කළු-සුදු පැහැයෙන් වර්ණවත් වූ සෝබාගේ අන්දරය

නොවැම්බර් 9, 2023

'නිකොස් කසන්ට්සාකිස්' යනු ග්‍රීක ලේඛකයකු, මාධ්‍යවේදියකු, දේශපාලකයකු , කවියකු හා දර්ශනවාදියකු විය. එතරම් භූමිකා රැසක නියත වුණු ඔහු 'නව ග්‍රීක සාහිත්‍ය' බිහිකිරීමේ ලා පුරෝගාමියෙකු ද විය. ඔහු අවුරුදු 9 යක්ම නෝබල් ත්‍යාගයට නිර්දේශ වූවෙකි. එලෙසම ග්‍රීක පරිවර්ථකයෙකු අතී විශිෂ්ටයකු ලෙසද ඔහු හඳුන්වන්නට විය.

1883 මාර්තු 2 වන දින ග්‍රීසියේ ඉපදු⁣ණු ඔහු 1902 සිට 1906 දක්වා ඇතන්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් අතර, 1907 සිට 1909 දක්වා පැරීස් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේය. 1946 දී ඔහු 'ද ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් ඇලෙක්සිස් සොර්බා' නමින් නවකථාවක් ලීවේය.

එය 1964 වර්ෂයේදී සිනමාවට නංවන්නට උත්සහා ගත්තේ මිචෙලිස් කැකෝජියානිස් ය. සයිප්‍රස් හී ඇතන්ස් නගරයේ ඉපදුණු මිචෙලිස් ග්‍රීක් සිනමා අධ්‍යක්ෂණය ට ඇතුල්වූයේ 1954 දී පමණය. ඒ 'වින්ඩ්ෆෝල්ස් ඉන් ඇතන්ස්' යන චිත්‍රපටයෙනි. එහී තිර රචනයද ලියා නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළේ ඔහුය. 'ස්ටෙලා'(1955), 'අ ගර්ල් ඉන් බ්ලැක්'(1956) 'අ මැටර් ඔෆ් ඩිග්නිටි' (1957), 'එරොයිකා' (1960), ' ද වොස්ට්‍රෙල්' (1961), 'එලෙක්ට්‍රා'(1962), යන චිත්‍රපට ඔහු විසින් තිර රචනය ලියා, නිශ්පාදනය හා අධ්‍යක්ෂණය කළේය. 'නිකොස් කසන්ට්සාකිස්' ගේ නවකථාව වූ 'ද ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් ඇලෙක්සිස් සොර්බා' තුළින් තිර නාටකය ලියන්නට ඔහු පෙලඹුණේ ඉන් පසුවය. තිර නාටකය ලියූ පසු ඔහු එය නම් කළේ 'සොර්බා ද ග්‍රීක්' කියාය. තිරනාටකය ලියූ පසු සුපුරුදු ලෙස එහී නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය යන වගකීම්ද ඔහු භාර ගතී. චිත්‍රපටය රූ ගත කිරීමට පටන් ගත්තේ 1964 දීය.

'සොර්බා ද ග්‍රීක්' චිත්‍රපටය කළු සුදු සිනමා පටයක් ලෙස ඉදිරිපත් කරන්නට ඔහු තීරණය කළේ, එම චිත්‍රපටයේ අන්තර්ගතනය වර්ණයට වඩා කළු සුදු, වඩාත් ගැළපෙන නිසාය. එම තීරණය මොන තරම් නිවැරදි දැයි වැටහුණේ එය එම වසරේ හොඳම කළු සුදු කැමරාකරණයට ඇකඩමි සම්මානය ලැබුණු පසුවය.

චිත්‍රපටය රූ ගත කිරීමට ග්‍රීක් දූපතක් වන' ක්‍රීට්' තෝරා ගත් අතර, එය ලොව විශාලම දූපත් අතර 88 වන තැනට එකතු වන්නකි. එය 'මෙඩිටේරියන්' මුහුදට අයත් 5 වන විශාල දූපත විය. එලෙසම එය ග්‍රීක් නගරයක් වන 'චානියා', මෙන්ම ග්‍රීක ගමිමාන වූ 'කොකිනො', 'චෝරියෝ', සහ ගම්මාන මුහුදු තීරයක් වූ 'ස්ටාව්‍රොස්' හී රූ ගත කිරීමටද තීරණය කර ගතී.

