සංගීතය-ආදරය කැටි වූ හාස්‍යය

MY FAIR LADY
ඔක්තෝබර් 19, 2023

අයිරිශ් ජාතික ලෝකප්‍රකට ලේඛකයකු වූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ 1913 ලියු නාට්‍ය රචනයකි 'පිග්මාලියන්'. එය වියානා හී 'හොෆ්බර්ග් තියටර් හී වේදිකා ගත වූයේ 1913 ඔක්තෝබර් 16 වෙනි දිනය. එය ඉදිරිපත් වූයේ ජර්මන් බසිනි. 1914 වර්ෂයේ අප්‍රේල් මාසයේ එය එංගලන්තයේ ලන්ඩන් නුවර 'හිස් මැජෙස්ටිස්' තියටර් හී ඉංග්‍රිසි දෙබස් සහිතව වේදිකා ගත විය 'හර්බට් බියර්බොම් ට්‍රී, මෙහි මහාචාර්ය හිගින්ස් ගේ චරිතය රඟපෑ අතර, 'බියට්‍රිස් රෝස් ස්ටෙලා ටනර්' (වේදිකාවේදි ඇය හැඳීන්වූයේ ' මිසිස් පැට්රික් කැම්බල් ' ලෙසටය. ) පහළ පාන්තික මල් විකුණන තරුණිය වූ 'එලිසා ඩූ ලිටල්' ගේ චරිතය රඟපෑවාය . මෙම නාට්‍ය හැඳීන්වූයේ රොමැන්ටිකල් කොමඩියක් ලෙසටය.

මේ 'පිග්මාලියන්' වේදිකා නාට්‍යය 1938 දී ගේබ්රියල් පැස්කල් විසින් සිනමාවට නැගුවේය. එහී තිර රචනය ජෝර්ජ් බර්නාඩ් ෂෝ ලියූ අතර, ඔහු එයට ඩබ්.පී. ලිප්ස්කොම්බ්, සිසිල් ලුවිස්, හා ඉයන් ඩැල්රිම්පල්වද, හවුල් කර ගති. මෙය අධ්‍යක්ෂණය කිරීමට භාර දුන්නේ 'ලෙස්ලි හොවාර්ඩ් හා ඇන්තනි ඇස්කුයිත් ටය. ලෙස්ලි හොවාර්ඩ් මෙහී මහචාර්ය හෙන්රි හිගින්ස් ගේ චරිතය රඟපෑ අතර, වෙන්ඩි හිලර් 'එලිසා ඩූ ලිට්ල්ගෙ' චරිතය රඟපෑහ. මෙම චිත්‍රපටය සංස්කරණය කළේ පසුව ලෝක ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වූ 'ඩේවිඩ් ලීන්'ය.

වර්ෂ 1962 දී ' කොලොම්බියා බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම්' අයිතිකරු විලියම් එස් පාලේ, විසින් 'පිග්මාලියන්' හී ගීත තැටි ගත කර විකාශය කිරීමට, ආයෝජනය කළේය. වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම 1962 පෙබරවාරි මාසයේදී, මෙය නැවත චිත්‍රපට ගත කිරීමෙි අයිතිය ඇමරිකානු ඩොලර් මිලියන 5.5 කට මිලදී ගති. (2023 වර්ෂයේ නම් එය ඩොලර් මිලියන 53 පමණය). එලෙසම ඊට අමතරව දළ ආදායමෙන් හැම ඩොලර් මිලියන 20 කටම 47 1/4% ගෙවන බවටද ගිවිසුම් ගත විය.

ඒ වන විට මෙය බ්‍රෝඩ්වේ නිෂ්පාදනයක් තුළින් ඔපේරා සංගීතමය නාට්‍යයක් ලෙස වේදිකා ගතවෙමින් තිබුණේ ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් මැදය. වෝනර් බ්‍රදර්ස් සමාගමේ එක් අයිතිකරුවකු වූ ජැක් වෝනර් මෙහී එන ප්‍රධාන චරිතය වූ එලිසා ඩූ ලිට්ල්ගේ චරිතය, ඒ වන විටත් 'මයි ෆෙයාර් ලේඩි' ඔපේරා සංගීතමය නාට්‍යයේ එම චරිතයම රඟපාන ප්‍රකට නිළි 'ජූලි ඇන්ඩෘස්ව' යෙදවීමට තීරණය කළේය. ඒ වන විට ජූලී ඇන්ඩෘස් ඉහළ ජනප්‍රියත්වයක සිටි නිළියක්, හා ඔපෙරා ගායිකාවක් වී සිටියාය. ජුලී ටද එම චරිතය චිත්‍රපටයේ නිරූපණය කිරීමටද, දැඩි අවශ්‍යතාවයක් තිබුණද ඒ වන විට ඇය ඇලන් ජේ ලර්නර්ගේ 'කැම්ලට්' සංගීතමය නාට්‍ය හී ප්‍රධාන චරිතය භාර ගෙන තිබුණි. ඇයට එහී රඟපෑමට සිදු වූයේ රිචඩ් බර්ටන් සමඟය. එහෙයින් ඇය ට එය ප්‍රතික්ෂේප කිරීමට සිදු විය.

