වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
ක්‍රියාදාමයෙන් මතු වූ මිනිසත්බව

ෂෝන් කොනරි මුල්වරට ජේම්ස් බොන්ඩ් ලෙස රඟපෑ, නිල වශයෙන් ප්‍රථම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ලෙස සලකන 'ඩොක්ටර් නෝ' චිත්‍රපටයත්, ඉන්පසු බිහිවුණු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවට අයත් වූ 'ෆ්‍රොම් රෂියා විත් ලව්', හා 'තන්ඩර්බෝල්ට්' වැනි චිත්‍රපටත්, හෙන්රි ෆොන්ඩා රඟපෑ 'ද ඩර්ටි ගේම්', යූල් බ්‍රයිනර්, ඔමාර් ශෙරීෆ් රඟපෑ 'ද පොපි ඊස් ඕල්සෝ අ ෆලවර්', ඔඩ්රි හෙප්බර්න්, රිචඩ් ක්‍රින්නා රඟපෑ 'වෙයිට් අන්ටිල් ඩාක්', ඔමාර් ශෙරිෆ්, ජේම්ස් මෙසන් රඟපෑ 'මයර්ලින්ග්', විලියම් හෝල්ඩන් රඟපෑ 'ද ක්‍රිස්මස් ට්‍රී', චාර්ල්ස් බ්‍රොන්සන් රඟපෑ 'කෝල්ඩ් ස්විට්', මයිකල් කේන්, ලෝරන්ස් ඔලිවර් රඟපෑ 'ද ජිග්සෝ මෑන්' චාර්ල්ස් බ්‍රොන්සන්, ලිනෝ වෙන්තුරා රඟපෑ 'ද වලාචි පේපර්ස්' වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ 'ටෙරන්ස් යං' ලොව වඩාත් ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂක ලැයිස්තුවේ මුල් පෙළේ සිටි අධ්‍යක්ෂ වරයෙකි. බ්‍රිතාන්‍ය පුරවැසියකු වූ ටෙරන්ස් යංග් 1915 වසරේ ජුනි 20 වන දින උපත ලද්දෙකි. ඔහුගේ වෘත්තිය ලෙස සඳහන් වන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක හා තිර රචකයෙකු ලෙසටය.
1948 වසරේ 'කොරිඩෝ ඔෆ් මිරර්' නැමති චිත්‍රපටයෙන් තම සිනමා අධ්‍යක්ෂණය ආරම්භ කළ ටෙරන්ස් යංග් 1988 වන තෙක් පුරා අවුරුදු 40 ක් සිනමා නිර්මාණයේ යෙදුණි. එකී අවුරුදු 40 ට ඔහු චිත්‍රපට 38 ක් අධ්‍යක්ෂණය කර තිබුණි. එයින් චිත්‍රපට බොහෝමයක් ජනප්‍රියත්වයෙන් ඉහළ තලයේ ඒවාය. ඔහු තම චිත්‍රපට වලට නිතරම එකතු කර ගත්තේ ෂෝන් කොනරි, චාර්ල්ස් බ්‍රොන්සන්, ලොරන්ස් ඔලිවර්, ඔමාර් ශෙරිෆ්, මයිකල් කේන්, විලියම් හෝල්ඩන් වැනි ඉහළ පෙළේ නළුවන්ය. එමෙන්ම, ඔඩ්‍රි හෙප්බන්, උර්සුලා ඇන්ඩ්‍රස්, කැතරින් ඩෙනිව්, වැනි දැවැන්ත නම් ඇති නිළියන්ය.
මෙම ලිපිය හා බැඳුණු 'රෙඩ් සන්' චිත්‍රපටය ටෙරන්ස් යංග් ගේ 30 වැන්න වූ අතර, ඔහුගේ අවසන් චිත්‍රපටය ලෙස සලකනුයේ ඩේවිඩ් කැරඩීන්, ජෝර්ජ් සීගල් හා ෆ්‍රෙැන්කො නීරෝ රඟපෑ 'රන් ෆො ලයිෆ්' ය. එය'මැරතන්' ලෙසටද හැඳීන්විය.
1994 සැප්තැම්බර් මස 7 වන දින, ටෙරන්ස් යංග් ප්‍රංශයේදී මිය ගියේ වයස 79 ක් ව තිබියදීය.