නිෂ්පාදක මිචෙලිස්, චිත්‍රපටයේ ඇස්තමේන්තුවට ඇමරිකානු ඩොලර් 783,000 (හත් ලක්ෂ අසූ තුන්දහක්) වෙන් කල අතර චිත්‍රපටය ග්‍රීසියේ සහ ඇමරිකාවේ රූ ගත කිරීමටද තීරණය කළහ.

කථා රචක නිකෝස් තම නවකථාව තුළින් හඳුන්වා දෙන 'සොර්බා' මැසිඩෝනියාවේ උපන් ග්‍රීක ජාතිකයෙකු විය. එලෙසම කථා රචකයා , ඔහුව හඳුන්වනුයේ ඇලෙක්සිස් සොර්බා ලෙසටය. තමා ගැන බොහෝ පුරාජේරු නඟන, එතරම් පිළිවළකට ඇඳුම් පැලඳුම් නොඅදින, අවම වශයෙන් රැවුල හෝ දිනපතා නොකපන, අවුරුදු 60 ක් පසුවූ, නමුත් ශක්තිමත්, ප්‍රසන්න මැදි වියෙක් වූ ඇලෙක්සිස් සොර්බා සූප වේදියෙකු, පතල් කම්කරුවෙකු, මෙන්ම 'සන්තූරි' වාදකයෙකු ද විය.

නවකථාව ස්වයංචරිතපාදන ස්වරූපයකින් පටන් ගන්නා අතර ඒක පුද්ගල දෘෂ්ටි කෝණයක් තුළින් කථාව දිග හැරේ. කථා රචකයා තමාව හඳුන්වන්නේ 'බැසිල්' යන නමිනි. කථාව ආරම්භ වනුයේ ග්‍රීක පෞරාණික නගරයක් වන 'පයිරේස්' හී අවන් හලක් තුළය. බැසිල් එහී ස්වපහසු අසුනකට වී පොතක් කියවමින් සිටී. ඔහු එවලේ තිබූ පරිසරයද අපූරුවට හඳුන්වා දී තිබුණි. ඒ සරත් සෘතුවේ එතරම් පැහැබර නොමැති උදය වරුවක් විය. පරිසරය තුළ තිබූ පාළු බව දිස්වෙන්නේ බොහෝ විට මේ 1 වන ලෝක මහා යුද්ධය නිම වූ අලුතම නිසා බව විය හැක. රචකයාට ඒ පාළු බව දැණුනේ එම හේතුව මතය.

ඇලෙක්ස් සොර්බා එම අවන් හලේ වීදුරු දොර හැර ඇතුළට එන්නේ මේ අවස්ථාවේදීය. පොතට දැඩිව අවධානය යොමු කරමින් සිටි බැසිල්ට, තමා දෙස කවුරු හෝ අවධානය යොමු කර ගෙන සිටින බවක් දැනෙන්නට වූයෙන් ඔහු හිස ඔසවා බලන්නට විය. එවිටය ඔහු දුුටුවේ තමා දෙස බලා සිටින මේ මැදිවියේ මිනිසාව.

ඇලෙක්සිස් සොර්බා බැසිල්ට තමාව හඳුන්වා දුන්නේ ඉහත කී ලෙස තමා සූප වේදියෙකු, පතල් කම්කරුවෙකු හා 'සන්තූරි' වාදකයෙකු ලෙසටය. සොර්බා, ඔහුගෙන් රැකියාවක් ඉල්ලුවේය. සොර්බාගේ කථා විලාශයට බැසිල් වශී විය. ඔහු සොර්බා ට 'ෆෝර්මන්වරයෙකු' ලෙස රැකියාව දීමට එකඟ විය.

ප්‍රධාන චරිත වූ ඇලෙක්සිස් සොර්බා සහ බැසිල්, ලේඛකයා විසින් හඳුන්වා තිබුණේ එසේය. ඒ පොත තුළය.

මැක්සිකානු නළු 'ඇන්තනී කුවින්' ව, ඇලෙක්සිස් සොර්බාට තෝරා ගත්තේ තවත් ආදේශකයෙකු ගැන නොසිතාමය. ඔහු හැරෙන්නට, මෙම චරිතයට කිසිවෙක් සුදුසු නොවීය. එහෙයින් සොර්බා ,ඇන්තනී කුවින්මය.

