇවිත් තිබුණේ චිත්‍රපටයේ වැඩ කරන්න මිස රඟපාන්න නෙවෙයි. ඉතින් මට මතක විදිහට රේඛාවේ ඔහු වැඩ කළේ සහාය අධ්‍යක්ෂණය පැත්තෙන් හෝ නිෂ්පාදන කළමනාකරණ අංශයෙන් තමයි. මොකද මට මතකයි අයිරාංගනී (සේරසිංහ) එහෙම කියනවා ඒ අයව රෙස්ට් හවුස් එකට ඇරලවන්න පවා ගාමිණි ගියා කියලා. ඒ වගේ සියලු වැඩ කරලා තමයි ඔහු මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. එතකොට මේ අවුරුදු දහනවයක විස්සක විතර කොලු ගැටයෙක් වෙන්න ඇතිනෙ. (ඇය සිනාසෙයි)

ඔහු ඉතා හොඳ චිත්‍ර ශිල්පියෙක් නිසා වෙන්න ඇති හිතන්න ඇත්තේ කැමරාව පිටිපස්සේ හිටියා නම් එයාට හොඳ ඇහැක් තියෙන නිසා චිත්‍රපටයක් තනන්න පුළුවන් කියලා. හැබැයි ඔහුට චිත්‍රපට වැඩි වෙනකොට රඟපාන්න අවස්ථාව වැඩි වෙනකොට ලොකු බැඳීමකින් හැම චරිතයම කළා කියන්නත් බැහැ. ඒ ඒ චරිතය අනුව පෙළක් වෙලාවට ඔහුම අධ්‍යක්ෂණයත් බාරගෙන කළ අවස්ථා තිබුණා කියලා හිතනවා. මොකද ඔහුට රංගනය පිළිබඳවත් දැනුමක් තිබුණ නිසා. ඒ වගේම රංගනයේදී ඒ රූප රාමුවට හරියන්න සිටිය යුතු ආකාරය ගැනත් ඔහුට දැනුමක් තිබුණා. අනෙක ඔහුට තිබුණු විශේෂම දේ තමයි ඔහුගේ ස්වරූපය. ගාමිණිගේ මූණේ තිබුණු ඉරියවු ආදිය 'හරිම කැමරා ෆ්‍රෙන්ඩ්ලි' කියන්න පුළුවන්. (කැමරාවට ඔබින මුහුණක්) පෙළක් අය කොච්චර රඟපෑවක් ඒ අයගේ මුහුණේ ඉරියවු කැමරාවේ රෙජිස්ටර් වෙන්නෙ නෑ. (කැමරාවට හොඳීන් හසු වෙන්නේ නෑ) මම අධ්‍යක්ෂවරියක් වශයෙන් මට අවස්ථාව ලැබුණා 'ලොකු දුව' චිත්‍රපටයට ඔහු දායක කරගන්න. මට මතකයි පෙළක් වෙලාවට දර්ශනය අවසන් වුණත් 'කට්' කියන්න හිතෙන්නේ නෑ මොකද කැමරාවෙන් බලා ඉද්දි හැම මොහොතෙම ඔහු අලුත් ඉරියවුවක්, ඉංගිතයක් චරිතයට එහා යන විදිහට කරනකොට අපිත් කැමරාව පිටිපස්සේ රැඳීලා බලාගෙන ඉන්නවා කට් කියන්න දුකට. ඒ තරමට මූණින්, අතින් හෝ ඇඟිල්ලකින් හරි ඉංගිතයක් ඉදිරියටම කරගෙන යනවා මිසක් නළුවකු හැටියට ඒ කොටස ඉවරයි කියලා අවසන් වන හැඟීම දෙන්නේ නෑ. මම හිතන්නේ ඔහු ඒ චූටි කාලය තුළත් ඒ චරිතය තුළ ජීවමාන වෙනවා. ඔහුටම අමතක වෙනවා ඔහු රංගනයක යෙදිලා ඉන්නේ කියලා. ඒ නිසා යථාර්ථවාදී අයුරින්ම ඒ චරිතයට ප්‍රවිශ්ඨ වෙනවා. එය ඔහුට උපතින්ම ආ දෙයක් වෙන්න ඇති. පස්සේ ඔහු ඒවා දියුණු තියුණු කරගන්න ඇති, අනෙක් චිත්‍රපට ආදිය බලලා, කියවලා. විවිධ චිත්‍රපට වර්ගවල ස්වභාවයන් ඉගෙනගෙන කළා මිස නිකම්ම ආවට ගියාට රඟ පෑ කෙනෙක් නෙවෙයි ඔහු.

