වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
මොන්ගෝලියානු අධිරාජ්‍යයේ නියමුවාගේ කතාව

'ජෙන්ගිස් ඛාන්' හෙවත් 'ටෙමුජීන්' යනු 1165 වසරේ උපත ලැබූ, මොන්ගෝලියානු අධිරාජ්‍යයේ නිර්මාතෘ වරයා ය. මොන්ගෝලියානු ගෝත්‍රිකයන් එක්සත් කිරීම සඳහා ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළ ඔහු චීනයේ සහ මධ්‍යම ආසියාවේ විශාල ප්‍රදේශ යටත් කර ගැනීමේ හමුදා ව්‍යාපාර මාලාවක් දියත් කළේය
ඔහුගේ පියා 'බෝර්ජිජින්' වංශයේ මොංගෝලියානු අධිපතියකු වූ 'යෙසූගී' ය. ඔහුගෙ මව 'ඕල්ක්හොනුඩ්' වංශයට අයත් කාන්තාවක් වූ අතර ඇයගේ නම 'හොයිලුන්' විය. ටෙමුජින් හෙවත් ජෙන්ගිස් ඛාන් ට වයස අවුරුදු 8 වන විට ඔහුගේ පියා වූ යෙසුගී මිය ගිය අතර, ඔහුගේ පවුල මොන්ගෝලියානු පෙළපතින්, හා ඔවුන්ගේ ගෝත්‍රිකයන් විසින් අත්හැර දමන ලදී. ටෙමුජින් ක්‍රම ක්‍රමයෙන් කුඩා අනුගාමිකයකුව තම අනන්‍යතාවය ගොඩනගා ගත් අතර අනෙකුත් මොන්ගෝලියානු ගෝත්‍රවලට එරෙහි ව්‍යාපාරවලදී, තවත් මොංගෝලියානු ප්‍රධානීන් දෙදෙනෙකු වන 'ජමුකා' හා 'තොගරුල්' සමඟ මිත්‍ර විය.
එතැන් පටන් ටෙමුජින් ගැන ක්‍රමවත්ව ලියා නොමැති අතර, ඒ කාල වකවානුවේ ටෙමුජින් කෙසේ කාලය ගත කළාදැයි නිශ්චිතවම කිව නොහැකිය. ඔහු මේ කාලයන් හී ගත කරන්නට ඇත්තේ 'ජින්' රාජවංශයේ සේවය කරමින් යැයි අනුමාන කර ඇත.
13 වන සියවසේ මුල් භාගයේදි, ජමුකා හා තොගරුල් සමඟ ඇති කර ගත් සංධාන සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ නමුත්, ඔහුට එම පුද්ගලයන් දෙදෙනාම පරාජය කර මොංගෝලියන් ගෝත්‍රිකයන් කෙරෙහි තනි පාලනයක් ඉල්ලා සිටීමට හැකි විය. ඔහු 1206 දී, කුරුල්තායිහිදී 'ජෙන්ගිස් ඛාන්' යන නාමය නිල වශයෙන් පිළි ගත්තේය.
