ගාමිණී ගැන මුල්ම ලිපිය ලියූ එල්මෝ ගුණරත්න

සැප්තැම්බර් 9, 2021

 

එකදාස් නවසිය පණහ මුල් භාගයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ එකම පන්තියේ එකට ඉගෙන ගත් මිතුරන් කිහිප දෙනෙක් හින්දි සිනමාවට ඇලුම් කළෝය. මිතුරන්ගේ පොදු ලක්ෂණය වුයේ ඔවුහු දිලීප් කුමාර් නම් හින්දි නළුවාට අසීමිත ආදරය කළහ. ඇතැම්හු දිලිප් ගේ අකීකරු හිසකේ රැල්ල තම හිසෙහී රඳවා ගත්හ. කවුද මේ මිතුරු පිරිස? එල්මෝ ගුණරත්න, එස්.සුබසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, විජේරත්න වරකාගොඩ, අසෝක පොන්නම්පෙරුම, ඩී.සී. රණතුංග, සුමිත්ත අමරසිංහ.

විවේක කාලයේ විජේරත්න වරකාගොඩ ගැයුවේ තලාත් මෙහෙමුඩ් ගේ ගීතය. ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ගැයුවේ මුකේෂ් ගේ ගීතය. අනික් යාළුවෝ ඔවුන් දෙදෙනා වට කරගෙන හින්දි ගීත රස වින්දෝය. ඒ අතරින් ‘ස්ක්‍රීන්’ පික්චර් පෝස්ට්’ වැනි සිනමා සඟරා නොනිත් ආසාවෙන් කියවූ එල්මෝ ගුණරත්න සිනමා පුවත්පත් කලාවට නැඹුරු විය. ඔහු පසුව ලේක් හවුසියේ ඩේලිනිවුස් පත්‍රයේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයේ උපකතුවරයකු ලෙස පුවත්පත් කලාවට සම්බන්ධ විය. පසුව ‘සිළුමිණ’ සහ ‘ජනතා’ පත්‍රවල සිනමා පිටු සංස්කරණය කළ එල්මෝ චිත්‍රපට විවාරකයකු ලෙස නමක් දිනා ගත්තේය. තම පන්ති සගයන් වූ එස්.සුබසිංහ හා ඩී.සී.රණතුංග ද ලේක්හවුසියට බැදුණහ. සුබසිංහ ‘ දිනමිණ’ හා සිළුමිණ’ ‘නවයුගය’, ලංකාදීප, පත්‍රවල ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කළේය. කලක් ඇවැමෙන් ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ‘ලංකාදීප’ පත්‍රයේ ද, එල්මෝ ගුණරත්න ද, ‘ලංකාදීප’ පත්‍රයේ ප්‍රධාන කතුවරයන් විය. ඩී.සී. රණතුංග ‘ඔබ්සර්වර්’ පත්‍රයේ විශේෂාංග කතුවරයා වී ‘රනක්’ නම් අන්වර්ථ නමයකින් සිනමා විශේෂාංග ලිපි ලිවීමෙන් අසෝක පොන්නම්පෙරුම හා විජේරත්න වරකාගොඩ සිනමා කේෂ්ත්‍රයට එක් වුහ.

එල්මෝ ගුණරත්න ජනතා හා සිළුමිණ පත්‍රයේ සිනමා විචාර හා විශේෂාංග ලිවීමේ සූරයෙක් විය. මුල් යුගයේ සිනමා කේෂ්ත්‍රයේ සෑම ප්‍රධාන චරිත සියල්ලෝම සමීප, මිත්‍රත්වයෙන් සිටි බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පර්සි ජයමාන්න අප සමඟ කීවේය.

කොටින්ම ගුණරත්න මහත්තයා හරියට ෆර්ගියුසන් ඩිරෙක්ටරි වගේ චරිතයක්.

ලේක්හවුසියෙන් පළ කළ වාර්ෂික ප්‍රකාශනයක් වූ ෆර්ගියුෂන් ඩිරෙක්ටරියේ ලංකාවේ ප්‍රධාන චරිත ගැන ඇතුළත් කෝෂ ග්‍රන්ථයකි.