ප්‍රංශයේ ඉපදුණු රොබට් ඩොෆ්මන් 'රෙඩ් සන්' චිත්‍රපටයේ එක් නිෂ්පාදකයෙක් විය. 1948 වසරේ 'ක්‍රොස්රෝඩ්ස් ඔෆ් පැෂන්' නම් චිත්‍රපටය නිෂ්පාදනය කරමින් ඔහු සිනමා ක්‍්‍රෂේත්‍රය ට පැමිණියේය. ඩස්ටින් හොෆ්මන් හා ස්ටීව් මැකුවින් රඟපෑ 1973 වසරේ තිරගත වූ 'පැපිලෝන්' චිත්‍රපටය නිපදවූයේ ද රොබට් ඩොෆ්මන් ය.
රොබට් ඩොෆ්මන් සමඟ 'රෙඩ් සන්' නිෂ්පාදනය කළ අනෙක් නිෂ්පාදකයා වූයේ ඇමරිකාවේ මැසචුසෙට්ස් හී ඉපදුණු 'ටෙඩ් රිච්මන්ඩ්' ය. 1938 වසරේ 'පැන්ටම් රේන්ජර්' නම් චිත්‍රපටයක, සහය අධ්‍යක්ෂ ලෙස සිනමා කෂේත්‍රය ට එකතු වුණු ඔහු 1940 දී 'ද ලාස්ට් එලාම්' චිත්‍රපටයෙන් සහය නිෂ්පාදකයකු ලෙස සිනමාවේ තවත් පියවරක් තැබුවේය. චිත්‍රපට 65 ක් පමණ නිෂ්පාදනය කර තිබූ ඔහු ලංකාවේ ජනප්‍රිය වූයේ 1959 වසරේ තිරගත කිරීම ආරම්භ කළ යූල් බ්‍රයිනර්, ජීනා ලොලොබ්‍රිජිඩා රඟපෑ බයිබල් කථාවක් වූ 'සොලමන් ඇන්ඩ් ෂීබා' චිත්‍රපටයෙනි. ( එය ලංකාවේ මරදානේ නිව් ඔලිම්පියා හී ප්‍රදර්ශනය කළේ 70 දශකයේ මුල් භාගයේය.)
ඔහුගේ නිෂ්පාදනයක් වූ යූල් බ්‍රයිනර් රඟපෑ 'රිටන් ඔෆ් සෙවන්' චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කළ බවක් මතක තිබුණද, ඔහුගේ 'පැපිලෝන්' චිත්‍රපටය ප්‍රදර්ශන වූ බවක් නම් මතක නැත. 1979 වසරේදී ඔහු වොල්ෆ් සී හාර්ට්විග්, හර්බට් ලක්ඔව්ස්කි සමඟ එක්වී නිෂ්පාදනය කළ 'බ්‍රෙක් තෲ' නම් චිත්‍රපටය දැවැන්ත බවක් පෙනුණේ රිචඩ් බර්ටන්, රොබට් මිචම් හා රොඩ් ස්ටයිගර් එක්ව රඟපෑ නිසාය.
'රෙඩ් සන්' ලයඩ් කොයිනිග් ගේ කථාවකට අනුව ඩෙනි බාර්ට් පෙටිට්ක්ලේක්, විලියම් රොබට්ස්, ලෝරන්ස් රෝමන් විසින් ලියූ තිරනාටකයක් ඇසුරෙන් නිර්මාණ වූවෙකි.
'රෙඩ් සන්' හී ප්‍රධාන චරිතය රඟපෑ චාර්ල්ස් බ්‍රොන්සන් තම සිනමා රංගන ජීවිතය ආරම්භ කළේ 1951 දීය. 'ද මොබ්' චිත්‍රපටයේ ජැක් නම් වූ සුළු චරිතයකිනි ඔහු කල එළි බැස්සේ. එතැන් සිට චිත්‍රපට 84 ක රඟපා තිබුණි. ඔහුගේ අවසාන චිත්‍රපටය වූයේ 1994 දී තිර ගත වූ ඩෙත් විෂ්-5 - ද ෆේස් ඔෆ් ඩෙත්' නම් චිත්‍රපට ය ය. ඔහුගේ මුල්ම ජනප්‍රිය වූ චිත්‍රපටය වූයේ 1960 වසරේ තිරගත කළ 'ද මැග්නිෆිසන්ට් සෙවන්' චිත්‍රපටය ය. 'ද ග්‍රේට් එස්කේප්' (1963), 'ද ඩර්ටි ඩසන්' (1967), ' 'වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට්', (1968), 'රෙඩ් සන්'(1971), 'ද වලාචි පේපර්ස්' (1971), 'චටෝස් ලෑන්ඩ් (1972), 'ඩෙත් විශ්' (1974), ' ෆ්‍රොම් නූන් ටිල් ත්‍රී (1976), 'ඩෙත් හන්ට් (1981), 'ඩෙත් විශ්' 2 (1982), 10 ටු මිඩ් නයිට් ( 1983), 'ඩෙත් විශ් 3 (1985), 'ඩෙත් විශ් 4, ද ක්‍රැක් ඩවුන්', (1987), ' ඩෙත් විශ් 5 'ද ෆේස් ඔෆ් ඩෙත්' යන චිත්‍රපට ඔහුගේ වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රපටයන් විය. ඒවා සියල්ලම වාගේ ලංකාව තුළද ප්‍රදර්ශනය වී තිබුණි. චාර්ල්ස් බ්‍රොන්සන් චිත්‍රපට 84ක රඟපෑවද, ඔහු කිසි දිනයක සම්මානවලට පාත්‍ර වූයේ නැත.