ඇන්තනී ක්වීන් පිළිබඳ මම අවස්ථා කීපයකදී ම හොලිවුඩ් යටගියාව තුළින් සවිස්තරව ඉදිරිපත් කළෙමි. විශේෂයෙන් ඔහු රඟපෑ 'ග්‍රීක් ටයිකූන්' 'ගන්ස් ඔෆ් නැවරෝන්' හා 'ලයන් ඔෆ් ද ඩෙසර්ට්' චිත්‍රපට ගැන ලියන විටය.

'මැනුවල් ඇන්ටෝනියෝ රොඩොල්ෆො ක්වීන් ඔක්සාකා' තම තිරයේ නම ලෙස යොදා ගත්තේ ඇන්තනී කුවින් ලෙසටය. 1915 අප්‍රේල් 21 වන දින, මැක්සිකෝවේ චිහූහුවා නගරයේ උපත ලැබූ ඔහු සිනමාවට එකතු වූයේ 1936 වසරේදීය. ඒ ලියෝ මැක්ක්‍රේ විසින් අධ්‍යක්ෂණය කළ, 'ද මිල්කි වේ' නම් වූ චිත්‍රපටයෙනි. එහී ඔහු පෙනී, නොපෙනී යන චරිතයක් රඟපෑවේය. එහෙත් ඉන්පසු ලැබුණු 'පාරෝල්' චිත්‍රපටයේ ඔහුට සුළු නමුත් නාමික චරිතයක් ලැබුණි. ඒ 'සින්ගො බ්‍රෝව්නින්ග්' නම් වූ චරිතයයි.එතැන් සිට ඔහු පෙනි නොපෙනී යන චරිත, සුළු චරිත, සහය චරිත ගණනාවක්ම 1953 වන තෙක් රඟපෑවේය.

1953 වසරේ තිරගත කළ 'බ්ලෝවින් වයිල්ඩ්', චිත්‍රපටයේ 'පැකෝ' ගේ චරිතයෙන් ඔහු ප්‍රධාන නළුවෙක් විය. එතැන් සිට ඔහු බොහෝ චිත්‍රපටවල ප්‍රධාන හා උප ප්‍රධාන චරිත රඟපාන්නට විය. ඔහු ප්‍රථමයෙන් ඇමරිකානු ඇකඩමි සම්මානයක් ලැබූවේ 1952 වසරේ තිරගත කළ 'විවා සපාටා' චිත්‍රපටය වෙනුවෙන් කළ රඟපෑම වෙනුවෙනි. එහී රඟපෑ මාලන් බ්‍රැන්ඩෝ හොඳම නළුවා ලෙසට හා ඇන්තනී කුවින් හොඳම සහය නළුවා ලෙස නිර්දේශ වී තිබුණු අතර, ඇන්තනී කුවින්ට හොඳම සහය නළුවා ලෙස සමිමානය ලැබුණී.

එලෙසම 1955 වසරේදී තිරගත වූ 'ලස්ට් ෆො ලයිෆ්' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය දිනා ගතී. එතැන් සිට ඔහු වටිනාකමක් ඇති නළුවෙකු විය. 'මෑන් ෆ්‍රොම් ඩෙල් රියෝ' (1956), 'ද හන්ච්බෑක් ඔෆ් නෝට්‍රඩෑම්'(1956), ' ද ව⁣යිල්ඩ් පාටි (1956), 'ද සැවේජ් ඉනෝසන්ට්ස්' (1960), 'ද ගන්ස් ඔෆ් නැවරෝන්',(1961), 'බරබ්බාස්' (1961), 'රික්යුම් ෆො අ හෙවිවෙයිට්' (1961), 'ලෝරන්ස් ඔෆ් ඇරෑබියා'(1962), 'සොර්බා ද ග්‍රීක්' (1964), 'ලොස්ට් කමාන්ඩ්' (1966), 'ගන්ස් ෆො සැන් සෙබස්ටියන්' (1967), 'ද ෂූස් ඔෆ් ද ෆිෂමන්' (1967), 'ද සීක්‍රට් ඔෆ් සැන්ටා විට්ටෝරියා (1969), 'අ ඩ්‍රීම් ඔෆ් කිංග්ස්'(1969), 'අ වෝක් ඉන්ද ස්ප්‍රින්ග් රේන්'(1969), 'ද ග්‍රීක් ටයිකූන්'(1976), 'ද පැසේජ්'(1979), 'ලයන් ඔෆ් ද ඩෙසර්ට්'(1979), වැනි චිත්‍රපට ඊට නිදසුන්ය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ 2002 වසරේ තිරගත වූ 'ඇවෙන්ජින්ග් ඇන්ජෙලෝ' චිත්‍රපටය ය. ඔහු රඟපෑ මුළු චිත්‍රපට සංඛ්‍යාව 150 ක් පමණ විය.

