වඳුරු මිනිසුන්ගේ ග්‍රහලෝකය

නොවැම්බර් 2, 2023

1912 වර්ෂයේ පෙබරවාරි මස 12 වන දින ප්‍රංශයේ අවිග්නෝන් නගරයේ ඉපදුණු 'පීරේ බොවුලේ' වෘත්තිමය ලේඛකයෙකු විය. ඔහු ලේඛකයෙකු වීමට ප්‍රථම සිංගප්පූරුවේ ඉජිනේරුවෙකු ලෙස සේවය ක⁣ළේය. ඉජිනේරුවෙකු ලෙස සේවය කළද, ඔහුව බලෙන් කම්කරුවෙකු ලෙස අවුරුදු දෙකක් වැඩ කිරීම පිණිස යොදවන ලදී. එය ඉතාමත් දුෂ්කර ක්‍රියාවලියක් සේම, ඔහුට දුෂ්කර කාලයක් ද විය. නමුත් ඔහුට එයින් ලද පන්නරයත්, එම පන්නරයෙන් ලද අත්දැකීමත් මිල කළ නොහැකි විය. අවසානයේදි ඒ ලද දුෂ්කර වූ අත්දැකීම ම, ඔහුට වාසනාව ගෙන ආවේය. ඔහු ඒ දුෂ්කර අත්දැකීම් එක්කර, අපූරුවූ නවකථාවක් ප්‍රංශ බසින් ලීවේය. එය 'ලේ පොන්ට් ඩි ලා රිව්රේ ක්වායි' නමින් පළ කළේ 1952 වසෙර්ය. ඉන්පසු එම නව කථාවේ ඉංග්‍රිසි පරිවර්තනය ඇමරිකාවේ වැන්ගාඩ් මුද්‍රණ සමාගම ' ද බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි' නමින් පළ කළේය. එය ලොව පුරාම විශාල ලෙස අලෙවි වූ අතර, පසු කලෙක ලොව ප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු වූ ඩේවිඩ් ලීන් විසින් එම නමින්ම එය චිත්‍රපටයකට නැංවිය.

1963 වර්ෂයේදී ඔහු ප්‍රංශ බසින් 'ලා ප්ලැනෙට්ටෙ ඩෙස් සින්ගෙස්' නමින් විද්‍යාත්මක නවකථාවක් ලිවීය. ප්‍රංශයේදී එය ලද ජනප්‍රියත්වය හමුවේ, 1964 දී එහී ඉංග්‍රීසි පරිවර්තනය පළ කළේය. එය නම් කළේ 'මන්කි ප්ලැනට්' ලෙසටය. පසු කළෙක එය 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' ලෙසට නම වෙනස් විය. පියරි බොවුලේ ප්‍රංශ බසින් නවකතා පොත් ගණනාවක් ලියා තිබුණද, ඔහුව අන්තර්ජාතික තලයේ ජනප්‍රියත්වයට පත් වූයේ 'ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' හා 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' නව කථා දෙක තුළිනි.

1968 දී ඇමරිකන් ජාතික චිත්‍රපට නිෂ්පාදක වරයකු වූ 'ආතර් පී. ජේකොබ්' විසින් තම නිෂ්පාදන සමාගම වූ 'ඒර්‍ථබ්ඒඛ් ප්‍රඩක්ෂන්' යටතේ 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' නවකථාව තුළින් චිත්‍රපටයක් කිරීමට අදහස් කළ අතර, එය 'ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස්' සමාගම හරහා බෙදාහැරීමටද තීරණය කළේය.

'ආතර් පී ජේකොබ්'ගේ, මුල්ම ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදනය වූයේ ' වට් අ වේ ටු ගෝ' චිත්‍රපටයය. එය තිරගත වූයේ 1964 වර්ෂයේය. ජේ ලී තොම්ප්සන් විසින් අධ්‍යක්ෂණය කළ මෙ⁣ම චිත්‍රපටය බ්ලැක් කොමඩි ශානරයට අයත් වූවකි. එහී රඟපෑවේ ලොව ජනප්‍රියම නළු නිළියන්ය. ඒ පෝල් නිව්මන්, රොබට් මිචම්, ෂර්ලි මැක්ලේන්, ඩීන් මාර්ටින්, ජීන් කෙලී, ඩික් වෑන් ඩීක්, යන අයය. එය ආදායම් අතින් සාර්ථක වූ චිත්‍රපටයක් විය. ඉන්පසු වර්ෂ 1967 දී ඔහු 'ඩොක්ටර් ඩූ ලිටල්' නම් චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිර ගත කළේය. මෙය රිචඩ් ෆේලෙෂර් විසින් අධ්‍යක්ෂණය කළ අතර, රෙක්ස් හැරිසන්, සමන්තා එගර් සහ රිචඩ් ඇටෙන්බොරෝග්, එහී රඟපෑහ. 'ඩොක්ටර් ඩූ ලිට්ල්' ලංකාවේද ප්‍රදර්ශනය විය.