ගෝත්‍ර සම්පූර්ණයෙන්ම එක්සත් වීමත් සමඟම ජෙන්ගිස් ඛාන් ගේ ජයග්‍රහණය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. 1211 වන විට බටහිර ඔධ්ඒ ප්‍රාන්තය යටත් කර ගැනීමෙන් පසුව, ඔහු උතුරු චීනයේ ජින් රාජවංශය ආක්‍රමණය කළ අතර, 1214 දී ජින් අධිරාජ්‍යයා වූ 'ක්ස්උවාන්සොන්ග්' ට ඔහුගේ රාජධානියේ උතුරු අර්ධය අත්හැරීමට බල කළේය. 1218 දී, මධ්‍යම ආසියානු ඛානේට්වරයෙකු වූ 'ක්වාරා කිටායි', මොංගෝලියන් හමුදාව විසින් යටත් කර ගන්නා ලදී. ඊළඟ වසරේ අසල්වැසි ක්වාරාස්මියන් අධිරාජ්‍යය ආක්‍රමණය කිරීමට ජෙන්ගිස්ට ඉඩ සැලසුණි. ආක්රමණික මොංගෝලියානුවන් ක්වාරාස්මියන් ප්‍රාන්තය පෙරළා දමා 'ට්රාන්ස්ඔක්සියානා' සහ 'කොරාසන්' ප්‍රදේශ විනාශ කළ අතර එම කැරැල්ල 'ජෝර්ජියාව සහ 'කීවන්රුස්' දක්වා විහිදා ගියේය. 1227 දී, බටහිර 'ක්සියා' කැරැල්ලේදී ජෙන්ගිස් ඛාන් මිය ගියේය. ඔහුගේ තුන්වන පුත්‍රයා සහ උරුමක්කාරයා වූ 'ඔගෙඩෙයි' ඊට වසර දෙකකට පසු සිංහාසනයට පත් විය.
ජෙන්ගිස් ඛාන් විසින් ආරම්භ කරන ලද මොංගෝලියානු හමුදා ව්‍යාපාර, ආසියාව හා නැගෙනහිර යුරෝජය දක්වා පුළුල්ව විසිරී ගියේය. ඒවායින් ඇතිවූ කැරලිවලින් මිලියන ගණනක් මිය ගියහ. ජෙන්ගිස් ඛාන් විසින් ගොඩනැගූ මොන්ගෝලියානු හමුදාවේ නම්‍යශීලීභාවය, විනය සහ සංවිධානය සඳහා ප්‍රසිද්ධ වූ අතර, ඔහුගේ අධිරාජ්‍යය කුසලතා ප්‍රතිපත්ති මත ස්ථාපිත විය.
මේ හේතුවෙන් ජෙන්ගිස් ඛාන් ජාතික අනන්‍යතාවයේ සංකේතයක් සහ මොන්ගෝලියානු සංස්කෘතියේ කේන්ද්‍රීය චරිතයක් ලෙස වර්තමාන මොංගෝලියාවේ ගෞරවයට පාත්‍ර විය.
'ජෙන්ගිස් ඛාන්' ගේ කථාව සිනමාපටයකට නැංවීමට උවමනා කම තිබුණේ ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකවරයකු වු 'අයිවින්ග් ඇලන්' ටය. අයිවින්ග් ඉපදුණේ 1905 නොවැම්බර් 24 වනදාය. ඒ ලෙම්බර්ග් නගරයටය. එය අයත් වූයේ ඔස්ට්රියාවටය. එකල එය හැඳීන්වූයේ ඔස්ට්‍රියා-හංගේරියා ලෙසටය. පසු කලෙක ඔහු ඇමරිකාවට සේන්දු විය. ඔහුගේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනය වූයේ 'ෆෝටි බෝයිස් ඇන්ඩ් අ සෝන්ග්ය.' ඒ 1941 වසරේදීය. එය වර්තාමය චිත්‍රපටයකි. ඉන්පසු ඔහු එකතුවුණේ 'අවලන්චි' චිත්‍රපටයටය. ඒ අධ්යක්ෂවරයකු වශයෙනි. 