කෙටි චිත්‍රපට උලෙළ හොඳම අධ්‍යක්ෂ

මැයි 13, 2021

 

කාන්තාව සහ මාධ්‍ය සම්මුතිය විසින් සංවිධානය කළ කෙටි චිත්‍රපට උලෙළක් පසුගිය මාර්තු 29 වැනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයකදී පැවැත්විණි. මෙවර චිත්‍රපට 216ක් තරගයට ඉදිරිපත් කළ තිබූ අතර ඉන් චිත්‍රපට 35ක් දෙවන වටය නියෝජනය කිරීමට අවස්ථාව හිමිකර ගත්තේය. එයින්ද චිත්‍රපට 15ක් අවසන් වටය සඳහා තෝරා පත් කර ගත් අතර හොඳම අධ්‍යක්ෂණයට හිමිවන්නේය. හොඳම අධ්‍යක්ෂණයට මෙවර හිමිකරගත්තේ අනුර විජේසිංහ අධ්‍යක්ෂණය කළ ‘ඇයි වදේ’ කෙටි චිත්‍රපටයයි.

කෑගල්ල ශාන්ත මරියා විදුහලෙන් අධ්‍යාපනය ලබා රංගනයට පිවිසුණු අනුර කෑගලු සොයුරෝ නමින් නාට්‍ය සංවිධානයක් පිහිටුවා දිස්ත්‍රික්ක, ජාතික මට්ටමෙන් ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත. වේදිකා රංගන ශිල්පියකු ලෙස රාජ්‍ය නාට්‍ය, සාම නාට්‍ය, යෞවන සම්මාන උලෙළවල් නියෝජනයටද අනුරට හිමිවන්නේය. 1980/86 වර්ෂවල යෞවන සම්මාන උලෙළ දී සහතිකපත් ලාභියකු වීමට අවස්ථාව ලැබෙන්නේ ඔහු දැක්වූ කුසලතාවයන් නිසාමය. ඉන් අනතුරුව ලූෂන් බුලත්සිංහලයන්ගේ තිර රචනයකට “තිත්තයි මේ බත්” අවුරුදු නාට්‍ය අධ්‍යක්ෂණය කර සුමති සම්මාන උලෙළේදී නිර්දේශිත නාමයන් අතරට එක්විය.

පසුව ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂක අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ භූමිකා, හෙණ, මාඝාත වේදිකා නාට්‍ය ද ඩග්ලස් සිරිවර්ධනගේ ‘හිට්ලර්’හා ජයලාල් රෝහණගේ ‘ලෝක’ ප්‍රසාද් සූරිය ආරච්චිගේ වළලු සැණකෙලිය හා වේදිකා නාට්‍යයන්ට රංගනයෙන් එක්විය. ඉන් අනතුරුව අශෝක හඳගමගේ ප්‍රභාතය, දුන්හඳ අද්දර දියකැට පහන ටෙලි නාට්‍යයටද චන්නකින්නරී සිනමාපටයටද සහාය අධ්‍යක්ෂකවරයා ලෙසට කටයුතු කිරීමට අනුර ලද භාග්‍යයක් බව ඔහු සඳහන් කළේය. එයින් පසු සරෝජා, සුළඟ එනු පිණිස, සුළඟ, මිල්ල සොයා, අබා ඇතුළු චිත්‍රපට රැසක සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර ඇත. ‘ඇතුගල ආදරය’ නමින් කොටස් 25 ටෙලි නාට්‍යයක් ද ‘හිස් අහස’ නමින් පෝය ඒකාංගික නාට්‍යයක් ද අධ්‍යක්ෂණය කර ඇති අනුර මේ වසර අවසානයේ කොටස් 75කින් යුත් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහුගේ මීළඟ බලාපොරොත්තුව වී ඇත.

 

නිශ්ශංක විජේරත්න