ආතර් පී ජේකොබ්, 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේ ඉන් පසුවය. ඇමරිකානු ඩොලර් මිලියන 5.8 ක් ඒ වෙනුවෙන් වෙන් කළේය. චිත්‍රපටයේ තිරනාටකය ලිවීමට ඔහු භාර කළේ මයිකල් විල්සන් ටය. 1941 දී 'ද මෙන් ඉන් හර් ලයිෆ්' නම් චිත්‍රපටයේ තිරනාටකය ලිවීමෙන් ඔහු සිනමා තිර රචකයෙකු ලෙස කළ එළි බැසීය. ඔහු චිත්‍රපට 21 ක තිරනාටකය ලිවීය. ඒ 1941 සිට 1969 දක්වා වූ කාලය තුළය. ඒ අතරේ ඔහු දෙවනි තිරනාටක රචකයා ලෙස ලියූ 'ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි', හා ' ලෝරන්ස් ඔෆ් ඇරේබියා' යන චිත්‍රපටද ඇතුළත්ය. 'චේ' ඔහු ලියූ අවසන් සිනමා තිරනාටකය විය. 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' 'චේ' ට පෙර ලියුවකි. එය ලියන්නට ඔහු තවත් ඇමරිකානු තිර නාටක රචකයකු වූ 'රොඩ් සර්ලින්ග්' වද, හවුල් කර ගතී.

ආතර් පී .ජේකොබ්ස් මෙම 'ප්ලැනට් ඔෆ් දී ඒප්ස්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර කළේ 'ෆ්‍රැන්ක්ලීන් ජේ. ෂාෆ්නර්ස් ටය.

ෆ්‍රැන්ක්ලින් ජේ. ෂාෆ්නර්ස් ඉපදුණේ ජපානයේ ටෝකියෝ නගරයේය. ඒ ඔහුගේ මව එකල ජපානයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ රැකියාව කරමින් සිටි නිසාය. කෙසේ හෝ ෆ්‍රැන්ක්ලීන් ෂාෆ්නර්ස් ඔහුට අවුරුදු 5 පමණ වනවිට ඔවුන් ඇමරිකාවට නිත්‍ය වශයෙන් පදිංචියට පැමිණිය.

ඔහු ඇමරිකාවේ බ්ර්‍ථ ර්ජඛ්චඵඬඥර ඩ්ඪඨඩ ඉජඩධධත එකට බැඳුණි. ඔහුගේ කලා සම්බන්ධය මුලින්ම ආරම්භ කළේ එහිදීය. පාසැල් නිෂ්පාදනයක් වූ 'ප්‍රයිඩ් ඇන්ඩ් ප්‍රෙජුඩීස්' නාට්‍යයට ඔහු සම්බන්ධ විය. පසුව ඔහු ලැන්කැස්ටර්වල පිහිටී 'ෆ්‍රැන්ක්ලීන් සහ මාර්ෂල් ' පාසැලට එක් විය. එහිදී ඔහු නාට්‍ය වැඩ සටහන් කීපයක්ම කරන්නට විය. ඉන්පසු ඔහු නිව්යෝක් නගරයේ තිබූ 'කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් නීතිය ඉගෙන ගන්නට විය. නමුත් ඉගෙනුම අතර මග නවතා දමන්නට ඔහුට සිදුවූයේ, සියලුම තරුණයන් මොනයම් අංශයකින් හෝ එම අවස්ථාවේ පැවැත්වෙන දෙවනි ලෝක මහා යුද්ධයට අනිවාර්යයෙන්ම සම්බන්ධ වීමට සිදු වූ නිසාය.