1947 දී ඔහු 'ක්ලයිබින්ග් ද මැටර්හොන්' නම් වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළේය. ඉන්පසු 1951 වන තෙක් ඔහු චිත්‍රපට 7 ක් නිෂ්පාදනය කරමින්, අධ්‍යක්ෂණය කළේය. 1953 - 1970 වන තෙක් ඔහු කළේ චිත්‍රපට නිෂ්පාදනයම පමණි. එය 1951 දී 'නිව් මෙක්සිකෝ'නම් චිත්‍රපටයෙන් පටන් ගෙන 1970 'අයි විට්නස්' නැමැති චිත්‍රපටය දක්වා ගෙන ආවේය. එය සංඛ්‍යාත්මකව චිත්‍රපට 40 ක් පමණ විය. ලංකාවේ ද ඔහුගේ චිත්‍රපට කීපයක්ම තිර ගත විය. රිචඩ් විඩ්මාක්, සිඩ්නි පොයිටියර් රඟපෑ 'ද ලෝන්ග් ශිප්ස්', ඩීන් මාර්ටින් රඟපෑ ' ද සයිලන්සර්ස්', 'මර්ඩරස් රෝ', 'ද ඇම්බුෂර්ස්', හා 'රෙකින් කෘ', එලෙසම වීන්ස් එඩ්වර්ඩ් රඟපෑ 'හැමර් හෙඩ්', හා 'ද ඩෙස්පෙරාඩොස්', රිචඩ් හැරිස්, ඇලෙක් ගුයිනිස් රඟපෑ 'ක්රෝම්වෙල්', මාර්ක් ලෙස්ටර් රඟපෑ 'අයි විට්නස්' (විධායක නිෂ්පාදක) සහ අද ලිපියට පාත්‍ර වන 'ජෙන්ගිස් ඛාන්' එම චිත්‍රපටයන්ය. අප අධ්යක්ෂවරයකු වූ චන්ද්‍රරත්නම් 'ජනේලය' කියා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ, ඉහත සඳහන් වූ 'අයි විට්නස්' චිත්‍රපටය අනුසාරයෙන් ය. අයිවින්ග් ඇලන් ඇමරිකානු ඇකඩමි සම්මාන ලාභීකයෙකි. ඒ හොඳම කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙසටය.එය ඔහුට ලැබුණේ 'ක්ලයිම්බින්ග් ද මැටර්හෝන්' නම් කෙටි චිත්‍රපටය වෙනුවෙනි.
අයිවින්ග් ඇලන් 'ජෙන්ගිස් ඛාන්' චිත්‍රපටයේ තිරනාටකය ලිවීමට භාර දුන්නේ 'බෙවර්ලි ක්‍රොස් ටය. ඔහු ඉංග්‍රිසි ජාතිකයෙකි. ඔහු 'ජේසන් ඇන්ඩ් ද ආර්ගෝනට්ස්', 'ද ලෝන්ග් ශිප්ස්' වැනි චිත්‍රපටවල තිරනාටකය ලියා ඇති අතර, 80 දශකයේදී ඔහු 'ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස්' චිත්‍රපටයේ තිර නාටකය ලිවීය. එලෙසම ඔහු 1962 දී තිරගත වූ ඩේවිඩ් ලීන් ගේ 'ලෝරන්ස් ඔෆ් ඇරේබියා' චිත්‍රපටයේ තිරනාටකය ලියූ රොබට් බෝල්ට්, මයිකල් විල්සන් සමඟ එක්වී එම චිත්‍රපටයේ තිර නාටකය ලිවීමට සහය වී ඇත. 'ජෙන්ගිස් ඛාන්' චිත්‍රපටයේ තිරනාටකය ලිවීමට ඔහු ක්ලාර්ක් රෙනෝල්ඩ්ස් වද එකතු කර ගතී.