ඇය කල්පනාවේ නිමග්නව සිටියි. ඒ තවත් මතකයන් හාරාවුස්සන්නටය.

දේශපාලනය කළා වුණත් ආවට ගියාට කළේ නෑනෙ. නියෝජ්‍ය කථානායක වෙච්ච කාලේ වුණත් ලොකු වගකීමක් එක්ක හරියට දෙයක් කරන්න කල්පනා කළා. ඔහු බුද්ධිමත්, තියුණු කෙනෙක්. ඒ හැම එකකටම වඩා ඔහු හොඳ මනුෂ්‍යත්වයෙන් යුතු කෙනෙක්. කේලාම් කිය කිය, මිනිස්සුත් එක්ක රණ්ඩු සරුවල් පටලවගෙන ඉන්න කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා තමයි අපට දිගු කාලීනව හිතවත්කම තියාගන්න පුළුවන් වුණේ. මගෙත් පළමුවැනි චිත්‍රපටයේ ඉඳන් ආපු මිත්‍රකම එක්ක 'ලොකු දුව' චිත්‍රපටයේදි හරි ඔහුව අධ්‍යක්ෂණය කරන්න ලැබුණු එක ගැනත් මම සතුටුයි.

ගාමිණි සෙන්ට් තෝමස් එකට එහෙම ගිහින් තිබුණා. ලෙස්ටර්ලාගේ ගමේත් හින්දා සංදේශයට ගන්න ඒකත් හේතුවක් වෙන්නත් ඇති. හැබැයි ඒ වෙද්දි මම හිතන්නේ ගුණරත්නම්ලාගේ කොන්ත්‍රාත් අස්සන් කළ චිත්‍රපට කණ්ඩායමේ හිටි ශිල්පියෙක්. ඒත් ගාමිණි ෆොන්සේකා කියන්නේ කවුද කියලාවත් ඒ කාලේ රට එච්චර දන්නේ නෑ. ඉතින් එයා රංගනය කරනකොට මම හිතන්නේ මමත් අලුතෙන් අවිල්ලා සහාය අධ්‍යක්ෂිකාවක් හැටියට කටයුතු කළාට මටත් හුඟක් වෙලාවට තිබුණේ කන්ටින්‍යුටි (අඛණ්ඩතා) එහෙම බලන්න. ඉතින් දවසක් ඇවිත් හිටියා අත් එහෙම කඩුවලින් කැපිලා. ඒ දෙහිවල ගෙදරදි තාත්තලාගේ කල්ලි අතර ප්‍රශ්නයක්ද කොහෙද නිසා. ඉතින් මට ඒවා පෙන්වනවා මේවා මේකප් කියලා. මමත් ඕවා දන්නේ නෑනේ... මමත් කන්ටින්‍යුටි පොතේ ලියා ගන්නවා කඩුපාරවල මේකප් අඛණ්ඩව පවත්වා ගන්න කියලා. (සිනාවකට මුසු කරමින් ඇය පසුව කියයි) ඊට පස්සේ මට ගාමිණීම හිනාවෙලා කියනවා මේවා සදහටම තිබෙන සලකුණු, ඒවා ලේසියෙන් මැකෙන්නේ නෑ කියලා.