'රෙඩි සන්' චිත්‍රපටයේ ප්‍රධාන චරිත 4 න් අනෙක් ප්‍රධාන චරිතය වූයේ 'කුරෝඩා ජුබී' ය. එම චරිතය රඟපෑවේ අකීරා කුරසාවා විසින් ජපන් සිනමාවට ගෙනවිත් ලෝකය තුළ ජනප්‍රිය කෙරූ 'තොෂිරෝ මිෆුනේ' ය. තොෂිරෝ ගැන මා මීට පෙර මෙම ලිපි මාලාවෙදී ලියා තිබුණි. ඒ 'සෙවන් සමුරායි' චිත්‍රපටය ගැන ලියන විටදීය. තොෂිරෝ ඉපදී තිබුණේ චීනයේ ක්වීන්ග්ඩාඕ නගරයේය. ඒ 1920 අප්‍රේල් 1 වන දිනය.
තොෂිරෝ සිනමාවට සම්බන්ධ වූයේ 1947 වසරේදීය. ඒ 'ස්නෝ ට්‍රේල්' නම් වූ චිත්‍රපටයේ 'එජිමා' නම් චරිතයකිනි. එය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විය. අකිරා කුරොසාවා මේ චිත්‍රපටයට සම්බන්ධ වූයේ තිර නාටක රචකයා ලෙසටය. ඉන්පසු 1948 දී ඔහු 'ඩ්‍රන්කන් ඒන්ජල්' නම් වූ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අතර, තොෂිරෝ, අකිරා ගේ අධ්‍යක්ෂණය යටතේ රඟපෑ ප්‍රථම චිත්‍රපටය එය විය. එතැන් සිට ඔහු බොහෝ විට රඟපෑවේ අකිරා කුරොසාවා ගේ අධ්‍යක්ෂණය යටතේ තැනූ චිත්‍රපටයන්ය. අකිරාට තොෂිරෝ නොමැතිව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට නොහැකි බවක් පෙනුණේ අකිරාගේ හැම චිත්‍රපටයකම තොෂිරෝ ප්‍රධාන චරිතය රඟපාන නිසාය.. 'ද කුයිට් ඩුයෙල් (1948), 'ස්ට්‍රේ ඩෝග්' (1949), 'ස්කැන්ඩල්'(1950), වැනි චිත්‍රපට අකිරා හා තොෂිරෝ ගේ සුසංයෝගයෙන් නිර්මාණය වු චිත්‍රපටයන්ය. 1950 වසරේ අකිරා 'රෂෝමන්' නිර්මාණය කර තිර ගත කළ අතර, එහී ප්‍රධාන චරිතයක් වූ 'තජමෝරු' නම් වූ සොරා ට පණ පෙව්වේ තොෂිරෝ ය. එතෙක් ජපානයට පමණක් සීමා වූ අකිරා ගේ චිත්‍රපට, අන්තර්ජාතික තලයට රැගෙන ගියේ 'රෂොමන්' චිත්‍රපටය හරහාය. 'රෂොමන්' 24 වෙනි ඇමරිකානු ඔස්කාර් ඇකඩමි සම්මාන උලෙළේදී විශිෂ්ටතම විදේශීය චිත්‍රපටයට හිමි ගෞරවනීය සම්මානය ලබාගත් අතර, එම වසරේ ඉතාලියේ වෙනිස් චිත්‍රපට උලෙළේ දී, 'ගෝල්ඩන් ලයන්' සම්මානය ලබා ගති. එලෙසම එම වසරේ විවිධ සම්මාන උලෙළයන්හී 'රෂොමන්' සම්මාන ලැබීය. මේ හරහා තොෂිරෝ මිෆුනේ ගේ රඟපෑම්ද අන්තර්ජාතිකව සිනමා ප්‍රේක්ෂකයන් ගේ අවධානයට යොමු විය.