මේ අතර ඇලන් ජේ ලර්නර් ජෝර්ජ් බර්නාඩ් ෂෝ විසින් ලියූ 'පිග්මාලියන්' පොත සංගීත පොතක් ලෙස ලිවීය. එහී කථාව සමඟ ගීත ගණනාවක් ලිවීය. ඒ 1957 වර්ෂයේය. ඔහු එය නම් කළේ 'මයි ෆෙයාර් ලේඩි' ලෙසටය. එය ඇමරිකාවේ බ්‍රෝඩ්වේ තියටර් සඳහා ප්‍රදානය කරන උසස්ම සම්මාන උලෙළ වූ 'ඇන්ටොයිනෙට්ටි පෙරියි හෙවත් ටෝනි සම්මානය දිනා ගති. ඒ, වසරේ හොඳම සංගීත පොත සඳහා ය.

'වෝනර් බ්‍රදර්ස්' මෙහි තිර රචනය ලිවීමට භාර ක⁣ළේද ඇලන් ජේ ලර්නර්ටමය.

1899 වසරේ ජුලි 7 වන දින ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉපදුණු 'ජෝර්ජ් ඩෙවේ කුකොර්' ට වෝනර් බ්‍රදර්ස් විසින් ඇලන් ජේ ලර්නර් තිරනාටකය ලියූ 'මයි ෆෙයා ලේඩි' අධ්‍යක්ෂණය කිරීමට තෝරා ගතී.

'ජෝර්ජ් කුකොර්', ඇමරිකානු සිනමාවට මුලින්ම පැමිණ ඇත්තේ 1930 වර්ෂයේ ය. ඒ සම අධ්‍යක්ෂවරයකු ලෙසටය. ඔහු සිරිල් ගාර්ඩනර් සමඟ එක්ව අධ්‍යක්ෂණය කළ ' ග්‍රම්පි' චිත්‍රපටයෙනි, එසේ ක්ෂේත්‍රයට පැමිණියේ. එම වසරේම තිර ගත කළ 'ද වර්ටුස් සින්' හා 'ද රෝයල් ෆැමිලි ඔෆ් බ්‍රෝඩ්වේ', යන චිත්‍රපට දෙකද ඔහු සම අධ්‍යක්ෂණයට හවුල් වූ ඒවා විය. එම චිත්‍රපට 3 නම පැරමවුන්ට් චිත්‍රපට සමාගමේ චිත්‍රපටයන්ය. ඉන්පසු තිරගත වූ 'ටාර්නිශ්ඩ් ලේඩි' ඔහුගේ තනි අධ්‍යක්ෂණයක් විය. එතැන් සිට ඔහු 1964 වර්ෂයේ දී 'මයි ෆෙයා ලේඩි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන තෙක් චිත්‍රපට 40 ක් පමණ අධ්‍යක්ෂණය කර තිබුණි. ඒ අතරේ ජේම්ස් මේසන්, ජූඩි ගාර්ලන්ඩ් රඟපෑ 'ස්ටාර් ඊස් බෝර්න්', ස්ටුවට් ග්‍රේන්ජර්, ආවා ගාර්ඩනර් 'බෝවානි ජන්ක්ෂන්', ඇන්තනි කුවින්, සොෆියා ලොරෙන්, 'හෙලර් ඉන් පින්ක් ටයිට්ස්', මැරලින් මොන්රෝ, ටෝනි රැන්ඩල් 'ලෙට්ස් මේක් ලව්', ජැක් ලෙමන්, පීටර් ලෝෆෝඩ් ' ඉට් ෂුඩ් හැපන් ටු යූ ' ද විය. ලොව තවත් විශිෂ්ට චිත්‍රපටයක් සේ සලකන ක්ලාක් ගේබල් රඟපෑ ' ගෝන් විත් ද වින්ඩ්' අධ්‍යක්ෂණය කිරීමට භාර වූයේද ඔහුටය. ඔහු එහී ජවනිකා කීපයක්ම රූගත කළේය. එහෙත් අතර මගදී නිෂ්පාදකයන් සමඟ ඇතිවූ මත ගැටුමකදී නිෂ්පාදකයෝ ඔහුව ඉවත් කළහ. ඔහු රූ ගත කළ එම ජවනිකා 'ගෝන් විත් ද වින්ඩ්' චිත්‍රපටයට ඇතුළත් කර තිබුණි. ඔහු 1930 සිට 1981 දක්වා චිත්‍රපට 51 ක් අධ්‍යක්ෂණය කර තිබුණි. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ 1981 වර්ෂයේ තිර ගත කළ මෙට්රො ගෝල්ඩ්වින් මේයර් නිෂ්පාදනය කළ , ජැකුලයින් බිසෙට් හා කැන්ඩිස් බර්ගන් රඟපෑ 'රිච් ඇන්ඩ් ෆේමස්' චිත්‍රපටය ය. ඔහු 4 වරක් ඇමරිකානු ඇකඩමි සම්මානය සඳහා හොඳම අධ්‍යක්ෂක වෙනුවෙන් නිර්දේශ විය. ඒ 1932 තිර ගත කළ 'ලිටල් වුමන්' 1940 'ද පිලඩෙල්පියා ස්ටෝරි', 1947 ' අ ඩබල් ලයිෆ්', 1950 'බෝන් ඉයර්ස්ටඩේ' ය.