ඇමරිකානු සිනමාවට ඔහු මුලින්ම එකතු වූයේ 1952 වසෙර්ය. ඒ ' ද වින්ග්ස් ඔෆ් ද ඩෝ' යන චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙනි. ඉන්පසු ඔහු 'ද ස්ට්‍රයිපර්' (1963) 'ද බෙස්ට් මෑන්',(1964) ' ද වෝ ලෝඩ්',(1965), 'ද ඩබල් මෑන්', (1967) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. මෙම ලිපියට පාත්‍ර වන 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඉන් පසුවය. ඔහු අධ්‍යක්ෂණය කළ සම්පූර්ණ චිත්‍රපට සංඛ්‍යාව 15 ක් විය. ඒ තුළ බොහෝ විශිෂ්ට චිත්‍රපට අඩංගු විය. හෙන්රි ෆොන්ඩා, ක්ලිෆ් රොබට්සන්, 'ද බෙස්ට් මෑන්', චාර්ල්ස්ටන් හෙස්ටන්, රොඩි මැක්ඩෝවල් 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්', ජෝර්ජ් සී ස්කොට් 'පැටන්', ලෝරන්ස් ඔලිවියර්, මයිකල් ජේස්ටන්, ජැක් හෝව්කින්ස් 'නිකලස් ඇන්ඩ් ඇලෙක්සැන්ඩර්', ස්ටීව් මැකුවීන්, ඩස්ටින් හොෆ්මන් 'පැපිලෝන්', ' ජෝර්ජ් සී ස්කොට්, ඩේවිඩ් හෙමින්ග්ස් 'අයිලන්ඩ් ඉන් ද ස්ට්‍රීම්', ග්‍රෙගරි පැක්, ලෝරන්ස් ඔලිවර් ,'ද බෝයිස් ෆ්‍රොම් බ්‍රසිල්', ක්‍රිස් ක්‍රිස්ටෝෆර්සන් 'වෙල් කම් හෝම්' ඒ අතරේ විය. මෙයින් 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' ඇකඩමි සම්මානයකට හිමිකම් කී අතර, 'පැටන්' ඇකඩම් සම්මාන 10 කට නිර්දේශ වී සම්මාන 7 ක් හිමි කර ගතී. එලෙසම 'නික්ලස් ඇන්ඩ් ඇලෙක්සැන්ඩර් ' ඇකඩමි සම්මාන 6 කට නිර්දේශ වී සම්මාන 2 ක් දිනා ගති. ඔහු හොඳම අධ්‍යක්ෂ ලෙස ඇකඩමි සම්මානය දිනා ගත්තේ 1964 තිර ගත කළ 'පැටන්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙනි.

'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' හී මනුෂ්‍යයන් ලෙස ප්‍රධානව තිබුණේ චරිත හතරකි. ඒ ජෝර්ජ් ටේලර්, ලැන්ඩන්, ඩොඩ්ජ් සහ නොවාය. ජෝර්ජ් ටේලර්ට 'චාර්ල්ස්ටන් හෙස්ටන්' ලැන්ඩන්ට 'රොබට් ගනර්', ඩොඩ්ජ් ට 'ජෙෆ් බටන්' ද නොවා ට 'ලින්ඩා හැරිසන්' වද රඟපෑමට තෝරා ගතී.

විශිෂ්ට නළුවකු වූ 'රොඩි මැක්ඩෝවල්' රඟපෑවේ ග්‍රහලෝකයේ සිටින වඳුරු සත්වයකුගේ චරිතයකි. ඒ ප්‍රධාන චරිතය වූ දොස්තර කොර්නෝලියස් ය.

මෙහී රොබට් ටේලර් ට රඟපෑ 'චාර්ලස්ටන් හෙස්ටන්' ඇමරිකාවේ ඉලිනොයිස් කියන ප්‍රදේශයේ ඉපදුණේ 1923 ඔක්තෝබර් 4 වෙනිදා. ඔහු අදටත් හිටියානම්, මේ මස ඔහු අවුරුදු 100 ක් ලබලා. හෙස්ටන් තම සිනමා ජීවිතය ආරම්භ කරනුයේ 1941 වසරේ තිර ගත කළ 'පීර් ජින්ට්', චිත්‍රපටයෙනි. 1950 දී ඔහු ඩේවිඩ් බ්‍රැඩ්ලි අධ්‍යක්ෂණය කළ 'ජූලියස් සීසර්' චිත්‍රපටයේ මාර්ක් ඇන්තනී ගේ චරිතය රඟපෑවේය. සිසිල් බී ඩි මෙල් ගේ 'ද ග්‍රේටස්ට් ශෝ ඔන් අර්ත්' නම් චිත්‍රපටයට ඔහු සම්බන්ධ වූයේ ද ඒ වසරේදිමය. ඔහු මුළු ලොවම අවධානය දිනා ගත්⁣තේ, සිසිල් බී ඩි මෙල් අධ්‍යක්ෂණය කළ, 1956 දී තිරගත වූ 'ද ටෙන් කමන්ඩ්මන්ට්ස්' චිත්‍රපටයේ 'මෝසස්' ගෙ චරිතයෙන් හා විලියම් වේලර් විසින් අධ්‍යක්ෂණය කළ, 1959 වර්ෂයේ තිරගත වූ 'බෙන්-හර්' චිත්‍රපටයේ 'ජුඩා බෙන්හර්' චරිතයෙන් ය. එම චරිත දෙක ලොව පවතින තාක් කල් තිබෙන චරිත දෙකකි. එලෙසම එය තිරයේ ජීවමාන කල චාර්ල්ස්ටන් හෙස්ටන් ද, ලොව පවතින තාක් කල් තිබෙන චරිතයකි.