'රෂොමන්' වලින් පසු තොෂිරෝ නැවතත් අකිරා කුරොසාවා ගේ 'ද ඉඩියට්' චිත්‍රපටයේ රඟපෑවේය. අකිරා ගේ 'සෙවන් සමුරායි' තිර ගත වූයේ 1953. එය මුළු ලොව පුරාම ජනප්‍රිය වූවා පමණක් නොව, ඒ අනුව හොලිවුඩ් චිත්‍රපට පවා නිර්මාණ විය. තොෂිරෝ මිෆුනේ අන්තර්ජාතික තලයේ ඉහළම තලයට රැගෙන ගියේ 'සෙවන් සමුරායි' චිත්‍රපටයෙනි. ඉන් පසු ඔහු චිත්‍රපට ගණනාවක රඟපෑවේය. එය ඉතාමත් දිගු ලැයිස්තුවකි. එය චිත්‍රපට 152 කක් දක්වා දිගු විය. ඒ 1947 සිට 1995 දක්වා වූ අවුරුදු 48 ක කාලයකිනි. 'රෙඩ් සන්' ඔහුගේ 115 වන චිත්‍රපටය විය. එතරම් චිත්‍රපට ගණනාවක ඔහු රඟපෑවද, ඔහු කිසිදු සම්මානයකට පාත්‍ර වූ බවක් නම් සඳහන් වී නැත.
'රෙඩ් සන්' චිත්‍රපටයේ තවත් ප්‍රධාන චරිතයකි ගෞචේ'. එය සට කපට මැර චරිතයකි. එයට පණ පෙවුයේ 'ඇලන් ඩෙලන්' නම්වූ අතීශය කඩවසම් ප්‍රංශ නළුවෙකි. ප්‍රංශයේ 1935 දී නොවැම්බර් 8 වන දින ඉපදුණු ඔහුගේ සම්පූර්ණ නම වූයේ 'ඇලන් ෆේබියන් මොරිස් මාර්සල් ඩෙලන්'ය.
1949 දී 'ලෙ රැප්ට්' නම් වූ ප්‍රංශ චිත්‍රපටයක 'ගැන්ග්ස්ටර්' කෙනෙකු ලෙසින් රඟපෑමට එක් වූ ඔහු 1965 වන තෙක් ප්‍රංශ චිත්‍රපට ගණනාවක ද, ඉතාලි චිත්‍රපටවලද රඟපෑවේය. ඔහුගේ මුල්ම ඇමරිකානු චිත්‍රපටය වූයේ, මාර්ක් රොබ්සන් අධ්‍යක්ෂණය කළ,කොලොම්බියා සමාගම බෙදා හැරූ 'ලොස්ට් කමාන්ඩ්' චිත්‍රපටය ය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ 'ඇන්තනී ක්වීන්' ය. ඇලන් ඩෙලන් එහී දෙවන ප්‍රධාන චරිතය රඟපෑ අතර, ජෝර්ජ් සීගල්, මිචෙල් මෝර්ගන්, හා ක්ලෝඩියා කාර්ඩිනල් වැනී ලොව සුප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් ඇලන් ඩෙලන් සමඟ රඟපෑහ.
යළි ඔහු අන්තර්ජතික තලයේ අවධානය දිනාගත්තේ හෙන්රි වර්නියුල් විසින් අධ්‍යක්ෂණය කළ ප්‍රංශ චිත්‍රපටයක් වූ 'ලෙ ක්ලෑන් ඩෙස් සිසිලියන්ස්' නම්වූ චිත්‍රපටයෙනි. එය ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් විසින් ඇමරිකාව ඇතුළු අන්රටවල බෙදා හැරියේ 'ද සිසිලියන් ක්ලෑන්' ලෙසටය. ජීන් ගාබින් හා ලිනෝ වෙන්තුරා සමඟින්ය ඔහු මෙම චිත්‍රපටයේ රඟපෑවේ. ඉන්පසු ද ඔහු දිගටම රඟපෑවේ ප්‍රංශ චිත්‍රපටවලය. 'රෙඩ් සන්' චිත්‍රපටය ද ඉංග්‍රීසි අධ්‍යක්ෂකවරයකු අධ්‍යක්ෂණය කළද, එය නිෂ්පාදනය කළේ ප්‍රංශයේ කොරෝනා චිත්‍රපට සමාගමය. එහෙත් එහී සභාපති වූයේ නම් ඇමරිකානු ජාතික රොබට් ඩොර්ෆ්මන් ය
'රෙඩ් සන්' හී ප්‍රධාන නිළි චරිතය වූ ක්‍රිස්ටිනාගේ චරිතය රඟපෑවේ ස්වීස්, ජර්මන් නිළියක් ලෙස හඳුන්වන 'උර්සුලා ඇන්ඩෘස් ' ය. ඇය නියම ලෙස හඳුන්වන්නේ ප්‍රථම බොන්ඩ් ගර්ල් ලෙසටය. ඒ ඇය ප්‍රථම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වූ 'ඩොක්ටර් නෝ' හී ජෙම්ස් බොන්ඩ් වූ ෂෝන් කොනරි ගේ පෙම්වතිය වූ නිසාය.