නිෂ්පාදක අයිවින්ග් ඇලන් 'ජෙන්ගිස් කාන්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට භාර කළේ 'හෙන්රි ලෙවින්'ටය. ඔහු 1909 ජූනි 05 වන දින ඇමරිකාවේ නිව් ජෙර්සි හී ට්‍රෙන්ටන් නගරයේ උපත ලැබීය. ඔහු මුලින්ම සිනමාවට පැමිණියේ රංගන ශිල්පියෙක් ලෙසටය. ඉන්පසු ඔහු වේදිකා අධ්යක්ෂවරයකු ලෙස වැඩ කරන්නට විය. 1944 දී ඔහු 'ක්‍රයි ඔෆ් ද වෙයාර්වුල්ෆ්', නම් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර තිරගත කළේය. ඒ ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය විය. ඔහු 'ජෙන්ගිස් ඛාන්' අධ්‍යක්ෂණය කරන්නට පෙර, චිත්‍රපට 44 ක් අධ්‍යක්ෂණය කළේය. එම චිත්‍රපට ලැයිස්තුව දෙස බලන විට නම් ඒවා ලංකාවේ ප්‍රදර්ශන වූවාදැයි සැක සිතේ. එහෙත් ඉන් පසු ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කීපයක් නම් ලංකාවේ ප්‍රදර්ශනය කළහ. ඩීන් මාටින් රඟපෑ 'මර්ඩරස් රෝ', 'ද ඇම්බුෂර්ස්' මයික් කොනෝරස් හා රැෆ් වැලෝන් රඟපෑ 'කිස් ද ගර්ල්ස් ඇන්ඩ් මේක් දෙම් ඩයි' වීන්ස් එඩ්වඩ්, ජැක් පැලන්ස් රඟපෑ 'ද ඩෙස්පෙරාඩෝස්' චිත්‍රපටය, ෆ්‍රෙඩ් විලියම්සන් රඟපෑ 'දැට් මෑන් බෝල්ට්', ස්ටුවට් වයිත්මන්, වේරා මයිල්ස් රඟපෑ 'රන් ෆො ද රෝසස්' සහ රොඩ් ටේලර්, ස්ටුවට් විත්මන්, එල්කි සොමර් රඟපෑ 'ද ට්‍රෙෂර් සීකර්ස්' එසේ ලංකාවේ ප්‍රදර්ශනය කළ චිත්‍රපටයන් ය.
අධ්යක්ෂ හෙන්රි ලෙවින්ට 'ජෙන්ගිස් ඛාන්' චිත්‍රපටය මිලි මීටර් 70 දැවැන්ත තීරයේ පෙන්වන අයුරින් තිරගත කිරීමට උවමනා විය. චිත්‍රපටය රූ ගත කිරීමට ඔහූ තෝරා ගත්තේ යුගොස්ලෙවියා වය.
චිත්‍රපටයේ ප්‍රධාන කථා නායකයා වූ ටෙමුජින් (පසුව ජෙන්ගිස් ඛාන්) චරිතයට අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකවරයා විසින් තෝරා ගනු ලැබුවේ 'ඔමාර් ශෙරිෆ්' වය.එහී ප්‍රතිවිරුද්ධ චරිතය වූ ජමුගා 'ස්ටෙෆන් බොයිඩ්' විය. 'බෙන්-හර්' චිත්‍රපටයේ ජූඩා බෙන්හර් ගේ ප්‍රතිවිරුද්ධ චරිතය වූ මෙසාලා ගේ චරිතය රඟපෑවේද ස්ටෙෆන් බොයිඩ් ය. චීන තානාපති කැම් ලින්ග් ගෙ චරිතය ට තෝරා ගත්තේ ඇමරිකා විශිෂ්ට නළුවකු වූ 'ජේම්ස් මෙසන්' ය. ඔමාර් ශෙරිෆ් හා ස්ටෙෆන් බොයිඩ් ගැන විස්තරාත්මක සටහනක් හොලිවුඩ් යට ගියාව තුළින් ඉදිරිපත් කර තිබුණද, ඇමරිකානු නළු ජේම්ස් මෙසන් ගැන සවිස්තරයක් ලිවීමට නොහැකි විය. ජේම්ස් මේසන් ප්‍රධාන චරිතය රඟපෑ 'ලොලිටා' චිත්‍රපටයේ විස්තරයක් 'හොලිවුඩ් යටගියාව' ලිපි පෙළේ 20 වන චිත්‍රපටයෙන් කියවුණිද, එහී ජේම්ස් මේසන් ගැන සම්පූර්ණ විස්තරයක් ලියා තිබුණේ නැත.