ජූලී ඇන්ඩෘස්ගෙන් හිස් වුනු එම ප්‍රධාන චරිතය වූ එලීසා ඩූ ලිට්ල්ගේ චරිතය සඳහා 'ඔඩ්රි හෙප්බර්න්' ව නම් කෙරීණ.

බෙල්ජියමේ බ්‍රසල්ස් හී 1929 මැයි මස 4 වන දින උපත ලද, ඕඩ්රි කැත්ලින් රස්ටන්, පසුව හෙප්බන් වූයේ ඇයගේ පියා තමාගේ රස්ටන් ⁣ නාමය වෙනුවට 1542 දී ස්කොට්ලන්තයේ රැජිනව සිටි 'මේරි ස්ටුවර්ට්' ගේ සැමියා වූ ජේම්ස් හෙප්බර්න් ගේ වාසගම එකතු කර ගත් නිසාය.

ඔඩ්රි හෙප්බර්න් සිනමාවට පැමිණියේ 1948 දී පමණය. ඒ 'ඩච් ඉන් සෙවන් ලෙසන්ස්' නම් වූ නෙදර්ලන්ත චිත්‍රපටයෙනි. ඇය එහි වේටර්වරියක් ලෙස රඟපෑවාය. ඇයට ප්‍රධාන චරිතයක් ලැබුණේ 1952 වසරේ තිරගත කළ 'සික්‍රට් පීපල්' නම් වූ චිත්‍රපටයෙනි. එතැන් සිට ඇය 1989 වන තෙක් රඟපෑවාය. චිත්‍රපට 27 ක රඟපෑ ඇය, ඇමරිකන් ඇකඩමි සම්මානය ට 5 වරක් නිර්දේශ වී 1953 තිරගත කළ 'රොමන් හොලිඩේ' චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය ට හිමි ඇකඩමි සම්මානය දිනා ගතී.

'මයි ෆෙයා ලේඩි' බ්‍රෝඩ්වේ නාට්‍යයේ රඟපෑ රෙක්ස් හැරිසන්වම, චිත්‍රපටයේද මහාචාර්ය හෙන්රි හිගින්ස් ගේ චරිතයට තෝරා ගන්නට විය. 