1941 වසරේ ආරම්භ කළ ඔහුගේ රංගන ජීවිතය, 2002 වන තෙක් දිග් වූවකි. පුරා අවුරුදු 61 ක්ම ඔහු රඟපෑවේය. ඒ අවුරුදු 61තුළ ඔහු චිත්‍රපට 82 කක පමණ රඟපා තිබුණි. ඒවා බොහොමයක් විශිෂ්ට එමෙන්ම දැවැන්ත චිත්‍රපට විය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ ශෙල්ඩන් ලෙටිච් අධ්‍යක්ෂණය කළ ජීන් ක්ලෝඩ් වැන් ඩෑම් තිර රචනය ලියා ප්‍රධාන චරිතය රඟපෑ 'ද ඕර්ඩර්' චිත්‍රපටය ය. චාර්ල්ස්ටන් හෙස්ටන් එහී මහාචාර්ය වෝල්ටර් ෆින්ලේ ගේ චරිතය නිරූපනය කළේ වැන්ඩෑම් සමඟය.

හෙස්ටන්ගේ ජනප්‍රිය වූ චිත්‍රපට ලෙස 'ද ටෙන් කමන්ඩ්මන්ට්ස්' හා 'බෙන්හර්' අතරට 'ද ග්‍රේටස්ට් ශෝ ඔන් අර්ත්',(1950), 'ද සැවේජ්' (1952), ' ද නේකඩ් ජන්ගල්' (1953), 'ද එල් සිඩ්'(1961) ,'ද ග්‍රේටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ් (1963), 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්',(1968), 'බිනිත් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්', (1969) , 'ජුලියස් සීසර්(1970), 'එස්කේප් ෆ්‍රොම් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් (1971), 'ද ඔමීගා මෑන්' (1971), 'ඇන්තනී ඇන්ඩ් ක්ලියෝපැට්රා' (1971), 'එයාපෝර්ට් 1975' (1974), 'අර්ත්කුවේක්'(1974), වැනි චිත්‍රපට වේ.

ඔහු ලෝකයේ විවිධ සම්මාන උලෙළයන්හී සම්මාන රාශියක් දිනාගත්තද, ඇමරිකානු ඇකඩමි සම්මානය හොඳම නළුවා ලෙස දිනා ගත්තේ එක් වරකි. ඒ 'බෙන්-හර්' චිත්‍රපටයේ ජුඩා බෙන්හර් ගේ චරිතය රඟපෑම වෙනුවෙනි.

'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' චිත්‍රපටයේ ඩොක්ටර් කොර්නෙලියස් නම් වඳුරු මිනිසාගේ චරිතය රඟපානුයේ බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකු වූ ⁣'රොඩි මැක්ඩෝවල්' විසිනි. රොඩි 1928 වර්ෂයේ සැප්තැම්බර් 17 වනදා එංගලන්තයේ ලන්ඩන් නුවර හර්නෙ හිල් හී උපත ලද්දෙකි. 1949 දී ඔහු ඇමරිකාවට නිත්‍ය පදිංචියට පැමිණීය.

