අවිනීත නිළියක් සැඩසුළං වෙතින් ඉවතට

මැයි 20, 2021
ඩොමී ජයවර්ධන

 

 

මෙරට ජනප්‍රිය සිනමාවේ වැදගත්ම සංධිස්ථාන දෙකක්ම බිහිවූයේ සීමාසහිත සිනමාස් නිෂ්පාදන හැටියටය. එකක් 1953 වසරේ දී ඔවුන්ගේ කුළුඳුල් නිෂ්පාදනය ලෙස එළි දුටු සුජාතාය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ එවකට දකුණු ඉන්දියාවේ සිටි සුපිරි සිනමා අධ්‍යක්ෂවරයා වූ ටී.ආර්. සුන්දරම්ය. මෙරට ජනප්‍රිය සිනමාවට ඇබ්බැහි වු වට්ටෝරු සියල්ල ගෙන ආවේ සුජාතාය.

එමෙන්ම ලාංකික සිනමාව ළුයාපාරයක් ලෙස ස්ථාවර වන්නට පටන් ගත්තේ ද එමගිනි. මුල්වරට චිත්‍රපට මණ්ඩලයක් මඟින් තිරගත කරන ලද චිත්‍රපටය වූයේ ද එයයි. පූර්ව ප්‍රචාරක පටයක් තැනූ මුල්ම චිත්‍රපටය ද එයයි. දෙවැන්න සිනමාස් සමාගමේ දස වැනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කරන ලද සංදේශය චිත්‍රපටයයි. සිනමා භාෂාව ද රකිමින් ඉන්දියානු අනුකාරක නොවන තේමාවන් සහිත දේශිය සිනමාවක ආරම්භය ගොඩනැඟෙනුයේ සංදේශයෙන් පසුවය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. සුජාතා චිත්‍රපටය නිෂ්පාදනයේ දී කේ. ගුණරත්නම් හා සිනමාස් සමාගම පසුපස සිටි අදිසි හස්තය වූයේ ටී. සෝමසේකරන්ය. සැබැවින්ම සුජාතා විලාසය සිංහල සිනමාවේ ස්ථාපිත කිරීමේ වැඩි ගෞරවය ඔහුට හිමිවිය යුතුයැයි ඒ පිළිබඳ තතු දන්නෝ පවසති. සුජාතා ඇතැම් විට ප්‍රචාරය වූයේ ද ටී.සෝමසේකරන්ගේ සුජාතා හැටියටය. සිනමා ප්‍රචාරක ක්‍රමවේදයේ ද නැවමු අත්හදා බැලීම් වල යෙදුණ (තම්බයියා) ටී. සෝමසේකරන් සුජාතා කෙතරම් ජනප්‍රිය කළාද කිවහොත් 1953 වසරේ මෙරට උපන් ගැහැණු දරුවෝ වැඩි දෙනෙකු සුජාතා නම ලදහ. (දෙවැන්න කැලෑ හඳ සමඟ මාලිනිය) දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නිළියක වූ ගාල්ලේ උපන් සුජාතට එම නම ලැබුණේ ද අපේ සුජාතා සිංහල චිත්‍රපටය නිසාය. සුජාතා චිත්‍රපටය සඳහා මුලින් තෝරා ගෙන සිටියේ ෆ්ලෝරීඩා ජයලත් නොව ඇයගේ සහෝදරිය වූ ජොසපින් ජයලත්ය. ඇය එයට පෙර වැරදුණු කුරුමානම චිත්‍රපටයේ රගපා තිබුණාය. එමෙන්ම ඇය බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නගේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක ද වූවාය.