රෙක්ස් හැරිසන් ඇමරිකා⁣වේ පදිංචි වූවද, ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. 1908 මාර්තු 05 වන දින එංගලන්තයේ ලැන්කෂයර් හී ලිවර්පූල් නගරයේ ඉපදුණු රෙක්ස් හැරිසන්ගේ මුල් නම වූයේ රෙජිනල්ඩ් කේරි හැරිසන්ය. ඔහුට අවුරුදු 10 යක්ව තිබියදී ඔහු, ඔහුගේ නම 'රෙක්ස්' ලෙස භාවිතා කරන්නට පටන් ගත්තේය. එම නම ඔහු විසින්ම තමන්ව හඳුනා ගන්නට උපයෝගි කර ගත් නම විය. ඔහු රංගනයට එකතු වූයේ 1924 දීය. ඒ වේදිකාවෙනි. ඒ වන විට ඔහුට අවුරුදු 16 ක් වූ අතර, ඔහු වේදීකාවට ගොඩ වූයේ 'ලිවර්පූල් ප්ලේහවුස්' හරහා ය. ඔහු 1924 සි⁣ට 1927 දක්වා වේදිකාවේ රඟපෑවේ කුඩා චරිතයන්ය. ඉන්පසු ඔහු සංචාරක නිෂ්පාදනයක් වූ 'චාර්ලීස් ආන්ට්' නාට්‍යයේ අවුරුදු 6 ක් පමණ රඟපෑවේය. ඒ අතරේදීය ඔහුට චිත්‍රපටවල රඟපෑමට ආරාධනා ලැබුණේ. ඔහු සිනමාවට අවතීර්ණ වූයේ 1930 වර්ෂයේදීය. ඒ 'ද ග්‍රේට් ගේම්' චිත්‍රපටයෙනි. ප්‍රථම චිත්‍රපටයේ සුළු චරිතයක් වුවද, එය නාමික චරිතයක් විය. ඔහු එහී 'ජෝර්ජ්' නම් චරිතයක් රඟපෑවේය. ඉන් පසු ඔහු 1941 වන තෙක් චිත්‍රපට 15 ක පමණ රඟපෑවේය. ඒ අතරේදී ඔහු වේදිකාවේ රංගනයේද යෙදුනි. 1936 දී ඔහු රඟපෑ 'හීරෝස් ඩෝන්ට් කෙයා', සහ 'ෆ්‍රෙන්ච් විතවුට් ටියර්ස්' යන වේදිකා නාට්‍යයේ ඔහු කැපී පෙනුණු රංගනයන් ඉදිරිපත් කළේය. විශේෂයෙන් 'ෆ්‍රෙන්ච් විතවුට් ටියර්ස්' ඔහු රඟපෑ විකට මුසු චරිතය වඩාත් ජනප්‍රිය විය. චිත්‍රපටවල ඔහුට ප්‍රධාන චරිතයක් ලැබු⁣ණේ ඉයන් ඩැල්රින්පල්, හා වික්ටර් සවිලේ විසින් අධ්‍යක්ෂණය කළ 'ස්ටෝම් ඉන් අ ටී කප්' චිත්‍රපටයේය. එය තිරගත කළේ 1937 වස⁣ෙර්ය. ඔහු එහි ෆ්‍රෑන්ක් බර්ඩන් නම් වූ මාධ්‍යවේදියකු ගේ චරිතයක් නිරූපණය කළේය. ඔහුගේ පෙම්වතිය ලෙස සහයක චරිතයක් රඟපෑවේ පසුව 'ගෝන් විත් ද වින්ඩ්' චිත්‍රපටයේ රඟපෑ විවියන් ලීග්ය. එතැන් සිට ඔහු 1941 වන තෙක් චිත්‍රපට චිත්‍රපට 9 ක් රඟපෑවේය. 1941 සිට 1945 දක්වා ඔහු කිසිදු කලා කටයුත්තකට සහභාගි නොවීය.ඒ, එකල ඔවුන් අනිවාර්යයෙන්ම දෙවන ලෝක යුද්ධයට මොනයම් අයුරකින් හෝ සම්බන්ධ විය යුතු නිසාය. ඔහු රාජකීය ගුවන් හමුදාවකට එකතු විය. එහිදී ඔහු ගුවන් ලුයිතන් කෙනෙක් ලෙස සේවය කළේය.

නැවත ඔහු චිත්‍රපටවලට සම්බන්ධ වූයේ 1945 දීය. ඒ 'අයි ලිව් ඉන් ග්‍රොස්වෙනර් ස්කොයර්' චිත්‍රපටයේ මේජර් ඩේවිඩ් බෘස්ගේ චරිතයෙනි. එතැන් සිට චිත්‍රපට 16 ක් රඟපාය ඔහු 'මයි ෆෙයා ලේඩි' චිත්‍රපටයේ රඟපෑවේ.