රොඩි මැක්ඩොවල් මුලින්ම සිනමාවට පැමිණියේ 1938 වර්ෂයේදීය. ඒ 'කන්වික්ට් 99' නම් වූ චිත්‍රපටයෙනි. එහී ඉතාමත් පෙනෙන නොපෙනෙන සුලු චරිතයක් රඟපෑ ඔහු ප්‍රධාන චරිත ධාරාවෙන් එකකට පිවිසුයේ එම වසරේම තිරගත කළ 'ජෝන් හලිෆැක්ස්' නම් වූ චිත්‍රපටයෙනි. එහෙත් ඔහුට ප්‍රධාන චරිතයකට පිවිසීමට 1943 වන තෙක් සිටීමට සිදු විය. හැරල්ඩ් ඩී ෂස්ටර් අධ්‍යක්ෂණය කළ 'මයි ෆ්‍රෙන්ඩ් ෆ්ලිකා', නම් චිත්‍රපටයේ ඔහු කෙන් මැක්ලෝග්ලින් ⁣නම්වූ ප්‍රධාන චරිතයට පණ පෙවිය. 1938 වර්ෂයේ ආරම්භ කෙරූ ඔහුගේ රංගන දිවිය, 1999 තෙක් ඔහු රැගෙන ආවේ, චිත්‍රපට 98 ක් පමණ රඟපාමිනි. ඒ අතරේ රෙක්ස් හැරිසන්, එලිසබත් ටේලර්, රිචඩ් බර්ටන් රඟපෑ 'ක්ලියෝපැට්රා' චිත්‍රපටයේ 'ඔකටාවියාන්' ගේ චරිතය රඟපෑමටද ඔහුට වාසනාව ලැබුණි. 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' චිත්‍රපට මාලාවේ චිත්‍රපට සතරකම ඔහු රඟපෑවේය. ඒ මෙම ලිපියට පාත්‍රවන 'ප්ලැනට් ඔෆ් දි ඒප්ස්', 'එස්කේප් ෆ්‍රොම් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' ' කන්කියුස්ට් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' හා 'බැටල් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් ය. ඔහු රඟපෑ 'ද පොසිඩන් ඇඩ්වෙන්චර්', 'ෆනි ලේඩි' 'ද තීෆ් ඔෆ් බැග්ඩෑග්', 'ෆ්‍රයිට් නයිට්', වැනි චිත්‍රපට ලංකාවේද ප්‍රදර්ශනය විය. ඔහු රූපවාහිනියේද ජනප්‍රිය මෙන්ම දක්ෂ නළුවෙකු විය. රූපවාහිනි නාට්‍ය ,කථා මාලා, හා රූපවාහිනි චිත්‍රපට සියල්ල එකතු කළ හොත් 70 වක පමණ රඟපා තිබූ අතර, 10 යකට අධික සංඛ්‍යාවකට පසුබිම් හඬ දී තිබුණි. රොඩි මැක්ඩොවල් කිසිදු සම්මානයක් දිනු බවක් නම් සඳහන් වන්නේ නැත.

'ප්ලැනට් ඔෆ්ද ඒප්ස්' චිත්‍රපටය ආරම්භ වනුයේ, ගගනගාමින් වන ජෝර්ජ් ටේලර්, (චාර්ල්ස්ටන් හෙස්ටන් ) ලැන්ඩන් (රොබට් ගුනර්), හා ඩොජ්,(ජෙෆ් බටන්) අභ්‍යවකාශ ගමනකින් පසු ගැඹුරු ශිශිර තරණයෙන් අවදි වෙන දර්ශනයකිනි. කාන්තා කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් වූ 'ස්ටුවර්ට්' (ඩියානෙ ස්ටැන්ලි)' වාතය කාන්දුවීමක් නිසා, අභ්‍යවකාශ යානය තුළ නිදි කුටීරයේ අක්‍රියතාවයක් හේතුවෙන් මිය ගොස් ඇත. කෙසේ වෙතත් ඔවුන්ගේ අභ්‍යවකාශ යානය නාඳුනන ග්‍රහලෝකයක වැවකට කඩා වැටේ. වැවේ ගිලෙන යාත්‍රාව මතින් තිදෙනා යානයෙන් එළියට පැන දිවි බේරා ගනියි.

ඔවුන් තිදෙනා පාළු මුඩු බිමක් හරහා ගමන් කරන්නට විය. අවට තිබූ අමුතු රූප හා සශ්‍රීක වෘක්ෂලතා පසු කරමින් ඔවුන් ගමන් කළේ මිරිදිය විලක් වෙතටය. ඔවුන් එම විල දුටු ගමන්, තමන් ඇඳ සිටි ගගනගාමි ඇඳුම් සියල්ල ගලවා නිරුවතින්ම එම විලට පැන පිහිනන්නට විය. එසේ ඔවුන් පිහිනමින් සිටින විට, ගොළු පිරිසක් පැමිණ එම ඇඳුම් හොරකම් කර, ඉරා ඊට නුදුරින් දමා යති. තිදෙනා පිහිනා, යළි ගොඩට එන විටය දුටුවේ තම ඇඳුම් නොමැති බව. ඔවුන් ඇඳුම් සොයා නිරුවතින් යන විටය දුටුවේ ඔවුනගේ ඇඳුම් ඉරා බිම දමා තිබෙන බව. ඒවා ඉරා දමා තිබූ ආකාරය අනුව එම කැබලි වලින් යාන්තම් විලි වසා ගැන්මට පමණක් හැකිවී තිබුණි.