සුජාතා චිත්‍රපටයේ සුජාතා සඳහා ජොසපින් සොයන්නට ඇගේ ගම වූ මාරවිලට සෝමසේකරන් ගියේ මහා රාත්‍රියේය. එදින ඇය එහි නොසිටියාය. ඇගේ නැගනිය ෆ්ලෝරිඩා නිවසේ සිටියාය. ජොසපින්ට වඩා ඇයගේ නැගණිය ෆ්ලෝරිඩා රූමත් බවත් සුජාතාට වඩා ගැලපෙන්නේ ඇය බවත් සෝමසේකරන් වහා අවබෝධ කර ගත්තේය. ඒ වන විට ෆ්ලෝරීඩා ද සැඟවුණු පිළිතුර හා උමතු විශ්වාසය යන චිත්‍රප යුගලෙහි නැටුම් දර්ශන සඳහා පෙනී සිට තිබිණ. තව දුරටත් සුජාතා සඳහා අලුත් මුහුණක් සොයන්නට නොවෙහෙසුණු සෝමසේකරන් සිනමාස් සමාගම වෙත මේ යුවතිය හඳුන්වා දුන්නේය. ෆ්ලෝරිඩා ජයලත් මෙරට සිනමාවේ මුල්ම තාරකාව වූයේ එහෙමය. එමෙන්ම ෆ්ලෝරීඩා හා ප්‍රේම් ජයන්ත් සුපිරි තාරකා සම්ප්‍රදාය හරහා ගොඩ නගන්නට සෝමසේකරන් දැවැන්ත මාධ්‍ය මෙහයුමක යෙදිණ. වෘත්තියෙන් ගුරුවරයකුව සිටි ඔහු දෙමළ ඉංග්‍රිසි මෙන්ම සිංහල භාෂාව පිළිබඳව ද ඉහළින් උගත්තෙකි. ඔහු සිංහල සිනමාවේ ජනප්‍රිය ලකුණු සනිටුහන් කළ පුද්ගලකු පමණක් නොව විශිෂ්ට චරිතංග නළුවන් දෙදෙනෙකු සිනමාවට ගෙනාවේය. එක් අයකු පියදාස ගුණසේකරය. අනෙක් තැනැත්තා ජෝ අබේවික්‍රමයන්ය. ජෝන් අබේවික්‍රම නමින් සිනමාවට පිවිසි තරුණයා ජෝ ලෙස අභිෂේක කරන ලද්දේ ද සෝමසේකරන් විසින්ය. සෝමසේකරන් ආනන්ද සමරකෝන්ගේ සමීප මිතුරකු වූයේ ය. සුජාතා චිත්‍රපටයේ ගීත රචනා කළ සමරකෝන් සැඩසුළං චිත්‍රපටයේ දෙබස් රචකයා මෙන්ම වැඩි ගීත කිහිපයක් ද රචනා කළේය. එමෙන්ම ගීත කිහිපයක් ද සංගීතවත් කළේය. භාරත ගීත කෝකිලා ලතා මංගේෂ්කාර්ට සිංහල භාෂාව පුරුදු කළ සමරකෝන් ලවා සෝමසේකරන් ඇයට ගීයක් රචනා කරවූවා පමණක් නොව ඇයට ගයන්නට ස්වතන්ත්‍ර ගී තනුවක් ද නිර්මාණය කරවා ගත්තේය. සමරකෝන්ගේ හදිසි මරණය සැළ වූ සැණින් කොළඹ මෘත ශරීරාගාරයට ගිය සෝමසේකරන් ඔහුගේ නිසල දේහය බදා මහ හඩින් වැළපුණ අන්දම මා සමඟ පැවසුවේ ජෝ අබේවික්‍රමයන්ය. මේ මොන දේ තරම් කරන්න හිටපු කෙනෙක් ද මේ. යනුවෙන් සෝමසේකරන් විලාප දුන්නේ යැයි ජෝ මහත්තයා සිහිපත් කළේය. සෝමසේකරන් පසුව සරදම්, අවිශ්වාසය, පිරිමියෙක් නිසා (කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා සමඟ) වෙන ස්වර්ගයක් කුමටද? (කිංස්ලි රාජපක්ෂ සමඟ) සුබ සරණ සැප සිතේ හා සමාජ සතුරෝ යන චිත්‍රපට නිර්මාණය කළේය.

කෙසේ හෝ සුජාතා ජනප්‍රියත්වයත් සමඟ සිනමාස් සමාගමේ කේ. ගුණරත්නම් හා සෝමසේකරන් අතර මොකක්දෝ නොහොඳ නෝක්කඩුවක් ඇතිවිණ. එහි ප්‍රතිඵලයක් ලෙස සෝමසේකරන් සිනමාස් සමාගමෙන් ඉවත්ව ගියේය.

සිනමාස් සමාගමෙන් වෙන්ව ගිය සෝමසේකරන් ෆීල්ම් සිලෝන් නමින් අලුත් සමාගමක් ගොඩනඟා ගත්තේය. සෝමසේකරන් මෙම සමාගම සඳහා විශාල ආයෝජනයක් කළ බව පැහැදිලිව පෙනෙන්නකි. එහි කාර්යාලය පිහිටුවා තිබුණේ කොළඹ කොටුවේ ගෆූර් ගොඩනැඟිල්ලේය. මෙම ගොඩනැඟිල්ල අදටත් වරාය පිවිසුම් දොරටුවට නුදුරින් පිහිටි සුවිසල් ගොඩනැඟිල්ලකි. මෙම සමාගම සඳහා එවකට සිලෝන් තියටර්ස් සමාගමේ සහාපතිව සිටි හා එහි නිර්මාතෘ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.ගාඩිනර් ද ආයෝජනයෙන් දායක වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. ආචාර්ය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය සිනමා අත්දැකීම් පසුබිම් කොට ලියන ලද ආවර්ජනා ග්‍රන්ථයෙහි සැඩසුළං පිළිබඳ සටහනක් වෙයි.