ඔහු රඟපෑ ' මයි ෆෙයා ලේඩි' සහ ඔහු ජූලියස් සීසර් ට රඟපෑ 'ක්ලියෝපැට්රා' චිත්‍රපට දෙකම, ඇමරිකාවේ තිරගත කළේ එකම අවුරුද්දේය. ඒ 1963 වසෙර්ය. ඔහුගේ අවසන් චිත්‍රපටය තිරගත වූයේ 1982 දීය. ඒ 'අ ටයිම් ටු ඩයි' නම් වූ යුදමය චිත්‍රපටයේ ය. එය 1982 වසරේ තිර ගත වූ වද, මෙය රූ ගක කර ඇත්තේ 1979 යේ දීය. රෙක්ස් හැරිසන් වේදිකා, සිනමා, රූපවාහිනි, හා ගුවන් විදුලි යන ක්ෂේත්‍ර හතරේම තම දස්කම් පෙන්වා ඇත. ඔහු ඇමරිකානු ඇකඩමි සම්මානයෙන් පුද ලද නළුවකු විය.

'මයි ෆෙයා ලේඩි' සංගීතමය, විකට මෙන්ම රොමැන්ටික් චිත්‍රපටයක් ලෙස හැදින්වේ. මෙහී වැඩි අවධානයක් යොමු කළේ සංගීතය හා ගීත වලටය. චිත්‍රපටයේ සංගීතය බ්‍රෝඩ්වේ තියටර් සංගිතඥයකු වූ ෆ්‍රෙඩ්රිච් ලොවෙගේ තනු අනුවර්තනය කළේ ඇන්ඩ්‍රි ප්‍රෙවින් ය. බ්‍රෝඩ්වේ තියටර් හී පෙන්වූ 'මයි ෆෙයා ලේඩි' ගීතමය නාටකයේ සංගීතය සැපයූවේ ෆ්‍රෙඩ්රිච් ලොවේය.

මෙහී ගීත 20 ක් පමණ තිබුණි. ' වයි කාන්ට් ද ඉංග්ලිෂ් ලර්න ටු ස්පීක්, ' - වුඩන්ට් ඉට් බී ලව්ලි,- 'ඇන් ඕඩිනරි මෑන්', -'විත් අ ලිට්ල් බිට් ඔෆ් ලක්',- 'ජස්ට් යූ වෙයිට්',- 'සර්වන්ට්ස් කෝරස්', -' ද රෙන් ඉන් ස්පේන්',- 'අයි කුඩ් හැව් ඩාන්ස්ඩ් ඕල් නයිට්',- 'ඇස්කොට් ගවොටේ',- 'ඔන්ද ස්ට්‍රීට් වෙයාර් යූ ලිව්',- 'යූ ඩිඩ් ඉට්',- ' ජස්ට් යූ වේයිට්',-'ශෝ මී', ': ගෙට් මී ටු ද චර්ච් ඔන් ටයිම්',- ' වයි කාන්ට් අ වුමන් බී මෝ ලයික් අ මෑන්', -' විතවුට් යූ',- 'අයි හැව් ග්‍රෝන් ඇක්යුස්ටෝම්ඩ් ටු හර් ෆේස්', එම ගීතයන්ය. එම ගීතවලට අමතරව හරි අපූරුවූ සංගීත කාණ්ඩ දෙකක් තිබුණි. ඒවා නම් 'ට්‍රාන්සිල්වානියන් මාර්ච්', හා ' එම්බර්සි වෝල්ට්ස්' ය. මේ සියලුම ගීත රචනා කළේ ඇලන් ජේ ලර්නය. ඔඩ්රි හෙප්බන් ගේ ගීත ඇය විසින්ම ගායනා කළ අතර, චාර්ල්ස් ෆ්‍රෙඩ්රික්ස්, මෝනා වොෂ්බෝන්, ජෙරමි බ්‍රෙට්, අනෙක් ගීත ගායනා කළහ.

'මයි ෆෙයා ලේඩි' හී කථාව තුළ ගැඹුරත්වයක් තිබුණද, එය ඔවුන් ඉදිරිපත් කරන්නේ සංගීතයෙන්, ගීතයෙන්, අලංකාර පසු ත⁣ලවලින්, ආකාර්ෂණීය ඇඳුම් මොස්තරවලින්, හා විකට ස්වරයෙනි. කථාව ගලා ගියේ මෙසේය.

ලන්ඩන් 'ශබ්ද විද්‍යාව පිළිබඳ විශාරදයකු වන මහාචාර්ය 'හෙන්රි හිගින්ස්' (රෙක්ස් හැරිසන්) විශ්වාස කරනුයේ කෙනෙකුගේ කට හඬේ උච්චාරණය සහ ස්වරය සමාජයේ පුද්ගලයකුගේ අපේක්ෂාවන් තීරණය කරන බවයි.