ඔවුහු ඒවාත් ඇඳගෙන එම පිරිසව සොයා යනවිට, ඔවුන් බෝග වගාවක් කරමින් සිටින අහිංසක ජනතාවක් බව වටහා ගනිති. මොවුන් තිදෙනා ඔවුන් අතරට එන විටම, එක්වරම වානර හමුදාවක් කඩා වදිති. සියලුම දෙනා තමනට හැකි පමණින් ඔවුන්ගෙන් බේරී සැඟවී සිටීමට තැන් සොයා දුව ගියද, ඔවුන් බොහෝ දෙනෙකුට වානර හමුදාව ඉලක්ක කරන වෙඩි වලින් බේරීමට නොහැකි විය. බොහෝ දෙනා මිය ගිය අතර, එසේ මිය ගිය අය අතරට 'ඩොජ්' ද අයිති විය. ඔහුට ද වෙඩ් වැදුණු අතර, ඒ වෙඩි පහරින් ඔහු එතැනම මිය ගියේය. ලැන්ඩන් සිහිසන් තත්වයේ වූ අතර, ටේලර්ගේ බෙල්ලට වෙඩි වැදුණි. වානර චිම්පන්සි හමුදාව, මිය ගිය,නොගිය අයව ඔවුන්ගේ නගරය වූ 'ඒප් සිටි' එකට රැගෙන ගියහ .

එහිදී චිම්පන්සියන් දෙදෙනෙකු වූ සත්ව මනෝවිද්‍යාඥ සයිරා (කිම් හන්ටර්) සහ ශල්‍ය වෛද්‍ය ගැලන්, (රයිට් කිං) විසින් ටේලර්ගේ ජීවිතය බේරා ගත් නමුත් ඔහුගේ බෙල්ලට වෙඩි වැඳීමේදී උගුරට ඇතිවූ ආබාධය නිසා ඔහුව තාවකාලිකව ගොළු වෙන්නට විය.

ටේලර්ව වහල්භාවයේ සිටින ගැහැනු ළමයෙකු වූ 'නෝවා'(ලින්ඩා හැරිසන්) සමඟ සිර කර තබයි. දැඩි කුල ක්‍රමයක් සහිතව කථා කරන මේ දියුණු වඳුරන් ගැන ටේලර් නිරික්ෂණය කරන්නට විය. එකී නිරික්ෂණයේදී ඔහු තේ⁣රූම් ගත්තේ කුලයන් වෙන් කර ඇති ආකාරයය. හමුදා බලකායට සහ කම්කරුවන්ට ඔවුන් යොදා තිබුණේ ගෝරිල්ලන්වය. රජය හා ආගම අධීක්ෂණය කිරීමට ඔවුන් යොදා තිබුණේ ඔරංඔටන්වරුන්ය. බුද්ධිමය චිම්පන්සියන් බොහෝ දුරට විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් විය. වානර සමාජය දිව්‍යාණ්ඩුවක් වන අතර වානරයන් විසින් ප්‍රාථමික මිනිසුන් ව පළිබෝධකයන් ලෙස සලකන අතර, ඔවුන්ව දඩයම් කිරීමට හෝ වහල් භාවයට පත් කර, ඔවුන්ගෙන් සියලු වැඩ ගැනීමටත් එලෙසම වානරයන්ගේ විද්‍යාත්මක අත්හදා බැලීම් වලට මිනිස් ජීවිත යොදා ගැන්මටත් වානරයෝ නිරත වී සිටියහ.

ටේලර්, සත්ව මනෝවිද්‍යා සයිරාට හා ඇයගේ පෙම්වතා වූ දොස්තර කොර්නේලියස්ට (රොඩී මැක්ඩොවල්) ඒත්තු ගන්වන්නේ ටේලර්ද ඔවුන් තරම් බුද්ධිමත් කෙනෙක් බවය.

මේ අතර ඔරංඔටන් ප්‍රධානියා වන වෛද්‍ය සයියස්, (මොරිස් ඉවැන්ස්) සයිරාගේ විරෝධයද නොතකා, ටේලර්ව වඳ කිරීමට කටයුතු කරන්නට විය. ටේලර් පැන ගොස් කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා ඇති 'ඩොජ්' ගේ පිරවු මෘත දේහය ළඟ සැඟවෙයි. එහෙත් වානරයෝ ඔහුව අල්ලා ගනී. එහිදී ටේලර්ට කථා කිරීමට හැකි බව ඔවුන් හඳුනා ගත් අතර, එය වානරයන් කලබල වීමට හේතුවක් වේ.