1963 වසරේ ‘සරසවිය’ පත්‍රය ඇරඹුණු විට දෙස් විදෙස් සිනමා තොරතුරු, චිත්‍රපට විශේෂ චරිත ඇතුළත් විශේෂාංග වැඩි ගණනක් ලියා ඇත්තේ එල්මෝය. රුක්මණී දේවිය ඔහු හිතවතෙකු විය. ඇය ගැන ලියු විශේෂාංගයකින් කොටසක් මෙහි ඇතුළත් කරන්නේ එහි සත්‍ය අසත්‍යතාව ගැන ඔබට දැන ගැනීමටය.

‘කිසි දිනෙක රුක්මණී චිත්‍රාගාරකට ගිය විට අනිත් නළු නිළියන් ගෙන් වෙන් වී සිටින්නේ නැත. ඈ සියළු දෙනා සමඟ හොඳීන් කථා බහ කරයි. එකට කෑම ගනියි. රුක්මණීට තරහාකාරියන් නැත. ඈට කවුරුත් ආදරෙයි. ලෝලීයෝ දහස් ගණන් ඈ බලන්නට එති. නළු නිළියන්ට ඈ ‘ඩේසි අක්කා’ය. ඈ කිසිම නළුවෙකුට හෝ නිළියක ගේ හොඳක් මිස නරකක් කියන්නේ ද නැත. තම ගරුත්වය රැකගෙන සියළු දෙනා අතර ජනපි‍්‍රය වී ආදරය දිනාගෙන සිටීමට රුක්මණී හොඳට දනියි. ඒ ඇගේ උපන් ගතියක් යයි ඇය කලක් සිට ඉතාමත් කිට්ටුවෙන් ආශ්‍රය කළ අය මා සමඟ කියා ඇත.

දහස් ගණන් අතර වුවත් නඳුනන කෙනෙක් දුටුවාම සිනා සී ‘කොහොම ද සැප සනීප’ කියා ඇය අසයි. මා ලියූ පළමු වෙනි චිත්‍රපටි විවේචනය ‘පෙරකදෝරු බෑනා’ චිත්‍රපටියේය. ඒ ලිපියෙහි මම රුක්මණී තදින්ම විවේචනය කළෙමි. චිත්‍රපටයට ද දොස් කීවාය. දවස් දෙකක් යන්නට පෙර මට තර්ජනාත්මක ලිපි ගලා එන්නට විය. ඒ චිත්‍රපටියට දොස් කියා සිටි නිසා නොව රුක්මණී විවේචනය කළ නිසාය.

පළමුවෙනි විවේචනය නිසාත් රුක්මණී දේවි විවේචනය කළ නිසාත් ඇය නැවත හමුවීමට පවා මගේ සිතට ලැජ්ජාවක් ඇති විය. ඇය මා කුඩා කාලයේ සිටම හොඳීන් දැන හඳුනාගෙන සිටීම මගේ තත්ත්වය තවත් නරක් කළේය. ‘දොස්තර’ චිත්‍රපටයේ මූලික ප්‍රදර්ශනයට මම ගියෙමි. මෝටර් රථයෙන් බැස සිනමාහලේ දොරටුව වෙත යන මට මුලින්ම මුණගැසුණේ රුක්මණී දේවි ය. ආ එල්මෝ කොහොමද කලකට පසුව යයි’ කියා ඇය වෙනදා මෙන් සිනාසුනාය. මගේ සිත තුළ තිබූ සියළු දෙයක්ම එතැනින් අවසන් විය. (1964 සරසවිය සිංහල සිනමා වාර්ෂිකය)