ඇන්තනී කුවින් ඔහුගේ අවසන් කාලය ගත ක⁣ළේ රෝඩ් අයිලන්ඩ් හී බ්‍රිස්ටල් ප්‍රදේශයේ ය. ඔහු පිළිකා රෝගයෙන් මිය ගියේ 2001 වසරේ ජුනි 3 වන දිනය. ඒ වන විට ඔහුට වයස අව්රුදු 86 ක් විය.

'සොර්බා ද ග්‍රීක්' චිත්‍රපටයේ බැසිල් ලෙස රඟපෑ නළුවා වූයේ 'ඇලන් බැට්ස්' ය. 1934 පෙබරවාරි 17 වනදා එංගලන්තයේ ඩර්බි හී ඇලෙස්ට්‍රි නගරයේ ඉපදුණු ඔහු, ලන්ඩන් නගරයේ 'රෝයල් ඇකඩමි ඔෆ් ඩ්‍රැමටික් ආර්ට්' නම් නාට්‍ය පාසැලෙන් රඟපෑම ඉගෙන ගතී. සිනමාවට ඔහු පිවිසුණේ බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වූ මයිකල් මැකාර්ති ගේ 'ඉට්ස් නෙවර් ටූ ලේට්' චිත්‍රපටයෙනි. ඔහුට එහී ලැබුණේ ඉතාමත් සුළු චරිතයකි. ඉන්පසු 1960 වසරේ තිරගත වූ 'ද එන්ටර්ටේයිනර්' නම් චිත්‍රපටයෙන් ඔහු බ්‍රිතාන්‍ය සිනමාවට සක්‍රිය ලෙසම රංගනයට එකතු විය. එහී ඔහු රඟපෑවේ 'ලෝරන්ස් ඔලිවර්' සමඟය. 1963 වසරේදී ඔහු රඟපෑ 'ද රනින් මෑන්' හා 'කෙයාටේකර්', චිත්‍රපට තුළින්, ඔහු දක්ෂ නළුවෙකු ලෙස ජනප්‍රියත්වයට පත් විය. 'සොර්බා ද ග්‍රීක්' ඔහුගේ 8 වන චිත්‍රපටය විය. ඉන් පසු ඔහු ජේම්ස් මෙසන් සමඟ රඟපෑ 'ජෝර්ජි ගර්ල්', (1964), පීටර් ෆින්ච්, ජූලි ක්‍රිස්ටි සමඟ රඟපෑ 'ෆාර් ෆ්‍රොම් ද මැඩිං ක්‍රවුඩ්',(1967), ඔලිවර් රීඩ්, ග්ලෙන්ඩා ජැක්සන් සමඟ රඟපෑ 'ද වුමන් ඉන් ලව්' (1969), ෆේ ඩන්වේ සමඟ රඟපෑ 'ද විකඩ් ලේඩි (1983),මයිකල් කේන් සමඟ රඟපෑ 'ද ස්ටේට්මන්' (2003) යන චිත්‍රපට ජනප්‍රිය වූ අතර, ඒවා බොහෝමයක් ලංකාවේද ප්‍රදර්ශනය විය. ඔහු 1956 වසරේ සිට 2003 දක්වා චිත්‍රපට 46 ක රඟපා තිබුණි.

'සොර්බා ද ග්‍රීක්' චිත්‍රප⁣ටයේ කණවැන්දුම් ස්ත්‍රියගේ චරිතය රඟපෑවේ 'අයිරින් පපාස්' නම් වූ ග්‍රීක නිළිය ය. ඇන්තනී ක්වීන් සමඟ 'ද ගන්ස් ඔෆ් නැවරෝන්', ජියානීස් ෆෙටීස් සමඟ 'ඉලෙක්ට්‍රා', බෙකිම් ෆෙම්යු සමඟ 'ද ඔඩෙසි', ඇන්තනී ක්වීන් සමඟ 'අ ඩ්‍රීම් ඔෆ් කිංග්ස්' රිචඩ් බර්ටන් සමඟ 'ඈන් ඔෆ් ද තවුසන්ඩ් ඩේස්', ඇන්තනී ක්වීන් සමඟ 'ලයන් ඔෆ් ද ඩෙසර්ට්', ලාංකික නිළි, අනෝජා වීරසිංහ සමඟ 'අයිලන්ඩ්', කැත්රින් හෙප්බර්න් සමඟ 'ද ට්‍රෝජන් විමෙන්', ඇන්තනී ක්වීන් සමඟ 'ද මෙසේජ්' වැනි චිත්‍රපට තුළින් ඇය ලෝක පූජිත නිළියක් විය.