ඉතින් ඒ කාලේ පටන් ගත්ත භක්තිය අපි වෙනුවෙන් එයාට තියෙන්න ඇති. මොකද පරසතු මල් වගේ චිත්‍රපටයක් වුණත් ඒකේ නිෂ්පාදක, අපේ චිත්‍රා බාලසූරිය වුණත් කීවේ ඩොක්ටර් පීරිස්ට කරන්න කියලානෙ. ඒත් අපේ කම්පනි එකේ අය කීවා අධ්‍යක්ෂට ඇයි පිට වැඩ කරන්නේ ඔබතුමා අපේ සිනෙලංකා එකටමනෙ වැඩ කරන්න ඕනෙ කියලා. ඒ පාර ඉතින් අපට කවුරු හරි යෝජනා කරන්න කීවාම අපි ගාමිණි ෆොන්සේකාව යෝජනා කළා. මමත් පොරොන්දු වුණා සහාය අධ්‍යක්ෂවරියක් විදිහට වැඩ කරලා එයා නැති අවස්ථාවල එහෙන් මෙහෙන් සීන්ස් දෙකක් තුනක් හැන්ඩ්ල් කරලා දෙන්න පුළුවන් කියලා. ඒ කාලේ චිත්‍රපටවලට කොච්චර උනන්දුද කිව්වොත්, මමයි ලෙස්ටරුයි කසාද බැඳලා ගෙදර ආ හැටියෙම මම කෙළින්ම ගියෙත් සෙට් එකටද කොහෙද. ඩොක්ටර් පීරිසුත් පරසතු මල් චිත්‍රපටයේදි ගාමිණි මැරෙන දර්ශනවලදි උදවු කළා. මට මතකයි ගාමිණි කියනවා ධ් ඩධනඥ රධභ ජචද ඬඥඥන චද ඥරඥ ධද ථර නතචරඪදඨ (මම රඟපාන එක දිහා ඔබතුමාට පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න පුළුවන් වෙයිනෙ) කියලා එහෙම කියනවා. ඉතින් ඒ නිසා මමත් සමීපව ආශ්‍රය කළ නළුවෙක් වගේම පුද්ගලයෙක් හැටියට ගාමිණී හඳුන්වන්න පුළුවන්. ඔහු මගේ සහෝදරයෙක් වගේ. අපේ මිත්‍රත්වය ඔහුගේ අවසන් මොහොත වනතුරුම තිබුණා. මට මතකයි ගාමිණිගේ අවමංගල්‍ය උත්සවයට ගිහින් ලෙස්ටර් නැවිලා ගාමිණීගේ නළල ඉම්බ වෙලාවේ මට පුදුම හිතුණා. මොකද ඩොක්ටර් පීරිස් විෂබීජවලට එහෙම හරිම බය පුද්ගලයෙක්. ඒකෙන්ම තේරෙනවානෙ කොයි තරම් අවංකවම ඔහුට ආදරය කළාද කියන එක. ඔහුත් එහෙමයි දිගටම හිටියේ.

 

ඇය මොහොතක් ඒ බැඳීයාව සිහි කරමින් සිට යළිත් තවත් මතක මාවතක් දිගේ යන්නීය.

ඔය යුගාන්තයට එහෙම ආපහු ගෙනාවේ දිග සාකච්ඡා තියලා බොහොම අමාරුවෙන් ගාමිණිව නම්මාගෙන තමයි. මොකද පොඩ්ඩක් සිනමාවෙන් ඈත් වෙලා හිටියානේ පෞද්ගලික ප්‍රශ්නයකට. අපි ඉතින් දවසක් දෙකක් ගෙදර ගිහින් කෑම කාලා කතා කර කර ඉඳලා එහෙම තමයි සයිමන් කබලානගේ චරිතය කරන්න ආරාධනා කළේ. ඊට පස්සේ අන්තිම කාලෙ වනකල්ම ආදරයෙන් ගෞරවයෙන් ආශ්‍රය කළා. වෙන විදිහේ නළුවෝත් අපි සමීපව ඇසුරු කළා. ඒත් මේ විදිහේ නළුවෝ මම හිතන්නේ හිඟයි.

 

මම නිධානය පිළිබඳ සිහිකළෙමි.