සිනමා නළුවන් වූ ගාමිණී ෆොන්සේකා හා ආනන්ද ජයරත්න එල්මෝගේ සමීප මිතුරෝය. සමීතම මිතුරන් වූ බව පර්සි ජයමාන්නයෝ පැවසුහ. එකල සිංහල චිත්‍රපටයක මුහුරත් උත්සව වලටත්, මංගල දර්ශන වලට සහභාගි වන වෙනත් පුවත්පත්වල සිනමා ලේඛකයන් තිදෙනෙක් වුහ. මේ තිදෙනා නම් ‘සිළුමිණ’ පත්‍රයේ එල්මෝත්, ‘දිනමිණ පත්‍රයේ ජයවිලාල් විලේගොඩත්, ලංකාදීප පත්‍රයේ කරුණාසේන ජයලත්ය. ‘දොස්තර’ චිත්‍රපටයේ මංගල දර්ශනයට ප්‍රධාන අමුතා ලෙස සහභාගි වූයේ අගමැති සර් ජෝන් කොතලවලය. නිශ්පාදක කේ. ගුණරත්නම් අගමැතිතුමා පිළිගන්නා අවස්ථාවට ඈතින් බලා සිටින එල්මෝ, ජයලත් හා ජයවිලාල් සිනාසෙමින් බලා සිටිනු ඇස්.පියසේන විසින් සංස්කරණය කළ ‘කලා’ සිනමා පත්‍රයේ (සඟරාවක් ලෙස ප්‍රකාශයට පත් වූයේ ඉන් පසුය. මෙහි පළවන්නේ එහි දුර්වර්ණ පත්‍රයක පිටපතකි.

ගාමිණී ෆොන්සේකා එල්මෝගේ ගජ මිතුරෙකි. ඔවුන් ගේ මුල් හමුවීම එල්මෝ මෙසේ විශේෂාංගයක (සරසවිය සිනමා සිංහල සිනමා වාර්ෂිකයේ (සංස්කරණය - ඩයස් ගුණරත්න පසුව මහාචාර්ය ආර්.ඩී. ගුණරත්න) මෙසේ සටහන් කර තිබුණා. ‘තරුවක් නොවෙයි නළුවෙක්’ නම් එම ලිපිය පළ වී ඇත්තේ සංග්‍රහයේ ය.

‘ඒ දෛවයෝගයේ මුහුරත් උත්සවය විය.

කඩවසම් තරුණයෙක් මැඳුර ඉදිරි පස තනියම වාඩි වී සිටියේය. ඔහු කිසිවෙකු සමඟ කථා කළේ නැත. ඔහු කිසිවෙකු සමඟ කථා කළේ නැත. ඔහු කිසිවක් ගැන උනන්දු වුයේ ද නැත.

මැඳුර තුළ උත්සවය පැවැත්වෙයි. රුක්මණී දේවී හා අයේෂා වීරකෝන් (ඇය රඟ පෑ ලංකා කුමරිය. චරිතය පසුව රඟපෑවේ ලලිතා කුමාරි යි) එඩී ජයමාන්න දොඩන කවටබස්, නළු නිළියන්ගේ සතුටු සාමීචි අතරින් මා ඇදී යයි.

මම මැඳුරින් එළියට ආවෙමි. තරුණයා තවමත් නිසසලව සිටී. ඔහු ඊට පෙර දැක ඇති බවක් මට මතක නැත. පිරිසුදුවට, කෙටි කොට කැපූ, යාන්තම් රැළි නැගෙන සේ උඩට පීරු කෙස්, ජීවයෙන් පිරි තරුණයකුගේ පැහැදිලි දිප්තීයක් ඇති ඇස්, නොමිටි නූස් නැහැය. ඇඟට හිරවුණු කලිසම, අත නැමූ කමිසය, නගරයේ කඩිසර තරුණයකු බව මුත්, කඩවසම් යයි කිව යුතු වූ මුත්, අමුතුවෙන් දැකිය හැකි විශේෂ ලක්ෂණයක් ඔහු කෙරෙහි නොවීය.

“ඔබත් මේ චිත්‍රපටයේ රඟපානවා දැයි’ මම ඔහු අසලට ගොස් ඇසීමි.

“ඔව්. සුළු කොටසක් රඟපානවා’ කී ඔහු නිශ්ශබ්ද විය.

ගාමිණී ෆොන්සේකා සිනමා නළුවෙකු වුයේ එහෙමයි. ගාමිණී ෆොන්සේකා, පළමුවෙන් මට හමුවුයේ එහෙමයි.’