උර්සුලා ඇන්ඩෘස්, ඉපදුණේ ස්විට්සර්ලන්තයේ ය. ඒ 1936 මාර්තු මස 19 වන දිනය. 1954 දී 'ඇන් ඇමරිකන් ඉන් රෝම්' නම් වූ ඉතාලි චිත්‍රපටයක සුළු චරිතයක් කළ ඇය නියමාකාරයෙන් සිනමාවට පිවිසියේ 1962 වසරේ තිරගත කරන ලද බොන්ඩ් චිත්‍රපටය වූ 'ඩොක්ටර් නෝ' හී 'හොනි රයිඩර්' ගේ චරිතයෙනි.
1963 දී ඇය, ලෝ ප්‍රකට ගායක, නළු, එල්විස් ප්‍රෙස්ලි සමඟ 'ෆන් ඉන් ඇකපුල්කෝ' නම් වූ චිත්‍රපටයක රඟපෑවාය. ඉන්පසු ඇය පීටර් සෙලර්ස්, ඩේවිඩ් නිවන් සමඟ රඟපෑ 'කැසිනෝ රෝයල්', ජෝර්ජ් සීගල් හා ඕසන් වේල්ස් සමඟ රඟපෑ 'ද සදර්න් ස්ටාර්', ස්ටැන්ලි බාකර්, ඩේවිඩ් වෝනර් සමඟ රඟපෑ 'පර්ෆෙක්ට් ෆ්‍රයිඩේ' යන චිත්‍රපට 3 නම ලංකාවේ ප්‍රදර්ශනය විය. 'රෙඩ් සන්' ප්‍රදර්ශනය වූයේ ඉන්පසුවය.
'රෙඩ් සන්' චිත්‍රපටය ආරම්භ කරනුයේ, අශ්වයෙක් පිට නැඟුණු ජවසම්පන්න මිනිසෙක් දුම්රිය ස්ථානයකට පැමිණෙන දර්ශනයකිනි. ඔහු නමින් 'ලින්ක් ස්ටුවට්' ය. (චාර්ල්ස් බ්‍රොන්සන් ). ඔහු දුම්රියපළට පැමිණ තම අශ්වයා, නැවතත් හරවා යවා ඔහු එතැනට එම අවස්ථාවේ එන දුම්රිය බලාපොරොත්තුවෙන් සිටියේය.
දුම්රිය පැමිණිය පසු ඔහු දුම්රියට ගොඩ විය. එහී ඔහුව බලාපොරොතුවෙන් තවත් කෙනෙක් සිටියේය. ඒ 'ගෞචේය' (ඇලන් ඩෙලන්). ගෞචේ එහි සිටියේ ඔහුගේ 'ගැන්ග්' එකේ කීප දෙනෙකු සමඟය. ලින්ක් ස්ටුවට් හා ගෞචි මෙසේ එකතු වූයේ, එම දුම්රියෙන් යකඩ සේප්පුවක දමා සුරක්ෂිත ව ගෙන යන ඇමරිකානු ඩොලර් හාර ලක්ෂය මංකොල්ල කෑමටය. එම දුම්රියේම ජපන් තානාපතිවරයා (ටෙට්සු නකමූරා) ගමන් ගත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාව බැහැ දැකීමටය. ඒ යන අතරේ ඉතා වටිනා රත්තරන් කඩුවක්ද ඔහු රැගෙන ගියේ ජනාධිපතිවරයාට තෑගි දීමටය. ඔහු සමඟ ඔහුගේ ආරක්ෂාවට එම දුම්රියේම සමුරායි ආරක්ෂක දෙදෙනෙක් ද යන්නට විය. කුරෝදා ජුබෙයි (තොෂිරෝ මිෆුනේ) ඉන් එක් අයෙක් විය.