රේඛාව චිත්‍රපටය තිරගතවීමට මත්තෙන් එය නරඹන්නට චිත්තම්පලම් ඒ.ගාඩිනර් පැමිණියේය. එය නැරඹුවේ ඔහුගේ භාර්යාව වූ ගාඩිනර් ආර්යාව සමඟය. රේඛාව නැරඹූ ඔහු එයට කරන උපකාරයක් ලෙස චිත්‍රපටයට අවශ්‍ය ඉතිරි මුදල සදහා චෙක්පතක් ලියා දුන්නේ කිසිදු පැකිලිමකින් තොරවය. අනතුරුව ඔහු ලෙස්ටර් ගෙන් ඇසුවේ ගාඩිනර් මෙතෙක් දුටු හොඳම සිංහල චිත්‍රපටය කවරේදැයි සිතන්නේ ද යන්නය. ආචාර්ය ලෙස්ටර් සිතුවේ නොඅනුමානවම එය රේඛාව විය යුතය හැටියටය. එහෙත් එය වැරදීමකි.

මම මදුරාසියේ දී දැක්කේ ඒ සැඩසුළං යනුවෙන්ය.

සැඩ සුළං තිරගත කරවන ලද්දේ සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම මඟින්ය. ඒ වන විට ප්‍රේම් ජයන්ත්, ෆ්ලෝරීඩා ජයලත්, ඩොමී ජයවර්ධන සිනමාස් සමාගම සමඟ ගිවිසුම් ගතව සිටියහ. ඔවුන්ට සමාගම මඟින් මාසිකව මුදලක් ද ඒ වෙනුවෙන් ලබා දුන්නේය. සිනමාස් චිත්‍රපටවලින් බැහැරව පිටස්තර චිත්‍රපට සදහා රඟපෑම ඔවුන්ට තහනම් විය. එහෙත් ප්‍රේම් ජයන්ත් හා ෆ්ලෝරීඩා ජයලත් එම ගිවිසුම කඩා ෆිල්ම් සිලෝන් සමඟ ගිවිසුමකට එක් කර ගැන්මට තරම් සෝමසේකරන් දක්ෂයකු වූයේය. සුජාතා චිත්‍රපටයේ සිදු වූ මතභේදයත් සමඟ එයින් සෝමසේකරන් ඉවත් වූයේ එහි දෙවැනි නිෂ්පදානය වූ වරද කාගෙද ආරම්භ කරන්නටත් මත්තෙන්ය. ඒ වන විට ෆිල්ම් සිලෝන් ආරම්භ කළ බැවින් ද සිනමාස් සමාගමෙන් ෆ්ලෝරිඩා ද ඉවත්වූවාය. එයින් ඉවත් වූ හෙයින් ඇය වරද කාගෙද චිත්‍රපටයට දායක නොවූවාය. එබැවින් වරද කාගෙද චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ සුජාතා චිත්‍රපටය හා සමගාමිව තිර ගත වූ කැලෑහඳ චිත්‍රපටයෙන් සිනමාවට හඳුන්වාදුන් රීටා රත්නායකයි. රීටා අනතුරුව සිනමාස් ගේ රදළ පිළිරුව චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපෑවාය. ප්‍රේම් ජයන්ත් වරද කාගෙද චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපෑ අතර ඔහු සිනමාස් සමාගමෙන් ඉවත්වනුයේ එයින් පසුවය. එයින් පසු ප්‍රේම් ජයන්ත් හා ෆ්ලෝරිඩා යළි කිසිකලෙක සිනමාස් සමාගමක රඟපෑවේ නැත. සෝමසේකරන් සූදානම් වූයේ සුජාතා ගොඩනැංවූ ජනප්‍රියත්වය හා එහි තරු ගුණය යළි ගොඩනැංවීමය. ඇත්තටම සුජාතා චිත්‍රපටයෙන් පසු ප්‍රේම් ජයන්ත් හා ෆ්ලෝරීඩා එකට රඟපෑ එකම චිත්‍රපටය ද එය විය. සුජාතා චිත්‍රපටයෙන් පසු සිනමාස් සැඩ සුළං තිර ගත වන කාලය අතරතුර චිත්‍රපට හතරක් නිර්මාණය කළ අතර එම චිත්‍රපට සියල්ලම සාර්ථක විය. එහෙත් ඒ එකකටවත් සුජාතා අබිබවා යන්නට ඉඩ නොලැබිණි. සුජාතා චිත්‍රපටයේ සියලු සැලසුම් සෝමසේකරන්ගේ බැවින්ය. සෝමසේකරන් සැඩ සුළං චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ සුජාතා සිහියේ තබා ගෙනය. එබැවින් ඒ සඳහා ඔහු දායක කර ගත් බොහෝ දෙනා සුජාතා චිත්‍රපටයට දායක වූ පිරිසමය. ඩොමී ජයවර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති ඇතුළු සුජාතා කණ්ඩායමේ කිහිප දෙනෙක් ද ආනන්ද සමරකෝන්, ඩී.ටී.ප්‍රනාන්දු ගීත රචනයෙන් ද දක්ෂිණමූර්ති සංගීතයෙන් ද පෙර සුජාතාවට දායක වූ පිරිසමය. සුජාතාවේ ආ ධර්මදාස වල්පොල හා කේ. රාණි ගයන පෙම් රැල්ලේ නැඟේ ගීතය වෙනුවට එම ගායක යුවළ ම යොදවා සොමිබර පෙම් රැලි මහද නැගේ නමින් ගීතයක් ද සැඩ සුළංට ඇතුළත විණ.