කොවන්ට් ගාර්ඩන් පළතුරු එළවළු වෙළඳ පොළේදී එක් සැන්දෑවක, ඔහුට ඉන්දියාවේ සිට ඔහු බැලීමට, පැමිණි ශබ්ද විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන කර්නල් හියු පිකරිං (විල්ෆ්‍රිඩ් හයිඩ් වයිට්) හමුවෙයි. හිගින්ස් හා පිකරිං තර්කයකට පැටලෙයි. ඒ අසල සිටි මල් විකුණන ' එලිසා ඩූලිටිල්' (ඔඩ්රි හෙප්බර්න්) සම්බන්ධවය. හිගින්ස් කියනුයේ මෙතරම් මුඛරි, හඬ ශබ්දයේ කිසිදු පාලනයක් නොවූ විටෙක නගරය දෙදරවන තරමේ ශබ්දයකින් කෑ ගසා කථා කරන, එලිසා ඩූ ලිට්ල් හොඳීන් කථා කිරීමට ඉගැන්විය හැකි බවත්, තමාට, ඇය වැන්නියක් තනාපති කාර්යාලයේ ආදිපාදිවරියක් කළ හැකි බවකි.

එලිසාගේ එකම අභිලාසය විශාල මල් සාප්පුවක වැඩකිරීමය. මේ පාරට වී මල් කූඩයක් තබාගෙන මල් විකුණනවාට වඩා එලෙස විශාල මල් සාප්පුවක වැඩ කිරීමේ සිහිනය ඉටු කරගැන්මට නම්, ඇයට ඇය කථා කරන විලාසය ඉගෙන ගත යුතු මය මහාචාර්ය හිගින්ස් එසේ කියන විට, ඇයට මහාචාර්ය වරයා ළඟට ගොස් ඉගෙන ගත යුතු යැයි සිතේ.

එලිසා, මහචාර්ය වරයාගෙන් එය ඇසූ විට, ඔහු ඇයට උගැන්වීමට එක පයින් කැමති වේ. එය බලා සිටි හියූ පිකරිං කියනුයේ එය කෙලෙසකවත් සාර්ථක විය නොහැකි බවය. යම් හෙයකින් එය සාර්ථක වුවහොත්, ඇයට ඉගෙනුම සඳහා යන සියලු වියදම් පිකරිං විසින් ගෙවන වගට ඔහු පොරොන්දු වේ. හිගින්ස් එයට එකඟ වේ.

චිත්‍රපටයේ මුල් හරියේ සිදුවන මෙම සිදුවීමෙන් පසුවය, එලිසා ඩූලිට්ල් මල් විකුණන පොළ පෙන්වන්නේ. එහීදී ඇය එකී වෙළදුන් සමඟ අපූරු ගීතයක් ගයයි. ඒ 'වුඩන්ට් බී ලව්ලී' කියන ගීතය යි.

All I want is a room somewhere,
Far away from the cold night air.
With one enormous chair,
Aow, wouldn't it be loverly?
Lots of choc'lates for me to eat,
Lots of coal makin' lots of 'eat.
Warm face, warm 'ands, warm feet,
Aow, wouldn't it be loverly? 

ඉන්පසුය ඇය මහාචාර්ය හිගින්ස්ගේ නිවසට යයි. එම නිවස කිසිසේත් ඇය වැනි දුරාවර්ණ වූ මල් කූඩයක මල් තබා විකුණන දුප්පත් කෙල්ලෙකුට පා තබන්නට හෝ සුදුසු තැනක් නම් නොවේ. එම නිවසේ බ්‍රිතාන්‍යයේ උසස් සමාජයේ සිටින අය මෙන්ම ධනවත්, උගත් මහත්මාවරුන් හා කාන්තාවන් එන, යන, ගැවසෙන ස්ථානයකි. එලෙසම එහී වැඩට, ඉතාමත් පිරිසිදු ඇඳුම් පැලඳුම් හැද ගත් සුන්දර කාන්තාවන් මෙන්ම ගරු ගම්බීරව වැඩ කරන මැදි වියේ කාන්තාවන්ද සිටියහ. මහාචාර්ය හෙන්රි හිගින්ස් යනු ලන්ඩනයේ සිටින, උගත්ම ධන කුවේරයෙකි.