ගෞචේ හා ස්ටුවට් මුලින්ම කළේ යන දුම්රිය නවත්වා එහී සිටි මගින් සියල්ලන්ව බැස්වීමය. ඉන්පසු ගෞචේ කෙසේ හෝ තනාපතිවරයා ළඟ තිබූ රත්තරන් කඩුව බලෙන් තමා සතු කර ගනී. කඩුව බේරා ගන්නට ගිය තානාපතිගේ එක් ආරක්ෂක භටයකුට ගෞචේ ගේ කණ්ඩායමේ අයෙක් වෙඩි තබා මරා දැමීය. ගෞචේ, ඒ සියල්ලන්ටම තම තුවක්කු පෙන්වා තනාපතිවරයා හා ඔහුගේ ආරක්ෂකයන්ව යටත් කර ය එම කඩුව පැහැර ගත්තේ. ඉන්පසු ඔහු ලින්ක් ස්ටුවට් ලවා ඩයිනමයිට් යොදා යකඩ සේප්පුව පුපුරවන්නට විය. එය පිපිරූ පසු එහි තිබූ මුදල් ඔවුන් බෙදා ගන්නට ගියද, එම පෙට්ටියේ උපක්‍රමශීලිව, මුදල් ගෙන ගෞචේ හා ඔහුගේ කණ්ඩායමෙ දුම්රියෙන් බැස්සේය. ඒ සමඟම තවත් අසරුවන් කීප දෙනෙක් පැමිණ ස්ටුවට් සිටි පෙට්ටියට තවත් ඩයිනමයිට් කරල් කීපයක් දැම්මේ ස්ටුවට් සමඟම පුපුරුවා හැරීමටය. එයින් ස්ටුවට් මිය ගියේය. එය තහවුරු කරගත් පසු ගෞචේ හා ඔහුගේ කණ්ඩායම මුදල් සහ රත්තරන් කඩුව රැගෙන පලා ගියහ.
ස්ටුවට් මිය ගියා කියා සිතුවද, ඔහු මියගොස් නැති බව කුරෝදාට වැටහුණි. කුරෝදා හා තානාපතිවරයා, ස්ටුවට් ට බෙහෙත් කර ඔහු ව යථා තත්වයට පත් කළේය. පසුව තානාපතිවරයා කීවේ ඔවුනට ගෞචේ ව සොයා දී, එම රත්තරන් කඩුව නැවත ගැනීමට උදව් කරන ලෙසටය. එහෙත් ස්ටුවට් එය ප්‍රතික්ෂේප කරමින් යන්නට සැරසුණි. කුරෝදා ඔහුට කඩුවක් බෙල්ලට තබා ඔහුගේ ගමන වැළැක්විය. ඉන්පසු තානාපතිවරයා කුරෝදාට කඩුව සොයා යෑමේ රාජකාරිය භාරදී, දින 7ක් ඇතුළත එය ගෙනවිත් දෙන ලෙස කුරෝදාට අණ කළේ, ගැට 7 ක් සහිත සුදු ලණු පටියක් ලබා දීය. ඔහු කීවේ හැම දිනයක්ම අවසානයේ එම ලණුවේ ඇති ගැටයක් ලිහන ලෙසටය. හත්වෙනි ගැටය ලිහන්නට ප්‍රථම කඩුව සොයා ගත යුතු බවද, ස්ටුවට්ට කුරෝදා සමඟ ගොස් එය සොයා දීමට උදව් කරන ලෙසට ඉල්ලා සිටියේ එම කඩුව ස්ටුවට්ගේ රටේ ජනාධිපති ට දෙන එකක් යැයි නැවත වතාවක් මතක් කර දීමෙනි. යම් හෙයකින් එම දවස් 7 ඇතුළත එම කඩුව සොයා ගැනිමට නොහැකි වුවහොත්, තානාපතිවරයා ට හා කුරෝදා ට සිදුවෙන්නේ ජපන් 'හරාකිරි' ක්‍රමයට තම තමන්ගේ ගෙල සිද දිවි නසා ගැන්මටය.