'ජෙන්ගිස් ඛාන්' චිත්‍රපටයේ ටෙමුජින් නොහොත් ජෙන්ගිස් ඛාන් ගේ ජීවිතය සාරවත් වන්නේ චීන තානාපති කැමි ලින්ග් ගේ හමුවීමෙනි. එහෙයින් කැමි ලින්ග් ගේ චරිතය චිත්‍රපටය තුළ සුවිශේෂිතය. අධ්යක්ෂ ඒ ඇමරිකානු විශිෂ්ට නළු, ජේම්ස් මේසන් ව තෝරා ගන්නට ඇත්තේ ඒ නිසා වන්නට ඇත.
1909 මැයි මස 15 වන දින එංගලන්තයේ බටහිර යෝක්ශයර් හී හඩර්ස්ෆීල්ඩ් නගරයේ ඉපදුණු ජේම්ස් මෙසන් ගේ සම්පූර්ණ නම වූයේ ජේම්ස් නෙවිල් මේසන් ය.
ජේම්ස් මේසන් මාර්ල්බොරොග් පාසැල ඉගෙනුම ලැබ, ක්‍රේම්බ්‍රිජ්, පීටර්ස් හවුස් හී, ගෘහනිර්මාණ ශිල්පිය ඉගෙන ගත්තේය. නමුත් ඔහු වේදීකා නාට්‍ය මෙන්ම ඔපෙරාවලට ප්‍රිය විය. එහෙයින් ඔහු ඔහුගේ අමතර කාලය ඒ අශ්‍රිතව ගැවසෙන්නට විය. ඔහු ඔහුගේ ගෘහ නිර්මාණශිල්ප පාඨමාලාව නිම කළ පසු ලන්ඩන් වල ඕල්ඩ් වික් තියටර් හී එකතු විය. ඔහු එහිදී ඉංග්‍රිසි තියටර් අධ්යක්ෂවරයකු වූ සර් ටිරෝන් ගුත්‍රී ගේ යටතේ නාට්‍ය රංගනය හා ඔපේරා රංගනය ඉගෙන ගතී.
ඔහු මුලින්ම වේදිකාවක රඟපෑවේ 1931 වසරේ 'ඇල්ඩර්ෂොට්' නගරයේ රඟදැක්වූ 'ද රාස්කල්' නම් වූ නාට්‍යයේ ය. ඉන්පසු ඔහු ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය වූ 'ද චෙරි ඔචාර්ඩ්', 'හෙන්රි ඍධ්ධ්ධ්, 'මෙෂර් ෆො මෙෂර්', 'ද ඉම්පෝටන්ස් ඔෆ් බීන්ග් අර්නස්ට්', 'ලව් ෆො ලව්', 'ද ටෙම්පස්ට්' 'ටුවෙල්ෆ්ත් නයිට්', 'මැක්බත්' යන නාට්‍යවල රඟදැක්විය.
ජේම්ස් මේසන් ගේ ප්‍රථම චිත්‍රපටය වූයේ 1935 වසරේ තිරගත වූ ඇල්බට් පාර්කර් අධ්‍යක්ෂණය කළ 'ලේට් එක්ස්ට්‍රා' චිත්රපටයය. එය අපරාධ ගණයට අයත් චිත්‍රපටයක් ය. එතැන් සිට ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවක ප්‍රධාන චරිත, උප ප්‍රධාන චරිත, රඟපෑවේය එය සංඛ්‍යාත්මකව සිය ගණනකට අධික විය. ඒ අතරින් සුවිශේෂිත චිත්‍රපට කීපයක් මෙසේය. 'මැඩම් බොවරි 1949, 'ද ඩෙසර්ට් ෆොක්ස්', (1951), 'ෆයිව් ෆින්ගර්ස් (1952), 'ජුලියස් සීසර්' (1953), 'අ ස්ටාර් ඉස් බොන්',(1954), 'නොර්ත් බයි නොර්ත් (1959),'ලොලිටා (1962), 'ජෝර්ජි ගර්ල්', (1966), 'අ ස්ටාර් ඉස් බෝර්න්' ' ද බෝයිස් ෆ්‍රොම් බ්‍රසිල් (1978), සහ 'ද වෙරඩික්ට්'. (1979).