'ප්ලැනට් ඔෆ් ද ඒප්ස් තුළින් නිර්මාණ කරුවන් පෙන්වන්නට උත්සහා ක⁣ළේ වානරයින්, මනුෂයන් ගැන සිතන්නේත් ඔවුනට සලකන්නේත්, මනුෂයන් වානරයන්ට සලකන ආකාරයට ම බවය. එලෙසම කිසියම් නුදුරු දිනයක ලෝකය වානරයන් විසින් අත්පත් කර ගන්නා බව ඉඟියක් ද දෙයි. එය පැහැදිලිව වැටහෙන්නේ, 'ලැන්ටන්' ව 'ලොබෝටෝමීකරණය' කිරීමෙනි. (ලොබොටෝමීකරණය යනු මිනිසාගේ හිසේ ඩ්‍රිල් එකක් ආධාරයෙන් හිල් දෙකක් විද, ඒ තුළින් දරුණු ගණයේ 'ඇල්කොහොල්' වත්කර, ඔහුගේ නිසල සිරුර, ඔවුනගේ පරියේෂණවලට හවුල් කර ගැනීමය.) වානරයෝ ටේලර්ව අල්ලාගෙන ⁣ලොබොටෝමීකරණය කිරීමට හෝ වඳ කිරීමට තැත් කළහ. එහෙත් දොස්තර සයිරා හා දොස්තර කොර්නේලියස් නිසා, එය වැළකේ. ඔවුන් දෙදෙනා , විශේෂයෙන් දොස්තර සයිරා ටේලර් ට කරුණාව දැක්විය. දොස්තර කොර්නේලියස්ට උවමනා කම තිබුණේ, ටේලර් සහ නෝවාව නිදහස් කිරීමය.

චිත්‍රපටය විද්‍යාත්මක පසු බිමක් මත ගලා යන්නේ එතනින් පසුවය. ග්‍රහලෝක වල,සිටින මිනිසාටත් වඩා දියුණු වූ වානර ජීවින් හා එතැනට වැටුණු මිනිස් ජීවීත අතර ඇති වෙනසත්, එසේ දියුණු වූ වානරයන්, මිනිසුන්ව තම අණසකයේ තබා ගැන්මට දරන උත්සහය අපූරුවට සනිටුහන් කිරීම 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' තුළින් පෙන්වයි. 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' කථා රචකයා ට අවශ්‍ය වී තිබුණේ මිනිසාට වඩා වානරයා බලවත් බව පෙන්වීමටය. මිනිස් ලෝකය මොනතරම් දියුණු වූවද, මිනිසා විසින් ඔවුනගේ පරිභෝජනය ට සතුන් දඩයම් කරන්නා සේම, වානර ලෝකයද කෙතරම් දියුණු වූවද,ඔවුන්ද කරනුයේ ඔවුනගේ යම් යම් පරිභෝජනයන්ට මිනිසාව දඩයම් කිරීමය. තමා වෙනත් ග්‍රහ ලෝකයකින් පැමිණි බව ටේලර් කොතෙක් ඔවුනට ඔප්පු කරන්නට උත්සහා ගත්තද, ඔවුන්ට අවශ්‍ය වූයේ මේ අමුතු ජීවියා තුළින් තම පරියේෂණ කටයුතු තව තවත් පුළුල් කිරීමය.

වානර ලෝකය තුළද විවිධාකාරවූ වානරයන් ගැවසෙන බවක් මෙම චිත්‍රපටය තුළින් පසක් වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම්, සටන් කාමි වැනි රළු ප්‍රතිපත්තින් අතරට කරුණාව, ආදරය මෙන්ම උපකාර කිරීම් වැනි හොඳ යැයි සම්මත ක්‍රියාවලියන්ද ඇති බව යම් යම් සිදුවීම් හරහා පෙන්වන්නට විය. විවිධ ව්‍යාවසානයන්ට මුහුණ දෙන එමෙන්ම ලොබෝටෝමීකරණයෙන් පවා ටේලර් හා නෝවාව, දොස්තර කොර්නෝලිස් හා දොස්තර සයිරා විසින් බේරා ඔවුනට නිදහසේ යෑමට ඉඩ හැරීමෙන් අර කරුණාව, ආදරය මෙන්ම උපකාර කිරීම් ප්‍රත්‍යක්ෂ වේ. 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' චිත්‍රපටය එතැනින් නිම වෙන්නේ නැත. එය තවත් විශාල වූ දිගුවක ආරම්භයක් ලෙසටය නිම කරනුයේ. එය 1970 වර්ෂයේ තිර ගත වූ 'බිනෙත් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්', 1971 දී 'එස්කේප් ෆ්‍රොම් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්',1972 දී 'කන්කියුස්ට් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්', 1973 දී 'බැටල් ෆො ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්', 2011දී 'රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්', 2014 දී ඩෝන් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්', 2017 දී 'වෝ ෆො ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' තරම් තිර ගත වීම් දිගුවූ අතර, එතැනින්ද නොනැවතී, ඉදිරියේදී, එනම් 2024 දී 'කිංග්ඩම් ඔෆ් ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' නමින් තිර ගත වනු ඇත.