එදා මල් වෙළෙඳ පොළේදී මහචාර්යවරයා නිකමට කිව් කථා වක් වූ 'එලිසාට වුවද ඉංග්‍රිසි උගන්වා පිළිවෙළකට කථා බස් කරන අන්දම ඉගැන්වීමට හැකියයි' කිව් නිසාය මේ එලිසා මහාචාර්වරයා ව සොයා ගෙන ඔහුගේ නිවසට එනුයේ.

එවන් කෙනෙක් මේ මන්දීරයට ඇතුල් වීම ගැන පුදුම වූ සේවිකාවන් තවත් පුදුම වූයේ මහචාර්වරයා ඇයට ඔහුව හමුවීමට ඉඩ දීම ගැනය. එ පමණක් නොව, පසුව ඇයව පිරිසිදු කර අලුත් ඇඳුම් අන්දවා ඔහු හමුවට ගෙන්වා ගැනීම ගැනද ඔවුන් පුදුම විය.

එවෙලේ ඔහු සමඟ පිකරිංද සිටියේය. ඔවුන් දෙදෙනාගේ තර්ක විතර්කවලින් පසු මහාචාර්යවරයා ඇයට ඉංගී‍්‍රසි නිවැරදිව උච්චාරණය කිරීම පටන් ගත්තා පමණක් නොව, ඇයට තම සුවිසල් නිවසේ කාමරයක් වෙන් කෙරුවේය. ඉන්පසු ඇයව ටිකෙන් ටික උසස් සමාජයට පුරුදු කරන්නට විය.

දෙබස් බොහොමයක් ගීතයත්, සංගීතයත් අතර දෝලනය විය. එය ගීතවත් ඔපේරාවක් බඳුය. කථාව තුළ ගැඹුරත්වය වූයේ මල් විකුණන දුප්පත් තරුණික්ව උසස් සමාජයට පුරුදු පුහුණු කරනවාට වඩා, මහාචාර්ය හෙන්රි හිගින්ස් ට ශබ්ද තුළින් හඬේ උච්චාරණය සහ ස්වරය සමාජයේ පුද්ගලයකුගේ අපේක්ෂාවන් තීරණය කරන බව, අත්හදා බැලීමටය. ඔහු එම අත්හදා බැලීමට පාවිච්චි කළේ එලිසාවය.

ඇතැම් විට එය සාර්ථක බවක් පෙන්වුවද, එලිසාට තමාව පාලනය කරගැන්මට නොහැකි වූ තැන් තිබුණි. එලිසාට බෝල් රූම් නැටුම් පුරුදු කර, හිගින්ස් ඇයව තානාපති කාර්යාලයේ සංවිධානය කෙරූ නැටුමකට ඇයව රැගෙන ගියේ, උසස් සමාජයේ කාන්තාවන්ටත් වඩා සුන්දරව අන්දවා ගෙනය. එම සාදයේ සුවහස් ඉහළ පෙළේ රූප සුන්දරියන් සිටියද, ඒ සියල්ලටම වඩා කැපී පෙනුණේ එලිසාවය. එහිදී ඇයට විදේශීය කුමාරයෙකු සමඟ නටන්නටද අවස්ථාවක් ලැබුණි. එතැන සිටි හංගේරියානු ශබ්ද විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන 'සෝල්ටාන් කාර්පති' (තියෝඩෝර් බිකෙල්) ද සිටියේය. ඔහුද ඇය සමඟ නැටූ පසු ප්‍රකාශ කළේ ඇය හං⁣ගේරියානු කුමාරියක් මෙන් බවය. මේ අතර 'ඇස්කොට්' හී, ඇයට මුණ ගැසුණු ඉහළ පැළැන්තියක සිටි කඩවසම් තරුණයෙකු වූ 'ෆ්‍රෙඩි එන්ස්ෆෝඩ්හිල්' (ජෙරමි බ්‍රෙට්) ඇය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නට විය.

ඇතැම් විටෙක මේ ඉහළ ⁣පැළැන්තියට අනුගත වී සිටින ජීවිතය ඇයට කරදරයක් වූවද, නැවත පැරණි ජීවිතයට යෑමට, ඇයට හැකියාවක් නොමැති විය.