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ස්ටුවට් ට කුරෝදා සමඟ ගෞචේ ව සොයා යන්නට සිදු විය. මේ අතර ගෞචේ තම කණ්ඩායමේ 4 දෙනෙක් සමඟ ගොස් පැහැර ගත් මුදල් වල ලා දැමීය. ඉන්පසු ඔහු කළේ එම හතර දෙනාව වෙඩි තියා මරා දැමීමය. ඔහු එසේ කළේ මෙම වැළලු තැන කිසිවෙක් දැන සිටිය යුතු නොමැති නිසාය.
ගෞචේ සිටිනා තැන නිසැකවම දන්නේ ක්‍රිස්ටිනා බව ස්ටුවට් දැන සිටියේය. ක්‍රිස්ටිනා යනු ගෞචේ ගේ පෙම්වතියයි. ඇය වැඩ කළේ ගණිකා මඩමකය. එය අයත් වී තිබුණේ 'පෙපිටා' (කැපුසීන්) ටය. පෙපිටා, ස්ටුවට් ගේ එක් පෙම්වතියකි.
ගෞචේව සොයා යන ගමනේදී මුලින් මුලින් කීප වතාවක්ම ස්ටුවට් කුරෝදා ව මග දමා පැන ගියද, පසුව ඔහුම කුරෝදා සොයා පැමිණියේ කුරෝදා ගේ ප්‍රතිපත්ති, මෙන්ම ඔහු තම රටට, සංස්කෘතිය ට, මනුෂ්‍යත්වය ට ගරු කරන අන්දමට පැහැදීය. ඉන්පසු ස්ටුවට් අවංකවම කුරෝදාට කඩුව සොයා දීමට උපකාර කිරීමට තරයේම සිතා ගතී.
ඔවුන් දෙදෙනා කෙළින්ම ගියේ පෙපිටාගේ ගණිකා මඩමටය. එතැනදී ඔවුන් ක්‍රිස්ටිනා ව කාමරයක දමා පිටතින් දොර සීල් කළේ පෙපිටාගේද ආධාරයෙනි. කොයි මොහොතෙ හෝ ගෞචේ ගේ කණ්ඩායමේ අය ක්‍රිස්ටිනා ව සොයා එන බවක් ඔවුහු දැනන් සිටියහ. එලෙසම ගෞචේ ගේ කණ්ඩායමේ හතර දෙනෙක් පැමිණ ක්‍රිස්ටිනාගේ සීල් කෙරූ දොරට තට්ටු කරන්නට විය. එවිටම ස්ටුවට් හා කුරෝදා පැමිණ තිදෙනෙකුට වෙඩි තබා මරා දමා එක්කෙනෙක් පමණක් ඉතුරු කර, ඔහුව ගෞචේ වෙත හැරියේ, පණිවිඩයකුත් සමඟය. ඒ තමන් ළඟ ක්‍රිස්ටිනා සිටින බවත් ඇයව ඔහුට අවශ්‍ය නම් ඔහු ළඟ තිබෙන රත්තරන් කඩුව යළි තානාපතිවරයාට ලැබෙන්නට සලස්වන ලෙසටය.
ඔවුන් ක්‍රිස්ටිනා සමඟ ගෞචේව සොයා ගියද, මගදී ක්‍රිස්ටිනා, ස්ටුවට් හා කුරෝදා ගෙන් මිදී පැන යන්නට සමත් විය. එසේ පැන ගියද, ඇයව 'කොමන්චස්' නම් වූ කණ්ඩායමකට අසුවිය.
ක්‍රිස්ටින් පැහැර ගෙන යන කොමෙන්චස් කණ්ඩායම ට ගෞචේගේ කණ්ඩායම ව මුණ ගැසුණි. කොමෙන්චස් කණ්ඩායමට උවමනා වූයේ, කුරෝදා, ස්ටුවට්, ක්‍රිස්ටිනා හා ගෞචේ ව එක තැනකට කොටු කර ගිනි තැබීමටය. ඔවුන් එසේ කළේ, දෙපාර්ශයම වෙඩ් තබා ගනිමිනි. එතැනදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ගෞචිගේ කණ්ඩායම කොමෙන්චස් කණ්ඩායම මරා දමා ක්‍රිස්ටිනා බේරා ගත්හ.