නිධානය චිත්‍රපටය කළේ පුදුම කාල සීමාවක. දවස් හතළිහක් එක දිගට කළ චිත්‍රපටයක් නෙවේනේ. ඒ කෝල්ෂීට් හතළිහ- පනහ කරගන්න අවුරුද්දක්වත් යන්න ඇති. මොකද මාලිනී වගේම ගාමිණී හරිම කාර්යබහුලයි ඒ කාලෙ. ඒත් ඒ අඛණ්ඩතා සියල්ල හිතේ තියාගෙන ඒ මුළු කාලසීමාවෙම එක විදිහට රඟපාන්න වෙන කෙනෙකුට පුළුවන් වෙයිද කියලා මට හිතන්න බෑ. පොඩි කොල්ලෙක් විදිහට රේඛාවෙන් පටන්ගත්ත ගමන ඔහු හුඟාක් දුර ආවා. ඔහුගේ රංගනය බොහෝ දුරට නිධානයෙන් ඔපමට්ටම් වුණා. මොකද එහි සියුම්ම සියුම් තැන් තිබුණා ඔහුට ඉදිරිපත් කරන්න. ඔහුටත් අපූරු ලෙස එය අවස්ථාවක් වුණා. අපට නම් හැමතිස්සේම පෙනෙන්නේ ඔහු ආරූඪ වෙලා අන්තිමට මාලිනීව මරණ කොටස. ඒක එක අතකින් ලේසි කොටසක් කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒකේ බොහොම සියුම් කොටස් තියෙනවා කරන්න අපහසු. මම හිතන්නේ ගම්පෙරළියටත් අපි ගාමිණිව තේරූ වෙලාවේ මාර්ටින් වික්‍රමසිංහ විරුද්ධ වුණා. ඩ්ඥ ඪඵ ච ඡධයඥප, ඩඥ ජචද'බ ඡඥ ථර බ්ඪදචඤචඵච (ඔහු බොක්සිංකාරයෙක් වගේ මගේ ජිනදාස එහෙම කෙනෙක් නෙවෙයි) කියලා. පස්සේ ඩොක්ටර් පීරිස් කිව්වා, නෑ එයා හොඳ ඇක්ටර් කෙනෙක් කියලා. ඊට පස්සේ චිත්‍රපටය බලලා ඉවර වෙලා වික්‍රමසිංහ බොහොම පැහැදිලා එයාගේ වචන ආපහු ඉල්ලා අස්කරගෙන කිව්වා ජිනදාසට හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලා. ගාමිණි ඒ වෙනුවෙන් ජිනදාස ඇවිදින හැටි, බලනකොට තියෙන අහිංසකත්වය වගේ ඒ ඔක්කොම චරිත ලක්ෂණ තේරුම් අරගෙන රඟපෑවේ. ඒ කාලේ ගාමිණි හරියට චිත්‍රපටවල රඟපෑවා. එතකොට ඔහුට පොඩි කාර් එකක් තිබුණා. ඒකෙන් සමහර දවස්වලට අපේ ගෙදර ඇවිල්ලා ගම්පෙරළියේ චරිත ගැන සාකච්ඡා කරනවා අපි මෙහෙම කළොත් හොඳයි නේද? කබලානගෙ චරිතෙට වඩා ජිනදාස මෙහෙමයි නේද ඇඳුම් මෙහෙම කරමුද, බලනකොට ඔළුව මේ අතට හරවගෙන හිටියොත් හොඳයිද, වගේ කෙස් ගහක් කෙළින් තියෙන්න ඕනෙද කියන තැනට එනකල්ම කතා කළා ඩොක්ටර් පීරිස් එක්ක. අධ්‍යක්ෂවරයකු වශයෙන් ලෙස්ටර්ට තිබුණු ගෞරවය නිසාත් වෙන්න ඇති සමහර විට. මොකද එයා දන්නවානේ මේ නිර්මාණයේ කර්තෘ කවුද කියලා. ඒ ගෞරවය තියෙන්නත් ඕනෙ, එයාගේ අදහස මේ නිර්මාණයේ ශෛලිය සමඟ ගැළපෙනවාද බලන්නත් ඕනෙ. නැත්නම් වෙන විදිහක රඟපෑමක් කරලා හරියන්නෙත් නෑනේ. ඉතින් ඒ අතින් කතාවට, පිටපතට, අධ්‍යක්ෂණයට ගාමිණි හරිම සංවේදියි. මොකද එයාට සිනමාව ගැන හොඳ දැනුමක් තිබුණ නිසා එයා දන්නවා කොයි වෙලාවෙද සමීප රූපයක් එන්නේ, ගමන් කරන රූප රාමුවක් කියන්නේ මොකක්ද, දුර රූපයක් කියන්නේ මොකක්ද කියලා. ඒ කාලේ බැඳලාවත් හිටියේ නෑ මගේ හිතේ.