ජේම්ස් මෙසන් 1954 දී හොඳම නළුවා ලෙස ඇමරිකානු ඇකඩමි සම්මාන උලෙළදී නිර්දේශි වූයේ 'අ ස්ටාර් ඊස් බෝර්න්' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි. එලෙසම 1966 ඇකඩමි සම්මාන උලෙළෙ ඔහු චිත්‍රපට දෙකකම හොඳම සහය නළුවා ලෙස නිර්දේශ විය. ඒ 'ජෝර්ජි ගර්ල්' හා 'ද වෙරඩික්' චිත්‍රපට වෙනුවෙනි. එතරම් චිත්‍රපටවල රඟපෑවද, ඔහුට ඇකඩමි සම්මානයක් දිනා ගැන්මට හැකි වූයේ නැත. ඔහු සම්මාන දිනා ගත්තේ නම් ඒ 1954 බ්‍රිටිශ් ඇකඩමි ෆිල්ම් සම්මාන උලෙළෙදී , 'අ ස්ටාර් ඊස් බෝර්න්' චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ත්, 1953 දී 'නැෂනල් බෝඩ් ඔෆ් රිවිව්' සම්මාන උලෙළෙදී හොඳම නළුවාට හිමි සම්මානයත් ය. ඔහුට එය ලැබුණේ 'ෆේස් ටු ෆේස්', 'ජුලියස් සීසර්', 'ද ඩෙසර්ට් රැට්ස්', ' සහ 'ද මෑන් බිට්වීන්' යන චිත්‍රපට සියල්ල එකතු කොටය. ඔහුගේ 'ලොලිටා' හී රංගනය බ්‍රිටිෂ් ඇකඩමි සම්මානයටත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයටත් හොඳම නළුවා ලෙසට නිර්දේශ විය.
ලංකාවේ ඔහුගේ චිත්‍රපට කීපයක්ම තිර ගත විය. 'ද ෆෝල් ඔෆ් ද රෝමන් එම්පයර්' 'ලොලිටා', 'ලාස්ට් ඔෆ් ශෙයිලා' 'ඒජ් ඔෆ් කන්සන්ට්' 'මයර්ලින්ග්' 'ජූලියස් සීසර්', 'ද බෝයිස් ෆ්‍රොම් බ්‍රසිල්', 20,000 ලීගස් අන්ඩර් ද සී', ඒ අතරේ විය.
1984 ජුලි 27 වන දින, අවුරුදු 75ක් වයසැතිව සිටියදී ජේම්ස් මෙසන් හෘදාබාධයකින් ස්විට්සර්ලන්තයේ දී මිය ගියේය.
ඔමාර් ශෙරිෆ්, ජේම්ස් මෙසන්, ස්ටෙෆන් බොයිඩ්, එලි වොල්ච්, ටෙලි සවාලස්, ෆ්රැන්කොයිස් ඩෝර්ලෙක්, රොබට් මෝර්ලේ රඟපෑ 'ජෙන්ගිස් ඛාන්' චිත්‍රපටය ආරම්භ කරනුයේ ටෙමුජින් වයස අවුරුදු 14ක් පමණ වයසව සිටියදී ජමුගා ප්රමුඛ ප්‍රතිවාදි ගෝත්‍රිකයන් විසින් ටෙමුජිගේ පියාට දරුණු ලෙස වධ හිංසා පමුණවා ටෙමුජි ඉදිරිපිටම මරා දමන දර්ශනයකිනි. ඉන්පසු ඔවුන් ටෙමුජිව ද සිරභාරයට ගෙන ඔහුගේ ගෙල වටා විශාල රෝදයක් දමයි. ඒ ලී රෝදය දැමීමෙන් අදහස් වනුයේ ඔහු කිසියම් වරදකට සිරභාරයට ගෙන ඇති බවකි.