ඒ අතරේ ස්ටුවට් හා කුරෝදා ද ගෞචේගේ කණ්ඩායමට වෙඩි තැබීය. ගෞචේ ද පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කළද, හදිසියේම ඔහුගේ තුවක්කුවේ උණ්ඩ ඉවර විය. ඒ ඇසිල්ලෙන් කුරෝදා ට ගෞචේ ව මැරීමට හැකි වුවද, ඔහු එසේ නොකළේ ස්ටුවට් ට ගෞචේගෙන් මුදල් හැංගු තැන දැන ගැන්මට අවශ්‍ය වන නිසාය. එහෙත් ගෞචේට තුවක්කුවක් ලැබුණු සැණින්ම කළේ කුරෝදා ට වෙඩි තැබීමය. එවිටම ස්ටුවට් තම තුවක්කුව ගෞචේ ට එල්ල කළද, ගෞචේ සිතුවේ ස්ටුවට් කිසිවිටකත් ඔහුව නොමරන බවය. ඒ, මුදල් තිබෙන තැන දන්නේ ගෞචේ පමණක් නිසා ත් ස්ටුවට් ට එය දැන ගත හැකි වන්නේ ගෞචේව නොමැරුවොත් පමණක් නිසාත් ය.
එහෙත් ගෞචේ ගේ ඒ සිතුවිල්ල වැරදිය. සියල්ලටම වඩා ස්ටුවට් කුරෝදාට ගෞරව කළේය. ඔහු ඔහුගේ සෘජු ප්‍රතිපත්ති අකුරටම රකින ආකාරය ගැන ආඩම්බර විය. කුරෝදාගෙ ජීවන රටාව ස්ටුවට් ගේ ජීවිතයද වෙනස් කළේය. එහෙයින් ඔහු මෙතෙක් කල් පෙරේත වී සිටි මුදල් ආශාව අත්හැරීය. ඔහුට ගෞචේ සිතූ පරිදී ඔහුගෙන් මුදල් සඟවා සිටි තැන දැන ගැන්මට උවමනාවක් නොවීය. ඒ වෙනුවට ඔහුට අවශ්‍ය වූයේ ගෞචේ ගෙන් රත්තරන් කඩුව නැවත ගෙන කුරෝදා තම තානාපතිට වූ පොරොන්දුව ඉෂ්ට කිරීමටය. එය මිය ගිය කුරෝදා වෙනුවෙන් කළ හැකි මහඟු පිනකි. එහෙයින් තවත් දෙවරක් හෝ නොසිතා ස්ටුවට් ගෞචේ ව වෙඩි තබා මරා දැම්මේය. ඉන් පසු රත්තරන් කඩුව ඔහු අතට ගතී.
මේ අතර ක්‍රිස්ටීන් කීවේ, දෙදෙනා එකතු වී ගෞචේ මුදල් සැඟවූ තැන සොයා ගොස් එම මුදල් දෙදෙනා සම සමව බෙදා ගමු කියාය. නමුත් ස්ටුවට් ඒ ගැන කිසිදු උනන්දුවක් ගත්තේ නැත. ඔහු කළේ එතැන වලක් හාරා කුරොදාගේ නිසල සිරුර වළලා දමා රත්තරන් කඩුවත් ගෙන දුම්රියපළට යෑමය. එහී ගොස් ඔහු රත්තරන් කඩුව උඩින් යන කේබල් වයරයක එල්ලුවේ දුම්රියක යන ඕනෑම කෙනෙකුට පෙනෙන අන්දමටය.
සර්ජියෝ ලියෝන් ගේ ස්පැගෙති වෙස්ටර්න් චිත්‍රපට රිද්මයට මෙය තිබුණද, 'රෙඩ් සන්' ඩොලර් සීරීස් වලට වඩා වෙනස් ස්වරූපයක් ගත්තේ මෙහි මනුෂත්වය ඉලිප්පි පෙන්වීම නිසාය.
'රෙඩ් සන්' ආකර්ෂණීය චිත්‍රපටයක් විය, මුල සිට අග දක්වා කුතුහලයකින් නැරඹිය හැකි අපූරුවූ ක්‍රියාදාමයන් සපිරූ චිත්‍රපටයකි. චාර්ල්ස් බ්‍රොන්සන්, උර්සුලා ඇන්ඩෘස්, තොෂිරෝ මිෆුනේ හා ඇලන් ඩෙලන් රංගනයන්හි ඔවුන් එකිනෙකාට නොපරයන ශිල්ප හරඹයක් පෙන්විය.
ලංකාවේ මෙය බම්බලපිටියේ මැජෙස්ටික් සිනමා ශාලාවේ හොඳ ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලබමින් සාර්ථකව ප්‍රදර්ශනය විය. 'රෙඩ් සන්' කිසිදු දිනෙයක සිතින් ගිලිහී නොයන විචිත්‍රවත් සිනමා පටයක් විය.