ඊට පස්සේ වාණිජ චිත්‍රපට ගොඩක රඟපෑව නිසා ලොකුවටම ඩොක්ටර් පීරිස් එක්ක වැඩ කෙරුණේ නැහැ. ඒත් ඉතින් අපේ සම්බන්ධතාව වෙනස් වුණෙත් නෑ.

 

ඔහුට කැමරාවේ කාච පිළිබඳවත් හොඳ දැනුමක් තිබුණු බව කියනවා? මම අසා ඇති දෙයක් කීවෙමි.

ඔවු... හැබැයි ඉතින් සරුංගලේ ඇරුණාම ගොඩක් ගැඹුරු චිත්‍රපට ඊට පස්සේ කළාද මම දන්නෙත් නැහැ වෙන අයත් එක්ක. සමහර වෙලාවට එයාට තේරෙනවා ඇති සමහර අධ්‍යක්ෂවරු 'නාගන්නවා' මෙතැන කියලා දර්ශන තලයේ බලය අතට අරගෙන ක්‍රියාකරන්න ඇති. හුලවාලි වගේ චිත්‍රපටවලටත් ටිකක් අතගහන්න ඇති. හැබැයි සර්ටවත් මටවත් කවදාවත් කරදරයක් වෙන විදිහට නම් හැසිරුණේ නැහැ.

 

මට මතකයි කවුද මට එවලා තිබුණා ළඟදි සරසවිය රණතිසර සම්මානය ලෙස්ටර් සර්ට ලැබෙන වෙලාවෙ පින්තූර වගයක්. ඩොක්ටර් පීරිස්ට සම්මානය ලැබෙද්දි හේතුපාඨ කියන්නේ ගාමිණි. කොල කෑල්ලක්වත් නැතුව ඔහු නැඟිටලා හරිම ලස්සන කතාවක් කළා ම‌ට මතක විදිහට ඉංග්‍රීසියෙන්. ගාමිණී එන්නේ සිංහල පවුල් පසුබිමකින් වුණත් ඔහුට ඉංග්‍රීසි භාෂාව භාවිත කරන විදිහ පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. උච්චාරණය, ශෛලිය හොඳට තිබුණා. නළුවෙකුට සාමාන්‍යයෙන් ඒවා හොඳට උකහා ගන්නත් පුළුවන්නෙ. ඒ නිසා ඔහු භාෂා දෙකෙන්ම කවි ලීවා, ගීත ලීවා. අරීසෙන් අහුබුදුගේ ඇසුර එයාට හොඳට ලැබුණා. ඒ අතින් ඔහු සම්පූර්ණ පුද්ගලයෙක්. ඉතින් අපටත් ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්න ලැබීම එක අතකින් වාසනාවක් කියන්න පුළුවන්.

 

යළිත් ඇයට සිහි වන්නේ ගාමිණි ෆොන්සේකා නම් දේශපාලනඥයාගේ රුව විය යුතුය.

කොහොම වුණත් ගාමිණි දේශපාලනය කළ එක නම් තේරුමක් නැති දෙයක්. ඒවා ඉතින් පෙළක් වෙලාවට එන එන රැළි එක්ක තමන්ගේ ගමන යනවා වෙන්න ඇති. කොච්චර කල්පනාවෙන් වැඩ කළත් කාට වුණත් පෙළක් වෙලාවට වරදින තැන් තියෙනවානේ. ඒකට ඉතින් දෛවයත් බලපානවා, අවස්ථාවත් බලපානවා... (සිනාසී) බලපෑමුත් බලපානවා. ඔහු ගැන අපි දන්නේ පිටින් නේ. විවිධ යුගවල මනුෂ්‍ය ගති අනුව විවිධ දේවල් මිනිස්සුන්ට කරන්න හිතෙනවානේ.