ඔහුගේ සම වයසේ අයද ඔහුට උසුළු විසුළු කරමින් වධ දෙන්නට විය.
ටෙමුජි තරුණ වියට එළැඹෙනුයේ අර ගෙල බැඳී රෝදය සමඟය. ඔහුට කරුණාවක් දැක් වූයේ තරුණ බෝර්තායි පමණි. එහෙත් බෝර්තායිගේ රූමත් කම නිසා, ජමුගා ඇයවද තමා ළඟ තබාගෙන සිටියේ සිර කර මෙන්ය.
තරුණ වියට එළැඹ ගෙල බැදී රෝදයෙන් නිදහස් වූ ටෙමුජින් හොර රහසේම කැලෑවට පැන ගනී. කැලෑවේ කඳුකර ප්‍රදේශයට පැන ගිය ඔහුට, ඔහු සමඟ එදා සිට සිටි 'ශුද්ධවූ ගීන්' හා ගොළු රණශූර සෙංගල් එකතු වේ. ටෙමුජින් ගෙ අරමුණ වී තිබුණේ සියලු මොන්ගෝලියානු ගෝත්‍රිකයන් ව එක් සේසත් කිරීමටය. එයට උපකාර කිරීමට ගීන් හා සෙංගල්ද ඔහුට ප්‍රතිඥා දුනි.
තවලම් මාර්ග ඔස්සේ වැටලීම් කරමින් ටෙමුජින් ඔහුගේ හමුදාව තර කර ගනී. බෝර්තායිද, ජමුගාගෙන් බේරී පැනවිත් ටෙමුජින්ට එකතු විය. පසුව ටෙමුජින් හා බෝර්තායි ආදරෙන් බැඳෙන්නට විය. ඉන්පසු ටෙමුජින් ඇයව විවාහ කර ගතී.
මේ අතරේදී ජමුගා බෝර්තායි සිටින තැන සොයා ගෙන ටෙමුජින් නැති අතරේ තම හමුදාව හා පැමිණ, ඇයව පැහැර ගෙන තම ස්ථානයට යයි. බෝර්තායි පැන යන්නට උත්සහ කළද ජමුගා ඇයව දූෂණය කරයි. ටෙමුජින් ඇතුළු කණ්ඩායම තම ස්ථානයට පැමිණි පසුවය දැන ගන්නේ බෝර්තායිව ජමුගා විසින් පැහැර ගෙන ගොස් ඇති බව. ඔවුන් වහාම ජමුගා සිටි තැනට ගොස් ඔවුන්ගේ කණ්ඩායම හා සටන් කර, බෝර්තායි ව බේරා ගෙන එයි.
මේ අතරේදී, තමා හා තම ප්‍රභුවරුන් පැමිණි, අශ්ව කරත්තයේ රෝද කැඩී අතරමං වී සිටී චීන තානාපතිවරයකු එම කරත්තය සාදා දී උදව් කිරීමෙන් පසු එම තානාපතිවරයා ටෙමුජින්, බෝර්තායි හා ඔහුගේ හමුදාව චීනයට රැගෙන ගියේය.
එසේ යන අතෙර්ය බෝර්තායි දරුවකු ප්‍රස්ත කරනුයේ. එදා ජමුගා, බෝර්තායි ව දූෂණය කෙරූ ප්‍රතිඵලයෙනි බෝර්තායි ට එම දරුවා ලැබුණේ. ටෙමුජින් ඒ බව දැන ගත්තද, ඒ ඉපදුණු දරුවා තමාගේ දරුවා ලෙස රැක බලාගන්නා බව ටෙමුජින් විසින් බෝර්තායි ට පොරොන්දු වේ.