'සොර්බා ද ග්‍රීක්' චිත්‍රපටයේ මැඩම් හොර්ටෙන්ස් ලෙස රඟපා 1964 වසරේ හොඳම සහය නිළියගේ චරිතය ට හිමි සම්මානය දිනාගත් 'ලිලා කෙඩ්රොවා', රුසියානු නිළියක් විය. ඇය 1938 සිට රඟපාන නිළියක් වූ අතර, ඇය මුලින්ම රඟපෑවේ 'අල්ටිමැටම්' නම් වූ ප්‍රංශ චිත්‍රපටයකය. ඉන්පසු ඇය බොහෝ විට රඟපෑවේ ප්‍රංශ චිත්‍රපටවලය. 1965 දී ඇය ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් නිෂ්පාදනයක් වූ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන 'අ හයි වින්ඩ් ඉන් ජැමනිකා' නම් වූ චිත්‍රපටයේ රඟපෑවේද, ඇන්තනී කුවින් සමඟය. 'ටෝන් කර්ටන්' (1966), 'පෙනිලෝප්'(1966) ''ද ගර්ල් හූ කුඩන්ට් සේ නෝ (1968), 'අ ටයිම් ෆො ලවින්' (1972), 'එස්කේප් ටු ද සන්'(1972), 'සොෆ්ට් බෙඩ්ස් හාඩ් බැටල්ස් (1974), වැනි ඉංග්‍රිසි චිත්‍රපට කීපයකම ඇය රඟපෑවාය.

'සොර්බා ද ග්‍රීක්' චිත්‍රපටයේ ජීව වායුව වූයේ එහී සංගීතයයි. එහී සොර්බා හා බැසිල් ගේ නැටුම් ජවනිකාව ඉදිරිපත් කරන විට පසුබිමෙන් ඇසෙන සංගීත කාණ්ඩය ලෝකප්‍රකට විය. එම සංගීත ඛාණ්ඩය, 'බ්ලූ ඩැනුම්බ් වෝල්ට්ස්' සංගීත ඛාණ්ඩය තරමටම ජනප්‍රිය විය. සොර්බා සංගීතය ලෙස හැඳීන්වීමට තරම් එය බ්‍රැන්ඩඩ් විය. මෙම සංගීතය නිර්මාණය කළේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක මිකීස් තියෝඩොරකීස්. ඔහු ග්‍රීක් ජාතිකයෙකි. ඛ ,සහ 'සර්පිකෝ' යන චිත්‍රපටවල සංගීතය සැපයුවේද ඔහුය.

'සොර්බා ද ග්‍රීක්' චිත්‍රපටය ආරම්භ කරනුයේ, පොතේ ආරම්භයේ දක්වන පසුතලයෙන් නොව. කෘතියේ බැසිල් හා සොර්බා ගේ මුණ ගැසීම සිදුවනුයේ අවන් හලක් තුළය. එහෙත් චිත්‍රපටයේදී ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නේ ඇතන්ස් හී තොටුපලක් ළඟය. ඒ බැසිල් 'ක්‍රීටන්' ගම්මානය බලා යෑමට එන බෝට්ටුව, හෝ පාරුව එනතෙක්ය. ⁣බැසිල් යනු බ්‍රිතාන්‍ය- ග්‍රීක ලේඛකයෙකු වූ අතර, ධනවතෙකුද විය. සෝර්බා පෙනුමෙන් සමාන වන්නේ පතල් කම් කරුවෙකු ලෙසටය. ඇත්තෙන්ම ඔහු පතල් කම්කරුවෙකු ලෙසටද වැඩ කර තිබුණි. බැසිල් ට රැගෙන යාමට විශාල පෙට්ටි කීපයක්ම තිබූ අතර, එයින් පෙට්ටි කීපයකම තිබුණේ ⁣ඔහුගේ පොත් පත්ය. එහෙත් සොර්බාට තිබු⁣ණේ 'සිතර්' (ඛඪබඩඥප) නැමති සංගීත භාණ්ඩයක් පමණි.එය කුඩා වූ අතර එය හම් බෑගයක දමා කරේ එල්ලා යා හැකි විය. එවෙලේ බෑගය තිබුණේ සොර්බාගේ කරේ එල්ලීය. පාරුව එන තෙක් දෙදෙනා කථා කරමින් සිටි අතර, සොර්බා ඔහුගෙන් රැකියාවක් ඉල්ලූවේය. සොර්බා කීවේ තමාට පතල් කම්කරුවෙකු ලෙසත්, කාර්මීක වැඩ මෙන්ම සංගීතය ගැනද දැනුමක් හා පළපුරුද්දක් තිබෙන බවය. බැසිල් මේ අපිළිවලකට සිටින සොර්බා තුළින් කිසියම් ප්‍රසන්න බවක්ද දුටුවේය. බැසිල් ඔහුට කාර්මීක පාලකයෙකු (ජ්ධපථඥද) හා ඕනෑම වැඩක් කල හැකි (ජ්චජබධබභථ) කෙනෙකු ලෙස ට රැකියාවක් දෙන බවට පොරොන්දු විය.