ගාමිණි බැන්දෙත් ගම්පෙරළිය කරන කාලේ ද කොහෙද. සුමිත්‍රාත් (සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය) සාමාන්‍ය පවුලක කෙනෙක්. ගාමිණි දරුවන්ටත් හරි ආදරෙයි. හැබැයි මම වැඩිය දැකලා නෑ ගාමිණීගේ ප්‍රතිරූපය, ගාමිණි ෆොන්සේකා විදිහට ගොඩනැඟුණා මිස පවුලක් විදිහට සමාජයට මුහු වුණා කියලා. ප්‍රේක්ෂකයනුත් බැලුවේ ගාමිණිගේ පවුලට වඩා ගාමිණි ෆොන්සේකා කියන නළුවා දිහා විතරයි.

ඒ වගේම ගාමිණි ෆොන්සේකා කියන්නේ ශ්‍රී ලාංකික සිනමාවේ ආත්මාභිමානයක් සහිතව ජීවත් වුණ අපූර්ව සලකුණක්. ඔහු කිසිකෙනෙකුට යටත් වුණේ නෑ. හිස නැමුවේ නෑ. ඔහු තමයි බස් එකේ ඇවිත් බත් පැකට් එක කන තත්ත්වයෙන් වෙනස් කරලා ගෞරවණීය තත්ත්වයකට කලාකරුවා පත් කරන්න මූලික වුණේ. ඔහු බොහෝ නළු නිළියන් සමඟ රඟපෑවා. හැබැයි ගාමිණි මාලිනි යුගයෙන් පස්සේ එහෙම තව නිළියක් සමඟ යුගයක් ගාමිණිට ආවෙ නෑ. සමහර විට මම හිතනවා නිධානයත් ඔහුගේ ඒ යුගය ස්ථාපනය වන්න බලපෑවා වෙන්න ඇති කියලා. හැබැයි වීනා, පුණ්‍යා සමඟවත් ඔහුට යුගයක් ඇති නොවුණේ, ඔවුන් චරිත නිරූපණයේදී ඒ චරිතවලටම ආරූඪ වෙලා ඒ චරිත ලෙස පෙනී සිටිනවා මිස කාඩ්බෝඩ් චරිත කරමින් තරුගුණය පවත්වන්න උත්සාහ නොකළ නිසා වෙන්න ඇති. ඒ කියන්නේ ජිනදාස නම් ජිනදාසම තමයි, එතැන ගාමිණී ෆොන්සේකා කෙනෙක් නෑ. පුණ්‍යාට වුණත් හැමෝම කියන්නෙ නන්දා කියලානෙ. පස්සේ තමයි පුණ්‍යා කියලා මතක් වෙන්නේ. ඊට පස්සේ කාලෙකනේ ඉන්දියාවෙන් අරහෙන් මෙහෙන් ඔය නළු නිළියන් 'කපල් කරලා' චිත්‍රපටය අලෙවි කරගන්න උපක්‍රම කරන්න ගත්තේ. බොහෝ දෙනෙක් ගොදුරු වුණාට ඒවාට ගාමිණි වැඩිය ගොදුරු වුණේ නෑ. ඒ හැම දෙයක්ම ඒ ඒ කාලෙට අවස්ථා, අවශ්‍යතා අනුව එන දේවල්නේ. දැන් බලනකොට සමාජයත් වෙනස් වෙලා රඟපාන අයගෙ නමක් ගමක්වත් මතකත් නෑ වගේ නේ. (ඇය සිනහව අතරින් කියයි)

 

ඇය අනාගතය දෙසට හැරෙන්නීය.