මහචාර්යවරයා එලිසාට ආදරය කරන බවක් චිත්‍රපටයේ අවසන් කොටසේදී පෙනේ. ඔහුගේ හිතේ ඇය ගැන අදහසක් තිබෙන බවක් දැනෙන්නේ ඇය ඔහුගේ මව සොයා ගිය ගමනේය. ඒ බවක් නොදැන සිටි ඔහු, එලිසා තමාව අත හැර ගොස් ඇතැයි සිතා කලබල වේ. ඔහු තම මවගේ නිවසට ගිය විට එලිසා එතන සිටිනු දකියි. මහාචාර්ය හිගින්ස් ඇයට ඔහු වෙත පැමිණීමට ආයාචනා කරයි. එහෙත් ඇය කියනුයේ ඇය ෆ්‍රෙඩි එන්ස්ෆෝඩ්හිල් ව විවාහ කරගෙන කාර්පතිගේ සහයිකාව බවට පත්වන බවය. මහචාර්යවරයාට එය ඇසූ පසු ඔහු කෝපයට පත්වී තනිවම තම නිවසට ගොස් ග්‍රැම්ෆෝනය ක්‍රියාත්මක කර, මුල් කල තැටිගත කල ඇයගේ හඬ අසන්නට විය. ඔහුට එලිසා නොමැතිව පාළුවක් දැනුණි. ඔහු නොසන්සුන් ව හැසිරී, එලිසාව මෙනෙහි කරන්නට විය. එලිසා ඔහු අතහැර වෙන කෙනෙක් හා විවාහ වීම ඔහුට දරා ගැන්මට නොහැකි විය. එක්වරම ග්‍රැම්ෆෝනයේ හඬ ක්‍රියා විරහිත විය. ඔහු හිස ඔසවා බැලූ විට ග්‍රැම්ෆෝනය ක්‍රියා විරහිත කර ඇත්තේ එලිසාය. එලිසා මහචාර්ය හෙන්රි හිගින්ස්ව සොයා පැමිණ ඇත.

'මයි ෆෙයා ලේඩි' තුළින් කියවුණේ එවන් කථාවකි. බර්නාඩ් ෂෝ මේ කථාව ලියුවේ 1913 දීය. ඔහු කථාව ලියන්නට ඇත්තේ ඒ වකවානුවට සරිලන සේය. ඉන් අවුරුදු 50 ක් පසුවිය චිත්‍රපටය නිර්මාණය වූයේ. ඒ වන විට මිනිසුන් ගැහැනුන් ගේ පිටස්තරය වෙනස් වූවද, ඔවුන්ගේ අභ්‍යන්තරය, හැඟීම්,දැනීම් මෙන්ම සෙනෙහස ආදරය වෙනස් වන්නෙ නැත. 'මයි ෆෙයා ලේඩි' තුළින් ප්‍රත්‍යක්ෂ වන්නේද එයය.

1964 වර්ෂයේ පැවැත්වූ ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළේදී, ජැක්.එල්.වෝනර් හොඳම චිත්‍රපට නිෂ්පාදනය ලෙසද, ජෝර්ජ් කුකෝර් හොඳම අධ්‍යක්ෂක ලෙසද, රෙක්ස් හැරිසන් හොඳම නළුවා ලෙසද, සම්මානනීය වූයේ 'මයි ෆෙයා ලේඩි' චිත්‍රපටය සඳහාය. එලෙසම ජීන් ඇලන් හොඳම කලා අධ්‍යක්ෂණය, හැරී ස්ට්‍රැඩ්ලින් හොඳම කැමරා අධ්‍යක්ෂණය, සිසිල් බීටන් හොඳම ඇඳුම් නිර්මාණ ශිල්පී, ඇන්ඩ්‍රි ප්‍රෙවින් හොඳම අනුවර්තන සංගීතය, ජෝර්ජ් ආර් ග්‍රෝව්ස් හොඳම ශබ්ද පරිපාලක ලෙසද ඇකඩමි සම්මානය ලැබුයේ 'මයි ෆෙයා ලේඩි' චිත්‍රපටය වෙනුවෙනි. ස්ටැන්ලි හොලෝවේ හොඳම සහය නළුවා, ⁣ග්ලැඩිස් කූපර් හොඳම සහය නිළිය, ඇලන් ජේ ලේනර් හොඳම තිරනාටකය ලෙස ඇකඩමි සම්මානයට නිර්දේශ වූයේ ද 'මයි ෆෙයා ලේඩි' චිත්‍රපටය වෙනුවෙනි.

'මයි ෆෙයා ලේඩි' ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 17 කි. එහෙත් එහි මුල් වටයේ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 72.7 ක් විය.

I am getting married in the morning 
Ding dong the bells are gonna chime 
Pull out the stopper,  
We'll have a whopper 
But get me to the church on time.