සැඩසුළං නිර්මාණය වූයේ මදුරාසියේ එවකට පැවැති දැවැන්තම චිත්‍රාගාරාය වූ වාහිනී චිතාගාරයේය. වාහිනි චිත්‍රාගාරය එකල ඉතා කාර්යබහුල චිත්‍රාගාරයක් විය. කෙසේ වෙතත් සැඩසුළං චිත්‍රපටයේ දර්ශන කිහිපයක් මදුරාසියේම නරාෂු චිත්‍රාගාරයේ ද රූප ගත කෙරිණ. සැඩසුළං චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා තෝරා ගන්නා ලද ඩොමී ජයවර්ධන චිත්‍රපටය නිපදවන එයින් ඉවත් විය. එයට හේතුව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑමට නියමිතව සිටි නවක නිළියක වූ පද්මා ද මැල් එම චිත්‍රපටයෙන් අධ්‍යක්ෂ සෝමසේකරන් විසින් ඉවත් කරන ලද නිසා ඇති වූ මතභේදයක් යැයි පැවසේ. මේ පිළිබඳ චලන චිත්‍ර සිනමා පුවත්පතේ වාර්තාවක් අනුව චිත්‍රපටය රඟපාන අතරතුර අවිනීත ලෙස හැසිරීම හේතුකොට ගෙන එයින් ඉවත් කළ බව සඳහන් වෙයි. ඩොමී චිත්‍රපටයෙන් ඉවත්වනුයේ ඈ අස් කළ නිසා විරුද්ධ වී හෝ කණගාටුවට පත් වී හෝ චිත්‍රපටයෙන් ඉවත් වූ බව එම ප්‍රවෘත්තියේම සඳහන් වෙයි. මේ නිසා සැඩ සුළං චිත්‍රපටයේ ඩොමී ජයවර්ධන පෙනී සිටිනුයේ එක් ජවනිකාවකි. එයින් පසු කතාව දිග හැරෙන්නේ ඔහුගේ සොහොයුරාගේ චරිතයක් ඉස්මතු කරවීමෙනි. ඩොමීගේ සොහොයුරා ලෙස රඟපානුයේ ධර්ම ශ්‍රී රණතුංගය. ධර්ම ශ්‍රී එයට පෙර පුදුම ලේලි චිත්‍රපටයේ ප්‍රේම් ජයන්ත්ගේ සහෝදරයා ලෙස දුෂ්ඨ චරිතයක් රගපෑවේය. සැඩසුළං චිත්‍රපටයේ ඩොමීගෙන් හිස්වුණු චරිතය සඳහා ධර්ම ශ්‍රී යෝජනා කොට ගෙන ආවේ ප්‍රේම් ජයන්ත් විසින්ය. ඉවත් කරන ලද පද්මා වෙනුවට නීලා නම් ඉන්දියානු නර්තන ශිල්පිනියක් ධර්ම ශ්‍රී ගේ පෙම්වතිය හැටියට චරිත මැවුවාය.

 

සැඩ සුළං ගැන තවත් කතාවක් ලබන සතියේ