එල්මෝ විශේෂාංග ලියා ඇත්තේ කෙටි වාක්‍යවලින්. කියවන්නා මේ ශෛලියට ආකර්ෂණය වීම අරුමයක් ද? 1964 පැවැත් වූ ප්‍රථම සරසවිය සම්මාන උළෙල පිටුපස වූ අයෝමය චරිතය එල්මෝ බව පර්සි ජයමාන්න අපට කීවේ ඔහු ඒ තරම් හැම කලාකරුවකුගේම හිතවතා, මිතුරා, වීම නිසාය.

සරසවිය සම්මාන ලැබූ කලාකාරයන් ඔහු සරසවියෙන් ‘නඳුන් උයන එල්මෝ සරයි’ විශේෂාංගයෙන් මෙසේ හඳුන්වා තිබුණි. මේ හොඳම නිළිය වූ පුණ්‍යා ගැන ලියා තිබුණේ මේ කෙටි රසවත් හැඳීන්වීමකිනි.

“පුණ්‍යා හීන්දෙණිය දක්ෂ ලෙස ගී ගායනා කිරීමටත් ඒ වගේම නැටීමටත් හැකි ගැමි ලියකි. එහෙත් මේ කාරිය දෙකට ම වඩා ඇය දක්ෂ රඟ පෑමටය.

‘අසෝකා’ චිත්‍රපටියේ සමුහ නැටුමකට සහභාගි වූ පුණ්‍යා සිනමා ලොවට පිවිසියේ ‘දෙයියන්ගේ රටේ’ චිත්‍රපටියෙනි. ‘කුරුළු වැද්ද’ චිත්‍රපටියෙන් සිනමා ලෝලයින් අතර විශාල ජන ප්‍රියත්වයක් ඇති කර ගත් ඈ අවිවාහකය.

දැනට ‘පරසතු මල්’ චිත්‍රපටියේ රඟපාන පුණ්‍යා චිත්‍රපටි කථාව කියවා මිස රඟ පෑමට එකඟ නොවන නිළියකි. පුණ්‍යා චිත්‍රපටිවල රඟ පා කෙළින්ම යන්නේ ඇගේ ගම්බද නිවසක යි. එහෙන් නැවත පිටත් වන්නේ චිත්‍රපටියක රඟපෑමට යි.’

මේ හොඳම නළුවා වූ ඩී.ආර්. නානායක්කාර ගැන ලියූ විචිත්‍ර කෙටි හැඳීන්වීමය.

‘ඩී.ආර්.නානායක්කාර. කවුරුත් කියන්නේ ‘නානා’ කියාය. ටවර් හෝල් යුගයේ සිටම වේදිකාවේ දක්ෂකම් පෙන් වූ නානායක්කාර සිරිසේන විමලවීරන් ගේ ‘අම්මා’, සීදේවි’ යන චිත්‍රපටිවල රඟ පෑවේය.

කලක් වේදිකාවෙන් සහ චිත්‍රපටි ලොවින් ඈත් ව සිටි නානායක්කාර ‘රේඛාව‘ හා ‘කුරුළු බැද්ද’ චිත්‍රපටිවල දක්ෂ ලෙස රඟපෑවේ ය. මේ රඟපෑම් සමඟ සිකුරු තරුවේ. ඔහු පෙන් වූ දස්කම් නිසා අද සිංහල සිනමාවේ චරිත නිරූපණයට සිටින දක්ෂම නළුවා ලෙස ඔහු හැඳීන් විය හැක. පැරණි නළුවන්ට අලුත් යුගයේ තැනක් නැතැ’යි යන මතය ඉන් ඔහු බිඳී ය.

එල්මෝ ගුණරත්න මහතා මිය යාමට පෙර පුවත්පතකට කියා තිබුණේ අද ජීවතුන් අතර සිටින්නේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීන් තුන් දෙනෙක් පමණ කියාය. එඩ්මන්ඩ් රණසිංහ, සිරිලාල් කොඩිකාර හා තමා බවය. පත්‍ර කලාවේ අපමණ මිහිරි හා කටුක අත් දැකීම් රැසක් ඔහු සතුවෙයි. 1956 මහා මැතිවරණයේ දී අපේ බොහෝ පත්‍රකලාවේදීත් ගියේ අගමැති කොතලාවලගේ ප්‍රචාරක රැළිවට බව කියා ඇති එල්මෝ ඒ කාලේ ලේක්හවුස් කළමනාකාර අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා තමාව කැඳවා මෙසේ ඇසුවාලු.