චීත තානාපතිවරයා වූ 'කම් ලින්ග්' ටෙමුජින් ඇතුළු සේනාව පීකිං නගරයේ තබමින් දැනුම, හා සටන් පුහුණුව ලබා දී ටෙමුජින් ව 'ජෙන්ගීස් ඛාන් ' එනම් ජයග්‍රාහකයන්ගේ කුමාරයා ලෙස කිරුළ පලදයි. ඉන්පසු ඔවුන් ජමුගාව ගෙනවිත් සිර කර තබයි. ඔහු සිරවී සිටින බව දැනගත් එතෙක් ඔහු යටතේ වහලුන් මෙන් සිටි මොන්ගොලියානුවන් ඔවුන්ගේ වහල් බවින් මිදෙයි. ටෙමුජින් හා ඔහුගේ හමුදාව සමඟ ඔවුන් පසුව සන්නද්ධ වී චීන අධිරාජ්‍යයා ව මරා දමා මුළු ආසියාවම යටත් කර ගැනීම ආරම්භ කරයි. ජමුගා සිර ගෙදරින් පැන යන්නේ මේ අතරේදීය.
මැන්චූරියාවේ සිට මොස්කව් දක්වා සියල්ල විනාශ කිරීමෙන් පසු මොන්ගෝලියානු හමුදාව, අවසානයේ ක්වාරෙස්ම්හී ෂා සමඟ සටන් කරයි. ඔහුව පරාජය කෙරූ පසු ඔවුන් ජමුගා ව යළි අල්වා ගනීයි. අවසන් කඩු සටන තිබුණේ ටෙමුජින් හා ජමුගා අතෙර්ය. සියල්ලෝම වටවී සිටින මැද ඔවුන් දෙදෙනා අතර පමණක් තරමක දිගු සටනක් තිබුණි. එම සටනේදී ටෙමුජින් අතින් ජමුගා ව මරණයට පත් වූවද, ටෙමුජින්ද දරුණු ලෙස තුවාල විය. ඉන් දින කීපයකට පසු, ටෙමුජින් තම බිරිඳ, දරුවා හා තම සේනාව තම මොන්ගෝලියානු ජනතාව හැර දමා දෙනෙත් පියා ගතී. එතෙක් වහලුන් මෙන් සිටි මොන්ගෝලියානු ජනතාවට නිදහස ලබා දී මොන්ගොලියාව නිදහස් රටක් ලෙස පත්කිරීමට ටෙමුජින් හෙවත් ජෙන්ගිස් ඛාන්ගේ ගත් තැත සාර්ථක කරය ඔහු මිය ගියේ. ඔහු මිය ගියද, ඔහුගේ අධිරාජ්‍ය ව්‍යාප්ත වී ජෙන්ගිස් ඛාන්ගේ කීර්තිය ලොව හැම තැනම පැතිර ගියේ ශ්‍රේෂ්ඨ නායකයකු ලෙසටය.
ජෙන්ගිස් ඛාන් චිත්‍රපටය ලංකාවේද තිරගත කළේය. එය ලංකාව තුළද ජනප්‍රිය විය. මැජෙස්ටික් සිනමා හලේ මිමි 70 ප්‍රමාණයේ තිරයේ ප්‍රදර්ශනය කළා යනු මතකයක් ඇත. එලෙසම පිට පළාත්වල පෙන්වීමට මිමි 35 ප්‍රමාණයේ පිටපත් තිබූ බවත් මතකය.
'බෙන්හර්' 'ද ටෙන් කමන්ඩ්මන්ට්ස්' තරම් දැවැන්ත නැතත්, 'ජෙන්ගිස් ඛාන්'ද දැස් දල්වා බලා සිටිය හැකි එවන් ගණයේ අපූරු චිත්‍රපටයකි.