එලෙසම මෙම 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' චිත්‍රපටය 2001 දී නැවත නිර්මාණය වූයේ ටිම් බර්ටන් අධ්‍යක්ෂක වරයා යටතේ ය. එහී 'මාර්ක් වෝල්බර්ග්' 'ටිම් රෝත්', 'හෙලෙනා බොන්මන් ' රඟපා ඇත. එය වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රපටයක් වූ අතර, මිලියන 100 ක ඇස්තමේන්තුවකට මිලියන 362.2 ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයන්න සමත් විය.

1974 දී මෙය රූපවාහිනි චිත්‍රපටයක් ලෙස නිර්මාණය විය. එය නවකථාව ලියූ පියරි බෞලේ ගේ අධ්‍යක්ෂණයක් වූ අතර, 'රොඩි මැක්ඩොවල් , රොන් හාර්පර්, හා ජේම්ස් නෝටන් එහී රඟපෑහ. මෙය 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' නමින්ම විකාශය විය. 1975 දී 'රිටන් ටු ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' නමින් මෙය 'ඇනිමේෂන්' චිත්‍රපටයකටද පරිවර්තනය වූ අතර, 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස්', 'රිවේන්ජ් ඔෆ් ද ඒප්ස්' 'ප්ලැනට් ඔෆ් ද ඒප්ස් -ලාස්ට් ෆ්‍රොන්ටයර්',

'ක්‍රයිසස් ඔන්ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස්' යන නම් වලින් 'වීඩියෝ ගේම්' හරහාද පැමිණීය.

මේ සියලු දේ අධ්‍යයනය කළ විට, වැටහී යනුයේ 1963 වසරේදී පියරි බෞලේ විසින් ලියූ නවකථාව, මයිකල් විල්සන් හා රොඩ් සර්ලින්,ගේ තිර රචනයට පරිවර්තනය වී, ආතර් පී ජේකොබ් ගේ නිෂ්පාදනයෙන්, හා ෆ්‍රැන්ක්ලීන් ජේ ෂෆ්නර්ගේ අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් කෙරූ ඒ අනගි චිත්‍රපටය වූ ' ප්ලැනට් ඔෆ් ද ඒප්ස්', ලොව තුළ, ⁣කාලයෙන් කාලයට යාවත්කාලිනවී මොන තරම් දුරට ව්‍යාප්ත වී ඇත්ද යන්නය.

ඒ අතින් බලන විට, 'ප්ලැනට් ඔෆ් දී ඒප්ස්' මනඞකල්පිතය, සාහිත්‍ය, සිනමා, ටෙලි හා තාක්ෂණීක ක්ෂේත්‍රයන් හී අරුමැසි, ප්‍රාතිහාර්ය ක් වන බවක් නම් සඳහන් කළ යුතුමය.

වානර ලෝකය තුළද විවිධාකාරවූ වානරයන් ගැවසෙන බවක් මෙම චිත්‍රපටය තුළින් පසක් වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම්, සටන්කාමි වැනි රළු ප්‍රතිපත්තින් අතරට කරුණාව, ආදරය මෙන්ම උපකාර කිරීම් වැනි හොඳ යැයි සම්මත ක්‍රියාවලියන්ද ඇති බව යම් යම් සිදුවීම් හරහා පෙන්වන්නට විය. විවිධ ව්‍යාවසානයන්ට මුහුණ දෙන එමෙන්ම ලොබෝටෝමීකරණයෙන් පවා ටේලර් හා නෝවාව, දොස්තර කොර්නෝලිස් හා දොස්තර සයිරා විසින් බේරා ඔවුනට නිදහසේ යෑමට ඉඩ හැරීමෙන් අර කරුණාව, ආදරය මෙන්ම උපකාර කිරීම් ප්‍රත්‍යක්ෂ වේ.