‘උඹ සමසමාජ කාරයානේ බැරිද බණ්ඩාරනායක උන්නැගේ නිව්ස් කවරේජ් කරන්න.’

මේ ගමන් සඳහා කන්තෝරුවෙන් කිසිදු පහසුකමක් ලබානොදුන් නිසා බස්වල ගොස් රට පුරා මහජන එක්සත් පෙරමුණේ රැස්වීම ආවරණය කළ බව මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන වාර්තා කර තිබුණි. තමා බස්වල කට්ට කාගෙන ඇවිත් තමාගේ ප්‍රචාරක රැළි ආවරණය කරන බව දැනගත් බණ්ඩාරනායක මහතා තම කාර් එකේ නංවාගෙන රට පුරාගොස් ඇත. සිනමාව ගැන මෙන්ම දේශපාලනය ගැන ද අතැඹුලක් සේ දැන සිටි එල්මෝ ‘ලංකාවේ කුමන්ත්‍රණ කථා’ නම් කෘතිය රචනා කළේය.

ගාමිණී ෆොන්සේකා, ටයිටස් තොටවත්ත, ජෝ අබේවික්‍රම, ආනන්ද ජයරත්න එල්මෝ ගේ මිත්‍ර සන්ධානයේ කොතරම් දැයි මේ සිද්ධියෙන් මොනවට පැහැදිලි වේ.

ගාමිණීට ලැබුණ එකම පුතුටත්, ටයිටස් ගේ එකම පුතාටත්, එල්මෝගේ වැඩිමහල්පුතාට ‘දමිත්’ නම තැබුහ. මේ අනුව ඔවුන් දමිත් ෆොන්සේකා, දමිත් තොටවත්ත, දමිත් ගුණරත්න තැබුහ.

තමා වේළුපිල්ලේ ප්‍රභාකරන් හමුවීමක් ගැන එල්මෝ මාධ්‍යවේදී හසිත කුරුප්පුට කියා තිබුණි. ද්‍රවිඩ චිත්‍රපට අනුකරණය කරමින් ද්‍රවිඩ නළුවන් සේ අංග චලනය හා අධිතාත්වික අපේ නළුවන්වත් සිනමාවට පැමිණි හැටේ දශකයේ වරක් එවැනි චිත්‍රපටයක රඟපෑමට ගාමිණීට ආරාධනයක් ලැබිණි. ඔහු එය බාරගෙන එල්මෝට ටෙලිෆොන් කළේය.

‘එල්මෝ හවස සිලොන් ස්ටුඩියෝ එකට වරෙන්.’