දැන් නම් මම දන්නේ නෑ සිනමාවට මොකක් වේවිද කියලා. එන විදිහට මුහුණ දීලා ඉරණම දිහා බලන් ඉන්නවා ඇරෙන්න අපට ඒවා වෙනස් කරන්නත් බෑනෙ නේද? අපි දැන් අඬලා වැඩකුත් නෑ. කාලයක් යනකොට වෙන විදිහක සිනමාවක් එන්නත් ඉඩ තිබෙනවා. දැන් ටෙලි නාට්‍ය අරවා මේවා බලලාම ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනයත් වෙනස් වෙලානේ. මමත් ඉඳලා හිටලා ඔය පොඩි ටෙලි නාට්‍යයක් එහෙම බලනවා ඒවායේ අතනින් පොඩ්ඩක් කොනිත්තනවා මෙතනින් පොඩ්ඩක් පෙන්වනවා ඉවරවෙනවා ඇර මුකුත් වෙන්නෙ නෑනෙ. ටික දවසක් නොබලා ඉඳලා බැලුවත් එකම ඇඳුමයි, එකම තේකයි එකම මේසෙ උඩ. පොඩ්ඩක් එහාටවත් වෙලා එක දර්ශනයක් ගනිං...! එහෙමත් නෑ. (ඇය විස්මය දනවමින් පවසයි.) මට පේන්නේ ඒ රූප රාමුවල කුරුල්ලො හිටියාද වලාකුළු තිබුණාද වගේ දේවල්. අන්තිමට කතාවක් නෑ. මේක නිකම්ම සල්ලි හම්බකරන මැජික් එකක් වගේ. හරියට ඒක නිකම්ම 'පීප් ෂෝ' එකක් වගේ. පොඩි මොකක්හරි දෙයක් ගැන පොඩ්ඩක් එබිලා බලලා රවුම කැරකෙන්න වයින් ඉවර වුණාම කතාවත් ඉවරයි. ඒක තමයි ගාමිණිලා වගේ චරිත බිහි නොවන්නත් හේතුව. චරිත පවත්වාගෙන යන්න බෑනෙ. හැබැයි ඉතින් තව කල් යනකොට මේ මාධ්‍යවලින්ම මීට වඩා සදහටම පවතින, කාලයට ගැළපෙන මොකක් හෝ දෙයක් නිර්මාණය වෙයි. මොකද ප්‍රේක්ෂාගාරය බලාගෙන ඉන්නෙත් නෑනෙ. සිනමාව කියන වචනය අපට ඉදිරියට භාවිත කරන්නත් බැරි වෙයි. මොකක් හරි රූපකලාවට ගැළපෙන නමක් එයි. අපේ සිනමාවත් තියේවි. අපි දන්න විදිහට, අපි දන්න නීති රීති ව්‍යාකරණවලින් තොර අපට නොතේරෙන, තරුණ අයට තේරෙන වෙනම කලාවක් ඇති වේවි. හැබැයි ඒවායේ ගාමිණී ෆොන්සේකාලා වගේ අයට ඉන්න අමාරු වෙයි. ඒවා මනුෂ්‍යත්වයට වඩා බොහෝම තාක්ෂණික යෙදවුම් වැඩි නිර්මාණ වෙයි. චිත්‍ර පවා අවුරුදු සිය දහස්ගණන් පැවතුණා වගේ ඩිජිටල් විදිහට සමහර දේවල් සකස් කරන්න පුළුවන් වුණා වගේ සිනමාව සහ ගාමිණිලා වෙනම පවතීවි. දැන් කියවන්නේ සම්පූර්ණ කතන්දරයක්, චරිතයක් නෙවෙයිනේ. රාමුගත රූපය පමණයිනෙ. එතකොට නළු නිළියන් කුඩා වෙනවා, ඔවුන් වෙනස්ම පැතිකඩකින් දකින්න තරම් සුළු වෙනවා. ඒ නිසා ගාමිණි ෆොන්සේකලා කවදාවත් සිනමාවෙන් මකා දමන්න බැරි වෙයි. හැබැයි කාගේ චිත්‍රපටයක හෝ ඔහු රඟ පෑ චරිත සංරක්ෂණය කරන එක විතරයි අපට දැන් ඉතුරු වෙලා තිබෙන්නේ. ඒ සඳහා උනන්දු වුණොත් හොඳයි අනාගත පරම්පරාවලට හෝ මේ දේවල් දැකබලාගන්න. එහෙම සංරක්ෂණය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.