ඔවුන් දෙදෙනාගේ මේ හමුවීම ඉතාමත් දුර දිග ගියේ නොයෙකුත් හැල හැප්පීම් තුළින්ය. ඔවුන් දෙදෙනා 'ක්‍රීටන්' ගම්මානයට ගිය පසු ඔවුන් නැවතුණේ මැදිවියේ පසුවූ ,අතීතයේ කැබරේ නැටුම් ශිල්පිනියක් වූ ප්‍රංශ ජාතික 'මැඩම් හෝටෙන්ස්' ට අයත් වූ 'රිට්ස් හෝටලයේ'ය. සෝර්බා, බැසිල්ව ඇයට ළං කරවන්නට උත්සහා ගත්තද, ඔහු ඇයට කැමති වූයේ නැත. එහෙයින් සොර්බා ඇයට ළංවන්නට වූයේ හුදෙක් විනෝදය පිණිසය.

සොර්බාගේ ජීවිතය පුරාවටම කතුවරයා, හා නිර්මාණකරුවා පෙන්වා දෙන්නේ, තමා වෙත පැමිණෙන ඕනෑම රසයක්, සතුටක් මෙන්ම දුකක් හෝ කරදරයක් සිනා මුසු මුහුණින් භාර ගන්නා තැනැත්තෙක් ලෙසටය. ඔහුට නිශ්චිත ලෙස පාලනයක් තිබුණේ නැත. ඒ ඒ එන අන්දමට ඔහු හැඩ ගැසුණා පමණය.

සොර්බා, තම අවලං අතීතයෙන් බිඳක් බැසිල්ට පැවසුවේ මේ අතරේදීය. ඔහු ස්ත්‍රී දූෂකයෙක්, හා මිනීමැරුමකට සම්බන්ධ වී නීතියෙන් වැරදිකරුවෙකු වී ඇති බවක්ද කීය. එහෙත් ඒවා බැසිල් එතරම් ගණන් ගත් බවක් නොපෙනුණි.

ඉන් දින කිහිපය තුළ බැසිල් පැරණි ලිග්නයිට් පත⁣ලක අයිතියක් ගෙන, සොර්බා ලවා එම පතලේ වැඩ කරවීමට උත්සහ කළද, එම පතල කඩා වැටෙන්නට විය. පතල යළි යථා තත්වයට ගැනීමට, පතලේ දිරා ගිය දැව වෙනුවට නව වළවල් හා මුක්කු සෑදීම සඳහා දැව ලබා ගත යුතුව තිබුණේ සංඝාවාසයකට අයත් ඉඩමකින් ය. ප්‍රාතිහාර්යක් ගැන පවසමින් සොර්බා එහී භික්ෂූන් ව රවටා ඔහුට අවශ්‍ය දැව උපක්‍රමශීලිව ලබා ගන්නට හැකි විය. ඉන් පසුය, ඔහු ගස් කඳන් කම්බියකින් පහළට යැවිය හැකි පද්ධිතයක් සැලසුම් කරනුයේ.