එල්මෝට එහි ගිය පසු ගාමිණී විසින් ද්‍රවිඩ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හඳුන්වා දුන්නේය. ඔහුගේ නම එස්.එන්. සිවසුබ්‍රමනියම් ය. 1964 තිර ගත වූ ටී.සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ ‘සුබ සරණ සැප සිතේ’ චිත්‍රපටයේ නිෂ්පාදකය. සුබ්‍රමනීයම් නිෂ්පාදනය කළ ‘සතපණහ’ චිත්‍රපටයට ගාමිණි තෝරාගෙන තිබුණි. ප්‍රධාන නිළිය සන්ධ්‍යා කුමාරි ය. අධ්‍යක්ෂණය එම්.එස්. ආනන්දන් ය. මේ 1965 වසරය. සිවසුබ්‍රමනියම් තමා ගේ ඥාතියෙක් වූ 17 වැනි වියේ සිටි ගැටයෙක් හඳුන්වා දී ඇත. සිවා විසින් මේ තරුණයන් හඳුන්වා දුන්නේය. තරුණයාගේ වයසේ ම තරුණයන් කිහිප දෙනෙක්ම ලංකා විත්‍රාගාරයේ හිටියා. සීවා ගේ හා එල්මෝ ගේ මිතුදහම ඇති වුයේ ගාමිණී හා ආනන්දගේ රෙකමදාරුව මතය. සිවා අර තරුණයා සමඟ එල්මෝ හමුවීමට ලේක්හවුසියට පැමිණ ඇත. ඒ කාලයේ එල්මෝ ලේක්හවුසියේ ප්‍රවෘත්ති කර්තෘවරයා විය. එදා සීවාත්, අර තරුණයාත් ඔහුගේ කාමරයේ ඔහු ඉදිරියේ තිබූ පුටුවල ඉඳගෙන ඇත. ඒ හමුවීමෙන් පසු දෙදිනකට පසු අර තරුණයා අතින් යාපනේ නගරාධිපති ඇල්ප්‍රඩ් දොරෙයි අප්පා මිය ගියේ. ඒ සුබා විසින් එල්මෝට ‘මේ ප්‍රභූ’ හඳුන්වා දුන් වේළුපිල්ලේ ප්‍රභාකරන් බව දැන ගත්තේ පසුය.

රන්ජිත් විජයවර්ධන මහතා ලේක්හවුසිය රජය 1973 පවරා ගත් පසු විජය පුවත්පත් ආයතනය ඇරඹීමෙන් පසු ‘ලංකාදීප’ ඇරඹීම එහි නම අයිතිය ලබා ගැනීම පිඹුරුපත් සකස් කර ඇත්තේ එල්මෝ ය.

ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න තම ජීවිතයේ ලද උසස්ම උපහාරය, සම්මාන පිරිනමා ඇත්තේ ද ‘සරසවිය පත්‍රයෙනි.’ 2003 වසරේ ඔහුට රණපාල බෝධිනාගොඩ සිනමා සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබීමය. මුල්ම සරසවිය සම්මාන උළෙල පැවැත්වීමට කළ අමිල මෙහෙයට මෙය උපහාරයකි.

1933 මැයි 26 වෙනිදා උපත ලැබු එල්මෝ ගුණරත්න මහතා විවාහ වූයේ පාදුක්කේ ඩයස් ස්ටූඩියෝව හිමිකරුගේ දියණිය සමඟ ය. ඔවුන් ගේ පුතුන් දෙදෙනා වූ දමිත් ගුණරත්න හා තුෂාර ගුණරත්න ප්‍රවීණ මාධ්‍යවේදින්ය. දමිත් තම පියාගේ වියෝව දරාගත නොහැකිව හෘදබාධයකින් එදිනම මිය ගියේය. තුෂාර පුවත්පත් කතුවරයකු ලෙස කටයුතු කරයි. එල්මෝ ගුණරත්න මහතා පසුගිය අගෝස්තු මස 21 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය.

හැත්තෑව දශකයේ දිනක ‘සරසවිය’ පුවත්පතට විශේෂාංගයක් ලිවීමට කැමරා ශිල්පී බන්දු එස්. කොඩිකාරත් මමත් ගාමිණී ෆොන්සේකා හමුවීමට රත්මලානේ සිරිමල් උයනේ නිවසට ගියෙමි. අප යන විට ගාමිණී තම පැරණි මිතුරු එල්මෝ ගුණරත්න සමඟ පිළිසඳරේ යෙදී සිටියේය. බන්දු විසින් ගාමිණී ගේ ඡායාරූප ගන්නා විට ඔහු මෙසේ කීය.

‘බන්දු අද ඉතිහාස ගතවන දවසක්. මගේ මුල්ම ආටිකල් එක ලියපු එල්මෝයි, අද වැඩිය ආටිකල් ලියන රංජිතුත් මමයි එක්ක පින්තූරයක් ගමු.’

බන්දු අපි තිදෙනාගේ පින්තූරයක් ගත්තේය. එය මට සදා අමරණීය සිහිවටනයක් විය. එහෙත් මේ සේයාරුව අද මා සතුව නොමැතිවීම අභාග්‍යයකි.