මේ අතර එකී ගම්මානයේ තරුණ ඉතාමත් ආකාර්ෂණීය වැන්දඹුවක් සිටියාය. ඇය නැවත විවාහ නොවූ හෙයින් ගම්මුන් සිතුවේ ඇය රහසේ ඇයගේ සිරුර විකුණා ඇති බවය. මේ හේතුවෙන් ගම්මුන් බොහෝ දෙනෙකු ඇය සමඟ අමනාපයට පත් වූ අතර, ඔවුන් හේතුවක් ඇතිව හෝ නැතිව ඇයට වෛර කරන්නට විය. එම ප්‍රදේශයේම, වැදගත් හා ධනවත් යැයි සැලකෙන ගොවියෙකුගේ තරුණ පුත්‍රයෙකු ඇයට පිස්සුවෙන් මෙන් ආදරය කරන්නට වූ නමුත් ඇය එය තරයේම ප්‍රතික්ෂේප කළාය.

දිනක් ඇය වැස්සේ ආවරණයක් රහිතව තෙමෙමින් යන අතර, ඇයට බැසිල්ව හමු විය. ඔහු ඇයට තම අත තිබූ කුඩය දුන්නද, මුලින්ම ඇය එය ගැනීම ප්‍රතික්ෂේප කළාය. එහෙත් පසුව ඇය එම කුඩය කිසිවකගේ අතේ ඔහුට යැවීය. ටික දිනක් ගිය පසු ඇය බැසිල් ගැන උනන්දුවක් ඇති කර ගතී. මෙය සොර්බාට වැටහුණු පසු ඔහු, එක් පැත්තකින් ඇයව උනන්දු කළ අතර, අනෙක් පැත්තෙන් බැසිල්ව උනන්දු කරන්නට විය. ඇය එම උනන්දුවට කැමති වූවද, ලැජ්ජාශීලි බැසිල්, ඇය සමඟ ඇසුරක් ඇති කර ගැන්මට කැමති නොවීය.

කන්දෙන් පහළට දැව යැවීම සඳහා අවශ්‍ය වන සිප් වයරය සෑදීම සඳහා 'චානියා' නගරයට ගොස් අවශ්‍ය බඩු ගෙන ඒම සඳහා බැසිල් විසින් සොර්බාට මුදල් දුන්නේ මේ අතරේදීය. 'චානියා' නගරයට ගිය සොර්බා එම මුදල් වලින් මත් පැන් බී, ඔහුට සුපුරුදුවූ කැබරේ නැටුම් ශිල්පිණියක් සමඟ රැයක් ගත කර, විනෝද විය. මෙයට බැසිල් සොර්බා සමඟ උරණ විය.

තමා මෙතරම් විශ්වාස කළ සොර්බා මෙසේ කිරීම ගැන බැසිල් දඩි ලෙස කනගාටුවිය. මේ බවක් ඔහු මැඩම් හොර්ටෙන්ස්ට කීවද, ඇය එයට එතරම් විරුද්ධව කිසිවක් නොකීවේ, සොර්බා ඇයව විවාහ කර ගන්නා බවක් ඇයට කියා ඇති නිසාය.

ඉන්පසු බැසිල් ගියේ තම කුඩය දුන් වැන්දඹුවගේ ගෙදරටය. ඇත්තෙන්ම ඔහු එහි ගියේ බීමතින්ය. එහි ගිය පසු ඇය ඔහුට, ඇයගේ ජීවිතයේදී සිදුවූ දේ කියමින් කඳුළු වගුරන්නට පටන් ගතී. ලැජ්ජාවට පත් බැසිල් නැවත හැරී එන්නට හැදුවද ඇය ඔහුව නවත්වා ගනී. එදින රාත්‍රියේ ඔහු ගත කළේ ඇයගේ නිවසේය. එම සිදුවීම ඇය හා අමනාප වී සිටි අය අතරට යෑමට මහ කාලයක් ගත නොවීය.

මේ අතර සොර්බා කෙසේ හෝ අවශ්‍ය බඩු රැගෙන පැමිණීයේය. ඔහු කෙළින්ම පැමිණෙන්නේ මැඩම් හෝර්ටෙන්ස් ළඟටය. ඇය ඔහුට බැසිල් කිව් කථාව කී අතර, සොර්බාට එයට දැඩි ලෙස කේන්ති ගියේය. එලෙසම ඔහු බැසිල්ගෙන් පෙරදා රාත්‍රියේ ගත කෙරු තැන ඇසූ විට ඔහු නිරුන්තර විය. වැන්දඹුව බැසිල් සමඟ රැය ගත කළ හේතුව උඩ ගම්මුන් ඔවුනට කරදර කරන්නට පටන් ගත් අතර, මෙම වැන්දඹුවට පිස්සෙකු මෙන් ආදරය කළ ධනවත් ගොවියාගේ පුත්‍රයා, ඇයගේ ආදරය නොලැබූ නිසා දි⁣යට පැන සිය දිවි හානි කර ගත්තේය.

එම තරුණයාගේ අවමංගල්‍යයට වැන්දඹුව පැමිණියද, ඇයට පල්ලිය තුළට ඒමට තරුණයාගේ පියා ඉඩ දෙන්නේ නැත. ඔහුත්, ගම්මුන් එක්ව ඇයට ගල් ගසන්නට තැත් කරන්නට වූ අතර, බැසිල් වහා පණිවිඩයක් යවා සොර්බාව එතනට ගෙන්වා ගනී. සොර්බා ඔවුන් හා සටන් කර තත්වය පාලනය කළද, සොර්බා තම අවධානය වෙනත් පැත්තකට යොමු කරන ඇසිල්ලෙන්, මියගිය තරුණයාගේ පියා, වැන්දඹුවගේ බෙල්ලට පිහිය තබා ඇයගේ ගෙල කපා මරණයට පත් කෙළේය.

මැඩම් හෝර්ටෙන්ස් සොර්බාගෙන් තමා ඔහු හා අතර සිදුවන විවාහය ගැන අසන්නට විය. ඔහු ඇය⁣ගේ අතට මුදුවක් පලඳවයි. පසුව ඔහු ඇය ළඟ සිටියද, ඇයට නිව්මෝනියා රෝගය වැලඳී මිය යන්නට විය.

සිප් වයරයෙන් කන්ද උඩ සිට, පහළට යවන පද්ධිතිය නිම කිරීමය සොර්බාට හැකි විය. ඒ හැකියාව තුළින් සොර්බා ට ගම්මුන් හා සංඝනායකයන්ගේ සිත්දිනා ගැනිමට හැකි වන අතර, ඔහු ඔවුනගේ වීරයා බවට පත්වන්නට විය.

බැසිල් ගම්මානය අත්හැර යන්නට තීරණය කළේය. ඔහු ඒ බවක් සොර්බාට කී අතර, ඔහු සොර්බාගෙන් අවසානයට ඉල්ලන්නේ සොර්බාට ආවේණික වූ නැටුම ඔහුට උගන්වන ලෙසටය. ඔවුන් වැලි පොළවේම එම නැටුම රඟන දර්ශනයෙන් චිත්‍රපටය නිම විය.

'සොර්බා' ලෙස ඇන්තනී ක්වීන් විශිෂ්ට රඟපෑමක යෙදෙන්නට විය. මුළු චිත්‍රපටයේම ජීව නාලිය වූයේ ඇන්තනී ක්වීන්මය.

ඇමරිකානු ඩොලර් 7ලක්ෂ 83000 ක ඇස්තමෙන්තුවකට බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් 24 ලක්ෂයකට ආසන්න විය. එතැනින්ද නොනැවතුණු 'සොර්බා ද ග්‍රීක්', 37 වෙනි ඇමරිකානු ඇකඩමි සම්මාන උළෙලදී හොඳම සහය නිළියට හිමි සම්මානය මැඩම් හොර්ටෙන්ස් ට රඟපෑ 'ලිලා කෙඩ්රෝවා' දිනා ගත් අතර, හොඳම කළු සුදු කැමරා අධ්‍යක්ෂණය හා හොඳම කලා අධ්‍යක්ෂණය හිමි සම්මාන ද දිනාගත්තේය. ඇන්තනී ක්වීන් හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ වූ අතර, හොඳම අධ්‍යක්ෂණය හා හොඳම චිත්‍රපටය වෙනුවෙන්ද නිර්දේශිත විය.

⁣'සොර්බා ද ග්‍රීක්' යනු ඇන්තනී ක්වින් මෙන්ම, ඔහුගේ සොර්බා නැටුමත්, මිකීස්ගේ සොර්බා සංගීත කාණ්ඩයත් මය. මෙය කිසිදු සිනමා ප්‍රේක්ෂකයෙකුට කිසිදා අමතක කළ නොහැකි 'බ්‍රැන්ඩ්' එකක්ම විය.

 

 

[email protected]